සාගත හා සංක්‍රමණ වල ප්‍රභවය සමාජවාදයයි
19 වැනි සියවසේ බ්‍රිතාන්‍යය යටත්විජිතයක් වූ අයර්ලන්තයේ අර්තාපල් සාගතයක් විය. මිලියනයක් වැසියන් මිය ගියහ. මිලියන දෙකක අයර්ලන්ත වැසියන් නැව් නැඟ ඇමෙරිකන් නව ලෝකයට සංක්‍රමණය වූහ.
ටෝනි බ්ලෙයාර් අගමැතිව සිටිය 1997 දී, 19 වැනි සියවසේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව “කළ දේ මදි යැයි,” කියමින් හේ සමාව අයැදීය. එහෙත් ඔහු සමාව ඉල්ලා සිටිය යුතු වූයේ එදා ඉංග්‍රීසි ආණ්ඩුවේ මැදිහත්වීම් වැඩියෙන් සිද්ධ වීම ගැනයි.
ජනප්‍රිය මත වනාහී අයර්ලන්ත වැසියන් අර්තාපල් මත පමණක් යැපුන නිසා සාගතයට මුහුණ දුන්නා කියායි. එසේම අයර්ලන්තය නිදහස් වෙළඳපොල මූලධර්ම අත්හදා බැලූ පර්යේෂණ භූමියක් ද නොවුණි. සාගතයේ ප්‍රධාන හේතුව අර්තාපල් වගාවට රෝගයක් බෝවීමත් නෙමෙයි.
යටත්විජිතයක් කරගත් අයර්ලන්තයේ කෘෂිකාර්මික භූමිය පාලනයට තමන් දන්නවා යැයි කියා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නීති සම්මතයෙන් විසාල ඉඩම් කුට්ටි ඉංග්‍රීසින්ට පවරා දුන්හ. මේ ඉංග්‍රීසි ඉඩම් හිමියන් අයර්ලන්ත ගොවියන්ට තම ඉඩම් කළමනාකරණය බාර කළහ. ඒ අයර්ලන්ත ගොවි කළමනාකරුවන් කුඩා කොටස් වලට ඉඩම් බෙදා ඒ ඒ පළාතේ වැසියන්ට ඒවායේ ශ්‍රමය වෙහෙසන්නට සහ බෝග වගාවන්ට අවසර දුන්නේ අයිතිකරුවනට වැඩිම වාසියක් ලැබෙන ආකාරය එසේ බැවිනි.
නීතියක් ගෙනැවිත්, වරප්‍රසාද ලත් අය කවුදැයි තීරණය කර රටේ ඉඩම් ඔවුනට පවරන පිළිවෙතක් නිදහස් වෙළඳපොලක නැත. නිදහස් වෙළඳපොල යනු ගොවිතැනට දක්ෂයාට වගාබිම් මිල දී ගන්නට හැකියාව ලැබීමත් ඊට අදක්ෂයන්ට ඒවා අහිමි වීමත් ය. තම වැරදීම් වලින් පාඩු ද නිවැරදි තීරණ වලින් ලාබ ද උපයන, වගා උත්සාහයේ යෙදෙන ඒකීය ගොවියා වැරදි නිවැරදි කර නොගන්නේ ද ඔහු පාඩු පුද්ගලිකව අත්විඳ බංකොලොත් වී යයි. ලාබයක් උපයන ලෙසින් මූලධනය ආයෝජනයට දන්නා අයට තවත් වැඩියෙන් මූලධනය එකතු කරගත හැකියාව ලැබේ. ලාබයක් උපයන්නට දන්නා අය වාසය කරන ගමේ රටේ අනික් අයට ද වෙනත් වෘත්තීයන් රාශියක නිරත වන්නට අවස්ථාව ලැබේ.
ඉංග්‍රීසි ඉඩම් ප්‍රතිපත්තිය නිසා වගා ඉඩම් සඳහා අය කරන කුලී ඉහළ ගියේය. එන්න එන්නම ඉඩමේ ප්‍රමාණය කුඩා විය. යැපුම් ආර්ථිකයකට අයර්ලන්තය පිවිසීමෙන් ආර්ථිකයට බරක් පැටවුණි.
1801 දී බ්‍රිතාන්‍ය විසින් තම ධාන්‍ය ගොවියන් ආරක්ෂාවට පැනවූ තිරිඟු නීති අයර්ලන්තය වෙත ද පැනවූහ. මේ ආනයන තීරු බදු නීති නිසා දේශීය මිල ගණන් ඉඩම් හිමියන්ට වාසිදායක ලෙස ඉහළින් පවත්වා ගැනීමට හැකිවිය. වැඩිපුර ඵලදාවක් ලැබෙන කාලයේ වුවත් මිල ඉහළින් තබාගත හැකිවිය. මේ ආරක්ෂණවාදයෙන් පෝෂණය වූයේ අයර්ලන්ත වැසියන් නොව රටේවත් නොසිටි ඉංග්‍රීසි ඉඩම් හිමියන්ය.
කම්හල් සේවයට එංගලන්ත වැසියන් යද්දී ඔවුනට ආහාර පිණිස අයර්ලන්ත ධාන්‍ය එංගලන්තයට පටවද්දී, අයර්ලන්ත වැසියන් තම පරිභෝජනයට වගා කළේ පසේ සරුත්වයට හානි නොවන අර්තාපල්. ධාන්‍ය මිල ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඉහළ පැවතීම නිසා ඉඩම් වැඩියෙන් වගාබිම් බවට පත්කළ ද ඒවායේ ඵල නෙලා ගත්තේ දාසකම් කළ අයර්ලන්ත වැසියන් නොව ඉඩම් හිමි ඉංග්‍රීසින් විසිනි. ඒ වාතාවරණය යටතේ අර්තාපල් සාගතය හටගන්නට දශකයට පෙර අයර්ලන්ත ජනගහණ වර්ධනයේ වේගය අඩුවිණ. අයරිශ් ජාතිකයන් නව ලෝකය වූ ඇමෙරිකාව වෙත ඇදී එන්නට පටන් ගෙන තිබිණ.
‘අපේ දැක්ම’ ප්‍රකාශනයේ කියැවෙන පරිදි කෘෂි නිෂ්පාදනවල මිල උච්චාවචනය පාලනය කිරීම අරමුණු කරගත් “ජාතික වගා සැලැස්මක්” සාර්ථක වූ උදාහරණයක් 19 වැනි සියවසේ සිට අද දක්වා ලොව කුමන හෝ රටක ඇත්දැයි සොයා බලන්න. එහෙම එකක් සොයාගන්නට නැත්නම්, අසාර්ථක වූ උදාහරණ නොමඳව පෙන්විය හැකි මාර්ගයේම යන යල්පැන ගිය ප්‍රතිපත්තිය යළි ගෙනෙන්නෙ ජනතාව ආරක්ෂා කරන්නේ ආණ්ඩුව විසින් යැයි පතුරුවන මුලාව නිසයි.
මැදිහත්වීම් වලින් අයින් වී වෙළඳපොල නිදහස් කළ යුතු යැයි කියා දරීද්‍රතාවයට විසඳුමක් හැටියට රිචඩ් වට්ලි ගෙනාවේ පුද්ගලික වූ ආයෝජන හා සුබසාධන පිළිවෙතකි. එහෙත් පුද්ගලික අයිතියෙන් යුතු ධනවාදී ක්‍රමය කුමක්දැයි සොයන්නට ජනතාව උත්සුක වූයේ නැත. පාර්ලිමේන්තුවේ මැදිහත්වීමෙන් විසඳුමක් ලැබේවි යැයි ඔවුන් තරයේ විශ්වාස කළහ. එහි ප්‍රතිඵලය තවත් අහිතකර නීති සමුදායක් පාර්ලිමේන්තුවෙන් ගෙන ඒමයි. මේවා දුප්පත් නීති (Poor Laws) යනුවෙන් හැඳින්වෙයි.
වැඩකරන ජනතාවගේ යහපත උදෙසා වෙළඳපොලට දැඩි මැදිහත්වීම් අරඹනු ලැබිණ. බදු ඉහළ දමන ලදි. ආර්ථිකය නංවාලන්නට පාලම් ඉදිකරන, පාරවල් හදන මහජන කටයුතු වැඩසටහන් මහා පරිමානයෙන් පටන් ගැනිණ. සර් චාල්ස් ට්‍රෙවෙලින් විසින් තවත් සමාජවාදී ප්‍රතිපත්තියක් දියත් කළේය. ඔවුනට වෙළඳපොල වේතන වලට වඩා අඩුවෙන් වේතන නියම කරන ලදි. පාරවල් හදන්නට වැයවන කැලරි ප්‍රමාණය පියවා ගන්නට ප්‍රමාණවත් ආහාර ඒ පඩි වලින් මිල දී ගන්නට හැකියාව නොලැබිණ.
ආණ්ඩුව එවිට හෝ වෙළඳපොල පඩි ගෙවන්නට කැමති වූවා යැයි ඔබ සිතුවේ ද?!!!!! 😀
බ්‍රිතාන්‍ය ආණ්ඩුව 1847 දී සුප් කිචන් පටන් ගෙන පුද්ගලික සුබසාධන සේවා අනුකරණය කරමින් පෝෂ්‍යදායක ආහාර සපයන්නට පටන් ගති. එහෙත් තවත් බදු ඉහළ නොයවා එය දිගටම කරගෙන යන්නට නොහැකි බව, එනම් මුදල් හොයන්නේ නැතිව මුදල් බෙදන්නට බැරි බව වටහා ගැනීම නිසා ඒ වෑයම නැවතිණ.
චාල්ස් ඩිකන්ස් ලියූ පොත් මතක් වෙන්නේ කාට ද?!!!! 😀
දුප්පත් ජනතාව වැඩ කරන නිවාසයන්ට (workhouses) ගාල් කරන ලදි. රෝග පැතිර යාම නිසා ඔවුන් මිය යන්නට පටන් ගත්හ.
එහෙත් විසඳුම තවමත් තමන් අත යැයි සිතූ බ්‍රිතාන්‍ය ආණ්ඩුව 1847 ගිම්හානයේ දී බදු ඉහළ දැම්මහ.
එංගලන්ත වැසියන් ගලවා ගැනීම එසේ දුෂ්කර වෙද්දී දැනටමත් ඉඩම් කොල්ලා කාගත් අයර්ලන්තයේ වැසියන් ගැන කොතරම් තැකීමක් බ්‍රිතාන්‍ය සුද්දා විසින් කරන්නට ඇතැයි ඔබ සිතනවා ද?!!!!
ඇමෙරිකාවේ මැසචූසෙට්ස් ප්‍රාන්ත ජනතාව විසින් ධාන්‍ය නැවක් අයර්ලන්තයේ සාගතයෙන් පෙළෙන ජනතාව වෙත සහනාධාර හැටියට යවන ලදි. වෙළඳාමට බාධා වෙනවා යැයි කියමින් එය ඉංග්‍රීසි පාලකයන් ගබඩා කර තැබූහ. තවත් වාර්තාවක් කියන්නේ අයර්ලන්තයේ වැසියන්ට සහනාධාර හැටියට තුර්කියේ සුල්තාන්වරයෙක් පවුම් දහ දාහක් යවන්නට සැරසෙද්දී වික්ටෝරියා රැජිනට අවනම්බු කරන්නට එපා යැයි කියා (ඇය ආධාර ලෙසින් අයර්ලන්තයට දුන්නේ පවුම් දාහක් නිසා) එය පවුම් දාහකට අඩු කරන්නට යැයි ඉල්ලීමයි.
අයෙක් මෙය අයර්ලන්ත වැසියන්ට එරෙහි වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙස දක්වන්නට හැකියි. එහෙත් සත්‍යයෙන් සිද්ධ වූයේ වෙළඳපොල හසුරවන්නට තමන් දන්නවා යැයි සිතමින් ප්‍රතිපත්ති හැදූ පාලකයන් සහ ජනතාව වැරදි පෙනි පෙනී තව දුරටත් තව තවත් ආණ්ඩුව මැදිහත්වීමෙන් තත්වය යහපත් අතට හරවන්නට හැකියාව ඇතැයි විශ්වාස කිරීමයි.
අගාධයේ අගිස්සට ගිය ආණ්ඩුවට මැදිහත්වීම් වලින් අයින් වෙන්නට සිද්ධ වූ පසු, එනම් නීති පනත් අහෝසි කරද්දී, වෙළඳපොල විසින් වැරදි නිවැරදි කරන ලදි.
එහෙත් තවමත් වෙළඳපොල වැඩ කරන්නේ කෙසේදැයි ලොව බහුතර මහජනතාවට බෙදන “නිදහස් අධ්‍යාපනයෙන්” කියා දෙන්නේ නැත. ඉතින් වෙළඳපොලට මැදිහත්වීම් වැඩිවෙද්දී ආර්ථිකය අඩාල වීමත් ඒ මැදිහත්වීම් අඩුවෙද්දී ආර්ථිකයේ වර්ධනයත් ඔවුන් දැක්ක ද එය ඔවුනට නොවැටහේ.
‘අපේ දැක්ම’ ප්‍රකාශනයේ හැම පිටුවක්ම පිරෙන්නේ වෙළඳපොලට කරන මැදිහත්වීම් රැගත් ප්‍රතිපත්ති වලිනි. වෙළඳපොලට මැදිහත්වීම් කර ජයගත් රටක් රාජ්‍යයක් ලොවේ නැතිකල එයට ජවිපෙ පමණක් සමත් වේ යැයි සිතන්නේ මන්ද?!!!!
වෙළඳපොලට කෙරෙන මැදිහත්වීමේ ප්‍රථිපලය රඳා පවතින්නේ ඒ කරන බලපෑමේ ස්වභාවය මතයි.
උදාහරණ ලෙස ලංකාවේ අපනයන සැකසුම් කලාප මගින් අධික බදු සහනයක් ලබා දී ආයෝජන වලට මග සලසා දී තිබේ. ඒ ගිවිසුම් අනුව අපනයන සැකසුම් කලාප වල නිපදවන කිසිවක් අපේ රටේ පරිබෝජනයට නොගෙන අපනයනය කල යුතුය. මේ වැනි අපනයන සැකසුම ්කලාප තුලින් ලක් රජය අපේක්ෂා කලේ ආර්තික වාසියකි. එය සාර්ථක විය.
මැදිහත්වීම යන වචනාර්තයෙන් මැදිහත් වීම හොදද නරකද කියා දැක්විය නොහැකි අතර එහි ඇති සද්භාවය සහ නිර්මාණශිලිත්වය මත සාර්ථකබව නිරූපනය වෙයි. උදාහරණ ලෙස ලංකාවේ අමු එලවලු සහ පළතුරු වල පවතින්නේ අධික මිල පරතරයකි. අමු එලවලු පලතුරු ගොවියා දෙන මිලත් විකුනුම් මිලත් අතර හතර ගුණයකට ආසන්න මිල වෙනසක් ඇත.
මෙය පාලනය කිරීමට ලක් රජයට ගත හැකි එක් විසඳුමක් නම් රජය සතුව ඇති සතොස අලෙවි ජාලය ශක්තිමත් කොට අනෙක් සුපිරි වෙළඳ සැල්වලට අභියෝග වන ආකාරයට එලවලු සහ පළතුරු නිසි තත්ව පාලනයකින් සැපයීමයි. එසේ මහා පරිමාණව එලවලු සහ පළතුරු වෙළඳාම රජය මගින් හසුරුවන්නට ගත් විට එය වෙළඳපොලට රජය සෘජුව අතදැමීමකි. නමුත් දැනට රාජ්‍ය අංශය සතු ආයතන කිහිපයක් එකතු කොට තත්ව පාලනය, අපතේ යෑම අඩු කිරීම. සේවයට නියුක්තව නමුත් වැඩ නැතිව සිටින අය සතොසට යොමු කිරීම, නියම ශීතාගාර පහසුකම් දියුනු කිරීම, මනා පරිපාලන සේවාවක් ඇතිකිරීම ආදිය මගින් සතොස යන ආයතනය වඩාත් උසස් සහ අඩුමිල එලවලු පලතුරු ලබාදෙන තැනක් බවට පත් කල හැකිය.
එවිට අධික ලාබ ලබමින් පාරිබෝගිකයාට ජරාව ගිල්ලවන සුපිරි වෙළඳ සැල් යැයි නමට හදුන්වන ලංකාවෙ සුපිරි වෙළඳ සැ්ල වලට වඩා රජයේ සතොස ජනප්‍රිය වනු ඇත.
ලොව කුමන ආන්ඩු ක්‍රමය තිබුනද ආයතනය තිබුනද ලංකාවේ මෙන් දූෂිත වටපිටාවකදී කිසිවක් නියමිත ඉලක්ක වලට යන්නෙ ්නැත. ලංකාවේ ජනප්‍රිය නොවුනාට සත්‍ය වශයෙන්ම සමහර අංශ වල රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට වඩා ගව් ගනනක් ඉදිරියෙන් සිටී. ඒවා ඵලදායීව ආර්ථිකයටත් සමාජයටත් වැඩදායක ලෙස ක්‍රියාත්මක වේ. නමුත් වර්තමාන මාධ්‍ය තුලින් ආකර්ශනීය දැන්වීම් දැමීමට ඔවුන්ට මුදල් නැති නිසා ඒ ආයතන ඇති බවක් වත් සමහර ආර්ථික පන්ඩිතයින් දන්නේ නැත.
amilac2014,
ඇයි අධික බදු සහන වලින් ආර්ථික වාසි ලැබෙනවා නම් සම්පූර්ණයෙන්ම බදු නැතිකළා නම් ඊටත් වඩා රටට ආර්ථික වාසි ලැබෙනවානෙ!!!!
ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිද්ධ වෙන ඇඟළුම් ගිවිසුම් නිසා නොලැබී ගිය ආර්ථික වාසි ගැන නොපෙනෙන දේ දකින්නට නොහැකි අය නොදකිති!!!!!!
විකුණුම් මිල වැඩි නම් ගොවියා ළඟට ගිහින් ඊට වඩා ලාබෙට අරගන්නෙ නැත්තෙ ඇයි?!!!!
දැන් ඉන්න පාරිභෝගිකයන්ට පිස්සු වෙන්නැති අර ඒ කාලේ ගුල්ලො පිරිච්ච පාන් ගෙඩියක් පෝලිමේ තැපලා ගන්න පුළුවන් වෙච්ච සමූපකාර අයින් කරලා මේ ජරාව ගිල්ලවන මේ සුපිරි වෙළඳසැල් වලට යන්න පටන් ගත්තෙ!!!!!
ආශ්චර්යයකි, දැන්වීමක් දාගන්න මුදල් නැති රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට වඩා ගව් ගණනක් ඉදිරියෙන්!!!!!!!
විකුණුම් මිල වැඩි නම් ගොවියා ළඟට ගිහින් ඊට වඩා ලාබෙට අරගන්නෙ නැත්තෙ ඇයි?!!!!
ඔබ කතාකරන්නෙ නුගේගොඩ ඉන්න පාරිබෝගිකයා කහටගස්දිගිලියට ගිහිල්ල වට්ටක්ක කඩාගෙන එයින් වට්ටක්ක දෙසීය පනහක් කිරාගන්න ඕන කියලද? මාර ප්‍රාෙයා්ගිකයි ආහ්..
මේ සුපිරි වෙළඳසැල් වලට යන්න පටන් ගත්තෙ ළගක ඉදලා ..සුපිරි වෙළඳ සැල් සුපිරියි කියන මායාව ගිල්ලවන්නෙ දැන්වීම් වලින්. විවිධාකාර දැන්වීම් හරහා නැති අවශ්‍යතාවයක් පාරිබෝගිකයින්ට හදනවා. නුගේගොඩ පොලෙන් ගන්න පුලුවන් වට්ටක්ක කෑල්ල මාස ගන්න ඊඨ වඩා සවුත්තු තත්වයකින් මිනිස්සු ෆුඩ් සිටි වලින් ගන්නවා. ලෝකෙම මිනිස්සු දියර කිරි බොද්දි ලංකාවෙ මිනිස්සු පිටිකිරි බොනවා. ඒ ඇයි? පිටිකිරි වල අර දියර කිරිවල නැති අමුතු රසක් ගුනයක් තිබෙන නිසාද? නැහැ පිටිකිර වඩාත් හිතකරය් කියලා උදේ හවා මාධ්‍ය වලින් මිනිස්සුන්ගේ මනසට ඉන්ජෙක්ෂන් කරන නිසා.
ඔබ ඔය කියන මැතිනිගෙ කාලෙට පස්සෙ එක යුගයක් තිබුනා සතොස කාර්යක්ෂමව වැඩකරපු. ඒ කාලෙ සතොසෙ මිනිස්සු පෝලිමෙ හිටියා කඩවල් වල බඩු තොග ගනන් වේලෙද්දි..මොකද මිනිස්සුන්ට නිසි තත්වයට සහ අඩු මිලට බඩු ලැබෙන නිසා..
දැන්වීම් වලට යන මුදල් ගැන කතාකලොත් ලංකාවෙ විද්‍යුත් මාධ්‍යයක ප්‍රවෘත්ති අතර යන එක් දැන්වීමට වැයවන මුදල රුපියල් ලක්ෂයකට ආසන්න වෙනවා..ඔය වගේ ලොකු ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකකට වැයවන මුදල ඉතාම විශාලයි. ආයිත් අපි ඒ මුදල අර මිනිස්සුන්ගෙන්ම අයකරගන්න සිද්ද වෙනවා. අවසානෙ පිරිසක් මිල දරාගන්න බැරුව අත්‍යාවශ්‍ය බඩු ප්‍රතික්ෂේප කරලා විකල්ප වලට යන අතර සමාගම් වල තියෙන දැඩි තරඟය නිසා තවත් ඇඩ්වර්ටයිසින් කොස්ට් එකක් ඒ අත්‍යාවශ්‍ය බඩු වලට එකතු වෙනවා.
amilac2014,
කහටගස්දිගිලියෙ වට්ටක්කා නුගේගොඩ සතොසට එන්නෙ කොහොම ද? ඒ වැය එකතු වුනේ කොහාට ද? ඒ වැය පියවා ගන්නේ කාගෙන් ද? සතොස ක්‍රමයේ ගණන් හිලව් දැනගන්නට පාරිභෝගිකයාට කිසිදා නොලැබෙද්දීත් ඒ ක්‍රමය ගොවියාට වඩා හතර ගුණයකට වැඩියෙන් විකුණන අතරමැදියාට වඩා ප්‍රායෝගික වූවක් යැයි සිතන අය ඉන්න නිසා හැමදාම ඉහළ යන මිලකටත් සහ හැමදාම බඩු හිඟයටත් මුහුණ දෙන්නට සිදුවන වෙළඳපොලක ජීවත් වෙන්නට ද සිද්ධ වේ.
දැන්වීම් මඟින් සුපිරියි කියලා බඩුවක් ගන්න පාරිභෝගිකයාව රවටන්න පුළුවන් නම් භාණ්ඩ නිෂ්පාදනයක් අවශ්‍ය නැහැනේ. හිස් පෙට්ටි වුනත් විකුණන්න පුළුවන් ලස්සන දැන්වීම් වලින්.
//ලෝකෙම මිනිස්සු දියර කිරි බොද්දි ලංකාවෙ මිනිස්සු පිටිකිරි බොනවා.// දේශපාලන බලලෝභය නිසා පතුරුවන ගැතිවාදී ප්‍රකාශ සත්‍යය ලෙස පිළිගන්නා බහුතරය මෙහෙම මුලාවන් වල රැවටී සිටීමෙන් ලබන සතුට කියා නිම කළ නොහැකි බව පේනවා!!!!!!!
//සතොසෙ මිනිස්සු පෝලිමෙ හිටියා කඩවල් වල බඩු තොග ගනන් වේලෙද්දි// වෙළඳාම නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ කැමැත්තෙන් නොව නීතියක් දමා කරන ලද බලහත්කාරමෙන් සිද්ධ වෙච්ච මැතිනියගේ ලංකාවේ මාත් ජීවත් වුනා. නිෂ්පාදනය සඳහා අද වගේම එදත් කිසිවක් නිෂ්පාදනය නොකරන අයගෙන් පර්මිට් ගන්න සිද්ධ වුනා. අද වගේම එදත් භාණ්ඩ එක්ක ගණුදෙනු කරන අය අතර නොව මුදල් හුවමාරුව වැඩියෙන් සිද්ධ වෙන්නෙ අයථා සම්බන්ධතා ගණුදෙනු පැවැත්වෙන අය අතර. අද වගේම එදත් රටේ විකුණන්න තහනම් අනගි බඩු වරප්‍රසාද ලත් පංතියකට පමණක් ලැබුණ. හැබැයි ඒ සතොසෙන් නම් නෙමෙයි!!!!
සමාගම් අතර වෙළඳපොල දැඩි තරඟයක් ඇති හැම රටකම පාහේ අත්‍යාවශ්‍ය බඩු මිල අඩු වී අත්‍යාවශ්‍ය බඩු හිඟයක් නැතිව වෙළඳපොලේ තිබෙන බව දකින්න පුළුවන්. ඒත් සමාගම් අතර වෙළඳපොල තරඟය වෙනුවට ආණ්ඩුවක් නීතියෙන් කරන මැදිහත්වීම් වැඩි නම් එවිට සිද්ධ වෙන්නේ භාණ්ඩ නිෂ්පාදනය, අලෙවිය, පරිභෝජනය කරන අය අතර මුදල් ගණුදෙනු නොවේ. වාසි සඳහා රාජ්‍ය මැදිහත්වීම් ගැන ගණුදෙනු කරන අය වැඩි වීම සිද්ධ වෙන්නේ එතකොට. මැදිහත්වීමේ නීති වලින් ආරක්ෂා කරන්නේ පාරිභෝගිකයන්ව හෝ නිෂ්පාදකයන්ව නොව සල්ලි මංකොල්ලන රාජ්‍ය මැදිහත්වීම් ගණුදෙනු කරන අයවයි. ලෝක ඉතිහාසය පුරා සෑම රටකම පාහේ බඩු මිල වැඩිවීම සහ බඩු හිඟය ඇතිවීම සිද්ධ වූයේ ද හා ඒවා අනාගතයේ සිද්ධ වෙන්නේ ද එහෙමයි. නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් රටේ දූෂණය වැඩිවෙලා යැයි කෑ ගසමින් ආණ්ඩුවේ මැදිහත්වීම් තවත් වැඩි කරන්න යැයි ඉල්ලා සිටිනවා වෙනුවට කළ යුත්තේ ආණ්ඩුවට මැදිහත්වීම් වලින් අයින් වෙන්න කියා ඉල්ලීමයි.