අරුණි ශපීරෝ‍ වෙතින්

පියතෝර් ඉලියිච් චෙකොස්කි නිර්මාණය කළ The Nutcracker

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 28, 2013

IMG_0628

ද නට්ක්‍රැකර් -The Nutcracker ලොව සුප්‍රසිද්ධ රුසියන් බැලේ නර්තනයකි. එහි කතාව උපුටා ගන්නා ලද්දේ අර්නස්ට් තියඩොර් ඇමඩස් හොෆ්මන් නම් ජර්මන් කතුවරයාගේ The Nutcracker and the Mouse King(1816) නිර්මාණයෙනි. සෑම දෙසැම්බර් මාසයක දී ම ඇමෙරිකාවේ ලොකු කුඩා නගරයන්හි දී මේ බැලේ නර්තනය රඟ දැක්වේ. එය නොවරදවාම නරඹන සම්ප්‍රදායක් කරගත් අය මෙරටේ බොහොමයකි.

රට පුරා සංචාරයේ යෙදෙන වෘත්තීය බැලේ නාට්‍ය කණ්ඩායම් එයට තමන් යන පළාත්වල නර්තනය ඉගෙන ගන්නා කුඩා දරු දැරියන් එකතු කර ගනිති. ගිම්හානයේ දී කෙරෙන තෝරාගැනීම් වලින් අනතුරුව සැප්තැම්බර් සිට දෙසැම්බර් තෙක් සති අන්ත වල දී ඒ ඒ නගරයේ නැටුම් ගුරුවරුන් විසින් ඒ සඳහා විශේෂ පුහුණු පවත්වති. තම පිරිමි සහෝදරයන්ව ඊට එකතු කරගන්නට යාප්පු වෙන, අල්ලස් දෙන අක්කලා නංගිලා බොහොමයක් සිටිති. ඒ බැලේ නැටුම් පාසැලකම ඉන්නේ පිරිමි අතලොස්සක් නිසයි. වෘත්තීය නර්තන කණ්ඩායම් වසරේ මුළු ආදායමෙන් 40% ක් පමණ උපයන්නේ මෙයින්.

2004 ඔක්තෝබරයේ දී මේ බැලේ රංගනය ලංකාවේ BMICH හි රඟ දැක්වූයේ බොල්ෂොයි බැලේ කණ්ඩායමයි. රුසියාවේ 1776 ගණන් වල දී ආරම්භ කරන බොල්ෂොයි බැලේ ලොව පැරණිතම නාට්‍ය කණ්ඩායමකි. බැලේ නාට්‍යාංගනාවන්ට එහි අධ්‍යක්ෂකවරුන් හා යහන්ගත වීමට සිද්ධ වූවා යැයි චෝදනා නිසා රුසියාව හැර දා යන්නට ඉඩ ලැබුණු කල බොහෝ දෙනෙක් පිට වී ගියහ. 2013 ජනවාරියේ දී එහි රංගන අධ්‍යක්ෂකවරයාට ඇසිඩ් පහරක් ගැසීම නිසා පිරිමි නැටුම්කරුවන් තිදෙනෙක්ට සිර දඬුවම් නියම වූහ.

පියතෝර් ඉලියිච් චෙකොස්කි ගේ නට්ක්‍රැකර් (ඇට අරින අඬුව) හි මුල් නැටුම් රංගන සියල්ලේ නර්තන රචනය (choreography) කරන ලද්දේ ලෙව් අයිවනොව් නම් වූ යුදෙව් රුසියානුවායි. ඒ එහි නර්තන රචනය බාරව සිටි සුප්‍රසිද්ධ නර්තන රචක ප්‍රංශ ජාතික මාරියස් පෙටිපා රෝගී තත්වයක සිටි නිසයි. රෝගීව සිටි නිසා පෙටිපා බාරගත් කර්තව්‍ය නිම නොකළේය. Lev Ivanov නම එහි නර්තන රචනය සම්බන්ධයෙන් සටහන් වුවද ඒ ගැන දන්නා අය ලොව අල්පයකි. පෙටිපාගේ නම පමණක් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැත්වුනු ඒ මුල් රංගනයේ පෝස්ටර් වල පළ විය. තවමත් සමහර නිර්මාණයන්හි දැක්වෙන්නේ පෙටිපාගේ නම පමණකි.

19 සියවසේ අග සහ 20 වැනි සියවස මුල දී ලොව යුදෙව්වන් වැඩිම පිරිසක් වාසය කළේ රුසියන් අධිරාජ්‍යයේය. නට්ක්‍රැකර් බැලේ නර්තනය නිමැවෙන 1892 වසර යනු යුදෙව්වන්ට පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත්වීම තහනම් වූ වසරයි. ලියොන් ට්‍රොට්ස්කි වැනි යුදෙව්වන් බොල්ෂෙවික් අරගලයට සහාය දීමට යුදෙව්වන් යුතු කණ්ඩායම් හැදුවත්, කොමියුනිස්ට්වාදයෙන් ඔවුන්ට තැනක් ලැබේ යැයි ඒ යුදෙව්වන් අපේක්ෂා කළත්, ඔවුන්ට එරෙහි ජනතාව රුසියාවේ නොමඳ වූහ. ව්ලැඩමියර් ලෙනින් ගේ යුදෙව් විරෝධී ව්‍යාපාර අනතුරුව ජෝසෆ් ස්ටාලින් අතින් වැඩි වර්ධනය විය.

ලෙව් අයිවනොව්ගේ නම නට්ක්‍රැකර් බැලේ හි නර්තන රචනයේ යෙදුන අය ලෙසින් ප්‍රසිද්ධ වෙන්නට යාන්තමින් හෝ ඉඩකඩක් තිබුණා නම් එය ද සෝවියට් සමය සමඟ ඇහිරී යන ලදි.

මෙම බැලේ නර්තනය රුසියාවෙන් එළිබහින 1892 කාලය යනු කාර්මික විප්ලවයත් සමඟ ලෝක ඉතිහාසයේ නොවි විරූ ලෙසින් සමෘද්ධියක් ජනතාව අත්දකිමින් සිටි යුගයයි. යුරෝපීයයන් යැයි එවක හැඳින්වුනු රුසියානුවන් ද අයිති වූ දේශයේ හැම තැනකම කාර්මික විප්ලවය නිසා ආදායම් ඉතා වේගයෙන් වැඩි වෙමින් පැවතිණ. මිනිස්සු වැඩිකල් ජීවත් වූහ. ළදරු මරණ වේගයෙන් පහළ බැස්සේය. මැද පංතියට විදුලි බලය, දුරකතන, සර්ව වෛද්‍ය පහසුකම් හා නිවහන ඇතුලත හැදූ වැසිකිළි සමඟ ආරක්ෂිත සහ සුවපහසු නිවාසයන් හි පදිංචියට හැකියාව ලැබිණ.

ඒ සමෘද්ධියේ හෝඩුවාවන් මේ බැලේ නර්තනය තුලින් දැකිය හැකියි. ලස්සනට සරසා ඇති නත්තල් ගසක්, පරම්පරා කිහිපයක නෑදෑයන් සහ සමෘද්ධියෙන් පිරී ඉතිරීම නිරූපණය කරන තමන්ටත් අනුන්ටත් බෙදා දෙන්නට ඇති පමණින් තෑගි තිබෙන එහි ආරම්භක මහා සාදයකට සූදානම් වෙන දර්ශනයෙන් කියා පාන්නේ පවතින සෞභාග්‍යයයි.

එය සමස්ත ලෝකයා මුලින් ම ගෝලීයකරණයක් අත්දුටු, අන්තර් සංස්කෘතික බෙදා ගැනීම් උත්සවාකාරයෙන් සමරන ලද යුගයයි. බහුතර දෙනෙකුට නැව් මාර්ග සහ දුම්රිය මාර්ග වලින් තම දේශ සීමාවන් වලින් බැහැරට යමින් ලෝකය දැනගැනීමට මුලින්ම ඉඩක් පෑදුන සමයයි. වෙනත් කිසිම යුගයකට පෙර නොතිබුණ ලෙසකින් පාරිභෝගික භාණ්ඩ ද දේශ සීමාවන් හරහා ගිය අතර බහු සංස්කෘතික රසාස්වාදයන් සාහිත්‍ය කලාවන්ට ද එකතු වූ කාලයයි. අරාබියෙන් කෝපි ද, චීනයෙන් තේ ද ඇති නැටුම් අතර එහි රුසියන් අංගය සම්ප්‍රදායික යුක්රේන නැටුමක් පදනම් කරගෙන ගොඩ නැඟුනකි.

මේ බැලේ නැටුමේ Sugar Plum නම් රසකැවිල්ල නමින් හැඳින්වෙන සුරංගනාවියක් සිටියි. ප්ලම්, ෆිග්, ඇප්‍රිකට්ස්, රටඉඳි, චෙරි යනාදී පළතුරක වියළි කැබලි දමා හදන ඒ ‘ෂුගර් ප්ලම්’ නම් රසකැවිල්ල ආමන්ඩ්ස්, මීපැණි, අසමෝදගම්, සූදුරු, මාදුරු, එනසාල් වැනි රසකාරක එකතු වීම රුසියාව වැනි සීතල රටකට ග්‍රීෂ්ම රටවලින් එන කුළුබඩු ගැන සඳහනකි.

ලෙව් අයිවනොව්ගේ නර්තන රචනය දැන් ලොව පුරා නොයෙක් නැටුම් කණ්ඩායම් තුලින් බිහිවෙන විවිධ රංගනයන් හි අනේක වෙනස් වීම් වලට පාත්‍ර වී ඇතත් ප්‍රධාන නාට්‍ය රංගනයන් එලෙසින්ම පවතී. කතන්දරය දිගහැරෙන චෙකොස්කිගේ සංගීතය බැලේ නැටුම නොබලා වුවත් රස විඳීමට හැකි වූවකි.

මේ ගැන Jefferey A. Tucker විසින් ලියන ලද ලිපිය මෙතැනින් කියවන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: