අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිස්සු සිංදු කියන හැටි ඔබට ඇහෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 27, 2014

කෝපාවිෂ්ඨ මිනිසුන්ගේ ගීතය ගයනවා ඔබට ඇහෙනවා ද? යන පද දෙක අහන්නට ලැබෙන්නේ Les Misrables (2012) චිත්‍රපටියේ සමූහ ගායනයකයි. බෙර පදය දෝංකාර දෙන විදියට හදවත ගැහෙන්නට පටන් ගෙන ඇති රටවල් අතරට මේ දිනවල යුක්රේනය සහ තායිලන්තය ද එකතු වී ඇත.

පසුගිය සෙනසුරාදා (ජනවාරි 25) යුක්රේනයේ ජනාධිපති වික්ටර් එෆ්. යනුකෝවිච් විසින් රුසියාවට ගැති ආණ්ඩුව විසුරුවා හැර විරුද්ධ පක්ෂයේ නායකයෙක් වන Arseniy P. Yatsenyuk ව අගමැතිවරයා ලෙසට සහ බොක්සිං ශූරයෙක් වූ Vitali Klitschko ව මානුෂික කටයුතු සඳහා නියෝජ්‍ය අගමැතිවරයෙක් ලෙසින් පත් කරන්නටත් සහ ව්‍යවස්ථාව වෙනස් කරන යෝජනා ගෙනෙන්නට ඉදිරිපත් වූවත් විරුද්ධ පක්ෂ නායකයන් සියල්ලන්ම ඒවා ප්‍රතික්ෂේප කළහ. ඒ විරුද්ධ පක්ෂයන් සියල්ල සුළු දේශපාලන පක්ෂයන් වෙන අතර ඔවුන් සියල්ලම එකඟ වෙන එකම තැන වී ඇත්තේ යනුකෝවිච්ට ඇති අකමැත්ත පමණකි.

උද්ඝෝෂණ වල දී වෙඩි පහර කෑ විසිපස් හැවිරිදි Mikhail Zhiznevsky සහ විසි හැවිරිදි Serhiy Nihoyan ගේ අවමංගල්‍යයන්ට සහ පැහැර ගෙන ගොස් සීතලේ මිය යන්නට දමාගිය Yuriy Verbytsky ගේ අවමංගල්‍යයට සහභාගී වන්නට දහස් ගණනින් යුක්රේන ජනකායක් ඒ ඒ පළාත් හි දී එකතු වූහ.

කෝපාවිෂ්ඨ මිනිස්සු සිංදු කියන හැටි දත්ත ද, එහෙත් ඔවුන් නැවත වහලුන් නොවන නිදහස ලැබෙන්නා වූ යදම් වලින් ගැලවෙන මාර්ගය දන්නවා ද යන්න සැක සහිත වේ.

යුක්රේනයේ උද්ඝෝෂණයන් හටගත්තේ පසුගිය නොවැම්බරයේ දී ය. ඒ ජනාධිපති යනුකෝවිච්ට එල්ල වූ ඔහු යුරෝපීය යුනියනය සමඟ දේශපාලනික නිදහස් වෙළඳ සබඳතාවයකට අත්සන් කිරීමේ පොරොන්දුව කැඩුවාය යන චෝදනාව හේතුවෙනි. යුරෝපීය යුනියනය සමඟ ගිවිසුම වෙනුවට යනුකෝවිච් ඩොලර් බිලියන 15 ක ණය ආධාර ව්ලැඩමියර් පූටින්ගේ රුසියාවෙන් ලබාගන්නට සමත් වූයේය.

යුරෝපීය යුනියනය සමඟ නිදහස් වෙළඳ සබඳතාවයක් අත්සන් ගැසීමෙන් යුක්රේන වැසියන්ට වාසියක් සිද්ධ වේ ද යන්න සැක සහිතය. එන්න එන්නම බලතල විසල් වන යුරෝපීය යුනියනයේ ආණ්ඩුව නිසා ඒ හවුලේ ඒ ඒ රටවල් වල නීති මදිවාට දැන් යුරෝපීයයන්ට තමන් විහින්ම කැමැත්තෙන් එකතු වූ දිනෙන් දින විසල් වෙන ලිවීයතන් රකුසාගේ ග්‍රහණයට ද නතු වන්නට සිද්ධ වී ඇත.

වහලුන් නොවන්නට රිසි වූවන් විමසිය යුත්තේ නිදහස් වෙළඳාමේ නියැළෙන්නට රටවල් කිහිපයකට සීමා වූ ගිවිසුම් අත්සන් කරන්නට අවශ්‍ය මන්දැයි කියායි. නිදහස් වෙළඳපොලට සහ විවෘත ආර්ථිකයට බනිනවා මිසෙක ඒවා මොනවාදැයි හඳුනා ගන්නට උත්සාහ නොකරන අය හැමදාම අර විප්ලවයෙන් සහ මේ විප්ලවයෙන් අර අය සහ මේ අය පළවා හැර වෙන අය පත්කරගන්නට උත්සාහයේ යෙදෙති. යම් නායකයෙක් නොව රටක් සමෘද්ධිය කරා ගෙන යන්නේ තම කැමැත්තක් සොයා යන්නට ඉඩක් ලැබෙන සමාජයක වාසය කරන වෙහෙසෙන ජනතාව විසින් බව වටහා ගන්නට මෙවැනි විප්ලවකරුවන් කිසිත් උත්සාහයක් නොගනිති.

යුක්රේනයේ පල්ලි ගංඨාර නාද කරමින් තරුණ විප්ලවකරුවන්ගේ අවමංගල උත්සව රට පුරා පවත්වද්දී තායිලන්තයේ බැංකොක් අගනුවර පංසලක් ඉදිරියේ දී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නායකයෙකු වූ Suthin Thararin ව (ජනවාරි 26 ඉරිදා) ඝාතනය කරනු ලැබීය.

තායිලන්තයේ උද්ඝෝෂණකරුවන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ යින්ග්ලක් ෂිනවාට් අගමැතිනියට ඉල්ලා අස්වෙන්නට කියායි. ඇයගේ ආණ්ඩුව වෙනුවට චන්දයකින් තෝරා නොගත් “ජනතා කවුන්සිලයක්” පත්කර දේශපාලනමය වෙනසක් ගෙන ඒම උද්ඝෝෂණයේ යෙදෙන තායි වැසියන්ගේ බලාපොරොත්තුවයි. ලබන මාසයේ පවත්වන්නට නියමිත මැතිවරණ කල්දමන්නට හැකියැයි තායි උසාවියක් පසුගිය සිකුරාදා (ජනවාරි 25) තීරණය කරන ලදි.

යින්ග්ලක් ශිනවාට්ගේ අයියා වූ 2006 දී දේශපාලන කුමන්ත්‍රණයක් නිසා රටෙන් පිට වී යන්නට සිද්ධ වූ හිටපු අගමැති තක්ෂින් ශිනවාට් ඉන්නේ ඩුබායි හි ය. තක්ෂින්ට තවමත් උතුරු සහ ඊසාන දිග පළාත්වල ජනතා ප්‍රසාදය හිමිව ඇත. 2001 සිට පැවතෙන ලද සෑම මැතිවරණයක දී ම තක්ෂින්ට සහාය දුන් පක්ෂ ජයග්‍රාහී වූහ. ඒ උතුරු සහ ඊසාන පළාත්වල සහායෙනි. තායි වැසියන් තායි වැසියන්ට ආදරෙයි (Thai Rak Thai) යන්න ඔහු ආරම්භ කරන දේශපාලන පක්ෂයයි.

2001 ජනවාරියේ පැවැත්වූ මැතිවරණය තායි ඉතිහාසයේ දූෂණ නොමැති වැඩියෙන්ම විනිවිද වූ මැතිවරණය හැටියට එදා එහි විද්වතුන් කියා සිටියහ. එහෙත් තක්ෂින්ගේ ආණ්ඩුව වැඩිකල් නොගිහින් දූෂණයෙන් පිරී ගියේය. ආඥාදායක ලෙසින් කටයුතු කරන්නට පටන් ගති. තම වස්තු සම්පත් හෙළි නොකර සිටීමත්, බදු ගෙවීම පැහැර හරින ලදැයි සහ තායි කොම්පැණි වල වත්කම් අන්තර්ජාතික ආයෝජකයන්ට විකුණන ලදැයි තක්ෂින්ට චෝදනා එල්ල විය. ඔහුගේ බිරිඳ මහජන ඉඩම් මිල දී ගන්නට නීතියට පටහැනිව ගිය විශේෂ වරප්‍රසාදයක් ද ලැබූ බවට වරදකරු විණ.

තක්ෂින් ඩුබායි වල සිටියත් ඔහුගේ අණසක අනුව රට පාලනයේ යෙදෙන යින්ග්ලක්ව මේ මැතිවරණයෙන් පළවා හරින්නට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වර්තමාන විරුද්ධ පක්ෂයට නැත. උතුරු හා ඊසාන පළාත්වල ඉන්නා දුප්පත් ජනතාව ඔහු වංචාවේ හා දූෂණයේ යෙදුන ද තමනට අතපල්ලෙන් ලැබෙන්න ගැන මහත් ප්‍රසාදයෙන් තවමත් ඔහුට පක්ෂපාතීව සිටිති. ජනතා කැමැත්තෙන් පත්කරගත් නංගි අගමැතිනිය වූ ආණ්ඩුව තක්ෂින්ව බල අපහරණය සහ දූෂණ චෝදනා වලින් නිදහස් කරන්නට ගියේ දැනට මාස තුනකට පමණ ඉහතක දී ය.

බැංකොක් අගනුවර සහ දකුණු පළාත් හි වැසියන් දැන් උතුරු හා ඊසාන පළාත් හි වැසියන් සමඟ උරණ ව සිටිති. 2011 දී ජයග්‍රාහී වූ තක්ෂින්ගේ නංගිට නැවතත් බලය ලැබුණ ද ඇයව දේශපාලන කුමන්ත්‍රණයකින් බැංකොක් නුවරින් පළවා හැරේවි යැයි බියක් ඇත. චියෑන්ග් මායි නගරයෙන් ඇයට ආරාධනා ඇත්තේ එහි පැමිණ එහි සිට රටේ පාලනය ගෙන යන්නට කියාය.

යුක්රේනයේ එසේ සහ තායිලන්තයේ මෙසේ උද්ඝෝෂණ පැවැත්වෙද්දී ලේ මිසරාබ්ල සංගීතයට පාදක වූ විප්ලවය සිද්ධ වුනු රටේ පසුගිය දිනවල කුමක් වී ද?

නැවතත් වහලුන් නොවෙන්නට යැයි කියමින් මිනිස් ජීවිත දස දහස් ගණනින් අහිමි වූ රටේ, ඔටුනු පැළඳි රජු සහ කේක් කාපල්ලා යැයි නොකී එහෙත් එසේ කීවා යැයි ලොව සුපතල රැජිනගේ හිස ගසා දැමූ රටේ කුමක් වී ද?

දුප්පතුන්ට තව වැඩියෙන් බෙදන්නට ධනවත් අයගෙන් උදුරා ගන්නා බදු මුදල් වැඩි කරන්නට යැයි ජනතාව විසින් පත් කරගත් ජනාධිපතිවරයා තමන් පොරොන්දු වූ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී රස්සාවල් සැපයූ කර්මාන්ත හිමියන් තම ව්‍යාපාර අකුලා ගෙන රටින් පිට වී ගියහ. රටේ ජනාධිපතිවරයා සහ ඇන්ඩෝරා හි සම-කුමරා වූ ඔහුට ඇති ජනතා ප්‍රසාදය පහළ ගියේය. ඔහු නිළියක් සමඟ පැවැත්වූ හොර සබඳතාවයක් රටට හෙළිවිණ. එය දැනගැනීම නිසා ගිලන් වූ වසර හතක පෙම්වතියගෙන් තමන් අයින්වන බව ඔහු ජනතාවට (ජනවාරි 25) දැන්වීය.

ආර්ථිකය නංවාලන්නට සහ ඉහළ යන විරැකියාව නවතන්නට අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට පසුගිය ඉරිදා (ජනවාරි 26) දහස් ගණනින් ජනතාවක් පැරිසියේ විදීවලට බැස්සහ. උද්ඝෝෂකයන් ‘ප්‍රංශ වැසියන් කෝපාවිෂ්ඨ වී ඇතැයි’ නොහොත් “The French are angry!” යැයි ලියූ බැනර් ගෙන ගියහ.

වහලෙක් නොවන්නට නම් කළ යුත්තේ කුමක්දැයි වටහා ගත් අය ලොව අඩු නිසා තවත් කාලාන්තරයක් තිස්සේ මේ සිංදුව වැයෙන බෙර පදය දෝංකාර දෙන විදියට මිනිස් හදවත් ගැහෙනු ඇත. කල්ලියකගෙන් උදුරා තවත් කල්ලියකට බෙදන බලය කිසිවෙකුට නොදිය යුතු යැයි ගැහෙන මිනිස් හදවතක් කවදා වටහා ගනීවි ද?!!!!!!

Do you hear the people sing?
Singing the song of angry men?
It is the music of the people
Who will not be slaves again!

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජනවාරි 27, 2014 at 4:13 පෙ.ව.

    හැමදෙනමෙ බලන්න ඉතාම වටිනා ලිපියක් වගේම වටිනා වීඩියෝවකි. ස්තුතියි මැතිනියනි.

  2. mppgunasinghe said, on ජනවාරි 27, 2014 at 12:25 ප.ව.

    මිනිසුන් කුමණ අරමුණක් ඇතිව හෝ කාකොටා ගැනීමේ සිරිත ආරම්භයේ සිටම කිසිදු අඩුවක් නොමැතිව තවමත් සිදුවේ. අනාගත‍යේ වුවද අඩුවීමේ ප්‍රවනතාවකට ඉඟියක් හෝ නැත. කෙතරම් දියුණුවක් ලැබුවායයි පවසන කවර පිරිසක් හෝ කවුරුන් තුළ වුවද මේ ම්ලේච්ඡත්වය විවිධ ස්වරූපවලින් මුල් පරිමානයෙන්ම පවතී. මේ ලිපිය මාසිත වසඟ කළේ එවැනි සිතිවිලි සමුදායක් මාසිත ජනිත කරන්නට සමත්වීම නිසා විය හැකිය. එයින් උද්දාමයට පත්ව තබන ලද සටහනකින් කතුවරියගේ සිත කණස්සල්ලට පත්වී ඇති බවක් පෙනීම සිතට අසහනයක් ගෙන දෙයි.

    • arunishapiro said, on ජනවාරි 28, 2014 at 9:32 පෙ.ව.

      mppgunasinghe,

      මම දකින විදියට වර්තමාන මිනිසා යනු සමාජ සබඳතාවයන් පැවැත්වීමට හැකියාවේ සෑහෙන දියුණුවක් ලැබූවෙක්. අද පුවත්පත් වලින් දකින සමහර ප්‍රවෘත්ති දැක්කම ඒක විශ්වාස කරන්න අමාරුයි තමා. ඒ අතීතයේ ශ්‍රී විභූතිය ගැන අපිට දෝෂ සහගත වූ මතයක් ගිලින්න දීලා තියෙන නිසා. ඒක වමාරා දාලා මුල සිට ආයෙත් නිවැරදි දැක්මක් ගොඩනඟා ගන්න උත්සාහයක් ගන්න ඕන. එයට අවශ්‍ය තොරතුරු අද පහසුවෙන් ලබාගත හැකියි.

      අපි උදාහරණයක් හැටියට ගනිමු උතුරු කොරියාවේ ආඥාදායක කිම් යොන්ග් උන් විසින් එයාගෙ මාමා කෙනෙක්ව පසුගිය මාසයේ ඝාතනය කිරීම. ඊට පස්සෙ මේ ළඟ දී හෙළිවුනා ඒ මාමාගේ සමීප නෑදෑයන් සියල්ලන්ම, දරුවන් පවා ඝාතනය කරපු බව. මාමාගේ නංගි, කියුබාවේ තානාපති ලෙසින් යවා සිටි ඇයගේ සැමියා, මැලේසියාවට තානාපති ලෙසින් යවා සිටි ඥාති පුතෙක් සහ එයාගේ පුතාලා දෙන්නෙක්. ඒ අයව සේරම පියොන්යෑන්ග් වලට ගෙන්වලා සිටිය දී තමයි මරා දමන්නෙ. මාමාගේ මැරිච්ච අයියලා දෙන්නෙකුගේ පුතාලා, දුව සහ මුණුපුරු මිනිපිරියන් ද මරණයට පමුණවල තියෙනවා.

      අද ලෝකයේ තැනක මෙහෙම සිද්ධ වෙද්දී, ඒවා ගැන කියවද්දී, අතීතයේ බොහෝ රට රටවල් වල සාමාන්‍යයක් ලෙසින් නිතර සිද්ධ වූ එවැනි ඝාතන ගැන මිනිසුන් හිතන්නෙ නැහැ. ගන්න බෞද්ධ ඉතිහාසයක් තියෙන ලංකාව. පියා මරා රජ වූ අය සිටිය දී, දරුවන් හා ගැහැණුන් ඝාතනය කරපු රජවරුන් සිටිය දී, හැදියාව වෙන්නේ ඒවා එසේ සිද්ධ වීමට හේතු ගැන කතා කරනවා වෙනුවට “මැරෙන හැටි මම පෙන්වමි,” කීම එඩිතර වීර ලක්ෂණයක් විදියට දරුවන්ට ඉගැන්වීම. ඉතින් එයින් ගිලින්න දීපුවා ගිලලා විතරක් විභාග පාස්වෙලා සහතික තියෙන අය හිතන්න හැකියාවක් වර්ධනය කරගෙන නැහැ. බහුතරය තවමත් එසේ වූවාට, අතීතයට වඩා එන්න එන්නම පොත්පතින් සහ වර්තමානයේ අන්තර්ජාලයෙන් තනිවම තොරතුරු හොයා යන්න අවස්ථාව ලැබිලා තියෙන අය දැනුම තුලින් සත්‍යය සෙවීමේ යෙදෙනවා. තමන් විසින් හිතන්න පුරුදු වී අතීතයේ කරන ලද වරද සහ නිවරද ක්‍රියාවන් අතර වෙනස මොකක්ද යන්න දැනගන්නට උත්සාහ කරන බව දකින්න පුළුවන්.

      නැපෝලියන් යුද්ධ වල දී නැපෝලියන් බොනපාට් විසින් සිරියාවේ සහ ඊජිපත්තුවේ මිනිසුන් ඝාතනය කරද්දී එදා ඔහු විජයග්‍රහණයක් ලත් වීර නායකයෙක් හැටියට දක්වන්නට හැකියාව තිබුණත් අද සිරියාවේ බෂාර් අල් අසාඩ්ගේ බලය එහි උද්ඝෝෂකයන් ද නියෝජනය වෙන කෙටිකාලීන ආණ්ඩුවකට බාර දෙන උත්සාහයක් ලෝක ජනතාවගේ හඬගෑමෙන් සිද්ධ වෙමින් පවතිනවා. සෝවියට් දේශය 1932-1933 කාලයේ යුක්රේනයේ මිලියන 5-11 ක් අතර ජනසංඛ්‍යාවක් මරණයට පත් කළේ (Holodomor) උවමනාවෙන්ම ස්ථාපිත කරපු සාගතයකින්. ඒත් අද උද්ඝෝෂකයන් සමඟ එකඟතාවයකට එන්න රුසියන් පාක්ෂික යුක්රේන ජනාධිපති යනුකෝවිච් උත්සාහයක් ගන්නවා දකින්න පුළුවන්. බෂාර් අල් අසාඩ් සහ වික්ටර් යනුකෝවිච් එසේ කරන්නේ ලෝක ජනතාවගේ අප්‍රසාදය මැද තමනට එරෙහි වන විරුද්ධවාදීන් අමු අමුවේ ඝාතනය කර මුලිනුපුටා දැමීම අද ලොව බහුතරයක් අගයන්නේ නැති නිසයි.

      //කෙතරම් දියුණුවක් ලැබුවා යයි පවසන කවර පිරිසක් හෝ කවුරුන් තුල වුව ද මේ ම්ලේච්ඡත්වය විවිධ ස්වරූප වලින් මුල් පරිමානයෙන්ම පවතී// යන්නට ඒ නිසා මම කිසිසේත්ම එකඟ නැහැ. මිනිස් නිදහස යනු කුමක්දැයි අවබෝධ කරගත්තවුන් තමන්ගේ නිදහස ආරක්ෂා කරගැනීමට මෙන්ම නොදන්නා දුර බැහැර රටවල නොදන්නා අනුන්ගේ නිදහස පවා ආරක්ෂාවට ද තම රජයන්ට බලපෑම් එල්ල කරමින් මහත් වෙහෙසක් ගන්න බව තතු සොයන්න උත්සාහ ගන්නා අයට සොයාගන්න පුළුවන් දෙයක්.

      මැතිනිය කියනවාට අකමැතියි කිව්වට දිගින් දිගට කණගාටු වෙන්න එපා!!! ආයෙ කවදාකවත් මැතිනිය නොකියා මහත්මිය විතරක් කිව්වම ඇති!!!!! 🙂

      • mppgunasinghe said, on ජනවාරි 28, 2014 at 9:42 පෙ.ව.

        මිනිසා සිය අධ්‍යාත්මය දියුණු කරගත්තේ ද ? සාපේක්ෂව සුළු පිරිසක් මෙවැනි උත්සාහයන්හි නිරතවෙති. “බුද්ධිමතා පාලකයා විය යුතුය. නැතහොත් පාලකයා බුද්ධිමතකු විය යුතුය” යන දැක්මෙන් ‍මිනිස් ප්‍රජාව පොහොසත්ද මට පහසුවෙන් කියවිය හැක්කේ සිංහල පමණක් වීම නිසා මගේ දැක්ම පටු වෙනවා වෙන්න ඇති. කෙසේ හෝ සිංහලෙන් කියවන මා දැක ඇති සත්‍යය එයයි.

        • arunishapiro said, on ජනවාරි 28, 2014 at 10:03 පෙ.ව.

          mppgunasinghe,

          මිනිසා යනු සිය අධ්‍යාත්මය දියුණු කරගත හැකියාවෙන් යුතුවේ. එයට එකතු වෙන පිරිස ලොව කෙමෙන් වැඩිවෙමින් පවතී. ඔවුන් අවබෝධ කරගන්නා සත්‍යය නම් කල්ලියකගෙන් උදුරා තව කල්ලියකට බෙදන “පාලකයෙක්” අවශ්‍ය නැත යන්නයි. කැමති අයට කැමති භාණ්ඩයක් හා සේවාවක් සපයන්නට හා මිල දී ගන්නට ඉඩකඩක් ලැබෙද්දී, අනුන්ට හිංසාවක් නොවෙද්දී තමන් කැමති සබඳතාවන්/කටයුතු හි යෙදෙන්නට ඉඩ ලැබෙද්දී, තවත් විදියකින් කිව්වොත් බුද්ධිමත් කියාගත්තාට එහෙම බුද්ධිමත් බවක් කිසිවිටෙක තිබිය නොහැකි යාන්ත්‍රණයක් වූ ආණ්ඩුව අපේ ජීවිතයෙන් ඈත් වෙද්දී ඒකීය මිනිසා තම උත්සාහයේ යෙදෙනවා මිසෙක අනුන් කොල්ල කන්නට තවත් ක්‍රමයන් සොයන්නට වෙහෙසීමෙන් ඵලක් නැති බව අවබෝධ කරගනියි.

          • mppgunasinghe said, on ජනවාරි 28, 2014 at 10:25 පෙ.ව.

            “මිනිසා යනු සිය අධ්‍යාත්මය දියුණු කරගත හැකියාවෙන් යුතුවේ.” සත්‍යයකි.
            “එයට එකතු වෙන පිරිස ලොව කෙමෙන් වැඩිවෙමින් පවතී.” මෙය ද සත්‍යයක් නම් මේ අද දවසේ මා දකින මිහිිරිතම උතතුම්ම පුවතවයි

  3. magenama said, on ජනවාරි 27, 2014 at 11:38 ප.ව.

    සමහරක් විට දැන් විරෝධතා පවත්වන එකත් යම් විදිහක විනෝදයක් වෙලා වෙන්නැති.ඒකේ නියම අරමුණ පසෙකලා අන්තිමට අර ප්‍රංශ විප්ලවයෙන් පස්සේ රොබෙස්පියරිට බලය දුන්නා වගේ වැඩක් අන්තිමට වේවි.

    • arunishapiro said, on ජනවාරි 28, 2014 at 9:37 පෙ.ව.

      magenama,

      වෙනසක් අවශ්‍ය බව දන්නවා වුනාට වෙනස් කරගන්නේ මොකකට ද කියලා දන්නෙ නැතිවුනාම හැමදාම විරෝධතා. විනෝදය ගෙනෙන්නෙ එයා වෙනුවට මෙයා ආවම වැඩේ හරියාවි කියල හිතන නිසා වෙන්නැති!!!

      ඇයි අමතක ද, රජුගේ හිස ගසා දැමූ ප්‍රංශය රොබස්පියර්ට පස්සෙ කාලයක දී ගෙන්වා ගත්තෙ එම්ප්‍රදෝරුවෙක් වූ නැපෝලියන් බොනපාට්!!!!!! වෙනස කුමක් දැයි නොදන්නා විට ගමන් කරන්නේ දාස බවට යන පාරේ තමයි!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: