අරුණි ශපීරෝ‍ වෙතින්

ඉංජිනේරුවන් හා අනුන්ට ප්ලෑන් හදන අය නොදකින දෙයක්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 8, 2014

අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සකස් වෙන්නේ මාක්ස් සිට මෙතෙක් මාක්ස්ගේ අදහස් සාධාරණීය කරන්නට උත්සාහ ගන්නා සියල්ලන්ම තවමත් අල්ලා ගෙන සිටින මතවාදයෙන්. ඔවුන් සියල්ලන්ටම අනගි පරමාර්ථ ගැන පාරට්ටු බාන්නට හැකිය. එහෙත් ඔවුන් කිසිවෙකුට ඒවා ඉෂ්ට කරගත හැකි ආකාරය පහදන්නට තවමත් නොහැකිය.

ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියා හැමදාම අරගලයක ගැටෙනු ඇතැයි කියමින් ශ්‍රමිකයාගේ නොවැළැක්විය හැකි ජයග්‍රහණය උදාවන සමාජවාදී සමාජයක් ගැන සිහින මවන අය ලොව බහුලව සිටිය දී කාර්මික විප්ලවයෙන් ඉඩක් ලැබුණු ධනවාදී ආර්ථික ක්‍රමය ශ්‍රමිකයන්ගේ ජීවිත ලොව එතෙක් නොවි විරූ ලෙසකින් සැප සම්පත් වලින් පුරවන්නට සමත් විය. වැඩවසම් යුගයේ උප්පත්තියෙන් ශ්‍රමිකයා වෙතැයි නීතියෙන් හඳුන්වා දුප්පත් බැවින් හිරකර තබන ලද්දා කාර්මික විප්ලවයේ දී නිදහස් වී ප්‍රාග්ධන හිමියෙක් වන්නට හැකියාව ලැබුවේ මාක්ස් නිසා නොව කිසිවෙක් නායකත්වයක් නොගෙන ඕපපාතිකව ලොව පහළ වූ ධනවාදී ආර්ථික ක්‍රමයේ නිදහස් වෙළඳපොල නිසයි.

සෝවියට් විහිළුවක්: යූරි ගගාරින්ගේ දුව නාද වෙච්ච දුරකතනයට පිළිතුරු දෙනවා. “මමීයි ඩැඩීයි ගෙදර නෑ,” ඇය කියනවා, “ඩැඩී කක්ෂය වටා ගමන් කරනවා, එයා රාත්‍රී හතට ආපසු එනවා. මමී ගිහින් ගෙදරට අවශ්‍ය ආහාර පාන මිල දී ගන්න, ඉතින් එයා කොයි වේලාවට ආපහු ඒවිදැයි කවුද දන්නෙ.”

ඉංජිනේරුවන් හා අනුන්ට ප්ලෑන් හදන අය එදත් අදත් මිනිස් ස්වභාවය කුමක්දැයි විමසීම සහ එයට වැදගත්කමක් දීම අතපසු කරති. ඊට හේතුව ඔවුන්ගේ අධ්‍යාපනය හැඩගැසී තිබෙන ආකාරය නිසා යැයි පෙන්වා දුන්නේ ෆෙඩ්රික් හයෙක් විසින්.

මේ ගැන තව කියවන්න කැමති අයට: ෆෙඩ්රික් හයෙක් විසින් ඉංජිනේරුවන් සහ අනුන්ට ප්ලෑන් හදන අය නොදකින පැත්ත ගැන ලියූ ලිපිය මෙතැනින්.

ඉහත සෝවියට් විහිළුවෙන් කියන්නෙ ගැඹුරු සත්‍යයක්: ගගනගාමියෙක්ව කක්ෂයට යවලා ආපහු පෘතුවියට ගෙන්වා ගැනීම ඉංජිනේරු ගැටළුවක්. ගණිතයෙන් ඒ ගැටළු විසඳලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නැවත නැවතත් ඒ විදියටම ලබාගන්න හැටි ගැන මිනිසා පර්යේෂණ වලින් අත්හදා බලා තියෙනවා. ව්‍යවහාරික භෞතික විද්‍යාව සහ ඉංජිනේරු ශාස්ත්‍රය හැදෙන්නෙ මේ සොයාගැනීම් වලින්. යුරී ගගාරීන්ව අජටාකාශයෙන් ආපහු ගෙන්වා ගන්න 1850 දී නොදත්තාට එය 1961 දී විසඳාගත හැකි වූවක් බවට පත්වෙනවා.

ඒත්, ආර්ථිකයක් මෙහෙයවීම ඉංජිනේරු ගැටළුවක් නෙමෙයි. ආර්ථික ගැටළු විසඳන සරල ගණිත සමීකරණ නැහැ. ඒ නිසයි ගගාරින්ගේ බිරින්ඳෑ ආපහු එන්නෙ කොයිවේලාවේ දැයි අවිනිශ්චිත. මෙයින් කියන්නෙ ගෑණු බඩුගන්න ගියාම කරන කාලේ නාස්තියක් ගැන නෙමෙයි.

සෝවියට් විහිළුව සෝවියට් සැලසුම්කරණය ගැනයි. සෝවියට් අය මාක්ස්ගේ ශ්‍රම සූරාකෑම පිළිගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම රජයට පැවරූ නිසා වෙළඳපොලේ මිල විසින් කරන වැදගත් කාර්ය භාරය නැවතුණා. ඉතින් බඩු හිඟය සහ දිග පෝලිම් පටන් ගත්ත. එවක තමනට අවශ්‍ය නැති බඩුවක් පවා රාක්කයට එනවා නම් මිනිසුන් මිල දී ගත්තේ ඒක පස්සෙ විකුණාගන්න නැත්නම් තමන්ට අවශ්‍ය වෙන බඩුවකට මාරු කරගන්නට හැකියාව ලැබේවි අපේක්ෂාවෙන්.

ඒ වුනත් සැලසුම් නොකරන ලද ආර්ථිකයක දී, බඩුවක් ගන්න කඩේ යෑම හරියට ගගනගාමියෙක්ගේ අජටාකාශ ගමන් වගෙයි. අවශ්‍ය ඇණය ගන්න තියෙන්නෙ මොන කඩයේ ද කියා පාරිභෝගිකය දන්නව. බඩුව ගන්න මොන පාරෙන් මොන කඩයට ද යන්නෙ කියලා සහ කඩේ ඇතුලේ බඩු රාක්කයට යන ඉතාමත් කෙටි පාර මොකක් ද කියන එක ඒත් ඉංජිනේරු ගැටළුවක්.

රාජ්‍ය මැදිහත්වීම් අඩු වෙළඳපොලක දී හැම විටෙකම ගන්න හැකියාව ලැබෙන භාණ්ඩ හා සේවා මිල තීරණය වෙන්නෙ සියළු පාරිභෝගිකයන් විසින් කැමැත්තෙන් කරන ගණුදෙනු වලින්. රාජ්‍ය මැදිහත්වීම් වැඩි වෙද්දී බඩු කඩේ රාක්කයෙන් අතුරුදහන් වෙනවා. රාජ්‍ය මැදිහත්වීම් අඩුවෙද්දී ලෝකෙ ඕනෑ තැනක සිට වෙන ඕනෑ තැනකින් අන්තර්ජාලයෙන් ‘යක්කු ගස් නඟින වේලාවටත්’ බඩු මිල දී ගන්න පුළුවන්!!!

සෝවියට් රුසියාවේ, නැගෙනහිර ජර්මනියේ ජනතාව එදා පාන් නැහැයි කියලා ආණ්ඩුවට බැන වදිනකොට ලංකාවේ මාක්ස්වාදීන් කිව්වෙ අපොයි පාන් කන්නත් හොඳ නෑනේ කියල!!!!!

කැමැත්තෙන් මිල දී ගැනීමෙන් සහ නොගැනීමෙන් දක්වන පාරිභෝගික ප්‍රතිචාරය දැනගන්නට වෙළඳපොලට අවස්ථාවක් ලැබෙන්නේ නැතිකමෙන් අර්ථ ශාස්ත්‍රයේ වැදගත් කාර්ය භාරයක් වු මිල ගණන් දැනගැනීමට හැකියාවක් නැහැ. නොදන්නාකම නිසා ඇතිවෙන්නෙ ඉතා කණගාටුදායක බඩුහිඟය වැඩිවන හා බඩුමිල ඉහළ යන වෙළඳපොල තත්වයක්. ආදායම් අඩුවෙන ජීවන තත්වයක්.

‘අපේ දැක්ම’ මූලික අයිතීන් හැටියට හඳුන්වමින් ජීවිතයේ හැම අදියරක් සඳහා ම ආර්ථික මැදිහත්වීම් ගෙනෙනවා.

සෞඛ්‍ය සම්පන්න ජීවිත ගෙවන අයව දැන් හිරේ දානවා ද?

අධ්‍යාපනයක් ලබාගන්න කුලයක් හෝ ආගමක් නිසා තහනමක් තියෙනවා ද?

රස්සාවක් කරන්න කාගෙන් හරි අවසර ගන්න ඕන ද?

ඔයා කළු නිසා නිවාසයක් විකුණන්න බැහැයි කියලා නිවාස හදන අය කියනවා ද?

මේවා මූලික අයිතීන් හැටියට දක්වලා තියෙන්නෙ ඒවා නොමිලේ හෝ අඩු මිලකට තමන් තෝරන පිරිසකට බෙදන රාජ්‍ය මැදිහත්වීම් පරමාර්ථයෙන්. තවත් විදියකින් කිව්වොත් රටේ කොටසක් සල්ලි ගෙවලා ගන්න දේවල් තවත් කොටසකට නොමිලේ හෝ අඩු වැයකට බෙදලා දෙන්න හදන නිසා.

එහෙම වෙද්දී ඒ බෙදන වැඩ පිළිවෙලේ බරපැණ දරන්නේ කවුද? අද බෙදන මිනිස්සු වංචාකාරයන් නිසා ඒවා බෙදන්න ස්විට්සර්ලන්තයේ අයව අරන් එනවා ද?

රජයකට නීතියක් සම්මත කරගෙන නිවාස නැති අයට නිවාස ලැබීම මූලික අයිතිවාසිකමක් කියන්න පුළුවන්. ඒත් ආර්ථිකය කියන්නෙ නීතියක් ගෙනාවාට වෙනස් කරන්න බැරි තැනක්. ආර්ථිකයක යම් පිරිසකට නොමිලේ දෙන්න නම් තවත් පිරිසක් උපයන ලද්දෙන් කොටසක් බලහත්කාරයෙන් උදුරාගන්න ඕනෑ. නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් සල්ලි ණයට ගන්න ඕනෑ. ඒ ක්‍රම 3 න් ම මිනිසාට ස්වභාවික නීතියෙන් (රජයක් ගෙනෙන නීතිය නොව) ලැබුණ මූලික අයිතිය, තමන්ගේ වෙහෙසේ ඵලදාවේ අයිතිය උල්ලංඝනය වෙනවා. ඉතින් අපේ දැක්ම කියන්නෙ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවල දී රජයට එරෙහිව අධිකරණ ඉදිරියට යාමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කරන බවයි. එහෙම නම් ස්වභාවික නීතියේ මූලික අයිතිය උල්ලංඝනයට ගෙනෙන මේ නීති වලට එරෙහිව අධිකරණයට යා හැකිද?!!!!

සෝවියට් විහිළුව සහ එහි පැහැදිලි කිරීම ගැන මෙතැනින් කියවත හැකියි: Economics vs. Engineering

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meeghathenna (OG) said, on මාර්තු 8, 2014 at 10:58 පෙ.ව.

    අරුණි පල්ලෙහා 50 comments පහුකරපු ලිපිය… LOL . I had so much fun thanks හරියට මාතලන් ගොයියාගේ fun පෝස්ට් එකක් නැත්නම් කෙන්ජියගේ වල් පොස්ට් එකක් ගානට comments වලින් සංවාද කරන්න නම් උදිත මල්ලිට කියල වම්මු ටිකක් ඇවිස්සිය යුතුයි. ඒත් ඉතින් අපරාදේ ඔයාගේ වෙලාව. මාතලන්ගේ භාෂාවෙන් කියනවනම් ඉඳල හිටලා ඔහේගේ බ්ලොග් එකේ fun එකක් ගත්තට ඔය නෝනගේ අමනාපයක් නෑ නොවැ. නැත්නම් දැනුම විතරයි බෝරින් නොවැ….
    ජෙප්පොන්ට මට කියන්න තියන්නේ මෙච්චරයි “තොපේ දැක්ම” මට එපා… අනුන්ට කරදරයක් නැති අහිංසක “මගේ දැක්ම” මට කරදරයක් නැතිව නිදහසේ විඳින්න දීපල්ලා. එක සමාන ධනවාදී අදහස් දරන අරුණිත් මමත් දකින දැක්මේ මොන තරම් වෙනස් කම් තියනවද ???? ඉතින් ඔයාගෙයි මගේ අතරවත් ගොඩනගන්න බැරි අපිටවත් නැති “අපේ දැක්මක්” උන් එක්ක තියේවිද? උන් හදන්නේ උන්ගේ දැක්ම අපේ දැක්ම කියල අපිට බලෙන් පෙන්නන්න නොවෙයිද?. “තොපේ දැක්ම” තොපිම තියා ගනින්.

    • arunishapiro said, on මාර්තු 8, 2014 at 6:31 ප.ව.

      Uditha Meeghathenna,

      😀 ඔයා ගිහින් අවුස්සලා දැන් ජස්ටින් බීබර් ගැන මයිලි සයිරස් කියපුවා ගැන ඔයා මොකද හිතන්නෙ? වගේ ප්‍රතිචාර දැක්කම ඉතින් ඔයාලගෙ වේලාව නාස්ති වුනත් කමක් නැහැ ඒවාට ඉඩදෙනවා කියල හිතුණ. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: