අරුණි ශපීරෝ‍ වෙතින්

සුබ ප්‍රාග්ධන දිනයක් වේවා!

Posted in Uncategorized by arunishapiro on මැයි 1, 2014

291නැහැ එහෙම දිනයක් කවුරුත් සමරන්නෙ නැහැ. ඒත් එහෙම දිනයක් තිබිය යුතු බවේ වැදගත්කම දන්න අය ටික දෙනෙක් හරි ඉන්නවා නම් ඒ ඇති රටක් දියුණු වෙන්න.

ජාත්‍යන්තර කම්කරු/ශ්‍රමික දිනය හෙවත් මැයි දිනය සමාජවාදී සහ වෘත්තීය සමිති සංවිධාන වලින් සමරන දිනයක්. හැමෝම කරන නිසා කරන්න කියලා පොළඹවන, සිංහලයා බෞද්ධයා නැතිවෙලා යාවි කියල බය කරන, දුප්පතුන්ට එරෙහි වූවන් යැයි හංවඩු ගහන, යනාදී උත්සාහයන් තවමත් පවතී.

රොකට්ටුවක් අහසට යවන්න දැනුම, පෝලියෝ රෝගය වැළඳීම සහමුලින් නවතා දමන්නට දැනුම මිනිසා සොයාගති. ප්‍රාග්ධනය මූලික වූ සමාජයක පංති අරගල හටගන්නවා වෙනුවට ඊට ඉඩප්‍රස්ථාවක් නොමැතිවන ආකාරය ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වා දුන්හ. එහෙත් රොකට්ටුවක් අහසට යවන ක්‍රමයක් ඇතැයි පිළිගත්ත ද, පෝලියෝ රෝගය වැළඳීම වළක්වන ක්‍රමයක් ඇතැයි පිළිගත්ත ද (තලිබාන් නායකයන් ද එය පිළිගෙන ඇති බව දැන් පෙනේ) පංති අරගලයට ඉඩප්‍රස්ථාව ප්‍රාග්ධනය මූලික වූ සමාජයක තුරන් වේවි යන්න පිළිගන්නා අය ලොව තවමත් අල්පයකි. අර්ථ ශාස්ත්‍රය නම් දොම්නස් විද්‍යාව හදාරා ඇත්තේ අල්පයක් වීමත් ඒ අය අතරෙන් බහුතරය ඔස්ට්‍රියන් පාසැල ගැන නොදන්නාකමත් ඊට හේතු වේ.

එන්නතකින් පෝලියෝ වැළඳීම වළක්වන ක්‍රමයක් ඇත්නම් එය භාවිතයට නොගෙන සිටිනවා ද?

පංති අරගල තුරන් කර දැමිය හැකි සාර්ථක ක්‍රමයක් දැනටමත් ලොව තිබෙනවා නම් එය කුමක්දැයි පහදා නොගෙන, එය භාවිතයට නොගෙන යළි යළිත් ලොව පුරා අසාර්ථක වූ ක්‍රමයක් ගැන තව දුරටත් ආවඩනවා ද?

සිංහලට පරිවර්තනය වෙනකොට වෙනස් වෙන හැටි ගැන සුජීව මුහුණු පොතේ ලියපු තැනක දැක්කා කවුද යාළුවෙක් දාපු අපූරු ප්‍රතිචාරයක්: අනතුරකට මුහුණ පා සිටින අපව ගලවා ගන්න කියන May Day, May Day දැනුම් දීම මොකක්දෝ චිත්‍රපටියක දී සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ මැයි දිනය, මැයි දිනය කියලාලු!!!!! බීපු තේ උගුර ඉස්මොල්ලෙ නොගියෙ හරි මගෙ යතුරු පුවරුව පුරා විසිර නොගියෙ පුදුම වාසනාවකට. 🙂

මැයි දිනයක් ආරම්භ වෙන්නට පාදක වූයේ චිකාගෝ නගරයේ හේමාකට් පළහිලව්වයි. 1886 මැයි 4 දා දිනකට පැය අටක් පමණක් සේවය කරන අවසරය ඉල්ලා සාමකාමීව වර්ජනයක් පැවැත්වුණ. ඒ අස්සෙ කවුදෝ කෙනෙක් පොලීසියට ඩයිනමයිට් බෝම්බයක් ගැහුව නිසා තමයි සිවිල් වැසියන් හතරක් සහ පොලිස් නිලධාරීන් හතක් මරණයට පත් වූ Haymarket massacre නම් සමූලඝාතනය සිද්ධ වූයේ.

මැයි 1 දාට නොව ඇමෙරිකාවේ ශ්‍රමික දිනය සමරන්නේ සැප්තැම්බර් මාසේ පළමු සඳුදා. එදාට වොෂිංටන් ඩීසී වල හමුදාවේ බලය සහ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පෙන්වන්න බලයේ සිටින රජය සංවිධානය කරන පෙළපාලි නැහැ. විරුද්ධ පක්ෂ තම තමන්ගෙ ජනප්‍රියත්වයන් පෙන්වන්න යන පෙළපාලිත් දකින්න නැහැ. මිනිස්සු තම තමන්ගෙ යාළුවෝ එක්ක උද්‍යානයකට ගිහින් සෙල්ලම් කරලා, පොකුණකින් හෝ මුහුදේ නාලා, බාබික්‍යු කරපු කෑම කාලා, උණුසුම් ගිම්හාන නිවාඩු කාලය අවසන් යැයි සනිටුහන් කරනවා. බොහෝ විට ගිණිකෙළි සංදර්ශනයක් බලන්න ලැබෙනවා.

ඉතින් මේ සටහන ඇමෙරිකන් කම්කරුවාගේ අගය සමරන්නට පවත්වන ඒ දිනය වෙනුවෙන් Scott A. Kjar ලියූ Why Not Capital Day? ඇසුරින්.

එයා අපට පෙන්වා දෙන්නේ ඇමෙරිකන් සිහිනයේ සාර්ථකත්වය නැත්නම් ඇමෙරිකාවේ වාසය කරන අපේ ඉහළ මට්ටමක වූ ජීවන රටාව හිමිවෙලා තියෙන්නේ ඇමෙරිකන් කම්කරුවා නිසා නොවන බව.

ශ්‍රමය වැදගත් වූයේ කෘෂිකර්මය ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගත්ත කාලයේ දී. කාර්මික විප්ලවයට පෙර ඉල කැඩෙන ශ්‍රමයට වැදගත් තැනක් ලැබුණට කාර්මික විප්ලවයෙන් පස්සෙ වැදගත් තැනක් ලැබෙන්නෙ ප්‍රාග්ධනයට.

ප්‍රාග්ධනයක් නැති මිනිසාට ඇඟිල්ලකින් පොළව හාරලා ධාන්‍ය බීජ වපුරන්නට සිද්ධ වෙනවා යැයි කියන කතාව වටහා ගන්නට කී දෙනෙකුට හැකියාව ඇත්ද?

ඇඟිල්ලෙන් හෑරුවාට පස්සෙ, අතු කෑල්ලකින් පොළව හාරන්නටත්, අනතුරුව යකඩ නඟුල් හදාගත හැකියාවට ක්‍රමයෙන් පිවිසීම යනු සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධනය මත බිහි වූ වෙනසක් යැයි වටහා ගන්නටත් කී දෙනෙකුට හැකියාව ඇත්ද?

සරල වශයෙන් හෝ ප්‍රාග්ධන දියුණුවක් හෝ නැත්නම් ලෝකයේ තියෙන සියළුම ශ්‍රමය වෙහෙසුවත් බැහැ ආහාර සැපයුම යාන්තමින් හෝ වැඩි කරගන්න.

ශ්‍රමය මත පදනම් වූ ලෝකයක, ආහාර සඳහා සතුන් දඩයම අනාරක්ෂිත කටයුත්තක්. ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටවල අය ඉතින් ගහකින් වැටෙන ඵලයක්, අලයක් නැත්නම් මුලක් කාලා හැමදාම එකම විදියට ජීවත් වුනාට සීත රටවල අයට එහෙම ජීවත්වෙන්න බැහැනෙ.

සත්තුන්ට ජීවිතය ආරක්ෂා කරගන්න ස්වභාවයෙන්ම ලැබිලා තියෙන අංගෝපාංග නැතිව බිහි වූ මිනිසා දඩයම් කරගන්න උගුලක් හදාගන්න, හෙල්ලක් හදාගන්න ප්‍රාග් ධනයක් ආයෝජනය කළා. ඒ නිසා ටික දෙනෙකුට ලොකු සත්තු අල්ලා ගන්න හැකියාව ලැබුණ. වෙඩි උණ්ඩ හා අවි සොයා ගැනීමෙන් ඊටත් වඩා ලොකු සත්තු ඈතක සිට අල්ලා ගන්නට හැකියාව ලැබුණ.

ශ්‍රමය මත පදනම් වූ ලෝකයක, කලාපයන් අතර වෙළඳ ගණුදෙනු සති ගණන් මාස ගණන් සමහර විට හිම වැටිච්ච පෙදෙස් හා කඳුවැටි තරණයට සිද්ධ වූ නිසා අවුරුදු ගණන් වැය වුනේ තමන්ගේ ශක්තියට අනුව පමණක් ආහාර හා සත්තු ගැල් බැඳගෙන යෑමට වෑයම සීමිත වූ නිසයි.

ඒත් ප්‍රාග්ධනය පදනම් වෙන ලෝකයක රට රටවල් අතර වෙළඳ ගණුදෙනු සඳහා වාහන, ගුවන් යානා, නැව් යනාදියෙන් ටොන් ගණනින් බඩු අරගෙන යන්න පුළුවන්. ප්‍රාග්ධනය පදනම් වූ ලෝකයක එක දිනයක සිද්ධ වෙන වෙළඳ ගණුදෙනු යනු පුනරුද යුගයට පෙර සමහර විට එක වසරක දී, නැත්නම් පුරා ශතකය දී වුවත් සිද්ධ වූ සියළු වෙළඳ ගණුදෙනු හා සමාන විය හැකියි.

වසර දෙදහසක් කෙසේ වෙතත්, වසර දෙසීයයකට එහා හිතන්න බැරි තරම් සුඛෝපභෝගී තත්වයන් අද අපි භුක්ති විඳිනවා. ලංකාවේ වැසියන්ට වසර 20 කට එහා දී හිතාගන්න වත් බැරි තරම් සුඛෝපභෝගී තත්වයන් අද ඔවුන් භුක්ති විඳින බව දන්නෙ වසර 20 කට ඉස්සර ලංකාවේ ජීවත් වූ සහ ඒ කාලය ගැන මතක සටහන් තියෙන අයට පමණයි.

ආර්ථික නිදහස නිසා නිතැතයෙන්ම අධ්‍යාත්මික දියුණුවක් ඇති නොවේ. අධ්‍යාත්මික දියුණුව නම් ඒකීය පුද්ගලයෙක් සොයා යන්නකි. එහෙත් නවීන පහසුකම් වැඩි වීම නිසා පුද්ගලයාට එදාවේල හොයාගන්නට ලත නොවී, නීරෝගී ජීවිත ගෙවීම පහසු කරවමින් කැමති නම් අධ්‍යාත්මය දියුණු කරගන්නට ද කාලය ලැබේ.

තම තමන් කැමති දේවල් හොයන්නට ඉඩක් ලැබෙන්නේ ශ්‍රමය වෙහෙසන්නට ශ්‍රමිකයා සිටීම නිසා නොවේ. ඵලදායකව ශ්‍රමය වෙහෙසන්නට හැකියාව ලැබෙන සේ ප්‍රාග්ධනයක් යට කරන අය ලොව සිටීම නිසයි.

සමාජයේ යහපත පිණිස යැයි කියමින්, දේශපාලන මාර්ගයෙන්, අවදානමක් නැතිව ප්‍රාග්ධනය යට කරන වරප්‍රසාද ලත් පිරිසකට පමණක් වාසිදායක වෙන අන්දම දැකීමෙන් ජනතාව ප්‍රාග්ධනය ගැන වටහා නොගනිති. ඒ නිසා මැදිහත්වීම් වැඩියෙන් කරන ආණ්ඩුවලට දීර්ඝ කාලයක් ප්‍රාග්ධනය නිසා පංති අරගල නැති වී යන ආර්ථික මාර්ගය ද ජනතාවගෙන් වසන් කර තැබිය හැකියි.

වහලෙක් මෙන් වෙහෙසන ශ්‍රමයට වඩා අවදානමක් ගෙන ලාබයක් උපයන ප්‍රාග්ධනයේ අගය වටහා ගත හැකි සියල්ලන්ටම සතුටු ප්‍රාග්ධන දිනයක් වේවා! යැයි ඉහත අමුණා ඇති සබැඳියේ Scott A. Kjar සමඟ මමත් පතන්නම්.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on මැයි 2, 2014 at 1:10 පෙ.ව.

    කොච්චර පහසුකම් භුක්ති වින්දත් සිතින් ගල් යුගයේ ඉන්න මිනිස්සු ඕක තේරුම් ගන්නේ නෑනේ අක්කේ.ඒකනේ ප්‍රශ්නේ.

    • arunishapiro said, on මැයි 2, 2014 at 9:55 පෙ.ව.

      magenama,

      තේරුම් ගන්න හැකියාව ඇති අය ඉන්නවා. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කියා කෑ කෝ ගහමින් අනුන්ට තර්ජන ගර්ජන කරන අයට බය නිසා සත්‍යයෙන් කුතුහලයක් ඇති අය ඒ ගැන තව විමසන්න පසුබටයි.

  2. Krishan rajapakshe said, on මැයි 2, 2014 at 2:32 පෙ.ව.

    ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර තිබෙන සම්බන්ධය මේ විදිහට සරල ලෙස වෙන් කරන්න බෑ කියලයි ම​ෙග් අදහස අරුණි. ඔබ මතුකරන තර්කයම ගමු. සත්තු දඩයම්කරන්න හෙල්ලක් හදන්න යමෙක් ප්‍රාග්ධනයක් යට කලා. හෙල්ල යනු ඊට පෙර පැවති මිනිස් ශ්‍රමය වැගිරු ප්‍රමාණය අඩුකරනවා ඒක සත්‍යක්. නමුත් නැවත වටයකදි කවුද මේ හෙල්ල හදන්නේ? ඒකටත් ශ්‍රමයක් අවශ්‍යයි. නැවති මිනිස් ශ්‍රමයමයි. මේ දෙක inter depend. ඉතිහාසයේ එක් එක් යුගවලදි එහි පරිමාණයේ යම් වෙනසක් වුනත් දෙකම එකිනෙකා මත යැපෙමින් සිටින්නේ. නමුත් අපට අද අභියෝගයක් තිබෙන. ඒකනම් පැරණි ශ්‍රමිකයා සහ ශ්‍රමය, ප්‍රාග්ධනය පැරණි විග්‍රහය පරයා​ෙගාස් එයි හැඩය වෙනස් වී තිබෙනවා. මාක්සේ යුගයේ සිටි කම්කරුවා සහ අද යුගයේ කම්කරුවා අතර වෙනස අහසට පොලව ව​ගේ. ඔව් තවමත් දෙදෙනාම තම ශ්‍රමය විකුණමින් සිටිනවා. නමුත් ඔවුන්ගේ විඥාන අර්ථයෙන් ගත්තාම එදා කම්කරැවා සහ අද කම්කරුවා විඥාන දෙකක්. ආශාවන් ,සමාජ ඉලක්කයන් මේ සියල්ලම කාලයට සහ අවකාශයට අදාළව වෙනස් වෙලා. අප මෙන්න මේ වෙනස් වීම පැහැදිළිකර ගත යුතුයි.නැතිනම් වෙන්නේ පවතින වාස්ථවික තත්ත්වයන් අපගේ විග්‍රහයට හසුනොවීම. ඒ නිසා නව පන්ති අරගලයක් සදහ ඇති ඉඩ අප විසින්ම අහුරනවා. අද දිනයේදී මැයි දිනය යනු කිසිදු ලෙසකින් කම්කරු දිනයක් නොවේ කියලයි මට හිතෙන්නේ. ඒක සුලු ධනේෂ්වර පන්තියක් විසින් අත්පත්කරගෙන ඔවුන්ගේ සැමරුම් දිනයක් කරගෙන. කම්කරු දින සැමරීම නොවෙයි වැදගත් 1886 ගත්ත පියවර එතැනින එහාට පන්නනේ කොහොමද කියන එකයි අභියෝගය .

    • arunishapiro said, on මැයි 2, 2014 at 9:53 පෙ.ව.

      Krishan rajapakshe,

      ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර සම්බන්ධකම් ගැන කියත හැකි සියල්ල මේ එක සටහනෙන් කතා කරන්නට උත්සාහ කළේ නැහැ.

      ප්‍රාග්ධනයට හෝ ප්‍රාග්ධන භාණ්ඩයකට (හෙල්ලක් වැනි) නෛසර්ගික වශයෙන් ස්වභාවික සම්පත් වල හෝ මිනිස් ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ යවන බලයක් නැහැ. ප්‍රාග්ධනය යනු පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස සේ සලකද්දී, ඒ කොටස බුද්ධිමත්ව ආයෝජනය හෝ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ගැනීමේ දී පමණක්, අන්න එවැනි අවස්ථාවේ දී පමණයි ඒකකයක් බැගින් ස්වභාවික සම්පත් සහ ශ්‍රමයේ output එක වැඩි කරන්නේ.

      ආණ්ඩුවෙන් කරන මහා පරිමාණ වැඩ සටහන් වලට මහත් මුදලක් යට කළත්, මහත් ශ්‍රමයක් වැය වුනත්, ඒ උත්සාහයන් නිසා රටක අනාගත පරම්පරාවක් ණය වෙන්නේ ඒ යට කරන මුදල් අයෙක් පරිභෝජනයෙන් තොරව ඉතිරි කරන ලද නොවූ, වටිනාකමකින් සලකන්නේ නැති වූ, ඒ නිසා බුද්ධිමත්ව ආයෝජනය සහ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ගැනීමක් නොවන නිසයි.

      බයිනරි අර්ථ ශාස්ත්‍රඥයන් යැයි හැඳින්වෙන අය දකින විදියට, ප්‍රාග්ධනයට හිමිකම් කියන අයට පුළුවන් පුද්ගලිකව ශ්‍රමයක් නොදවා (personally laboring) නිෂ්පාදනයට සහභාගී වෙන්න. මෙතැන ශාරීරික ශ්‍රමය ගැන නොවේ පුටුවක වාඩිවෙලා අන්තර්ජාලයෙන් කොටස් මිල දී ගන්න විකුණන අය ද ශ්‍රමිකයෙක් හැටියට සැලකෙනවා.

      ඒත් පරිභෝජනය නොකර ඉතිරි කරගන්නා ප්‍රාග්ධනය අහිමි නොවෙන්න, ඉහළ යන ජීවන වියදමත් සමඟින් එහි වටිනාකම අඩු නොවෙන්න සහ එය වැඩි කරගන්න නම්, ආයෝජනය කරන්න සුවිශේෂී කුසලතාවයක් තියෙන්න ඕනෑ. එය ආර්ථිකයක් වැඩ කරන හැටි දැනුම, ජනතාවගේ හද ගැස්ම ගැන දැනුම යනාදියෙන් සැකසුනක් ද නොවේ. එය සමහර පුද්ගලයන්ට ස්වභාවයෙන් පිහිටා ඇති වූවක්. ඔවුන් තමයි ප්‍රාග්ධනය වැඩිකරගන්න අවදානමට දක්ෂ අය. හරියට අයෙක් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෝ සුවිශේෂී විද්‍යාඥයෙක් වෙනවා වගේ.

      ආණ්ඩුවක් ගෙනන නීති පනත් ගැන අනුන්ට කළින් දැන ගැනීම නිසා තම ප්‍රාග්ධනය වැඩිකරගන්න අය හිටියට ඒ අය නිසා ඔවුන් සමඟ මුළු රටේ සියල්ලන්ම යන්නෙ බංකොළොත්බවට.

      හෙල්ලක් හැදීම නිසා කළින් වැගූරූ මිනිස් ශ්‍රමය අඩු වී දැන් ඒ ශ්‍රමිකයාට වෙනත් කටයුත්තකට කාලය හා මුදල් තියෙන්න පුළුවන්. නමුත් ශ්‍රමිකයා යනු තමනට ලැබෙන කාලය හා මුදල් පරිභෝජනය කරන ආකාර දන්නා අයෙක් සහ යම් ඵලදායීත්වයක් උදෙසා කාර්යක්ෂම ශ්‍රමය වෙහෙසන්න දන්න අයෙක් පමණයි.

      යම් ශ්‍රමිකයෙක් තම ඉතිරි කිරීම් වලින් එකතු කරගන්නා ප්‍රාග්ධනය අවදානමකට ලක් කර එය වැඩි කරගන්නට දන්නේ ද, තව දුරටත් ඔහු ශ්‍රමිකයෙක් පමණක් නොව ප්‍රාග්ධන හිමියෙක් ද බවට පත්වේ.

      ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියා ඒ නිසා එකිනෙකා මත යැපෙන්නෝ නොවෙති.

      ප්‍රාග්ධනයක් යට කිරීම ඵලදායීත්වයෙන් තොර වූවක් යැයි දැක, එය ඉතිරි කිරීම් කළ අයෙක් සියල්ල පරිභෝජනය කරන්නේ ද, එවිට ශ්‍රමිකයාට සිය ශ්‍රමය වෙහෙසන්නට මාවතක් නැති වී යයි. ඕනෑම රටක විරැකියාව රජ යන්නේ ප්‍රාග්ධන හිමියාට ඔහු පරිභෝජනයෙන් තොරව කරන ආයෝජන අවදානමට කිසිත් ලාබයක් නැතැයි ඔහු දකින විට. ආණ්ඩුවක් ප්‍රාග්ධන හිමියාගේ භූමිකාව බාරගත් සෑම අවස්ථාවක දී ම එය සෝවියට් රුසියාව වුවත්, මා ඕං ගේ චීනය වූවත්, ෆිඩෙල්ගේ කියුබාව වුවත් අද ඔබාමාගේ ඇමෙරිකාව වූවත් එකම අයහපත් ප්‍රතිඵල ලැබේ.

  3. Krishna Ramanayaka said, on මැයි 3, 2014 at 8:13 පෙ.ව.

    අරුනි අක්කා මම මීට පෙරත් කිව්වා වගේම ඔබේ අදහස් වල නිවැරදි බව ලංකාවේ ජීවත් වෙන හැම කලෙකණ්ණි තත්පරහකම අපි අත් විඳිනවා. හැබැයි මේ අදහස් දේශපාලනිකව ජයගතයුතුයි නේද මෝඩ වාමාංශිකයන් සේම ජාතිවාදී ආගමිවාදී උන්මත්තකයන් සමග සටනක් ( දේශපාලනිකව ) කල යුතුයි නේද ?

    ක්‍රිෂ්ණ

    • arunishapiro said, on මැයි 3, 2014 at 5:46 ප.ව.

      Krishna Ramanayaka,

      දේශපාලන ක්‍රමයෙන් සටන් කරන්නට පළමුව කාලකණ්ණිකම නැති කරන දේශපාලන දර්ශනයක් ඇති බව වටහා ගෙන තිබිය යුතුයි නේද? නොදියුණු රටවල හා හැමදාම දියුණු වෙමින් පවතින රටවල අභාග්‍ය, කාලකණ්ණිකම නැති කරන දේශපාලන දර්ශනයක් ඇතිබව නොදන්නාකමයි. එවැනි දේශපාලන දර්ශනයක් අහලකටවත් එන දේශපාලන පක්ෂයක් ලංකාවේ නැහැ.

      දේශපාලනයේ යෙදෙන්නේ ද අපි වැනිම සාමාන්‍ය මිනිස්සු. දේශපාලනයේ යෙදෙන අය අපට වඩා වෙනස් වූ දැනුමක්, බුද්ධිමත් බවක්, පරිත්‍යාගශීලීත්වයක්, පරහිතකාමීත්වයක් යනාදියෙන් පිරිපුන් අය නෙමෙයි. ජනප්‍රිය කෙසේ වෙතත් සුප්‍රසිද්ධ බැවින් සහ රූපකායෙන් වැඩි යැයි සැලකෙන අය නම් දැන් ඉන්දීය කලාපීය දේශපාලනයේ යෙදෙනවා!!!

      ඉතින් දේශපාලනයේ යෙදෙන්නේ ද සමාජයේම වාසය කරන මිනිසුන් අතරින් අය නිසා, අපි එකිනෙකා විසින් වටහා ගන්නට සහ වටහා ගත් දැනුමෙන් අනිත් අයවත් දැනුවත් කරන්නට උත්සාහයක් ගන්නේ නම් රටක කාලකණ්ණිකම තුරන් වෙන්නේ කෙසේද කියා එවිට වැඩි කල් නොගිහින් පාලකයන් බවට පත්වෙන අයත් රටක කාලකණ්ණිකම නැතිවෙන එකම ක්‍රමය කුමක්දැයි අඩුගානේ අහලා වත් තියේවි.

      දේශපාලන මාර්ගය අපුල අයට ආර්ථික මාර්ගයෙන් ද රටක පැතිරෙන කාලකණ්ණිකම ජයගන්න පුළුවන්. ඒ හැකි තරම් ආණ්ඩුවෙන් බෙදන, නිර්දේශ කරන දේවල් වලින් අයින් වීමෙන්. හැමට සාධාරණයක් කරන නාමයෙන් වරප්‍රසාද ලත් පිරිසකට බෙදන්න හැමෝගෙන්ම උදුරන පිළිවෙතක් ඉල්ලනවා කියන අවබෝධයක් ලැබුවාම ඊ ළඟට ලෙවියතන් රාක්ෂයාගෙන් ගැලවෙන මාර්ගයේ ගමන් කළ යුතුයි. නමුත් එයටත් කාලකණ්ණිකම තුරන් වෙන දර්ශනය කුමක්දැයි යාන්තම් හෝ වැටහීමක් තියෙන්න ඕනෑ. එවිට, මෙහෙ ක්‍රම වේදයන්ට (පහත සබැඳිය) වඩා වෙනස් ක්‍රම වලින් ලංකාවේ ලෙවියතන් රකුසාගෙන් ගැලවෙන්නේ කෙසේදැයි තම තම ඥානය පාදා ගැනීම ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය අනුව සිද්ධ වේවි. Fifty Ways to Leave Leviathan

  4. Bathika Panagoda said, on මැයි 4, 2014 at 7:19 ප.ව.

    Dear Professor

    I’m kasun and I’m a final year History Major at the City University of New York, Staten Island. I study American history but I specialize in Early Modern Europe. I’m a very big fan of your work and its is my aspiration to become a chorent writer like you However, over the year my Sinhala gotten a bit weaker.
    I’m a capitalist no doubt and I’m with you hundred percent. But as I read Engels and Marx, I’ convinced that the “Class System” is reaching its limits. To make my point I attached a paper I did couple of months ago. I hope I make sense. I would very much like to hear your comments.

    With Kind Regards

    Kasun

    Date: Thu, 1 May 2014 10:31:33 +0000

    • arunishapiro said, on මැයි 6, 2014 at 9:21 පෙ.ව.

      Bathika Panagoda,

      මම විශ්ව විද්‍යාලයන්හි උගන්වා ඇතත් කිසිදා මහාචාර්යවරයෙක් =professor වූයේ හෝ දැන් කිසිම ආයතනයක උගන්වන්නේ හෝ නැත.

      මගේ ලිවීම අගය කළාට බොහොම ස්තූතියි. ඒත් papers කියවා විචාරයක් කරන්න තරම් විවේකයක් මේ දිනවල නැතිබව කණගාටුවෙන් දන්වමි.

  5. නිර්නාමික said, on මැයි 5, 2014 at 3:53 පෙ.ව.

    ලෙවියතන් හැර යාමේ මාර්ග 50 ලිපිය සාර්ථකව කියවන්න මගේ ඉංග්‍රිසි දැනුය මදි .කරැණාකර පරිවර්ථනය කරන්න පුලුවන්ද ?

  6. Krishna Ramanayaka said, on මැයි 5, 2014 at 3:57 පෙ.ව.

    මම ක්‍රිෂණ ඔෆිස් එකේ මේල් එක හරහා එවුනේ වැරදීමකින් සමාවෙන්න


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: