අරුණි ශපීරෝ‍ වෙතින්

අර්න්ස්ට් ෂැකල්ටන් සහ ඇන්ටාක්ටික් ගවේෂණය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 6, 2014

TheEnduranceInFullSail

ධ්‍රැවීය සුළි සුළඟක් හමා ඒම නිසා ඇමෙරිකාවේ මේ දිනවල අධි සීතල කාලගුණයක් පවතී. සැන් ෆ්‍රැන්සිස්කෝ 49 ෆුට්බෝල් කණ්ඩායම ඊයේ රාත්‍රියේ උණුසුම් තරඟයකින් ග්‍රීන් බේ පැකර්ස් කණ්ඩායම පරදවා ජයගත්තේ ෆැරන්හයිට් බිංදුවත් තුනත් (සෙල්සියස් -16 ත් -17 ත්) පෙන්නුම් කරන සීතලක සෙල්ලම් කරමිනි. විවෘත ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව නරඹන්නන් වෙතින් පිරී තිබුණි. සමහර ක්‍රීඩකයන් අත්කොට ජර්සි වලින් සැරසී ක්‍රීඩා කළ අතර ඉඩක් ලද වහාම ඔව්හු උණුසුම් ලෝගු අස්සට රිංගා ගත්හ. එහෙත් එය වැඩිම සීතල කාලගුණයක සෙල්ලම් කරන ලද ෆුට්බෝල් තරඟය නොවිණ.

ගෝලීය කාලගුණයේ වෙනස්කම් ගැන නිරීක්ෂණ වලින් පර්යේෂණ පවත්වන්නට Akademik Shokalskiy නැවෙන් දක්ෂිණ ධ්‍රැවය බලා ගිය ඔස්ට්‍රේලියන් සහ නවසීලන්ත පර්යේෂකයන් සහ සංචාරකයන් පිරිසක් (74 ක්) 2013 නත්තල් දිනය උදාවෙද්දී අයිස් කුට්ටි අස්සේ හිර වී සිටියහ.

ඔවුන්ව ගලවා ගන්නට අයිස් කුට්ටි කඩමින් යා හැකි නැව් වූ ඔස්ට්‍රේලියාවෙන් Aurora Australis, ප්‍රංශයෙන් L’Astrolable සහ චීනයෙන් Xue Long ගියහ. ප්‍රංශ නැව දැවන්ත අයිස් කුට්ටි හමු වී ආපසු හැරී ගියේය. අයිස් කුට්ටි කඩන නැවක් ආපසු හැරෙනවා කියන්නේ රවුමකින් කරකැවී ආපසු ඒමයි. ඔස්ට්‍රේලියන් අයිස් කුට්ටි කඩන නැව ඔවුන්ගේ ප්‍රථම උත්සාහය අත්හැරියේ ඔවුන් ද හිර වෙන අවදානම ඉදිරියේ දී ය. හිර වූ නැවට නාවුක සැතපුම් දහයක් දුරකින් වූ ස්ථානයක ඔවුන් නැවතී සිටියහ. හිර වූ නැවට නාවුක සැතපුම් හයක් සමීපයට යන්නට චීන නැව සමත් විය.

Akademik Shokalskiy නැවෙහි හිරවුනු විද්‍යාඥයන් 19, මාධ්‍යවේදීන් 4, සංචාරකයන් 26 සහ ගවේෂණ නායකයාගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා බේරාගත්තේ චීන නැවේ හෙලිකොප්ටරයෙන් ඔස්ට්‍රේලියන් නැවට ඔවුන් කිහිප දෙනා බැගින් වරින් වර ගෙන යෑමෙනි. අයිස් වල හිරවුනු නැවේ නාවිකයන් (crew) 22 ඉදිරි දිනයක නැව අයිස් කුට්ටි අතරින් ගලවා ගන්නට සමත් වූවාට පසු ආපසු ගමන පටන් ගන්නට නියමිතය.

ගෝලීය උණුසුම ඉහළ යෑම ගැන නිරීක්ෂණ වලින් පර්යේෂණ පවත්වන්නට ගිය ඔව්හු අයිස් කුට්ටි අස්සේ හිරවීම නිසා ගෝලීය උණුසුම වැඩි කරනවා යැයි හේතුව හැටියට ඔවුන්ම දක්වන පොසීල ඉන්ධන මහත් ප්‍රමාණයක් පුච්චා ඒ නිසා සිද්ධ වෙනවාය කියන ගෝලීය උණුසුම ඉහළ දමන්නට ඔවුන්ම දායක වීමේ වරදක් ගැන කියනු නැත. ආණ්ඩු සහනාධාර වලින් දියත් වෙන සැලසුම් අසාර්ථක වෙද්දී හැමවිටම වරද වෙන අයෙකුගේ නැත්නම් ස්වභාව ධර්මයාගේ ය!!! පාඩු විඳින්නේ බදු ගෙවන ජනතාවයි.

මේ සටහන තමන් එක්කාසු කරගත් මුදල් සහ තම ජීවිත පරදුවට තබා ඇන්ටාක්ටිකාවට ගිය අපූරු මිනිසුන් පිරිසක් ගැනයි. Adventure යන්නට සිංහල වචනයක් නැත්තේ එවැනි ගති ස්වභාවයක් සිංහලයන්ට නැති නිසාදැයි හිතේ!!!!!!

දක්ෂිණ ධ්‍රැවය නොහොත් ඇන්ටාක්ටික් හි ගවේෂණ සිද්ධ වූ වීර යුගය යැයි සැලකෙන්නේ 19 වැනි සියවස අවසානයේ දී පටන් ගෙන අනතුරුව අර්න්ස්ට් ෂැකල්ටන්ගේ “ඉම්පීරියල් ට්‍රාන්ස් ඇන්ටාක්ටික් එක්ස්පෙඩිෂන්” සමාප්තියෙනි. ඇන්ටාක්ටිකාව ගවේෂණය කිරීම ආරම්භ වීමත් සමඟින් රටවල් දහයකින් ප්‍රධාන ගවේෂණ 17 ක් මේ කාලයේ දියත් වුණි. වීර යුගයේ දී ඇන්ටාක්ටිකාවේ ගවේෂණයන්හි යෙදුනු 19 දෙනෙක් මිය ගියහ.

අයිස් කුට්ටි අතර හිරවුනා යැයි සෙසු ලෝකයාට දන්වන්නට සංනිවේදන තාක්ෂණයක් හෝ හිරවුනු අයව මැරෙන්නට කළින් ගලවා ගන්නට යා හැකි වූ දියුණු ප්‍රවාහන ක්‍රමයන් එවක නොතිබුණි. එදා ඇන්ටාක්ටික් ගවේෂකයන්ව විද්‍යාඥයන් හෝ නාවිකයන් හැටියට නොව සැලකෙන ලද්දේ එක පැත්තකින් තම ඒකීය අරමුණු පමණක් හඹා යන, ග්‍රාම්‍ය හැසිරීමෙන් යුතු, නොහික්මුණු, වාසි සොයන අය හැටියටත් අනෙක් අතෙන් කලාකරුවන්, ඡායාරූප ශිල්පීන්, ගද්‍ය රචකයන් යනාදී රොමැන්තික මිනිසුන් හැටියටත්ය.

අර්නස්ට් ෂැකල්ටන් නැමැත්තා ඇන්ටාක්ටික් හි බ්‍රිතාන්‍ය ගවේෂණ තුනකට නායකත්වය දුන්නෙකි. 1909 ජනවාරියේ ඔහුත් සගයන් තිදෙනෙකුත් දක්ෂිණ ධ්‍රැවයට එතෙක් වාර්තා කරන්නට සමත් වූ වැඩිම ආසන්නයකට යන්නට සමත් වූ පුද්ගලයා විය. ඊට ඔහුට හත්වැනි එඩ්වර්ඩ් රජු වෙතින් නයිට් පදවියක් ලැබුණි.

1911 දී රෝල්ඩ් අමුන්ඩ්සන් දක්ෂිණ ධ්‍රැවයට පිවිසීමත් සමඟ ඊ ළඟට ජයගන්නට තිබුණු වික්‍රමය වූයේ ධ්‍රැවය හරහා යෑමෙන් වාර්තාවක් පිහිටුවීමයි.

1914 අර්නස්ට් ෂැකල්ටන් Imperial Trans-Anarctic Expedition හි යෙදෙන්නේ Endurance නම් නෞකාවෙනි. සටහනේ පින්තූරය එයයි.

ගවේෂණයට එකතු වෙන්නට කැමත්ත දක්වා පන්දහසක පිරිසක් අයදුම් පත්‍ර එවන ලදහ. නාවිකයන් 28 කට එකතු වෙන්නේ විද්‍යාඥයන් හය දෙනෙකි. වාර්තාකරණයට ඡායාරූප ශිල්පියෙක් සහ චිත්‍ර අඳින්නෙක් එකතු වූහ. බුවෙනෝස් ඒයර්ස් හි රස්සාවක් හොයමින් සිටි 18 හැවිරිදි පර්සි බ්ලැක්බොරෝ තරුණයාව ගවේෂණයට එකතු කරගන්නා ලද්දේ අත් උදව්වට පිරිස මදි යැයි සිතූ අය විසින් ෂැකල්ටන්ට හොරෙන් නැවට රිංගවා ගනිමිනි.

තුන්වැනි දවසේ ඔහුව හෙළිදරව් වෙද්දී ෂැකල්ටන් කෝප විය. “මේ ගවේෂණ යද්දී අපිට හරියට බඩගිනි හැදෙනවා. එහෙම වෙද්දී මුලින්ම කන්න ගන්නේ හොරෙන් හැංගිලා නැග්ග අයව (stowaway) බව දන්නවා ද?” යැයි ඔහු අසද්දී තරුණයාව හොරෙන් පටවා ගත්තා විසින් “සර්ගෙ ඇඟේ ඊට වඩා වැඩියෙන් මස් තියෙනවා,” යැයි කියද්දී ෂැකල්ටන් හිනාවක් වසන් කරගත් බව කියැවේ.

ගවේෂණය දිග හැරුණු ආකාරය මෙවැනි සටහනකින් කීම ඊට කරන මදි පුංචිකමකි. එය රසවත්ය. ත්‍රාසයෙන් යුතුය. අනුකම්පා විරහිත ස්වභාව ධර්මයා හමුවේ අප්‍රතිහත මිනිස් උත්සාහය ජය ගැනීම කියන්නකි. මුළු ගවේෂණ කණ්ඩායමේ ජීවිත සියල්ල ආරක්ෂා කිරීම තම වගකීම ලෙසින් බාරගත් විශිෂ්ඨ නායකත්වය විදහා දක්වන්නකි. නායකයා කවුදැයි වටහා ගත්තවුන් විසින් තමනට දෙන ලද උවදෙස් එලෙසින්ම පිළිපැදීමෙන් සැමගේම ජීවිත බේරාගෙන ආපසු එන්නට සමත් වූවා පමණක් නොව අපූරු වික්‍රමයක් ගැන ඉතිහාසයේ සටහනක් තබන්නට ද හැකියාව ලැබූ අන්දම ගැන විස්තරයකි.

මේ ගවේෂණය ගැන ලියැවුන පොත් සහ නිර්මාණය වූ චිත්‍රපටි බොහොමයකි.

කල් ඇතිව හිම කුණාටු සහ සුලි සුළං ගැන දැනගත හැකි යුගයක, ගෙවල් උණුසුම් කරගත හැකි අනේක මාර්ග පවතින විට, උණුසුම් හා GPS ඇති කාර් වලින් ගමන් බිමන් යන්නටත් හැකියාව ඇති ලෝකයක වාසය කරන එහෙත් එදත් අදත් එකසේ අනුකම්පා විරහිත වූ ස්වභාව ධර්මය ගැන මැසිවිලි පමණක් දොඩවන අය ලොව අපමණ සිටිති.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. අ පූ ර් වී said, on ජනවාරි 6, 2014 at 8:51 පෙ.ව.

    යන්තම් මතක තිබ්බ අහලා තිබ්බ දේවල් ගැන මතකය අලුත් වුනා ..ස්තුති

    • arunishapiro said, on ජනවාරි 7, 2014 at 2:12 ප.ව.

      අ පූ ර් වී,

      මුළු කතාවම ලියන්න විදියක් තිබුණා නම් කියලා හිතිච්ච වාර අනන්තයි. කියවපු විස්තර ඔක්කොම රසවත් නිසා ඩිංගක් හරි අත්හැරලා ලියන්න ලෝබයි. ඔයා වගේ දන්න අයට මතක් වෙන්නත් නොදන්න අයට හොයාගෙන කියවන්නත් හිතෙනවා නම් සටහනේ පරමාර්ථය ඉටුවෙලා!

  2. mppgunasinghe said, on ජනවාරි 6, 2014 at 9:37 පෙ.ව.

    ඔබේ ලිපිය ඉතාම වැදගත් විශේෂයෙන් අපේ දරු කැලට ස්තුතිය නැවතත් මෙවැනි දැනුම් සම්භාරයක් එක් කරමින් සිටින ඔබතුමියට. “මේ සටහන තමන් එක්කාසු කරගත් මුදල් සහ තම ජීවිත පරදුවට තබා ඇන්ටාක්ටිකාවට ගිය අපූරු මිනිසුන් පිරිසක් ගැනයි. Adventure යන්නට සිංහල වචනයක් නැත්තේ එවැනි ගති ස්වභාවයක් සිංහලයන්ට නැති නිසාදැයි හිතේ!!!!!!” මෙය විමසිය යුතු මතයකි. සමහරවිට සිංහල සංස්කෘතිය විසින් හික්මවන ලද මිනිසුන් තුළ Adventure ගතිස්වභාවය වර්ධනය වීම අධෛර්ය කළා වියහැකි ද? සිතා විමසා බැලිය යුත්තකි.

    • Pradeep Jayatunga said, on ජනවාරි 7, 2014 at 12:58 පෙ.ව.

      Sense/love of adventure කොහොමවෙතත් සිංහල සංස්කෘතිය විසින් “හික්මවන” ලද මිනිසුන් තුළ මිනීමෑරුම්, ස්ත්‍රී දූශන, ලමා අපචාර, පගා, මෑර කම් වන්චා නම් දෑන් අඩු නෑතිව තියනවා

      • arunishapiro said, on ජනවාරි 7, 2014 at 2:23 ප.ව.

        Pradeep Jayatunga,

        ඒක වෙන හැටි ඔය දකුණත පැත්තෙ තියන බැස්ටියාට්ගේ නීතිය පොතේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. යම් රටක් විසින් මංකොල්ල කන්න නීති හදන කොට අන්තිමේ සමාජයේ හැමෝම එකිනෙකා මංකොල්ලා කන තත්වයට පත්වෙනවා.

      • mppgunasinghe said, on ජනවාරි 7, 2014 at 11:31 ප.ව.

        ඇත්ත එවැනි ඇඩ්වෙන්චර් ගැන පුවත් පලවෙනවා. වගේම එවැනි පුවත් සොය සොයා ප්‍රචාරය කිරීමටත් බොහෝ අයගෙ උනන්දුව පිබිදිලා නේද ?

    • arunishapiro said, on ජනවාරි 7, 2014 at 2:18 ප.ව.

      mppgunasinghe,

      “හික්මවීම” කියලා හිතලා උදාසීන බැවින් ඉන්න අය ගැන තමයි දුක. සිංහල සංස්කෘතිය බෞද්ධාගම සමඟ වර්ධනය වෙද්දී එහි නිර්මාතෘ වූ ගෞතමයන් මෙන් “ඇඩ්වෙන්චරස්” විය යුතු වූවා වෙනුවට හින්දු දහමේ මෙන් ඉරණම අනුව වෙන දෙයක් වෙනතුරු බලාගෙන ඉන්න හුරු වෙලා යැයි සිතෙනවා.

  3. Pradeep Jayatunga said, on ජනවාරි 7, 2014 at 12:50 පෙ.ව.

    Michael Crichton’s State of Fear කියවා තිබේද? ගෝලීය උණුසුම ඉහළ යෑම ගැන එහි තිබෙන දේ ඉතා ප්‍රශ්නකාරියි (confusing and disturbing).

    • arunishapiro said, on ජනවාරි 7, 2014 at 2:21 ප.ව.

      Pradeep Jayatunga,

      ඔහුගේ ඒ පොත කියවා ඇත්දැයි මතකයේ නැහැ. ඒත් ඔහු විසින් රචිත පොත් බොහොමයක් කියවා ඇති නිසා අනගි රචකයෙක් බව දන්නවා. හැබැයි, විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ විද්‍යාව පැහැදිලි කරන ග්‍රන්ථ කියලා හිතුවොත් ඉතින් ඔව් ඉතා ප්‍රශ්නකාරීයි!!!

  4. magenama said, on ජනවාරි 7, 2014 at 5:09 පෙ.ව.

    වැදූ මවටත් ස්වභාව ධර්මයටත් කවදාවත් හොඳක් අහන්න ලැබෙන්නේ නෑ කියනවනේ.ඔය adventure වචනයට ලංකාවේ මාධ්‍යවල කියන්නේ ත්‍රාසජනක ක්‍රියා නැත්නම් නාමපදයක් විදිහට මානව ජයග්‍රහණ කියලා.

  5. wicharaka විචාරක said, on ජනවාරි 7, 2014 at 11:29 පෙ.ව.

    polar vortex කියන එක ඉගෙනගන්න පුළුවන් වුනා මේ දිනවල ඇමරිකාවට බලපා තිබෙන අධික හිම පතනය සහ කුනාටු තත්වය නිසා.

  6. Prasad Chandima Wickramarachchi said, on ජනවාරි 8, 2014 at 3:17 ප.ව.

    ස්තූතියි අරුණි විස්තරයට.

    ශැකල්ටන් ගැන නොදැන හිටි නිසා, හොයාගෙන කියෙව්වා.

    ඔබට සහ පවුලේ සැමට සුබ නවවසරක් වේවා…!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: