අරුණි ශපීරෝ‍ වෙතින්

රාජ්‍ය නිලධාරිවාදය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 21, 2014

සමාජවාදය, ධනවාදය වැනි සංකල්ප ගැන අසා තිබුණ ද ඒවායෙන් අර්ථ දැක්වෙන්නේ කුමන ක්‍රමයක්දැයි නොදන්නා අය බොහොමයකි. අර්ථය කෙසේ වෙතත් සංකල්පය පවා කුමක්දැයි වටහා නොගත්තක් ලෙස රාජ්‍ය නිලධාරිවාදය දක්වත හැකියි. එහි ප්‍රධාන ලක්ෂණ ප්‍රංශය, ජර්මනිය හා රුසියාව වැනි රටවල් වලින් පුරාතනයේ සිටත්, ග්‍රීසිය ඉතාලිය වැනි රටවල් තුලින් මෑතක දී ත් මනාව දැකගත හැකියි.

නිදහස සොයා ඇමෙරිකාවට ගොඩබැසි ජනයාට මේ රාජ්‍ය නිලධාරිවාදය යන්න මුල් කාලයේ පටන්ම දිරවා ගන්නට නොහැකි වූවකි. ජනතාව වෙතින් නොලැබෙන අධිකාරියක් ආණ්ඩුවකට ලැබෙන බවක් ඔවුන් එදා පිළිනොගත්හ. එහෙත් කාලාන්තරයක් තිස්සේ සංක්‍රමණිකයන් ඇදී එද්දී කෙමෙන් තෝමස් පෙයින් ලියූ Common Sense නොදන්නා අය රටේ වැඩි වූහ. නිදහස් ප්‍රඥප්තිය සහ රටේ ව්‍යවස්ථාව කියවා ඇති අය අඩු වූහ.

අක්‍රමිකතා බහුල නිසා තමනට ප්‍රගතියක් සිද්ධ නොවෙන බව පුද්ගලිකව අත්දුටුවත්, එසේ සිද්ධ වෙන්නේ මන්දැයි වටහාගත නොහැකි අය අද ලොව වැඩියි. නැවත නැවතත් අහිතකර ප්‍රතිඵලම ගෙන දෙන ක්‍රමයෙන්ම තම තමන් වැටී සිටින වළෙන් නැඟිටින්නට හැකි යැයි විශ්වාසයෙන් ලෝක ජනතාවක් අසාර්ථක උත්සාහයේ තවත් දැඩි වෑයමකින් වෙහෙසෙති.

රජයේ සේවකයෙක් යැයි කියාගන්නා තැනැත්තා රාජ්‍ය නිලධාරිවාදී ක්‍රමය තවත් පවත්වා ගෙන යන්නට වෙහෙසෙන්නෙකි. නමුත් ඔහුට අනුව ධනවාදී ක්‍රමය ඉබේම නැතිවී යන ආකාරයකින් ගොඩනැඟී ඇති රාජ්‍ය නිලධාරි ක්‍රමය යනු සමාජවාදයේ අවසන් ජයග්‍රහණයයි. එයින් ධනවාදය අහෝසි කරත හැකිවා පමණක් නොව අනතුරුව රාජ්‍ය නිලධාරිවාදයත් අහෝසි කරලමින් අවසානයේ දී කිසිම පරිපාලකයෙක් නොමැති සාමාන්‍ය මිනිසා රජයන ලොවක් බිහිවේ යන්න ඔහුගේ මිථ්‍යා විශ්වාසයයි.

එම මිථ්‍යා විශ්වාසයෙන් බහුතරයක් අන්ධ කරවා, විරුද්ධ වූවන් ඝාතනය කර රටේ පාලන බලය අල්ලා ගත් සෝවියට් රුසියාවේ, කියුබාවේ හෝ වෙනෙසියුලාවේ වසර ගණනාවක් ගිය ද සාමාන්‍ය මිනිසා රජයන ලොවක් බිහිවූයේ නැත. ඒ වෙනුවට ඒ රටවල ආර්ථිකයන් හි නවොත්පාදන බිහි නොවී බංකොළොත් වීම දකින්නට ලැබුණි.

ඉතින් තතු විමසා බලන්නෙකුට දැකගත හැකිවන්නේ, ධනවාදීන් මෙන්ම සමාජවාදීන් ද රාජ්‍ය නිලධාරිවාදය හානිකර වූවක් ලෙසින් දකින බවයි. විසඳුම ලෙසින් දකින්නේ මේ රාජ්‍ය නිලධාරින් පළවා හැර ඒ දේවල්ම කරන්නට වෙනත් රාජ්‍ය නිලධාරීන් කල්ලියක් ගෙන්වා ගත්තාම ප්‍රශ්නය විසඳේවි යැයි කියාය. කිසිත් ලෙසකින් නිදහස් වෙළඳපොල කුමක් දැයි සොයා බලන්නට වෙහෙසක් ගන්නේ නැත. ඒ ගැන නොදන්නාකමෙන් ඊට ඉඩ දෙන්නට ඇති දැඩි අකමැත්තෙන් සිටිති. පාරිභෝගිකයා යනු සමස්ත රටවැසියන් සියල්ලන්ම යැයි දකින්නට නොහැකියාවෙන් පෙළෙති. සමස්ත රටවැසියන් සියල්ලන්ටම රජයන්නට හැකි ලොවක් ඉතා පහසුවෙන් හිමිවෙන්නේ නිදහස් වෙළඳපොල තුලින් යැයි නොදකිති.

එසේම තතු විමසා බලන්නට යන්නෙකු (එයා අවංක නම්!!!) තමන් මේ රාජ්‍ය නිලධාරිවාදය යනු කුමක්දැයි නොදන්නාකම ගැන පුදුමයට පත්වෙනු ඇත. එය කුමක්දැයි නොදැන එයට අකමැති වෙන්නේ කෙසේද? එය කුමක්දැයි නොදැන එය විවේචනය කරන්නේ කෙසේද?

වර්තමාන ලෝකයේ බහුතර රටවල ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නිදහස් ව්‍යවසායකත්වය පාලනය කිරීමට ආණ්ඩුවේ බලතල පාවිච්චියයි. දේශපාලන පක්ෂ සහ දේශපාලන බලපෑම් කරන වෙනත් සංවිධාන සියළු ආර්ථික කටයුතු මහජනතාවගේ පාලනයෙන් සිද්ධ විය යුතු යැයි ඉල්ලා සිටිති.

උදාහරණයක්: ලංකාවේ රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංසදයෙන් (GMOF) සෞඛ්‍ය ඇමතිවරයාට දන්වා ඇත්තේ ඔවුන් පිටිකිරි ගැන රටේ ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහනක් දියත් කරන බවයි. දැනට රටේ ජනතාවගෙන් 25% ක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බවත්, ජීවන විලාසිතාව වෙනස් නොකළ හොත් 2040 වෙද්දී එය 50% ක් වියහැකි යැයි අනාවැකි කියන ඔවුන් මූලික වශයෙන් වෙනස් කළ යුතු ජීවන විලාසිතාව යැයි දක්වා සිටින්නේ ලාංකිකයන් ඇබ්බැහි වී සිටින පිටිකිරි බීම සෞඛ්‍යයට අහිතකර බවයි. ආනයන පිටිකිරි තහනම් කිරීම ඔවුන්ගේ වෑයමයි.

ආනයන පිටිකිරි බීමෙන් දියවැඩියාව හැදෙනවා යන්න විද්‍යාත්මක ඔප්පු කර පෙන්වා නොබෙල් තෑග්ගක් දිනාගන්නට කෙනෙක් ලංකාවේ නැත්තේ ඇයි?!!!!

පෝෂණය ගැන ජනතාව සත්‍ය තොරතුරු වලින් දැනුවත් කරනවා වෙනුවට තමන් ගැතිවාදී වූ දේශපාලන මතවාදයෙන් “පිටිකිරි නොබී මුං කැවුම් කන්නට” ජනතාව නොමඟ යවමින් බියගන්වන උගතුන් යැයි කියාගත්තවුන් ඔබේ තෝරාගැනීමේ/නොගැනීමේ කැමැත්ත ඔබට අහිමි කරන්නේ ද මේ රාජ්‍ය නිලධාරිවාදයෙනි.

දේශපාලන බලපෑමකින් තොරව රාජ්‍ය ආරක්ෂාව අපි සැලසුවේ නැත්නම් නවෝත්පාදන නැතිවී ආර්ථිකය බංකොළොත් වී ඔබේ අනාගතය අයහපත් වේවි යැයි ජනතාව බියගන්වන්නට රාජ්‍ය නිලධාරිවාදයට පුළුවනි. එසේ කියා සත්‍යයෙන්ම මිල දී ගන්නේ මොනවාදැයි නැද්දැයි තෝරාගත හැකියාව තිබූ ඔබට තෝරාගැනීම් නැති වී ගිහින් ඔබේ අනාගතය අයහපත් වෙන්නේ එසේ කියනවුන් ගෙනෙන අහිතකර ප්‍රතිපත්ති වලින් බව වසන් කරන්නට ද හැකියි!!!!!

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජනවාරි 21, 2014 at 9:26 පෙ.ව.

    “විසඳුම ලෙසින් දකින්නේ මේ රාජ්‍ය නිලධාරින් පළවා හැර ඒ දේවල්ම කරන්නට වෙනත් රාජ්‍ය නිලධාරීන් කල්ලියක් ගෙන්වා ගත්තාම ප්‍රශ්නය විසඳේවි යැයි කියාය.” පුදුමය වී ඇත්තේ මේ තත්ත්වය සාමාන්‍ය අය හැර අසාමාන්‍ය කෙනෙකු තවමත් තේරුම් ගෙන ඇති බව නොපෙනීමය !

    • arunishapiro said, on ජනවාරි 22, 2014 at 7:39 පෙ.ව.

      mppgunasinghe,

      හැම පැත්තකින්ම එල්ල වෙන රාජ්‍ය නිලධාරි බලයෙන් පීඩනයට පත්වෙද්දී අයෙක් තමන්ටත් පවුලේ අයටත් දිවි ගලවාගන්නට හෝ ජීවත්වෙන්නට හෝ ක්‍රමයක් නැතිවේ යැයි බියෙන් සිටීම නිසා තේරුම් ගත්තත් එහෙම නැහැ වගේ ඉන්නවා. අනිත් අය පිටරටවල් කරා ඇදී යනවා. එවිට ලැබෙන්නේ බැස්ටියාට් සිය “නීතිය” කෘතියෙන් පෙන්වූ රටේ වාසීන් හැමෝම හැමෝවම මංකොල්ලා කන සමාජයක්. පළමු ප්‍රංශ විප්ලවයෙන් පටන් ගෙන මෙය වටහා නොගත්, එදා බැස්ටියාට් විසූ ප්‍රංශය අදත් මේ තත්වයේ ඉන්නෙ. සෝමාලියාව, සුඩානය වැනි රටවල් එහි ඛේදනීය අවස්ථාව පැහැදිලිව පෙන්වනවා. ඕනෑම රටක් හැමෝම හැමෝවම මංකොල්ලාකන තත්වයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ වගේම ඕනෑම රටක බහුතර ජනතාවක් එසේ විය හැකි බවේ බරපතලකම වටහා ගන්නවා ද ඔවුන්ට එම තත්වයෙන් ගැලවෙන්නට ද ඉඩකඩක් තියෙනවා. අසාමාන්‍ය අය අවශ්‍ය නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයක දී රාජ්‍ය නිලධාරිවාදයට ඉඩදීම යනු බංකොළොත් බවට යන මාර්ගය යැයි දැනුවත් වූ සාමාන්‍ය අය එකින් එකා එයින් අයින්වීම ප්‍රමාණවත් ආරම්භයක්.

  2. amilac2014 said, on ජනවාරි 21, 2014 at 9:28 පෙ.ව.

    ඔබ සතුව දැනුම තිබුනත් ඒවා විචාරය කිරීමේ හැකියාව ඔබ විසින්ම නැතිකරගන ඇත්තේ ඔබේ අන්තවාදි බව නිසා. සමාජවාදය හා ධනවාදය යනු සංකල්ප වන අතර ඒවා ඒවා පොත්වල ඇති ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන රටවල් සත්‍ය වශයෙන්ම නැහැ. ධනවාදී යැයි සලකනු ලබන රටවල් වෙළඳපොල මූලික කරගෙන කටයුතු කරන අතර එම රටවල් වල වෙළඳපොල මූලික ක්‍රියාමර්ග එම රටවල් වල ජනතාවට වඩාත් හිතකර වුවත් ලෝකවාසී ජනතාවට වඩාත්සුන්දර ලෝකයක් ඇතිකරන්නට එම ක්‍රමය අසමත් වෙලා තිබෙනවා.
    ධනවාදී යැයි සැලකෙන එංගලන්තයේ පවා නිළධාරීවාදය සමාජවාදී ලක්ෂණ දකින්නට ලැබෙනවා.
    සැබැවින්ම ඔභ වැනි අය දේශපාලනයට ඒමෙන් අනර්කලී දේශපාලනයට ආවාට වඩා වැදගත් යමක් එකතුවේ යැයි මා සිතන්නේ නැහැ. අනර්කලීට අනුව උදලුතල බෙදීම මගින් ගොවියාසට සෙත කර එයින් ගොවිචන්ද ලබාගත හැකියි.
    ඔබට අනුව පූර්ණ ලෙස ධනවාදී ක්‍රමයක් ඇතිකරලීමෙන් ජනයාට සසර කෙළවර නිවන් දැක්කා වැනි පූර්න සුවයක් ලබාගත හැකියි. ඔබ විසින් අමු අමුවේ ලෝක ජනතාවගේ පළාත් අනුව ඔවුන් සිතන පතන ආකාරය ඔවුන්ගේ ජීවන රටාවන් මරාදමා තිබෙනවා. උදාහරණ ලෙස සාම්ප්‍රදායික අමරිකානු මනුෂ්‍යයකුගේ සතුට සාම්ප්‍රදායික ඉන්දියානු මනුෂ්‍යයකුගේ සතුටට වඩා වෙනස්. අමරිකානු මනුෂ්‍යයා බොහෝ සේ කමින් බොමින් ලිංගික සුව විඳිමින් ජීවිත ගත කරන අතර ඉන්දියානු මනුෂ්‍යයාගේ සතුට යනු පවුල හා එකට ජීවත් වී සමාජීය සත්වයකු ලෙස සැරිසැරීමයි.

    දේශපාලකියන්ට මිනිස්සු බලය ලබාදෙන්නේ ගොඩාක් සල්ලි ලබාගන්නට පමණක් නොවේ. ගොඩාක් ලස්සන අමරිකානු මොඩලයේ ජීවිත ගතකරන්නට සියලු මිනිස්සු ආශා යැයි ඔබ වැනි අමරිකන් රටේ තනි වූ අය සිතනවා ඇති. නමුත් අපේ රටේ වුව අමරිකානු ජීවිත වලට සැබෑ ලෙසම අප්‍රිය කරන්නන් දකින්න පුලුවන්. කොටින්ම ඔබ විිසින් උඩදමනු ලබන ජෙහාන් ආර්ගේ වීඩියෝ වල සිටින ආන්ටි ලා ලංකාවේ විදියට ජීවත්වන්නට උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඇතුලාන්තය සැබැවින්ම දකුනු ආසියාතික වීමේ ගැටලුව නිසාය. එතනදී ඔබ සියලු දෙනා අර ආන්ටිලාට සිනා සුනාට සැබැවින්ම ඒ ආන්ටිලා යනු ඔබ වැනිම අහසට පොලව මෙන් වූ සංස්කෘතික පරතරයක් දිරවාගන්නට නොහැකිව අතරමං වූ පිරිසකි.

    • arunishapiro said, on ජනවාරි 21, 2014 at 10:50 පෙ.ව.

      amilac2014,

      මේවා ගැන ඔබ සතු දැනුමක් නැති බවත්, එසේම ඔබේ පිළිතුරෙන් ඔබ සතුව විචාරයට හැකියාවක් නැති බවත් පෙන්නුම් කරයි. ඉතින් ඒ නිසා මේ ප්‍රතිචාරය ඔබට නොව ඔබ වැනි මුග්ධ ප්‍රශ්න නඟනා අයට උත්තරයක් දෙන්නේ කෙසේදැයි සිතාගන්නට බැරිව ඉන්නා මේ ගැන තතු දන්නා අයට ලියන්නකි!!!!!!!

      සමාජවාදය යැයි සංකල්පයක් පොතක ලියැවෙන්නට පෙර ප්ලේටෝත් කොමියුනිස්ට්අදහස් ගෙනහැර පෑ බව සටහන් ලියා ඇත්තෙමි. කාල් මාක්ස් ඉපදෙන්නටත් පෙර 1623 දී ඇමෙරිකාවේ ආහාර නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බව දැකීම නිසා සමාජවාදී ක්‍රමය අහෝසි කරන ලද හැටි ගැන ලියා ඇත්තෙමි.

      ධනවාදය යැයි සංකල්පයක් වැරදියට විග්‍රහ කරමින් පොතක ලියැවුනේ එයට අකමැති වූ කාල් මාක්ස් සහ ඒංගල්ස් විසින් යැයි ද මම ලියා ඇත.

      සමාජවාදී හෝ ධනවාදී සංකල්ප පොත් වල ලියා ඇති ආකාරයෙන් ක්‍රියාත්මක වන රටවල් ලොව ඇතැයි මේ සටහනේ හෝ වෙනත් කිසිම තැනක මම ලියා නැත.

      නිදහස් වෙළඳපොල යනු එක රටකට වාසි වෙද්දී තවත් රටකට අවාසි සිද්ධ කරන ක්‍රමයක් යනු අසත්‍යයකි. කුමන රටක් හෝ වේවා එහි නිදහස් වෙළඳපොලක් තිබේ ද එහි ජනතාවගේ ජීවිත සුන්දර වෙති. යාන්තමකින් හෝ තිබෙද්දී යහපත් බව වැඩිවෙයි; සෝවියට් ග්‍රහණයෙන් ගැලවෙන ලද එස්ටෝනියාවේ ඇත්තේ මෙයයි. නිදහස් වෙළඳපොල කෙමෙන් කප්පාදු වෙද්දී ධනවාදී යැයි කියාගත්ත ද ජනතා ජීවිත කෙමෙන් අසරණ වෙති; අද එංගලන්තයට සිද්ධ වී ඇත්තේ මෙයයි.

      උදලු තල බෙදා දීමෙන් ගොවියාට සෙතක් වේ යැයි කියන්නා ආර්ථිකයක් වැඩකරන හැටි නොදන්නා අයෙකි. ගොවියන්ට සහනාධාර බෙදීමෙන් වෙළඳපොලේ සත්‍ය මිල ගණන් හඳුනාගැනීමේ හැකියාව නැති වී යයි. සත්‍ය මිල ගණන් නොදැන ගොවිතැන් වලින් ලාබ හොයන්නට නොහැකියි. ලාබ නොසොයන ගොවිතැන් නිසා රටවැසියන් ණයගැති වෙති.

      ගොවි චන්ද ලබාගැනීමට හැකියාවක් තිබීමෙන් රටක ආර්ථිකයක් සරුවත් වෙන්නේ නැත. ජන ජීවිතය යහපත් වෙන්නේ ද නැත. ගොවි චන්ද ලබාගැනීමට හැකි දැනුම නිසා රාජ්‍ය නිලධාරිවාදය පමණක්ම පෝෂණය වේ!!!!!!

      වැඩි ඈතක නෙමෙයි මේ ඊයේ පෙරේදාම ලියපු සටහනක්; ධනවාදයට යාන්තමකින් හෝ ඉඩක් තිබීමෙන් ආණ්ඩුව කරන වැරදි වලට වන්දි ගෙවමින් තමන් ද, අනාගත පරම්පරාවන් ද ණයැගති කරනවා වෙනුවට සිද්ධ වෙන්නේ අනුවණ ක්‍රියාකාරකම් නිසා තමන් පාඩු විඳීමයි.

      ඇමෙරිකන්කාරයෙක් මෙසේ කරද්දී ඉන්දියන්කාරියක් මෙසේ කරයි. නමුත් හැම ඇමරිකන් අයෙක්ම එසේ ද හැම ඉන්දියන් අයෙක්ම මෙසේ ද නොවන බව දන්නේ ලොව තතු දන්නා අය පමණයි. ලෝකයේ සත්‍යයෙන් සිද්ධ වෙන්නේ මොනවාදැයි නොදන්නා අය මිනිස් ස්වභාවය යනු මෘගයන් වෙතින් වෙනස් වූ උසස් ගතිගුණ කරා වර්ධනය කරගත හැකි වූ ස්වභාවයක් බව පිළිනොගන්නෙකි!!!!!!!

      දේශපාලන නැඹුරුව තියා ආගම, ජාතිය, කුලය මලය, වත්පොහොසත්කම, තරාතිරම හා තානාන්තර යනාදිය හෝ නොසලකා සැබැවින්ම මිනිසත් බවට මම ආදරය කරන්නේ, එය වැදගත් කොට සලකන්නේ හා එය අගය කරන්නේ උසස් ගතිගුණ වර්ධනය කරගන්නට වෙහෙසෙන මිනිසුන්ටය. ජෙහාන්ගේ ආන්ටිලාට මම නම් සිනා වෙන්නේ නැත. මම කරන්නේ ඒ ආන්ටිලා සමඟ එකතු වී මගේම අඩුපාඩු වලට මමම සිනා සී මගේම වරදවල් මමම හදාගන්නා උත්සාහයයි!!!! 🙂

  3. magenama said, on ජනවාරි 22, 2014 at 2:47 පෙ.ව.

    ඔය වෛද්‍ය සංගමය කිරි පිටි වලට එරෙහිව කෑගහලා කරන්න හදන්නේ අර ත්‍රස්තවාදී සංගමයක් ප්‍රජාතන්ත්‍රවාදයට එද්දි පාර සුද්ද කරලා ජනතාව දියුණු කරන්න කතා කරනවා වගේ වැඩක්.2003 ගංවතුර වෙලාවෙදි කොටි දකුනට ආධාර එවලා කරන්න හැදුවා වගේ.කිරිපිටි නෙවෙයි ලංකාවේ වෛද්‍ය සේවය ගැන ජනතාවට තියෙන ගැටලු වලට මේ සංගම් එකක්වත් බලන්නේ නෑ.බලනවා වගේ පෙන්නනවා.
    නවෝත්පාදනය නවත්වන්න මේ නිලධාරී තන්ත්‍රය තුලම තියෙනවා මරු නියමයක්.ඒ තමයි තමන් රාජ්‍ය සේවකයෙක් නම් කරපු නව නිර්මාණයේ අයිතිය රජය සතුවන බව.හොඳයි නේද ඒක???

    • arunishapiro said, on ජනවාරි 22, 2014 at 7:45 පෙ.ව.

      magenama,

      🙂 මරු නියමයක් නේන්නම්!!! පුද්ගල අයිතිය කුමක්දැයි නොදන්නා අය අයිතීන් ගැන කතා කරන්න ගියාම ඔහොම තමයි!!!!

      යුනියන් බිහිවුනේ පුද්ගලික කොම්පැණි වල දී ශ්‍රමික අයිතීන් ආරක්ෂා කරගන්න. දැන් ලෝකෙ වැඩියෙන් තියෙන්නෙ ජනතා ආණ්ඩු වලට පාට් දාලා තම සංගමයේ බලතල වැඩි කරගන්න හදන යුනියන් යැයි නොකියා ගන්නා එහෙත් ඒ යුනියන් වැඩේ කරන රජයේ සේවකයන්ගේ සංගම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: