අරුණි ශපීරෝ‍ වෙතින්

ගෙටිස්බර්ග් ඇමතුමේ 150 වැනි සංවත්සරය සහ මිනොටෝ I රොකට් ලෝන්ච් බැලූ හැටි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 20, 2013

bilde ඒබ්‍රහම් ලින්කන් පැවැත්වූ ගෙටිස්බර්ග් ඇමතුමේ 150 වැනි සංවත්සරය නොවැම්බර් 19 දාට යෙදී තිබුණ. මම ඒ උත්සව නැරඹුවේ නැහැ. ඒ වෙනුවට ඉතිහාසඥයන් තවමත් නිරාකරණය නොගත් ගෙටිස්බර්ග් ඇමතුම සම්බන්ධයෙන් ඇති ගැටළු කිහිපයක් ගැන මේ සටහන ලිව්ව.

නොමිලේ බෙදන නිදහස් නොවන අධ්‍යාපනය හදාරන දරුවන්ට පාසැලේ දී කියා දී තිබුනේ එහි යන දුම්රිය ගමනේ දී ඒබ්‍රහම් ලින්කන් ඒ ඇමතුම කොළයක කුරුටු ගා සකස් කරගත් බවයි. මේරි රේමනඩ් ශිප්මන් නැමැත්තිය විසින් The Perfect Tribute (1906) ප්‍රබන්ධයේ එසේ සඳහන් කළ නිසා බහුතරයක් එය සත්‍යය ලෙසින් සලකන ලද්දහ. සැබෑ පරිසිද්ධි නිරාවරණය කරන්නේ ලින්කන් විසින් ගමන පටන් ගන්නට පෙර එයින් කොටසක් හෝ ලියූ බවයි.

ගෙටිස්බර්ග් ඇමතුමේ අව්‍යාජ යැයි පිළිගත් පිටපත් පහකි. ලින්කන්ගේ ලේකම්වරයන් වූ ජෝන් නිකොලේ සහ ජෝන් හේ යන දෙදෙනාට ඔහු එහි ප්‍රථම පිටපත් දෙක දෙන ලදි. අද ඒ දෙක කොංග්‍රස් පුස්තකාලයේ තැන්පත්. ඒ දෙක ලියැවී ඇතැයි සැලකෙන්නේ ඇමතුම පැවැත්වූ දින වල දී ම ය. ලින්කන් ලියූව ඔහු අතින්ම වෙනස්කම් වලට භාජනය වීම නිසා ඇමතුමෙන් පසුවත් එය ඔහු විසින්ම සංස්කරණය කරන ලදැයි සැලකේ.

තුන්වැනි පිටපත, එඩ්වර්ඩ් එවරෙට් නම් වූ එදා ගෙටිස්බර්ග් වේදිකාවේ ප්‍රධාන ආරාධිත කතාව පැය දෙකක් පුරා (ලින්කන්ගේ මිනිත්තු දෙකේ කතාවට පෙර) පැවැත්වූ අයට ලින්කන් විසින් තෑගි කරන ලදි.

ජෝර්ජ් බැන්ක්‍රොෆ්ට් නම් වූ ඉතිහාසඥයාට හතරවැනි කොපිය ලැබුණ අතර, ඔහුගේ හදාගත් දරුවා වූ ඇලෙක්සැන්ඩර් බ්ලිස්ට පස්වැනි පිටපතක් ලැබුණි. ඒ “අපේ රටේ ලේඛකයන්ගේ අත්සන් ගැසූ පත්‍රිකා” යනුවෙන් එකතුවක් මුද්‍රණය කර සිවිල් යුද්ධයේ සටන් කළ වෙටරන් අයට සහනාධාර එකතු කිරීමට විකුණනු පිණිසයි.

ඒ පිටපත් පහම අතින් ලියැවුණ ඒවා වෙති. එසේම පෑනෙන් සහ පැන්සලෙන් දෙකෙන්ම ලියැවී ඇත.

දැනට ඉතිරි වී ඇති අව්‍යාජ ලෙස සලකන මේ කොපි පහෙන් එදා ලින්කන් ඇමතුම කළේ කුමකින් ද යන්න ගැන තවමත් විවාද කරන අය සිටිති. එහෙත් බහුතර එකඟතාවය එය නිකොලේ හේ වෙත දුන් “හේ කොපිය” යැයි සැලකෙන්න බවයි.

ගෙටිස්බර්ග් ඇමතුමේ 150 සංවත්සරය දා එය යළි කියැවූයේ ජනාධිපති බරක් ඔබාමා විසින්. එහි දී ඔහු “දෙවියන් යටතේ” යන්න ලොප් කළා යැයි සමහරු අවලාද කියනවා ඇහුණි. ගෙටිස්බර්ග් ඇමතුම “ඇහින් දැක්කා”* යැයි කියන අය එදා ඒබ්‍රහම් ලින්කන් “දෙවියන් යටතේ” යැයි කියූ බව ප්‍රකාශ කර ඇතත්, උසාවියක පැවැත්වෙන නඩු අසා ඇති ඕනෑම අයෙක් දන්නා පරිදි “ඇහින් දැක්ක” සාක්ෂි එපමණින් සත්‍යය යැයි සැලකෙන්නේ නැත.

අව්‍යාජ යැයි පිළිගත් ගෙටිස්බර්ග් ඇමතුම් පහෙන් නිකොලේ සහ හේ ඇමතුම් වල “දෙවියන් යටතේ” යන්න ලියා නැත. පසුව පිටපත් කරන ලදැයි සැලකෙන එවරෙට්, බෑන්ක්‍රොෆ්ට් සහ බ්ලිස් පිටපත් වල ඇමතුමේ අවසන “මේ රට, දෙවියන් යටතේ, නිදහසක නව උප්පත්තියක් ලබනු ඇත,” යන්න අඩංගු වේ.

යුදෙව් ක්‍රිස්තියානි බටහිර ජාතිකත්ව කුමන්ත්‍රණයක් ඇතැයි මිථ්‍යා වපුරන බොහොමයක් අය ඇමෙරිකාවේ ආරම්භයේ සිටම “දෙවියන්” පාවිච්චිය ගැන ඇමෙරිකන් නායකයන් දැරූ විවිධ අදහස් විමසා බැලීම නොකරති.

ඊයේ රාත්‍රියේ මිනොටෝ I රොකට්ටුව යවනවා බලන්නට අවස්ථාව මට පෑදුණි. ඩෙලවෙයාර් සිට වොලොප්ස් දූපත පැත්තට යන ගමන් අපිව බලන්න පැමිණි මිනෙසෝටා යහළුවෙක් ද සමඟින් මේරිලැන්ඩ් හි බර්ලින් ගමේ දී රාත්‍රී ආහාරය ගත්තෙමු. පැයක් ඇතුලත ප්‍රාන්ත තුනක ගමන් කරත හැකියාව අපේ කූඩා අර්ධ ද්වීපයේ පිහිටීමයි. වර්ජීනියාවේ මායිමේ පවතින Mid-Atlantic Regional Spaceport වෙත ළඟා වෙද්දී එහි තරමක සෙනඟක් රැස් වී සිටිනු දකින්නට ලැබුණි.

මිනොටා I රොකට්ටුව Orbital Sciences Corporation හි මෙවැනි හයවන නිෂ්පාදනයයි. වොලොප්ස් දූපතෙන් පිටත් කර හරින ලද එවැනි දෙවැනි රොකට්ටුවයි. වැඩිම ගණනක් (29) චන්ද්‍රිකා ගෙන යන්නට සමත්වෙන ඇමෙරිකාවේ තනි රොකට්ටුව හැටියට ද එය විශේෂ තැනක් ගති. තෝමස් ජෙෆර්සන් උසස් පෙළ පාසැල් ළමුන් නිපදවන ලද පළමු CubeSat නොහොත් තමන්ගේම පුද්ගලික කුඩා චන්ද්‍රිකාව ද ඊට අඩංගු විය.

අපිව හෝ අපේ වාහන කිසිදු සෝදිසියකට ලක්වූයේ නැත. සමහර විට නරඹන්නන් සිටි දුරෙන් ඊට කිසි බාධාවක් පමුණුවත නොහැකි නිසා වෙන්නට ද පුළුවන. රොකට්ටුව යවන්නට පෙර රේඩාර් සවිකරන ලද ගුවන්යානා දෙකක් ඉතා පහළින් රවුම් ගැසූහ. එළිය දිස්වෙද්දී පිපුරුමක් ඇසුනේ නැත. ටිකක් ඉහළට නැඟ්ගාම බුම් සද්දයක් එක පාරක් පමණක් ඇසුණි. මුල් වෙන්වීම පියවි ඇසින් දකින්නට ද හැකිවිය.

අපේ මිනෙසෝටා යාළුවා තමන්ගේ අම්මා, බිරිඳ සහ දුව අමතමින් “ඩේවිඩ් සහ අරුණි එක්ක මම ඉන්න තැන,” දැන්වූයේ ඉතා සතුටකින්. අපේ මෙන්ම ඔහුගේ ද මෙය රොකට් යැවීමක් නරඹන ප්‍රථම අත්දැකීමයි. එය බලන්න එකතුකර ගැනීම ගැන ඔහු ඉතා ස්තූතිවන්න විය.

පුංචි කාලයේ යමක් නොලැබීම නිසා දුකින් සිටි මට තාත්තා දුන් අවවාදය මතක් වුණි. ඒ ගැන කණගාටු වෙන්න එපා, කාට හරි ලැබුණා කියන්නෙ ඒක තමන්ටත් ලැබෙන්න හැකි දෙයක් නේද කියලා හිතන්න යැයි ඔහු පැහැදිලි කළේය. ඒවා අයිති අය එක්ක තරහා වෙනවාට වඩා ඒ අය එක්ක යාළු වුනාම තමන්ටත් ලබාගන්නෙ කොහොමද කියලා හොයාගන්න පුළුවන් වෙයි. යාළුවෙන් හිටියොත් අයිති කරගන්නට බැරිවුනත් අඩුගානේ ටික වේලාවකට හරි සෙල්ලම් කරන්න ලැබේවි.

එය නරඹන්නට ගිය අපිව සෝදිසි නොකළාට මේ රොකට්ටුවේ ගිය “පේ ලෝඩ්” එකේ අපිව තවත් පහසුවෙන් සෝදිසියට මොන මොන තාක්ෂණික උපකරණ යවන්නට ඇත්දැයි කතාබහෙන් අපි ගෙදර ආවෙමු.

* William E. Barton ලියූ Lincoln at Gettysburg: What He Intended to Say; What He Said; What he was Reported to have Said; What he wished he had Said (1950) පොතේ පිටු 138-139 හි සඳහන් බව විකිපීඩියාව දක්වයි.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. amalpasanna said, on නොවැම්බර් 20, 2013 at 8:55 පෙ.ව.

    යුදෙව් ක්‍රිස්තියානි බටහිර ජාතිකත්ව කුමන්ත්‍රණයක් අදාල ආන්ඩුවල සෘජු සහයෙන් තිබුණ හැබැයි කාලෙකට කලින්. දැන් තියෙන්නෙ වක්‍රව NGO වලට මූල්‍ය ආධාර දෙන එක. ඒතකොට වෙන රටවල ඔත්තු බැලීමත් කුමන්ත්‍රණකාරී දෙයක් නේද? හැබැයි ඔත්තු බැලීම මුලු ලෝකෙම රටවල් කරනව.
    එතකොට මුලු ලෝකෙම එකම කුමන්ත්‍රණයක් නේද?
    කුමන්ත්‍රණ නවත්තන්න බැහැ තමාගේ රට ගැන හිතල කුමන්ත්‍රණ කරන අයත් යාලු කරගෙන හෝ යාලු වෙන්නෙ නැත්නම් ඔවුන් ගැන කල්පනාවෙන් තමාගෙ ගමන යන එකයි කරන්න ඕන. කුමන්ත්‍රණ කිය කිය උඩපනින එකවත් ඒවයින් දෙශපාලන වාසි ගැනීම නෙවේ.

    • arunishapiro said, on නොවැම්බර් 20, 2013 at 7:56 ප.ව.

      amalpassana,

      //යුදෙව් ක්‍රිස්තියානි බටහිර ජාතිකත්ව කුමන්ත්‍රණයක් අදාල ආන්ඩුවල සෘජු සහයෙන් තිබුණ හැබැයි කාලෙකට කලින්.// මොකක් ද මේ කුමන්ත්‍රණයේ පරමාර්ථය? දැන් ඒ ඍජු කුමන්ත්‍රණ අවසන් වෙලා ඇයි වක්‍ර කුමන්ත්‍රණ කරන්නෙ ඔයගොල්ලො දැනට වඩා වැඩියෙන් බනියි කියලා බය නිසා ද?!!!!!!

      ලංකාවේ ඇමතිවරයෙක් කියනවා යුරෝපයේ ආර්ථිකය කඩා වැටෙන තත්වයක තියෙනවා කියල. ඒත් ජර්මනිය තියෙන්නෙ යුරෝපයේ බව එයා නොදන්නවා වෙන්න බැහැ.

      අද ඇමෙරිකාවට ජවයක් නැතැයි කියනවා. මිලියන 314 ක් පමණ මිනිස්සු ඉන්න ඇමෙරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 16 කට වැඩියි කියලා නොදන්නවා වෙන්න බැහැ. බිලියන 1.3 ක් මිනිස්සු ඉන්න චීනයට වඩා එය දෙගුණයකටත් වැඩියි කියලා නොදන්නවා වෙන්නත් බැහැ. බිලියන 1.2 ක් මිනිස්සු ඉන්න ඉන්දියාවේ මිලියන 800 ක් නොහොත් ජනගහණයෙන් 65% ක් තවමත් ජීවත්වෙන්නේ දිනකට $2 කට වඩා අඩු වැයකින් බව නොදන්නවා වෙන්න බැහැ.

      ලෝක බල තුලනයේ සීඝ්‍රයෙන් ඉදිරියට යන රටවල් බවට ඉන්දියාව සහ චීනය පත්වෙලා යැයි එයා කිව්වට ඇමෙරිකාව ඒ රටවල් වලින් බඩු ගන්න එක අඩු කරද්දී ඇමෙරිකාවට වැඩියෙන්ම බඩු විකුණන ලංකාව වගේම ඒ රටවල් තමන් නිෂ්පාදනය කරන බඩු කාට ද විකුණන්නෙ කියලා දන්නෙත් නැතිවා වෙන්න බැහැ. එතකොට මැදපෙරදිගට යවන ලංකාවේ පිරිමි කොච්චර වැඩි කරන්න වෙයි ද? තව චීනෙන් කොච්චර ඉහළ පොලී වලට ණය ගන්න වෙයි ද?

      කෝ කොච්චර ඔත්තු බැලුවත් තමන් එක දෙයක් හරි කළා යැයි ඉතිහාස ගතවෙන්න හදපු ඔබාමා සෞඛ්‍ය සේවාවේ වෙබ් අඩවිය වැඩ නොකරාවි කියලා බරක් ඔබාමා දැනගෙන හිටියෙත් නැහැල්ලු!!!!!

      බලයෙ ඉන්න කියන ඒ කතා වලින් තමන්ගෙ රටේ මිනිස්සුන්ව රවටලා, මහන්සි වෙලා ජීවිතය සාර්ථක කරගන්න හදන තමන්ගෙ රටේ මිනිස්සුන්ටම ණය බර වැඩි කරලා බදු බරත් වැඩි කරනවා. ඒකට අකමැති වුනාට ඒ මිනිස්සුන්ම බලහත්කාරයෙන් අපේ ආණ්ඩුව අපේ බදු මුදල් කපාගන්නවාට කැමතියි.

      අපේ මුදල් උදුරාගන්න මෙහෙ ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නැත්නම් NGO හරහා ආධාර වෙන රටවල ආණ්ඩු වලට බෙදන්න බැහැනෙ. එතකොට NGO දුවන්නෙ මිනිස්සු කැමැත්තෙන් තෑගි කරන මුදල් වලින් විතරයි. ආණ්ඩුවකට එතකොට ඍජුව නෙමෙයි වක්‍රව කුමන්ත්‍රණ කරන්නත් බැහැ.

      ලෝකෙ ආණ්ඩු හැම එකක්ම නියැළෙන එකම කුමන්ත්‍රණය නම් ජනතාවට වඩා හොඳින් ඔවුන්ගේ ජීවිතය යහපත් කරන හැටි තමන් දන්නවා කියමින් බොරුවෙන් හා මුලාවෙන් ජනතාව රවටමින් පාලකයන් හැකිතාක් කාලයක් බලයේ ඉන්න හැදීම. සමහර රටවල් වල ජනතාව පහසුවෙන් රැවටෙනවා. අනිත් රටවල ජනතාව එච්චර පහසුවෙන් රවටන්න බැරිකම තමයි සුළු වෙනසකට තියෙන්නෙ.

      • amalpasanna said, on නොවැම්බර් 21, 2013 at 1:22 පෙ.ව.

        ඇත්තටම ඇයි ඇමෙරිකාව ලංකාවට මානව හිමිකම් පරීක්ෂන කරන්න යොජනාවක් ගෙනාවේ? ඔබට හිතෙන්නෙ කොහොමද?සමහරු කියනව ලංකාවෙ රාජත්‍රාන්තික දුරුවල කම කියල. දෙමළ ඩයස්පෝරාවෙ බලපෑම් නිසා කියනව. අනෙත් අය සුපුරුදු පරිදි කුමන්ත්‍රණ කියනව.
        ‍බොදු බල සේනා NGO එකෙනුත් දැනුවත් කරන්න ඇමෙරිකා ආව කියුවට ආධාර එකතු කලා කියල තමයි දැනගන්න ලැබුනෙ. ඒ ගැන මුකුත් විස්තරක් දන්නවද ඔයා?

        • arunishapiro said, on නොවැම්බර් 22, 2013 at 8:36 පෙ.ව.

          amalpasanna,

          සමාජවාදීන්ම තමයි මානව හිමිකම් ගැන උලුප්ප උලුප්පා කතාකරන්නෙ. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වුනත් හැබැයි ඒ අයට අනුව ලෝකයේ ආණ්ඩු නෙමෙයි මහා පරිනාමනයෙන් මානව හිමිකම් උල්ලංඝණය කරලා තියෙන්නෙ, පුද්ගලික ව්‍යාපාරිකයන් විසින්. ඉතින් එහෙම මානව හිමිකම් ගැන කෑ ගහන සමාජවාදීන්ගේ අරමුණ ආණ්ඩුවට බලය වැඩි කරන්න මානව හිමිකම් ආරක්ෂා කරන්නටය කියල. එහි ක්‍රියාවක් තමයි තමන් වෙළඳ ගණුදෙනු කරන රටවල් මානව හිමිකම් උල්ලංඝණය කරනවා දැයි සොයා බලල එහෙම කරනවා නම් ඒ රටවල් එක්ක ගණුදෙනු නැවැත්වීම.

          ඇමෙරිකාව තමයි ලංකාවේ බඩු වැඩියෙන්ම මිල දී ගන්න රට.

          ඒ නිසා ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයක් වේ නම් ලංකාව සමඟ ගණුදෙනු කරන්න එපාය යන බලපෑම ඇමෙරිකාවට එල්ල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

          කැනඩාවේ දෙමළ ඩයස්පෝරාවට ඇති දේශපාලන ශක්තිය ඇමෙරිකාවේ එහෙම පිරිසකට නැහැ.

          මම දන්නෙ ඔය කියන අය ඇවිත් මෙහෙ දී කුකුල් මස් කෑවා කියල විතරයි. එහෙම පින්තූරයක් නම් දැක්ක.

          • amalpasanna said, on නොවැම්බර් 23, 2013 at 1:55 පෙ.ව.

            ඒ කියන්නෙ දක්ෂිනාංශික ආණ්ඩුවක් බලය ඇල්ලුවොත් මෙහෙම මානව හිමිකම් උලුප්පන එකක් නැද්ද?
            නොර්වෙ,එංගලන්තෙ,ඩෙන්මාර්,ස්විට්වර්ලන්තෙ,ජර්මනිය වගේ රටවල් හිමිකම් උලුප්පන්නෙ යුරෝපා සංගමේ ඉන්න නිසාද දෙමළ ඩයස්පෝරාවෙ බලපෑම් නිසාද?
            ඇමරිකා ඊස්රායලය,ඉන්දියාව වගේ රටවල් එක්ක ගොඩක් ගණුදෙනු කරනවනෙ ඒ රටවලත් ඔය කියන විදියෙ මානව හිමිකම් කඩ වෙනවනෙ ඒ රටවල් ගැන මානව හිමිකම් හොයන්නෙ නැත්තෙ ඇයි?
            (මම කිසිම රටකට චෝදනා කරනවවත් දෙබිඩි පිලිවෙත් ගැනවත් නෙවෙයි කියන්නෙ. දැනුම තියන කෙනෙක් ගෙන් ප්‍රශ්න ටිකක් අහන්නෙ)

            • arunishapiro said, on නොවැම්බර් 23, 2013 at 11:13 පෙ.ව.

              amalpasanna,

              ඇමෙරිකාවේ දක්ෂිණාංශ ආණ්ඩුවක් ආවත් නැත්නම් වාමාංශික ආණ්ඩුවක් ආවත් ඒත් මානව හිමිකම් ගැන කතාබහ සිද්ධවීම නැවතෙන්නේ නැහැ.

              කොයි රටක වුනත් මොන ආණ්ඩුවක් ආවත් පෙන්වන්න හදන්නේ ඔවුන් මානව හිමිකම් ආරක්ෂා කරන බවයි. වැරැද්ද මානව හිමිකම් කියන එක ඒ ඒ අය තම තමන් කැමති විදියට නිර්වචනය කරන එකයි.

              අර magenama කළින් දැමූ ප්‍රතිචාරය බලන්න. වාමාංශික //වෙනිසියුලාවේ ජනපති නිකලස් මදුරෝ තමන්ගේ බලතල වැඩි කරගැනීමේ වෑයමක.හේතුව දුෂණ පි‍ටු දැකීම,බඩු මිල අඩු කිරීම.// එයත් පිළිගන්න අය ඉන්නවා.

              ඔස්ට්‍රේලියාවේ වර්තමාන අගමැති ටෝනි ඇබට් නැමැත්තාට කළින් හිටපු අගමැති කෙවින් රඩ් ගේ පාලන සමයේ ඉන්දුනීසියාවේ පාලකයන්ගෙ මොබයිල් දුරකතන වලට හොරෙන් සවන් දීලා යැයි හෙළි වෙද්දී එය වැරැද්දක් විදියට වර්තමාන අගමැති ද සලකන්නේ ද නැහැ.

              ජපානයේ යටත් විජිත නිලධාරියෙක් වූ Hirobumi Ito මරා දැමූ කොරියානු වීරයා Ahn Jung-guen සමරන උත්සවයක් පවත්වන්නට දකුණු කොරියාවට චීනය උදව් කළාම එය වැරැද්දක් විදියට දකින්නෙ ජපානය විතරයි. ජපනුන්ට අනුව කොරියන් වීරයා අපරාධකරුවෙක්.

              //ඇමරිකා ඊස්රායලය,ඉන්දියාව වගේ රටවල් එක්ක ගොඩක් ගණුදෙනු කරනවනෙ ඒ රටවලත් ඔය කියන විදියෙ මානව හිමිකම් කඩ වෙනවනෙ ඒ රටවල් ගැන මානව හිමිකම් හොයන්නෙ නැත්තෙ ඇයි?// වර්තමාන ලංකාවේ තරම් ඒ රටවල් වල මානව හිමිකම් කඩ නොවෙන නිසා. අනෙක ඒවා නිෂ්පාදනයේ යෙදෙන රටවල් මිස තනිකරම ලෝක ණය හෝ සහනාධාර වලින් දුවන රටවල් නොවන නිසා. අනුන්ගෙන් ණයට අරන් කාලා තමන්ගෙ ගෙදර ඉන්න අයට පාට් දාන අයට කවුරුත් කැමති නෑ.

  2. magenama said, on නොවැම්බර් 20, 2013 at 11:53 ප.ව.

    අනේ ඔය කුමන්ත්‍රණ කතා මෙහේ කතා කරන්නේ අවධානය වෙනතකට හරවන්න.(මාත් චෙස් අදිද්දි ඔය වගේ වැඩ බෝඩ් එක උඩ කරනවා ප්‍රතිවාදියගේ අවධානය වෙනතකට හරවන්න)

  3. Pradeep Jayatunga said, on නොවැම්බර් 21, 2013 at 2:04 පෙ.ව.

    Have you written on the “freedom of Imagination” in the West? If someone makes a movie like “A. Lincoln the vampire Hunter” about an Indian subcontinent national hero, there’ll be hell to pay!

    • arunishapiro said, on නොවැම්බර් 21, 2013 at 9:19 පෙ.ව.

      Pradeep Jayatunga,

      ඔව් ඒ ගැන ලියලා තියෙනවා ගොඩක්.

      හිටපු අය ගැන නෙමෙයි බලයේ ඉන්න අය ගැනත් අදහස් දක්වන්න නිදහස ආරක්ෂා කරලා දුන්නෙ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදපු අය. ඒක හෙමිහිට කප්පාදු කරන එක පිරිසක් තමයි ක්ෂාමා සැවන්ට් වැනි සංක්‍රමණිකයන් සහ මෙහෙත් ඉන්නා එහි වැදගත්කම කුමක් දැයි කියා නොදෙන මෙහෙත් පොදු ජනතාවට බෙදන අධ්‍යාපනයෙන් පෝෂණය වෙලා හැදෙන අය.

      http://content.bitsontherun.com/previews/asPfJdRo-OwlNfjNX


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: