අරුණි ශපීරෝ‍ වෙතින්

මුලාවන්ට හසුනොවී බාධා අභියෝග ජයගත හැකි 2014 ක් වේවා!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 31, 2013

C54-060-075_FD76_011

1917 දෙසැම්බර් 28 වැනිදා ඇමෙරිකන් පුවත්පත් කලාවේදියෙක් වූ හෙන්රි ලුවිස් මෙන්කන් නැමැත්තා නිව් යෝර්ක් ඉව්නින් මේල් නම් පත්‍රයට “නොසලකා හැරෙන සංවත්සරයක්” නමින් ලිපියක් ලියුවේය. ලෙඩ රෝග බෝවේ යැයි කියා මිනිසුන් නාන බේසම පාවිච්චි නොකර සිටිය දී 13 වැනි ජනාධිපතිවරයා වූ මිලාඩ් ෆිල්මොර් විසින් එය 1850 දී වයිට් හවුස් හි සවි කරගැනීමත් සමඟ ජනප්‍රිය වූවා යැයි ඇමෙරිකාවේ නාන බේසමේ ඉතිහාසය ගැන ලියන ලද ඒ ලිපිය ඉංග්‍රීසියෙන් ඉහත සබැඳියෙන් කියවිය හැකියි.

ඒ ලිපිය පළවීමත් සමඟ වෙනත් ප්‍රකාශන වල ද එහි සාරාංශ පළ වන්නට පටන් ගැනිණ. වසර 8 ක් යනතුරු එය ඇත්තක් ද නැත්තක් දැයි සොයා නොබලන අය අතින් හැම තැනකම පැතිර යන හැටි බලා සිටි එච්. එල්. මෙන්කන් අවසානයේ සොයා නොබලා සත්‍යය ලෙසින් පිළිගත් බහුතරය දැක පුදුම වී 1926 මැයි 23 වැනිදා චිකාගෝ ට්‍රිබියුන් හි මුල් පිටුවෙන් එය බොරුවක් බව හෙළිදරව් කළේය.

එහෙත් තව දුරටත් එම ලිපියේ විස්තර සත්‍ය පරිසිද්ධි ලෙසින් පළ කිරීම නැවතුනේ නැත. ඇමෙරිකාවේ නිල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන අයත් එහි කරුණු උපුටා දැක්වූහ. හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දොස්තර හාන්ස් සින්ස්සර් විසින් ලියන ලද “මීයන්, තඩියන් හා ඉතිහාසය” පොතේ 285 වැනි පිටුවේ “1840 තෙක් නාන බේසම ඇමෙරිකාවට පැමිණියේ නැතැයි අප විශ්වාස කරනවා,” යැයි ලියා ඇති බව කියැවේ. ඒ ලිපිය විශ්වාස කළ හැරී ටෲමන් ජනාධිපතිවරයා එය බොරුවක් යැයි දැනගත්තාට පසුව ද එය අත්හරින්නට අකමැති වූවෙකි.

Millard Fillmore සැබැවින්ම බලයේ සිටි ඇමෙරිකන් ජනාධිපතිවරයෙකි. ෆිල්මොර් යන වාසගමෙන් කියැවෙන්නේ “තව පුරවන්න” වීමේ හාස්‍ය බව මෙන්කන් ලියූ නාන බේසම සටහනේ තිබීම එබැවින් බහුතරයකට අහුවුනේ නැත.

නිව් යෝර්ක් හි මොරේවියා නගරය ජනාධිපති මිලාඩ් ෆිල්මොර්ගේ උපන් ගමයි. මෙන්කන්ගේ ලිපියෙන් ලද ප්‍රසිද්ධිය නිසා ඔවුන් ජනාධිපතිවරයා සිහිකිරීමට පිහිටුවා ඇති ස්මාරක සඳහා මෑත කාලයේ දී ආධාර එකතු කිරීමට පවත්වන උත්සව වලට නාන බේසම් තරඟයක් ද ඇතුල් කරන ලදි. ඉහත ඡායාරූපය එවැනි තරඟයක දී ගන්නා ලද්දකි.

එච්. එල්. මෙන්කන් කියූ තවත් ප්‍රකාශයක් මෙසේය: “ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණ වෙද්දී, ජනාධිපතිවරයාගේ කාර්යාලය වැඩි වැඩියෙන් ජනතාවගේ සිත් සතන් වලින් නියෝජනය වෙයි. යම් උදාර ඉසුරුමත් දිනයක දී භූමියේ සාමාන්‍ය මහජනතාවගේ හදවත් වල කැමැත්ත අවසන් ලෙසකින් සාක්ෂාත් කරමින් වයිට් හවුස් බබලවන්නට පරිපූර්ණ ගොබ්බයෙක් පත්වනු ඇත.

9/11 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ජනතාව බියගන්වා, දේශප්‍රේමි පනතක් පිහිටුවා නිදහස කප්පාදු කිරීම ඇරඹූ බුෂ් පුතා වීරයෙක් සේ දකිනා අය තවමත් රටේ සිටිති. ලැබූ කිසිවකට සුදුස්සෙක් වන්නට කළ දෙයක් නැති බරක් ඔබාමා අසාර්ථක යැයි කියන්නට අකමැති බහුතරයක් තවමත් රටේ සිටිති. කළු අයෙක් ජනාධිපති වුන නිසා ඊ ළඟට ගැහැණියක් ඒ තනතුර ලැබිය යුතුයි කියන අයත් සිටිති. ඉතින් ඇමෙරිකාවේ බහුතර චන්දදායකයන් පරිපූර්ණ ගොබ්බයා/ගොබ්බිය? පත් කරගන්නා දිනයට තවම පැමිණ ඇත්දැයි මට සැකයි!!!! 😀

ප්‍රජාතන්ත්‍රවාදයේ වැරැද්ද නම් ඇත්ත නැත්ත සොයා බලන්නට උවමනාවක් නැති පහසුවෙන් රැවටෙන බහුතර කම්මැලියන් මිනිසුන් නොමග යවන අයට හසු වී අනුන්ට නීති හදන්නට හෝ පවතින නීති වෙනස් කරන්නට චන්ද බලය ලැබීමයි. එහෙත් අනෙක් සියල්ලටම වඩා එකම සාධාරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය නිසාම එය ආරක්ෂා කරමින් නොදැනුවත් අයව දැනුවත් කරන්නට සැමගේ නිදහසේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූ අයට වැඩි බරක් පැටවේ.

නිදහස් ප්‍රකාශයට අවකාශය රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ඇමෙරිකාවේ, ස්වාධීන වාර්තාකරුවන් රිචඩ් නික්සන්ව ගෙදර යැව්වාට පසුව විශ්‍රාම ගියහ. නමුත් රට ආරම්භ වූ දිනයේ මෙන්ම අදත් නිදහස කුමක්දැයි වටහා ගත්තවුන් හා ඒ වෙනුවෙන් කැප වූ අය සිටිති. ඔවුන් විකල්ප මාධ්‍යයන් වලින් සත්‍යය තොරතුරු බෙදීමට ගෙන ඇති උත්සාහයන් අද එන්න එන්නම වර්ධනයක් ලබයි. එඩ්වර්ඩ් ස්නෝඩන්ගේ විස්තර හෙළි කළ ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් විසින් අනාගතයේ දී බ්‍රසීලයෙන් අමුතුම තාලේ ස්වාධීන ප්‍රවෘත්ති සේවයක් ආරම්භ කරන්නට සූදානමින් සිටියි.

නිදහස යනු බහුතරයකට තවමත් ඈත එපිට ඇති බොඳ සිතුවමකි.

පහුගිය දවසක අයෝවා ප්‍රාන්තය මැද්දෙන් හරහට යද්දී ගත්තු පින්තූරයක් මේ.
1506391_10152089879235851_1125399537_n

ඒකට සුජීව කොකාවල ලියපු කවි පංතිය මේ.

“මන්දාරම් ආකාසෙට
බයේ ගුලි වෙන හිම බිංදු
ඉබාගාතේ ඇවිදින ටයර් පාරවල්
ජීවිතේ ශිශිරකාරක නින්දට ඇද දමන
ලේ නහර ගල් ගැහෙන සීතල

ඈත පෙනෙන බොඳ සිතුවම
සිහිනයක් ද ෆැන්ටසියක් ද
අපේම හිත අපිට හොරා ඇඳපු ක්‍ෂේම භූමියක් ද
ලඟට ගොහින් බලපුවාම ඉන්ද්‍රජාල රැවටුමක් ද

හීතලෙන් ඉස්සී බලමු නොපෙනෙන උණුහුම දිහා
එනතුරු වසන්තය”

-සුජීව කොකාවල

හේමන්තයේ සීතල කැටි ගැහිලා ට්‍රැක්ටර් පදවාගෙන එතෙරට යා හැකි ඒ පැත්තේ ගංඟා වසන්තයේ දී උතුරා ගොවිබිම් යටකරගෙන පිටාර ගලති. සිසිරයේ දී ටොරනේඩෝ හමා ඇවිත් උන්හිටි තැන් අහිමි කරති. ලෝකයටම කන්න දෙන්න ධාන්‍ය වගා කරත හැකි ඒ පැතිවල වාසීන් ඒත් ස්වභාව ධර්මයා දෙන අභියෝග සෑම වසරක් පාසාම බාරගන්න නොබිය වූවන්.

සුජීවගේ කවියෙන් මම දැක්කෙ බලාපොරොත්තුව. මිනිස් සිතක මහිමය නම් මිනිසාට අනාගතය ගැන බලාපොරොත්තු තබාගත හැකියාවයි. පවතින තත්වය කොතරම් කටුක වුවත්, එය සිහිනයක් ද, නැත්නම් ෆැන්ටසියක් ද, ඉන්ද්‍රජාල රැවටුමක් දැයි තෝරා බේරා ගන්නට නොහැකි වුවත්, ඊට වඩා යහපත් වූ ඉදිරියේ උදාවන තත්වයක් ගැන, “හීතලෙන් ඉස්සී බලමු නොපෙනෙන උණුහුම දිහා, එනතුරු වසන්තය,” නැත්නම් බලාපොරොත්තුවක් තබාගත හැකියාව තමයි මිනිසා ජීවත් කරවන්නට සහ මිනිසාගේ උන්නතියට හේතු වන අලුත් දේවල් ලෝකෙට පිරිනමන්නට සමත් වෙන්නෙ.

ස්වභාව ධර්මයා ගෙනෙන අභියෝග වලට මුහුණ දෙන්න තමන්ට තමන් බොරු කියාගෙන බැහැ. නිදහසත් ඒ වගේ. මට ඇති නිදහස අනෙකාට නොදෙන්නේ ද එවිට මගේ නිදහසත් කප්පාදු වෙන බව මම පිළිගන්නේ නැත්නම් කවදාවත් නිදහසේ සුන්දරත්වය කිසිවෙකුට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ.

මෙන්කන් කළා වගේ විහිළුවක් ඇත්ත දැයි තතු සොයා නොබලා පිළිගන්නා අය ලොව වැඩි නිසා, ලෝකයේ බහුතරයක් මුග්ධ කතන්දර වලින් මුලාකර තබන්නට ඉතා පහසුයි. මිනිසුන් නොමග යවන අය ලෝකයේ හැමදා සිටීවි. ඒත් ඒ වගේම තමන් නොදන්නා මිනිසුන් පවා ඔවුන්ගේ නිදහස වෙත ගෙන යන්නට කැපවීමෙන් කටයුතු කරන ස්වල්පයක් ද ලොව හැමදාම සිටීවි.

මුල් කාලීන ඇමෙරිකාවේ නිදහස උදෙසා කැප වූ හැරියට් ටබ්මන් වැන්නියක් ගත්තේ නොපෙනෙන බොඳ සිතුවමක් වෙත යන උත්සාහයක්. ඇය සීතල හේමන්තයේ අඳුරු දවස්වල මඩ ගොහොරුවල හැංඟී සිට, අද වැනි උණුසුම් වස්ත්‍ර නොමැතිව, GPS නැතිව, විශ්වාස කරන්නේ කවුදැයි කියා නොදැන, නිදහස වෙත මිනිසුන් ගෙන ගියේ ප්‍රතිඵල කෙසේ වේදැයි නොදැන ගත් අවදානම් උත්සාහයෙන්. ඇය අවසානයේ තමන්ට සහ අනුන්ට අත්පත් කරගත්තේ ඉතා පැහැදිලි ලොව අනගි සිතුවමයි, නිදහසයි.

නිදහස යනු යම් පිරිසක් විසින් තවත් පිරිසක් සඳහා සුදුසු යැයි තීරණය කරන ඒ ඒ ඒවා නොව ජීවත්වන සෑම පුද්ගලයෙකුටම වෙනත් අයෙකුට ප්‍රචණ්ඩත්වයක් නොකර තම වෙහෙසෙන් තමන් කැමති දෙයක් සොයා යෑමට ඇති ඉඩකඩයි.

මිනිසාගේ අනෙක් සියළු බලාපොරොත්තු ඉටු කරගන්නට ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ ඉහත සඳහන් නිදහස සෑම අයෙක් වෙනුවෙන්ම ආරක්ෂා වෙනවා නම් පමණි.

තමන්ගේම යැයි කියන ඒකීය බලාපොරොත්තු වලට ඇති බාධක හා අභියෝගයන්ට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට හැකියාව ලැබෙන්නේ ද තමන් තමන්ට බොරු කියාගන්නේ නැත්නම් පමණි.

උදාවෙන 2014 වසරේ දී අනුන්ට නීති දාන නායකයන් හැටියට “පරිපූර්ණ ගොබ්බයන්/ගොබ්බියන්” පත්වුවත්, තමන්ට තමන් බොරු කියාගන්නේ නැති, සෑම අයෙක් වෙනුවෙන්ම නිදහස රකින්නට කැමති අය නිදහස වෙනුවෙන් වෙහෙසීම අත් නොහැරිය යුතුයි.

ඔබ සැමට උදාවෙන 2014 දී හැකි පමණින් මුලාවන්ට හසු නොවී, මුහුණ දෙන්නට සිද්ධ වෙන බාධක සහ අභියෝගයන් ජයගත හැකිවීමෙන් සතුට පිරී ඉතිරී යන වසරක් වේවා!!!

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on දෙසැම්බර් 31, 2013 at 11:10 පෙ.ව.

    සුබපැතුමේ මාතෘකාව ලිපිය වගේම වටිනවා. “මුලාවන්ට හසුනොවී බාධා අභියෝග ජයගත හැකි 2014 ක් වේවා!” කාලිනව ලෝකයට මේ මිගින් දෙන පණිවුඩය කෙතරම් වටනේද

  2. හලෝව් රස්ටා said, on දෙසැම්බර් 31, 2013 at 11:35 පෙ.ව.

    අපිත් අපේ රටත් ඉස්සරහට යේවා.. පස්සෙන් තල්ලු කරන්නට සැවොම පිරිසිදු අරමුණෙන් එක්වේවා… එවිට කවදා හෝ ඇමරිකාව අබිබවන්නට අපිට හැකියි. 🙂 2014 ජයවේවා හැමට.. බලාපොරොත්තු අත නාරිමු.

  3. wicharaka විචාරක said, on දෙසැම්බර් 31, 2013 at 2:52 ප.ව.

    සාම්ප්‍රදායිකව සුබ අලුත් අවුරුද්දක් වේවා කියනවාට වඩා හිතන්නට යමක් සහිත අලුත් අවුරුද්දක් වේවා කියන එකට මමත් 100% ක් එකඟයි.

  4. amalpasanna said, on ජනවාරි 1, 2014 at 2:43 පෙ.ව.

    මටනම් නාන බේසම නානව කියන්නෙ අසාමාන්‍ය දෙයක්. සමේ රෝග වලදිනම් බේසමේ එපා කියනව.
    ඔ‍ය පැත්තෙ වැඩිපුර නාන්නෙ බේසමේ ලු නේද?
    මේහේ ගමේ පනිට්ටු හෝ පීල්ල තමයි ඉතිං.

    Fillmore කියන වාසගම් fill more කියල තේරුම් කලාම විහිලුවක්නෙ. ඇත්තටම මේ
    වාසගම් හැදුනු හැටි ගැන විස්තර දන්නවද?
    මට හම්බ වුනු වාසගම් ෆොරස්ට්, කිචන්,ලෝන්ග්බොටම්, ස්පෙලින් නම් කොහොමද
    කියල දන්නෙ නෑ. තව වාසගම් තිබුන මේ වෙලාවෙ මතක නෑ.
    හැබැයි හිනායන වාසගම් මෙහෙත් තියනව.

    ඔබටත් සතුට පිරී සුභ නව වසරක් වේවා…!

  5. රූ සිරිනි said, on ජනවාරි 1, 2014 at 4:35 පෙ.ව.

    //ස්වභාව ධර්මයා ගෙනෙන අභියෝග වලට මුහුණ දෙන්න තමන්ට තමන් බොරු කියාගෙන බැහැ. නිදහසත් ඒ වගේ. මට ඇති නිදහස අනෙකාට නොදෙන්නේ ද එවිට මගේ නිදහසත් කප්පාදු වෙන බව මම පිළිගන්නේ නැත්නම් කවදාවත් නිදහසේ සුන්දරත්වය කිසිවෙකුට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ.//

    නවමු අදහස් බෙදාගත හැකි සුභ අළුත් අළුත් අවුරුද්දක් අරුණිත් පවුලේ හැමෝටමත්..

  6. Pradeep Jayatunga said, on ජනවාරි 2, 2014 at 2:00 පෙ.ව.

    මෙහෙ ඉන්නව තමන්ගෙ සාක්කු Fillmore politicians.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: