අරුණි ශපීරෝ‍ වෙතින්

හැරියට් ටබ්මන්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 18, 2013

IMG_0114

ඇරමින්ටා රොස් නොහොත් හැරියට් ටබ්මන් උපත ලබන්නේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේය. වහලෙක් ඉපදුන දිනය ගැන වාර්තා නොතබන ලද යුගයක ඇයගේ උපන්දිනය කවදා දැයි කියා ඇය නොදන්නීය. වැහිබර දිනයෙක ඇය වෙනුවෙන් මෙරිලන්ඩ් හි වසර 325 ක් පැරණි කේම්බ්‍රිජ් ඵෛතිහාසික නගරයේ පිහිටුවන ලද කුඩා කෞතුකාගාරය වෙත මම පා නැඟුවේ පොතපතෙන් කියවා ඇති ඇමෙරිකන් ඉතිහාසයට තවත් බිඳක් එකතු කරගන්නටයි.

හැම දෙයක් ගැනම තමන් දකින පරිදි සටහන් තැබීම නිදහස් අයිතියක් යැයි කියූ ඇමෙරිකන් ව්‍යවස්ථාව නිසා එදා ලියන්නට කියවන්නට නොදත් හැරියට් ටබ්මන් ගැන අද ඉතිරි වී ඇති තොරතුරු මහා සම්භාරයකි. ඒවායෙන් ඇබිත්තක් මෙසේ සටහනක් ලෙස සිංහලෙන් ලියමි.

මින්ටි නමින් හැඳින්වී ළාබාල වයසේ දී සිල්ලර කඩයක වැඩට යැවෙන ඇයව කුලියට ගත් ස්වාමියා විසින් වෙන අයෙකුට එල්ල කරන ලද යම් බර දැයක් හිසට වැදුන නිසා ඇයට ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඔළුව ආශ්‍රිත ලෙඩ වලින් පීඩා විඳින්නට සිද්ධ වන්නීය.

හිසට වැදුන පහරින් පසු හිටි හැටියේ නින්ද යන ඇයව මන්ද බුද්ධික යැයි සිතා විකුණා දමන්නට ඇයගේ අයිතිකාරයා උත්සාහ කළ ද ඇයව මිල දී ගන්නට කිසිවෙක් ඉදිරිපත් නොවූයෙන් ඇයව නිතර වෙන අයට මෙහෙකාර වැඩ සඳහා කුලියට දෙන ලදි. එසේ කුලියට ගත් අයෙකු වූ ජෝන් ස්ටුවර්ට් අනතුරුව ඇයගේ පවුලේ අනිත් අයව ද තමන්ගේ ගොවිපොළේ වැඩට ගනියි. ඒ ජෝන් ස්ටුවර්ට්ගේ පුතාට ඒ වහල් පවුල භුක්තියෙන් හිමිවෙන්නේ ඔවුන්ව යම් කාලයක දී එයින් නිදහස් කරන පොරොන්දුව සමඟයි. වෛද්‍යවරයෙක් වූ පුතා මින්ටිගේ දෙමව්පියන්ව පොරොන්දු වූ පරිදි පසු කලක දී වහල් බන්ධනයෙන් මුදා හරින ලදි.

නිවස ඇතුලේ වැඩට වඩා දර කපන්න, බර අදින්න හා අශ්වයන් යොදා ගොවි බිම් හාන්න ඇරමින්ටා දැක්වූ හැකියාව පිරිමි අයටත් වඩා දැඩි ශක්තියකින් වූවා යැයි කියැවේ.

බාල කාලයේ දී ම ඇයගේ වැඩිමහල් සහෝදරියන් වහල් වැඩට දකුණු ප්‍රාන්ත වලට විකුණා දමන ලදි. ඔවුන්ව විකුණන ලද්දේ කාටදැයි සොයාගන්නට පවා පවුලට නොහැකි වීම එදා සාමාන්‍යයකි. තමන් අයිති නපුරු ස්වාමියාට ක්‍රිස්තියානි හැදියාව පෑදෙන්න යැයි දිනපතා යාඥා කළ ඇයට දෙවියන් ගෙන් ඍජු මඟ පෙන්වීමක් ලැබුණා යැයි ඇය කියා ඇත.

තමන්ට අයිති වහල් කාන්තාවකට ඉපදෙන දරුවන් අයිති වූයේ වහල් ස්වාමියාටය. අම්මාගේ වහල්/නිවහල් බව අනුව දරුවාගේ ඉරණම තීරණය වෙන නීතියක් 1712 දී මෙරිලන්ඩ් හි සම්මත වීමත් සමඟ නිදහස් කාන්තාවක් සමඟ දරුවෙක් වැදීමෙන් කළු වහලෙක්ට තම දරුවාගේ නිදහස් බව තහවුරු කරන්නට හැකියාව ලැබිණ.

ඒ නිසාම වහල් බවේ සිටි කාන්තාවන් හා විවාහ වූ නිදහස් කළු පිරිමි දුලබ විය. වහලියක් වූ ඇරමින්ටා රොස් සමඟ විවාහ වෙන ජෝන් ටබ්මන් නිවහල් කළු ඇමෙරිකානුවෙකි. එහෙත් එම හේතුවෙන්ම ඔවුනට උපදින දරුවන් වහල් විය හැකියාව හැරියෙට්ගේ සිත නිරතුරුව කරදරයට පත් කරන ලද්දකි.

අයිතිකරුවා තමන්ව විකුණන්නට ලැහැස්ති වෙන බව දකිද්දී ඇය මුල් වතාවේ පළා යන්නේ සිය සහෝදරයන් දෙදෙනෙක් සමඟයි. එහෙත් ඔවුන් ගමන ආරම්භයේ දී ම බිය වී ආපහු හැරී ආහ. සහෝදරියන්ව මෙන්ම තමන්වත් දකුණට විකුණන බව දැනගත් ඇය කිසිවෙකුටත් නොකියා තනිවම පළා යන්නට සමත් වෙයි.

තමන් හඹා එන bloodhound බල්ලන්ට අහු නොවෙන්නට ඇය කකුල් පතුල් වල පෙරුම්කායම් ගා ගනියි. අහසේ තරු වලින් උතුරට යන හැටි පියා කියා දුන් ආකාරය මතකයේ තබාගෙන ඇය තනිවම වහල් සේවය නොතිබි ඇමෙරිකාවේ උතුරුකරයටත් අනතුරුව කැනඩාව දක්වා යන්නට ද සමත් වෙන්නීය. ඇයට උදව් කරන්නේ වහල් සේවයට විරුද්ධ වූ සුදු අහෝසිවාදීන් විසිනි.

එවක පටන්ගෙන තිබූ නිදහස සොයා වහලුන් පැන ගිය Underground Railroad ජාලය, ඇයගේ ගමන් මාර්ගයෙන් පසු මේරිලන්ඩ් සිට ඩෙලවෙයාර්, පෙන්සිල්වේනියා, මැසචූසෙට්ස් හා නිව් යෝර්ක් හරහා කැනඩාව දක්වා විහිදී යයි.

පුරාවෘතාන්තයකට අනුව 1831 දී ටයිස් ඩේවිඩ්ස් නැමති කෙන්ටකි හි වහලෙක් නිදහස සොයා පළා ගියේය. ඔහුගේ ස්වාමියා ඔහු හඹා ආවේය. ඔහායෝ ගඟ අසල දී වහලා ගඟට පැන එගොඩට පිහිනන්නට විය. පීනා යන වහලාව දැක්ක නමුත් ඔරුවක් හොයාගන්නට කල් ගත්ත ස්වාමියා ගඟ මැද දී දැක්කේ එගොඩට ඇදී ගත් වහලා හිටිහැටියේම අතුරුදහන් වූ බවයි. අසල ටවුමක දී ඒ කතාව කියන ස්වාමියා “ඔහු උමං පාරකින් ගියා වගේ,” ඉක්මණින් අතුරුදහන් වූ බව කීම නිසා මෙසේ වහලුන් පළා යන හොර මාර්ගයන්ට උමං දුම්රිය මාර්ගය යැයි නම වැටුණ බව සැලකේ.

වහලුන් මෙසේ නිදහස සොයා පළා යාම කළු විප්ලවකරුවන් සුදු ජාතීවාදී ස්වාමි පුතුන්ට එරෙහිව කරන ලද සටනක් පමණක් සේ දකින අය සිටිති. එහෙත් තතු සොයා බලන්නාට එය 20 වැනි සියවසේ මැද තිබුණු ඇමෙරිකන් සංකල්පයක්ම වූ සිවිල් අයිතීන් අරගලයේම කොටසක් බවත්, එය සිද්ධ වූයේ අන්තර්ජනවාර්ගික උත්සාහයෙන් බවත් දැකිය හැකියි.

හැරියට් ටබ්මන්ට වහල් ක්‍රමයක් නොවූ උතුරුකරයට පළා යන්නට සෑම ප්‍රාන්තයකින්ම පාහේ සුදු හමැති දුම්රිය කොන්දොස්තරවරු, නැව් කප්පිත්තෝ, කඩ හිමියන්, යකඩ තලන්නන්, සපත්තු මහන්නන්, ගුරුවරුන් හා දේවස්ථාන මුලසුන් දරන අය වැනි විවිධ තරාතිරම් වල ජනතාවක් සහාය දී ඇත.

පළා ගිය වහලුන්ට බඩු කරත්ත වල සඟවා ප්‍රවාහන සැපයූ සුදු හමැති අයත්, සිය නිවහන් විවෘත කර ආහාර හා නවාතැන් දුන් සුදු හමැති අයත් සිටි නිසාම ඒ වෑයම් සාර්ථක වූහ. ඇමෙරිකන් ඉතිහාසය කියවන්නා අමතක නොකළ යුත්ත නම් රටට දායාද වෙන වහල් ක්‍රමයේ අයිතිකරුවන්ට එරෙහිව වහල් ක්‍රමය හෙළා දැකි අය පමණක් නොව ඒ ගැන යමක් කළ සුදු ජනතාවක් රට ආරම්භයේ දී පටන් ඇමෙරිකාවේ සිටියාය යන්නයි.

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසින් ආරම්භ කරන ලද The Pennsylvania Society for the Promotion of the Abolition of Slavery සංවිධානය ෆිලඩෙල්ෆියාවේ දී හමුවන හැරියට් කැනඩාවේ නිවහල් වාසයට හැකියාව ලබා ගත්තාය. එහෙත් එයින් සෑහීමකට පත් නොවන ඇය යළි යළිත් දකුණට අවුත් තව වහලුන් බේරාගෙන යෑම සිය ජීවිතයේ අරමුණ කර ගන්නීය. ගිම්හාන කාලයන් හි අවන්හල් හි උයන, ගෙවල් පිරිසිදු කරන, ගොවිතැන් කරන ඇය එයින් උපයා ගන්නා මුදල් වලින් හේමන්තයේ අඳුරු සීතල දිනයන්හි දකුණට තනිවම අවුත් පැන යන්නට කැමති වහලුන් හොර රහස් මාර්ගයන් වෙතින් උතුරුකරයට ගෙන යන්නීය. එසේ පැනගත් වහලුන් තම පවුල් වල අනෙක් අය ගෙන්වා ගැනීමටත් ඇයගේ සහාය පැතූහ. ඇය හා පැන ගිය කිසිම වහලෙක් ගමනේ දී මරණයට පත් වී නැත. ඇයව “තම ජනතාවගේ මෝසස්” යන නමින් හැඳින්විණ.

කියවන්නට ලියන්නට නොදන්නා ඇය පින්තූරු කාඩ් ක්‍රමයක් හදා ගනියි. ඒවායේ ඇති මුහුණු සහ ගොඩනැඟිලි ඇයගේ හොර රහසේ වහලුන් ගෙන යන මාර්ගයේ දී සහාය ලබාගන්නා පිරිස සහ නවාතැන් සොයන ස්ථාන වෙති. තැනට සුදුසු නුවණක් පාවිච්චි කළ අවස්ථා බොහොමයක් ගැන සඳහන් වේ. දුෂ්කර මධ්‍යයේ කෙසේ හෝ වාසනාව හැම විටම ඇය කරා පැමිණීම නිසා ඉතා දැඩි ලෙසින් දෙවියන් තමන්ට ඍජු ලෙසින් උදව් කරනවාය යන්න ඇයගේ බලවත් විශ්වාසය විය. තමා හඳුනාගන්නා වහල් ක්‍රමයේ අහෝසිවාදීන් මාර්ගයෙන් පණිවුඩ යවන්නටත්, ඇයගේ උත්සාහය නිසා ඔවුන්ට ඒ කටයුතු වලට රටේ අයගෙන් හා කැනඩාවේ අය ගෙන් පමණක් නොව ඇයගේ වික්‍රමයන් ගැන අසා තුටු වූ එංගලන්තයේ කාන්තාවන් වෙතින් පවා ආධාර ලැබෙන්නට සලස්වන්නටත් ඇය මූලික වූවාය.

වහල් සේවය පැතිර යා නොදීමට ගසන ලද එවක කොම්ප්‍රොමයිස් එක වූයේ එය පවතින ස්ථාන වලින් එහාට පැතිරෙන්නට අවසරය අහෝසියයි. ඩෙලවෙයාර් ප්‍රාන්තය වහල් ක්‍රමය නීතිමය ලෙසින් කිසිදා අහෝසි කර නැත. හිටපු වහලුන්ට නිදහස ලැබීමත්, නිදහස නොලද්දවුන් පළා යාමට සමත් වීමත් සහ සිවිල් අයිතීන් යනු මොනවාදැයි කියා අවබෝධයක් ලැබීමත් සමඟ ඩෙලවෙයාර්හි වහල් ක්‍රමය ඉබේම අහෝසි වී ගියේය. වෙනස් විය යුත්තේ මන්දැයි පහදා දෙන්නට උත්සාහ නොගෙන ෆෙඩරල් ආණ්ඩුවක් විසින් බලහත්කාරයෙන් පනවන ලද නීති මඟින් වහල් ක්‍රමය වෙනස් කළ දකුණු ප්‍රාන්තයන්හි බලතණ්හාධික දේශපාලනඥයන් අතින් යළි වර්ණ භේදයක් 1950 ගණන් වල දී හිස ඔසවන ලදැයි කියත හැකියි.

1850 දී ඉහත කියූ කොම්ප්‍රොමයිස් එකේ එක කොටසක් වූයේ “නීතියෙන් පැන ගිය වහලුන් අල්ලා ගත හැකියාව” දෙන පනතයි. උතුරට පැනගත් තිස්දාහකට අධික සංඛ්‍යාවක් එවක දී සිටියහ. මේ පනත නිසා හැරියට් ටබ්මන් වැනි කළු අයත්, එසේම ඔවුන්ට ආහාර, නවාතැන් හා ප්‍රවාහන හා වැඩ කර ආදායම් උපයා ගන්නා මාර්ග සැපයූ සුදු හමැති ඩැනියෙල් ගිබන්ස්, තෝමස් ගැරෙට් ජූනියර්, ජෝන් ෆෙයාර්ෆීල්ඩ්, චාල්ස් ටොරේ, කැල්වින් ෆෙයාර්බෑන්ක්ස් වැනි ඔවුන්ට සහාය දෙන, නවාතැන් හා ප්‍රවාහනය සපයන වහල් ක්‍රමයේ අහෝසිවාදීන් ඒ නීතියෙන් වරදකරුවන් වූහ.

මේ දේශපාලනමය වාසි සඳහා පිහිට වූ නීතියෙන් වරදකරුවන් වෙන වහල් ක්‍රමයේ සුදු හමැති අහෝසිවාදීන්ට ව්‍යාපාර බංකොළොත්වන දඩ ගෙවන්නට සිද්ධ විය. සිරගත වූහ. යේල් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තිබි වහලුන් හාරසීයයක් නිදහස් භූමියට ගෙන යන්නට සමත් වූ චාල්ස් ටොරේ වර්ජිනියාවෙ වහල් පවුලකට ප්‍රවාහනය සැපයීම නිසා වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම විය. මෙරිලන්ඩ් හි වසර දෙකක් සිර දඬුවම ගෙවද්දී ඔහු මිය ගියේය. සමහරැන්ට සිය නිවහන් අහිමි විය. එහෙත් නිදහස වෙනුවෙන් කැප වූ ඔවුන් තම වෑයම් අත්හරිනවා වෙනුවට ඇමෙරිකාවේ වහල් ක්‍රමය නොතිබූ උතුරුකරයේ පදිංචිකරනවා වෙනුවට එවර පළා යන වහලුන් කැනඩාව දක්වා ගෙන යන්නට සංවිධානාත්මක වූහ.

නමුත් දේශපාලනමය වාසි සඳහා කැනඩාවත් සිය ප්‍රතිපත්ති වෙනස් කළහ. වහලුන් සමඟින් කැනඩාවට සංක්‍රමණය වෙන ඇමෙරිකන් දකුණු පළාත් හි වහල් අයිතිකරුවන්ට බදු සහන සහ වහලුන් ලෙසින් ගෙනෙන සේවකයන් තව දුරටත් එලෙසින්ම තබාගන්නට අවසර දෙන නීති කැනඩාවේ දේශපාලකයන් සම්මත කර ගත්හ.

සිවිල් යුද්ධය සමයේ යුනියන් හමුදාවට එකතු වෙන කළු පිරිමි සංඛ්‍යාව ඉතා ඉක්මණින් වැඩි විණ. දුප්පතුන් වූ ඔවුන් බඩගින්නේ සිටියහ. ලෙඩ දුකින් පෙළුනහ. ඔවුන් බලා කියාගන්නට ගුරුවරුන් සහ හෙදියන් අවශ්‍ය යැයි රජය කියද්දී හැරියට් ටබ්මන් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය.

දකුණු පළාත් වලට හොර රහසේ ගොස් එන්නට හැකි ඇය සතු දැනුම දුටු යුනියන් හමුදා නිලධාරීන් ඇයව ඔත්තු බලන්නියක් ලෙසින් යොදා ගත්තහ. අනතුරුව ඇය කළු සොල්දාදුවන් 300 පිරිසක් වෙතින් හැදෙන අවිගත් හමුදා බල ඇණියකට අණ දෙන ප්‍රථම කාන්තාව වෙයි. කිසිවෙක් මරණයට පත් නොවී කොම්බාහී ගඟ දිගේ ගොස් 1863 ජූනි මාසයේ දී ඔවුන් සමාබන්ධන හමුදාව පළවා හැර වහලුන් 750 ක් බේරාගෙන එන්නට සමත් වෙති.

1859 දී හැරියෙට් විසින් ජනාධිපති ලින්කන්ගේ ලේකම්වරයා වූ විලියම් හෙන්රි සීවඩ් වෙතින් නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඕබර්න් නගරයේ නිවසක් මිල දී ගනියි. සිවිල් යුද්ධයේ ඇය සමඟින් එකතු වී සටන් වැදුන තමනට වඩා අවුරුදු විස්සක් පමණ බාල නෙල්සන් ඩේවිස් හා 1869 දී ඇය විවාහ වන්නීය.

තාවකාලික රැකියාවන් සහ ඇයගේ මෙහෙයන් අගය කරන අය දුන් පරිත්‍යාගයන් වලින් ඇය ජීවත් වූවාය. ඕබර්න් හි නිවස වටා වවා ගත් එළවළු වලින් එදිනෙදා ආහාර අවශ්‍යතාවයන් පිරිමසා ගත් ඇය වයසක දෙමාපියන් දෙදෙනා ද බලා කියාගත්තා පමණක් නොව සිය නිවස හැම විටම උදව් ඉල්ලා එන ඕනෑම අයෙකු වෙනුවෙන් විවෘත කර තැබුවාය.

සිවිල් යුද්ධය අවසන අතේ මුදල් හිඟ වූ කාලයක දී ඇය ගැන චරිතපදානයක් ලියා මුදල් එන මාර්ගයක් හදා දෙන්නේ සාරා බ්‍රැඩ්ෆර්ඩ් විසිනි.

යුද්ධය අවසන ඇයට හමුදා විශ්‍රාම වැටුපක් අහිමි වුවත්, නෙල්සන් ඩේවිස්ගේ බිරින්ඳෑ හැටියට ඇයට වැන්දඹු විශ්‍රාම වැටුපක් ද, සිවිල් යුද්ධයේ හෙදියක් හැටියට විශ්‍රාම වැටුපක් ද ලැබිණ. එම විශ්‍රාම වැටුප් වලින් ඇය වයසක ඇත්තන් සඳහා හැරියට් ටබ්මන් නමින් නිවහනක් පිහිටුවන ලදි.

1913 මාර්තු 10 වැනිදා (වයස 91 දී යැයි අනුමාන කරන) නිව්මෝනියාව හැදී තමන් පිහිටුවන ලද වැඩිහිටි නිවසේම මිය යන ඇය සත්‍යයෙන්ම තමන්ගේ සම්පූර්ණ ජීවිතය ඇමෙරිකන් අය වැඩියෙන්ම අගයක් දෙන නිදහස වෙනුවෙන් කැප කරන ලද්දියකි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on දෙසැම්බර් 19, 2013 at 1:33 පෙ.ව.

    ඇගේ දරුවනට අය පැතූ නිදහස එලෙසම භුක්ති විඳිනට හැකි වූ බව සිතමි.

  2. Pradeep Jayatunga said, on දෙසැම්බර් 20, 2013 at 3:18 පෙ.ව.

    Why do you think most of the black people were/are very religious? Is that because they needed hope? How did they reconcile their religion with some churchmen’s support for (and justification of) the institution of slavery? Were Baptists traditionally against slavery?

    • arunishapiro said, on දෙසැම්බර් 30, 2013 at 8:31 ප.ව.

      Pradeep Jayatunga,

      කළු අය බහුතරය දැඩි ආගමික වූවා/වෙනවා යැයි කියන්න විවාදයට තුඩු දෙන ප්‍රකාශයක්. වර්තමානයේ දී සිරගත වී ඉන්න අය අතර බහුතරය කළු පිරිමි. ඔවුන් දැඩි ආගමික නම් මිනීමැරම් හා හොරකම් නොකරන්න ඕනෑ නේද? සමරිසි විවාහයන්ට අකමැති අය බහුතරය අතර කළු අය සිටිනවා යන්න තව කාරණයක්. ඒත් එය ආගමික ද නැත්නම් වෙනත් උප සංස්කෘතියක් ද යන්න පැහැදිලි නැහැ.

      බැප්ටිස්ට්, මෙතඩිස්ට්, කුවේකර් යනාදී බොහොමයක් ආගම් මුල් කාලීන ඇමෙරිකාවේ නිදහස් සංකල්පය අනුව ඕනෑම අයෙකුට තම ආගම ඇදහීමට ඉඩදුන් අය. ඔවුන් සියල්ලන්ම වහල් ක්‍රමයට එරෙහි වීමට වඩා වහලා ද ආගම ඇදහීමට අයිතියකින් යුතු අයෙක් ලෙස සැලකුවා යැයි කීම නිවැරදියි. වහල් ක්‍රමය දේශපාලනයේ බල අරගලයට රිංගා ගත් පසුව බැප්ටිස්ට් අය වැඩියෙන් සිටි දකුණු පළාත් වහල් ක්‍රමයට පක්ෂව ද මෙතඩිස්ට් හා කුවේකර් වැඩිපුර සිටි උතුරු පළාත් වහල් ක්‍රමයට විපක්ෂව ද කටයුතු කළා. ආගමික නායකයන් ද දේශපාලන නායකයන් හා සමාන වෙන්නේ තම පැත්තේ චන්ද දින්නනට හෝ තම පැත්තේ අයගේ වාසි ලබන්නට බලතණ්හාධිකයන් ලෙසින් කටයුතු කරන එවැනි අවස්ථා වල දී.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: