අරුණි ශපීරෝ‍ වෙතින්

අපේ දැක්ම නොදකින මිනිස් ස්වභාවය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 6, 2014

Newcomen_atmospheric_engine_animation

තමන් මානව හිතවාදීයෙක් යැයි හඳුන්වා ගන්නා අයෙක්, අනුන්ගේ ධනය බලහත්කාරයෙන් උදුරා ගැනීමට පක්ෂපාතීවීම වරදක් සේ නොදකියි. රතු රෝස මල් පොකුරක් සමඟින් අනුන්ගේ ඩොලර් බිලියනක් තෑගි කරන්නට සහ තවත් ආධාර මග එනවා යැයි පොරොන්දු වෙන්නට ඇමෙරිකාවේ විදේශ ලේකම් පසුගියදා යුක්රේනයට ගියේය. ඒත් ඔහු කිසිවිටෙක පූටින්ගේ දැක්ම තමන් ද අල්ලාගෙන සිටින දැක්ම බව පිළිගනු නොමැත.

කාල් මාක්ස් කපිතාල් (ප්‍රාග්ධනය) නමින් ලියූ පොතේ සහ ඔහු ලියන ලද අනෙකුත් ලියකියැවිලි හි ඔහු ගෙනෙන ප්‍රධාන මූල ධර්ම දෙකක් දකින්නට ලැබේ.

ඉන් එකක් ඔහු හෙගල් නම් ජර්මන් දාර්ශනිකයා වෙතින් ලබාගත්තකි. දාර්ශනික රජෙක් ගැන සිහින මැව්ව ග්‍රීක ප්ලේටෝ මෙන් හෙගල් ද සත්‍ය ඉතිහාසය ලෙස සැලකුවේ අදහස් වල ඉතිහාසයයි. හැම අදහසක්ම මුලින් ඇතිවෙද්දී එය සත්‍යයක් සේ පෙනෙන අතර අනතුරුව එය නිශ්ප්‍රභා වී දෙවැනි අදහස ඒ මුල් ස්ථානය ගනියි.

අදහස් දෙකක් මුහුණට මුහුණ ලා සිටිය දී ඇතිවෙන ගැටුම නැත්නම් අයිඩියලොජිකල් සටන නිසා තුන්වැනි සුපිරි අයිඩියා එකක් අර මුල් දෙකේ සහවාදයෙන් බිහිවෙයි.

මේ හෙගලියානු දාර්ශනික සංකල්පය කියවන මාක්ස් හිතන්නේ අදහස් පිළිබඳව මේ සංකල්පය සත්‍යයක් වෙනවා නම් එය අර්ථ ශාස්ත්‍රය ගැන ද සත්‍යයක් වේ යැයි කියාය.

දයලෙක්තික භෞතිකවාදය ඉදිරිපත් කරන මාක්ස් ප්‍රධාන ආර්ථික බලයන් දෙකක් හඳුන්වා දෙයි: ප්‍රාග්ධනය සහ ශ්‍රමය. ඔහුට අනුව සෑම සමාජයකම ප්‍රාග්ධනය හිමි අය විසින් ශ්‍රමික පංතිය සූරා කන්නට සැලසුම් හදති. එහෙත් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමිකයන් නැතිව උපයන්නට නොහැකි නිසා ඔවුන් අතර ගැටුමක් ඇතිවේ යැයි ඔහු කියයි.

ශ්‍රමය පමණක් හිමි කම්කරුවන්ට ලැබෙන්නේ ප්‍රාග්ධන හිමියන් සුදුසු යැයි තීරණය කරන ප්‍රමාණය පමණක් යැයි කියන මාක්ස් ඒත් මේ කම්කරු පංතිය නැතිව ප්‍රාග්ධන හිමියන්ට ධනපතියන් වෙන්නට නොහැකි නිසා කම්කරු පංතිය එන්න එන්න විශාලත්වයෙන් සහ ශක්තියෙන් වැඩිවෙන බවත් කියයි. එහෙම ගිහින් කම්කරු පංතිය ප්‍රාග්ධන හිමි පංතියට වඩා බලවත් වෙති.

එහි දී සිද්ධ වෙන්නේ ඵෛතිහාසික ක්‍රියාවලියේ දී නොවැළැක්විය හැකි ඉරණමයි.

කම්කරුවන් නැඟී ඇවිත් ප්‍රාග්ධන හිමියන් තමන්ගේ මල්ල පුරවාගන්නට හදා තිබුණ ආණ්ඩුව බිඳ හෙලති. ඒ වෙනුවට වැඩකරන මිනිසාගේ ආණ්ඩුවක් පිහිටුවති. දේපල අයිතිකරුවන් සටන් නොවැදී තම දේපල අත්හරින්නේ නැති නිසා මෙය අනිවාර්යෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් යුතු ගැටුමක් යැයි මාක්ස් කියයි.

මෙහි දී හැමවිටම ජයග්‍රහණය කරන්නේ කම්කරුවන්ලු!!! 😀 😀

සියළු දේපල අයිතිය තම පාලනයට ගන්නා ජාත්‍යන්තර කම්කරු ප්‍රජාවක් විසින් ආණ්ඩුව ද අහෝසි කර අනතුරුව මානවහිතවාදීව ලෝකය යහපත් මිනිස් සංහතියක් බවට පත්කරනවාලු!!!! 😀 😀 😀

ලෝකය භෞතික වූවක් යැයි කියන මාක්ස් ඒත් “නොවැළැක්විය හැකි ඉරණමක්” ගැන කියමින් දෙවියන් වෙනුවට මිනිසුන්ව මෙහෙවන්නේ ‘ආර්ථික බලයක්’ තුලින් යැයි සිතන අවුලක පැටලී සිටින බව පෙනේ.

මාක්ස් නොදකින, ‘අපේ දැක්ම’ නොදකින, සත්‍යය මිනිස් ස්වභාවය කුමක් ද?

ආර්ථික බලයක් මිනිසාව මෙහෙයවීම මිනිසාගේ නොවැළැක්විය හැකි ඉරණම යැයි සිතන අය, සියල්ලන් දුවන්නේ පසුම්බි පුරවා ගන්නට යැයි සිතති. යම් අයෙක් ඔහුගේ කැමැත්තෙන් මුදල් හඹා නොයන ජීවිතයක් ගෙවන්නට තෝරා ගැනීමක් කරාවි යන්න පිළිනොගනියි. ශ්‍රමය වෙහෙසන්නේ නැති හිඟන ජීවිතය තෝරාගැනීමට සියල්ලන්ගේම යහපත උදෙසා ශ්‍රමය වෙහෙසිය යුතු යැයි කියමින් ඉඩක් නොදෙති. අනුන්ගේ පවුල රකින්නට තමන් වෙහෙස විය යුත්තේ මන්දැයි හිතන මිනිස් ස්වභාවය, වෙනස් කරන්නට බැරි තත්වයක් හමුවේ වෙනතක යාවි හෝ කම්මැලියෙක් වේ යැයි නොසිතති.

තමනට එරෙහි වූ පරිසරය හා අනෙකුත් භෞතික දේවල් වලට මුහුණ පාද්දී මිනිසා කරන්නේ කුමක් ද?

ඒවාට තමන්ට බලපෑම් කරන්නට ඉඩ දී බලා සිටීම ද? නැත්නම් වෙනස් කරන්නට ක්‍රම හොයා ගැනීම සහ වෙනස් කරන්නට බැරි තත්වයන් හමුවේ වෙනතකට යාම ද?

මිනිස් ස්වභාවය යනු පවතින තත්වයන් යටතේ ඒවාට නතුව සිටීම නොව වෙනසක් ඇතිකරන්නට ක්‍රියාවක් ගන්නට සමත් ස්වභාවයක් බව වටහා නොගැනීම මාක්ස්ට වැරදුන තැනයි.

18 වැනි සියවසේ දී වෙනසක් ඇතිකරන ක්‍රියා ඕපපාතිකව ලොව බිහිවිය.

කාර්මික විප්ලවය යැයි දැන් අප හඳුන්වන්න තුලින් ඒ ක්‍රියාවන් හටගති. 1712 දී තෝමස් නිව්කොමන් නම් වූ යකඩ තලන්නාගේ ස්වාධීන වෑයම හුමාලයෙන් වැඩකරන ඇන්ජිම (සටහනේ පින්තූරය), 1733 දී ජෝන් කේ නම් වූ රෙදි වියන්නාගේ පියාඹන තසරය (flying shuttle), සහ 1764 දී ජේම්ස් හාග්‍රීව්ස් නම් රෙදි වියන්නාගේ නූල් ඔතන යන්ත්‍රය යනාදිය හේතුවෙන් එකින් එක හදන භාණ්ඩ වෙනුවට භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර නිපදවන හැකියාව ලොවට මුල් වතාවට ලැබුණි.

රජුන්ට, රදළයන්ට, පූජ්‍ය පක්ෂයට යටත් වී යුද ආක්‍රමණ වලින්, වහල්කමෙන්, පරලොව සැප පොරොන්දුවෙන් වුවත් මෙතෙක් ඉතිහාසයේ රටේ සියල්ලන්ගේ සමෘද්ධිය සඳහා කියමින් ගත් වෑයම් සාර්ථක නොවූවත්, තනි තනිවම වෙහෙසීමෙන් සිය සමෘද්ධියත් ඒ නිසාම තමන්ට නොහැකි භාණ්ඩ නිෂ්පාදනය කරන අනෙකුත් අය හා වෙළඳාමෙන් සියල්ලන්ගේම සමෘද්ධියත් පාදා ගන්නට හැකියාව ඇතැයි ඔප්පු වන්නට පටන් ගෙන තිබුණි.

තමන් කැමති දෙයක් නිෂ්පාදනය කරන්නේ ද, එය මිල දී ගන්නට කැමති අයෙක් ඉදිරිපත් වෙන්නේ ද, එවිට දෙදෙනාගේම ජීවිත තිබුණාට වඩා යහපත් කරගන්නට ලැබෙන බව ලෝක වාසීන් මේ ජීවිතයේ දී ම භුක්ති විඳින්නට පටන් ගත්හ.

එහෙත් තව දුරටත් රජුන්, රදළයන් හෝ පූජ්‍ය පක්ෂ විසින් බෙදන හැටි ගැන තීරණ දෙන්නට අවශ්‍ය නැති බව බහුතරයකට අවබෝධ කරගන්නට ඉඩක් නොලැබිණ.

පටන් ගෙන තිබි කාර්මික විප්ලවය නොදැකි මාක්ස් විසින් ගෙනෙන ලද, මිනිසා සෑම විටෙකම ශ්‍රමිකයන් සහ ප්‍රාග්ධන හිමියන් යන පංති දෙකෙන් එකකට අයත් වෙන සහ ඔවුන් අතර ගැටුමෙන් හැමවිටම කම්කරුවන් ජයගැනීම නොවැළැක්විය හැකි ඉරණම යැයි මුලාව හැම අත පතුරවා ජනතාව පාලනය කරන බලය අල්ලාගන්නට රිසි බලතණ්හාධිකයන්ට හැකිවිණ.

අධ්‍යාපනය හා තොරතුරු බෙදා හැරීම බලතණ්හාධිකයන් අතට වැටුනාම ලෝකයේ බහුතරයට එදා මෙන්ම අදත් ප්‍රාග්ධනය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැත.

ඉතින් කෙටියෙන් කිව්වොත්, “අපේ දැක්ම” කියා බෙදුවාට මම නොදකින දැක්මක් බලහත්කාරයක් නැත්නම් මගේ දැක්ම බවට පත් නොවෙන්නේ මිනිස් ස්වභාවය නිසයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මාර්තු 6, 2014 at 10:55 ප.ව.

    අලුතෙන් හිතා බලන්නට අවස්ථාව ලැබීම විශාල සතුටක් ඔබේ ලිපිය මහඟු අත්වැලක් ගොඩක් ස්තුතියි

  2. Pradeep Dissanyk said, on අප්‍රේල් 7, 2014 at 9:06 ප.ව.

    නෝනා දිගටම පල් බොරු කිය කිය යනවනෙ.මගෙ පිලිතුරු පල කරනව නම් ඔබතුමී මෙතන කරල තියෙන වංචාවත් මට පෙන්නලදෙන්න පුලුවන්.

  3. Mahinda said, on පෙබරවාරි 6, 2017 at 10:34 පෙ.ව.

    අරුණි මියගේ සටහන් බොහෝ නිවැරදි වුවත් 18 වන සියවසේදී යුරෝපයේ දී ඇතිවූ පුනරුදය ඕපපාතිකව බිහිවූවක් බව කියා සත්‍ය යටපත් කිරීම බරපතල වරදකි. මාටින් සහ ලූතර් යන පූජකවරුන් ප්‍රොතෙස්තන්ත්‍රවාදී ධර්මය යුරෝපය පුරා ප්‍රචාරය කිරීමේදී මහන්සියෙන් මුදල් හමිබ කරන්න. එසේ නොවන්නා දෙවියන් පිළි නොගනී. තමන් උපයන මුදල් නිසා අන් අයටද යහපතක් වේ යැයි දේශනා කරන ලදී. එ් නිසා 18 වන සියවසේ නව කර්මාන්ත ආරම්භ වන්නේ එබැවින්ය. අපේ දැක්ම මා කියවා නැත. මට එය තේරුම් ගැනීමටද අවශ්‍ය නොවේ. නමුත් මාටින් හෝ ලූතර්ගේ ප්‍රොතෙස්තන්ත්‍ර ධර්මය ජනතාව විස්න් ඇහුම් කන් දුන්නා වගේ මාක්ස්ගේ දර්ශනයද ජනතාව විශ්වාස කරාවි යැයි, මාර්ක්ස් සිතන්නට ඇත. එසේ සමාජයද වෙනස් වෙතැයි මාක්ස් සිතන්නට ඇත.

    • arunishapiro said, on පෙබරවාරි 6, 2017 at 12:58 ප.ව.

      Mahinda,

      // 18 වන සියවසේදී යුරෝපයේ දී ඇතිවූ පුනරුදය ඕපපාතිකව බිහිවූවක් බව// ලියමින් ඉහත මගේ සටහනේ නැති දැයක් ලියන්නේ ඔබයි.

      මා ලියා ඇත්තේ මෙසේය:

      //18 වැනි සියවසේ දී වෙනසක් ඇතිකරන ක්‍රියා ඕපපාතිකව ලොව බිහිවිය.

      කාර්මික විප්ලවය යැයි දැන් අප හඳුන්වන්න තුලින් ඒ ක්‍රියාවන් හටගති. //

      පුනරුදය (14-17 සියවස) සහ “කාර්මික විප්ලවය යන හැඳින්වීම” (18 වැනි සියවස) එකම සිද්ධිය නොවේ.

      පුනරැදය ඇති වී එහෙත් කාර්මික විප්ලවය හටගන්නට පෙර යුරෝපයේ වූයේ වැඩවසම් නීති රීති සම්ප්‍රදායෙන් පුද්ගලයා පීඩනයට පත් වූ නිෂ්පාදන සංස්කෘතියයි. රදළයන්ගේ කර්මාන්ත සහ වගාබිම් කරගෙන ගිය ප්‍රවේණි ශිල්ප ක්‍රමය හැරෙන්නට වෙන රැකියා මාර්ග නොතිබුණු යුගයයි. සාගතයෙන් මිය ගිය මිනිසුන් සිටි යුගයයි.

      පුනරැදය ඇති වීමෙන්, මාටින් ලුතර් විසින් ජන ජීවිතයට එල්ල වී තිබූ රෝමානු කතෝලික පල්ලියේ ආධිපත්‍යය අඩු කරමින් ජනතාවට ඍජුවම දෙවියන්ට කන්නලව් කරන මාර්ග පාදා දුන්නාට ජනතාව අතර ප්‍රාග්ධනය ගොඩනැඟෙන ඉඩකඩකට ඉඩක් ලැබුනේ නැහැ. මිනිස්සුන්ට වෙහෙසෙන්න කිව්වාට මදි, මුදල් උපයමින් ප්‍රාග්ධනයක් හදාගන්න ඉඩකඩක් නැතිවිට දී සමාජයක ප්‍රගතියක් සිද්ධ වෙන්නේ නැහැ.

      එදා කාල් මාක්ස් මෙන්ම අද මාක්ස්වාදීන් කියාගන්නා අයත් තවමත් අවබෝධ කර නොගන්නේ මෙයයි.

      කාර්මික විප්ලවය කියන්නේ එදා ඒ කන්න බොන්න ඉන්න නැතිව උන්න ජනතාව වැඩිවෙද්දී, එදා යුරෝපීය ආණ්ඩු සහ ආගමික පල්ලි සියල්ලම කරකියා ගන්නට නොහැකිව සිටිය දී, ආණ්ඩු විසින් ගෙනාපු “දුප්පත් නීති” වැනි උත්සාහ නිසා ජනතාව තව තවත් පීඩාවට පත්වෙද්දී, (හොයාගෙන බලන්න Jean-François Millet වැනි කලාකරුවන් අතින් Gleaners වැනි කලා නිර්මාණ) ඒ සමාජයේ අසරණම කොටස වෙනුවෙන් ඒවා සපයන්න නව මාර්ග සොයාගෙන ස්වාධීන උත්සාහ ගත්ත අයගෙන් ඕපපාතිකව බිහිවූ වෙනසයි.

      එදා සමාජය ගැන වැරදි නිරීක්ෂණයක් කරමින් මාක්ස් වැරදි බෙහෙතක් නිර්දේශ කරන ලදි. මෙය අවබෝධ කර නොගන්නා අය තවමත් එම වැරදි නිරීක්ෂණයම කරමින් එම වැරදි බෙහෙතම නිර්දේශ කරති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: