අරුණි ශපීරෝ‍ වෙතින්

අපූරු තරඟය, රස්සා නිර්මාණය සහ ධන සම්පත් නිර්මාණය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 31, 2014

The_Amazing_Race_season_24_episode_6

මැලේසියාවේ ග්‍රාන්ඩ් ප්‍රී තරඟය දිනූ ලුවිස් හැමිල්ටන්ට ජයවේවා!

මැලේසියන් ග්‍රාන්ඩ් ප්‍රී තරඟයේ එක්තරා අවස්ථාවක දී රේස් කාර් එකක වේගය අඩු වීමට හේතු වූ යම් අඩුපාඩුවක් ගැන නිවේදකයන් කතාබහ කළහ. කැමරාවට හසුවූයේ තරඟ භූමියේ ඇතුල් කුටියක සිට එය නරඹන ඩේවිඩ් කම්බබැච්. අගනා විස්තරයක් හැමදාම සපයන රේස් නිවේදකයන් වාහනයේ වේගය අඩු වීමට හේතුව සමහර විට ෂර්ලොක් හෝම්ස්ට නම් පහසුවෙන් අවබෝධ කරත හැකි ‘එලිමෙන්ටරි’ වූවක් වෙන්නැති යැයි කීහ.

ක්‍රීඩා තරඟ නරඹන්නට කැමති ලෝලීන් හට අගනා විස්තර ප්‍රචාරයක් ගෙනාවේ බයිසිකල් තරඟයක් වූ ප්‍රංශ සවාරියයි. ප්‍රංශය ගැනත්, 1903 සිට පැවත එන සවාරියේ ඉතිහාසය ගැන මෙන්ම ඒ ඒ රටවල් වලින් තරඟ කරන බයිසිකල් ක්‍රීඩකයන්ගේ විස්තර ඉතා රසවත් ලෙසින් අපට ඒ සති තුන දී දැනගන්නට ලැබුණි. බයිසිකල් තරඟකරුවන් අතර පැතිර ගිය තහනම් උත්තේජක භාවිතයත්, ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට පදක්කම් අහිමියත් සමඟ ප්‍රංශ සවාරිය විසින් එහි ලෝලීන්ව හෑල්ලු කරන ලද්දක් යැයි හැඟීමක් පැතිර යන ලදි. ඇමෙරිකන් බේස්බෝල් ඒ හා සමාන වැටීමකට මුහුණ දී තවම ඉන් ගොඩ ඇවිත් නැත.

‘අන්න ලංකාව පෙන්වනවා Amazing Race වැඩසටහනේ,’ යැයි ඇමෙරිකන් මිතුරන් එවූ කෙටි පණිවිඩ නිසා කියවමින් සිටි පොත පැත්තකට දමා මම එයින් ලංකාවේ දර්ශන නරඹන්නට පටන් ගත්තෙමි.

“අපූරු තරඟය” වැනි කුසලතාවයක් හෝ දක්ෂතාවයක් අනවශ්‍ය වූ රියැලිටි තරඟයක් වර්තමානයේ ජනප්‍රිය ඇයි? ලංකාවේ දර්ශන එම වැඩසටහනෙන් නරඹා ලංකාවට ඇදී එන සංචාරකයන් කොතරම් වැඩිවේවි ද? පහුගිය දා ඇල් ජසීරා ප්‍රවෘත්ති වලින් බ්‍රසීලයේ රියෝ ඩ ජැනයිරෝ නගරයේ යුද්ධ ටැංකි එහා මෙහා යන හැටි දකින්නට ලැබිණ. ලෝක කුසලාන ෆුට්බෝල් ලෝලීන්ට එය දැකීමෙන් බ්‍රසීලයට එද්දී ලැබෙන ආරක්ෂාව ගැන කොතරම් විශ්වාසයක් ගොඩ නැඟුනේ දැයි කියන්නට හැකි ද?!!!!

රස්සාවල් කොපමණක් නිර්මාණය කළ හැකිදැයි අනුව රාජ්‍ය ප්‍රතිපත්ති දියත් වේ. ආණ්ඩුවේ සේවකයන් වැඩි වී පුද්ගලික අංශයේ සේවකයන් අඩු වී යද්දී රටක ආර්ථිකයක් බංකොළොත්වන බව වටහා ගන්නට තරම් අර්ථ ශාස්ත්‍ර දැනුමක් නොමැතිකම නොමිලේ යැයි හැමට බෙදන නිදහස් යැයි කියන අධ්‍යාපනයෙන් දායාද කර තිබෙන්නේ ආණ්ඩුවකට රටවැසියාව දක්කාගෙන යෑම පහසුව පිණිසයි.

රස්සාවල් නිර්මාණයෙන් පමණක් ධන සම්පත් නිර්මාණය වේ යැයි විශ්වාස කරන බහුතරයට ඔබත් අයිති ද?

රස්සාවල් නිර්මාණයේ කිසිත් වරදක් නැත. මිනිසුන් ධන වස්තු නිර්මාණය කරන වැදගත් විදියක් තමයි රස්සාවක නියැළීම. ඒත් වැඩියෙන් වැදගත් රස්සා නිර්මාණය නෙමෙයි. වැඩියෙන් වැදගත් ධන වස්තු නිර්මාණයයි. තවත් විදියකින් කිව්වොත් රස්සාවක නියැළෙන්නෙ එය අන්තය (end) නිසා නොව එය ධන වස්තු නිර්මාණයට අවශ්‍ය මාර්ගය (means) නිසයි. මෙම පහසුවෙන් අවබෝධ කරත හැකි ‘එලිමෙන්ටරි’ වූව අමතක කළොත්, ජනතාවක් රවටන්නට හැකියි ඊයෙට වැඩියෙන් මෙච්චර රස්සාවල් අද තියෙනවා කියලා දත්ත පෙන්වලා.

රස්සාවක නියැළෙන, එනම් ඕනෑම ආර්ථික ක්‍රියාවක නියැළන එකම අරමුණ තමයි හිඟ සම්පත් (මිනිස් වෑයම ද හිඟ සම්පතක්) වලින් වැඩියෙන් අගයක් ලැබෙන නිර්මාණයක් බිහි කිරීම. මිනිස් උවමනාවන් හැමදාම හිඟ සම්පත් වලට වඩා අධික නිසා, හැමදාම ලෝකයේ මිනිසාට කරන්න අවශ්‍ය රස්සාවන් වැඩියෙන් තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ රස්සාවල් නිර්මාණය ගැටළුවක් නෙමෙයි.

අපි ඉදිරියේ එදත් අදත් ඇති ගැටළුව වනුයේ මිනිසාට වඩාත්ම අගයක් (most value) ලැබෙන සේ රස්සාවල් නිර්මාණය කරන්නෙ කොහොම දැයි කියන එකයි.

මේ ‘එලිමෙන්ටරි’ වූව වටහා ගන්නට බැරි අය යනු මහා පිරිසකට රස්සාවල් ලැබෙද්දී ආර්ථිකය නැඟලා යනවා කියල සතුටු වෙන අය. 1840 දී ප්‍රංශ දේශපාලනඥයෙක් පැරිසීයේ සිට ස්පාඤ්ඤය දක්වා යන රේල් මාර්ගයේ පවතින බෝර්ඩෝ (Bordeaux) නගරයේ ඇති රේල් පීලි ඩයිනමයිට් දාලා පුපුරවා හරින්නටත් යෝජනාවක් ගෙනාවා. බඩු වෙන දුම්රියකට පටවලා, මගීන්ට නගරයේ හෝටල් කාමර දෙන්න වුනාම රස්සාවල් වැඩිවෙන හැටි ගැන කතාබහක් සිද්ධ වුනා!!!

ෆෙඩ්රික් බැස්ටියාට් ලියූ Economic Sophisms වලින් ඒ යෝජනාව එදා නිශ්ප්‍රභා කළ හැටි අදත් කියවන්න පුළුවන්. ඒත් රස්සාවක් කියන්නෙ ධන වස්තු උපයන මාර්ගයක් (means) මිසෙක අන්තයක් (end) නොවේ කියන ‘එලිමෙන්ටරි’ වූව වටහා ගන්නට බැරි ජනතාව තවමත් ලොව බහුතරයයි.

තවත් රියැලිටි වැඩසටහනක දී පුංචි කෙල්ලක් උපන් හපන්කම් දක්වන හැටි පහත විඩියෝවෙන් බලන්නට පුළුවන්. ඇත්ත පඹයන් හා බොරු පඹයන් අතර වෙනස හඳුනාගන්නට හැකිවේවි ද? රස්සාවක් කියන්නෙ මාර්ගයක් මිසෙක අන්තයක් නොවන බව ගැන කතාබහක් කවදා පටන් ගනීවි ද?

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. […] අපූරු තරඟය, රස්සා නිර්මාණය සහ ධන සම්පත… […]

  2. magenama said, on අප්‍රේල් 1, 2014 at 1:17 පෙ.ව.

    අක්කේ අපි ඒක මෙහෙම කියමු.වටිනාකමක් නිර්මාණය කරන්න අවශ්‍ය නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ‍රැකියා බිහිවෙනවා මිස ‍රැකියා බිහි කිරීමට කෘත්‍රිමව වැඩ කරලා වැඩක් නෑ කියලා.
    හැබැයි මේක තේරෙන සිංහලෙන් ලංකවේ මිනිස්සුන්ට කියන්න ගියාම පාලකයෝ නෙවෙයි ඒ පස්සේ යන මිනිස්සුනේ අපිට ගහන්න එන්නේ.

    • arunishapiro said, on අප්‍රේල් 1, 2014 at 6:16 පෙ.ව.

      magenama,

      ඔහෙ එහෙම වුනාට, එහෙම කියද්දී අපිට ගහන්න එන එක ගැන, වැඩි වැරැද්දක් කියන්න බැහැ; පත්තර කන්තෝරු සීල් ගැහැව්ව, රජයට විරුද්ධ අදහස් තියෙන මිනිස්සු මරන, හිරේ දාන රටක් වෙද්දි. ඒත් මෙහෙ, ඒවා නීතියෙන් ආරක්ෂා කරලා දීල තියෙන රටේ … පහුගිය සති අන්තයේ පැවතිච්ච රිපබ්ලිකන් පක්ෂයේ යුදෙව් කල්ලියේ ෂෙල්ඩන් ඇඩල්සන් රෑන්ඩ් පෝල් 2016 ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට දිනාවි කියලා දැන්ම මිලියන ගාණක් සල්ලි වියදම් කරන්න පොරොන්දු වෙලා.

  3. amalpasanna said, on අප්‍රේල් 1, 2014 at 1:56 පෙ.ව.

    2001-2003 කාලෙ රනිල් එක රජයෙ රැකියාවක් දුන්නෙ නෑ තියන ඒවත් ගානක් දීල ගෙදර යවල රජ්‍ය සේවය කප්පාදු කලා අපි නම් ගෙඩිපින්ම උපාධිදාරීන් 50,000ට රජයෙ රැකියාවල් දුන්න කියල ‍රජය කියන්නෙ? හැබැයි ඒකත් රෙද්දක් ඇදගෙන කරන්න බැරිලු ඒත් ඉදිරියට තව දෙනවලු.

    • arunishapiro said, on අප්‍රේල් 1, 2014 at 6:18 පෙ.ව.

      amalpasanna,

      ඔව් උපාධිධාරීන් හිතන්නෙ උපාධියක් ලැබුණම රස්සාවක් ලැබෙන්න ඕනෑ කියල. ලෝකෙ බහුතරයක් හිතාගෙන ඉන්නෙ සර්ව සෞඛ්‍ය සේවාව ලැබුනම හැමෝම නීරෝගි වෙනවා කියල වගේ!!!!!

  4. Thilina Peeris said, on අප්‍රේල් 1, 2014 at 8:01 පෙ.ව.

    Aruni

    I wrote this in Sinhala unfortunately I had an internet problem. Since this has taken long time to write I will type this in English.

    What I wanted to say is, Sri Lanka can create more jobs provided it will produce productive work.
    I will show a very small point please do your own research what I am about to say, Sri Lanka can create many IT based jobs mainly in the software field, assume you are writing software and you want to sell it to a foreign client if so you can provide an demo to your potential client and if he / she happy with your work can pay you. Now just think how can they transfer money to Sri Lanka only way thorough a bank transfer (For the legality and for safety this is the only method) this is very time consuming and complicated for the client, you can argue about western union and other such transfers but the main transfer method that a client prefers is PayPal.

    Unfortunately we sri lankan’s cannot transfer money from out PayPal account to our Sri Lankan Bank account simply because Sri Lanka central bank is not complying with the PayPal rules. If we can fix this minute problem, we can not only export software but we can sell products also. We have to improve our credibility and if the Government can setup something like Ebay and if they mainly focus on credibility and providing a proper service then we can use the existing public sector labor more productively.

    What we have to focus is not big infrastructure developments just fix these small lose ends.
    I heard Government employs graduates in large scale and they have not given a clear job description, because of this lot of valuable recourses are getting wasted. What the government can do is to train these graduates and once checks and balances in place we can expect a better future.

    Thilina

    • arunishapiro said, on අප්‍රේල් 3, 2014 at 4:45 ප.ව.

      Thilina Peeris,

      ඕනෑම රටක වාසය කරන ජන කොට්ඨාශයකට රස්සාවල් නිර්මාණය කළ හැකියි. කිසිම මිනිසෙකුට තම උවමනාවන් සියල්ල පිරිමසා ගැනීමට නොහැකි වූ ලෝකයකට අපි අද පිවිස සිටින නිසා එකිනෙකාගේ නිර්මාණ පරිහරණය කරන්නට ලැබෙන එකම මාර්ගය ගණුදෙනු වල නියැළීමයි. ගණුදෙනු කරන්න නම් නිර්මාණය කරන්න අවශ්‍යයයි. කියවා නැත්නම් කියවන්න මම පැන්සල.

      IT රස්සාවල් කරන අයට පමණක් නෙමෙයි ඕනෑම නිර්මාණයක් කරන අයෙකුට තම නිර්මාණයට මුදල් ලබාගත හැකි ගණුදෙනුවට බාධා කරන්නේ ආණ්ඩු විසින්. ඒත් එහෙම කරන්නට ඕනෑම රටක ඕනෑම ආණ්ඩුවකට බලය දීලා තියෙන්නෙත් එරටේ ජනතාව තමයි. මුදල් උපයන්න දක්ෂ අය එහෙම කරන්නේ දුප්පතුන් වෙතින් උදුරා ගන්නවා කියන මුලාවෙන් කවුද නිර්මාණයේ යෙදෙන්න ඕනෑ, කවුද නිර්මාණය මිල දී ගන්න ඕනෑ යන තීරණ ගැනීමේ බලය අර ගණුදෙනු කරන දෙන්නා අතර මැද්දට පැනලා ආණ්ඩුවක් තමන් අතට අරගන්නවා. ඊට පස්සෙ නිර්මාණයෙ යෙදෙන්නට හා නිර්මාණ මිල දී ගන්නට අවශ්‍ය අය තීරණය කරන බලයෙන් ආණ්ඩුවට හේත්තු වෙන අය සියල්ලන් දුප්පත් කරමින් සුළු කාලයකට ධනවත් වෙනවා. සුළු කාලයකට කියන්නෙ, මේ වැඩේ දීර්ඝ කාලීනව කරගෙන යන්න බැරි නිසා. ඊට පස්සෙ ඒ ආණ්ඩුවෙ අයව පන්නලා දාලා ඒකම කරන්න තවත් කට්ටියක් පත්කරගන්නවා.

      Thilina Peeris දකින PayPal නිදහස නොමැතිකම යනු මෙවැනි ආණ්ඩුව විසින් මහජනතාව සූරා කෑමේ ඉතාම සුළු නිදසුනක් පමණයි.

      //if the Government can setup something like Ebay and if they mainly focus on credibility and providing a proper service // කියද්දී ඔබ තව දුරටත් ඉල්ලා සිටින්නේ අසාර්ථක ක්‍රමයයි. Ebay යනු පුද්ගලික ව්‍යාපාරයක්. එහි සාර්ථකත්වයක් ඇත්තේ එය පුද්ගලික ව්‍යාපාරයක් වෙන නිසාම පමණයි. ආණ්ඩුවකට එවැනි යාන්ත්‍රණයක් පිහිටුවන්නට හැකියාවක් ඇතැයි සිතීම ආණ්ඩුවක් වැඩකරන ආකාරය අවබෝධය නොමැතිකමයි. ලෝකයේ කිසිම ආණ්ඩුවක් විශ්වාසනීය (credible) හෝ මනා සේවයක් (proper service) සපයන බව පෙන්වන දත්ත කිසිවක් ලොව නැහැ.

      උපාධිධාරීන්ව රටට හෝ වෙළඳපොලට අවශ්‍ය රස්සාවල් යැයි කියන ඒවාට පුහුණු කරන්න ආණ්ඩුවකට බැහැ. අනාගතයේ ඇබෑර්තු ඇතිවෙන්නේ මොන රස්සාවල් වලට ද කියලා කළින් කියන්න හැකියාව ඇති ජගතෙක් ලොව නැති නිසා. ඒ ඒ ශිෂ්‍යයා විසින් ගන්නා අවදානමක් තමයි අනාගතයේ මෙවැනි රස්සාවක් වෙනුවෙන් මා අද මෙසේ පුහුණුවක් ලබාගන්නවා යන කැපවීම. ආණ්ඩුවක් ඒ වගකීම බාරගෙන වෛද්‍ය විද්‍යාලයට මෙච්චරයි, ඉංජිනේරුවන් මෙච්චරයි, කලා උපාධි මෙච්චරයි, බිස්නස් උපාධි මෙච්චරයි කියා තීරණය කරද්දී මුළු රටේ හැමෝම දුප්පත් වෙනවා!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: