අරුණි ශපීරෝ‍ වෙතින්

රාජ්‍ය බලය හා ක්‍රියාකාරීත්වය වෙනස් කළ යුත්තේ කෙසේද

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2014

රාජ්‍ය බලය හා රාජ්‍ය ක්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග යැයි ‘අපේ දැක්ම’ ගෙනහැර පා ඇත්තේ මෙතෙක් කාලයක් ලංකාවේ පැවති ක්‍රියාමාර්ගයන්ම වෙති.

අවම ආණ්ඩුවක් යන්න පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අඩුවීමෙන් හැදෙන ආණ්ඩුවක් යැයි ඔවුන් වරදවා වටහා ගෙන ඇත්දැයි සිතේ. මන්ද මෙය පුරවැසියෙකුගේ ජීවිතයේ හැම අදියරක දී ම ගන්නා තීරණ වලට දැඩි බලපෑම් කරන්නට ඇමතිවරුන් 25 කට රාජ්‍ය බලය දෙන ප්‍රතිපත්ති මාලාවකි.

අවම ආණ්ඩුවක් යැයි දේශපාලන ශාස්ත්‍රය සලකන්නේ ජනතාවගේ තෝරාගැනීම් වලට අවම වශයෙන් නීති රෙගුලාසි පනවන ආණ්ඩුවකි. හිට්ලර්ගේ ආණ්ඩුව අවම ආණ්ඩුවක් ලෙස නොසැලකෙන්නේ ඒ නිසයි!!!!

සිංහලයන් වැඩි පිරිසක් රටේ සමස්ත ජනගහණයේ සිටියදී, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදීන්ට නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය සුරැකෙන නව කෙටුම්පත් ජනමත විචාරණයකින් සම්මත කරගන්නට 1972 සිට මෙතෙක් නොහැකි වූයේ ඇයි?

රටේ සියල්ලන් විසින් ගරු කළ යුතු වූ, රටේ සියල්ලන්ටම එකසේ තරඟයකට ඉඩක් ලැබෙන, නීති කැඩුවාම එකසේ දඬුවම් හිමිවෙන, සරල නීති පද්ධතියක් ස්ථාපිතයට ඇති ප්‍රධාන බාධා මොනවා ද? එකක් රටේ මහා ජනතාව එහි සුළු ජනතාවට වඩා වරප්‍රසාද හිමිවිය යුතු වූවන් ලෙස සැලකීමයි. අනෙක ආණ්ඩුවකට තම පුරවැසියන්ගේ ජීවිත සමෘද්ධිමත් කරත හැකි යැයි රැවටී සිටීමයි.

සියල්ලන්ටම එකසේ පැනෙන නීති රිසි අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී චන්දයකින් රටේ පාලනය හෝ නීති සම්පාදනයට අවස්ථාවක් ලැබෙන්නට නම් එකසේ තරඟයට ඉඩක් ලැබෙන්නේ කෙසේදැයි වැඩි පිරිසක් වටහා ගැනීම සිද්ධ විය යුතුයි. වරප්‍රසාද ලැබිය යුතු අය කවුරුන්දැයි කිසිම පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් තීරණයට නොයෑමෙන් පමණක් එක හා සමාන තලයක දී කරන තරඟයට ඉඩක් හැමෝටම ලැබෙන බව වටහා ගැනීමට නම් එය කෙසේ සිද්ධවෙන්නේ දැයි, එනම් බෙදන හැටි නොව උපයන හැටි කියාදෙන පිරිසක් බිහිවිය යුතුයි. නමුත් එන්න එන්නම රටේ වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන්නේ මේ අය දන්නෙ නැතිවුනාට බෙදන හැටි අපි දන්නවා යැයි කියන පිරිස පමණකි.

සාධාරණව හා සමානාත්මතාවයෙන් යුතුව බෙදා දෙන තීරණ ගැනීමට ඥානය මෙතෙක් ලොව කිසිම පුද්ගලයෙකුට හෝ කිසිත් විද්වත් පිරිසකට තිබුණ බවක් පෙන්වන්නට නොහැකි නම් අනාගතයේ දී එවැනි පුද්ගලයෙක් හෝ විද්වත් පිරිසක් බිහිවේවි යැයි අපේක්ෂා කරන්නේ මොන සාක්ෂි දිහා බලා ද?

මෙතෙක් ගෙනෙන ලද එකම විදියේ උත්සාහයන් රාශියක අසාර්ථක ප්‍රතිඵල තඩි අලියෙක් මෙන් විසිත්ත කාමරයේ මැද හිටගෙන කන් සොලවමින් නැට්ට වනමින් හිටිය දී ඌ නොදැක්කා සේ ඒ අසාර්ථක ක්‍රමයේම තවත් කොපමණ කාලයක් ජීවත්වෙනවා ද?

ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නට නම් රාජ්‍ය බලය අවම කළ යුතුයි. රාජ්‍ය බලය අවම කරන්නට ඇමති මණ්ඩලය 25 කට සීමා කිරීමෙන් ඵලක් නැත. පාලකයන්ට රිසි වර්ගීකරණයක් අනුව රට්ටු කොටසකට තවත් කොටසකගේ වෙහෙස උදුරාගන්නට හැකි ප්‍රතිපත්ති නොහැදීමෙන් පමණක් රාජ්‍ය බලය ක්ෂය වෙයි. මන්ද මේ කොටස වෙතින් උදුරා අර කොටස වෙත බෙදා දෙන්නට හැකි රාජ්‍ය බලයක් කිසිවෙකුට නැත්නම් ඒ රාජ්‍ය බලය වැඩිකර ගැනීමෙන් ඇති ඵලය කිම?

පාරිභෝගිකයාට තමන් කැමති මිලකට ගතහැකි ඔහු මිල දී ගන්නට කැමති භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඉඩක් නොහොත් වෙළඳපොල තරඟයට ඉඩක් දීම අවහිර කරන්නේ තම රාජ්‍ය බලය වැඩි කරන්නට දත කන බලතණ්හාධිකයා විසිනි. ඒ පාරිභෝගිකයාව ආරක්ෂා කරනවා කියන බොරු පොරොන්දුවෙනි.

කොතරම් අවංක පාලකයෙකුට වූවත් රාජ්‍ය නීති රෙගුලාසි වලින් හා ගෙනෙන නියාමන වලින් පාරිභෝගිකයා ආරක්ෂා කළ නොහැකියි. පාරිභෝගිකයා ආරක්ෂා වෙන එකම ක්‍රමය ඔහු විසින් කරන නිවැරදි තෝරාගැනීම් වලින්ම පමණකි. පාරිභෝගිකයෙක් ලවා නිවැරදි තෝරාගැනීම් කරවන්නට සමත් වූ කිසිම පුද්ගලයෙක්, පිරිසක් හෝ ආණ්ඩුවක් ලොව බිහිවී නැත. මන්ද අයෙකුට නිවැරදි වූ දේවල් මොනවාදැයි තීරණයට සමත් තවත් අයෙක් ලොව නොමැති නිසයි.

ලංකාවේ ජනතාව නොයෙක් පුද්ගලයන් ගෙන් ප්‍රතිකාර ගන්නට පුරුදු වී සිටීමත්, ඒ නිසා අද්වීතිය වෙදෙක් හැටියට සේවා සපයන එලියන්ත වයිට් රටේ ප්‍රභූ පැලැන්තියේ ප්‍රසාදය දිනාගෙන සිටීමත් නිසා වෙන්නැති අපට යක්කු පන්නන්න දැරියක් පිළිස්සු කට්ටඬි ගුරා ගැනත් 2014 දී අහන්නට ලැබෙන්නේ. මෙය එක අසාමාන්‍ය වූවක් හෝ කලාතුරකින් සිද්ධ වන්නක උදාහරණයක් යැයි අයෙක් කියන්නට පුළුවනි. එහෙත් මෙවැනි අසාමාන්‍ය සිද්ධියක් දැනගන්නට ලැබෙද්දී ලැජ්ජාව හා බිය නිසා ඒ හා සමාන වූවත් වාර්තා නොකරන දුක්ඛිත සිද්ධීන් සංඛ්‍යාව කොපමණ ද?

මෙයින් පෙන්වන්නේ පුරවැසියාට තමන්ට සහ තම දරුවන්ට සුදුසු නිවැරදි ප්‍රතිකාර මොනවාදැයි කියා විචාරයට ඇති හැකියාව 2014 දී වැඩි වර්ධනය වී ඇති බව ද? නැත්නම් විචාරයට හැකියාව පුද්ගලයා වෙතින් 2014 වෙද්දී තුරන් වී ගොස් ඇති බවක් ද?

වසවිෂ පිරි ආහාර වෙළඳපොල අරක් ගෙන ඇති බව ලංකාවේ පත්තර වලින් නිතර කියවන්නට ලැබේ. ඒ වසවිෂ සියල්ල රටට බලහත්කාරයෙන් ඇවිත් පුරවැසියන්ගේ ආහාර වලට රිංගා ගැනීම නවත්තන්නට බැරි ආණ්ඩුවක් මෙතෙක් පුරවැසියාට ලැබුනේ නැත්නම් ඉදිරියේ දී ලැබෙන්නේ කොහොමද?!!!

වෙළඳපොලේ මිල දී ගතහැකි සෑම භාණ්ඩයක් හා සෑම සේවාවක් ගැනම සැකයක් ඇති කරගන්නට, ඒවා ගැන දීර්ඝ වශයෙන් සොයා බලන්නට, ඒවා ගැන සත්‍යය කියන්නන් හා අසත්‍ය පතුරවන්නන් අතර වෙනස දැනගන්නට, තවත් විදියකින් කිව්වොත් භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම හිතන්නට හැකියාවක් බිහිවෙන්නේ ආණ්ඩුවක් විසින් ආරක්ෂිත ඒවා පමණක් වෙළඳපොලට දමන්නට ඉඩදෙනවා සහ අනාරක්ෂිත ඒවා ඉදිරිපත් කරන අයට දඬුවම් දෙනවාය කියන ප්‍රෝඩාවෙන් අයින් වූ පසුවයි. අවම ආණ්ඩුවක් යනු එවැනි පුරවැසියන්ගේ තෝරාගැනීම් වලට ඇඟිලි ගැසීම් අඩුවෙන් කරන ආණ්ඩුවකි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on මාර්තු 3, 2014 at 2:56 පෙ.ව.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවට ගිහින් තියෙන්නේ ආණ්ඩුව නැතිව කිසිම දෙයක් කර ගන්න බෑ කියන මතය.පුදුම වැඩේ කියන්නේ එහෙම තියාගෙනත් මිනිස්සු දේශපාලන ඇඟිලි ගැහීම්,නිලධාරීවාදය ගැන එකෙනෙකාට චෝදනා කර ගැනීම.ඊටත් වඩා හිතාගන්න බැරි දේ තමයි එහෙම තියාගෙනත් තව තව ආණ්ඩු මැදිහත් වීමක් වෙනුවෙන් ජනතාව ඉල්ලුම් කරන එක.

    උදා:- මේකට රාජ්‍ය මැදිහත්වීමක් ඕනේ.රජයෙන් ආධාරයක් ඕනේ.සහතික මිලක් ඕනේ.

    මේක වෙනස් කරන්න බැරි නෑ.ඒත් වෙනස් කරන්න හදන මිනිස්සුත් අන්තිමේදී එතනම නතර වෙනකොට ඒකට ප්‍රතිපත්ති හදනකොට මොකක්ද කරන්නේ?

    • arunishapiro said, on මාර්තු 3, 2014 at 4:43 ප.ව.

      magenama,

      නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපන ක්‍රමය බැටළුවන් මෙන් දක්කාගෙන යන්නට පුරවැසියාගේ මනස හැඩගස්සවලා තියෙන්නෙ විදිය තමා. අපේ ගුරැවරු පෙව්ව විදියටම බීලා අපිත් අනිත් අයට අකුරක් අත හරින්නෙ නැතිව ඒ නෝට්ස්ම ලියාගෙන ගිරව් වගේ කටපාඩම් කරලා විභාග පාස් කරන්න යවනවා නම් කවදාවත් වෙනසක් ඇති වෙන්නෙ නැහැ.

      //ඒත් වෙනස් කරන්න හදන මිනිස්සුත්// එතැනම හිරවෙන්නේ ‘අපේ දැක්ම’ කියනවා වගේ හැමදාම ඉහළ සිට පහළට යන ක්‍රමයකින් හැකියාව ඇතැයි සිතන නිසයි.

      ඉතින් රට හදන්න කියමින්, ජනතාව දැනුවත් කරන්න කියමින් ‘නායකත්වය’ හොයන එක නවත්තලා පහළ සිට ඉහළට පණිවිඩය යවන්න පටන් ගන්න ඕන.

      දේශපාලනයේ නියැළෙන්නෙ නැතිව, දේශපාලන නායකයෙක් හොයන්නෙ නැතිව, මම තමයි මගේ නායකයා කියන තම පාරිභෝගික බලය තමන් අත ඇතැයි දකින්නට අවශ්‍ය දැනුම අපිට හැකි පමණින් සෙසු පුරවැසියන්ට බෙදීම පටන් ගත යුත්තක්. දන්න අය ඒ වගකීම බාරගන්න ඕන.

      ප්‍රජාතන්ත්‍රවාදයක දී වැඩි ජනතාවක් දියුණුව සිද්ධ වෙන්නේ කොහොමදැයි දැනුවත් වෙද්දී (මිනිසා හැම විටම තම දියුණුව සොයා යන්නෙක් නිසා) වැඩි ජනතාවකට දියුණු වෙන්න පුළුවන්.

      Kal's cartoon 3 1 2014


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: