අරුණි ශපීරෝ‍ වෙතින්

පොදු ජනතාව වෙනුවෙන් ගෙනෙන විනාශකාරී මාස්ටර් සැලසුම්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 21, 2013

දේශපාලකයා තමනට බලය අල්ලා ගන්නට සහ අල්ලා ගත් බලයේ හැකිතාක් කාලයක් ඉන්නට කතා කරන්නේ ඔබටයි. පොදු ජනතාව යන හැඳින්වීමෙන් ඔබ වෙනුවෙන් ගෙනෙන පිළිවෙත් යැයි පෙන්නා ඔබේ බදු සහ ණය බර වැඩි කරයි. ඔවුන්ගේ ළඟම හිතවතුන්ට වැඩියෙන් ලොකු කෑලි බෙදා මේ මහා මුලාව පෝෂණය කරන අය වෙත කටුවක් දෙකක් විසිකරයි. ඉහළ අය ලොකුවට කරද්දී පහළ අය පොඩියට කරති.

ඔවුන්ගේ හිතවතුන් කරන විසාල ආයෝජන යනු ව්‍යාපාරික දැනුම මත බිහි වූ ඒවා නොවන බව ඔබ අත්දකින්නේ අගාධයේ අගිස්සට ගියාමයි. එහෙත් සිද්ධ වූයේ කුමක්දැයි ගැන අවබෝධයක් ඔබට නැත. මන්ද, පොදු ජනතාවට බෙදන අධ්‍යාපනයේ දැවැන්ත මදිපාඩුකම් හැමදාම සංශෝධනය කරන්නේ උවමනාවෙන්ම ඔබේ ගමනාන්තය එසේ සැලසුම් කළේ කවුරුන්දැයි ඔබෙන් වසන් කරන්නටයි.

යුරෝපීයයන් අන්තර්ජාලයෙන් වැඩි නිදහසකින් සූදු කෙළියේ යෙදෙන්නට යුරෝපීය යුනියනයෙන් අවසර ලබාගන්නට වෙහෙසෙද්දී, චීන්නුන්ට තවමත් දරුවන් එකෙක් වදන්නේ ද දෙන්නෙක් වදන්නේ ද යන්න පවා මහජන චීන සමූහාණ්ඩුවේ සුළු පිරිසක් රහසේ පවත්වන කමිටුවකින් ගතහැකි තීරණයක් වෙද්දී, සූදු කෙළින්නට ලංකා කැසිනෝ වලට බදු නිදහස හා ව්‍යාපාර සහන යෝජනා කරන්නේ ඔබේ සුවසෙත සලසන නාමයෙනි.

මෙතෙක් කාලයක් සුන්දර පරිසරයක් බලන්නට ඇදී ආ සංචාරකයන් වෙනුවට සූදු කෙළින්නට එන රට්ටු වෙතින් රටට විසල් ආදායමක් උපයන්නට හැකි යැයි ඔවුන් කියති. එහෙත් ලංකාවේ ආණ්ඩුවේ වරප්‍රසාද සහ රැකවරණය නොලබා දියුණු කරගත් කැසිනෝ හලක් රටේ නැත. පොදු ජනතාව අතර කැමති සියල්ලන්ටම කැසිනෝ ව්‍යාපාර කරන්නට නිදහසක් දුන්නා නම් එම ව්‍යාපාරය ලාභ ලබත හැකි අංශයක්දැයි සත්‍යයෙන්ම දැනගත හැකියි. එහෙත් ඒ වෙනුවට රටේ මහපුටුවේ පින්තූර දෙකක්ම එල්ලා ගත් වාසනාවෙන් නොව මාස්ටර් සැලසුමෙන් (Master Plan) සුපිරි ධනවතෙක් වූවාට සුවිශේෂී සහන ලැබෙන්නේ ඔබ වෙනුවෙන් කියා ගෙනෙන සැලසුම් වලිනි.

කටුවක් දෙකක් අපේ පැත්තට විසිවෙනවා නම් පාලකයා මස් කුට්ටිය තියාගත්තාට කමක් නැතැයි හිතන්නට අධ්‍යාපනයෙන් හදා වඩා ඇති පොදු ජනතාව, නොමිලේ ලැබෙන නිදහස් නොවූ අධ්‍යාපනය හදාරන්නට නවාතැන් ගාස්තු අඩුකරන්න යැයි ඉල්ලා පෙළපාලි යති. තමන්ට කටුවක් විසිකරන්නට යැයි උද්ඝෝෂණයෙන් ඉල්ලන්නේ තමන් ද සාමාජිකයෙක් වූ පොදු ජනතාවගේ බදු බර හා ණය බර වැඩි කරන්න කියා යැයි බව ඔවුන් නොදකිති. ඇයි තමන්ට ඉල්ලද්දී තමන් පොදු ජනතාව වෙන අතර අනුන්ගෙන් උදුරා ගනිද්දී තමන් රටට නැතිවම බැරි විශේෂ අය වෙන හෙයිනි.

චෝගම් නාඩගම කාලයේ දී හෝටල් ගාස්තු කුමක් විය යුතුදැයි තරු ගණන අනුව තීරණය කළ ආණ්ඩුව නිසා නොහොත් නිදහස් වෙළඳපොලට මැදිහත්වීම් කරන්නට මාස්ටර් ප්ලෑන් හදන්නට දන්නා අය සිටිනවා යැයි සිතන නිසා, ඒ හෝටල් වලට පාඩු විඳින්නට සිද්ධ වූ බව ඔබ නොදකියි. මේ පෙළපාලි යන උගතුන් යනු දිගින් දිගටම පොදු ජනතාවට සේවයක් කරනවා යන මුලාවෙන් පොදු ජනතාවගෙන් යැපෙන්නට බලා සිටිනා රොත්තක් බවත් ඔබ නොදකියි.

“මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි, අපි කතා කළේ පණ ගැහි ගැහි දණින් වැටී,” යැයි සිංදු පද රටේ බහුතරයක් දන්නා විට, එදා පිරිසක් දොන් ජුවාන් ලා වෙමින් වස්තු ගොඩගසා ගත් සැටි සහ තවත් පිරිසක් සුද්දාට එකතු වී පොදු ජනතාවට විනාශකාරී සැලසුම් හැදූ හැටි කියන පොදු ජනතාවගේම ඉතිහාසය දන්නේ කී දෙනාද?

එදා සුද්දාට එල්ල වූ අප්‍රසාදය වෙන රටවල් වලින් මතු වී රැල්ල පෙරළෙද්දී ලංකාවේ ජනතා ව්‍යාපාරයන් හි නායකයන් වූයේ කවුද?

හිමිතැන කුමක්දැයි නොදැන හිමිතැන ඉල්ලා උද්ඝෝෂණයේ යෙදීමෙන් ඵලක් ඇත් ද?

ඉහළ අයට මස් කුට්ටි, මුලාව වපුරන අයට මස් කටු සහ ඔබට ණය හා බදු බර යනු ඔබ හැමදාම ඉල්ලන හිමිතැන ද?!!!!!!!

රැල්ල යන අතට හැරෙමින් පොදු ජනතාවට සුවසෙත සලසන නාමයෙන් පාලන බලය අල්ලා ගන්නට සමත් වලව්කාරයන් වෙතට “පණ ගැහි ගැහි දණින් නැවී, මාස්ටර් සර්, මට හිමිතැන මට දෙනවාදෝ,” කියමින් තවත් හඬා වැළපෙන්නට සිද්ධ වී ඇත්තේ මන්ද?

නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපනයෙන් ඔබව නොමග යවා ඔබේ චන්දය ලබාගෙන පොදු ජනතාවක් වෙනුවෙන් කියමින් ඔවුන්ගේ බඩ තඩි කරන සැලසුම් දිගින් දිගටම හදති. සමාජයක් යනු ඒකීය පුද්ගලයන් පිරිසක් විසින් හැදුනක් බව අවබෝධයට, ඒ නිදහස් නොවූ අධ්‍යාපනය නොමිලේ බෙදන අය, ඉඩක් නොදෙති. බඩ තඩි කරගත් පාලකයන් වෙතින් විසිවෙන මස් කටුවකින් සෑහීමකට පත් වී සොච්චම් බලය හොයන තක්කඩියන් එහෙත් දිගින් දිගටම චන්දය ගන්නට අමතන්නේ ඔබටයි. හැමදාම පාවා දෙන්නේ ද ඔබවයි.

ආර්ථිකය ගැන නොව අපි අවධානය යොමු කළ යුත්තේ පොදු ජනතාවගේ මානසික දියුණුව ගැනයි කියන පිරිසක් එහෙත් එල්ල කරන්නේ ඔබෙන් උදුරාගෙන බඩ තඩි කරගන්නා පාලකයන්ට වැදෙන පහරක් නොවේ. ඒ පහර නිසා අඩුවෙන්නේ වෙහෙසී උපයා ගත් පොදු ජනතාවෙන් එකෙක් වූ ඔබේම මුදල් හා තැන්පතු වල අගයයි. විශ්‍රාම යන්නට ලැහැස්ති වෙද්දී එකතු කරගත් ධනයෙන් කන්න බොන්න ඉන්න හිටින්නට පවා මදියි දකිද්දී ඔබ අගාධයේ අගිස්සට පැමිණ සිටියි.

ඒකීය පුද්ගලයා සිය ශ්‍රමයෙන් දායක වන්නට තෝරාගත් කොටස නිම කළොත් පමණක් නිෂ්පාදනයක් බිහිවෙනවා මිසෙක හැමෝම දායක වූ බැවින් ඉබේම බිහිවෙන නිෂ්පාදන ලොව නොමැත යන දැනුම නොමිලේ බෙදන නිදහස් අධ්‍යාපනයෙන් නොදේ. ඒ හේතුවෙන් මාස්ටර් ප්ලෑන් හදන මාස්ටර් සර්ලා අවශ්‍ය යැයි විශ්වාසය ඔබ තුල පැලපදියම් කර ඇත. ඉතින් අගාධයේ අගිස්සට ඉතා කැමැත්තෙන් දක්කාගෙන යා හැකි මිනිස් බැටළුවන් පිරිසක් පෝෂණය කරන්නට ඔබ විසින්ම විනාශකාරී සැලසුම් හදන බලය පොදු ජනතාවට සුවසෙත සලසන නාමයෙන් බලයේ ඉන්නට රිසි සුළු පිරිසකට පවරා දී ඇත.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on නොවැම්බර් 22, 2013 at 12:00 පෙ.ව.

    එදා මාක්ස්ලාගේ, ලේනින්ලාගේ, ට්‍රොට්ස්කිලාගේ, බාප්පොච්චිලා වගේ කතාකල උන්නැහෙලාත් අද ‘චොගම් බයිලා’ නටන හැටි බලන විට උන්ගේ මූනට කෙල ගැහුවත් අහිමි වෙන්නේ අපේම් කෙල ටික විතරයි කියා සිතේ.

  2. magenama said, on නොවැම්බර් 22, 2013 at 12:28 පෙ.ව.

    මේක නම් නියමම කතාවක්.ඔය ලංකාවේ තිබ්බ උද්ඝෝෂණය cowboy විසින් බැටළුවන් පිරිසක් මෙහෙයවනවා cowboyට එරෙහිව කෑගහන්න.මොකද කෑලි පිට් කිරීමේ ක්‍රමයට cowboy බඩු දෙනවා ලබන අවුරුද්දෙදි.එතකොට අන්තිමට කවුද වීරයා? cowboy.
    මේ අතර
    වෙනිසියුලාවේ ජනපති නිකලස් මදුරෝ තමන්ගේ බලතල වැඩි කරගැනීමේ වෑයමක.හේතුව දුෂණ පි‍ටු දැකීම,බඩු මිල අඩු කිරීම.(මෙව්වට හිනා වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ.)

    • arunishapiro said, on නොවැම්බර් 22, 2013 at 8:30 පෙ.ව.

      magenama,

      ඔයාට තියෙන අවබෝධය ඇති 1% ක දැන් ගිරයට අහුවෙච්ච පුවක් වගේ අහුවෙලා ඉන්නෙ ඒ ගැන කිසිම අවබෝධයක් නැති 99% ට කියලා කතාවක් කොහේදෝ හරි දැක්කා.

      දන්නවා ද මාත් දැන් “ඇමෙරිකන් කවු ගර්ල්” කෙනෙක්ලු!!! ඒත් එතැන cowgirl කියද්දී හාස්‍යයට ලක් කිරීමක් පමණයි!!!! මේ දවස්වල ඇෆගනිස්තානයේ මොහොමඩ් කාසායි ද ඔබ කියන උද්ඝෝෂණයේ … බිලියන ගණනින් නිදහස ආරක්ෂා කරගන්න කියලා ඇමෙරිකාවෙන් තව කොච්චර කාලයක් ඔය ක්‍රමයෙන් සල්ලි ඉල්ලා ගන්න පුළුවන් වෙයි ද දන්නෑ ඔය ඒකාධිපතියන්ට. 😀

  3. amalpasanna said, on නොවැම්බර් 22, 2013 at 2:31 පෙ.ව.

    ලොකයේ සෑම දියුණු රටකම අඩිතාලම තමයි අධ්‍යපනය. ඒක පාලනය කරන්න ඕන අධ්‍යපනය පාලනය කල යුත්තෙ කෙසේද පිලිඹඳ සුවිශේෂී අධ්‍යපනය ඇති ස්වධීන පුද්ගලයින් නැතුව දේශපාලකයො,පූජකයො,ආගමික කන්ඩායම් නෙවේ. මොකද ඒ අය ස්වධීන පුද්ගලයින් නෙවේ. එහෙම ස්වධීන පුද්ගලයින් අධ්‍යපනය පාලනය කරන්න ඕන කියල තේරෙන දවසක් එනකම් අදාල රට යන්නෙ වල පල්ලට. මොකද වහල් අධ්‍යපනයකින් ස්වධීන පුද්ගලයින් බිහිවෙන්නෙ නැහැ බිහිවෙන්නෙ වහලෙක් නැතහොත් ඔබේ භාෂාවෙන් බැටලුවෙක්. ලොකුම විහිලුව තමයි තමාගෙ ඉලක්කයට (නිවනට) ස්වධීනවයි යන්න ඕන කියල කියපු බුදුන් අදහන 75% ඉන්න රටේ වහල් අධ්‍යපනයක් තිබීම.

  4. Pradeep Jayatunga said, on නොවැම්බර් 22, 2013 at 5:00 පෙ.ව.

    කටුවක් දෙකක් අපේ පැත්තට විසිවෙනවා නම් පාලකයා මස් කුට්ටිය තියාගත්තාට කමක් නැතැයි හිතන්නට අධ්‍යාපනයෙන් හදා වඩා ඇති පොදු ජනතාව,
    Have you noticed another phenomenon?
    In the west people are very concerned about private lives of public figures, to the extent that public figures are compelled to resign when caught in a scandal. But, in their own lives (and about other ordinary peoples’ lives) people are not prudish at all.

    In SL people are prudish about themselves, neighbours, friends and relatives. But, they are very tolerant about public figures. Their scandals (e,g. extra-marital affairs) are ignored and sometimes even admired by the people! Is it because our people think rulers are a different species superior to themselves? Feudal mentality?

    Why are people in the West so prudish when it comes to persons holding public office? Why do private lives of public figures matter so much to the people?They want rulers to be better than themselves even in private?

    In West. rulers have to behave better than general public?
    In SL rulers are anyway better than the ruled and as a result exempt from common conventions?

    • arunishapiro said, on නොවැම්බර් 22, 2013 at 8:44 පෙ.ව.

      Pradeep Jayatunga,

      බටහිර රටක මහජන ජීවිතයක් ගෙවන්නා එයින් ආදායමක් උපයා ගන්නා නිසයි ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන ඇති අවධානය වැඩි.

      ලංකාවේ අය හිතන්නෙ මහජන ජීවිතයක් ගෙවන්නෙක් වූ පමණින් ඕනෑම පුද සත්කාරයක් එබැවින්ම හිමි විය යුතු යැයි කියා. ඔව්, මාත් හිතන්නේ ඒ වැඩවසම් චින්තනය තවමත් ඇදගෙන යන නිසා කියා තමයි.

      ඊ ළඟ සටහනෙන් කියවන්න ඇයි මහජන ජීවිතයක් ගෙවන්නාගේ චරිතය ගැන මේ තරම් අවධානයක් දක්වන්නට හේතුව කුමක්දැයි කියා.

  5. amalpasanna said, on නොවැම්බර් 22, 2013 at 11:32 පෙ.ව.

    //දියුණුවට යා හැකි අඩිතාලම මිනිසාට ඇති පුද්ගලික නිදහසයි.//
    මේකෙ “පුද්ගලික නිදහසයි” කියල අදහස් කල දේ ‍තව ටිකක් පැහැදිලි කලොත්?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: