අරුණි ශපීරෝ‍ වෙතින්

සුළං ටර්බයින් සහ ව්‍යාපාර ලාබය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 15, 2014

IMG_0688

ලංකාවේ සුළං බල උද්‍යානයක් සහ බලාගාර පද්ධතියක් ඉදිකිරීමේ වරප්‍රසාදය චයිනා හයිඩ්‍රෝ සමාගමට පැවරීමට යනවා යැයි 2013 දෙසැම්බරයේ දී පැතිර ගිය ආරංචියේ වැදගත්කම එය ආණ්ඩුවට සම්බන්ධ ඉහළ නිලධාරී පිරිසකගේ හිතුමතය අනුව තවත් ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව සිද්ධ වෙන ආණ්ඩුවේ වැඩක් බව ලෝක ජනතාවට දැන ගන්නට හැකියාව ලැබීමයි.

ඊ ළඟට ඇහෙන්නේ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය විසින් ජාත්‍යන්තර විදුලිබල සම්ප්‍රේෂණ ජාලයකට මෙරට ජාතික විදුලිබල පද්ධතිය සම්බන්ධ කරන්නට යන ප්‍රවෘත්තියකි. එයින් මෙරට නිපදවන අතිරික්ත විදුලිය අලෙවි කිරීමට අවස්ථාව උදාවන බවක් කියමින් තවත් හෙට දෙන බියර් මුලාවක් අහන්නට ජනතාවට හැකියාව ලැබෙයි.

හෙට ලැබෙන අතිරික්ත විදුලිබල අලෙවියට එසේ යෝජනා ගෙනෙන්නේ සහ වගා කළ යුත්තේ මෙහෙමයි කියා ආණ්ඩුවේ බලධාරීන් ජාතික ප්‍රතිපත්ති හදන්නේ ජනතාවට යහපත බෙදන නාමයෙන්. එහෙත් සත්‍යයෙන් සිද්ධ වෙන්නේ සුවිශේෂී වරප්‍රසාදයක් ලැබුණ අයට එසේ ලැබුනේ කෙසේදැයි බෙදා දෙන අයගෙන් ප්‍රතිචාර නොලැබීමයි.

ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරගෙන යනු නොහැකි වුවත්, සාධාරණ නොවන ලෙසින් බෙදා දෙමින් සියළු ජනතාව ණය කරන අසාර්ථක සැලසුම් දියත් කිරීමට වෙළඳපොලට ඇඟිලි ගහන්නට රිසි වූවන් කිසිදා පසුබට නොවෙති.

ඩෙලවෙයාර් හි ඩොලර් බිලියන 150 කින් හදන්නට යන සුළං ටර්බයින් ව්‍යාපෘතියෙන් හෙට ලැබෙන මිලියන පහක “හරිත කරපටි” රස්සාවන් ගැන පාරට්ටු බාද්දී ඩොලර් මිලියන 500 ක් බදු ගෙවන ජනතාවට අහිමි කරවන ලද ඔබාමා රජයේ සොලින්ඩ්‍රා වෑයම කෙසේ සිද්ධ වූයේ දැයි ඕනෑම ව්‍යාපාරයක් වැඩ කරන හා නොකරන හැටි දන්නා අය දනිති.

ඇමෙරිකාවේ වර්තමාන ආණ්ඩුව පිළිතුරු නොදී සිටින, සාධාරණව බෙදන නාමයෙන් හදන ලද අසාර්ථක පිළිවෙත් බොහොමයකි. ඔබාමා රජය අනුගමනය කරන්නේ ලාස් වේගාස් හි කියමනක් වූ “මෙහි සිද්ධ වූ දේ මෙහි නැවතේ,” යන්න නම් ලංකාවේ අය පිළිතුරු නොදී ඉන්නට අනුගමනය කරන්නේ “මෙහි සිද්ධ වූ දේ අප සැමට අමතකයි,” යන්න විය හැකියි!!!

රට කුමක් වුවත් මෙම හැදියාව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජවාදී පාලන ක්‍රමයේ සාමාන්‍යය ප්‍රතිපත්තිය බව ජනතාව වටහා නොගනන්නේ අධ්‍යාපනයේ මදිකම නිසාය. නැතිව තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරන පනතක් නැතිකම නිසා නොවේ.

නිශ්ශබ්දතාවය රත්තරන් යන්න පැරණි මිසරය පැවති තරම් අතීත යුගයකින් සොයාගත හැකි ආප්තෝපදේශයකි. ඉංග්‍රීසියෙන් එය මුලින්ම අහන්නට ලැබී ඇත්තේ තෝමස් කාලයිල් විසින් ජර්මන් බසින් ලියැවුන එහි අනුකරණයක් Sartor Resartus (1833) නම් විකට නවකතාවට එකතු කළ පසුයි. හෙගල් ගැන කෙටියෙන් සහ ජර්මන් විඥානවාදය ගැන මහත් වශයෙන් සරදමක් ලෙසින් ලියා ඇති එම ප්‍රබන්ධය කැමති අයට ඉහත සබැඳියෙන් කියවන්නට හැකියි.

යුරෝපයේ රටවල ජනතාවට දැන් තම තමන්ගේ රට විසින් පනවා ගන්නා ආඥාවන්ට පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සහ යුරෝපීය යුනියන් පාර්ලිමේන්තුවේ ආඥාවන්ට ද අනුකූලව කටයුතු කරන්නට සිද්ධ වී ඇත. ඒ අනුව මහා බ්‍රිතාන්‍යය 2020 වෙද්දී යුරෝපීය යුනියනයේ රෙගුලාසියක් අනුව තම රටේ විදුලි බලයෙන් 30% ක් පුනර්ජනනීය ඉන්ධන ප්‍රභවයන් වලින් සොයා ගත යුතුයි.

ඉතින් වායු තලබමරයන් නොහොත් සුළං ටර්බයින් (wind turbine) මුහුදේ පිහිටුවීමේ ලොව ප්‍රමුඛයා වෙන්නේ මහා බ්‍රිතාන්‍යයයි.

මිනිසුන් තමන් වාසය කරන පැතිවල විසල් තලබමරයන් පිහිටුවීම ගැන ප්‍රසාදයක් දක්වන්නේ නැත. ඒවායෙන් ඇහෙන සද්දය නිසා පරිසරයේ ශබ්ද දූෂණයක් පැතිර යාමත්, සමහර අයට හිසරුදාව හැදීමත් හේතු හැටියට දක්වති.

මහා බ්‍රිතාන්‍යයේ මුහුදු මට්ටමෙන් මීටර් 196 ක් ඉහළට නැඟෙන ලෙසින් විසල් වායු තලබමරයන් පිහිටුවා ඇත. නොගැඹුරු මුහුද සැතපුම් ගණනක් පවතින නිසා යුරෝපයේ රෙගුලාසි අනුව කටයුතු කරන්නට සිද්ධ වෙන රටවල පුනර්ජනනීය ඉන්ධන ප්‍රභවයන් වලින් විදුලිබල අවශ්‍යතාවය සපුරන වෙළඳපොල අල්ලා ගන්නට ලහි ලහියේ බ්‍රිතාන්‍ය විසින් සැලසුම් දියත් කරන ලදි. 2013 වසරේ දී ඉදිරිපත් කරන ලද සහනාධාර සැලසුමක් අනුව මුහුදේ පිහිටුවන වායු ගොවිපොලවල් වලින් නිෂ්පාදනය කරන විදුලිබල මෙගවොට් පැයක් සඳහා £155/- ($250/-) ක් ආණ්ඩුව විසින් සහතික කරයි. මෙය දැනට තොග මිලට විකුණන විදුලිබලයට වඩා තුන් ගුණයකින් වැඩි ප්‍රමාණයකි. එසේම ගොඩබිමේ පිහිටුවන වායු තලබමරයන්ට ගෙවනවාට වඩා 60% කින් වැඩි ප්‍රමාණයකි.

එම සැලසුමට කැමැත්තෝ කියන්නේ එයින් මහා බ්‍රිතාන්‍ය ලෝකයේ පුරෝගාමියෙක් වෙන බවයි. විවේචකයන් පෙන්වා දෙන්නේ ඇමතිවරුන් විසින් තවත් අසාර්ථක සැලසුමක් දියත් කර ඇති බවයි. ඉතා අධික වැයකින්, සැලකිය යුතු මට්ටමකින් නොවන ප්‍රමාණයක ඉන්ධන ලබා දෙමින්, එතරම් ආර්ථික ලාබයක් නොමැතිව ජනතාවගේ බරපැන ඉහළ යවන අසාර්ථක සැලසුම් ක්‍රියාත්මක වෙනවා කියා අවලාද එල්ල වීම නොසලකා හරින්නේ කවුද? අනාගත වාසි දක්වා ජනතාවගේ මුදල් යට කරමින් තම ගැත්තන්ට වරප්‍රසාද බෙදන ආණ්ඩු වෙති.

ඇමෙරිකාව මැදින් එහා මෙහා යද්දී වායු තලබමරයන් බොහොමයක් දකින්නට ලැබේ. ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩු වලින් සහනාධාර හෝ බදු සහන නොමඳව ලබමින් පිහිටුවන ලද ඒවා අක්කර සිය ගණන් අයිතිකරුවන්ගේ ගොවිබිම් වල පිහිටා ඇත. තම වාසස්ථානයට යාබද අනුන්ගේ ඉඩම් වල ඒවා පිහිටුවන ලද විට නිව් යෝර්ක් ප්‍රාන්තයේ වැසියන් උසාවි ගිහින් නඩු කියා ඒවා ඉවත් කරවන්නට සමත් වූහ. හැමවිටම එවැන්නක් කන්කරච්චලයක් වෙන්නේ අයිතිය අනුන්ගේ වූ විටයි!

ශබ්ද දූෂණය පළවා හරින්නට සමත් වෙන නව විසඳුමක් S-Chip නමින් හැඳින්වේ. පරිගණක යන්ත්‍ර වලින්, Faber සමාගම නිෂ්පාදනය කරන උදුන් උඩ ඇති ලිපේ දුම උරාගන්නා පියන් වලින්, සීතකරණ වලින් ශබ්දය පිටවීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලන්නට නව සොයා ගැනීම සමත් වී තිබෙන්නේ ශබ්දය කැන්සල් කරන එම තරංගයේ ම ගමන් කරන ශ්‍රව්‍ය සිග්නල් එකකිනි. Silentium කොම්පැණිය කියන්නේ බොහෝ නිෂ්පාදන වලට මෙම සොයා ගැනීම එකතු කර ශබ්ද දූෂණය අවම කරන්නට හැකියාව ඇතැයි කියාය.

ගොරවන අයෙක් සමඟ යහන බෙදා ගන්නට සිද්ධ වෙන්නාට කරදරයක් නැතිව නිදාගත හැකියාව ලැබෙන S-Chip එකක් කොට්ටයේ සවි කිරීම පහසු වූවත් මෙයින්, නුදුරු අනාගතයක දී යාබදව පිහිටුවත් ඉහත කියූ වායු තලබමරයකින් නිකුත් වෙන ශබ්දය නිසා කන් කරච්චලයක් සිද්ධ වෙනවා යැයි කියන්නට නොහැකිවන ලෙසකින් නිවසක බිත්තියකට සවිකරගත හැකි සොයා ගැනීමක් වේ දැයි දැනගත හැකිවනු ඇත.

ආණ්ඩු එසේ අනුන්ගේ මුදල් යටකරද්දී ලාබ හොයන පුද්ගලික කොම්පැණි මෙසේ තමන්ගේ මුදල් යටකරති.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on ජනවාරි 16, 2014 at 1:06 පෙ.ව.

    ප්‍රශ්නය විසඳනවාට වඩා බොරු ප්‍රදර්ශනයට ඕනම දේශපාලකයෙක් කැමතියි.

    • arunishapiro said, on ජනවාරි 16, 2014 at 8:13 පෙ.ව.

      magenama,

      අයෙක් “දේශපාලනයට පිවිසෙන්නෙ ජනතාවට රටට සේවයක් කරන්නයි,” කියද්දි ඒක කවුරු ආවත් හරි දේශපාලනයෙන් සිද්ධ වෙන්නෙ කොහොම දැයි විමසන අය අඩුයි. වඩාත්ම සාධාරණව ප්‍රශ්න විසඳිය එකම හැකියාව ඇත්තේ නිදහස් වෙළඳපොලට (free market) පමණයි යන්න ඔප්පු කරන ලද සත්‍යයක්. සාධාරණව බෙදා දෙන්න හැකියාවක් හා එය දන්නා අයෙක්/පිරිසක් ඇතැයි යන මුලාවේ බහුතරයක් ගිලී ඉන්න තාක් කල් ඒකීය දේශපාලකයා තුලින් බොරු ප්‍රදර්ශන කොච්චර පැහැදිලිව පෙනුනත් එහි පදනම වූ බලයේ ඉන්න දඟලන අරමුණ කිසිම පුරවැසියෙක් පිළිගන්නෙ නැහැ.

      • magenama said, on ජනවාරි 16, 2014 at 11:03 ප.ව.

        නිදහස් වෙළෙඳපොල ක්‍රමය සනාථ වූ සත්‍යයක් වුවත් කට්ටිය ඒකට කැමති නෑනේ,මොකද එතකොට පුද්ගල ප්‍රතිරූපය,ඒ කියන්නේ මං තමයි පොර,මං තමයි මේ හැම දේම කළේ කියන එක පුම්බන්න බෑනේ.නිකමට හිතන්න සමාජවාදය ඉස්සරහට දාන හැම වෙලාවකම ප්‍රතිපත්තියට වඩා පුද්ගල දර්ශනය කියන එක ඉස්සරහට දානවා.

        • arunishapiro said, on ජනවාරි 17, 2014 at 8:16 පෙ.ව.

          magenama,

          මිනිස් ස්වභාවය අපූරුයි. “මං තමයි පොර,” යැයි වෙනකෙක් කියනවාට අකමැති වෙන ඒ මිනිස් සිතම දන්නවා අරයට පොර වෙන්න පුළුවන් නම් මටත් පොරක් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියල. නායකයන් හොයන්නේ සහ ඔවුන් පස්සේ යන්නේ ඒ නිසයි. ඉතින් ස්වභාවයෙන්ම මිනිසා වනාහී ආත්මාර්ථකාමී සත්වයෙක් යන්න පිළිනොගන්නා අයත්, සමාජවාදයෙන් රටට ජාතියට වැඩ කරන මිනිසුන් හදන්න පුළුවන් යැයි හිතන අයත්, මිනිස් සමාජයක පුද්ගල දර්ශනයකට ඉඩ ලැබීම අර ආත්මාර්ථකාමයෙන් ගැලවෙන්නට බැහැ යන සත්‍යයේ පිළිබිඹුවක් බව පිළිගන්නෙ නැහැ.

  2. wicharaka විචාරක said, on ජනවාරි 16, 2014 at 1:25 පෙ.ව.

    අනේ අරුණි මුන්ට මේවා කියලා දෙන්නේ කවුද? කොමිස් කුට්ටිය දිහා මිසක් රට දිහා බලන දේසපාලුවෝ දැන් නැහැ. පුත්තලමේ කලපුව අයිනේ සුළං මෝල් පේලියක් හයිකරලා තියනවා. මහා සද්දෙන් කැරකෙනවා. මම එදා නිකමට හිතුවා ඇයි යකෝ බෝට්ටු යන්න කරදරයක් නොවෙන විදිහට මේවා කලපුවේ මැද හයි කරානම් මෙතන ගෙවල් ටිකක්වත් හදන්න තිබුනා නේද කියලා.

    • arunishapiro said, on ජනවාරි 16, 2014 at 8:19 පෙ.ව.

      විචාරක,

      රටක් දිහා බලන දේශපාලනඥයන් ඉන්නවා යන විශ්වාසයේ දෝෂ සහිත බව වටහා නොගැනීම තමයි සියල්ලටම මුල් වූ අභාග්‍යය. ලාබ හොයන ව්‍යාපාරිකයා විසින් කැමැත්තක් ඇත්නම් පමණක් මිල දී ගන්නට ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව ගැන දක්වන සැකයෙන් ඇබිත්තක් හෝ කිසිදා ඉටු නොකළ හැකි සමෘද්ධියන් ගැන පාරට්ටු බාන සියළු දේශපාලනඥයන් පිළිබඳව නැත්තේ මන්දැයි තමන්ම කල්පනා කර බලන්න ඕනෑ.

  3. Lakmal Kandevidane said, on ජනවාරි 16, 2014 at 2:09 ප.ව.

    අර හම්බංතොට පැත්තේ තියන ඒවායෙන් ඒතරම් සද්දයක් එන්නේ නැනේ ,


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: