අරුණි ශපීරෝ‍ වෙතින්

වල්ලා පට්ටා ලොතරැයි සහ පුද්ගලික අයිතිය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 30, 2014

ලොතරැයියකින් දිනාගන්නා මහත් ධනයක් රිසියෙන් නිතර ලොතරැයි මිල දී ගන්නා අය අප අතර සිටිති. පහසුවෙන් මුදල් සම්භාරයක් හොයාගන්නට හැකි යැයි අපේක්ෂාවෙන් ලංකාවේ වල්ලා පට්ටා ගස් කපන්නට හොයන අයත් ඒ හා සමාන වෙති.

වෙළඳපොල දැඩි ඉල්ලුමක් ඇත්තේ අගරු = අගාර්වුඩ් (Agarwood) වලට ය. මෙය පුස් වර්ගයක් බෝවීම නිසා Aquilaria සහ Gyrinops යන වර්ගවල ගස් මැද්දේ හැදෙන්නකි. ලංකාවේ වල්ලා පට්ටා ගස් වලින් මේවා හොයාගැනීම පහසුවෙන් කරත හැකි දෙයක් නොවන බව කියන්නේ ඒ ගැනම බ්ලොග් අඩවියක් ඉංග්‍රීසියෙන් ලියන ආචාර්ය උපුල් සුබසිංහ විසිනි.

කැලෑ පීරමින් වල්ලා පට්ටා ගස් දෙබෑ කරමින් මේවා සොයන මිනිසුන් සංඛ්‍යාව රටේ වැඩි වී ඇතැයි ලංකාවේ පත්තර වලින් කියවන්නට හැකියි. ජාතියේ හා දේශයේ සම්පත් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින වාර්තාකරුවන් ජාතික ධනයක් අහිමි වී යන හැටි ගැන කතාබහේ යෙදෙති. දේශපාලනයෙන් ගෙනෙන නීතියකින් මිනිස් හැදියාව වෙනස් කරත හැකි යැයි සිතන වාර්තාකරුවන් නීති ගැන කතාබහේ යෙදෙති. එහෙත් ගස් ආරක්ෂාවට ලොව වැඩියෙන්ම දායක වී ඇත්තේ පුද්ගලික අයිතියෙන් හිමි වූ තම ගස් තමන් කැමති ආකාරයෙන් පරිහරණයට ඉඩක් ලැබුණු විටෙක බව ලියන්නට කියවන්නට හා කියා දෙන්නට ඉන්නා අය අඩුයි.

2013 මැයි මාසයේ දී ලංකාවේ පුවත්පත් වල පළ වූ සිද්ධියක් ගැන තම බ්ලොග් සටහනකින් ආචාර්ය උපුල් සුබසිංහ සැක පළ කරයි. කිලෝග්‍රෑම් හාරදහසක් වල්ලා පට්ටා අගරු හොරෙන් පිටරට පැටවීමට උත්සාහ කිරීමක් අල්ලා ගත් බවත්, එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 1.6 ක් වූ බවත් දැක්වීමත් නිසා මෙම වල්ලා පට්ටා රටේ බහුලව පැතිර ඇතැයි විශ්වාසයක් ද, එමෙන්ම එහි වටිනාකම ගැන බොරු තොරතුරු බෙදා හැරීමක් එයින් සිද්ධ වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ආචාර්ය උපුල් සුබසිංහට අනුව ලංකාවේ වනයේ හැදෙන මේ වල්ලා පට්ටා ගස් වලින් 95% ක අගරු ලහටු නොමැත. ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ස්වභාවිකව හැදෙන ලහටු කෘතිමව ගස්වල නිෂ්පාදනය කරන්නට ගන්නා උත්සාහයක යෙදෙන බව ඒ පසුගිය සැප්තැම්බරයේ දී දමන ලද සටහනෙන් කියයි.

අහඹු ලෙසකින් වල්ලා පට්ටා ගස් වලට ඇතුල් වී හටගන්නා අගරු රටේ ධන නිධානයක් සේ සැලකිය හැකිදැයි සැක සහිතය.

අගරු ඇති වල්ලා පට්ටා ගස් කැපීම නොව ජාතික අපරාධයක් වෙන්නේ නොදන්නාකම නිසා ඒවා නැති ගස් කිසිත් වගවිභාගයකින් තොරව කැපීමයි.

දැනුවත් වෙන්නට උවමනාවක් නොමැති ජනතාවක් තොරතුරු බෙදා ගන්නට නොදන්නාකමෙන් තමන්ව සහ අනුන්ව රවටා ගනිමින් මෙය ජාතික සම්පතක් යැයි නම්කර ඊට දැඩි හා සංකීර්ණ රෙගුලාසි ගෙනැවිත් වරප්‍රසාද නොලැබෙන අයට පමණක් තහනම් පනවන නීති පනත් සම්මත කරගනු ඇත.

එවිට ස්වභාවිකව ලංකාවට ලැබුණු තවත් දායාදයක් වූ කොතල හිඹුටු මෙන් උත්සාහයෙන් හා උවමනාවෙන් වැඩි වර්ධනය කරගෙන දීර්ඝ කාලීන ආදායමක් උපයා ගන්නට යම් හැකියාවක් තිබුනේ ද එය තමන් විසින්ම අහිමි කරගනු ඇත.

මිනිස් උත්සාහයෙන් මැදිහත් වී ස්වභාවිකව වැවෙන වල්ලා පට්ටා ශාකයෙන් අගරු හදාගැනීමට කටයුතු කිරීමෙන් ලෝක වෙළඳපොලේ අගරු ඉල්ලුම සපයන්නට ලංකාවට හැකි ආකාරයක් ගැන විමසීම කල් දැමීම නොයුතුයි. ඒ සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම් වෙනුවට වල්ලා පට්ටා ගස් හිමි ඉඩම් හිමියන්ව නීතියෙන් වරදකරුවන් කිරීම නවතාලීම සෑහේ. ඉන්දියාව හරහා හොරෙන් යවනවා වෙනුවට කෙළින්ම පැරීසියට විකුණන්නට ලංකාවේ අයට නොහැකි මන්ද?!!!!!

හල්දුම්මුල්ල ඔසු උයනේ ආචාර්ය පියල් මාරසිංහ මෙසේ පැහැදිලි කරයි:

වල්ලා පට්ටා ගස් තුරන් වී නොයන්නට නම්, එසේම ආර්ථික භෝගයක් ලෙස එය සාර්ථක වන්නටත් නම් එහි අයිතිය පුද්ගලික කළ යුතුයි. එනම්, එය කැමති අයට වගා කරන්නට සහ කැමති අයට විකුණන්නට වෙළඳපොල නිදහසක් ලබාදිය යුතුයි. රටේ ජනතාව ලොතරැයියෙන් ධනවත් වෙන තෙක් බලා නොසිට මුදල් ආයෝජනයෙන්, කාලය හා ශ්‍රමය වෙහෙසීමෙන් ධනවත් වන්නට හැකියාවට ඕනෑම අයෙකුට ඉඩකඩක් දීමට රටේ පාලකයන් කැමති කරවා ගත යුතුයි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. amalpasanna said, on ජනවාරි 30, 2014 at 7:55 පෙ.ව.

    ඒ කියන්නෙ අගරු = අගාර්වුඩ් (Agarwood) හැදෙන්නෙ වල්ලා පට්ටා ගස් වල විතරක් නෙවේ. Aquilaria සහ Gyrinops වර්ගවල ඕනම ගහක් මැද්දේ හැදෙන්න පුලුවන්. හැදෙන්න තියන ප්‍රවනතාවත් අඩුයි. මාධ්‍ය වල දාන විදියට හිතෙන්නෙ ඕන වල්ලා පට්ටා ගහක් කපල කුට්ටි කරල එහෙමම රට පටවනව කියලනෙ. මාධ්‍ය වල ඉන්න අයත් දන්නෙ නැතුවැති ‍එයාලගෙ ඊමේල් වලට මේ පොස්ට් එකේ ලින්ක් එක බැගින් යවන්න ඕන.

    • arunishapiro said, on පෙබරවාරි 1, 2014 at 8:36 පෙ.ව.

      amalpasanna,

      අද තොරතුරු බෙදා හරින මාධ්‍ය යනු හැමෝම නම දන්න පුවත්පත්, රේඩියෝ සහ රූපවාහිනි පමණක් නෙමෙයි. ඒ ඒ ගැතිවාදය අනුව වාර්තා කරන අය සිටිද්දී අද අපට ඇති විකල්ප මාර්ග වලින් මෙසේ අන්තර්ජාලයෙන් තොරතුරු බෙදා ගන්නට හැකිවීම ගැනත් සතුටු වෙන්නෙ ඕනෑ. තමන් පිළිගන්නේ කවුරු බෙදන තොරතුරු ද අනුව තමන්ගේ අනාගතය දියුණු වේවි!!

  2. Shiroshan Randika said, on ජනවාරි 31, 2014 at 2:46 පෙ.ව.

    මේ කියනකන් මට මේ ගැන අවබොධයක් තිබ්බේ නෑ. බොහොම ස්තූතියි. කාලීනව ඉතා වටිනා ලිපියක්.

  3. magenama said, on ජනවාරි 31, 2014 at 10:06 පෙ.ව.

    වල්ලා පට්ටා දැන් අන්න හිටවන්න අවසර දෙන්න යනවා කියලා ආරංචියක් යනවා.ඒත් මෙහෙම ගැටලුවකුත් තියෙනවා.දැන් හැදෙන හැම වල්ලපට්ටා ගහේම මේ ලා‍ටු විශේෂය හැදෙන එකක් නෑ.ඒ වගේම තව අවුරුදු 10-15කින් මේ ලා‍ටු වලට විකල්ප හොයාගන්න පුළුවන්.කොහොමනමුත් මේක ලංකාවේ කෘත්‍රිමව වෙළෙඳපොල පාලනය කරන්න ගිහින් අසාර්ථක වෙච්ච තව අවස්ථාවක් විදිහට දකින්න වෙන්නෙ.

    • arunishapiro said, on පෙබරවාරි 1, 2014 at 8:41 පෙ.ව.

      magenama,

      ඔව් පුස් හදන්න හැකි විශේෂ ක්‍රමය ඉගෙන ගෙන මිසක් වල්ලා පට්ටා ගස් වවලා පුස් හැදේවි කියලා බලාගෙන ඉන්න එක සාර්ථක ව්‍යාපාර ආරම්භයක් නෙමෙයි. ඒත් කොච්චර කෘතිම විකල්ප තිබුණත් ස්වභාවික දැයට මිනිසා දෙන වටිනාකම නම් කිසිදාක අඩුවෙලා නැහැ යන්නත් මෙවැනි උත්සාහයකට ආයෝජනයේ දී සැලකිල්ලට ගත යුත්තක්.

      //කොහොමනමුත් මේක ලංකාවේ කෘත්‍රිමව වෙළෙඳපොල පාලනය කරන්න ගිහින් අසාර්ථක වෙච්ච තව අවස්ථාවක් විදිහට දකින්න වෙන්නෙ.// ඔව්, මේ නිසා තමයි මේවා ඇහෙද්දී අඬන්න හිතෙන්නෙ!!!!!

  4. Lakmal Kandevidane said, on ජනවාරි 31, 2014 at 10:29 පෙ.ව.

    මේ මාධ්‍යකාරයෝ කියන්නේ හරියට නිකං පස් පංගුවම වැඩට ගන්ඩ පුළුවං වාගෙනේ , ඉතින් එල්ලෙන්ඩ වැලක් හොයහොයා ඉන්න මිනිස්සු ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගස් කපලා ගෙවල්වල ගොඩ ගහගන විකුණන්ඩ කෙනෙක් හොයනකොට පොලිසියට මාට්ටු වෙනවා , අන්තිමට ාසිය වෙච්ච කෙනෙක් නැ

    • arunishapiro said, on පෙබරවාරි 1, 2014 at 8:45 පෙ.ව.

      අටම් මල්ලි,

      මාධ්‍යකාරයන් තම රස්සාවල් නැතිවේවි කියලා ගැතිවාදී විදියට වාර්තා ලියන එක රජ කාලේ ඉඳලා එන හැදියාවක්. සමහර වාර්තා ඉහළින් එන අණ අනුව ලියැවෙන ඒවා. මැතිවරණ කාල වල දී ගැතිවාදය අනුව සමහර පත්තර වලින් රටේ සංවර්ධනය ඉහළ ගිහින් තියෙන හැටි ගැනත් තව සමහර පත්තර වලින් රටේ අපරාධ වැඩිවෙලා ගිහින් තියෙන හැටි ගැනත් කියවන්න පුළුවන්. කියවන මිනිසා තමයි ඒවා කියවද්දී ඒවායේ අරමුණු කුමක්දැයි විභාග කරන්න උත්සාහ ගත යුත්තා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: