අරුණි ශපීරෝ‍ වෙතින්

දියුණුව රිසි හැම අයෙක්ම දැන සිටිය යුතු එකම උත්තරය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 15, 2013

IMG_0125

අදට වඩා හෙට දවස දියුණු කරගැනීමේ කැමැත්තට ස්වභාවයෙන් හිමිකම් කියන මිනිසා ඒ වෙනුවෙන් යාන්තමින් හය හතර වැටහෙන දා පටන් වෙහෙසෙන්නෙකි. දියුණුව යනුවෙන් මෙහි දී අදහස් වෙන්නේ ඒ ඒ මිනිසා සොයන දියුණුවයි. බණ භාවනාවෙන් අධ්‍යාත්මික දියුණුවක් සෙවීම, තමන්ගේ කියා වාහනයක් ගෙයක් අයිතිය, කාටවත් අත නොපා සිටින්නට හැකියාව, ශරීර සෞඛ්‍ය, කායික ශක්තිය, ආදරය කරන්නට කෙනෙක්, යනාදී පුළුල් සිතුම් පැතුම් තුල මේ ජාතියේ වාහනයක්, මේ විදිහේ ගෙයක් හා මෙවැනි හැඩරුව හෝ මෙවැනි ගතිගුණ ඇති ආදරවන්තයෙක් යනාදී ඒ ඒ අය විසින් සොයා යන්න ඉමහත් විවිධත්වයකින් යුතුය.

මගේ අභිප්‍රායයන් මෙලොව වෙනත් කිසිම අයෙකුගේ අභිප්‍රායයන් හා සමාන නොවන්නා සේ ම, මගේ කුසලතා හා දක්ෂතා ඒ විදියටම පිහිටන ලද තවත් අයෙක් ලොව නැත.

“මේ ලෝකයේ සියළුම මිනිස්සු කුසලතා සමූහයකින් සහ දක්ෂතා සහිතව උපන් අය නොවෙති. උදාහරණයක් හැටියට බහුතරයකට ව්‍යවසායක කුසලතාවන් හෝ වෙනත් කුසලතාවන් නොමැත. ධනවත් පංතියෙන් බදු හැටියට ආණ්ඩුවක් ගන්නා මුදල් සමාජයේ වරප්‍රසාද නොලත් කොට්ඨාශයේ සුබ සාධනයට දීමේ ඇති වරද කුමක් ද?”

ඉංග්‍රීසියෙන් අහන ලද ඉහත ප්‍රශ්නයට උත්තරය දන්නා අය ලොව සුලුතරයකි. උත්තරය දන්නා එහෙත් ජනතාව වෙතින් වසන් කරන්නට කටයුතු කරන බලතණ්හාධිකයන් බහුතරයකි. උත්තරය දන්නා බලතණ්හාධිකයන් එසේ උත්තරය සඟවා ඇත්තේ මෙය නිසියාකාරව පහදා ගන්නා පුද්ගලයාව තව දුරටත් බලතණ්හාධිකයාගේ බැටළුවෙක් මෙන් දක්කාගෙන යෑමට බැරි නිසයි.

ලෝක සමාජ පර්යාය අසමානතා වලින් ගහණ වූවකි. ධන වස්තු සහ ආදායම් බෙදී ඇත්තේ දැඩි විෂමතාවයකිනි. රිසි වූ ඕනෑම දෙයක් මිල දී ගන්නට මුදල් ඇති මහා ධනවතුන් සේ ම එදා වේල ගැටගසා ගන්නේ කෙසේදැයි නොදන්නා දුප්පතුන් ද ලොව වෙසෙති.

ඉතින් අසමානතා නැති කිරීමට නම් ලොව ධන සම්පත් සමාන ආකරයෙන් බෙදා දිය යුතු යැයි එය විසඳුම ලෙස දකින අය කියති.

ලොව ධනවතුන් ඉන්නේ අල්පයකි. ඒ සියළු ධනවතුන්ගේ වස්තු සම්පත් දුප්පතුන් මහත් සංඛ්‍යාවක් අතර බෙදී යද්දී ඒ ඒ එක්කෙනාට ලැබෙන්නේ දුප්පත් ජීවිතයක වැඩි දියුණුවක් කරන්නට නොහැකි කොටසක් පමණි. කුසලතා සහ දක්ෂතා නොමැති වූවන් දුප්පතුන් වූවා යැයි සලකනවා නම් (එසේ කියන්නේ මම නොවේ) ඒ අය එසේ බෙදනු ලැබූ සොච්චමෙන් දියුණුවක් ඇති කරගන්නට නොදන්නෝ ද වෙති. ධනවතුන් වෙතින් අරන් දුප්පතුන්ට බෙදා දෙන ක්‍රමයෙන් එවිට දුප්පතා ලැබෙන සොච්චම පරිභෝජනය කර නැවතත් අත පා හිඟමන් ඉල්ලන්නට පුරුදු වෙයි.

සමාජයේ ශ්‍රමයෙන් නිපැදෙවන සම්පූර්ණ වාර්ෂික නිෂ්පාදනය යනු එය බෙදී යන ආකාරයෙන් ස්වාධීනව පවතින්නක් නොවේ. නිෂ්පාදන බහුල වශයෙන් අද පැවතීම ස්වභාවික හෝ තාක්ෂණික සංසිද්ධි නිසා ඇති වී සමාජ තත්වයන් වලින් පරිබාහිරව පවතින්නක් නොවේ. අද නිෂ්පාදන ලොව බහුල ලෙසින් පැවතීම තනිකරම අපේ සමාජ ආයතනයන්ගේම ප්‍රථිපලයයි.

ලෝක සමාජ පර්යායේ අසාමාන ධන වස්තු පවතින නිසාම (inequality of wealth), එසේ පැවතිය හැකි නිසාම, ඒ අපූර්ව වූ කාරණය නිසාම, හැමෝටම තම හැකියාව අනුව අඩුම වැයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට මුලින්ම සහභාගී වන්නට ඉඩ ප්‍රස්ථාව ලැබේ. එසේ ගමනක් පටන් ගන්නට අවස්ථාව ලැබීමෙන් උත්සාහය, වාසනාව, දැනුම වැඩිකර ගැනීම, තැනට සුදුසු නුවණ ප්‍රයෝජනයට ගැනීම යනාදී කරුණු කාරණා රැසක් අනුව පුද්ගලයාව දියුණුව වෙත ගෙන යයි. කුසලතා හා දක්ෂතා විවිධ වෙන නිසාම මේවා අනුව දියුණුව පාදා ගන්නා ආකාරයන්ද විවිධ වෙති.

පිටරටවල් වලට ඇදෙන ලෝක ශ්‍රමිකයන්ට ඒ ධන වස්තු තම ගමේ රටේ දී රැස් කරත හැකි නම් ඔවුන් තමන් ඉපදුන රට ගම හැර දමා යයි ද? ලංකාවේ නිමි ඇඳුම් කම්හල් වල දී ගෙවන වේතනය ඇමෙරිකාවේ නිමි ඇඳුම් කම්හලක වේතනය හා සමාන නම් ඒවා ලංකාවට එවා මසා ගැනීමට අවශ්‍යතාවයක් තියේ ද?

නිෂ්පාදනයට අඩුම වැයෙන් ශ්‍රමය සොයා ගැනීම සඳහා සමාජයක ඉඩ සැකසී තිබීමෙන් තමන්ගේ හැකියාව පමණින් නිෂ්පාදනයේ යෙදෙන්නට දිරිගැන්වීමක් එයින් ඇති කරනු ලබයි. එහෙත් ආණ්ඩුවක් මැදිහත් වී දීමනා හා සුබ සාධන බෙදීමෙන් ඒකීය උත්සාහයට අවශ්‍යතාවයක් නොමැත. හැමෝම පඩි වැඩි කරන්න යැයි ඉල්ලා උද්ඝෝෂණ පවත්වන්නට සිද්ධ වෙන එක හා සමාන අවාසනාවන්තයන් වෙති. දැනුම වැඩිකරගන්නේ ආණ්ඩුව කරන නිර්දේශ අනුව මිසක් තම කැමැත්ත අනුව හෝ වෙළඳපොල ඉල්ලුමක් අනුව නොවේ.

දිරිගැන්වීමක් නොමැති ක්‍රමය, එනම් “තම තම හැකි පමණින්” නිෂ්පාදනය කරමින් “තම තම අවශ්‍යතාවය” අනුව බෙදාගත්තු ක්‍රමය ඇමෙරිකාවේ අත්හදා බැලුනේ 1620 දී. ප්ලිමත් වතුයායේ ඉතිහාසය ගැන මම ලියූ විස්තරය මෙතැනින් කියවන්න.

අනුන් කැමති පරිදි තම උත්සාහයට අයිතිය කියන්නට හැකියාව නොලැබෙන, තමන්ගේ වෙහෙස නිසා උපයන ධනය තමන්ට රිසි පරිදි පරිහරණයට ඉඩක් ලැබෙද්දී තමයි වැඩියෙන් නිෂ්පාදනයට ඕනෑම අයෙකුට, ඒ කියන්නෙ කුසලතා හා දක්ෂතා ඇති හෝ නැති දෙගොල්ලන්ටම දිරිගැන්වීමක් ලැබෙන්නෙ.

ඉහළ ආදායම් උපයන රටකට ඇවිත් අඩු වැයෙන් සපයන විදේශීය ශ්‍රමය නිසා එරටට වැඩියෙන් වාසියි. ඒ පඩි තම රටේ දී ලබන්නට අවස්ථාව නැති විදේශීය ශ්‍රමිකයාටත් වාසියි. විදේශීය ශ්‍රමිකයන්ව රටකට ගෙන්වා ගන්නේ ඔවුන්ට ඇති ආදරයක් නිසා නෙමෙයි. ඔවුන් සපයන්නට කැමති අඩු මිල ශ්‍රමය ලබාගැනීමටයි.

ලංකාවට අද වැඩියෙන්ම ආදායම ලැබෙන මාර්ගය පිටරට යන ශ්‍රමිකයන් වෙතින් වීම පෙන්වන්නේ ලංකාවේ කුසලතා හා දක්ෂතා ඇති අය හිටිහැටියේ විශාල සංඛ්‍යාවක් බිහි වෙලා ඇතැයි කියා නෙමෙයි. ලංකාවේ අයට තම රටේ දී ට වඩා වැඩියෙන් උපයාගත හැකි වත්කමක් විදේශයක දී උපයා ගන්නට ලැබෙන බවයි. ඔවුන් යන රටවල වාසය කරනා අයගෙන් මිල දී ගන්නවාට වඩා අඩු වැයකින් මේ එන සංක්‍රමණිකයන් වෙතින් ශ්‍රමය මිල දී ගැනීමට ඒ රටවලට හැකියාව ලැබී ඇතැයි කියා පමණි. ඉතින් එම විෂමතාවය නිසා හැමවිටම ජයගන්නේ තමන් ඉන්න තත්වයට වඩා වැඩි දියුණුවක් හොයන දුප්පතායි.

මේ දිරිගැන්වීම විනාශ කරදැමුවොත්, දැන් ඔයා ධනවත් වුනා ඇති මෙතැනින් පස්සෙ හම්බ කරන මුදල් ඔක්කොම අපි දුප්පතුන්ට බෙදලා දෙන්න ඔයාගෙන් අරගන්නවා යැයි කියනවා නම්, එවිට අයෙකුට වෙහෙස වෙන්නට ඇති දිරිගැන්වීම කුමක් ද?

ආදායම් බෙදී යන විෂමතාවය නිසාම ධනවත් අයට සුඛෝපභෝගී ලෙස ජීවත්වෙන්නට හැකියාව ලැබේ.

ඒත් සුඛෝපභෝගීත්වය යනු කුමක් ද?

යම් කොටසක් එදා වේල හොයාගන්න වෙහෙසෙද්දී අනෙක් අයට බඩ පැලෙන්න කන්න තියෙනවා කිව්වම අසාධාරණයි කියල තමයි කෙනෙකුට එකවරටම හිතෙන්නෙ.

ඒත්, සාලේ හැඩ කරන්න වෙස් මූණක් වැනි සුඛෝපභෝගී භාණ්ඩයක් ගන්නට අය ඉන්න නිසා ඒ නිර්මාණ ශිල්පියාට පවුලේ ජීවිකාව උපයන්න හැකියාව ලැබෙනවා කියන්නෙ සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොලේ වැදගත් කාර්යයක් ඉටු කරනවා යන්නයි.

නමුත් ධනවතුන් සුඛෝපභෝගී භාණ්ඩ නොගත්තොත් දුප්පතුන්ට ආදායමක් නැතිවෙලා යන්නෙ නැහැ. ආණ්ඩුව මැදිහත් වෙලා නිෂ්පාදනය කරන්නේ මොනවාදැයි, කොයි විදියට දැයි, කවුරු විසින්දැයි ඇඟිලි ගහන්නට යන්නේ නැත්නම්, සුඛෝපභෝගී භාණ්ඩයක් වූ වෙස් මූණු සඳහා වෙළඳපොල ඉල්ලුමක් නැත්නම් එයා උයන්න පිහන්න ගන්න ලී හැඳි හදාවි. නැත්නම් අපිට හිතාගන්න වත් බැරි අලුත් දෙයක් ලෝකෙට පිරිනමාවි.

අපේ අම්මලා පුංචි කාලේ සුඛෝපභෝගී යැයි සැලකූ දේවල් අද මහත් පිරිසකගේ එදිනෙදා ජීවිතයේ පාරිභෝගික භාණ්ඩ වෙති. අම්මලාගේ අම්මලා කාලයේ හැමෝටම නොතිබිච්ච සපත්තු සෙරෙප්පු වගේ දේවල් අද අපි පරිහරණය කරන්නෙ ඒවායේ කිසිම සුඛෝපභෝගීත්වයක් නොදැක.

ඇමෙරිකන් ධනවතා එදා $3,995 (අද මුදලින් $9363) ගෙන සෙල් දුරකතනය පරිහරණය කළ නිසා අද ලෝක ජනතාවක් එයට හිමිකම් කියන්නෙ එහි කිසිම සුඛෝපභෝගීත්වයක් දකින්නෙ නැතිව.

සුඛෝපභෝගී භාණ්ඩ හා සේවා වලට වියදම් කරන අය ඉන්න නිසා සෑම කර්මාන්තයකට දිරි ගැන්වීමක් ලැබෙනවා අලුත් දේවල් වෙළඳපොලට බිහි කරන්න. ඒ හේතුවෙන් සමාජයේ කුසලතා සහ දක්ෂතා අඩු අයගෙත් ජීවන මට්ටම ඉහළ යනවා. සෑම සමාජයකම විෂම කුසලතා හා දක්ෂතා ඇති අය විසින් කරන කාර්ය භාරයන් තියෙනවා. නමුත් ඒවා මොනවා ද, ඒ පිරිස කවුදැයි කියන්න දන්නා කිසිම ජගතෙක් නැහැ. එය පෙන්නුම් කරන්නේ ශ්‍රමයට ඇති ඉල්ලුම කියාපාන වෙළඳපොල ක්‍රියාවලිය විසින්. එය තීරණය කරන්න යම් විද්වත් මණ්ඩලයක් හෝ වෘත්තීය සමිතියක් උත්සාහ ගන්නේ ද මිනිසා වෙහෙසවෙන හේතුව වූ “දිරිගැන්වීම” නැතිවෙනවා.

යම් රටක බලයේ ඉන්න ආණ්ඩුවට හේත්තු වෙලා අනෙක් අයට නැති වාසි ලබමින් ආදායම් උපයා මහා ධනවතුන් වීම යනු ධනවාදී වෙළඳපොල ක්‍රමය යැයි වරද්දා ගන්න එපා. වරප්‍රසාද ලත්තවුන් කවුදැයි කියා තීරණය කරන්නේ වැඩවසම්, කොමියුනිස්ට් සහ සමාජවාදී ක්‍රම වලදී පමණි.

3 Responses

Subscribe to comments with RSS.

  1. Uditha “OG” Meeghathenna said, on දෙසැම්බර් 16, 2013 at 5:21 පෙ.ව.

    අරුණි අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ දැනටමත් ලංකාවේ ඉදිරි පරම්පරා ගානකට හිතන්න දේවල් ඇති වෙන්න කියල ඉවරයි. ඇත්තටම අරුණි අක්කේ මම තීරණය කරා තවත් මේවා කියල වැඩක් නැහැ වෙන දෙයක් කරන්න ඕනෑ කියල. 2014 මම දේශපාලන ආර්ථික දේවල් ලියන එකෙන් ඈත් වෙනවා information overload කරලා වැඩක් නැහැ. මේ අරුණි කියන එක ලිපියකුත් ඇති වෙනස් වෙනවා නම්. ඒක නිසා මම දේශපාලන ආර්ථික කරුණු වලින් අංශක 180 කැරකිලා මිනිස් මනස සහ අධ්‍යාත්මික පැත්ත දිහා බලන්නයි යන්නේ. . මිනිස්සු අරුණි අක්කා කියන මේවායේ ප්‍රයෝජනේ ගන්න අවුරුදු කීයක් යයිද දන්නේ නැහැ. 50 ක් ????

  2. ravisandu said, on දෙසැම්බර් 17, 2013 at 10:35 පෙ.ව.

    අරුණි,

    පොඩි එකෙකුට උනත් තේරෙන්ට ඕන අපූරු පැහැදිලි කිරීමක්. ඔයිට වඩා තවත් කියන්නෙ මොන විදිහටද? 🙂

    ඒත් අපූරුම වැඩේ ඒත් නොතේරෙන අය ඉන්න එකයි. අපි පහේ පන්තියෙ ඉන්දැද්දි අපේ ගණං සර් හරිම සැරයි. ගණං සර් කිව්වට ඉංග්‍රීසි ඇරෙන්න ඉතුරු විෂයයන් සියල්ල ඉගැන්නුවෙ එතුමාම තමයි. ඒ කාලෙ එහෙමනෙ.

    ඉතිං කොච්චර කියල දුන්නත් එකතු කිරීම අඩු කිරීම තේරෙන්නෙ නැති ළමයින්ට එතුමා බැණවදින්නෙ ” මෙවුංට ගණං පොත කොටල දිය කරල පෙව්වත් හරියන්නෙ නෑ ” කියල. එහෙම දොස් කියන එක හරිද නැද්ද කියන එක වෙනම කාරණයක්. මට කියන්ට ඕන උනේ අපේ මිනිස්සුත් ඒ වගේම තමයි. කොටල පෙව්වත් සරල සත්‍යයයක් තෙරුම් ගන්නෙ නැති එක තමයි වෙලා තියෙන කරුමේ.

  3. හලෝව් රස්ටා said, on දෙසැම්බර් 17, 2013 at 11:50 පෙ.ව.

    තුවාලෙ ඇති මිනිහාගේ වේදනාව කියන දේ මේ කතාව එක්ක සම්බන්ධ කරගන්නෙ කොහොමද? 🙂 අපි වේදනා නාශක ගැන උනන්දුයි ප්‍රතිකාරයට වඩා, ඒකෙන් ප්‍රතිකාරය අනවශ්‍ය බව කියවෙන්නේ නෑ, නමුත් වේදනාව නැති උනාම අපිට තුවාලය ගැන අමතක වෙනවා. තමන් උදෙසා වෙහෙසෙන්න අකමැති අයිස් කදු මෙහේ නිර්මාණය වෙන්නෙ එහෙමයි. උත්සාහ කරන්නෙ ලේසි ක්‍රමයෙන් රිංගලා සුවපහසුව වැජඹෙන්න විතරයි. එතැනට සාධාරණ යුක්තිසහගත තර්කයක් අදාල නැහැ. එකපැත්තකින් සුදුස්සෝ සුදුසු තැන ලබාගැනීමට සටන් කරද්දී පහසුවෙන්ම නුසුදුස්සාට නුසුදුසු තැන් ලැබෙනවා. හැබැයි ඒ නුසුදුසු තැන්වලට හිමි වටිනාකම අධික නිසා බඩ පිම්බුණු ඔලුව කුරුවල් වුනු හදවත දියවෙන සමාජයක් නිර්මාණය වෙනවා. මිනිස්සුන්ට දැනෙන්නෙ තනි තනිව සල්ලි එක්ක කඩවල් එක්ක තමන් ජීවත් වෙනවා කියලා. අහවල් නිෂ්පාදනයක්ද, අහවල් ප්‍රමාණයක්ද, අහවල් අරමුණක්ද, අහවල් සැලසුමක්ද, සියල්ල අහවලුන්ට බාර කර අපි හුදු මත දෙසනවා.. එක පැත්තකින් හොදයි, අනෙක් පසින් නරකයි. අවසන් වශයෙන් කවුරුද කීවාසේ මනස හා ආධ්‍යාත්මය දිහාට පවන් ගහමින් ඉන්න කාලයක් මෙහේට විතරක් නොවෙයි හැමතැනටම උදාවේවි. අපි කොහේ ගියත් යන්නෙ රවුමක, ආයෙ ආයෙ එකම තැන් හමුවෙනවා, පහුකරනවා. යන්නෙ වමෙන්ද දකුණෙන්ද කියනවට වඩා අවසානෙ ඉතිරිවෙන දේත් දැරූ පරිශ්‍රමයත් කිරා බලා වටිනාකම ඉතිහාසයට එකතු කිරීමක් විතරයි නේද වන්නේ.. ඒ ඉතිහාසයන් දෙස බලා අනාගතයට පාඩමක් ගන්නට හැකිනම්.. ඊලග රවුමෙදී දැනෙන හැගීම වෙනස් වෙන බව තේරුම් ගත හැකිනම්..එවැනි අය දියුණුවක් නොලබාවිද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: