අරුණි ශපීරෝ‍ වෙතින්

ඔහෙන් යන්න කාලේ ඇවිත් වගෙයි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 18, 2013

ineptocracy

සිරස්තලය ඉරිදා මම දුවට යවපු පණිවිඩයයි. ඊට විකිපීඩියාවේ Kshama Sawant පිළිබඳ පිටුවත් අමුණලයි යැව්වෙ. ක්ෂණිකව දුව මට එවූ පිළිතුර: මෙයා මොනව ද දන්නෑ උතුරු කැරලයිනාවේ ආර්ථික විද්‍යා PhD උපාධියට ඉගෙන ගත්තෙ.

ආර්ථික විද්‍යාව යනු dismal science නොහොත් “සතුට නූපදවන විද්‍යාවක්” යැයි ලේබල් එකක් ඇලවූයේ ස්කොට්ලන්ත දාර්ශනිකයෙක්, රචකයෙක් සහ ඉතිහාසඥයෙක් වූ තෝමස් කාලයිල්. ඔහු එසේ නමක් පටබැන්ඳේ තවත් බ්‍රිතාන්‍යයෙක් වූ රොබට් තෝමස් මැල්තස් වැඩිවන ජනගහණයට ආහාර සපයන්නට නොහැකි වී ඇතිවන දොම්නස් අනාගතය පිළිබඳ කියූ අනාවැකි අහල.

මිනිස් ස්වභාවය ගැන ජෝන් ලොක් කියූ අදහස් පිළිගත් ෆ්‍රෙඩරික් බැස්ටියාට් වැනි අය සමඟ එකඟ වූ ඇමෙරිකන් ආදීපීතෘවරුන් ඒ අනුව සියල්ලන්ටම ජීවිතයට, නිදහසට හා සතුට සොයා යන ගමනට ඇති මූලික අයිතියක් රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කළහ. මිනිසා ක්‍රියාවක නියැළෙන්නේ පවතින තත්වයට වඩා හොඳින් තත්වයක් වෙනුවෙන් තමන්ට පුද්ගලිකව ලැබෙන වාසියක් සඳහා අනාගතය වෙනස් කරගත හැකියාව නිසයි යන්න පහදා දුන්නේ ලුඩ්විග් වොන් මීසස් විසිනි. තම කැමැත්ත හඹා යන මිනිස් ස්වභාවය නිසා වැඩිවන ජනගහණයට ආහාර ඇති පමණින් සපයන්නට ක්‍රමවේද ඊට ඉඩක් ලැබුණු ආර්ථික ක්‍රම වල දී සොයා ගැනුණි. තම කැමැත්ත හඹා යන්නට ඉඩක් නොලැබුණු සෑම අවස්ථාවක දී ම ආර්ථිකය අඩාල වී රටක් බංකොළොත් විය.

නිෂ්පාදනය කරන්නට දන්නා ටික දෙනෙක්ට ඔවුන්ගේ කැමැත්ත හඹා යන්නට ඉඩ ලැබෙද්දී ජයගන්නේ ඒ අය පමණක් නොවේ. ස්ටීව් ජොබ්ස් පුද්ගලික පරිගණකයකට පාරිභෝගිකයා කැමති වේයැයි විශ්වාස කරමින් ඊට වෙහෙසුන නිසා පුද්ගලික පරිගණකයේ අනේක භාවිත තවමත් සොයා ගැනෙමින් පවතී.

“අධ්‍යාපනය ආයුධයකි. එහි ප්‍රතිඵල රඳන්නේ ඒ ආයුධය කා අත ඇත්තේ ද සහ එය කවුරු වෙත එල්ල වෙන්නේ ද යන්න අනුවයි.” -ජෝසෆ් ස්ටාලින් (රුසියානුවා, ලංකාවේ ඒ නමින් සිටින පුද්ගලයා නොවේ.)

දුප්පතුන්ට බෙදා දෙන අධ්‍යාපනය ඇමෙරිකාවේ ද ආයුධයක් වෙයි. එය හඳුනාගත් බැවින් මම මගේ දියණියට පරමාණු බෝම්බයක් හා සමාන අව්‍යාජ නිදහස් අධ්‍යාපනයක් ගෙදර දී ලබාදුන්නෙමි. 😀

නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපනය වසන් කරන්නේ අදක්ෂතන්ත්‍රවාදයයි. එනම්, නිෂ්පාදනයට වැඩියෙන්ම අසමත් පිරිසක් විසින් නායකත්වයට වැඩියෙන්ම නුසුදුසු පිරිසක් තෝරා පත් කර ගැනීමයි. කෙමෙන් අඩු වී යන නිෂ්පාදකයන්ගේ වස්තුව බලහත්කාරයෙන් උදුරාගෙන සාර්ථක බවක් අත්පත් කරගන්නට හෝ තමන්ට තමන්ව රුකබලා ගන්නට වැඩියෙන්ම අසමත් පිරිසට භාණ්ඩ සහ සේවාවන් හැටියට තෑගි කිරීමයි. ඉහත ටී-ෂර්ට් එකේ ඉංග්‍රීසියෙන් ලියා ඇත්තේ එයයි.

නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපනය කියා නොදෙන්නේ මෙයයි. එනම්, තමන් සොයන වාසිය තමන්ට නැත්නම් කිසිවෙක් නිෂ්පාදනයේ නියැළෙන්නේ නැත. අයෙක් සොයන වාසිය කුමක්දැයි කියා වෙන කෙනෙකුට තීරණය කළ නොහැකියි. ඉතින්, එහෙම තීරණය කරන මැදිහත්වීම් වැඩිවෙද්දී නිෂ්පාදනය කරන අය හිඟවෙති. එවිට බෙදා දෙන්නට දේවල් ද නැති වී යයි.

නමුත් අධ්‍යාපනය අවියක් ලෙසින් පාවිච්චියට ගෙන දුප්පතුන් රවටන අදක්ෂතන්ත්‍රවාදීන් ආර්ථිකයක් අගාධයේ අගිස්සට ගෙනයන තෙක් නිෂ්පාදනයට හැකියාව ඇත්තන් වෙතින් උදුරා තමන්ට බලයේ සිටිය හැකි ලෙසින් බෙදා දෙන උත්සාහයේ නියැළෙති. උදාහරණයක්: වෙනෙසියුලාවේ ජනාධිපති නිකලස් මදූරෝ පසුගිය දා ඉලෙක්ට්‍රොනික් උපකරණ මිල පහළ දැම්මේය. සොල්දාදුවන් යවා සමහර කඩ හිමියන් අත් අඩංගුවට ගනිමින් ඒවා විකුණන කඩ පවා අල්ලා ගත්තේය. එය අදක්ෂතන්ත්‍ර වූ පාලනයක් බව නොමිලේ බෙදා දුන් අධ්‍යාපන මොට අවියක් හිමි වී ඇති පොදු ජනතාව නොදනිති.

අදක්ෂතන්ත්‍රවාදයේ ඒකාධිපතියන්ට දෙකට නැවී වැඳ වැටෙන, ජනතාව දැනුවත් කරනවා යැයි කියමින් මුලාව වපුරන ලංකාවේ මහාචාර්යවරයෙක් තවමත් ලෝක අධිරාජ්‍යවාදයක් ගැන කතා කරයි. එම ලෝක අධිරාජ්‍යවාදයේ පරමාර්ථය යුදෙව් කිස්ත්‍රියානි ඇමෙරිකන් (බටහිර යුරෝපීය) ජාතිකත්වය හැරෙන්නට අනෙක් සියළු ජාතිකත්ව නැසීම සඳහා සියුම්ව ක්‍රියාකරන්නක් යැයි ලියයි.

අව්‍යාජ නිදහස් අධ්‍යාපනයක් ලබන්නාට ඇති දැනුම මෙසේයි. මාක්ස්වාදියෙක් යැයි ද කියාගන්නා Kshama Sawant නම් වූ ඉන්දියාවේ උපන් 2010 දී ඇමෙරිකාවේ පුරවැසිබව ලබාගත් කාන්තාවකට වසර 16 ක් සියෑටල් නගරයේ පාලන බලයේ සිටියෙක්ව යාන්තමෙන් පරදා නගර සභාවට තේරී පත්වන්නට හැකියාව ඇති සමාජ ක්‍රමයක් ඉහත මහාචාර්යවරයා ලෝක අධිරාජ්‍යයෙක් යැයි සලකන ඇමෙරිකාවේ පවතින බව. එසේම ලංකාවේ මහාචාර්යවරයා දුප්පතුන් රවටන්නට පාවිච්චි කරන අධ්‍යාපන අවිය එලෙසින්ම යොදාගන්නට මැයට ද නිදහසක් මේ ලෝක අධිරාජ්‍යයා විසින් ප්‍රදානය කර ඇති බව. මොට අධ්‍යාපනික අවි බෙදා දී දුප්පතුන් රවටා මුලාවෙන් බලය අල්ලාගන්නට සමත් වූ ඇය සියෑටල් හි මූලස්ථානය වන ඇමසොන් සහ ස්ටාර්බක්ස් වැනි කොම්පැණි සාමූහිකරණය කළ යුතුය යන අදහස වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය බව.

ආර්ථිකයක කඩා වැටීම නවත්වාගන්නේ කෙසේදැයි යන්නට මාක්ස්වාදීන්ට, කොමියුනිස්ට්වාදීන්ට, සමාජවාදීන්ට කිසිදා උත්තරයක් තිබුනේ නැත. ඔවුන් නව අර්ථකතනයන් අවශ්‍ය යැයි කියති. තවත් පස් අවුරුදු සැලසුමක් ගෙනෙති.

සියෑටල් හි නව නගර සභික Kshama සුදුසු යැයි හිතන ප්‍රතිපත්ති මෑතක කාලයක දී දියත් කළ ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සුවා අලාන්ඩේ පත්කර ගත්තේ නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපනය නම් මොට අවි පිරිනැමුණු ප්‍රංශ ජනතාවයි. ඉන්දීය සම්භවය ඇති ලක්ෂ්මි මිටාල් වැන්නවුන් සිය ධනවත් කොම්පැණියේ කම්හල් ප්‍රංශයෙන් අයින් කරගෙන පිට වී යෑමෙන් රස්සාවන් අහිමි වූයේ අලාන්ඩේට නොවේ. ඊයේ පෙරේදා ප්‍රංශයේ credit rating මට්ටම පහළට වැටුණි. ආර්ථිකය හැකිළී ඇත. යුද හමුදා භටයන් සමරන දිනයේ මල් වඩමක් තියන්නට ගිය අලාන්ඩේට උද්ඝෝෂණකරුවන් ඉල්ලා අස්වෙන්නට යැයි හඬ ගෑහ. 73 දෙනෙක් අත්අඩංගුවට ගැනිණ.

නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපනය ලබන රටවල අයට වෙනෙසියුලාවේ සහ ප්‍රංශයේ වර්තමාන ප්‍රවෘත්ති දැනගන්නට අවස්ථාවක් නොලැබේ. ඔවුන්ට තව දුරටත් අහන්නට ලැබෙන්නේ නැති බටහිර සහ ඇමෙරිකන් අධිරාජ්‍යවාදයක් ගැනයි. එයට එරෙහිව සටන් කරනු සඳහා කියමින් තමන්ගේ ජීවිතය කිසිදා ජයගන්නට නොහැකි වූ මොට අවියක් නොමිලේ ලැබීමයි.

තවත් කොපමණ කාලයක් අදක්ෂතන්ත්‍රවාදයේ ඒකාධිපතියන් පෝෂණය කරන්නට ඔබ කැමති ද?!!!!!

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on නොවැම්බර් 19, 2013 at 12:57 පෙ.ව.

    “නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපනය” සිත පැහැරගත් අදහසකි. යෙදුමකි. එමගින් බො‍ෝ දේ සිතන්නට මග පාදයි.

  2. amalpasanna said, on නොවැම්බර් 19, 2013 at 2:32 පෙ.ව.

    //නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපනය//
    ලංකාවෙ තියෙන්නෙ මේක තමයි. ලියන පොත්,පෑන්,බෑග්,සපත්තු,ඇදුම්,ටියුෂන් ගාස්තු,පාසැල් ගාස්තු,තව මෙකී නොකී ඒව එකතු වෙද්දි O/L කරන එක ළමයෙකුගෙ වියදම මාසෙට රු.10,000 විතර.

    අනිත් නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපනය දෙන රටවල කොහොමද?

  3. jagath pathirana said, on නොවැම්බර් 21, 2013 at 9:37 පෙ.ව.

    ඔයාගෙම ලිපියක තියෙන විදියට ඇමරිකාවෙ ආමිශ්වරු ආමිශ් නොවන්නන්ට කියන්නේ
    ඉංග්ලිශ් කියලා ඒ අනුව Kshama Sawant කියන්නෙත් ඉංග්ලිශ් ගැහැනියක්
    එයා ඡන්දෙකින් දිනුවා කියන එකේ මහ ලොකු දෙයක් නෑ
    ලංකාවේ ඔයිට වඩා හොඳ තත්වයක් තියෙනවා
    බලන්න ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ කියන “හෙට්ටියා“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක වුනානේ
    (මමත් එයාට මනාප දුන්නා)
    මුස්ලිම් ත්‍රීවීල් මල්ලි කෙනෙක් වාසුදේව නානායක්කාර කියන සිංහල බෞද්ධයා පරද්දලා.කොළඔ නගරාධිපතිත් වුනා
    ඇමරිකාවේ සුලුජාතික නියෝජනය අන්තිමයි

    මෙතන තව කාරනයක් ගැනත් අවධානයට ලක්කරන්න කැමතියි මෙහෙම සැක කරන්න අපිට අයිතියක් තියෙනවනේ
    Kshama Sawant කියන්නේ ගෑනියෙක්
    ඇමරිකන් සුද්දෝ ඉන්දියාවෙන් ආපු හින්දු ගෑනියෙක් බල ගැන්වීම මඟින් හින්දු සංස්කෘකිය විසුරුවා හැරීමට ගත් වෑයමක් හැටියට මේක සලකන්න බැරිද
    පුලුවන්නම් ඉන්දියාවෙන් හෝ මුස්ලිම් රටකින් ඇමරිකාවට ඇවිත් දේශපාලනය කරන අයගෙන් වැඩි වාසි ලැබිලා තියෙන්නේ ගෑනුන්ටද පිරිමින්ටද කියලා
    සංඛ්‍යා ලේඛනයක් තියෙනවද කියල හොයල බලන්න
    බලන්න නොබෙල් සාම තෑග්ග මුස්ලිම් කෙනෙක්ට දෙනවනම් දෙන්නෙම මුස්ලිම් ගෑනියෙක්ට

    • arunishapiro said, on නොවැම්බර් 22, 2013 at 7:25 ප.ව.

      jagath pathirana,

      – මෙය ස්පෑම් එකට ගිහින් තිබ්බ ප්‍රතිචාරයක්.

      ආමිශ් අයට අනිත් හැමෝම ඉංගිලිෂ් වුනාට ආමිශ් අය අනිත් අයට නීති දාන්න යන්නෙ නැහැනෙ.

      ක්ෂාමා සැවන්ට් එක චන්දයකින් නගර කවුන්සිලයට පත්වෙලා එහෙ බොයිං කොම්පැණියේ මැෂින් මෙහෙයවන්නට එහි නිෂ්පාදන උපකරණ බලහත්කාරයෙන් ගිහින් අල්ලා ගන්න (නීතිය කැඩීම) දිරිගන්වනවා. ඒක මහා විශාල බලපෑමක් කරන්නෙ සියෑටල් නගරයට විතරක් නෙමෙයි ඒ නගරය පිහිටා තියෙන වොෂිංටන් ප්‍රාන්තයටත්. ප්‍රාන්තයේ ක්‍රෙඩිට් රේටින් අඩු කරන බව දැනුම් දීමක් දැනටමත්. බොයිං කොම්පැණිය තම කම්හල් අත්හැර දාලා වෙන ප්‍රාන්තයකට පිටවෙලා ගියත් අනෙකුත් ව්‍යාපාර වලට ණය ගන්න සිද්ධ වෙන්නෙ වැඩි පොලියට.

      //ඇමරිකන් සුද්දෝ ඉන්දියාවෙන් ආපු හින්දු ගෑනියෙක් බල ගැන්වීම මඟින් හින්දු සංස්කෘකිය විසුරුවා හැරීමට ගත් වෑයමක් හැටියට මේක සලකන්න බැරිද// එයා මාක්ස්වාදියෙක් යැයි ප්‍රසිද්ධියේ කියාගන්න කෙනෙක් ඒ නිසා ඉතින් ආගම අබිං නෙ. එතකොට හින්දු වෙන්නෙ කොහොම ද?!!! නැහැ එයා හින්දු බවක් කොතැනක වත් කියා නැහැ.

      සැවාන්ට් city council සභිකයෙක් පමණයි. ප්‍රාන්ත මට්ටමේ නිලතල ඊට වඩා ඉහළ දේශපාලන තනතුරැ හැටියටයි සැලකෙන්නෙ. මේරිලන්ඩ් ප්‍රාන්තයේ නියෝජිත සභාවේ නිලයක් දරන්නේ ඉන්දීය Aruna Miller. නිව් හැම්ප්ශයර් වල Latha Mangipudi ද ප්‍රාන්ත නියෝජිත සභාවේ තනතුරකට පත්වුනා. මේ දෙන්නම ඉන්දියාවේ ඉපදුන අය.

      ලාඕසයේ උපන් මොන්ග් ජාතික Mee Moua මිනෙසෝටා වල ප්‍රාන්ත මට්ටමෙන් තනතුරක් දරන අයෙක්.

      //ඇමරිකාවේ සුලුජාතික නියෝජනය අන්තිමයි// ???? ඔයා හොයලා බැලුවොත් ඔයා සුළු ජාතීන්ට අකමැතියි කියලා වැඩියෙන්ම හිතන රිපබ්ලිකන් පක්ෂයෙන්ම උදාහරණ මෙහෙම පෙන්වන්නම්. ලුයිසියානාවේ ආණ්ඩුකාරයා ඉන්දීය සම්භවයක් තියෙන බොබි ජින්ඩාල්. නිව් මෙක්සිකෝ හි ආණ්ඩුකාර කාන්තාවක් වූ සුසැනා මාටිනේස්. මෙන්න Latino Republicans ලැයිස්තුව. සවුත් කැරලයිනා හි Tim Scott ඇතුළු කළු ඇමෙරිකන් රිපබ්ලිකන් ලැයිස්තුව. ඊ ළඟට ඉන්දියාවෙන්ම ඇවිත් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර තනතුරට 2014 දී තරඟ කරන්නට සූදානම් වී ඉන්නා Neel Kashkari ගැනත් කියවන්න.

      //පුලුවන්නම් ඉන්දියාවෙන් හෝ මුස්ලිම් රටකින් ඇමරිකාවට ඇවිත් දේශපාලනය කරන අයගෙන් වැඩි වාසි ලැබිලා තියෙන්නේ ගෑනුන්ටද පිරිමින්ටද කියලා// ඉහළ උදාහරණ ටික දිහා බැලුවොත් ඉන්දීය ගෑනුන්ට වැඩි තනතුරු ඒත් බොබී ජින්ඩාල්ට ඉහළ දේශපාලන බලයක් තියෙන ප්‍රාන්ත ආණ්ඩුකාර තනතුර.

      මුස්ලිම් ආගමික නගරාධිපති කෙනෙක්, කොංග්‍රස් සභිකයන්, තානාපතිවරුන් යනාදීන් ගැන මෙතැනින් බලන්න. ඇමෙරිකාවේම මිලියන තුනක මුස්ලිම් බැතිමතුන් සිටිය දී මුස්ලිම් රටකින් එන අයෙක් මෙහි දේශපාලන ජයග්‍රහණයක් ගත යුතුයි කියා කීමෙන් පෙන්වන්නට හැක්කේ කුමක් ද?

      //බලන්න නොබෙල් සාම තෑග්ග මුස්ලිම් කෙනෙක්ට දෙනවනම් දෙන්නෙම මුස්ලිම් ගෑනියෙක්ට// අනේ පව්, යසර් අර්ෆාට්?!!!!!!! 😀

      • amalpasanna said, on නොවැම්බර් 23, 2013 at 2:31 පෙ.ව.

        jagath pathirana වගේ ප්‍රතිචාර ස්පෑම් එකට යන්න දෙන්නනම් එපා. එවගේ ප්‍රතිචාර වලට දෙන උත්තර වල ගොඩක් දැනුම තියනව. බ්ලොගර් ගෙ අනුදැනුමක් නැතුවත් ස්පෑම් එකට යනවද?

  4. jagath pathirana said, on නොවැම්බර් 28, 2013 at 8:53 පෙ.ව.

    ඔයාගේ ලිපියෙන් ක්ෂාමා සාවන්ත් ගැන කියලා ඇමරිකන් මැජික් එකක් පෙන්නපු නිසයි
    මම ලංකා මැජික් ගැන කොමෙන්ට් එක ලිව්වේ
    ක්ෂාමා සාවන්ත් කියන්නේ ජාතියක් ජන්මයක් ආගමක් ධර්මයක් ඇති කෙනෙක් නෙමෙයි ඒක මමත් දන්නවා
    ඔයත් ඒක කිව්වනේ එහෙනම් ඒ මැජික් එක අවලංගුයි
    මම වාසුදේවට සිංහල බෞද්ධයෙක් කිවුවෙත් බොරුවට (මැජික් පෙන්නන්න) ඇත්තටම ත්‍රීවීල් මල්ලි නගරාධිපති වුන එක හොඳයි
    නැත්නම් වාසුදේව දිනුවනම් නගරසභාවේ ඊලාම් කොඩිය උස්සන්න ඉඩ තිබුනා
    ඔයා තව මැජික් එකක් පෙන්නලනේ
    ඇමරිකාවේ මුස්ලිම් අය ලක්ෂ 30ක් ඉන්නව කිව්වත් රටේ මුලු ජනගහනය කෝටි 40 ක් කියන්නේ නැද්ද (0.75%)

    තව ඔයාගේ ජනාධිපතිගේ හුසේන් කෑල්ලට මොකද වුනේ ඒ වගේම බරක් කියලා ලියන්න Q අකුර වෙනුවට K දාන්නේ මොකද

    ආමිෂ්වරු ආමිෂ් නොවන්නන්ට ඉංග්ලිෂ් කීමට සමාන දෙයක් ලංකාවෙත් තියෙනවා ලංකාවේ ප්‍රධාන උළු වර්ග දෙකෙන්
    එකකට රට උළු කියනවා අනෙකට සිංහල උළු කියනවා ඇයි ඒකට දෙමල උළු මුස්ලිම් උළු වැදි නැත්නම් උළු පදු උළු ආචිරි උළු කියන්නේ නැත්තේ
    මේකෙන් කියවෙන්නේ ඇමරිකාවේ ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා කියන එක ඇමරිකාවට එන සංක්‍රමනිකයෝ එක්කෝ ප්‍රධාන සංස්කෘතියට
    එකතු වෙනවා නැත්නම් ප්‍රධාන සංස්කෘතියේ ප්‍රධානබව පිලිගෙන එය සමඟ නොගැටී සිටිනවා

    • arunishapiro said, on දෙසැම්බර් 5, 2013 at 8:26 පෙ.ව.

      jagath pathirana,

      ක්ෂාමා සැවන්ට් ‘මැජික්’ එකක් හැටියට දැක්වූවා යැයි හිතනවා නම් වැරැද්ද මගේ. එයා ගැන ලියූවේ වර්තමානයේ ඇමෙරිකාව වැටිලා තියෙන ආර්ථික දොම්නස් තත්වය පෙන්වන්නයි.

      “නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපනය වසන් කරන්නේ අදක්ෂතන්ත්‍රවාදයයි” යන්න පැහැදිලි කරන්නයි. උගතුන් යැයි කියාගන්නා දැනුම බෙදන ගුරුවරුන් විසින් දුප්පතුන් රවටා තමන්ගෙ බලය තහවුරු කරගන්නා ආකාරය කියන්නයි.

      වැඩියෙන්ම ප්‍රථම උපාධියක් සතු අය ඉන්නා නගර සභාවක දී ඇය ජයග්‍රහණයක් ලැබීමෙන් පෙන්වන වැදගත් කාරණා දෙකක් තියෙනවා. පළමුවැන්න, ලෝකේ බහුතරයක් විදේශීය සිසුන් ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන්න එද්දී මෙහෙ අධ්‍යාපන මට්ටම අඩු යැයි ජනතාව මුලා කරමින් ක්ෂාමා සැවන්ට් වැනි සුළු ජාතික හා කාන්තාවක් වීම යන ජන්මයෙන් වාසනාව ලැබ අර්ථ ශාස්ත්‍රය නොදන්නා අයට අර්ථ ශාස්ත්‍රය උගන්වන්න වැඩියෙන් අවස්ථා පෑදෙන පරිදි මෑත කාලීන රටේ නීති වෙනස්වීම. දෙවැන්න, වැඩියෙන්ම ප්‍රථම උපාධි තියෙන නගර සභාව කිව්වම එහි වැඩියෙන්ම ඉන්නේ සංක්‍රමණිකයන් නිසාත්, ඔවුන්ගේ උපාධි පරිගණක තාක්ෂණය හා ඉංජිනේරු අංශ වලින් ලැබ සිටීම නිසා රටක ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි වැඩි දැනුමක් ඒ අයට නොමැති වීම.

      මෙහි දී හටගන්නා ගැටළුව රටේ ප්‍රධාන සංස්කෘතිය එක්ක ගැටෙන බවක් ගැන නෙමෙයි. රටක ආර්ථිකයක් වැඩ කරන හැටි නොදැන, තමන්ගෙ රටවල් කාබාසීනියා වී යන්නේ මන්දැයි නොදැන, ඒවා හැමදාම දියුණු වෙමින් පවතින රටවල් ලෙසින් පවතින්නේ මන්ද යන්න නොදන්නා “උගතුන්” වැඩ කරන ආර්ථිකයකට තමන් පැමිණියේ මන්ද යන්න නොවිමසා තමන් හැර දා පැමිණි බංකොළොත් වැඩ සටහන් මෙහි ද ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය යැයි කියා සිටීමයි.

      හූසේන් කෑල්ල අත්හැරලා නැහැ. ජනාධිපති දිවුරුම් දීමේ දී ද එය පාවිච්චි කළා. යූ ටියුබ් එකකින් ඒක ඕනෑම වේලාවක බලන්න පුළුවන්. ජනාධිපතිගෙ තාත්තා බරක් ඔබාමා, සීනියර් ඉපදිලා තියෙන්නෙ Baraka Obama නමින්. තාත්තාම තමයි තමන්ගෙ නම Barack හැටියට වෙනස් කරලා තියෙන්නෙ. ජනාධිපති බරක් ඔබාමා ගන්නේ ඒ තාත්තාගේ නම.

      ඔයා පෙන්වන්න හදන භේද මෙහෙ ඇතැයි කියලා සිතන්න මිනිස්සු රවටන්නට, විශේෂයෙන් ම රටට ආපු සංක්‍රමණිකයන් රවටන්නට සමත් වෙන ඩෙමොක්‍රැටික් පක්ෂය “උගතුන්” යැයි කියා ගන්නා සංක්‍රමණික සුළු ජාතික සහ තතු හොයන්න නොදන්නා දුප්පත් ජනතාවගේ චන්ද වලින් තමන්ට වැඩි කාලයක් බලයේ සිටීමට හැකියාව තහවුරු කරගන්නවා.

      ඔයා සුළු ජාතික නියෝජනය අන්තිමයි කියන්න උත්සාහ කරද්දී එය එසේ නොමැති බව පෙන්වන්නට මම කරුණු ගෙනහැර පෑවා. සුළු ජාතිකයන්ට එරෙහි යැයි කියන රිපබ්ලිකන් පක්ෂයෙන්ම. එහෙත් එය නොතකා තව දුරටත් ඇමෙරිකාවේ ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා කියන්න ඔබ හදනවා. රට පටන් ගත් දා පටන් ඊට එකතු වෙන ජර්මන්, අයිරිෂ්, ඉතාලි, පෝලන්ත යනාදී සංක්‍රමණිකයන් තමන් ගෙනා දේවල් නිදහසේ කැමති පරිදි එකතු කරගෙන මිශ්‍රිත සංස්කෘතියක් හැදුවා මිසක් මෙහි මුල් සංක්‍රමණිකයක් ගෙනා පියුරිටන් සංස්කෘතිය සමඟ ඔවුන් නොගැටී සිටියා යැයි කිසිසේත්ම කියන්න බැහැ.

      ඒත්, ප්‍රධාන සංස්කෘතිය හැටියට ඔබ සලකන්නේ ධනවාදය යැයි ලේබල් ඇල වූ ආර්ථික ක්‍රමය නම්!!!! අහා .. එවිට ඔප්පු වෙන්නේ මම මෙම ප්‍රතිචාරයේ මුලින් ම කියපු දේ. නිදහස හා පුද්ගල අයිතිය යන දෙක මත පදනම් වෙන ධනවාදය කුමක් දැයි නොදන්නා සංක්‍රමණිකයන් තම දුප්පත් රටවල් හැර දා මෙහෙ එන්නේ ආර්ථිකය යහපත් කරගන්නට. නමුත් ධනවාදය කුමක් දැයි නොදන්නා නිසාම ඔවුන් හැර දමා ආ රටවල පැවති අසාර්ථක ක්‍රියාදාමය මෙහි ද ක්‍රියාවට නංවන්නට හදනා බලතණ්හාධියන්ට හේත්තු වෙනවා.

      //ඉන්දීය ගෑනුන්ට වැඩි තනතුරු ඒත් බොබී ජින්ඩාල්ට ඉහළ දේශපාලන බලයක් තියෙන ප්‍රාන්ත ආණ්ඩුකාර තනතුර.// කියද්දී මට රිපබ්ලිකන් පක්ෂයෙන් වර්තමාන සවුත් කැරලයිනා ප්‍රාන්ත ආණ්ඩුකාර තනතුරේ ඉන්න ඉන්දීය සීක් සම්භවයක් ඇති, මෙහෙ ඉපදුන, නිකී හේලීව අමතක වුනා –Nimrata Nikki Randhawa Haley. ඉතින්, ඉහළ තනතුරු වලින් රිපබ්ලිකන් පක්ෂයෙන්ම ගෙනහැර පාන නිදසුන් වලින්, කාන්තාවන් කියා හෝ සුළු ජාතීන් කියා හෝ සාමාන්‍ය ජනතාව කිසිදු වෙනසක් කරන්නේ නැහැ. සුදුස්සාට සුදුසු තැන නොලැබෙන ආර්ථිකයට අහිතකර මැදිහත්වීම් සිද්ධ වෙන්නේ හමේ පාට නිසා සහ ස්ත්‍රීන්ට තැනක් දිය යුතුයි කියමින් රාජ්‍ය මට්ටමින් “උගතුන්” කියා ගන්නා අය හදන අහිතකර ප්‍රතිපත්ති වලින් පමණයි. දැන් ඉතින් නීකි හේලිත් බරක් ඔබාමා වගේම මුළු නම පාවිච්චි කරන්නේ නැත්තෙ සංස්කෘතික ගැටළුවක් නිසා කියල ඉතින් ආයේ ඕනෑ නම් කොණක් අල්ලා ගන්න!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: