අරුණි ශපීරෝ‍ වෙතින්

ආණ්ඩුව, 1849 -ෆ්‍රෙඩ්රික් බැස්ටියාට්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 12, 2014

Bastiat

“ආණ්ඩුව” යන වචනය සඳහා බුද්ධිමත්, සරල, යහපත් නිර්වචනයක් වෙනුවෙන් කවුරු හරි තෑග්ගක් ඉදිරිපත් කරාවි යැයි මගේ පැතුමයි.
 
එය සමාජයට ඉටුකරන කොතරම් දැවැන්ත සේවයක් වේවි ද!
 
ආණ්ඩුව! ඒ මොකක් ද? ඒක කොහෙද තියෙන්නෙ? ඒක මොකද කරන්නෙ? ඒක කුමක් කළ යුතු ද? අපි හැමෝම දන්නෙ ඒක ගුප්ත චරිතයක් කියල. ලෝකෙ වෙන කිසිම චරිතයකට වඩා මිනිසා වැඩියෙන්ම ඉල්ලා සිටින්නක්. ඒ නිසාම වැඩියෙන්ම පීඩාවන්ට පත්වෙන, වැඩියෙන්ම උහුලා දරාගන්නට බැරිවෙන, වැඩියෙන්ම අගයන, වැඩියෙන්ම බැනුම් අහන, වැඩියෙන්ම ඒ නාමයෙන් ඉල්ලන, වැඩියෙන්ම තමන්ව කුපිත කරවන්නක් තමයි මේ ආණ්ඩුව නම් චරිතය.
 
මට මගේ පාඨකයා කවුදැයි දැනගන්නට හැකියාවක් නැහැ. ඒත් මම එකට දහයක ඔට්ටුවක් අල්ලන්නම් පහුගිය මාස හයේ දී ඔහු උතෝපියාවන් හදමින් සිටිය බවට. එහි දී ඔහු ඒ උතෝපියාවන් සාක්ෂාත් කරගන්නට ආණ්ඩුවේ සහාය බලාපොරොත්තු වූ බවට.
 
මෙය කියවන්නේ කාන්තාවක් නම්: මනුෂ්‍ය සංහතියේ සියළු දුෂ්ටත්වයන් වලින් හටගන්නා දුක සමනයට ඇය අවංකව කැමැති වෙන බවට මට කිසිම සැකයක් නැහැ. ආණ්ඩුව ඒ වැඩේ බාරගත්තොත් ඒක පහසුවෙන් කරත හැකි වූවක් යැයි ද ඇය සිතන්නට පුළුවන්.
 
එහෙත්, ඛේදයකි! මේ දුප්පත් අවාසනාවන්ත චරිතය දන්නෙ නැහැ කාට සවන් දිය යුතු ද කියා, කොයි පැත්තට ගමන් කළ යුතු ද කියා. මාධ්‍යයේ ලක්ෂ ගණනක් කටහඬවල් වලින් ඒ වේදිකාව තුලින් ඔවුන් එකවර හඬනඟනවා –
“කම්කරුවන් හා ශ්‍රමිකයන් සංවිධානය කරන්න.”
“මූලධනයෙන් කරන ප්‍රජා පීඩනය සහ උද්ධච්චකම් යටපත් කරන්න.”
“පොහොර සහ බිත්තර ගැන පර්යේෂණ කරන්න.”
“රටපුරා රේල් පාරවල් හදන්න.”
“තැනිතලා වලට වතුර මාර්ග හදන්න.”
“කඳුකරයේ වගා කරන්න.”
“ආකෘති ගොවිපොළවල් හදන්න.”
“සමාජ වැඩමුළු පිහිටුවන්න.”
“දරුවන් ඇතිදැඩි කරන්න.”
“තරුණයන්ට පුහුණුව දෙන්න.”
“මහළු අයට සහාය දෙන්න.”
“නගරයේ වැසියන් ගම් පළාත් වලට යවන්න.”
“සියළු කර්මාන්ත වල ලාබ සම කරන්න.”
“ණය ගන්න කැමති සියල්ලන්ටම පොලියක් නැතිව ණය දෙන්න.”
“සෑම තැනකම ඉන්නා පීඩිත ජනතාවට විමුක්තිය ගෙන දෙන්න.”
“පරිපූර්ණ අශ්වයන් ඇතිදැඩි කරන්න.”
“කලාවට දිරියක් දෙන්න, සංගීතඥයන්, චිත්‍රශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ලබාදෙන්න.”
“වානිජ්‍යයට සීමා පනවන්න, එය කරමින් වෙළඳ නාවුක හමුදාවක් නිර්මාණය කරන්න.”
“සත්‍යය සොයාගන්න අපේ ඔළු වලට විචාරය ඇතුල් කරන්න. ආණ්ඩුවේ මෙහෙය වනාහී ජනතාවගේ සිත් සතන් තුලට ආලෝකය ගෙනැවිත් වර්ධනය කර, පතුරුවා හැර, ශක්තිමත් කර, ධාර්මික කර පාපයෙන් පිරිසිදු කරලීමයි.”
 
“පොඩ්ඩක් ඉවසන්න මහත්වරුනි,” යැයි ආණ්ඩුව ආයාචනා ස්වරයකින් ඉල්ලා සිටියි. “මම මට හැකි ආකාරයෙන් ඔබ තෘප්තිමත් කරන්නම්, ඒත් ඒ ඔක්කොම කරන්නට මට තවත් සම්පත් අවශ්‍යයයි. මම මේ සඳහා වසර පහක් හයක් පුරා සැලසුම් හදමින් සිටින්නෙමි. ඒවා ඉතා අලුත්. ඒවා කිසිම ලෙසකින් පීඩනයක් ඇති කරන ඒවා නෙමෙයි. ඔන්න බලන්න මිනිස්සු ඉතා කැමැත්තෙන් ඒවාට ගෙවන හැටි.”
 
අනතුරුව ඇහෙන්නේ මහා හඬින් කෑ ගැසීමයි:- “එපා! සත්‍යයෙන්ම! සම්පත් භාවිතයෙන් ලැබෙන කුසලතාවය කුමක් ද? ඇයි ඒකට ආණ්ඩුව යන නාමය සුදුසු නොවන්නේ!”
 
අප වෙත නව බදු පැනවීම වෙනුවට අපි කළ යුතුව තිබුනේ ඔබ ලවා පරණ බදු අහක් කිරීමයි. ඔබ යටපත් කළ යුතුයි-
“දුම්කොළ බද්ද.”
“මත්පැන් බද්ද.”
“ලියුම් බද්ද.”
“රේගු තීරු බදු.”
“ස්වාධිකාරයන්.”
 
මේ ගාලගෝට්ටිය අස්සේ, තම ඉල්ලීම් සාක්ෂාත් කළේ නැති නිසා, දැන් රට නැවත නැවතත් පරිපාලනයේ ඉන්නා අයව වෙනස් කරගනිද්දී, මට ඕනෑ ඒ ඉල්ලීම් පරස්පරවිරෝධී බව පෙන්වන්නට. නමුත් මම කුමක් ගැන ද හිතුවේ? මේ ඛේදනීය නිරීක්ෂණය මට පමණක් සීමා කර තබා ගත හැකිද!
 
මට මගේ චරිතය සදහටම නැති වී ගොසිනි! මා දිහා බලන්නේ හදවතක් නැති හැඟීම් නැති මිනිසෙක් දිහා බලනා ලෙසිනි. හරියට නීරස දාර්ශනිකයෙක්, ඒකීය පුද්ගලවාදියෙක්, පොදු ජනතා වාදියෙක් එහෙම නැත්නම් තවත් විදියකින් කිව්වොත් පරණ පාසැලේ අර්ථ ශාස්ත්‍රඥයෙක් දිහා බලනා විදියටයි. එහෙත් මට සමාවෙන්න, කිසිවක් වෙනුවෙන් නතර නොවන, පරස්පරවිරෝධී බව හමුවේ පවා නතර නොවන අති උදාර රචකයෙනි. මම වැරදියි, කිසිම සැකයක් නැතිව, ඒත් මම කැමැත්තෙන්ම කිව්ව දේවල් ඉල්ලා අස්කරගන්නම්. ඉල්ලන සියළු කටවල් වලට පාන් දමන්නට හැකි, සියළු ශ්‍රමිකයන්ට රස්සාවල්, සියළු ව්‍යවසායයන්ට මූලධනය, සියළු ව්‍යාපෘති සඳහා ණය, සියළු තුවාල වලට බෙහෙත්, සියළු දුකට සහනය, සියළු චිත්ත වික්ෂේපයන්ට උපදෙස්, සියළු සැක දුරු කරත හැකි විසඳුම්, සියළු විද්වතුන්ට සත්‍ය දැනුම, වෙනස් දේවල් හොයන අයට ඒවා, දරුවන්ට කිරි, මහළු අයට වයින් යනාදී වශයෙන් අපට උවමනා සියල්ල සපයන, අපේ කුතුහලයන් සියල්ල තෘප්තිමත් කරන, අපේ වැරදි සියල්ල නිවැරදි කරන, අපේ දෝෂ සියල්ල හදන, අපට දූරදර්ශී බවක, නුවණක්කාර බවක, විනිශ්චය කරන්නට, විචක්ෂණභාවයට, අත්දැකීම්, ක්‍රමානුකූල බවට, සකසුරුවමට, මැදපිළිවෙතට, සහ ක්‍රියාවක් කරන්නට අවශ්‍යතාවය නැති කරන, භාවිතයෙන් අවසන් කළ නොහැකි, යහපත සලසන සත්වයෙක්, ආණ්ඩුව යැයි නම් කරන්නට, ඔබ සත්‍යයෙන් සොයා ගෙන ඇත්නම් මම සතුටට පත්විය යුතුයි.
 
එවැනි සොයාගැනීමක් ගැන මම අකමැති විය යුත්තේ මන්ද? ඒ ගැන තව කල්පනා කර බලද්දී, අපි සියල්ලන් තුල, අපිට ලබාගත හැකි වූ ළඟ පාතක, භාවිතා කර අවසන් නොවන ධනයක් හා දැනුමක්, -විශ්ව වෛද්‍යවරයෙක්, අසීමිත වස්තුවක්, වැරදීම් සිද්ධ නොවන උපදේශකයෙක්, ඔබ ආණ්ඩුව යැයි හඳුන්වන චරිතය ඇත්නම් ඊට වඩා පහසු වෙනත් දෙයක් නැත. ඒ නිසයි මම මෙසේ පැහැදිලි කර නිර්වචනය කර පෙන්වන්නේ මේ ෆීනික්ස්ව මුලින්ම හොයා ගන්නා අයට තෑග්ගක් දිය යුතුයි කියා. මොකද මෙතෙක් මේ සොයාගැනීම සිද්ධ කර ඇතැයි කිසිවෙක් කියන්නේ නැහැ. ආණ්ඩුව යන නාමයෙන් මෙතෙක් කාලයක් පිරිනමන ලද සියල්ල යම් අවස්ථාවක දී මිනිසුන් විසින් ප්‍රතික්ෂේපයට පත්වුනා.  ආණ්ඩුව යන වැඩසටහනේ පරස්පරවිරෝධී වූ කොන්දේසි සපුරාලන්නට නොහැකියාව තමයි එහි ප්‍රධාන හේතුව.
 
මේ ආකාරයෙන් බලද්දී අපි මිනිස් මොළයේ අරක් ගෙන ඉන්නා අභූත මායාවකින් මුලාවෙලා ඉන්නවා යැයි මම කියන්නම්.
 
කරදර හමුවේ මිනිසා පසුබසියි. ඔහු දුකට කැමති නැත. එහෙත් ශ්‍රමය වෙහෙසන්නේ නැත්නම්, හිඟය යනු ස්වභාවයෙන්ම ඔහුට හිමිවූවකි. අකමැති දෙකක් ඉදිරියේ එවිට ඔහුගේ තෝරාගැනීම පවතී. දෙකෙන්ම ගැලවෙන්නට ඔහු කුමන මාර්ගයක් ගන්නේ ද? දැනට පවතින, හැමදා පවතින, එකම එක මාර්ගය නම්, එවිට අනුන්ගේ ශ්‍රමයෙන් තුටු වීමයි. එවැනි මාර්ගයක නියැළීමෙන් එක කොට්ඨාශයකට කරදරයෙන් ගැලවී තවත් කොට්ඨාශයක් වෙත සියළු කරදර පටවා තම සියළු උවමනාවන් සපුරාගත හැකියි. මෙය වහල් ක්‍රමයේ ප්‍රභවයට හේතු විය. මෙය මංකොල්ලයේ ප්‍රභවයට හේතු විය. යුද්ධ, බලහත්කාරකම්, ප්‍රචණ්ඩත්වය, සීමාබාධක, වංචාවන් යනාදී අති දුෂ්ට සාපරාධයන් සියල්ලටම උප්පත්තියක් ලැබුනේ එම චින්තනයෙනි. පීඩනය හෙළා දැකිය යුතුයි සහ එයට විරුද්ධ විය යුතුයි යන්න අභූතයක් යැයි කියත නොහැකියි. 
 
වහල් ක්‍රමය අතුරුදහන් වී යයි, ස්තූති වේවා! ඒත් අනිත් අතට, අපේ දේපල (මිනිසාගේ මොළය සහ කායික ශක්තිය) ආරක්ෂා කරගන්නට සහ ඍජු සහ විවෘතව කරන මංකොල්ලයෙන් ගැලවෙන්නට හැකියාව පහසු නොවූවකි.
 
කෙසේ නමුත් එකක් ඉතිරි වී ඇත. එනම්, ජීවිතය ගැන මිනිසාට ඇති මූලික නැඹුරුවයි. එය සියළු මිනිසුන් තුල පිහිටන්නයි. කරදර අනුන් පිට පටවා තෘප්තිය තමන්ට තබා ගැනීම යනු එම කැමැත්තයි. මෙම හැදියාව අළුත් මුහුණුවරකින් සිද්ධ වන්නේ කෙසේදැයි ඔහුට පෙන්වා දිය යුතුයි.
 
පීඩකයා තව දුරටත් කෙළින්ම කරන ක්‍රියාවකින් ඔහුගේ බලය ඔහුගේ ගොදුර වෙත එල්ල නොකරයි. නැහැ, දැන් අපේ හෘදය සාක්ෂිය ඊට වඩා බොහෝ සංවේදී ලෙසින් කටයුතු කරන්නකි. පීඩකයා සහ පීඩිතයා තවමත් සිටිති. එහෙත් දැන් ඔවුන් දෙදෙනා මැද්දට තවත් අයෙක් රිංගා ඇත. ඒ ආණ්ඩුවයි. නැතහොත් නීතියයි. වරදක් කරනවා යැයි රිදවන සිත නිහඬ කරන්නට ඊට වඩා සමත් වූවක් වෙන කොහෙද? එය වැඩියෙන් ප්‍රසාදයට ලක් වෙන්නයි. එය සියළු විරෝධතා ජයගන්නයි. ඉතින් ඒ නිසා අපි සියල්ලන්ම අපේ අයිතිය කියමින්, ඒ හෝ මේ ව්‍යාජ හේතුව දක්වමින් ආණ්ඩුවට යෝජනා ගෙනෙමු. අපි ආණ්ඩුවට කියන්නේ මෙයයි: “මගේ ශ්‍රමය සහ මගේ විනෝදය අතර පවතින සමානුපාතය ගැන මම තෘප්තිමත් නැහැ. මම කැමති සමතුලතාව සාධනය කර ගැනීම සඳහා. ඒ නිසා මම කැමතියි අනුන්ගේ දේවල් වලින් කොටසක් ගන්න. ඒත් මේක අවදානම් වැඩක්.  ඔබට බැරි ද ඒ සඳහා මට සහායක් දෙන්න? ඔබට බැරි ද මට හොඳ තැනක් සොයා දෙන්න? මගේ කර්මාන්තයේ තරඟකාරයන් ගැන සොයා බලන්න? නැත්නම් සමහර විට ඒක අයිතිකාරයාගෙන් අරගෙන මට තෑගි වශයෙන් මූලධනයක් දෙන්න බැරි ද? මහජන වැයෙන් මගේ දරුවන් ඇති දැඩි කරදෙන්න බැරි ද? මට තෑගි පිරිනමන්න බැරි ද?  වයසට ගිය පසුත් මට ජීවත්වෙන්න හැකියාවක් ලබා දෙන්න? ඉතින් මේ මාර්ගයෙන් මට පුළුවන් හෘදය සාක්ෂියට කිසිත් සිත් තැවුලක් සිද්ධ නොවී මගේ අන්තය කරා යන්න. මොකද ඒ නීති මා වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ඒවායි. එහි අවදානම් හෝ අපකීර්තිය නොලබා මට එවිට පුළුවන් කොල්ලකෑමේ වාසි සියල්ල භුක්ති විඳින්න!”
 
එක පැත්තකින් මෙසේ අපි සෑම අයෙක්ම මේ හා සමාන වූ යෝජනාවක් ආණ්ඩුවට කරනවා යැයි නිශ්චිත අතර, අනෙක් පැත්තෙන් ආණ්ඩුවට එක අයෙකු තෘප්තිමත් කරන්නට අනෙක් අයගේ ශ්‍රමය යොදා නොගත්තොත් කරන්නට නොහැකි බව ද නිශ්චිතයකි. ආණ්ඩුව යන්නට වෙනත් නිර්වචනයක් ලැබෙන තෙක්, මට මේ මගේ නිර්වචනය ඊට යෙදීමට අවසරයක් ඇතැයි සිතේ. කවුද දන්නෙ මේකට තෑග්ගක් ලැබේවි ද කියලා.

එහෙනම් මෙන්න මගේ නිර්වචනය:
 
“සෑම පුද්ගලයෙක්ම අනික් අයගේ වෙහෙසෙන් ජීවත් වන්නට දරන උත්සාහය දක්වන මහා ප්‍රබන්ධය නම් ආණ්ඩුවයි.”
 
එදා වගේ අදත්, හැමෝම, අඩු වැඩි වශයෙන්, අනුන්ගේ ශ්‍රමයෙන් ලාබ වාසි ලබන්නට කැමතියි. ඒත් එවැනි හැඟීමක් ප්‍රකාශ කරන්නට කිසිවෙක් නොබියව ඉදිරිපත් වෙන්නේ නැහැ. එය තමන්ගෙන්ම වසන් කරන අය ඉන්නවා. එතකොට කුමක් සිද්ධ වේ ද? එය කරන්නට හැකි මාධ්‍යයක් ගැන සිතනවා. ආණ්ඩුව යනු එයැයි සලකා සියළු පංති විසින් එය හමුවට පැමිණ, “ඔබට, යුක්ති සහගත සහ අවංක ලෙසින් ගන්න පුළුවන් නිසා, මහජනතාව වෙතින් ගන්න, අපිත් ඒකට හවුල් වෙන්නම්,” කියති. අහෝ ඛේදයකි! මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් වෙතින් හැදෙන ආණ්ඩුව යනු තමන්ගේම පාපිෂ්ඨ උපදෙස් අනුගමනය කරන හැදියාවෙන් යුතු වූවකි. තවත් විදියකින් කිව්වොත් ආණ්ඩුවේ ඉන්නා මිනිසුන් යනු අනිත් මිනිසුන් හා සමාන මිනිසුන් වෙති. එවැනිම සිතැඟි පවතින අයයි. තම වස්තු සම්පත් සහ බලපුළුවන්කාරකම් වැඩි කරගන්නට තමනට පෑදෙන සෑම අවස්ථාවක්ම උනන්දුවෙන් අල්ලා ගන්නා අයයි. මහජනතාව විසින් පවරන ලද කොටසෙන් ලබාගත හැකි වූ වාසි හඳුනාගන්නට ආණ්ඩුව අලස නොවෙයි. සියල්ලන්ගේම ඉරණම තීරණය කරන ස්වාමියා සහ විනිශ්චයකරුවා වීමට ආණ්ඩුව කැමැත්තේය. ගොඩක් ගත්තාම විශාල කොටසක් එයට තබාගත හැකියාව ලැබේ. ආණ්ඩුවේ ඒජන්තවරු සංඛ්‍යාව එවිට වැඩිකරගත හැකියි. ආණ්ඩුවේ වරප්‍රසාද ලබන වටරවුම තවත් පුළුල් කරගත හැකියි. විනාශකාරී ප්‍රමාණයක් අයිති කරගැනීමෙන් එය අවසන් වේ.
 
එහෙත් මෙහි දී දැකිය හැකි අරුම පුදුමය වනුයේ ඒ සියල්ල තුලින් ගමන් කරන මහජනතාවගේ අන්ධ බවයි. ජයගත් සොල්දාදුවන් විසින් යටත් කරගත්තවුන්ව වහලුන් බවට පත් කරද්දී ඔවුන් ම්ලේච්ඡයන් වූහ. එහෙත් ඔවුන් අභූත නොවූහ. අපේ වගේම, ඔවුන්ගේ ද අරමුණ වූයේ අනෙකුත් අයගේ වෙහෙස මහන්සියෙන් තමන් ජීවත්වීමයි. එහි නියැළීම ඔවුන් මඟ හැරියේ නැත. එකිනෙකා සමඟ එකතු වී කරන මංකොල්ලය, එය එකට එකතු වී කරන පමණින්, එය මංකොල්ලයට වඩා අඩු වූවක් යැයි සිතන ජනතාව ගැන අපි කෙසේ සිතමු ද? නීත්‍යානුකූලව කරන විනයානුකූල බවකින් යුතු වූ නිසා එය සාපරාධී ක්‍රියාවකට වඩා අඩු යැයි සිතන අය ගැන අපි කෙසේ සිතමු ද? ආණ්ඩුව නමින් අපි හඳුන්වන්න විසින් එහි වැය හා සමානුපාතිකව සලකද්දී මහජන යහපතට කිසිවක් එකතු නොකරන සහ මහජන යහපත අඩු කරන බව නොදකින අය ගැන අපි කෙසේ සිතමු ද? 
 
ප්‍රංශ ජනතාව තම ජාතියේ ශ්‍රේෂ්ඨ කල්පනාමාත්‍රයක් ලෙසින් පදනම් කරගත්තේ, 1848 දී ජනතාවගේ ගුණ ඥාන අභිවෘද්ධිය වෙනුවෙන් සිය ව්‍යවස්ථාවේ මූලාරම්භය වෙනුවෙන් යොදා ගත්තේ මෙයයි:-
“සියළු පුරවැසියන්ට වැඩියෙන් ඉහළ යන ආචාර ධාර්මික මට්ටමක්, අවබෝධයක් හා සුබසාධනය සලසන අරමුණ වෙනුවෙන් ප්‍රංශය ජනරජයක් පිහිටුවා ගති.”
 
මේ ආකාරයෙන් ප්‍රංශ ජාතිකයන්ගේ ආචාර ධර්ම, සුබසාධනය යනාදිය ඉහළට ගන්න වෑයම බාරගත්තේ ප්‍රංශයයි, නොහොත් විසංයුක්තයයි. අපේ නොවන වෙහෙසකින් සියල්ල ලබා ගැනීම සඳහා මේ අරුම පුදුම වූ මායාවට ඉඩ දී නොවේ ද අපි බලා සිටින්නේ? ප්‍රංශ යන්නෙන් ස්වාධීන වූ, සද්ගුණවත් වූ, බුද්ධිමත් වූ, ඉසුරුමත් වූ, සුබසාධනය සලසන්නට හැකි වූ, පිටතට දෙන වෑයමක් නොවේ ද එයින් කියැවෙන්නේ? ප්‍රංශය සහ ප්‍රංශ ජනතාව අතර තාත්තා හා පුතා අතර වූ සම්බන්ධයක් වැනි, ගුරුවරයා හා සිසුවා අතර සම්බන්ධයක් වැනි, මහාචාර්ය සහ විද්‍යාර්ථියා අතර සම්බන්ධය වැනි, සරල සංක්ෂිප්ත සහ විසංයුක්ත වූ සියළු අනන්‍යතාවන් වෙතින් හැදී පවතින්නකින් එය ගෙනෙන්නට හැකි යැයි කීමක් නොවේ ද? බොහෝ අවස්ථාවල දී ඖපචාරික ලෙසින් “රටක් යනු සෙනෙහෙවත් මවක්,” යැයි හඳුන්වන බව මම දන්නෙමි. එවැනි ව්‍යවස්ථාදායක වූ ප්‍රස්තුතයක ඇති හිස්බව කෙසේදැයි පෙන්වා දෙන්නට අවශ්‍ය වන්නේ, කිසිත් අපහසුතාවක් සිද්ධ නොවී, කිසිත් වාසියක් සිද්ධ නොවී, එය අනෙක් පැත්තට හැරවිය හැකි බව පෙන්වා දීම පමණකි.
 
“පවතිනවාටත් වඩා ඉහළ මට්ටමකින් වූ ආචාර ධර්ම වෙනුවෙන්, බුද්ධිය වෙනුවෙන්, සුබසාධනය වෙනුවෙන් ප්‍රංශ ජාතිකයන් විසින් ඔවුන් වෙනුවෙන් ජනරජයක් හදාගෙන ඇත,” යැයි කීමෙන් අඩු නිශ්චිත බවක් හැඟෙනවා ද?
 
ඉතින්, කර්තෘපදය සහ එයින් දැක්වෙන ගුණාංගය කිසිත් අපහසුතාවයක් නොමැතිව තැන් මාරු කරගන්නට හැකියාව ඇත්නම් එහි ඇති ප්‍රත්‍යක්ෂ අගය කුමක් ද? “අම්මා කුඩා දරුවාව පෝෂණය කරනු ඇත,” යන වාක්‍යයේ තේරුම කුමක් දැයි හැමෝම දනිති. එහෙත් “කුඩා දරුවා අම්මාව පෝෂණය කරනු ඇත,” යන්න විහිළුවකි.
 
ඇමෙරිකන් අය විසින් පුරවැසියන් සහ ආණ්ඩුව අතර සම්බන්ධතාවය දක්වන්නට තවත් අදහසක් ගෙන ආවේ මේ සරල වචන ඔවුන්ගේ ව්‍යවස්ථාවේ මූලාරම්භයේ ලියමිනි:
“අපි, එක්සත් ජනපදයේ ජනතාව, වඩාත් පරිපූර්ණ එකමුතුවක් පිහිටුවා ගැනීමේ අරමුණින්, යුක්තිය පිහිටුවා ගනු පිණිස, රට ඇතුලත සාමය ආරක්ෂා කර ගැනීම සඳහා, අපේ පොදු ආරක්ෂාව ලබා ගැනීමට, සාමාන්‍ය සුබසාධනය වැඩි කරන්නට, එසේම නිදහසේ ප්‍රතිලාභයන් අප වෙනුවෙන් සහ අපේ මතු පරම්පරාවන් වෙනුවෙන් ආරක්ෂා කරගන්නට, මෙසේ අණ පිහිටුවා ගනිමු,” යනාදී වශයෙනි.
 
එහි කාල්පනික වූ නිර්මාණයක් දකින්නට නැත. එය විසංයුක්තයක් නොවේ. එවැන්නකින් පුරවැසියන් සියල්ල ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් තමන් ගෙන් සහ තම වෑයම් වලින් හැරෙන්නට වෙනකකින් කිසිවක් බලාපොරොත්තු නොවෙති.
 
1848 ප්‍රංශ ව්‍යවස්ථාවේ පළමු වදන් විවේචනය කරන්නට මට අවසර දෙනවා නම්, එය ගැන කරන මගේ පැමිණිල්ල මුලින් කියවද්දී සිතෙන මූලධාර්මික වූ විචක්ෂණභාවයකට වඩා වැඩි යමක් පවතින්නක් යැයි මම කියා සිටිමි.
 
ආණ්ඩුවකට පුද්ගලත්වයක් ආරෝපණය කිරීම, අතීත කාලයන් හි මෙන්ම, මෙයින් පසුව ද, උපද්‍රව්‍යයන් සහ අරගලයන් සඳහා සරු බිමක් වෙනු ඇත.
 
එක පැත්තක ඉන්නේ මහජනතාවයි. අනෙක් පැත්තේ ඉන්නේ ආණ්ඩුවයි. ඒ දෙක පැහැදිලි වෙනස් සත්තාවන් දෙකක් හැටියට සලකා ඇත. මිනිසාට හිතන්නට හැකි සියළු සුබසාධනයන්, ආණ්ඩුව විසින් මහජනතාවට ප්‍රදානය කරන්නට බැඳී සිටින ලෙසකින් පිහිටුවන ලද්දකි, එසේම ආණ්ඩුව විසින් මහජනතාවගෙන් ලබාගන්නට අයිතියක් ඇති ලෙසකින් පිහිටුවන ලද්දකි. එහි දී ඇතිවිය හැකි ප්‍රතිඵලය කුමක් ද?
 
ආණ්ඩුව අබ්බගාතයෙක් නොවේ. එය එසේ විය නොහැකියි. එයට අත් දෙකක් ඇත. එකක් ලබාගන්නට සහ අනෙක ප්‍රදානය කරන්නටය. වෙනත් විදියකින් කිව්වොත්, එයට රළු අතක් සහ සුමුදු අතක් ඇත. දෙවැන්නේ ක්‍රියාකාරීත්වය පළමුවැන්නේ ක්‍රියාකාරීත්වයට යටහත් පහත් වූවකි. නිතිමතින් ගත්තොත්, ප්‍රතිෂ්ඨාපනය නොකර ආණ්ඩුවට ලබාගන්නට හැකියි. ආණ්ඩුව අල්ලන හැම දෙයකින්ම සමහර විට මුළු ප්‍රමාණයම, සමහර විට කොටසක් තබාගන්නා ආකාරයෙන්, එහි අත්වල ඇති සවිවර හා උරාගන්නා ස්වභාවයෙන් මෙය පැහැදිලි කරත හැකියි, ඊට සාක්ෂි දරයි. එහෙත් කිසිම අවස්ථාවක දැකිය නොහැකි වූයේ, දැකිය නොහැකි වන්නේ සහ හඳුනාගත නොහැකි වන්නේ ද, ආණ්ඩුව යනු මහජනතාව වෙතින් ගන්නවාට වඩා මහත් ප්‍රමාණයක් මහජනතාවට ප්‍රතිශ්ඨානපන කරත හැකියාවයි. ඉතින්, හිඟන්නන් මෙන් නියාලු හැදියාවකින් ආණ්ඩුව ඉදිරියේ පෙනී සිටීම විහිළුවකි. සමස්ත සමාජයටම වැඩියෙන් හානියක් නොකරමින් සමාජයක එක කොටසක් වෙනුවෙන් විශේෂිත සුබසාධනයක් ප්‍රදානය කිරීමට එයට නොහැකියි.
 
ඉතින් ඒ නිසා අපේ ඉල්ලීම් වලින් ආණ්ඩුවක් අකරතැබ්බයට පත්වේ. ඉල්ලීම් ඉෂ්ට කරන්නට එය ප්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුව දුර්වල යැයි ද, වෛරී යැයි ද, අසමත් යැයි ද එයට චෝදනා කරයි. ආණ්ඩුව ඒ ඉල්ලීම් ප්‍රදානය කළොත්, ජනතාව මත නව බදු බර පැටවීමට එයට සිද්ධ වේ. එයින් ලැබෙන යහපතට වඩා සිද්ධ වෙන හානිය වැඩියි. එයින් ආණ්ඩුවට ලැබෙන්නේ වෙනත් පැත්තකින් තවත් සමස්ත අප්‍රසාදයකි.
 
මෙයාකාරයෙන් බලද්දී, ජනතාවට ඇත්තේ අභිප්‍රායයන් දෙකක් වෙද්දී ආණ්ඩුව ද පොරොන්දු දෙකක් කරයි. ගොඩක් සුබ සාධන සහ බදු නොමැති වීම. බලාපොරොත්තු සහ පොරොන්දු, එකිනෙකට පරස්පරවිරෝධී නිසා ඒවා කවදාවත් ඉෂ්ට නොවේ.
 
ඉතින් මෙය නොවේ ද අපේ විප්ලවයන් සියල්ලටම හේතු වූයේ? කරගන්නට නොහැකි අනගි පොරොන්දු හැම අත පැතිර වූ ආණ්ඩුවත්, සාර්ථක නොවන බලාපොරොත්තු මවාගත් මහජනතාවත් අතර ගැටුමක් නොවේ ද? මහා අපේක්ෂා සහිත මිනිසුන් සහ මනෝරාජික මිනිසුන් අතර ඇති වූ ගැටුමක් නොවේ ද? ඔවුන්ට ඉඟියක් ලැබුනේ සමාජ වාතාරණයෙන්. ජනප්‍රිය හඬ වූයේ “අධිකාරිය ඔබව රවටනවා, ඒත් අපි ඔවුන්ගේ ඒ ස්ථානයේ ඉන්නවා නම්, එහෙනම් අපි ඔබට සුබසාධන බෙහෙවින් ගෙනෙමින් කිසිදු බද්දක් නොපනවන්නෙමු,” යන්න නොවේ ද?
 
ඉතින් මහජනතාව එය විශ්වාස කරති. මහජනතාව බලාපොරොත්තු ඇතිකර ගනිති. අනතුරුව මහජනතාව තමන්ට දුන් ප්‍රතිඥා ඉෂ්ට කරන්නට යැයි ඉල්ලා හඬ නඟති. “අපට රස්සාවල් දෙන්න, පාන් දෙන්න, සහනාධාර දෙන්න, ණය දෙන්න, පුහුණුව දෙන්න, තව සල්ලි දෙන්න,” යැයි ජනතාව කියති. “ඔබ පොරොන්දු වූ විදියට අපිව බදු එකතුකරන්නන්ගේ ඉල්ලීම් වලින් ද ගලවා ගන්න,” යැයි ජනතාව ඉල්ලති.
 
පරණ ආණ්ඩුවට වඩා අඩුවෙන් ලැජ්ජාවක් අලුත් ආණ්ඩුවට නැත. මොකද වැඩි කලක් නොගොස් එය ද වටහා ගන්නේ පොරොන්දු ඉටු කිරීමට වඩා පොරොන්දු දීම වඩා පහසු බවයි. එය තව කල් ගන්නට උත්සාහ කරන්නේ මහා විශාල ව්‍යපෘති ඵල දරන්නට තව කාලයක් අවශ්‍යය නිසයි. මුල් කාලයේ දී පුංචි පසුගාමී වූ උත්සාහයන් කිහිපයක නියැළෙයි. ප්‍රථමික උපදෙස් ස්වල්පයක් ස්ථාපිතයට උත්සාහයක් එක පැත්තකින් ගනියි. අනෙක් පැත්තෙන් සමහර බදු අඩු කරයි. එහෙත් ප්‍රතිවිරුද්ධ බව නිරන්තරයෙන් එයට කළින් හටගන්නකි. ආණ්ඩුව පරිත්‍යාගශීලී වෙන්නේ ද එය භාණ්ඩාගාරයට වගකිව යුතු වේ. භාණ්ඩාගාරය නොසලකා හැරියොත් එය පරිත්‍යාගශීලී වීමෙන් අයින් විය යුතුයි.
 
පොරොන්දු දෙක නිතරම කලහයක පසුවේ. ඊට වඩා වෙනසක් කරන්නට එයට නොහැකියි. ණය මත යැපෙන්නට නම්, නැත්නම් අනාගතය හිස් බවකින් යුතු කරගන්නට නම්, දැන් මේ පොරොන්දු දෙක අතර යම් සාමාදානයක් නැතිව කළ නොහැකි වූවකි. දැන් හොඳ ඩිංගක් කරන්නට අනාගතයේ සෑහෙන හානියක් සිද්ධ වීම පාවා දෙන්නට සිද්ධ වේ. එවැනි ක්‍රියාවක් නිසා බංකොළොත් වී අනාගතයේ ණය නොලැබී යයි. එහෙනම් කළ යුත්තේ කුමක් ද? එවිට ආණ්ඩුවක් විසින් වඩා නිර්භීත පියවරයන් ගන්නට පෙරමුණට එයි. ආණ්ඩුව පවත්වා ගන්නට සියළු බලයන් එකතු කරගනියි. මතයන්ට ඉඩක් නොදේ. හිතුමතයේ පනවන නීති, ඊට කළින් තිබූ විහිළු උපදෙස්ම නැවත ප්‍රකාශ කරයි. ජනප්‍රිය නොවේ යැයි බියෙන් පරිපාලනය ගෙන යා නොහැකි යැයි ආණ්ඩුව කියයි. කෙටියෙන් කිව්වොත් එවැනි හැදියාව ආණ්ඩුව යැයි ආණ්ඩුව කියා ගනියි. අන්න මේ තැනට, ආණ්ඩුවකට ජනතා අප්‍රසාදය හිමිවෙන තැනට එනකම් තමයි විරුද්ධ පක්ෂය බලාගෙන ඉන්නේ. ඔවුන් ද ඒ මායාවම නැවත ප්‍රදර්ශනයට එයාකාරයෙන්ම ගෙනෙති. එවැනි සාර්ථකත්වයක්ම ඊට ලබා ගනිති. වැඩි කලක් නොගිහින් එම අමාරුවේම වැටෙති.
 
1849 පෙබරවාරියේ දී මේ ස්ථානයට ප්‍රංශය පැමිණ ඇත. එම මායාව මේ සටහනේ මාතෘකාවයි. ප්‍රංශ ජනතාවගේ සමාජවාදී අදහස් අතර මීට ඉහත කිසිම කාලයකට පෙර තිබුණාට වඩා මේ මායාකාරී අදහසට ඉඩක් ලැබී ඇත. ආණ්ඩුවක් යනු, ජනරජයක් යටතේ, බදු අයින් කර සුබසාධනය ශ්‍රේෂ්ඨ ආකාරයකින් ගෙනෙන්නට සමත් වෙන්නක් යැයි වෙන කිසිම දවසකට වඩා ස්ථිර ලෙසකින් ඔවුන් අපේක්ෂා කරති. “අපිව නිතර රවටනු ලැබුවා,” ජනතාව කියූහ. “එහෙත් මෙදා පාර අපි බලාගන්නම්, අපිව ආයෙත් රවට්ටන්න ඉඩ දෙයි ද කියලා?”
 
තාවකාලික ආණ්ඩු වලට කළ හැක්කේ මොනවා ද? ඛේදයකි! එවැනි අවස්ථාවල දී කළින් කරන ලද දේවල් ම කිරීම පමණකි. එනම් පොරොන්දු දීමයි, ඒවා ඉෂ්ට කරන්නට තව කාලයක් ලබා ගැනීමයි.
 
එය එසේ කරන ලදි. පොරොන්දු වලට තවත් සහතිකයක් දෙන ලදි. මහජනතාවට මෙසේ කියා සිටින ලදි: “සමෘද්ධිය වැඩි කරන්නට, ශ්‍රමය ක්ෂය කරන්නට, සහනාධාර, ණය, නොමිලේ පුහුණුව, කෘෂිකාර්මික කලාප, නිසරු බිම් වගා කරන්නට, සහ ඒවා කරමින්, ලුණු වලට, මත්පැන් වලට, ලියුම් වලට, මස් වලට ගහන බදු අඩු කරන්නට, ජාතික සභාව රැස්වුනාම මේවා සියල්ල ඉෂ්ඨ කරනවා.”
 
ජාතික සභාව මුණ ගැසුණි. එහෙත් ප්‍රතිවිරුද්ධ දෙකක් ඉෂ්ට කරනු නොහැකි බව දකින ලදි. එහි වෑයම, එහි දුක්ඛිත වෑයම, අයින් වීමයි, ඉතා සුරුවම් ලෙසින් අයින්වීමයි, තාවකාලික ආණ්ඩුවේ සියළු නියෝග වලින් අයින් වීමයි. එහෙත් රැවටිල්ල දිගටම කරගෙන යෑම සඳහා, එයට ස්වල්ප ලෙසින් ප්‍රතිදානයන් කරන්නට සිද්ධ විය. සමහර දේවල් ඉටු කෙරිණ. තවත් ඒවා යම් යම් මට්ටම් වලින් පටන් ගැණින. දැන් ඒ නිසා නව අණ්ඩුවට ද අළුත් බදු පනවන්නට සිද්ධ වී ඇත.
 
ඉතින් මෙහි දී මම මාව තව මාස කිහිපයකින් ඉදිරි අනාගතයට ගෙන යන්නේ දොම්නස් හැඟීමක් පැතිර යද්දී. නව ආණ්ඩුව විසින් රටේ කෘෂිකර්මයෙන් ලබන ලාබ වලට, ආදායම් වලට ගෙනෙන නව බදු එකතු කරගන්නට යද්දී සිද්ධ වෙන්නේ කුමක් ද? මම කියන ප්‍රතිඵලය සිද්ධ නොවේ යැයි බලාපොරොත්තු වූවත්, චන්ද අපේක්ෂකයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙන අසීරුතාවය මම දකිමි.
 
ජනාධිපති මැතිවරණයක දී දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළ පහුගිය ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බලන්න. එය දීර්ඝ වූවකි. එහෙත් එය අවසන් වූයේ මේ වදන් වලින්: “ආණ්ඩුවක් විසින් එහි වැසියන්ට බොහෝ දේ දිය යුතුයි, එහෙත් ඔවුන් වෙතින් ගත යුත්තේ ඩිංගකි.” හැමදාම එකම ප්‍රයෝගයන්ය. තවත් විදියකින් කිව්වොත් හැමදාම දකින්නට ලැබෙන්නේ එකම වැරදියි.
 
“ආණ්ඩුව විසින් අධ්‍යාපන සහ පුහුණුව එහි වැසියන්ට නොමිලේ ලබාදිය යුතුයි,”
 
“සෑම පුරවැසියෙක්ටම හැකියාව ඇති පරිදි ඔවුන්ගේ උවමනාවට සරිලන්නා වූ ආකාරයෙන් වෘත්තීය අධයාපනයක් ලබා දීමට,” ආණ්ඩුවක් බැඳී සිටියි. 
 
“අධ්‍යාත්මික වර්ධනයට, ඔහුගේ ශ්‍රමය විද්‍යාත්මක ලෙස හැසිරවීමට, ඔහුගේ කැමැත්තන් මොනවා දැයි හඳුනාගන්නට ඔහුට උපකාරී වෙන ලෙසින්, ඔහුට දැනුම ලබා දීම ඔහුගේ අයිතියකි.”
 
“උදාර මිනිසෙක් කරන්නට ශක්තිය ගෙන දෙන සාහිත්‍ය හා කලාවන් සියල්ල සැපයීමට,” ආණ්ඩුවක් බැඳී සිටියි. 
 
“හදිසි අනතුරු ආපදා වලට මුහුණ දෙන පුරවැසියාට වන්දි ලබා දෙන්නට,” ආණ්ඩුවක් විසින් බැඳී සිටියි.
 
“මුල්‍ය හා ශ්‍රමය අතර සබඳතාවයට මැදිහත්වෙන්නට, ණය නියාමක හැටියට,” ආණඩුවක් විසින් බැඳී සිටියි.
 
“කෘෂිකර්මය කාර්යක්ෂම ලෙසින් ආරක්ෂා කරන්නට සහ වැදගත් ලෙසින් දිරිමත් කරන්නට,” ආණ්ඩුවක් විසින් බැඳී සිටියි.
 
“රේල් පාරවල්, කැපූ ඇලදිය මාර්ග, පතල් යනාදිය මිල දී ගන්නට, එහි ස්වභාවයෙන් යුතු කාර්මික ගණුදෙනු සඳහා ඉදිරිපත්වන්නට,” ආණ්ඩුවක් විසින් බැඳී සිටියි.
 
“ප්‍රයෝජනවත් අත්හදා බැලීම් දිරිමත් කරන්නට, ඒවායේ සාර්ථකත්වයට සෑම ආකාරයකින්ම සහාය දෙන්නට, ණය නියාමකයෙක් හැටියට කාර්මික සහ කෘෂිකාර්මික සම්බන්ධතා වල දී ප්‍රථුල බලපෑම් කරන්නට” ආණ්ඩුවක් විසින් බැඳී සිටියි. 
 
අනෙක් ප්‍රතිඥා දුන් සියල්ලට අමතරව ආණ්ඩුවක් විසින් මේ සියල්ලම කරන්නට බැඳී සිටියි. එසේම විදේශිකයන්ට තර්ජනාත්මක හැදියාවක් පෙන්වයි. මොකද මේ සියළු වැඩසටහන් “මේ ශුද්ධ රටේ බැඳීම් වලින් යුතු වූ, ජාතීන් අතර ඒකාධිපත්‍යය නිසා හටගන්නා ලද්දා පූර්ව ප්‍රංශ ජනරජයේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් අභිබවා යන ලෙසකින් සකස් කරගත්තා වූවකි. අප වෙනුවෙන් අප ඉල්ලා සිටින අයිතීන්, ප්‍රජා පීඩනයට පත් වී සිටින සියල්ලන් වෙනුවෙන් අපි ඉල්ලා සිටින්නකි. අපේ මහානුභාවසම්පන්න අවි යනු තවමත්, අවශ්‍ය වුවහොත්, නිදහස වෙනුවෙන් වූ හමුදාවක් සඳහා විය යුතුයි.”
 
අර ආණ්ඩුවේ සුමුදු අත – අතර බෙදා දෙන හොඳ අත- ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යටතේ දැඩි අවිවේකයකින් කටයුතු කරනු ඇත. අර අපේ පොකැට්ටුවට බහින රළු අතත් එලෙසින්ම කටයුතු කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරනු ඇත. ඒත් ඔබව රවටා ගන්න එපා. ජනප්‍රියත්වයක් සොයා යන අය සුමුදු අත පෙන්වද්දී රළු අත සඟවා ගන්නට දන්නා, ඔවුන්ගේ වෙළඳාම දන්නා, නැත්නම් කලාවක් දන්නා අය නොවෙති. ඔවුන්ගේ රජය බදු ගෙවන්නන්ගේ අති ප්‍රසාදයට පාත්‍ර වනු නිසැකය.
 
“අවශ්‍යතාවයන් නොව බදු ගැසිය යුත්තේ අතිරික්තයන්ට පමණි,” යැයි ඔවුන් කියනු ඇත.
 
අපව ප්‍රතිදාන වලින් නහවනු පිණිස භාණ්ඩාගාරික විසින් අපේ අතිරික්තයන් ලුහුඬු කිරීමෙන් සැනසෙනවා නම් එය සැබැවින්ම සතුටුදායක කාලයකි!
 
එපමණක් නොවේ. ප්‍රතිසංස්කරණවාදීන්ගේ අභිප්‍රාය “බදු වල පීඩන ගතිය නැති වී ගිහින් එය සහෝදරත්වයේ ක්‍රියාවක් වේවි” යන්නයි. දෙයියෝ සාක්කි! සහෝදරත්වයේ නාමය හැම තැනටම ගෙනියන එක දැන් විලාසිතාවක් බව මම දනිමි. ඒත් මම හිතුවේ නැහැ එය කවරදාක හෝ බදු එකතුකරන්නාගේ අතට ද ගෙනියන්න හැකි විලාසිතාවක් කියල.
 
මේ වැඩසටහනට අත්සන් තියන අය කියන්නෙ, “ජීවිතයේ පරම අවශ්‍යතාවයන් වන ලුණු, මත්පැන් .. තව තව දේවල් යනාදිය සඳහා පනවන බදු වහාම අහෝසි කිරීම අපේ කැමැත්ත,” යැයි කියාය.
 
“ඉඩකඩම්, රේගු බදු, පේටන්ට් බදු යනාදිය ප්‍රතිසංස්කරණය කරන්න.”
 
“නිර්මූල්‍ය යුක්තිය – එහි ඉතාමත් සරල ආකාරයෙන්, එහි වැය අඩු කිරීම.” (මේ කියන්නෙ සැකයක් නැතිව මුද්දර ගැන විය යුතුයි.)
 
මෙයාකාරයෙන්, ඉඩකඩම්, රේගු, පේටන්ට්, මුද්දර, ලුණු, මත්පැන්, තැපැල් ගාස්තු යනාදී සියල්ලම බදු වලින් තොර විය යුතුයි. ආණ්ඩුවේ රළු අත සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කර මුදු අතට වැඩිපුර ක්‍රියාකාරීත්වයක් ලබාදෙන රහස මේ මහත්වරුන් විසින් සොයාගෙන ඇත. 
 
ඉතින්, පැත්තක් නොගන්නා පාඨකයා වෙතින් මම අහන්නේ, මෙය බොළඳ හැදියාවක් නොවේද? මෙය විනාශකාරී වූ බොළඳ හැදියාවක් නොවේ ද? “ආණ්ඩුවට කිසිත් නොදී ආණ්ඩුවෙන් ගොඩක් බලාපොරොත්තු වෙන,” මේ ප්‍රතිවිරුද්ධත්වය වටහාගන්නට දැඩි උත්සාහයක් නොගන්නේ නම්, එවිට විප්ලවයක් පාසා තවත් විප්ලවයක් ඒම අනිවාර්යෙන් සිද්ධ නොවේ ද?
 
ප්‍රතිසංස්කරණවාදියා බලයට පත්වුවහොත්, එවිට ඔහු ද බලය අල්ලා ගන්නට යොදාගත් ක්‍රමයේම බිල්ලක් බවට පත් නොවන්නේ ද?
 
පුරවැසියෙනි! සෑම කාලයක දී ම දේශපාලන ක්‍රම දෙකක් ලොව පැවතුණි. ඒ දෙකම හොඳ හේතු නිසා පවත්වාගෙන යන ලදැයි කිව හැකියි. එයින් එකකට අනුව, ආණ්ඩුව විසින් ගොඩක් දේවල් ඉටු කළ යුතුයි. එහෙත් ඒ සඳහා එය විසින් පුරවැසියාගෙන් ගොඩක් ලබාගත යුතුයි. අනෙකට අනුව, මේ දෙකේ ක්‍රියාකාරීත්වය පුරවැසියාට ඉතා අඩුවෙන් දැනී යා යුතුයි. අපි තෝරාගත යුත්තේ මේ ක්‍රම දෙකින් එකකි. එහෙත් තුන්වැනි ක්‍රමයක් ද අද පවතී. එහි අර කළින් ක්‍රමයන් දෙකේම හෝඩුවාවන් දැකිය හැකියි. එය කියන්නේ කිසිවක් නොගෙන ආණ්ඩුවකට සියල්ල ලබා දිය හැකි යැයි කියාය. ඒ ක්‍රමය අමූලික වූවකි, අභූතරූපී වූවකි. බොළඳ වූවකි. ප්‍රතිවිරුද්ධ වූවකි. අනතුරුදායක වූවකි. ඒ වෙනුවෙන් පෙනී සිටින අය, සියළු ආණ්ඩුවල පවතින දුර්වලතාවයන් පෙන්වන සතුටෙන්, ඒවා පෙන්වා ඔබේ පහරට ලක් කරන්නට ඉදිරිපත් වෙන අය, ඔබට චාටු බස් කියමින් ඔබව රවටන අය වෙති. එසේම ඔවුන් තමන්ව ද රවටා ගනිති.
 
ඉතින් අපි, ආණ්ඩුවක් යනු ජනතාවගේ එක්සත් සංවිධානයක බලය පෙන්වන්න පමණක් බව දකින ඒ වෙනුවෙන් පමණක් වූවක් බව දකින, එය පුරවැසියන් එකිනෙකා අතර මංකොල්ලය පතුරුවන සහ පීඩනය පතුරුවන උපකරණයක් නොවිය යුතු, යැයි කියන අයයි. ආණ්ඩුවක් යනු සෑම පුද්ගලයාටම තම සහ තමන්ගේ වූවේ ආරක්ෂාව සලසා ගන්නට ඉඩක් ලැබෙන ලෙසින් යුක්තිය හා ආරක්ෂාව රජයන්නට ඉඩක් ලබාදීම සඳහා ස්ථාපිත කරගත්තකි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Shiroshan Randika said, on පෙබරවාරි 13, 2014 at 12:14 පෙ.ව.

    ස්තූතියි. ෆ්‍රෙඩ්රික් බැස්ටියාට්ව හඳුන්වා දුන්නට. මින් පෙර නොදැක්ක පැත්තක්.

  2. mppgunasinghe said, on පෙබරවාරි 13, 2014 at 3:02 පෙ.ව.

    සිත තුළ අමුතුම චමත් කාරයක් ජනනය කරන්නට ඔබේ මේලිපය සමත් ! ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: