අරුණි ශපීරෝ‍ වෙතින්

දෙව්‍යානි කොබ්‍රාගඩේ ඇමෙරිකාවෙන් පිටමං වෙයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 10, 2014

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ පිහිටන ඉන්දීය කොන්සල් කාර්යාලයේ උප කොන්සල් ජනරාල්වරිය වූ දෙව්‍යානි කොබ්‍රාගඩේ (देवयानी खोब्रागडे) නැමැත්තියව 2013 දෙසැම්බර් 12 වැනිදා නිව් යෝර්ක් නගරයේ දී අත් අඩංගුවට ගැනිණ. ඒ ඇයගේ නිවසේ මෙහෙකාරිය සහ දරුවන් දෙදෙනා බලාගන්නා ආයම්මා වූ ඉන්දීය සංගීතා රිචඩ් සඳහා ඇය වංචා සහගත වීසා බලපත්‍ර පුරවන ලදැයි යන්නට වරදකාරියක් හැටියටයි. දෙව්‍යානි කොබ්‍රාගඩේ විවාහ වී සිටින්නේ නිව් යෝර්ක් හි උපන් ඉන්දීය සම්භවයකින් යුතු දර්ශන මහාචාර්යවරයෙක් සහ ඉන්දියාවේ වයින් නිපවන කර්මාන්තය සමඟ ළඟින් කටයුතු කරන අයෙක් ලෙසින් සැලකෙන්නෙක් සමඟයි.

ෆෙඩරල් රජයට අනුව ඇමෙරිකාවේ අවම පඩිය පැයකට ඩොලර් 7.25 කි. ජෝර්ජියා, ආකන්සා, මිනෙසෝටා සහ වයෝමින් යන ප්‍රාන්ත ෆෙඩරල් අවම පඩියට වඩා අඩුවෙන් අවම පඩි නියම කරන ලද ප්‍රාන්ත වෙති. ඇලබෑමා, මිසිසිපි, ලුයිසියෑනා, දකුණු කැරලයිනා සහ ටෙනසි යන ප්‍රාන්ත වල නිල වශයෙන් නියම වූ අවම පඩියක් නැත. ඩෙලවෙයාර් වැනි සමහර ප්‍රාන්ත ෆෙඩරල් අවම පඩිය නිල වශයෙන් පිළිගන්නා ලද අතර, නිව් යෝර්ක් වැනි සමහර ප්‍රාන්ත ෆෙඩරල් මට්ටමටත් ඉහළ වූවක් (පැයකට $8) අවම පඩිය වශයෙන් නිල වශයෙන් තීරණය කර තිබේ.

රටට එන අයට වීසා බලපත්‍ර දෙන්නේ ෆෙඩරල් රජයයි. එවැනි වීසාවකින් වැඩට අයෙක් ගෙන්වා ගන්නේ නම් ෆෙඩරල් රජය නියම කරන අවම පඩිය ගෙවත හැකි යැයි සාක්ෂි පෙන්වන්නට අයෙකුට සිද්ධ වේ. තමන්ට ගෙවිය හැකි යැයි කියා පොරොන්දු වූ පඩි රටට පැමිණ සේවය කරද්දී සේවකයාට ගෙවිය යුතුයි. ෆෙඩරල් සහ ප්‍රාන්ත ශ්‍රමික නීති අනුගමනය කළ යුතුයි. එය රටේ නීතියයි.

සංගීතා රිචඩ් නැමැත්තිය කොබ්‍රාගඩේ පවුලට සේවය සඳහා ගෙන්වා ගත්තියයි. මාසයකට රුපියල් විසිපන්දාහක් ද අතිකාල දීමනා වශයෙන් මාසකට තවත් රුපියල් පන්දාහක් ද ඔවුන් ඉන්දියාවේ දී වාචිකව ගිවිසුම් ගත්හ. එහි දී නිවාඩු කාලයන් හෝ ලෙඩ නිවාඩු ගැන ඔවුන් කතාබහ නොකළහ. සතියකට පැය 40 යනු ඇමෙරිකාවේ අවම පඩියක් ලබන්නෙක් වැඩ කරන කාලයයි. ඊට වඩා වැඩියෙන් ශ්‍රමය සපයද්දී අතිකාල පඩි ගෙවිය යුතුයි. ඔවුන් ඇමෙරිකන් ෆෙඩරල් ආණ්ඩුවේ වීසා ගිවිසුම අනුව දක්වන්නේ පැයකට $9.75 ක් පඩි ගෙවීම සහ වැඩ කරන කාලය සතියකට පැය 40 කි. සංගීතාට පුද්ගලික ගිවිසුමකින් පොරොන්දු වෙන්නේ පැයකට $3.31 ක් පමණකි. එහෙත් සත්‍යයෙන් ගෙවා ඇත්තෙ පැයකට $1.50 ක් පමණි. ඇයට අතිකාල දීමනා ලැබුනේ නැත. ලෙඩ නිවාඩු තියා කිසිම නිවාඩුවක් ලැබුනේ නැතැයි සංගීතා පැමිණිලි කරයි.

ඇමෙරිකාවේ වැඩ කරන සේවකයන් සඳහා නිර්දේශීත ශ්‍රමික නීති අනුගමනය කෙසේ වෙතත් ඉරිදා දිනයේ පැය දෙකක් පල්ලියට යෑමට පමණක් අවසරය මිසෙක වෙනත් කිසිම නිවාඩු කාලයක් ඇයට නොදෙන ලදැයි ද, සංගීතාගේ පවුල විසින් ඉන්දියාවේ නඩුවක් දමන ලදි. දෙව්‍යානිගේ පියා විසින් ඉන්දියාවේ වාසය කරන සංගීතාගේ පවුලේ අයව පැහැර ගෙන යන්නටත්, බොරු මත්ද්‍රව්‍ය චෝදනා සඳහා සංගීතාව නිව් යෝර්ක් නගරයේ දී අත් අඩංගුවට ලක් කරන බවටත් තර්ජනය කරන ලදි. සංගීතාගේ පවුලේ අය කොබ්‍රාගුඩේ පවුලෙන් බලහත්කාරයෙන් මුදල් වැඩියෙන් ඉල්ලන්නට උත්සාහයක් ගන්නවා යැයි කියමින් ඔහු කියද්දී සංගීතාගේ පවුලේ අය විසින් ඇයගේ ශ්‍රමික අයිතීන් සොයා බලන්නට යැයි පවරන ලද නඩුව ඉන්දීය උසාවියෙන් විභාග කිරීම පවා ප්‍රතික්ෂේප විය.

නිව් යෝර්ක් නගරයේ දකුණු දිස්ත්‍රික්කයේ ඇටර්නි පදවිය දරන්නේ පන්ජාබයේ උපන් ඇමෙරිකන් පුරවැසිකම ඇති, හාවඩ් සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයන් හි උගත්, සීක් පියෙකුටත් හින්දු මවකටත් දාව උපන්, පාකිස්තාන මුස්ලිම් කාන්තාවක් හා විවාහ වී සිටින, 2012 ටයිම් සඟරාව විසින් “ලෝකයේ වැඩියෙන්ම බලගතු 100 දෙනා” අතරෙන් එකෙක් වූ, බරක් ඔබාමා විසින් නාම යෝජනා කර පත් කරන ලද ප්‍රීත් භාරාරා නැමැත්තායි. බෑන්ක් ඔෆ් ඇමෙරිකා නම් සුවිසල් පුද්ගලික බැංකුව නඩු මඟට ගෙන ගොස් වරදකරු යැයි ඔප්පු කරන්නට සමත් වූවෙකි. රාජ් රාජරත්නම් නැමැති ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු වෝල් ස්ට්‍රීට් ප්‍රෝඩාකාරයාව ද හිරබාරයට ගන්නට මුල් වූවෙකි. විකිපීඩියාව කියන පරිදි භරාරා යනු නිව් යෝර්ක් නගරයෙහි ආසියානු කල්ලි, ගම්බීනෝ සහ කොලම්බෝ අපරාධ පවුල්වල බොස්ලාට එරෙහිව අපරාධ නඩු යන්නට සමත් වූවෙකි. නිව් යෝර්ක් හි ඉන්දීය කලාපීය සංක්‍රමණිකයන්ව ඇමෙරිකාවේ නීති අනුගමනය කරවන්නට දැඩි සේ උත්සාහ ගන්නා අයෙක් සේ සමහර ඉන්දීය සංක්‍රමණිකයන් ඔහුව අගයන හැටි බ්ලොග් වලින් දකින්නට ලැබේ. මාධ්‍ය විසින් ඔහු සහ ඇටර්නි නිල කාර්යාලය ජාතිවාදී වෙනස්කම් කරනවා යැයි අවලාද කියා ඇත. නිව් යෝර්ක් කොන්සල් කාර්යාලයේම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ දියණියක් වූ ක්‍රිට්ටිකා බිස්වාස් අන්තර්ජාලයේ මෘග ලෙසින් හැසිරුනාය යන වරද යටතේ පැය 28 ක් සිරබාරයේ තබාගන්නට මූලික වූවෙකි. පසුව අනාවරණය වූයේ ඒ වරද කර ඇත්තේ වෙනත් සිසුවෙක් බවයි.

සැමට එක සේ සලකන සමාජ වාතාවරණයක් අගයන ඇමෙරිකන් හැදියාව බොහෝ අයට දිරවන්නේ නැත. සමහර අය උගත්කම, රැකියාව, මුදල් හදල් තිබීම, රජ පෙළපතකින් යුතු වීම, රජයේ සේවයේ යෙදීම, ජනප්‍රිය පුද්ගලයෙකු වීම, දක්ෂ ක්‍රීඩකයෙකු වීම හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීම නිසා විශේෂ ලෙසකින් පුද සත්කාර ලැබිය යුතු යැයි සිතති. තවත් සමහර අය පංති භේද, ආගම් භේද, කුලමල හා දේශපාලන ගැතිවාදය අනුව අයෙක් වෙනස් සැලකීම් ලැබිය යුතු යැයි සිතති.

එසේම අද ඇමෙරිකාවේ සමහර අය මෙන්ම ලෝකයේ බහුතරයක් ද, ෆෙඩරල් ආණ්ඩුවේ බලතලයන් ප්‍රාන්ත ආණ්ඩු ඉදිරියේ (කොතරම් කප්පාදු වී ගියත් තවමත් සොච්චමක් ඉතිරි වී ඇති) සීමාවන්ට මුහුණ දෙන හැටි ද නොදනිති. ෆෙඩරල් ආණ්ඩුව ගංජා පරිහරණය තහනම් කියද්දී කොලරාඩෝ හි එය පරිහරණයට අනුමැතිය එහි වැසියන් විසින් දීම කදිම උදාහරණයකි.

කොන්සල් කටයුතු සඳහා පමණක් වරප්‍රසාද තිබිය ද දෙව්‍යානි කොබ්‍රාගඩේ සම්පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද නොතිබුණ අයෙකි. මේ චෝදනාව අනුව අත්අඩංගුවට ගනිද්දී අත්අඩංගුවට ගන්නා අනෙක් සියල්ලන්ටම ලැබෙන සැලකිලි එලෙසින්ම ඇයටත් නිව් යෝර්ක් පොලීසියේ දී ලැබුණා මිසෙක වෙනත් කිසිම වෙනසක් නොකළ බව ප්‍රීත් භරාරා මාධ්‍යය හමුවේ කීය. ඇයව අත් අඩංගුවේ සිටිය දී පරීක්ෂාවට ලක් වූ සැටි යැයි පැතිර යන්නේ බොරු විඩියෝවකි. ඇයව US Marshals සේවය බාරයේ පුද්ගලික කාමරයක දී කාන්තා උප මාෂල්වරියක් විසින් ස්ට්‍රිප් පරීක්ෂාවට පත් කරන ලද්දේය. කට අරින්නට කියා කට ඇතුලත බැලීමත් කුහර පරීක්ෂාවකි. ආවරණය වූ තැනක තනිවම ස්නානය නියම කර උනා දැමූ ඇඳුම් පරීක්ෂා කර බැලීමත් ස්ට්‍රිප් සර්ච් ක්‍රමයකි. මාර්ෂල් සේවයේ නිකි සෙඩ්‍රික්-බැරෙට් නැමැත්තිය දෙව්‍යානිව කිසිත් කුහර පරීක්ෂාවකට ලක් නොකළ බව මාධ්‍ය හමුවක දී පැවසීය.

ඇයව අත් අඩංගුවට ගැනෙන්නේ උදෑසන 9:30 ට. ඩොලර් 250,000 ක ඇපයක් මත ඇයව මුදවා හරින්නේ එදිනම සවස 4 ටයි.

ඇමෙරිකන් නීතිය යටතේ ඇයට එල්ල වී ඇති චෝදනාවට ඇය වරදකාරිය යැයි ඔප්පු වෙන්නේ නම් ඇයට ලැබෙන සිර දඬුවම වසර 10 -15 ක් දක්වා විය හැකියි. ඇයට සම්පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද නොමැති බව ඉන්දියාව වටහා ගනිද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දීය රජයෙන් පත්කරන අයෙක් හැටියට ඇයව නම් කර ඒ සඳහා විශේෂ වරප්‍රසාද ලබාගන්නට ඉන්දීය රජය කටයුතු කරන ලදි. රාජ්‍ය දෙපාර්තමේන්තුව (නම එසේ වුවත් එය විදේශීය කටයුතු කරන කාර්යාලයයි) අනුමත කරන ලද නමුත් ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ මේ වරද ඔප්පු කරත හැකියාව ඇති බැවින් තම රටවැසියන් පිටරටවල් වල දී නියමිත නීති අනුගමනය කරවන්නට ධෛර්යමත් කරවනු පිණිස ඒ අවසරය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියාය. ඉන්දීය රජය ඊට අකමැතියි.

ඇයට විරුද්ධව ඇති නඩුවට නීතීඥයන් එවීම පමණක් සෑහේ සහ ඇය පැමිණීම අවශ්‍ය නැතැයි ද අවසරයක් ලබා දුනි.

ජනවාරි 9 වැනිදා මහා ජූරියකින් ඇය වීසා වැරැද්දට අධිචෝදනා ලැබුවේය.

ඇයට ඇමෙරිකන් රජයෙන් රටෙන් පිටමං වන්නට අවසරය ලැබී ඇත. පුරවැසියාගේ රට නිල වශයෙන් පුරවැසියා විසින් බරපතල වරදක් කර ඇතැයි පිළිනොගන්නා කල එය ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රතිපත්තියකි. ජනවාරි 10 වැනිදා උදෑසන ඇය පිටමං විය.

නිව් යෝර්ක් ප්‍රාන්තයට ඇය පිවිසෙන අනාගත දිනයෙක දී ඇයට විරුද්ධ මේ නඩුව විමර්ශනයට හැකියි.

ඇය තව දුරටත් තමන් කිසිම වැරැද්දක් කළා යැයි පිළිගන්නේ නැත.

පංති භේදය දුරලන්නට යැයි ද සම තත්වයන් ඉල්ලා සටන් වැදිය යුතු යැයි ද කියන, එසේම කම්කරු අයිතීන් අගයන්නා වූ ද, ඉන්දියාවේ සහ ඉන්දීය කලාපීය හුරුවෙන් සිතන බොහෝ දෙනෙකුට මෙය දෙව්‍යානි කොබ්‍රාගඩේ විසින් කරන ලද අපරාධයක් බව ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කරය. 😀

*** සංශෝධන:
1. දෙවනාගිරි අක්ෂර අනුව වාසගම කෝබ්‍රාගඩේ යැයි උච්චාරණය වේ.
2. “කොළඹ” ලිව්වාට ඉතාලි මිසෙක ලංකාවේ සම්බන්ධයක් “කොලොම්බෝ මාෆියා පවුලට” නැත!!! 😀

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on ජනවාරි 10, 2014 at 9:58 ප.ව.

    කොළඹ අපරාධ පවුල්වල බොස්ලා කියන්නෙ කවුද? එහෙම පවුල් තියෙනවද ලංකාවේ?

  2. Pravin Indranama said, on ජනවාරි 11, 2014 at 2:32 පෙ.ව.

    කම්කරු නීති කඩකිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා අයෙක් cavity search කිරීම අවශ්‍යද?

    • arunishapiro said, on ජනවාරි 11, 2014 at 8:53 පෙ.ව.

      Pravin Indranama,

      අත්අඩංගුවේ සිටින වරදකරුවන් යැයි චෝදනා ලැබූ අය ඉන්න සිර කූඩුවකට අලුතින් අයෙක්ව දමන විට එයාට හෝ අනෙකෙකුට හිංසාවක් කරත හැකියාව අවම කරන්නටයි පරීක්ෂාවන් සිද්ධ වෙන්නෙ. ඇයගේ ඇඳුම් සියල්ල උනා හෝ පරීක්ෂාවක් කරන ලදැයි හෝ කිසිත් කුහර පරීක්ෂාවක් කරන ලදැයි ඇමෙරිකන් හෝ ඉන්දීය රජයේ කිසිම නිල වාර්තාවක සඳහන් නැහැ.

      නිල වශයෙන් US //මාර්ෂල් සේවයේ නිකි සෙඩ්‍රික්-බැරෙට් නැමැත්තිය දෙව්‍යානිව කිසිත් කුහර පරීක්ෂාවකට ලක් නොකළ බව මාධ්‍ය හමුවක දී පැවසීය.// ඇටර්නිවරයා වූ ප්‍රීත් භරාරා ද කියා සිටියේ නිව් යෝර්ක් නගරයේ සාමාන්‍ය අත්අඩංගුවකට ගනිද්දී කරන පිළිවෙත් ඇය වෙනුවෙන් අනුගමනය වෙද්දී මාධ්‍යය විසින් අනේක බොරු පතුරුවා හැර ඇති බවයි.

      සමහර ඉන්දීය බ්ලොග් වලින් ඔය පැත්තෙ කලාපීය හැදියාවෙන් මෙය විදේශීය කුමන්ත්‍රණයක් හැටියටත් පෙන්වන්නට උත්සාහ දකින්නට ලැබුණ. අයෙක් ලියා තිබුණ ඇයගේ සැමියා ඉන්දීය වයින් කර්මාන්තයේ නියැළෙන නිසා ඒ රහස් ලබාගන්නට ඇමෙරිකන් රජයට අවශ්‍යතාවයක් තිබෙන බවට!! තවත් අයෙක් ලියා තිබුණ සංගීතා රිචඩ් ඇමෙරිකන් CIA ඔත්තු සපයන්නට එම නිවසේ සේවිකාවක් හැටියට පත්කරන ලද බවට!!!!

      ලෝක මාධ්‍ය විසින් ප්‍රචාරය කර හරින ලද්දේ දෙව්‍යානි විසින් තම සගයන්ට යවන ලද ඊමේල් වලින් ගත් තොරතුරු වල ඇය එහෙම පරීක්ෂාවකට ලක්වූවා යැයි සඳහන් කර තිබීමයි. දෙන්න පොරොන්දු වූ පඩි නොගෙවූ අයෙක් සිද්ධ නොවූවක් සිද්ධ වූ හැටියට බොරු කීමත් එතරම් පුදුමයක් නොවේ.

      අනික, ඉන්දියාවයි ඇමෙරිකාවයි ඇරගන්න කොට හැමදාම බොරදියේ මාළු බාන්න ඉන්න පාකිස්තානයෙන් පටන් ගත්ත පෝර්න් වගේ පෙනෙන විඩියෝව සමහරු කිසිම වග විභාගයක් නැතිව දෙව්‍යානිගේ කුහර පරීක්ෂාව ගැන ඇත්තක් විදියටත් බෙදා ගන්නවානේ!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: