අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාවේ තියා බ්‍රිතාන්‍යයේ ද නොතිබ්බ ධනවාදයකට බනින්නේ ඇයි?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2014

IMG_0017

අතීතයේ ලංකාවේ පැවති ආසියාතික නිෂ්පාදන රටාව යනු වැඩවසම් ආර්ථික ක්‍රමයයි. එදා ඉඩම් හිමි රදළයන් යනු උප්පතිය අනුව සමාජයේ වරප්‍රසාද හිමි වූ අයයි. ප්‍රවේණි දාසයන් යනු ඒ ඉඩම් හිමි රදළයන්ගේ භූමියේ නීති වලට නතුව උපතින් හිමි වූ වෘත්තීන් හි යෙදුනු අයයි. ඉතිරි කොට්ඨාශය අනිත් අයගේ කැමැත්ත පරිදි ජීවත්වෙන්නට සිද්ධ වූ සමාජයේ බැල මෙහෙවරකම් කළ අයයි. විදේශයන් හි පැවති වැඩවසම් ආර්ථික ක්‍රමයෙන් සැලකිය යුතු වෙනස්කම් එදා ලංකාව තුලින් දකින්නට නොමැත. ඉතින් “ලංකාවේ පැවති ආසියාතික වූ නිෂ්පාදන රටාවක්,” යැයි කියා අමුතු එකක් ද නොතිබුණි.

ආසියාතික නිෂ්පාදන රටාවක් ගැන කියා පටන් ගත් “අපේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1815 දී මුළු ලංකාවම තම ආධිපත්‍යයට ගෙන ධනවාදය හඳුන්වා දී තිබේ. මේ කියන මහා බ්‍රිතාන්‍යය එවක දී ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන ලද රටක් දැයි අපි විමසා බලමු.

රදළ ඉඩම් හිමියන් ආරක්ෂා කරගැනීමට (රටවැසියන් සාගතයෙන් මිය යද්දී පවා, ඒ ගැන සටහනක් ඊ ළඟට ලියන්නම්) විදේශීය ලාබ තිරිඟු ගෙන්වීමට එරෙහිව ඉහළ ආනයන තීරු බදු නීති හඳුන්වා දීම යනු තමන් උපයන වස්තුව තම කැමැත්ත අනුව පරිහරණයට ඉඩක් ලැබෙන ධනවාදී ආර්ථික ක්‍රමය නොවේ.

බ්‍රිතාන්‍යයේ ඉරිඟු නීති (Corn Laws) වල දී දකින්නට ලැබෙන්නේ උප්පතියෙන් ලැබෙන වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඉඩම් හිමියන් සහ කාර්මික විප්ලවයෙන් බිහි වූ අලුත් ධනවතුන් වූ නිෂ්පාදකයන් සහ කර්මාන්තකරුවන් අතර පැන නැඟුන දේශපාලන අර්බූදයකි. රදළ නියෝජනයෙන් යුතු ආණ්ඩුව මැදිහත්වීමෙන් රටේ මුළු මහත් ජනතාවගේ වැය, එනම් බඩු මිල ඉහළ ගිය අන්දමයි.

එදා බ්‍රිතාන්‍ය වැඩවසම් රදළයන්ට උවමනා වූයේ කෘෂිකර්මයෙන් තමන් ලැබූ ලාබ වැඩි කරගැනීමටයි. ඊට අවස්ථාව ඔවුන් පාදා ගත්තේ වෙළඳපොල නිදහස් තරඟය නොවේ. ඔවුන් පාර්ලිමේන්තුව ලවා තම ධාන්‍ය වලට ඉහළ මිලක් ලැබෙන නීති සම්මත කර ගත්හ. කම්මල් හිමියන් සහ නිෂ්පාදකයන්ට උවමනා වූයේ කම්හලේ වැඩකරන අයගේ පඩි ඉහළ නොදමා තම ලාබ වැඩි කරගැනීමටයි. රදළ නියෝජනයෙන් නීති පනත් ගෙනා පාර්ලිමේන්තුව හරස් වීම නිසා ඊට වෙළඳපොල තරඟයට අවස්ථාවක් ඔවුනට පාදා ගත නොලැබිණ.

ඉරිඟු නීති වලින් ඉහළ දැමූ ධාන්‍ය මිල අනුව වැඩ කරන ජනතාවට කුසගිනි නිවාගත නොහැකි නම් එවිට කම්හල් හිමියන්ට තම සේවකයන්ගේ පඩි ඉහළ දමන්නට සිද්ධ වේ. ඉතින් එක පැත්තකින් ධාන්‍ය මිල ඉහළ යද්දී අනෙක් පැත්තෙන් කම්හල් සේවකයන්ගේ පඩි ද ඉහළ දමන්නට සිද්ධ වුණි.

කොච්චර මුදල් අත ගැවසුනත් බඩු මිල දවසෙන් දවස ඉහළ යනවා යැයි කියන අද ලංකාවේ අය එය ධනවාදය නිසා යැයි වරදවා සිතති. බඩු මිල ඉහළ යන්නේ රජය විසින් ගෙනෙන වෙළඳපොලට මැදිහත්වන නීති පනත් හා රෙගුලාසි නිසා බව දකින්නට හැකියාව ඇති අය, මෙය පාලනයේ ඉන්නා අය තම පසුම්බි පුරවා ගන්නට ගෙන යන වානිජවාදයක් (mercantilism) මිසෙක ධනවාදයක් නොවන බව වටහා ගනිති.

එවක දේශපාලන අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ තෝමස් මැල්තස් විසින් සාධාරණ මිල කුමක්දැයි තීරණය කරන්නට වෙළඳපොලට වඩා තමන් දන්නවා යැයි සිතා ප්‍රතිපත්ති ගෙනාව ද, ඒ ප්‍රතිපත්ති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කළ ද, 1848 තෙක් බ්‍රිතාන්‍යයේ දේශීය ඉරිඟු වලට ඒ සාධාරණ යැයි කියූ මිලට ළං වෙන්නට හැකියාවක් නොලැබිණ.

අගනා පරමාර්ථ දක්වමින් පාරට්ටු බාන අය ඔවුන්ගේ ප්‍රතිපත්ති මහේශාක්‍ය යැයි කියා මිනිස් ස්වභාවය සහ ස්වභාව ධර්මයේ බලපෑම් නොසලකා හරිති. මිනිස් ස්වභාවය සහ ස්වභාව ධර්මය සැලකිල්ලට නොගෙන අගනා පරමාර්ථ ගැන පාරට්ටු බෑමට රැවටෙන සෙසු ජනතාව මේ වෙළඳපොල නම් වූ කිසිවෙකුටත් පාලනය කළ නොහැකි (මන්ද එය සෑම පාරිභෝගිකයෙක්ම විසින් සහභාගි වෙන එකක් නිසා) යාන්ත්‍රණය ධනවාදයේ ගුංඩුවක් යැයි ද, එය හසුරවන්නේ ධනය යහමින් ඇති අය විසින් යැයි ද සිතන්නට හුරු වී සිටිති.

වෙළඳපොල යනු සෑම පාරිභෝගිකයෙක්ම භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගැනීමෙන් හා නොගැනීමෙන් දක්වන ප්‍රතිචාරයන් වල එකතුවයි. ලෝකයේ සෑම පාරිභෝගිකයෙක්ම සහභාගී වෙන වෙළඳපොල හැසිරෙන ආකාරය ගැන එදා තෝමස් මැල්තස්ට අනාවැකි කියත හැකි නොවූවා සේ ඇමෙරිකන් ෆෙඩරල් බැංකුවේ බෙන් බෙනැන්කිට ද කිව නොහැකි විය.

එදා තෝමස් මැල්තස් අනාවැකි කියන්නට දන්නවා යැයි රැවටුන සුද්දන් අනතුරුව පාන් මිල ඉහළ ගිය විට පාරට බැස උද්ඝෝෂණ පැවැත්වූහ. ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් 1816 දී ගිම්හානයක් නොමැති වූ ස්වභාව ධර්මයේ බලපෑමකට ලක්වූහ. එහෙත් ස්වභාව ධර්මය නොව දරුණු තිරිඟු හිඟයක් ඇතිවීමට හේතුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මැදිහත්වීම් වල (ඊ ළඟ සටහනෙන් තව විස්තර) ප්‍රතිඵලය බව ඔවුන් පිළිනොගත්හ.

රටවැසියන් සාගතයෙන් මිය යද්දී සහ සංක්‍රමණිකයන් ලෙස නැව් නැඟ පිටරට යද්දී, වෙළඳපොල පරාජය කරන්නට නොහැකි බැව් වැටහෙද්දී, මහා බ්‍රිතාන්‍යය ඒ අහිතකර විදේශීය ධාන්‍ය ආනයන තීරු බදු පනත ඉල්ලා අස්කරගන්නේ 1846 දී ය.

“අපේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන අන්දමට යටත්විජිත සූරා කෑමේ ක්‍රමයක අතුරු ඵලයක් ලෙසින් ලැබෙන ධනවාදයක් නැත.

19 වැනි සියවසේ ඇමෙරිකාවේ දුප්පත් වුවත් ධනවාදී ආර්ථික ක්‍රමයක උපත ලබා තම ජීවිත කාලයේ දී ම මහා ධනකුවේරයන් ලෙසට කොරනේලියස් වැන්ඩබිල්ට්, ජේම්ස් ජේ. හිල්, ජෝන් ඩී. රොකෆෙලර් යනාදීන් ලැබූ ජයග්‍රහණයන් හා ආසන්නයකට හෝ එන්නට හැකියාව එවක ලොව වෙනත් දේශයක දකින්නට නොලැබුනේ වෙන කිසිම දේශයක ධනවාදී ආර්ථික ක්‍රමයක් නොතිබි නිසයි.

ආණ්ඩුව විසින් හටගෙන ඇතැයි හඳුනාගන්නට පෙර, ඒ නිසාම ඒවාට රෙගුලාසි පනවන්නට පෙර, නව ක්ෂේත්‍ර වලින් (නිදහස් වෙළඳපොලක් පවතින සීමාව තුල) මෑත කාලයේ දී ද බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් සහ මාක් සකර්බර්ග් වැනි ස්ව උත්සාහයෙන් ජීවිතය ජයගත් ධනකුවේරයන් බිහිවන්නේ ධනවාදය නිසයි.

වැඩවසම් ක්‍රමයෙන් යටත්විජිත ක්‍රමයටත් ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පාර්ලිමේන්තු ක්‍රමයෙන් වූ වානිජවාදයක් සහ මෑතක සිට එද්දලවාදයක් කරා පිවිස සිටින ලංකාව තුල නිදහස් වෙළඳපොල ධනවාදයක් කිසිදිනෙක ස්ථාපිත වූයේ නැත. එංගල්ස් සහ මාක්ස් ඇලවූ ධනවාදය නම් ව්‍යාජ ලේබලය මිසෙක නිදහස් වෙළඳපොල කුමක්දැයි කියා හෝ ධනවාදී ආර්ථික ක්‍රමය යනු කුමක්දැයි කියා නොවිමසන බහුතරයක් ලාංකිකයන් ලංකාවේ කිසිදා නොතිබ්බ ධනවාදයකට බනිමින් අගාධයට යන පාර තමන් විසින්ම කපා ගනිමින් සිටිති.

5 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on පෙබරවාරි 7, 2014 at 12:15 ප.ව.

    අපේ උන්ට වෙලා තියෙන්නේ ඔය එක වාදයක් වත් නොදන්න එක නෝනේ.. ඇත්තටම දැන් නම් ඔය එක වාදයක් වත් මෙහේ නෑ.. ආයෙත් වැඩවසම් යුගයක් තමයි උදා වෙලා තියෙන්නේ..

  2. Duminda Rathnayaka said, on පෙබරවාරි 8, 2014 at 12:20 පෙ.ව.

    ඇමෙරිකාවෙ ධනවාදය වණනවානම් මේකත් බලන්න. http://www.imdb.com/title/tt2215151/

    • arunishapiro said, on පෙබරවාරි 8, 2014 at 8:52 ප.ව.

      Duminda Rathnayaka,

      ඇල් ගෝර් නොබෙල් තෑග්ග අරගෙන කිව්වෙ විශේෂඥයන් සිය පර්යේෂණ වලින් පෙන්වන විදියට වසර හතකින් ධ්‍රැවීය අයිස් කුට්ටි දියවෙලා යාවි කියල. 2013 දී මෙන්න යුරෝපය තරම් විශාල ධ්‍රැවීය අයිස් කුට්ටි හැදිලා තියෙන්නෙ. නොබෙල් තෑග්ගක් ද ලැබිච්ච ඒ බොරු වාර්තාකරණ චිත්‍රපටියෙන් වැඩියෙන්ම පිරුනේ කාගේ පසුම්බිය දැයි කියා දන්නේ නැති අය, මේවා දැකලා තමන්ගෙ මතය තහවුරු වෙනවා කියලා සතුටින් සැනසෙද්දී හිස් වෙන්නේ තම පසුම්බියම බව නොදනිති.

      අපි මෙහෙ වෙළඳපොල ධනවතුන් යැයි කියන්නේ ලංකාව වැනි රටවල දී කැඩුවට හිරේ යන්නැති නීති වලින් ගැලවිලා වස්තු පොදි ගහන අයට කියලා වරද්දා ගන්න එපා!!!! ධනවාදී ආර්ථික ක්‍රමයක දී ව්‍යවසායකයාට වස්තු සම්පත් එකතු වෙන්නේ පාරිභෝගිකයන්ට කළින් ලබාගන්නට නොහැකි වූ භාණ්ඩ හා සේවා වැඩියෙන් සපයන්නට හැකි වීම නිසයි. ව්‍යවසායකයන්ට ධනවත් වන්නට අවස්ථාව ඇමෙරිකන් නීති වලින් අහිමි කරනවා නම් මෙහෙත් කඩ සාප්පු වල බඩු හිඟයන් දකින්නට ලැබේවි. ධනවස්තු සහ ආදායම් විෂම ලෙස බෙදී තිබෙන නිසාම බහුතර ජනතාවක් වැඩියෙන් හොඳින් ජීවිත ගෙවන බව දන්නෝ දනිති. නොදන්නා අය එහෙම නැතැයි කියන වාර්තා කියවා සිත් සතුටු කරගනිති. ධනවස්තු සහ ආදායම් අඩු ප්‍රතිශතයකින් විෂම ලෙස බෙදී යද්දී තමයි මහා ජනතාවක් කියුබාවේ, වෙනෙසියුලාවේ වගේ රටවල අගහිඟකම් වලින් දුක් විඳින්නෙ කියා නොදන්නා අය විෂම කුසලතා ඇති මිනිසුන්ගේ උත්සාහයන් වලින් උපයන ආදායම සාධාරණව සමස්ත මහජනතාව අතර බෙදන්නට දන්නා විද්වතුන් ඉන්නවා යැයි මුලාවක රැවටී සිටිති.

      මහා ධනවත් අයෙකුගේ ආදායමෙන් වැඩි හරියක් පරිභෝජනය වෙනවා කියා ද වැරදි වටහා ගැනීමකින් බහුතරයක් ඉන්නවා. උපයන්නෙ නැතිව සමාජය මංකොල්ලාකන දේශපාලන වංචාකරුවන් දිහා බලලා එහෙම හිතද්දී, වෙළඳපොල ව්‍යවසායකයා යනු තම ආදායමෙන් වැඩිපුර කොටසක් ඉතිරි කරමින් එය ආයෝජනය කරමින් අනුන්ට රස්සාවල් උත්පාදනය කරන අයෙක් බව දකින්නේ නැහැ. බිල් ගේට්ස්ගෙ වස්තුව ඔක්කොම අද සෑම පුරවැසියෙක්ටම බෙදලා දුන්නත් ලංකාවේ අය හෙට ආයේ දුප්පතුන් වෙන්නෙ කොහොම දැයි වටහා ගන්න දන්නෙ නැහැ!!!!

      කැමති නම් මේවත් කියවන්න, සමහර විට පර්ස් එක අන්තිමට සතේට බහින්න කළින්, නැත්නම් නූපන් දරුවන් ද ණයගැතියන් කරවන්නට කළින් බේරාගන්න පුළුවන් වෙයි.🙂

      දියුණුව රිසි හැම අයෙක්ම දැන සිටිය යුතු එකම උත්තරය
      ඇමෙරිකාවේ දුප්පතුන් vs යුරෝපීය ජනතාව

  3. ineshwickramaraja said, on පෙබරවාරි 12, 2014 at 11:23 ප.ව.

    නරක ද අනුර කුමර දිසානයකට විවාදයකට කත කලොත්!.:)🙂.ලන්කවෙ හොරා කන එවට කතා කරන එකම මිනිහ ඔය මනුස්සයා විතරක් හින්දා ,ප්‍රතිපත්ති ගැන තෙරුමක් නැති ගොඩක් අය නැවත එ පැත්තටම හැරිලා..මිනිස්සු කතාවට කියන්නෙ මිනිහා හෙන ගහනව වගේ ඇත්ත කියනව කියලා.අන්ඩුව ගැන කියන කතානම් ඇත්ත ඒත් එයාලගෙ ප්‍රතිපත්ති ගැන කවුරුත් කතාවක් නැ.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2014 at 7:29 පෙ.ව.

      ineshwickramaraja,

      මම හරි යැයි හිතන විදියට අනෙක් මිනිස්සු පාලනය කරන්නට හිත ඇති කෙනෙක් නෙමෙයිනෙ. මිල දී ගන්නවා නම් ගන්න නැත්නම් නොගෙන ඉන්න හැකි දේවල් වෙළඳපොලට දෙන අයෙක්නෙ!!!! ඉතින් අයෙක්, පක්ෂයක් හෝ සංවිධානයක් හා වාදයකට යනවාට වඩා හැකි ආකාරයෙන් හැකි තරම් ජනතාවක් දැනුවත් කරමින් ඒ ඒ කැමති අයගේ දියුණුව ඒ ඒ අයට සලසා ගත හැකි මාර්ගයන් පැහැදිලි කරන ගමන මට වඩා ගැලපෙනවා.

      රවටා ඇති ජනතාවක් නොදකින්නේ අනෙක් සියළු සමාජවාදී ආණ්ඩු වගේ ම, වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවත් ක්‍රියාත්මක කර ඇත්තේ මේ ජවිපෙ ප්‍රතිපත්තිම බවයි!!! ඇමතිවරු 25 කට අඩු කරන්නෙ මොකට ද රට පාලනයේ තෝන් ලණු දෙන්න, එක රජ පවුලක් ප්‍රමාණවත් ඔය ක්‍රමයෙන් බංකොළොත් බවට ඇදගෙන යන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: