අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ සොයන ජයග්‍රහණය සඳහා ඔබ කුමක් කළ යුතු ද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2014

හෙට දෙන බියර් පොරොන්දු වෙන අය හැමදා ලොව බහුලව දකින්නට ලැබුණි. විශේෂයෙන්ම මැතිවරණ කාලයන් හි දී. නමුත් ඒ පොරොන්දු ඉෂ්ඨ කරනුයේ කෙසේදැයි පහදන අය ඉතා අඩුයි. ඒවා ඉටු නොවෙන බව දකිද්දී ඒ පාලකයන්ව පළවා හැරීම අසීරු බවත් දැනගන්නට ලැබේ. අන්තිමේ දී තමනට ජීවිතය බේරාගෙන වෙනතකට පළා යන්නට හැකි මාර්ග ද වැසී ඇති බව දැනගනිද්දී ඉපිද, ජීවත් වී, මිය යන්නේ ක්‍රියාවට නංවත නොහැකි ගජබින්නයක බව වැටහේ.

දූෂිත දේශපාලනය තුරන් කර සාධාරණ සහ යුක්ති ගරුක සමාජයක් පොරොන්දුවට ‘අපේ දැක්ම’ යොදාගෙන ඇත්තේ පිටු 38 ක් වුවත් දූෂණයෙන් තොර සාධාරණ හා යුක්ති ගරුක ජනතාවක් බිහිවෙන ආකාරය විස්තර කරදෙන්නට පිටු මහත් සංඛ්‍යාවක් ලියන්නට සිද්ධ වේ!!!!

ස්වභාවයෙන්ම වෙහෙසට අකමැති මිනිසා යමක් ක්‍රියා කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නවාට වඩා කෙටි පිටු සංඛ්‍යාවෙන් ලැබෙන සිත පිනා යන පොරොන්දුවෙන් සැනසීමට වඩා කැමැතියි!!!

දේශපාලන ක්‍රියාවලියෙන් සහ විද්වතුන් විසින් උත්සාහ ගත යුත්තේ රටේ සියල්ලන්ටම ඒ ඒ අයගේ සිතුම් පැතුම් හඹා යත හැකි ආර්ථික නිදහසක් ලබා දීමයි. නැතිව අනුන්ගේ සිතුම් පැතුම් අනුව ජීවත්වෙන මාර්ගයේ සියල්ලන්වම බලහත්කාරයෙන් යවන්න ගන්නා උත්සාහය නොවේ. පළමු උත්සාහය ලෝකයේ නැවත නැවතත් අතිශය සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති අතර දෙවැනි උත්සාහය නැවත නැවතත් අසාර්ථක ප්‍රතිඵල පෙන්වයි: නැගෙනහිර ජර්මනිය, කියුබාව, වර්තමාන වෙනෙසියුලාව.

වහල් ක්‍රමයක වාසය කරමින් ඒ වහල් ක්‍රමයෙන් ගැලවෙන්න විසඳුමක් සොයාගත් හැරියට් ටබ්මන් වැනි අය එදත් සිටියහ. නමුත් දේශපාලන බලයෙන් පෝෂණය වෙන ලෝකයක ඒබ්‍රහම් ලින්කන්ලා ගැන තෝරා බේරා ලියැවුන කොටස් පමණක් බැටළුවන් සේ දක්කාගෙන යන්නට පොවා තිබිය දී හැරියෙට් ටබ්මන්ලා ගැන දන්නේ ලොව අල්පයකි. ලෝක ආණ්ඩු විසින් සාධාරණත්වය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ නාමයෙන් පතුරුවා හරින අවුල් වලින් පෝෂණය වෙන වර්තමාන වහල් ක්‍රමයක් ද පවතී. ඒත් එදා මෙන්ම අදත් ඒවායෙන් ගැලවෙන විධි සොයාගන්නා අය සිටිති.

තමන්ගෙ ජීවිතය නිදහස් ලෙසින් ගෙවන්න කැමති අය ඒ සඳහා දැනටමත් ලොව බිහි වී ඇති නවෝත්පාදන වලින් වැඩ ගන්නා ආකාරය හඳුනාගත යුතුයි. අපට ලැබී ඇති Facebook වැනි තොරතුරු බෙදා ගැනීමේ විධි ක්‍රම, ඛාන් ඇකඩමිය වැනි හැට පැන්නත් රසායන විද්‍යාව වුවත් නොමිලේ ඉගෙන ගත හැකි අධ්‍යාපනයට ඉඩකඩ, යනාදියෙන් අපට අගාධයට යන පාරෙන් එකින් එක මිනිසා ගලවා ගන්නට යොදා ගත හැකියි. ලෙවියතන් රකුසාගෙන් ගැලවෙන්නට උත්සාහ ගන්නා අය නියැළෙන මාර්ග 50 ක් ගැන සටහනක් ඉංග්‍රීසියෙන් මෙසේ ලියා ඇත.

නිදහස කුමක්දැයි නොදන්නාවුන් කරන්නේ ඒවායෙන් අනුන් මිහිදන් කරන්නට වළවල් කැපීමයි. තමන්ව මිහිදන් කරන්නටත් මහා සූසාන භූමියක් හදන්නට බල ලෝභී දේශපාලනඥයන්ට එයින් තමන්ම අතදෙන බව ඒ අය වටහා නොගනිති.

අපි වෙනුවෙන් නීතිය ආරක්ෂා කරමින් යුක්ති ගරුක සමාජයක් ස්ථාපිත කරන්නට හැකි නායකයන් ඉල්ලා සිටිනවාට වඩා දැනටමත් ලොව බිහිව තිබෙන, නිදහස් ලෙසින් කටයුතු කරන්නට පවතින ඉඩකඩ, තමන් හඹා යන නිදහස උදෙසාම මේ දැන් පටන් පාවිච්චියට ගන්නට අවශ්‍යයයි. තම හිමිකම් මොනවාදැයි නොදන්නා කල සිද්ධ වෙන්නේ පාලකයා සුද්දා වුවත් සිංහලයා වුවත් “මාස්ටර් සර්, මට හිමිතැන මට දෙනවාදෝ” කියා පණ ගැහි ගැහී දණින් වැටී ඉල්ලීමට ය.

අනිත් අය වැරදි කරන නිසා තමන් ද ඒ වැරදි වලම නියැළෙන්නේ ද තමන් විසින් නිර්මාණයට අත දෙන්නේ කාලයක් යද්දී තමන්ටත් ජීවත්විය නොහැකි ලෝකයකි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on පෙබරවාරි 20, 2014 at 3:11 පෙ.ව.

    අපේ සමාජයේ බහුතරය කියවන්නේ වල්පල් පොත්, පත්තර, සඟරා. බලන්නේ වල්පල් රූපවාහිනී වැඩසටහන්, සහ සිනමා පටි. කතාකරන්නේ වල්පල්. දුවන්නේ සල්ලි හොයන්න. කන්නේ නොකෑයුතු දේවල්. මෙන්න මේ චක්‍රය කඩන්න ඕනේ කොතනින්ද?

    • arunishapiro said, on පෙබරවාරි 20, 2014 at 6:50 පෙ.ව.

      විචාරක,

      මේක චක්‍රයක් නෙමෙයි. මේක කාටවත් වෙනස් කළ නොහැකි වූ මිනිස් ස්වභාවය.

      මැදිහත්වීම් වැඩිවීම නිසා මනස අවුල් වී තමනට යහපත උදාවෙන්නේ මොනවායින්දැයි හොඳ නරක හඳුනාගත නොහැකි ජනතාව වැඩිවෙනවා. මැදිහත්වීම් අඩුවෙද්දී තම යහපත කුමක්දැයි තීරණයට හැකියාව ඇති ජනතාව වැඩි වෙනවා. ඒ නිසා අවශ්‍ය එකම දෙයයි: අනුන්ට වල්පල් වෙන්නේ මොනවාදැයි තමන් තීරණය කිරීමෙන් වැළකීමයි. තමන් අගනා යැයි සලකන දේවල් වැඩි වැඩියෙන් ලෝකයට නිෂ්පාදනයයි.

      ඔබ වල්පල් යැයි දකින්න අනෙකා එසේ නොදකියි. නිදහස් සමාජයක් යනු අයෙක් වල්පල් සේ දකින්නට මෙන්ම අයෙක් අගනා යැයි දකින්නට ද පරිභෝජනයට ඉඩප්‍රස්ථාව ඇති සමාජයකි. ඒ නිසා වල්පල් තුලින් ද බිහිවෙන්නේ අනගිත්වය සඳහා කැපවෙන අයට අවස්ථාවක් සහ එයින් සමස්ත සමාජයටම ලැබෙන ශක්තිමත් ආර්ථිකයකි. උදාහරණයක් ලෙස ඇමෙරිකන් කොමික් පොත් සහ පොප් සංගීතය දක්වන්නට පුළුවන්. ඒවායෙන් වෙනත් ක්ෂේත්‍ර ගණනාවක් දියුණු වූවා.

      ඕනෑම සමාජයක බහුතරය ඇදී යන්නේ සුළුතරය විසින් වල්පල් යැයි සලකන, කාලයෙන් කාලයට දකින ඒ ඒ රැල්ලටයි. ඒත් රටක ආර්ථිකය, රටක සංස්කෘතිය හෝ දැනුම ඉදිරියට ගෙන යන්නේ ඒ අය නෙමෙයි. අනගිත්වය කුමක්දැයි හඳුනාගෙන කවුරු මොනවා කිව්වත් ඒ වෙනුවෙන් වෙහෙසෙන අයයි. නමුත්, බල ලෝභී දේශපාලනඥයන් කරන්නේ තමන්ම දක්කා ගෙන යන පිරිස පෙන්වා ඔවුන්වම යහපත් මාර්ගයට ගන්නට අවශ්‍ය යැයි කියමින් දේශපාලනඥන්ට පමණක් කැඩිය හැකි අනෙක් සෙසු සියල්ලන්ම වැරදිකරුවන් වන නීති හැදීමයි.

      ලෝකයේ කට්ටියක් විසින් වල්පල් යැයි නිර්දේශ කරන ලද ඒවා සෙසු ජනතාවට තහනම් වූ රටවල කුමක් සිද්ධ වූවා ද?

      මැදිහත්වීම් අවම වූ වෙළඳපොලක දී එහි ගණුදෙනු කරන සියළුම මිනිසුන් විසින් ගන්නා තීරණ පෙන්වන්නේ ඔවුන් අගයන දැයයි. මිනිසුන් අතර බහුතරය අදට වඩා හොඳ යහපත් හෙට දවසක් පතන අය. ඒ නිසා කැමැත්තක් මිල දී ගන්නට නිදහස ලැබෙන වෙළඳපොල හැම විටම පෙන්වන්නේ අනගිත්වයෙන් වැඩි දේවල් නිෂ්පාදනය කරනවුන් වෙළඳපොල ජයග්‍රහණය ලබන හැටිත් අනගිත්වයෙන් අඩු දේවල් හදන අය බංකොළොත් වෙන හැටිත්.

      සල්ලි හොයන්න දුවනවා නම් ලොකු දෙයක්!!!! ඒත් ලංකාවේ අය අද දුවන්නේ සල්ලි උපයන්න නෙමෙයි, සල්ලි මංකොල්ල කන්නයි. සල්ලි උපයන හැටි දන්න අය හිඟයි!!!!

      අනුන් කන්න ඕනා හොඳ දේවල් මොනවාදැයි හැමෝම වෙනුවෙන් තීරණය කරන්න ගිය ලෝක ඉතිහාසයේ හැම රටකටම සිද්ධ වූයේ කන්න බොන්න හොඳ දේවල් ද කඩ රාක්ක වලින් අඩු වී ගිහින් නැත්තටම නැතිවීමයි. කෑ යුතු දේවල් සහ නොකෑ යුතු දේවල් මොනවාදැයි ඒ ඒ පුද්ගලයාට තීරණය කරන්න ඉඩදුන් වෙළඳපොලවල් හි දී කැමැත්තෙන් වස කන්න ස්වභාවයෙන්ම ඉදිරිපත් නොවෙන මිනිසා හොඳ නැති දේවල් වලින් තමන්ම අයින් වෙන්න දැනුමක් ලබාගත් බව පෙන්වනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: