අරුණි ශපීරෝ‍ වෙතින්

මැන්ඩෙලා කියා පමණක් සොහොනේ ලියන්න

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 9, 2013
Image by: Simon Mathebula

Image by: Simon Mathebula

නෙල්සන් මැන්ඩෙලා ගරිල්ලා සටන්කාමී සංවිධානයක් වූ Umkhonoto we Sizwe හි සම නිර්මාතෘවරයෙකි. සමාජයේ සාධාරණත්වයක් නොමැත්තේ ධනේශ්වර ක්‍රමය නිසා යැයි මුලාවුවන් අතරේ මැන්ඩෙලා ද දකුණු අප්‍රිකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ එකතුව වැඩ කරන ලදි. ඒ සංවිධාන දෙකම අපාතීඩ් දකුණු අප්‍රිකානු පාලකයන් විසින් තහනම් කරන ලදහ. ඉල්ලුමක් ඇති නිසා හටගන්නා ඕනෑම දෙයක් ආණ්ඩුවක් තහනමක් ගෙනා පමණින් අතුගා දමන්නට නොහැකි බව නැවතත් ලෝකයට ඔප්පු කෙරිණ.

මූලධන අයිතිය හා ශ්‍රම සැරිසරණයට බාධක දැමීමෙන් අපාතීඩ් පවත්වා ගෙන ගිය දකුණු අප්‍රිකාවේ තිබුනේ වර්ණවාදී මුහුණුවරකින් එළිබහින ලද ආර්ථික පාලන සැලසුමකි. නුපුහුණු කළු හමැති දකුණු අප්‍රිකානුවන්ව ඔවුන්ට ලබාගත හැකි ආර්ථික දියුණුවෙන් අයින් කිරීමේ යෙදී සිටියේ ධනේශ්වර පංතියේ සුදු අෆ්‍රිකානර්ස්ලා නොවේ. එම ක්‍රමය නිර්මාණය කරන ලද්දේ වැඩ කරන පංතියේ සුදු ශ්‍රමිකයන් විසින් බව පෙන්වා දෙන්නේ තෝමස් ඩබ්ලිව්. හැස්ලිට් විසිනි.

සුලුතරයක් වූ සුදු අෆ්‍රිකාන ශ්‍රමිකයන් අඩු වැයෙන් සැපයෙන මහා ප්‍රමාණයකින් වූ කළු අෆ්‍රිකාන ශ්‍රමයට එරෙහිව, පතල් කැනීම් සඳහා දුර බැහැර යෑමට තහනම් වැනි කූටෝපායන් හි යෙදෙන්නේ 1890 වැනි කාලයේ සිටයි.

පතල් අයිතිකරුවන් වර්ග භේදයකින් තොරව කම්කරුවන් බඳවා ගන්නේ ද ඒ පතල් හි ශ්‍රමික වැය අඩු වෙයි. කළු හමැති අය විවිධ කර්මාන්තයන්ට කුසලතා වර්ධනය කරගනිද්දී තව දුරටත් ඒවා සඳහා සුදු අයවම වැඩි මිලකින් බඳවා ගැනීමට අවශ්‍යතාවයක් ව්‍යාපාරිකයන්ට නැත.

නිදහස් වෙළඳපොල තරඟයට අකමැති අය හැම විටම කුමක් හෝ භේදයක්, නැත්නම් කුමන හෝ පීඩිත පංතියක් මුල්කරගෙන සියල්ලන් අතර සාධාරණ තරඟය අවහිර කරන්නට මාර්ග සොයති.

එවැනි ක්‍රියා පටිපාටියක යෙදුනු සුදු හමැති අෆ්‍රිකාන වෘත්තීය සමිති වලට රෙගුලාසි සහ නීති පැනවීමට ලැබුණ ජයග්‍රහණය නිසා අපාතීඩ් බිහි වූ බව නොවැටහෙන්නේ හැමදාම වෙළඳ ව්‍යාපාරිකයන් කවුදැයි වටහා ගන්නට උත්සාහ නොගන්නා, දේශපාලකයන්ට හේත්තු වුනු එද්දලයන් පමණක් වෙළඳ ව්‍යාපාරිකයන් යැයි පෙන්වා හංවඩු ගහන අයයි.

එම විස්තරය Apartheid නමින් ඇති මේ ලිපියෙන් ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

කොමියුනිස්ට් සහ සමාජවාදී සමාජ දැක්මක් ඇති දේශපාලන වෑයමක් තහනම් කිරීම දේශපාලනමය පරාජයකි. 1920 ගණන් වල දී ම අසාර්ථක යැයි ඔප්පු කරන්නට හැකි වූ ක්‍රමයක් පරාජයට හැකිවන්නේ ජනතාව දැනුවත් කිරීමෙන් පමණකි. දැනුවත් ජනතාවට ඔවුන්ගේ තෝරා ගැනීමට ඉඩ සැලසීමෙන් පමණකි.

අනෙකෙකුට හිංසා කිරීමට ත්‍රස්තවාදීන් සංවිධානය වෙන්නේ ද එය නීතියෙන් තහනම් කිරීම සමාජයක සාධාරණත්වය සලසන එකම ක්‍රමයයි. ඕනෑම ආණ්ඩුවක එකම කාර්ය භාරය එයයි.

ලෝක ඉතිහාසය කියවා නැති බහුතරය ලොව කොමියුනිස්ට් සමාජ පිහිටුවන ලද්දේ සටන්කාමී ලෙසින් සහ බලය අල්ලා ගත් පසු නීතිමය විලාසයකින් ගෙනා ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයකින් බව නොදකිති. ධනේශ්වරය සිය ලට්ට ලොට්ට සමඟ කොමියුනිස්ට් බවට හැරෙන්නට පෙර ඒ රටවල් වලින් පැන යද්දී තෝරාගැනීමකට අවස්ථාවක් නොතිබුණ දුප්පත් කම්කරුවන් කොමියුනිස්ට් සහ සමාජවාදී විප්ලවීය ජයග්‍රහණයේ බර අදින බූරුවන් වූහ.

ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් තමන් සේම නිදහස් අරගලයක යෙදෙන බව සිතූ මැන්ඩෙලා 1988 සැප්තැම්බරයේ දී ලංකා රජය යාපනයේ යුද පරාජයක් ලැබීමත් සමඟ සාම සාකච්ඡාවන්ට සහාය දෙන්නට කැමැත්ත දැක්වූ බවක් පුවත්පත් වල පළවිණ. එහෙත් එය කටකතාවක් බව එවක දී ලක්ෂ්මන් කදිරාගමර් විදේශ ඇමතිවරයා කියා සිටියේය.

දේශපාලන ඝාතන සහ මරාගෙන මැරෙන බෝම්බ වලට සුප්‍රසිද්ධ කොටි ත්‍රස්තවාදීන් 1997 දී ඇමෙරිකාවේ තහනමට ලක්විය. ලබන ජනවාරියේ දී දඬුවම් නියම කරන්නට ත්‍රස්තාවදයේ වරදකරුවෙක් ලෙසින් නිශ්චය වූ Piratheepan Nadarajah නම් වූ කැනඩා ජාතිකයෙක්ව නිව් යෝර්ක් හි උසාවියකට ඉදිරිපත් වනු ඇත.

ඒ ගැන සතුටු වෙන්නේ නම්, එදා මැන්ඩෙලා අරඹන්නට දායක වූ Umkhonoto we Sizwe එදා තහනමට ලක්වීම ගැන දැරිය යුත්තේ ද සතුටක් නොවේ ද?!!!!!

මැන්ඩෙලා සමඟින් අපාතීඩ් විරෝධී ව්‍යාපාරයට හිතවාදී ලොව බහුතරය අපාතීඩ් දුටුවේ එය ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ නිසා ධනවාදයට විකල්පයක් ලෙසින් එදා වූ එකම දේශපාලන හා ආර්ථික ක්‍රමය වූ මාක්ස්වාදී-ලෙනින්වාදයට මැන්ඩෙලා ද එකතු විය.

මේ ගැන Mandela and the Economics of Apartheid ලිපියෙන් කියවන්න.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය බලයට පැමිණීමත් සමඟ 1994 දී එය වර්ගවාදී වෙන් කිරීම් අවසන් කර ඉඩම් අයිතියට සහ ශ්‍රම සංචරණයට ඉඩ පාදා දුන්හ. එහෙත් ඔවුන් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අත්හැරියේ නැත.

වර්ග භේදයන්ට පිළියම නිදහස් වෙළඳපොල ධනවාදයයි. නිදහස් වෙළඳපොලක දී ජාතිය, ආගම, හමේ පාට හෝ දේශපාලන පක්ෂ සාමාජිකත්වය නොසොයා කාර්යක්ෂම සේවකයාව වැඩට බඳවා නොගන්නේ ද ඒ වෙළඳ ව්‍යාපාරිකයාගේ ලාබ අඩුවෙයි.

ආණ්ඩුවක් මැදිහත්වීමේ දී පමණක් නිෂ්පාදන වැය ජනතාව අතර අසාධාරණ ලෙසට බෙදා යවමින් අපාතීඩ් ක්‍රමයක් හදන්නට හැකියාව ලැබේ.

එහෙත් මෙම ස්වභාවයෙන්ම වර්ග වාදී නොවන ධනවාදයේ අනගි ලක්ෂණය ජාතිවාදයට අකමැති සමාජවාදීන් හෝ කොමියුනිස්ට්වාදීන් සලකා බලනවා ද?!!!!!!

යුක්ති ගරුක සමාජයක් සඳහා කියමින් 1977 දී ධර්මිෂ්ඨ ලේබලයකින් චන්ද දායකයන් අතර ප්‍රචලිත වූ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ දේශපාලන බල අරගලය ජයගත් අය, එතෙක් ලංකාවේ හැමදාම සිද්ධ වූ ලෙසින්ම ජයග්‍රහණය කළ සැනින් ජයග්‍රාහී පක්ෂයේ නියෝජිතයන් විපක්ෂයේ අයට පහර දී ඔවුන්ට උන්හිටි තැන් පවා අහිමි කර දැමූහ.

වෙළඳපොල විවෘත කරමින් එහෙත් තව දුරටත් ඇට අටක් බෙදන සමාජවාදී පාලන ක්‍රමයකින්ම, යුක්ති ගරුක සමාජයක් වෙත කියමින් ගමනක් පටන් ගත්ත ද, එසේම කුරිරු අධිරාජ්‍යයක් හදන්නට තැත් ගෙන පැරදුනු ජපානයට ‘නහී වේරෙන වේරානී’ යැයි කියමින් සහාය දැක්වූව ද, 1977 දී විපක්ෂයේ අයට පහර දීම සඳහා පොලීසියට සතියක නිවාඩුවක් දෙන්නට ජේ. ආර්. විසින් චන්ද පොරොන්දුවක් දුන්නා යැයි ඉංග්‍රීසි විකිපීඩියාවේ කියැවේ. එය ලංකාවේ සමාජයේ ඉල්ලුම ද?!!!!!

2001-2004 දක්වා අගමැති ලෙසින් පාලන බලය ලත් රනිල් වික්‍රමසිංහ එවක සිටි විපක්ෂයේ අයව රටේ වගකිව යුතු තනතුරු වලින් අස් නොකළේය. එතැන් පටන් රනිල්ගේ නායකත්වය මැතිවරණ වලින් පරාජය වීම ලංකාවේ සමාජයේ ඉල්ලුම ද?!!!!

යුක්ති ගරුක හා ධර්මිෂ්ඨ යනු මොනවා දැයි නොදන්නවා නම් ඒවා ඉල්ලුම් කරන්නේ කෙසේද?!!!!

වසර 27 ක් සිරගතව සිටි මැන්ඩෙලා හිරෙන් නිදහස් වූ පසු අපාතීඩ් විරෝධයට විදේශ සහාය ලබාගන්නට ගියේ ප්‍රංශයට, වතිකානුවට, මාගරට් තැචර්ගේ එංගලන්තයට, ජෝර්ජ් බුෂ් තාත්තාගේ ඇමෙරිකාවටයි. ඉන්දියාවට, ඉන්දුනීසියාවට සහ මැලේසියාවට යන ඔහු කියුබාවේ ෆිඩෙල් කැස්ත්‍රෝ ද හමුවෙයි. එහෙත් තමන් සාමාජිකත්වය දැරූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට දීර්ඝ කාලයක් තිස්සේ සහාය දුන් රුසියාවට ගියේ නැත. සමහර විට 1990-91 කාලය සෝවියට් දේශය ආර්ථිකව බංකොළොත්ව සිටි සමයක් නිසාදැයි කිව නොහැකි වුවත්, එසේ නොගියේ මැන්ඩෙලා සමාජවාදී ක්‍රමයේ අහිතකර විපාක දැකි නිසා යැයි නම් කිව නොහැකියි.

ලොව පාලන බලය අල්ලා ගත් දේශපාලන නායකයන් අතර නෙල්සන් මැන්ඩෙලාව අගය කළ යුතු කාරණා දෙකකි. එයින් පළමුවැන්න නම් ඔහු කියන ලද “නිදහස යනු තමන්ගේ යදම් ගැලවීමට හැකිවීම පමණක් නොව අනිත් අයගේ නිදහස ගැන ද ගෞරවයක් දක්වන එහි වර්ධනයට ඉඩදෙන ආකාරයෙන් ජීවත්වීමයි,” යන ප්‍රකාශයයි.

අපාතීඩයෙන් ඉවත්වෙන දකුණු අප්‍රිකාව වර්ණවාදයේ ලේ විලක් නොකිරීමට ඔහුගේ අව්‍යාජ ධර්මිෂ්ඨ හැදියාව මූලික වූයේය.

දෙවැන්න නම්, බලයේ ඉන්නට ඉඩ තිබිය දී පළමු වාරයකින් පසු ජනාධිපති තනතුරෙන් අයින්වීමයි. මාරාන්තික පිළිකාවකින් පෙළෙමින් ලෙඩ ඇඳේ සිට රටක් පාලනය කරන්නට හැකියාව ඇතැයි සිතූ බලතණ්හාධික උගෝ චාවේස් වැනි සමාජවාදීන් අතර මැන්ඩෙලා තමන් එසේ නොවන බව ක්‍රියාවෙන් පෙන්වූයේය.

ඔහු ඉල්ලා සිටි චාම් අවමංගල්‍ය ඔහුට නොලැබෙන බව, තමන්ට ලකුණු දාගන්නට එහාට ඇදෙන බලතණ්හාධික ලෝක දේශපාලනඥයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමෙන් පෙනී යයි. අඩුම ගානේ සොහොන් කොතේ ‘මැන්ඩෙලා’ පමණක් යැයි ලියන්න කියා කරන ලද ඉල්ලීම වත් ඔහුට ලැබේවා!!!!!

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on දෙසැම්බර් 9, 2013 at 7:21 පෙ.ව.

    ඒකවත් ලබා දෙන්න බැරිවෙයි. මේ තියෙන රෂ් එකේ හැටියට.. මැරුනත් නිදහසක් නැති ජීවිතයක් එතුමාට තියෙන්නේ…

    • arunishapiro said, on දෙසැම්බර් 12, 2013 at 9:29 පෙ.ව.

      deshakaya,

      ලාබයක් නොසොයා ව්‍යාපාරයක් කරගෙන යන්න බැරිබව නොදැක ව්‍යාපාරිකයන් ලාබ සොයනවා යැයි බනින අය දකින්නෙ නැත්තෙ දේශපාලක පංතිය ඕනෑම අයෙක්ව විකුණාගෙන කන එක!

  2. Maathalan - Priyantha Hewage (මාතලන්) said, on දෙසැම්බර් 9, 2013 at 11:14 ප.ව.

    ඔහු කළු සමක් හා සුදු හදවතක් තිබූ ශ්‍රේෂ්ඨ මුණිවරයෙක්. පොරොන්දූ වූ පරිදිම 1999 ඔහු දේශපාළණයෙන් සමු ගන්නවා. වෙනත් අයෙක් නම් මිය යන් තෙක් බලයේ ඉන්නවා. එහෙම උන්නා නම්, මැන්ඩේලාත් ගාඩාෆී කෙනෙක් වෙන්න තිබුනා. නමුත් ඔහු එසේ කලේ නෑ. ඒ නිසා බලයෙන් මත් වෙලා ජනයා පීඩාවට පත් කරන නායකයෝ ඔක්කෝම මල ගෙදර එනවා පව් සමා කරව ගන්න. මට නම් ඒක තවත් විහිළුවක් විතරයි. ඔහු අපේ හදවත් තුල මලක් ලෙස සැමදා රැඳේවී.

    ගුඩ් බායි මැන්ඩේලා..

  3. magenama said, on දෙසැම්බර් 10, 2013 at 12:12 පෙ.ව.

    මැන්ඩෙලා මහතා කුමන ලෙසකින් වර්ගවාදය පි‍ටු දැක නිදහස හා සමාව දීම රට තුලට ගෙන ගියත් අද නම් දකුණු අප්‍රිකාව ආයිමත් වෙනත් ලෙසක වර්ගවාදයකට තල්ලු වීමක් පේන්න තියෙනවා.අද මැන්ඩෙලා වෙනුවෙන් හඬන ඒ රට තව නොබෝ දිනකින් එතුමාගේ සමාජ හරයන් පාගා දැම්මොත් පුදුම වෙන්න දෙයක් නෑ.

  4. amalpasanna said, on දෙසැම්බර් 10, 2013 at 5:07 පෙ.ව.

    මට මතක විදියට ලංකාවට මානව හිමිකම් පරීෂණ කරන්න ඕන කියපු ලෝක විද්වත් සංගමය කියල එකක මෙයාත් හිටිය. දකුණු අප්‍රිකා ක්‍රීඩා කන්ඩායම්වල කලු අය ඉන්න පුලුවන් 10% විතරයි කියල විවස්තාවෙද සම්මුතියක්ද කොහේද තියනවලු කියනව මේක ඇත්තද?
    ක්‍රිකට්,රග්බි ටීම් වලනම් එහෙමයි.

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2013 at 9:35 පෙ.ව.

      amalpasanna,

      එහෙම හිටියා නම් මැන්ඩෙලා සහ ගරිල්ලා ත්‍රස්තවාදය යනු මානව අයිතීන් දිනාගත හැකි ක්‍රමයක් යැයි දැක්ම ඇති අයට අනුව එතැන ඇති ඇති වරදක් නැහැ. මැන්ඩෙලා සිරගතව සිටිය දී කිහිප වතාවක් (7 ක් යැයි සඳහන් මට සොයාගත හැකි මූලාශ්‍ර නොමැතිව) ත්‍රස්තවාදයෙන් ඉවත් වෙනවා නම් සිර බන්ධනයෙන් මුදවන බව කිව්වත් ඔහු ත්‍රස්තවාදය අත්හරින්නට කැමති වූයේ නැහැ.

      //දකුණු අප්‍රිකා ක්‍රීඩා කන්ඩායම්වල කලු අය ඉන්න පුලුවන් 10% විතරයි කියල විවස්තාවෙද සම්මුතියක්ද කොහේද තියනවලු කියනව මේක ඇත්තද?// දැන් එහෙම අහන්නේ 1955 ගණන් වල දී දෙමළ වැඩි නියෝජනයක් තිබුණු සිවිල් සේවයේ අයව සිංහල රාජ්‍ය භාෂාව කළ නිසා පමණින් ගෙදර යවන්නට හැකියාව ලැබූ ලංකාවේ සිංහලෙන් ලියන කෙනෙක් නේද?!!!!

      හැම විටම විමර්ශනය කළ යුත්ත මෙයයි: ආණ්ඩුව ලවා තමන්ගේ වාසියට රටේ නීති වෙනස් කරන්නට සමත් වෙන පිරිස කවුරැන්දැයි සොයා බලන්න. පීඩකයන් වනාහී ඔවුන්ම වෙති.

      • amalpasanna said, on දෙසැම්බර් 16, 2013 at 6:57 පෙ.ව.

        මැන්ඩෙලාත් එහෙනම් හිටපු ගරිල්ලා ත්‍රස්තවාදියෙක්. එයත් මෙහේ වගේ රටෙන්
        කොටසක් ඉල්ලුවද?
        10% කතාව ඇහුවෙ ඒක ඇත්තද කියල හරියටම දැනගන්නයි. ඒක ඇත්තද?
        ලංකාවේ කරපු පට්ටම තකතීරුකම් වලින් එකක් තමයි 1956දී සිංහල රාජ්‍ය භාෂාව
        කළ එක. ඉන්දියාවෙ වගෙ අඩු තරමෙ ඉංග්‍රීසි එක්කවත් දැම්මනම්.

        • arunishapiro said, on දෙසැම්බර් 16, 2013 at 11:34 පෙ.ව.

          amalpasanna,

          දකුණු අප්‍රිකාවේ මහ ජනතාව කියන්නෙ කළු අප්‍රිකානුවන්. ඒ නිසා එයා ඉල්ලුවේ රටෙන් කොටසක් නෙමෙයි තමන්ගෙ මුළු රටම තමන්ගෙ අයට දෙන්න කියලයි. ඒ ඉල්ලීමේ නෙමෙයි වරද තියෙන්නෙ. ස්වාධීනත්වය වෙනුවෙන් කරන ඉල්ලීම් සහ ත්‍රස්තවාදය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අයෙක් කියන්න පුළුවන් කොහොමද වහල්ලු යැයි සැලකෙන හෝ රටේ නීතියෙන් කොන් කරල දාපු ජන වාර්ගික පිරිසක් ප්‍රචණ්ඩත්වයකින් තොරව තම අයිතීන් දිනා ගන්නේ කියල? එහෙම අයට පෙන්වත හැකි උදාහරණ ඕනෑ තරම් තියෙනවා. ස්ථිර ලෙසින් තහවුරු වූ දිනුම් හැටියට ඉතිහාසය දක්වන්නේ ඉල්ලීම් කරන සහ ඒ අයගෙ ඉල්ලීම් සාධාරණ යැයි දැක්ක අනිත් පැත්තේ අයගේ සහායෙන් ලබාගත්ත ඒවා. ඒත් දේශපාලන බලයෙන් දෙපැත්ත සලකා බලන්නට ඉඩක් නැතිව හැදෙන ප්‍රතිපත්ති නිසාත්, ඒවා අහනවා නම් රට බෙදන්න හදන විදේශීය කුමන්ත්‍රණකරුවෙක් යැයි හංවඩු ගහන රජයන් නිසාත්, අරගලය විකුණා ගෙන කන සහ ජාත්‍යන්තර පිදුම් ලබන NGO නායක/නායිකාවන් නිසාත් 😀 විසඳුම් ලැබිය යුතු අහිංසකයන්ට ඒවා ලැබෙන්නේ නැහැ.

          දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා ඉතිහාසයෙන් බිඳක්:

          1867 දී දියමන්ති සොයා ගැනීමත් 1886 දී රත්තරන් සොයා ගැනීමත් සමඟ ඒවා සොයාගත් බ්‍රිතාන්‍ය සහ බෝර් (Boer)/අෆ්‍රිකාන අය දකුණු අප්‍රිකාවේ පළාත් තමන්ගේ උපනිවේශ බවට හරවා ගත්තා. 1879 ඇන්ග්ලෝ-සුලු යුද්ධය සහ පසුව 1880-81 දකුණු අප්‍රිකානු ජනරජය (ට්‍රාන්ස්වාල්)යුද්ධය සමඟින් වැඩ කරන පංතියේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් තමයි අප්‍රිකාවේ ෆුට්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය කරන්නේ. KwaZulu-Natal කියන පෙදෙසේ සුදු අය තමයි 1879 දී Pietermaritzburg Country Football Club නමින් ක්‍රීඩා සමාජයක් සහ 1882 දී Natal Football Association හදන්නෙ.

          මේ කාලයේ දී නොයෙක් තරාතිරම් වල කළු පිරිමි අය ෆුට්බෝල් ක්‍රීඩාවේ යෙදෙන්නට පටන් ගත්ත. 1886 වෙද්දී Durban කියන පළාතේ සංක්‍රමණික ශ්‍රමිකයන් ලෙසින් පැමිණ අප්‍රිකාව වාසස්ථානය කරගත් ඉන්දීය ජාතිකයන් හදාගත්තා ෆුට්බෝල් සමාජ හතරක් තිබ්බ. Bush Bucks Football Club 1902, Shooting Stars Football Club of Adams College මිෂනාරී විසින් කළු අය සඳහා පටන් ගත්ත ක්‍රීඩා සමාජ. 1916 දී Durban and District Native Football Association තමයි අප්‍රිකාවේ පළමු ප්‍රධාන නාගරික සංවිධානය වෙන්නෙ.

          චිත්‍රපටි රිසි අයට මෙන්න Invictus වගේම සත්‍යයක් වටා ගෙතෙන හිත කකියන අනගි ප්‍රබන්ධයක්: Breaker Morant (1980). එය දෙවැනි බෝර් යුද්ධය (1899-1902) කාලයේ කතාවක්.

          බ්‍රිතාන්‍යයන් සහ බෝර් ජනරජ අතර යුද්ධ වල දී බ්‍රිතාන්‍ය භටයන් අල්ලා ගන්න බෝර් සිරකරුවන්ටත් ෆුට්බෝල් රග්බි සහ ක්‍රිකට් උගන්වනවා!!!

          1883 දී Stellenbosch ක්‍රීඩා සමාජය පිහිටුවන්නෙ රග්බි සෙල්ලම් කරන්නට. බ්‍රිතාන්‍යයන් ක්‍රීඩාව හඳුන්වා දුන්නත් තරුණ බෝර් ගොවි ජනතාව තමයි වැඩියෙන් එයට ඇදී යන්නෙ. බ්‍රිතාන්‍යයන් හා බෝර් ජාතිකයන් රට ඇතුලට දියමන්ති සහ රත්තරන් හොයා ඇදෙද්දී ඔවුන් ගමන් කළ මාර්ගයේ රග්බි ක්‍රීඩාවත් පැතිර යනවා.

          ඒත් දකුණු අප්‍රිකාවේ අපාතීඩ් නොමැති කාලයේ ද, ෆුට්බෝල් (සොකර්) කළු අය අතර රටපුරාම මහත් ලෙසින් පැතිර යන ක්‍රීඩාවක් වෙද්දී ක්‍රිකට් සහ රග්බි සෙල්ලම් කරන්නේ සුදු අයයි. නමුත් කේප් ජනාවාසයේ විශේෂයෙන්ම නැගෙනහිර කේප් හි රග්බි ක්‍රීඩාව වර්ණ හම් ඇති කළු ජනතාව අතර ජනප්‍රිය වූවක්. ඒත් සංවිධානාත්මක ලෙසින් සිද්ධ වෙද්දී පාට අනුව බෙදුන තරඟාවලියේ තමයි සෙල්ලම් කරන්නේ.

          ඒත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අපාතීඩ් ආණ්ඩු හිස ඔසවද්දී තමයි දේශපාලනයෙන් ක්‍රීඩාවට බලපෑම් එල්ල වෙන්නෙ. ඒ කියන්නෙ 1950 ඝනන් වල දී තමයි කළු ජනතාවට සුදු පාලකයන් වෙතින් නීති දැමෙන්නට පටන් ගන්නෙ. 1951 දී කළු අය, වර්ණ හම් අය, ඉන්දීය අය එකතු වෙනවා ක්‍රීඩාවේ අපාතීඩ් සඳහා විරෝධතාවය දක්වන්නට. South African Soccer Federation තමයි මුලින්ම විරෝධතාවය දක්වන්නෙ.

          අපාතීඩ් ආණ්ඩුව විසින් ක්‍රීඩාවට අපාතීඩ් ප්‍රතිපත්ති ගෙන ඒම, කළු අය වෙනමත් සුදු අය වෙනමත් තම පාට අනුව ක්‍රීඩා කිරීම ගැන සමහර සුදු අප්‍රිකානුවන් ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීමත්, ලෝක ආණ්ඩු අපාතීඩ් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් අප්‍රිකාවේ කළු -සුදු භේදය අනුව බෙදන ලද ක්‍රීඩා පිල් වලට ඔලිම්පික්, ලෝක කුසලාන වැනි තරඟ වල දී සහභාගී වීමත්, දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා තරඟ වලට යෑම සිය රටවල ක්‍රීඩකයන්ට තහනම් කිරීමත් සමඟින් තමයි ලංකාව වැනි රටවල අය අපාතීඩ් ගැන දැනගන්නෙත්.

          ඉතින්, අහලා තියෙන ප්‍රශ්නය. අපාතීඩ් වලින් මිදෙන දකුණු අප්‍රිකාවේ රග්බි හා ක්‍රිකට් පිල් වල කළු අයගේ නියෝජනය 10% ක් පමණක් ලෙසින් නීතියක් වූවා ද යන්න ගැන හොයාගන්නට නැහැ. නමුත්, ඵෛතිහාසික වර්ධනය අනුව රග්බි ක්‍රීඩාව වෘත්තීමය වශයෙන් යෙදුනේ සොච්චමක් විතරයි. රග්බි වෘත්තීමය වශයෙන් සෙල්ලම් කරපු 75-80% අය සුදු හමැති අය වෙද්දී 9% ක් පමණයි හිටියෙ කළු අය. මැන්ඩෙලා ජනාධිපති වූවාට පස්සෙ කළු අයව දිරිගන්වා තියෙනවා බය නැතිව ගිහින් රග්බි සෙල්ලම් කරන්නට කියා. 2000 ගණන් වලින් පස්සෙ තමයි යාන්තමින් හෝ කළු අයගේ නියෝජනයක් රග්බි තුලින් මතුවෙන්නේ. අපාතීඩ් ප්‍රතිපත්ති අකුලා ගැනීමත් සමඟ රග්බි තරඟයේ සමහර positions වල හමේ පාට අනුව නියෝජනය වෙන ආකාරයත් prop සහ scrum half හි පාට භේදයකින් තොරව නියෝජනය වෙන ආකාරයත් දකින්නට ලැබීම ගැන කියැවෙනවා. මම රග්බි ක්‍රීඩාව ගැන නොදන්නා නිසා මේවායේ වැදගත්කම ගැන දන්නේ ද නැහැ. ඒත් ඕනෑම ක්‍රීඩාවක දී එයට ජනතාව දක්වන උද්‍යෝගය අනුව නොව ආණ්ඩුවක ප්‍රතිපත්ති මඟින් යම් ජන කොට්ඨාශයක නියෝජනය වැඩි කරන්න හෝ අඩු කරන්න පියවර ගන්නේ ද, එවිට එම ක්‍රීඩාවේ උන්නතිය ඇන හිටින බව පෙන්වා ඇත්තේ දකුණු අප්‍රිකාවේ ඉතිහාසයම නේද?

          //ලංකාවේ කරපු පට්ටම තකතීරුකම් වලින් එකක් තමයි 1956දී සිංහල රාජ්‍ය භාෂාව
          කළ එක. ඉන්දියාවෙ වගෙ අඩු තරමෙ ඉංග්‍රීසි එක්කවත් දැම්මනම්.// දකුණු අප්‍රිකාවේ අපාතීඩ් රෙජිමය ද කළේ තමනට බලයේ ඉන්නට චන්ද දිනාගත හැකියාව අනුව රටේ ප්‍රතිපත්ති හැදීමයි. එය සුළු ජනතාවක් කළත්, මහා ජනතාවක් කළත් එකම වැරැද්දයි.

          • amalpasanna said, on දෙසැම්බර් 17, 2013 at 2:47 පෙ.ව.

            කාලයක් තිස්සෙ හිතේ තිබුනු ප්‍රශ්නයට උත්තර ලැබුන.
            ලංකාවේ භාෂාව මහා ප්‍රශ්නයක් කිරීම පැහැදිලිවම දේශපාලන බලය අල්ලන්න කරන
            මගඩියක් නැත්නම් සිංහල-දෙමළ-ඉංග්‍රීසි භාෂා 3යි මොකද්ද ඔච්චර ලොකු
            ප්‍රශ්නෙ?
            හැබැයි ඉන්දියාවෙ වගෙ රටකනම් රාජ්‍ය භාෂාව තේරීම අමාරුයි මොකද ජනගහනය
            කොටියට වැඩිය කතා කරන භාෂා 13 තියනව.
            ඇමරිකාවෙ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි විතයි ‍නේද? එහෙනම් අවුලක් නෑ සිම්පල්.

            • arunishapiro said, on දෙසැම්බර් 17, 2013 at 9:10 පෙ.ව.

              amalpasanna,

              ඉංග්‍රීසි විකිපීඩියාවට අනුව ඉන්දියාවේ 2001 සංඛ්‍යා ලේඛන දත්ත අනුව පෙන්වන්නේ එහි මිලියනකට වඩා පිරිසක් කතා කරන භාෂා 30 ක් පවතින බවයි.

              ඇමෙරිකාවේ රාජ්‍ය භාෂාවක් නැහැ. ඇමෙරිකන් ඉංග්‍රීසියෙන් බහුතර ෆෙඩරල් හා ප්‍රාන්ත මට්ටමින් ආණ්ඩු වැඩ කළාට, වැඩියෙන් හිස්පැනික් නොහොත් ස්පාඤ්ඤ සම්භවය ඇති දකුණු ඇමෙරිකාවෙන් ආපු අය ඉන්නා පැතිවල, ෆ්ලොරිඩාවේ මයාමි වගේ නගර වල දී බහුතරයට ස්පාඤ්ඤ කතා කරන්න පුළුවන්. ස්පාඤ්ඤ භාෂාව ෆෙඩරල් හා ප්‍රාන්ත ආණ්ඩු සහ පුද්ගලික ව්‍යාපාරික බහුතරයක් ද භාවිතා කරනවා. ඇමෙරිකන් පාස්පෝට් එකක ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ යන භාෂා තුනම භාවිතා වෙනවා.

  5. Pradeep Jayatunga said, on දෙසැම්බර් 10, 2013 at 7:12 පෙ.ව.

    “බලතණ්හාධික උගෝ චාවේස් ”
    Why go so far? Look at Mugabe.
    If you want to go far there are some Asian miracles too!

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2013 at 9:46 පෙ.ව.

      Pradeep Jayatunga,

      ඒත් මුගාබේට උපහාර උත්සව පැවැත්වූ අය ලංකාවේ නැහැනෙ. ඒත් ලංකාවේ උපහාර උත්සව වලින් උගෝ චාවේස් පිදුම් ලැබුවා. ඇමෙරිකාවට නැත්නම් පොදුවේ බටහිරෙන් “ගේම ඉල්ලන” හැකියාව පමණක් ඇති බලතණ්හාධිකයන්ට වැදුම් පිදුම් කරන මුග්ධයන්ට. ඒ රටවල මිනිස්සු හාමතෙන් හිටියත්, බලතණ්හාධිකයන් අකමැති වුන නිසා මරණයට පත්වූවත්, “අනාගතයට මග පෙන්වූ අසමසම ගුරුවරයා” යැයි හැඳින්වූවාට ඒ ජනතාවගේ අනාගතය ද කාබාසිනියා කරලා දාලා ගියත් කමක් නෑ.

  6. Wicharaka Asami Dakimi Soyami said, on දෙසැම්බර් 10, 2013 at 9:04 පෙ.ව.

    හොඳ අදහසක්. බොරු පම්පෝරි නැතුව නෙල්සන් මැන්ඩෙලා කියලා විතරක් ලිව්වම ඇති.

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2013 at 9:52 පෙ.ව.

      Wicharaka,

      අදහස මැන්ඩෙලාගේමයි. ඒත් එයට ගෞරව කරන්න නම් ඔවුන් පුද්ගලික අයිතිය කුමක් දැයි දන්නා අය විය යුතුයි. එහෙත් මැන්ඩෙලා අගයන බහුතරය මැන්ඩෙලා මෙන්ම පුද්ගලික අයිතිය කුමක්දැයි හඳුනාගෙන නොතිබීම තමයි හේතුව. අවසානයේ ඔහුගේ කැමැත්ත වූයේ කුමක්දැයි සත්‍යයෙන්ම දකින්නට ඉන්නේ ධනවාදියෙක්ම තමයි!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: