අරුණි ශපීරෝ‍ වෙතින්

සත්ව පැටියන්ට කෝටු පහර දීම හිංසනයකි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 29, 2014

පුනරුදය -යුරෝපයේ 14 සිට 16 වැනි සියවස දක්වා, ගවේෂණ යුගය -යුරෝපයේ 15 සිට 17 වැනි සියවස දක්වා, විචාර බුද්ධිමය යුගය -යුරෝපයේ 18 වැනි සියවස, කාර්මික විප්ලවය -යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය 18 සිට 19 වැනි සියවස දක්වා, අජටාකාශ යුගය (1957 දී පටන් ගැනීම) ලොව සමහර ජාතීන්ට මෙන්ම ලාංකිකයනට ද මඟ හැරිණ. අනතුරුව ලෝකය පිවිසුන තොරතුරු යුගයට (1971 දී වර්තමානය දක්වා) සම්බන්ධ වී එයින් ඵල නෙලා ගන්නට ලාංකිකයනට තවමත් හැකියාව පවතී.

තොරතුරු යුගයෙන් කොපමණ ඵලදාවක් නෙලා ගන්නේ ද අනුව ලාංකිකයන් කියා ගන්නා අයගේ අනාගතය හැඩ ගැසෙනු ඇත.

පුනරුදයෙන් සහ විචාර බුද්ධිමය යුගයෙන් හටගත් අදහස් මොනවා දැයි නොදන්නා ලාංකිකයන් තමන් සේ ම, යටත්විජිත අල්ලා ගත් ගවේෂණ යුගයේ බටහිර මානසිකත්වය ද තවමත් එතැනම හිර වී ඇතැයි සලකති.

ඒ නිසා ඉන්පසු ආ විචාර බුද්ධිමය යුගයෙන් වෙනසකට භාජනය වූ බටහිර වැසියන්ගේ මොළය අනතුරුව පැමිණි කාර්මික විප්ලවයේ අත්දැකීම් වලින්, අජටාකාශ යුගයෙන් සහ තොරතුරු යුගයට පිවිසීමත් සමඟ වේගයෙන් මනුෂ්‍ය ජීවිත අනගි කරන්නට පෙරමුණ ගත් ආකාරය නොදනිති.

මිනිස් මොළයේ පරිනාමය සිද්ධ වූ ලෝක ඉතිහාසය නොදන්නා අය වෙතින් ලියැවෙන්නේ “ළමා අයිතීන් පිස්සුව ජාත්‍යන්තරයෙන් ලංකාවට එන හැටි!” ගැනයි.

ළමා අයිතීන් යනු පවුලට සහ පාසැල් පද්ධතියට වින කරන්නක් ද?

ළමා අයිතීන් යනු බටහිර රටවල් වලින් ආ උවදුරක් ද?

ලාංකික නිමි ඇඳුම් කර්මාන්තය බංගලාදේශයේ මෙන් ළමා සේවකයන් වැඩට ගැනීමක් නැතැයි සමහර ලාංකිකයන් කියන්නේ දැඩි ආඩම්බරයෙනි. ළමා කාලයේ දී රැකියා කරන්නට අවසර නොතිබූ කාර්මික විප්ලවය සමයේ බ්‍රිතාන්‍ය ‘දුප්පත් නීති’ නිසා අපට ඔලිවර් ටුවිස්ට්ලා ගැන ප්‍රබන්ධ කියවන්නට ලැබේ. එහෙත් එවැනි තහනමක් නොතිබුණ ඇමෙරිකාවෙන් අපට ඇහෙන්නේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ලා සහ කොරනේලියස් වැන්ඩබිල්ට්ලා ගැනයි.

අසරණ දරුවන්ව අනාථ නිවාස වල කොටු කර ආණ්ඩුවෙන් බෙදන අධ්‍යාපනයෙන් පෝෂණය කරනවාට වඩා ඔවුනට කැමති රැකියාවක නියැළෙන්නට ඉඩ දීම ගැන මානුෂීය අයිතිවාසිකම් තුලින් නැවත විමසා බැලිය යුත්තකි.

නීතිමය මැදිහත්වීම් තුලින් මානුෂීය අයිතිවාසිකම් රැකෙන්නේ ඒවා කුමන අරමුණු සාක්ෂාත් කරගන්නට හදාගත් ඒවාදැයි ඒවා පිළිපදින්නට අත්සන් ගසා ගිවිසුම් හදාගත් පාලකයන් නොව ඒවා පිළිපදින්නට සිද්ධ වෙන සෙසු ජනතාව අවබෝධ කරගත් විට පමණකි.

හරක බාන මෙන්ම තම දූ දරුවන් ද තම බූදලයේ කොටස් ලෙසින් සලකන අයෙක් නම් හරකාට කෝටූ පහර දී ගාලෙන් පිට යා නොදී බලාගන්නවා සේ ළමයාට ද කෝටු පහර දී අයිතිකරුවා නිවැරදි යැයි හිතන දේවල් කරන ළමයෙක් හැටියට ඇතිකරයි.

එහෙත් ළමයා යනු මිනිස් සත්වයෙකි. බහ තෝරන වයසේ වුවත් තමන්ගේය කියා සිතුවිලි වලින් යුක්ත වූවෙකි. හරි වැරදි මොනවා දැයි නොදත්ත ද ඒවා ගැන අවබෝධය ලැබීමත් සමඟ ඒවා තෝරා බේරා ගත හැකියාවෙන් යුතුයි. අතීත ක්‍රියාවකින් ලැබෙන වර්තමාන ඵලය දැක එයින් සතුටට අසතුටට පත්වීමට සමතෙකි. ලාබ අලාබ තක්සේරු කරන්නටත්, අතීතයේ කරන ලද වැරදි අනාගතයේ දී නොකර ඉන්නටත් හැකියාව ඇත්තෙකි.

නමුත් ළමයෙක් ලෙස හැදෙන්නට ඉඩනොදී ගොනෙක් සේ දක්කාගෙන යෑම වැඩිවෙද්දී ඒ ස්වභාවික මිනිස් කුසලතාවයන් වැඩි වර්ධනයක් නොව අඩපණ වීමක් සිද්ධ වේ.

සමාජයක වාසය කරන නිසා අපට නිතිපතා අනුන්ගේ නීති රීති අනුගමනය කරන්නට සිද්ධ වී ඇත. එහෙයින් නිවසේ දී මෙන්ම පාසැලේ දී ද කඩකළ නොහැකි නීති මොනවාදැයි ළමයන්ට පැහැදිලි කර දීම මුලින් ම කළ යුත්තයි.

කෝටුවකින් පහර දීම, සපත්තු නොදැමීම නිසා සෙරෙප්පු කරේ එල්ලීම යනු පුද්ගලයෙක් තවකෙකුට කරන ශාරීරික හිංසනයකි. වැඩිහිටියෙකුට නොකරන පීඩාවක් දරුවෙකුට කිරීම සාධාරණීය කරන්නේ දඬුවමෙන් දරුවා හදාගන්නට උත්සාහයක් ඇතැයි කියන මුලාවෙනි.

පරුෂ වචනයෙන් බැන වැදීම, අනුන් ඉදිරියේ හෑල්ලු කිරීම, සහ මහජන චරිතයක් නොවන අයෙකුගේ පුද්ගලික වතගොත හෙළි කිරීම යනාදිය මානසික හිංසනයකි.

ශාරීරික සහ මානසික හිංසන වැඩිහිටියෙකුට කරද්දී වැරදි නම් දරුවෙකුට කරද්දී ඊටත් වඩා වැඩියෙන් වැරදි විය යුතුයි.

මන්ද වැඩිහිටියන්ට තමන්ව ආරක්ෂා කරගන්නට තමනට අරියාදු කරන අය සමඟ සටන් වදින්නට හැකියාව තිබුණ ද දරුවන් යනු වැඩිහිටියන් විසින් ආරක්ෂා කළ යුතු අය වෙන නිසයි.

බහ තෝරන වයසේ පටන් කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන දැනුමක් ලබා දීම සාර්ථකව කළ හැකියාව ඇත්තේ එයින් ලැබෙන අයහපත් ඵල විපාක ගැන දරුවාට අත්දැකීමක් ලබා දීමෙනි. එය සංගත ආකාරයකින් කළ යුතුයි. කැමති යමක්, කැමති ක්‍රියාවක්, කැමති නිවාඩුවක්, යම් හැසිරීමක ප්‍රතිඵලය වශයෙන් ලැබීම සහ අහිමිය සිද්ධ වෙන ආකාරය ඉතා ළාබාල වයසේ සිට වටහා ගන්නට හැකියාව මිනිස් සත්වයන්ට ඇත.

වගකීමක් දරන්නට, එනම් තම තෝරාගැනීම් වලින් ඇතිවන ප්‍රතිඵල වටහා ගැනීමේ හැකියාව මිනිස් සත්වයන්ට ඇත.

එහෙත් බොහෝ දෙමව්පියන් නොදන්නාකම මෙන්ම තමන්ට පාඩු සිද්ධ වෙන නිසා, තමන්ට වැඩ වැඩිවෙන නිසා, කම්මැලි නිසා, දරුවාගේ වැරදි නිවැරදි කරන නිසි වෑයම කුමක් දැයි සොයාගන්නට කාලයක් ගෙවන්නේ හෝ එය කරන්නට කාලය කැප කරන්නේ හෝ නැත. බැන්නාම හෝ කෝටුවකින් තැලුවාම ඇතැයි සිතති.

වරදක් නිවරද කරන්නට සුරතල් බල්ලාට පුවත්පතකින් ගැසීම පවා බටහිර රටවල දී හිංසාවක් හැටියට සැලකේ. රේස් දුවන අශ්වයන්ට තළන ආකාරය හා නොතළන ආකාරය ගැන වූ අවිහිංසා නීති සමුදායක් පනවා ඇත්නම් මිනිස් පැටියන්ට අඩුගානේ අශ්වයන්ට වඩා හෝ හොඳින් සැලකිය යුතු නොවේද?!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 29, 2014 at 8:32 පෙ.ව.

    මෙය ඉහත කී “ළමා අයිතීන් පිස්සුව ජාත්‍යන්තරයෙන් ලංකාවට එන හැටි!” යන ලිපියට එන කදිම පිළිතුරක් ලෙස කියවන්නට අවස්ථාව ලැබෙන්නේ වර්තමානයේ බ්ලොග් කියවන්නට දන්නා සීමිත පිරිසකට පමණක් වීම මහත් පාඩුවක් !

  2. amilac2014 said, on අප්‍රේල් 29, 2014 at 10:15 පෙ.ව.

    සුද්දන් නිදහස දෙන විට තිබුන වික්ටෝරියා යුගයෙන් එක අඟලක් ඉදිරියට යන්න අපේ අධ්‍යාපනය අසමත් වෙලා තිබෙනවා. සමස්ත පාසැල් සහ උසස් අධ්‍යාපනය තවමත් තිබෙන්නේ පාලකයින්ට අවැසි සුළු සේවකයින් තනන මුහුනුවරින්.
    එදා සුදු ජනයාට අවැසි වුනේ අපේ රටේ පාලනය ගෙනියන්න ලාබ ශ්‍රමය. ඒ වෙනුයෙන් ඔවුන් දැන හෝ නොදැන පාසැල් ඇතිකලා. ඒ පාරෙම ගිහින් ක්‍රිස්තියානි පල්ලි වලට එකට එක කරන්න ලංකාවෙ පසුකාලිනව පොහොසත් වුන බෞද්ධ පිරිස බෞද්ධ පාසැල් පටන් ගත්තා. නමුත් එවක ක්‍රිස්තියාන ිපාසැල් වලම මිරර් ඉමේජ් එකක් මිසක එතන කිසිම බෞද්ධ දෙයක් සිද්ද වුනේ නැහැ.

    මේ විදියෙ හාත්පසින්ම වෙනස් ක්‍රමයක් ආරම්භ කරපු අයෙක් තමයි රබීන්ද්‍රනාත් තාගෝර්. එතුමාගේ විශ්වභාරතී විශ්ව විද්‍යාලය එකල සුද්දන්ගේ පාඨශාලාවලම ස්වදේශීය භාෂාවෙන් උගන්වන තැනක් නෙමෙයි. ඒක අරමුණෙන්ම වෙනස් එකක්. ඒක හොදද නරකද කියලා හැතනවාට වඩා වඩාත් ඉදිරිගාමීව හිතලා වෙනස්ම මගකට පියමැන්න එක තාගෝර්ගේ උතුම් ගුනයක්.

    අද පාසැල් ලමයෙක් නිළඇඳුම නිසා, කොන්ඩය නිසා, පමනක් නෙමෙයි හැසිරීම නිසාත් ආගම් පොලිසියෙන් ඇතිකරන ලද හොර විනයකට අහුවෙලා. නිතරම තරවටුවකට යටත් වෙලා කොටුවෙලා ඉන්න ළමයාගෙන් කිසිම නිර්මාණශීලි අදහසක් එලියට එන්නෙ නැහැ. ඒ අය ඒ ක්‍රමය තුලම ගිලුනු දේව්ල බවට පත්වෙනවා. හරියට පලතුරු කේක් ගෙඩියක නොපෙනෙන පලතුරු වගේ.

    අරාබියට සල්ලි ලැබෙන්න ගත්තෙ අද ඊයෙ නෙමෙයි. අරාබියත් බටහිර විදියට විශ්වවිද්‍යාල හදලා පාසැල් හදලා අධ්‍යාපනය දියුනු කරන්න හැදුවා. නමුත් දැඩි විනය සහ දැඩි ලෙස හික්මවන්න ලැබෙන ආගමික ප්‍රෙව්ගය නිසා ඒ අයට උගත් පිරිසක් බිහිකරන්න පුලුවන් වුනාට උගතුන් අතර දක්ෂයින් හදාගන්න බැරිවුනා. ඒ නිසා අරාබියෙ තෙල් සල්ලි වලින් ලොකු කොටසක් ආයෙත් නියම උගතුන්සොයා යුරෝපයට ඇමෙරිකාවට ආසියාවට යෙදවෙනවා. දැඩි ලෙස තලලා පෙලලා ලමයි හදන එක වැරදියි. නමුත් ඒක වරදක් කියන එක අපේ රටේදි පිලිගන්නෙ නැහැ.

    බොරු ආගමික වටපිටාවක් නැති දෙයක් ඇතිකරන්න හදන්නෙ නැතුව ආගමික ස්වරූපයෙන් හොර හැදියාවෙන් පාසැල් කැතකරන්නෙ නැතුව ළමයින්ට නිදහසේ සැරිසන්න පුලුවන් අධ්‍යාපනික වටපිටාවක් හදන්න පුලුවන් නම් ලංකාවෙනුත් ලෝකප්‍රකට පුද්ගලයින් වැඩිවශයෙන් බිහි වේවි.

  3. magenama said, on අප්‍රේල් 30, 2014 at 1:30 පෙ.ව.

    ලංකාව අද දවසේ ලයිසන් චණ්ඩි අනුමත කරනා තත්ත්වයකනේ ඉන්නේ.ඉස්කෝලෙක වුනත් යකා වගේ ඉන්න ගුරුවරු වීරයො කරලා.ප්‍රශ්නයක් විසඳන්න සාකච්ඡාවට වඩා බලියගෙන රණ්ඩු කරන එක ලොකු වැඩක් කරලා පෙන්නනවා.ඉතින් මේ ඒ වගේ ප්‍රතිපල තමයි.

    • arunishapiro said, on අප්‍රේල් 30, 2014 at 9:38 පෙ.ව.

      magenama,

      ඊයේ පෙරේදා නංගියෙක් මුහුණු පොතෙන් ෂෙයාර් කළා අපි පුංචි කාලේ තිබ්බ පාන් සලාක පොතේ පින්තූරයක්. ඒක දැක්කම මට මතක් වුනේ කොහුවල හංදියෙන් කොළඹ පැත්තට යන කන්ද උඩ තිබිච්ච පාන් බේකරියේ වයසක ආච්චිගෙ ලයිසන් චණ්ඩි හැදියාව. ගුල්ලො එක්ක පුච්චපු පාන් ගෙඩිය පාන්දර හතරට පහට එකතුවෙන පෝලිමේ ගිහින් සල්ලි දීලා ගන්න අපිට ඒක දුන්නෙ එයාගෙ බූදලෙන් කොටසක් බෙදන විදියට. මිනිස්සුන්ට සලකපු විදිය නිසා ආණ්ඩුව වෙනස් වුනාම එයාට වෙන පළාතකට යන්න වුනා. ඒත් තවමත් වැඩිදෙනෙක් ආණ්ඩුව ලවා බෙදන මෙහෙයුම් වලට කැමතියි!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: