අරුණි ශපීරෝ‍ වෙතින්

රනිල්ට ඩෙලවෙයාර් පැත්තටත් එන්න කියන්න

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2014

මේ ආණ්ඩුව බංකොළොත් වෙච්චි දවසක, ඒ විදියටම යන තවත් ආණ්ඩුවක පාලන බලය විපක්ෂයක ඔඩොක්කුවට වැටෙන්න කළින්, තමන් දැනුවත් වෙලා, ඊට පස්සෙ පක්ෂයත්, ඊ ළඟට රටේ ජනතාවත් දැනුවත් කළ යුතු හැටි කෙසේදැයි මම එයාට ලෙක්චර් කරන්නම් කිව්වා කියන්න!!!! මට තියෙන්නෙ පුද්ගලික නිවහනක් මිසෙක මැසචූසෙට්ස් පැත්තෙ තියෙන ආඥාදායකයන් පෙරළන හැටි ගැන කියාදෙන ආයතනයක් නොවන බවත් කියන්න. එයාට ඇමෙරිකාවේ ලෙක්චර් පවත්වන්න අපේ බදු සල්ලි කපාගන්නවාට දැඩි විරෝධයක් දක්වන බවත් කියන්න.

ලංකාවේ අවසන් වූ මැතිවරණය ගැන ලියැවුනු විශ්ලේෂණ කියවද්දී විපක්ෂ සියල්ල වෙතින් ආණ්ඩුවට රතු එළියක් ද තමන්ට කොළ එළියක් ද ජනතාව සංඥා කර ඇතැයි කියවන්නට ලැබේ. නමුත් මම දකින්නේ ඒ ඒ චන්දදායකයා පෙන්නුම් කර ඇත්තේ බෙදා දෙන්නට දන්නවා යැයි කියන පක්ෂ අතර අද බලයේ ඉන්නා ආණ්ඩුව වඩාත්ම සුදුසු වූව බව කියා විශ්වාස කරන බව පමණි.

සාධාරණව බෙදා දෙන්නට දන්නා අය සිටිනවාය කියා විශ්වාස කරන නිසාම තම තමන්ට ලැබෙන පංගුව එන්න එන්නම අඩු වී පසු කාලයක නැති වී යන එක ගැන කියන අයෙක් ලංකාවේ නැතිකම පෙන්නුම් කරන්නේ අසාර්ථක රාජ්‍යයක අභාග්‍යයයි. එහෙත් තවත් කාලයක් තිස්සේ බංකොළොත් බවට ඇදගෙන යන්නට තම රටේ හා පිටරටවලට ගිහින් කඹුරන පුරවැසියන් සිටිනවාය කියා පෙන්නුම් කරන්නේ ලාංකිකයන්ට ශක්ති සම්පන්න (potential) බවක් තිබෙන බවයි.

නමුත් කඹුරන අය අදින බර එන්න එන්නම වැඩිවෙද්දී ලංකාවේ විශ්‍රාමිකයන් වැඩ වර්ජනයකට සූදානම් වෙනවාලු! ඒ ප්‍රවෘත්තිය අවුලක පැටලිලා ඉන්න වර්තමාන ලෝක සමාජය කදිමට පිළිබිඹු කරනව. විශ්‍රාමික පාරිතෝෂිකය වැඩි කරන්න යැයි වැඩ කරන අයත් වර්ජනයකට ගියාම එතකොට කවුද … ආයේ ඕන නැහැ හැමදාම එකම දේ ලියන්න!!!

“අපිව තරබාරු කළ මිනිස්සු” නමින් ප්‍රචාරය වෙන්නෙ බීබීසී රූපවාහිනී වැඩසටහනක්. බ්‍රිතාන්‍ය වැසියන් තරබාරු කරන්න එයාලගෙ කටවල් වලට කෑම බලහත්කාරයෙන් ඔබලා තියෙන්නෙ කවුද මන්දා!!!

බ්‍රිතාන්‍යයේ සුද්දො එහෙම කියද්දි ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකකින් කියෙව්වා ලංකාවේ බර්ගර් කිං අවන්හල “ඉල්ලං කාපු” කතාව. දැන් බර්ගර් වේලාව කියලා දැන්වීම් හදපු අයට ලංකාවේ විකුණන බර්ගර් එකක සයිස් එක අමතක වෙච්චි අවස්ථාවක්. ඒත් ඉතින් බඩ පිරෙන්න ඒ පුංචි බර්ගර් එකක් මදි නම් කැමති ප්‍රමාණයක් මිල දී ගන්න තහනමක් නැහැ නේද අහන ප්‍රතිචාරය දැම්මම ඒකට අයෙක් කිව්වෙ එහෙම කරන්න පුළුවන් අසීමිත මුදල් තියෙනවා නම් විතරයිලු.

වර්තමාන පාරිභෝගිකයා කන්නෙ බඩගින්නටම නෙමෙයි. අඳින්නෙ විළිවසා ගන්නටම නෙමෙයි. බඩු භාණ්ඩ මිල දී ගන්නෙ ඒවා උවමනා (need) නිසාම නෙමෙයි. ජීවිතය පවත්වා ගැනීමට නැතිවම බැරි දේවල් උවමනාව (need) අභිබවා ගිය තමන් කැමති දෙයක් ලබාගන්නට ආශාව (want) පිනවා ගන්නට හැකියාව ලැබී තිබෙන වර්තමාන ලෝකයේ පාරිභෝගිකයා සතුටු කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙමෙයි.

ඒත් තමන්ට අවශ්‍ය ආහාර වසවිෂෙන් පිරි නොවෙන සේ, ගුණයෙන් හා ප්‍රමාණයෙන් ගැලපෙන සේ, දේශීය නිෂ්පාදකයන් දිරිගන්වන සේ, තමනට පිරිනමන්නට ආණ්ඩුවක් දන්නවා යැයි විශ්වාස කරන ජනතාවක් ඒවා තමන් වෙනුවෙන් තෝරාගන්නට දැනුමක් නැති නිසා ඉල්ලා සිටින්නේ තෝරා ගැනීම් අඩු කරන්නට කියායි!!!!

“ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල බොහොමයක් දෙන්නෙ මුදලට නොවටිනා අගයකි. ආණ්ඩුවට පුළුවන් ඒක වෙනස් කරන්න උදව් වෙන්න,” 2014 අප්‍රේල් 5 වැනිදා “ද ඉකොනොමිස්ට්” සඟරාව කියයි. මුදලට නොවටින අගයක් සපයන ලෙසට විශ්ව විද්‍යාල හැඩගස්වා ඇත්තේ ඇමෙරිකන් ආණ්ඩුවල බලපෑම් වලින්ම තමයි. ඉතින් එහෙම කරපු ආණ්ඩුවලටම බාර දෙන්නලු ඒක වෙනස් කරන්නත්!!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. […] රනිල්ට ඩෙලවෙයාර් පැත්තටත් එන්න කියන්… […]

  2. amilac2014 said, on අප්‍රේල් 6, 2014 at 9:40 පෙ.ව.

    අපි හැමෝම සිල්ලර කඩ දැකල තියෙනවා. ඔය සිල්ලර කඩේ තියෙන්නෙ වැඩිපුරම මිනිස්සු ඉල්ලන බඩු. සිනි හැම සිල්ලර කඩේම තියෙනවා. මොකද සිනි හැමෝටම ඕනි..
    මැතිවරණයකින් තේරී පත්වෙන්නෙ අර සිල්ලර කඩේ වැඩිපුරම විකිනෙන බඩු වගේ මිනිස්සු වැඩිපුරම කැමති පුද්ගලයින්. කවදාවත් මැතිවරණයෙකින් පත්වෙන අයකුට තමුන්ගේ ඡන්දදායකයින් සහ තමුන් වෙනුවෙන් ආයෝජනය කරපු ව්‍යෘපාරිකයින් ඉල්ලන දේ මිස වඩාත් හිතකර දේවල් කරන්න බැහැ.
    මිනිස්සු ගොඩක් හොද දේවල් ඉල්ලනවා නම් ඒවා ලබාදෙන්න ආන්ඩුවට පුලුවනි. නමුත් ඔවුන් ඉල්ලන්නෙ රැකියා,පාරවල්,විදුලිය,ගොඩනැගිලි වගේ සිල්ලර දේවල් නම්..? ආන්ඩුවට ඒවා නොදී පවතින්න හැකියාවක් නැහැ.

    • arunishapiro said, on අප්‍රේල් 8, 2014 at 8:54 පෙ.ව.

      amilac2014,

      “හොඳ දේවල්” යයි සලකන්නේ amilac2014 එසේ යැයි කියන ඒවා ද? නැත්නම් මම එසේ යැයි කියන දේවල් ද? අන්න එතැන තමයි මුල් ගැටළුව. කවුද “හොඳ දේවල්” මොනවා ද යන්න තීරණය කරන්නෙ?

      ඊ ළඟට ඒ ගැටළුව නිසාම, කිසිම ආණ්ඩුවකට බැහැ සමස්ත ජනතාව විසින් “හොඳ දේවල්” යැයි සලකන සියල්ල ලබාදෙන්න.

      හැම සිල්ලර කඩයකම සීනි තිබුණට හැම පුද්ගලයාම සීනි පාවිච්චි කරන්නේ නැහැනෙ. නමුත් බහුතරයක් සීනි පාවිච්චයට ගන්න නිසා හැම සිල්ලර කඩයකම සීනි තියෙනවා.

      සිල්ලර කඩයට ගියාම මම සීනි නොගත්තයි කියල සීනි මිලෙන් කොටසක් මට ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. නමුත් ආණ්ඩුවක් රස්සාවල් බෙදන්නෙ, පාරවල් හදන්නෙ, විදුලි බලය සපයන්නේ හා ගොඩනැඟිලි ඉදිකරන්නෙ ඒවා පාවිච්චි කරන සහ පාවිච්චි නොකරන සියල්ලන් වෙතින්ම අරගෙන. එනම්, ඒවායේ වැය දරන්නෙ ඒවා පාවිච්චියට ගන්න අය පමණක් නෙමෙයි. ඒවා පාවිච්චියට ගන්නා ප්‍රමාණයට නෙමෙයි. ආණ්ඩුවේ දැනුමැත්තන් කියාගත්තන් විසින් එළඹෙන හිතුමතයට හදාගත් මිලක් තමයි රටවැසියන් ගෙවන්නෙ, උදා: ජීවන වියදම් දර්ශකය!!!

      මන්ත්‍රීවරයා/ආණ්ඩුවෙන් බෙදන්න කියා ඉල්ලද්දී, එතකොටයි මන්ත්‍රීවරයා බලයට පත් කරන්න ආයෝජනය කරපු ව්‍යාපාරිකයන්ගෙ පොකැට්ටු වලට යහමින් වැටෙන විදියට මන්ත්‍රීවරයාව රූකඩයෙක් කරගත් ව්‍යාපාරිකයන් ඉල්ලන දේවල් ලැබෙන්නෙ.

      මිනිස්සු තම තමන්ට “හොඳ දේවල්” තම තමන් විසින් ඉල්ලද්දී, රටේ සෙසු අය, උපදින්න ඉන්න දරුවන් පවා ණය ගැතියන් නොකර ඒවා ඉල්ලන අයට ඒවා සියල්ල සපයන්නට ව්‍යාපාරිකයන්ට පුළුවන් වෙන්නේ බෙදා දෙන හැකියාව ආණ්ඩුවෙන් අයින් කළාම පමණයි.

      සීනි හැමෝටම අවශ්‍ය නැහැ. සීනි අවශ්‍ය අය පමණක් එහි වැය දරන්න ඕනෑ කියන එක පිළිගන්න කැමති කොච්චර සුළු පිරිසක් ද? සිල්ලර කඩේ සීනි හැමදාම විකුණන්නෙ ඊට ඉඩක් ලැබුණම. එහෙම නොවෙච්ච මගේ ළමා කාලයේ ලංකාවේ සිල්ලර කඩවල සීනි තිබ්බෙ නැහැ,කළු කඩවල අධික මිලටත්, සහන මිලකට සීමිත ප්‍රමාණයක් ගතහැකි සීනි තිබ්බෙ සමූපාකාරේට සීනි ආව දවසට විතරයි.

      • OG Megmann said, on අප්‍රේල් 8, 2014 at 10:35 පෙ.ව.

        like your reply aruni 😉 කොමෙන්ට් වලට ලයික් දාන්න බැහැනේ

      • amilac2014 said, on අප්‍රේල් 11, 2014 at 8:23 පෙ.ව.

        ඔබ මෙය දකින්නේ දේශපාලන ක්‍රමය තුල හෝ දේශපාලකයින් කියන බාහිර සාධකය තුල තිබෙන වරදක් විදියට වෙන්න පුලුවනි. නමුත් මම දකින්නේ ජනතාවගේ විඥානයේ මට්ටම පිළිබඳ වූ කෝණයකින්. අපේ ජනතාව අති බහුතරයක් තවමත් නවීන ලෝකයට ආශා නැහැ. ඔවුන් නවීන ලෝකයට ආශා වුනානම් රනිල් වික්‍රමසිංහ මේ තරම් බයාදු විදියට පරදින්නෙ නැහැ.
        රනිල්ට ඡන්දය නොදී මහින්දට දෙන සියලු දෙනා මෝඩයින් නෙමෙයි. මහින්දගේ ඇමති මන්ඩලයේ වගේම ඡන්දය දෙන ජනතාව අතරත් පිළිගත් බුද්ධිමතුන් සහ උගතුන් සිටිනවා. නමුත් ඒ අය පවා සිතන්න හුරුවෙලා ඉන්නෙ තමුන්ට අදාල වන සීමාවක් විතරයි..
        ජනතාවක් දියුනු වෙනවා කියන්නෙ කොන්ක්‍රිට් නෙමෙයි. සල්ලි නෙමෙයි. සාමුහික හැඟීම තුල සියලු දෙනාට වඩා සාධාරන සමාජයක් ඇතිකරගන්මේ කැපවීම මත තමයි සමාජයක දියුනුව රඳාපවතින්නෙ. අපේ අති බහුතර ජනතාව සිතන්නේ නීතිය පවා තමුන්ගේ කේස් එකේදි පොඩ්ඩක් තමුන්ට වාසිදායක විය යුතුයි කියලා. විශේෂයෙන් ලංකාවෙ බුද්ධිමත්,බලවත් සහ තෙදවත් අය තුල පවා තවමත් තමුන් කුලවතෙක් නිසා යා යුත්තේ දෝලාවෙන් යැයි සිතන මධ්‍යතන යුගයේ ලාංකික රදල ආකල්ප තවමත් තිබෙනවා..

        බැලූ බැල්මට පේන්නෙ අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ අලුත් දේශපාලනයක් කියලා. නැත්නම් ගසාකන්නෙ නැති නිළදාරින් තමයි අපිට ඕනි කියලා පේනවා. නමුත් ගැඹුරින් සිතලා බැලුවාම ගසාකන නිළදාරින්ට දොස් කියන දූෂිත දේශපාලකයින්ට චෝදනා නගන අති බහුතර ලාංකිකයින් පෙලෙන්නෙ සත්‍ය වශයෙන් ඒ නාස්ති මුදල් වලින් දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න සිදුවෙන අපාසුතාවය ගැන වේදනාවකින් නෙමෙයි. ඒ කියන්නෙ අපේ අය දූෂණයට විරුද්ද වෙන්නෙ දූෂණය නිසා දුප්පත් මිනිහා කබලෙන් ලිපට වැටිලා බදු බර වැඩිවෙලා අසරණ වෙන නිසා නෙමෙයි..අපේ අය ගොඩක් විරුද්ධ වෙන්න තමුන්ට ඒ වගේ ගසාකන්න අවස්ථාවක් නොලැබෙන නිසා සහ තමුන් ගෙවන බදුමුදල් කුට්ටිය උන් ගසාකන නිසා…

        දැන් ලංකාවෙ සෞඛ්‍ය සේවය ගත්තොත් තිබෙනවා වෘත්තිය සමිත් අති බහුතරයක්. ඔවුන් ඔක්කොම වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නෙ තමුන්ගේ ස්ථරයට අවාසි දායක වන විට පමණයි. ඒසේ නොමැතිව රෝගීන්ට පීඩාකාරී අවස්ථාවලදී ඔවුන්ගේ ක්‍රියාමාර්ග ඇල්මැරුනු ස්වරූපයක් ගන්නවා. කොටින්ම රෝගින්ගේ පහසුව,ඔවුන්ට ලැබෙන සේවය ගැන කතිකාවක් ඇති නොවෙන තරම්. නමුත් වැටුප් විශමතා,ලැබෙන පහසුකම් ආදී සියල්ල ආන්ඩුව විසඳුවොත් ඒ හරහා රෝගීන්ට සහනයක් සැලසෙනවා කියලා හැම සෞඛ්‍ය වෘත්තිය සමිතියක්ම කියනවා. එතකොට එයාලගේ අරමුණ පැහැදිලිවම නිදහස් සාධාරන සෞඛ්‍ය සේවයක් හෝ වඩාත් පහසු රෝගියාට හිතකර වටපිටාවක් තනන එක සහ ඒ හරහා සිය වෘත්තිය අයිතින් ලබාගැනීම නෙමෙ. එයාලගේ වෘත්තිය සටන් වල එක එකදේවල් දිනාගන්න එයාලට ඕනි විදියට රෝගින් කියන වදන එයාල පාවිච්චි කරනවා..

        මේක ආකල්පීය වෙනසක් නැතුව මොකුත්ම කරන්න බැරි තත්වයක්. ආකල්පීය වෙනසක් ඇතිකරන්න නම් නායකයින් හෝ සමාජයේ ඉහල ස්ථරවල එය ඒ සඳහා සැබෑ කැපකිරීම් සහ ආදර්ශ ලබාදිය යුතුයි. නමුත් ඒකට අපේ සමාජයේ ඉහල ස්ථරය කොතරම් සූදානම්ද? එසේ මිනිසුන් සිතන ආකාරයේ වෙනසක් නොමැතිව, මේ අයුරින් මැතිවරණ පවත්වන තාක්කල් තක්කඩි මිනිසුන් අතර සිටින වඩාත්ම සාර්ථක තක්කඩියන් ටිකක් දේශපාලනය තුල වඩාත් සවිමත් වීම නවත්වන්න බැහැ.

        • arunishapiro said, on අප්‍රේල් 11, 2014 at 8:45 පෙ.ව.

          amilac2014,

          දේශපාලනඥයන්, නායකයන්, සමාජයේ ඉහළ ස්ථර වල අය යනු ද සමාජයේ අප අතරම ඉන්නා මිනිසුන් වෙති. ආකල්පීය වෙනසක් යැයි ඔබ ඉල්ලා සිටින්නේ මිනිස් ස්වභාවය වෙනස් කරන්නට කියායි. මිනිස් ස්වභාවය යනු වෙනස් කළ නොහැකි වූවකි.

          අද කළ වැරදි හෙට නොකරනවා නම් තම ජීවිතය අදට වඩා වැඩියෙන් හෙට යහපත් වේ යන දැනුම අවබෝධය මිනිස් ස්වභාවයේ ලක්ෂණයකි. ලොව දියුණු වූයේ එවැනි අවබෝධයක් ලද මිනිසුන් වෙතින්. වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවය වෙනස් කරන්නට තවත් වෙහෙස නොවී, ඒ ඒ මිනිසා තම තම වෙනස් කරගත හැදියාව වෙනස් කරගත යුතුයි.

          තක්කඩි දේශපාලනයට ඉඩක් නොලැබෙන එහෙම ක්‍රමයක් දැනටමත් ලොව බිහි වී පවතිනවා යන්න පිළිගැනීමට ඔතරම් අකමැති ඇයි?

  3. magenama said, on අප්‍රේල් 7, 2014 at 1:39 පෙ.ව.

    මේක ටිකක් නුසුදුසු වචනයක් හින්දා මං හිස් තැන් සහිතව දානවා.ලංකාවේ බලන් ඉන්න අයට හිනා වෙන්න කියලා හදපු චිත්‍රපටියක තියෙනවා දෙබසක් “කවුද යකෝ මගේ —– දුන්නේ ?” කියලා දෙබසක්.ඒක එතනදි දෙපිට කැපෙන අසැබි තේරුමක් දෙන්න පාවිච්චි කරත් ඇත්තටම මේ වගේ වැඩ වලදි කියන්න වෙන්නේ ඒ වගේ ඒවා තමයි.මම මුකුත් දන්නේ නෑ.බබා.වෙන කෙනෙක් තමයි සේරම කරලා තියෙන්නේ.පුදුම වැඩේ තමයි මම ඉල්ලන්නෙත් මම මුකුත් නොදැන මට මොනවා හරි දෙන (යකාගෙ )ආණ්ඩුවක්නේ. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: