අරුණි ශපීරෝ‍ වෙතින්

සුබ අනාගතය උදාවන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 16, 2014

රටක් සංවර්ධනය, ජනතාවගේ ප්‍රශ්න විසඳීම, පාසැල් හා කැම්පස් ළමුන්ගේ ආරක්ෂාව සැලසීම යනාදියෙන් සුබ අනාගතයක් නිර්මාණයට ආණ්ඩුවක් සමත් යැයි ලොව බහුතර ජනතාවක් විශ්වාස කරති.

සුබ අනාගතයක් සඳහා “දියර කිරි” වෙළඳපොලේ බහුලව පැවතීම අවශ්‍ය යැයි කියන අයට දිරවන්නේ නැත්තේ අනෙක් අයට වෙළඳපොලෙන් කැමැත්තෙන් මුදල් ගෙවා මිල දී ගැනීමට පිටිකිරි බහුලව තිබීමයි. තමන් පතන සුබ අනාගතය යනු සමාජ සාධාරණත්වයේ නාමයෙන් අනුන් පතන්න බවට පත්කිරීම මේ අයගේ අපේක්ෂාවයි!!!!!

තම මතයේ අනගි බව පෙන්වා වෙනකෙක් කැමති කරවා ගන්නා උත්සාහය දුෂ්කර වූවකි. තමන් අනගි යැයි දකින දැයක් වෙනකෙක් ලවා මුදල් ගෙවා මිල දී ගන්නට පොළඹවීම ඊටත් වඩා දුෂ්කර වූවකි. කුඩා දරුවෙක් ලවා ඔහු අකමැති යැයි හිතන දෙයක් ඔහුව රවටන්නේ නැතිව නමුත් ඔහුගේ කැමැත්ත ඇතිව කරවා ගන්නට උත්සාහ කළවුන් මේ මිනිස් ස්වභාවය මනාව දනිති. රැවටීම සහ මිනිස් කැමැත්තන්ට එරෙහිව නීති පැනවීම මතවාදයක් වෙනස් කරන්නට හැකි පහසු ක්‍රම වෙති. තමන් කරන්නේ සාධාරණත්වයක් යැයි ඔවුන් අනුන්ව රවටනවා පමණක් තමන්ව ද රවටා ගනිති.

‘සුබ අනාගතයක්’ පතන බහුතරය ඒ සඳහා අවශ්‍ය දැනුම තමන් විසින් සොයන්නේ නැත. අනුන් තීරණ කරන ලද ක්‍රමවේදයට අනුව ඉගෙන ගෙන, ඒ අය දෙන සහතිකයක් තිබ්බාම ඔවුනට ප්‍රමාණවත්ය. තම නම අගට අකුරු එකතුවීම වැඩිවෙද්දී තම දැනුමත් වැඩි වී ඇතැයි ඔවුන් විශ්වාස කරති. රස්සාවක නියැළෙන්නට හැකි සහතිකයක් ලබාගන්නට ආණ්ඩුව විසින් යම් ක්‍රමයක් හදා දෙන්නේ නම් එහි නියැළී යාන්ත්‍රික රූකඩයක් බවට පත්වී අතට ලැබෙන සල්ලි ආණ්ඩුව නියම කරන පරිභෝජනයට වියදම් කිරීම නිවැරදි යැයි ඔව්හු විශ්වාස කරති.

අනුන් හදා දුන් සැලසුමක ඉත්තෙක් ලෙසින් ඉපිද ජීවත් වී මිය යන ක්‍රමයට බහුතරය එකතුවීමෙන් රටේ අගහිඟකම් වැඩිවෙද්දී සුබ අනාගතයක් ගේනවා යැයි ආණ්ඩුව දුන් පොරොන්දු එයට ඉටුකරගත නොහැකි බව දකිද්දී පවා බහුතරය ඉල්ලන්නේ වෙන ක්‍රමයක් නොව වෙන ආණ්ඩුවකි.

බහුතර වෙනත් රටවල මෙන්ම ලාංකිකයන් ද, වසර 66 ක් පුරා රටේ මාරුවෙන් මාරුවට බලයට පත් වූ ධනේශ්වර පාලක කණ්ඩායම් වෙතින් පාලනය වූහ. ධනවාදය හඳුනා නොගත්, මහා පරිමාණ ආණ්ඩු සැලසුම් ගැන ජනතාව දක්වන ලද විශ්වාසය ‘බත් දුන් පියා’ වෙතින් ආරම්භ විය. බලයට පැමිණි සියළු ධනේශ්වර ආණ්ඩු කළේ ඒකීය පුද්ගලයා බැහැරකට දමමින් සිංහල පනත, පංච මහා බලවේගය, විධායක ජනාධිපති වශයෙන් මුළු මහත් ජනතාව වෙනුවෙන් සුබ අනාගතයක් ගෙනෙන්නට හැකියාව තමන් සතු යැයි තරයේ කීමයි. ජනතාව එදත් එම මුලාව විශ්වාස කළහ. අදත් එම මුලාවම විශ්වාස කරති.

ඒත් ධනේශ්වරය යනු කුමක් ද?

ධනේශ්වරය යන සිංහල ලේබලය ප්‍රංශ බසේ වචනයක් වන බුර්ජුවාසියයි. බුර්ජුවාසී යැයි ලේබලයක් ගසද්දී කාල් මාක්ස් කාර්මික විප්ලවයේ දී පටන් ගෙන තිබුණු ධනවාදයෙන් වැඩවසම් රදළ පංතියේ බුර්ජුවාසිය වඳ වී යන හැටි පිළිනොගත්තේය.

එදා පටන් තවමත් මාක්ස්වාදීන් තම අනුගාමිකයන්ව ධනේශ්වර ලේබලයෙන් නොමග යවති. ඒ වැඩවසම් රදළයන් සේ උප්පත්තියෙන් මූලධනය හිමිකරගත්තවුන් සහ ධනවාදයෙන් මූලධනය වෙහෙසෙන් උපයාගත්තවුන් යනු එකම කොටසක් සේ හැඳින්වීමෙනි.

ශ්‍රමිකයන්ව සූරාකමින් ජීවත්වෙන්නේ ධනවාදයෙන් මූලධනය උපයා ගන්නට හැකිවූවන් යැයි අසත්‍ය ලේබලය වටහා ගන්නට තරම් ධනවාදය කුමක්දැයි දැනුම නැතිකම කුමන රටක වුවත් රටවැසියන් සියල්ලන්ගේම අභාග්‍යයකි.

මන්ද ඕනෑම රටක ශ්‍රමිකයන් සූරාකමින් ජීවත්වෙන්නේ එරටේ ආණ්ඩුව බැවිනි.

ධනේශ්වරය යන පංතිය අද හැදෙන්නේ වැඩවසම් යුගයේ මෙන් පාරම්පරික රදළයන් වෙතින් නොවේ. ආණ්ඩුවේ බලය තමනට උවමනා ලෙස පරිහරණයට ඉඩ ලත් වරප්‍රදාස භාවිතා කරන ඕනෑම අයෙකු අද ධනේශ්වර පංතියට අයිති වෙති. අනුන්ට හොඳ සහ නරක දේවල් මොනවාදැයි තීරණය කරන නීති ගෙනෙන ඒ ධනේශ්වර පංතිය සහ කැමත්තෙන් මිල දී ගන්නා අයට කැමත්තෙන් විකුණන දේවල් වලින් මූලධනයක් එකතු කරගන්නට සමත්වෙන්නා අතර වෙනස හඳුනා නොගන්නා තාක් කාලයක් රටේ ජනතාව තමනට ලබාදෙනවා කියන ‘සුබ අනාගතයක්’ වෙනුවෙන් ආණ්ඩුව මාරු කරන්නට ඉල්ලා සිටිනු ඇත.

කැමත්තෙන් මිල දී ගන්නා අයට කැමත්තෙන් විකුණන දේවල් වලින් මූලධනයක් එකතු කරගන්නට සමත්වෙන්නාව අගය කරන්නට පටන් ගත් දා සිට ඒ පුද්ගලයා මේ අගාධයට යන පාරෙන් අයින් වෙයි.

ඔබගේ අනාගතය සුබ වෙන්නේ කෙසේදැයි දන්නේ ඔබ පමණි. ඔබ සුබ යැයි සිතන පතන දේවල් මම සුබ යැයි සිතන පතන දේවල් නොවේ. ඒ නිසා ඔබේ අනාගතය සුබ කරගන්නට හැකියාව ඇත්තේ ලොව එකම එක අයෙකුට පමණි. ඔබට පමණි!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Shiroshan Randika said, on පෙබරවාරි 16, 2014 at 12:46 ප.ව.

    “ඔබගේ අනාගතය සුබ වෙන්නේ කෙසේදැයි දන්නේ ඔබ පමණි. ඔබ සුබ යැයි සිතන පතන දේවල් මම සුබ යැයි සිතන පතන දේවල් නොවේ. ඒ නිසා ඔබේ අනාගතය සුබ කරගන්නට හැකියාව ඇත්තේ ලොව එකම එක අයෙකුට පමණි. ඔබට පමණි!!!”

    සම්පූර්ණයෙන්ම එකඟයි!

  2. magenama said, on පෙබරවාරි 17, 2014 at 1:57 පෙ.ව.

    ඇත්තටම ඔව්.මටත් හිතා ගන්න බැරිව ඉන්නේ ඇයි රටේ ප්‍රශ්නවලට බාහිර අත පෙවීම් එපා කියන අයම රටේ පුද්ගලයාගේ තීරණ,සිතුම් පැතුම් බලෙන් මෙහෙයවන්න යන්නේ කියලා?

    • arunishapiro said, on පෙබරවාරි 17, 2014 at 7:47 පෙ.ව.

      magenama,

      😀 😀 Lanka Truth අඩවියේ මම දැක්කා ආදරවන්තයන්ගේ දවසේ යෞවන සමාජවාදීන්ගේ උත්සවයක් ගැන සටහනක්. බිමල් රත්නායක කිව්වලු අද මංගල දැන්වීම් වල නැත්තෙ ආදරය කියලා!!!!! ආදරයෙන් බැඳෙන්න කෙනෙක් හමුනොවෙච්ච නිසානේ විවාහයට සහකරුවෙක් හොයාගන්න මංගල දැන්වීමක් දාන්නෙ කියලා එයාලට අමතක වුනේ කොහොමදැයි මම මේ තාම කල්පනා කරනවා!!!! මිනිස් සිතුම් පැතුම් නොදන්න අය අනුන්ට ඒවා බලහත්කාරයෙන් ස්ථාපිත කරලා රට වෙනස් කරන්න තමන් දන්නවා කියද්දී අපිට ඉතින් හිනා නොවුනොත් අඬන්න තමයි වෙන්නෙ!!!!

  3. 69challenger said, on පෙබරවාරි 19, 2014 at 2:43 ප.ව.

    ඔයාට පොඩ්ඩක් පෙහැදිලි කරන්න පුලුවන්ද සුරාකෑම කියන්නේ මොකද්ද කියල?
    මට නම් හිතෙන්නේ ‘ධනවාදයෙන් මූලධනය උපයාගත අය’ සහ ‘ධනේශ්වරය යන පංතිය’ ( ආණ්ඩුවේ බලය තමනට උවමනා ලෙස පරිහරණයට ඉඩ ලත් වරප්‍රදාස භාවිතා කරන ඕනෑම අයෙකු අද ධනේශ්වර පංතියට අයිති වෙති) කියන්නේ 2ක් නෙමේ 1ක් කියලය්. පොඩ්ඩක් පෙහැදිලි කරන්න ‘ධනේශ්වරය යන පංතිය’ නොවන ‘ධනවාදයෙන් මූලධනය උපයාගත අය’ ඉන්නේ කොහෙද කියල?

    • arunishapiro said, on පෙබරවාරි 19, 2014 at 4:02 ප.ව.

      69challenger,

      අතිශය සතුටින් ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්! මේවා යළි මතක් කරන්නට අනගි අවස්ථාවක් ලබාදීම ගැන ඉතා ස්තූතියි.

      සූරාකෑම යනු තම කැමැත්ත අනුව නොව අනුන්ගේ නිර්දේශයට අනුව තමන්ට වෙහෙසෙන්නට සහ තමන්ගේ වෙහෙසේ ඵලදාව භුක්ති විඳින්නට සිද්ධ වීමයි. සූරා කෑමේ න්‍යාය හැදෙන්නේ අගයේ ශ්‍රම න්‍යාය (labor theory of value) සහ වෙනස් කළ නොහැකි වේතන නීතිය (iron law of wages) යන ආර්ථික න්‍යායයන් වලින්. වේතනය මිනිසාගේ ප්‍රධාන ආදායම ලෙසත්, ධනවාදය සහ ව්‍යවසායකයන් සහ ධනවාදීන් වෙතින් අනෙකුත් සියළුම වේතන-නොවන ආදායම් හා ලාබය ඇතිවෙන බවත් යනාදියෙන් අවුල් වෙච්ච සූරාකෑම යන ලේබලය පැහැදිලි කරන්න අවශ්‍ය නම් කියන්න. ඉදිරි දිනයෙක ඉඩක් ලැබුනම එයත් ලියන්නම්.

      වැඩවසම් යුගයේ පැවතියේ උප්පත්තියෙන් වරප්‍රසාද ලත් රදළයන් සෙසු මහජනතාවට වෙහෙසෙන ආකාරය මේ මේ ලෙසින් කියා ද සහ ඔවුන්ගේ වෙහෙසේ ඵලදාව භුක්ති විඳින ආකාරය මේ මේ ලෙසින් කියා ද නීතියෙන් ස්ථාපිත කරන ලද ලෝකයකි.

      කාර්මික විප්ලවයත් සමඟ ලොව ධනවාදය ඕපපාතිකව බිහිවෙද්දී, රදළයන් නොවන සෙසු මහජනතාවට වෙහෙසෙන ආකාරය ගැන ස්වාධීන තීරණ ගන්නට හැකියාවක් ලොව මුල් වතාවට ලැබිණ. ගොවිපොළක වැඩ කරනවා ද නැත්නම් කම්හලක වැඩකරනවා ද යන්න තෝරාගත හැකියාව ඔවුන් ඉදිරියේ වූහ. කම්හල් වැඩ කරන්නට ඔවුන් රොක් වූයේ එය ඒකාකාරී වුවත් ගොවිපොළ රස්සාවන්ට වඩා වැඩි වෙහෙසකර නොවීමත්, එයින් ස්ථිර හා වැඩි පඩි ලැබුණ බැවිනි.

      //පොඩ්ඩක් පෙහැදිලි කරන්න ‘ධනේශ්වරය යන පංතිය’ නොවන ‘ධනවාදයෙන් මූලධනය උපයාගත අය’ ඉන්නේ කොහෙද කියල?// ලංකාවේ උපන් හැදී වැඩී එහිම මිය ගිය මගේ තාත්තා! පියා කුඩා කලම මිය ගිය තාත්තා කඩපේළියක වූ නිවහනක හැදී වැඩී සිය ජීවිතය ජයගත්තේ ස්වෝත්සාහයෙන්. මැද පෙරදිග ගොස් පත්තර කලාව සහ සුළු ප්‍රාග්ධනයක් උපයාගෙන ලංකාවට පැමිණියත් සේවය කළ ආණ්ඩුව විවේචනය කරන පත්තර කන්තෝරුවට සීල් වැදුණු පසු යළි කෙටි කලකට විදෙස්ගත විය. එවර ඉතාලියේ වැඩ කර තවත් සුළු මූලධනයක් සොයාගෙන ආවේය. සිය වෙහෙසේ ඵලදාව කැමැත්තෙන් මිල දී ගන්නා අයට විකුණා කිසිම ආණ්ඩුවකින් සහනාධාර ඉල්ලන්නේ නැතිව ජීවත් වී මිය ගිය එසේ ස්වාධීන වෙන හැටි අනුන්ට ද කියා දුන් ඔහු ලංකාවේ උපන් අසහාය මිනිසෙකි. එවැනි අසහාය මිනිසුන් අදත් ලංකාවේ සිටිති. රට බේරාගන්නට නායකයන් හොය හොයා සිටිනවා මිසෙක එවැන්නෝ අගය කරනවා තියා එවැන්නන් කවුදැයි හඳුනාගන්නට පවා බහුතරයකට නොහැකියාව ඛේදනීයයි!!!!!!

      ජේම්ස් හාග්‍රීව්ස්
      ජේම්ස් ජේ. හිල්
      ජෝන් ඩී. රොකෆෙලර්
      කොරනේලියස් වැන්ඩබිල්ට්

      බේගල් කියා නොව බේගල් හදා ජිවිතය ජයගත් මරේ ලෙන්ඩර්

      Tom Szaky නම් කුණු වලින් වුවත් මුදල් හම්බ කරන්න පුළුවන් යැයි පෙන්වූ ධනවාදියා.

      ස්ටීව් ජොබ්ස්

      ස්ට්‍රෝබෙරි දර්ශනයෙන් අලුතින් හදා නොව ඇති දේ විකුණා බිලියනපතියෙක් වූ පෙට්ථර්

      ටැබස්කෝ සෝස් හැදූ Edmund McIlhenny

      ඇමෙරිකන් කළු ජනතාව අතර කිහිප දෙනෙක්:
      වැඩියෙන්ම වේතනයක් ලබන ඇමෙරිකන් දැල් පන්දු (NBA basket ball) ක්‍රීඩකයා Kevin Garnett නැමති කළු ඇමෙරිකානුවෙකි. 2008-09 වේතනය පමණක් $24,751,934. පියා කළු ඇමෙරිකන් වන, මව අයිරිශ් ඇමෙරිකන් වන Jason Kidd 2008-09 වේතනය පමණක් $21,372,000. කළු ඇමෙරිකානු Jermaine O’Neal 2008-09 වේතනය පමණක් $21,372,000. කළු ඇමෙරිකානු Kobe Bryant 2008-09 වේතනය පමණක් $21,262,500. කළු ඇමෙරිකානු Shaquille O’Neal 2008-09 වේතනය පමණක් $21,000,000. ඔවුන් ලබනා දැන්වීම් මුදල් හා වෙනත් ඉපැයුම් වේතනයට වඩා වැඩිය.

      සෙරීනා විලියම්ස් අද දක්වා සිය කුසලතාවයෙන් උපයා ඇති මුදල් ප්‍රමාණය US$ 32,773,004 කි. ලෝකයේ කාන්තා ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ඉපැයුමක් ඇති කාන්තාව සහ ටෙනිස් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් අතරන් 4 වැනි වැඩිම ඉපැයුමකට හිමිකම් කියන්නේ කළු ඇමෙරිකානු ඇයයි.

      කළු ඇමෙරිකානු පියෙකුටත් තායිලන්ත මවකටත් දාව උපදින ටයිගර් වුඩ්ස් නැමති ගොල්ෆ් ක්‍රීඩකයා කුසලතාවය අතින් තවමත් ලෝකයේ most successful golfer of all time වෙයි. 2010 ජූලි මස ෆෝර්බ්ස් සඟරාව ලෝකයේ ධනවත් ම ක්‍රීඩකයා ලෙස ඔහු නම් කරයි. කුසලතාවයෙන් උපයා ගත් ආදායම මිලියන 105 ක් පමණ යැයි ඔවුන් කියද්දී මිලියන 90.5 ක් යැයි Sports Illustrated සඟරාව කියයි. මේ තෑගි මුදල් හා දැන්වීම් මුදල් ඇතුළු සියල්ලම ය. ඔහුගේ වයස 35 කි.

      ඇමෙරිකන් නිෂ්පාදනයේ නව සොයාගැනීමක් සඳහා patent බලපත්‍රයක් ලැබි ප්‍රථම කළු ඇමෙරිකානුවා එය රෙදි සෝදන ක්‍රමයක් සඳහා එය ලබා ගන්නේ 1821, මාර්තු 3 වැනිදා. නම: Thomas L. Jennings

      1834 ඔක්තෝබර් 14 වැනිදා ඇට වගා කරන ක්‍රමයකට patent බලපත්‍රයක් ලබන කළු ඇමෙරිකානුවා Henry Blair of Glenross. ඔහු 1836 අගෝස්තු 31 වැනිදා කපු වගා කරන ක්‍රමයකට ද එවැනි බලපත්‍රයකට හිමිකම දරයි.

      1870 පෙබරවාරි 22 වැනිදා “Dining, Ironing Table and Quilting Frame Combined” සඳහා patent බලපත්‍රයක් ලබන කළු ඇමෙරිකානුවා Thomas Elkins ය. ඔහුට “Chamber Commode” සඳහා patent බලපත්‍රයක් 1872 ජනවාරි 9 වැනිදා ලැබෙයි. ඔහු 1879 නොවැම්බර් 4 වැනිදා patent for a “Refrigerating Apparatus” for “food or corpses,” which provides a convenient container and method of chilling using the evaporation of water සඳහා ලබයි.

      බිස්කට් කපන උපකරණයක් නිපදවා patent බලපත්‍රයක් 1875 නොවැම්බර් 30 වැනිදා ලබන කළු ඇමෙරිකානුවා Alexander P. Ashbourne.

      සපත්තු මහන්නාගේ කැබිනෙට්ටුවක් නිපදවා 1880 පෙබරවාරි 3 වැනිදා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා Joseph W. Waller.

      බිත්තර ගහන “Egg Beater” නිපදවා 1884 පෙබරවාරි 5 වැනිදා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා Willis Johnson.

      කැබිනෙට්ටු ඇඳක් (පාවිච්චි නොකරන විට අල්මාරිය ඇතුලට දමත හැකි ඇඳ) නිපදවා 1885 ජූලි 14 වැනිදා patent බලපත්‍රයක් ලබන ප්‍රථම කළු ඇමෙරිකානු කාන්තාව Sarah E. Goode නැමත්තියයි. 1885 දී ලෝකයේ වෙනත් රටකින් කාන්තාවක් නිෂ්පාදනය කර අයිතියක් ලැබි දෙයක් ගැන දන්නවා ද?

      රේල් පාර සඳහා සංඥාවක් නිපදවීම වෙනුවෙන් patent බලපත්‍රයක් ලබන්නේ 1888 ජනවාරි 10 දා කළු ඇමෙරිකානු A.B. Blackburn.

      1887 සිට 1893 දක්වා patent බලපත්‍ර 5 ක් ලබන්නේ කළු ඇමෙරිකානු H. Creamer නැමැත්තා Steam Trap Feeder නිපදවීමෙනි.

      හිම දිය කරන්නක් නිපදවා 1890 මැයි 27 දා patent බලපත්‍රයක් හිමි කරගන්නේ කළු ඇමෙරිකානු F.J. Farrell විසිනි.

      ප්‍රථම කළු ඇමෙරිකානු බැංකු හිමියා ඇලබාමා ප්‍රාන්තයේ බැංකුවක් ආරම්භ කරන්නේ ඩොලර් දෙදාහක මුල්‍ය යොදවා 1890 ඔක්තෝබර් 15 වැනිදා ය.

      ධාන්‍ය බඳින “Grain Binder” ක්‍රමයක් සඳහා 1892 පෙබරවාරි 23 වැනිදා Peter D. Smith නැමති කළු ඇමෙරිකානුවා patent බලපත්‍රයක් ලබා ගනියි.

      1892 අගෝස්තු 13 වැනිදා වහල් සේවකයකු ව සිට පසුව නිදහස ලැබූ ඇමෙරිකානුවා John H. Murphy ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකන් පුවත්පත බල්ටිමෝර් හි ආරම්භ කරයි. ඔහුගේ පාඨක සංඛ්‍යාව එකල ලක්ෂයක් විය. අද දිනයේ ද පත්‍රයේ අයිතිය ඇත්තේ ඔහුගේ හතරවැනි පරම්පරාවේ ඥාතීන් ට ය.

      1894 ජනවාරි 8 වැනිදා කළු ඇමෙරිකානු Fredrick J. Loudin විසින් “Key Fastener” සඳහා ද 1892 දෙසැම්බර් 12 වැනිදා “Fastener for the Meeting Rails of Sashes” සඳහා ද patent බලපත්‍ර ලබා ගනියි.

      1896 පෙබරවාරි 4 වැනිදා කළු ඇමෙරිකානු Willie H. Johnson විසින් patent බලපත්‍රයක් ලබන්නේ “A Mechanism for Overcoming Dead Centers” සඳහා ය. 1898 ඔක්තෝබර් එය වැඩි දියුණු කිරීම නිසා ඔහුට තවත් patent බලපත්‍රයක් ලැබෙයි.

      1896 දෙසැම්බර් 8 වැනිදා දෙහි ගෙඩි (ලෙමන්) මිරිකන උපකරණයකට patent බලපත්‍රයක් ලබන්නේ J.T. White විසිනි.

      1897 පෙබරවාරි 2 වැනිදා අයිස් ක්‍රීම් බෙදන (scoop) සඳහා උපකරණයකට patent බලපත්‍රයක් ලබන්නේ Alfred L. Cralle නැමැත්තා ය. අද දිනයේ ද භාවිතා වන අයිස් ක්‍රීම් බෙදන උපකරණ ඔහු සොයාගත් මුල් උපකරණයට සමාන ය.

      1897 නොවැම්බර් 23 වැනිදා දුම්රිය පෙට්ටි එකට හප්පා එකට අමුණා ගැනීම සඳහා “Jenny coupler” නිපදවා patent බලපත්‍රය ලබන්නේ කළු ඇමෙරිකානු Andrew Jackson Beard විසිනි. ඒ සඳහා 1897 දී ඔහුට $50,000 ක් patent අයිතියෙන් ලැබිණ. ඔහුට ඇති අනිත් patents අතරට steam driven rotary engine සහ double plow අයත් වෙයි.

      පැන්සල් උල් කරන උපකරණයක් නිපදවා 1897 නොවැම්බර් 23 දා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා John Lee Love ය.

      1897 නොවැම්බර් 23 වැනිදා “Casting Composite or Other Wheels” සඳහා වැඩි දියුණු කිරීමක් නිසා patent අයිතියක් හිමිවන්නේ E.R. Robinson ය.

      1897 නොවැම්බර් 30 වැනිදා “Device for Rolling Cigarettes” සඳහා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා J.A. Sweeting.

      ගොල්ෆ් ක්‍රීඩාවේ ගොල්ෆ් බෝලයට පහර දෙන්නට පෙර තබන golf tee යන්නේ first U.S. patent අයිතිය හිමි වන්නේ 1899 දෙසැම්බර් 12 වැනිදා කළු ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයෙක් වූ George F. Grant ට ය.

      1923 නොවැම්බර් 20 වැනිදා මහා මාර්ග සංඥා ක්‍රමයක් නිපදවා patent අයිතිය හිමි කරගන $40,000 කට General Electric Corporation වෙතට තාක්ෂණය විකුණන්නේ කළු ඇමෙරිකානු Garrett Morgan විසිනි.

      1970 පෙබරවාරි 12 වැනිදා Joseph Louis Searles III කළු ඇමෙරිකානුවා New York Stock Exchange හි ප්‍රථම කළු ඇමෙරිකානු සාමාජිකයා වෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: