අරුණි ශපීරෝ‍ වෙතින්

කයිබොක් සිසුවියන් පැහැරගෙන යෑම

Posted in Uncategorized by arunishapiro on මැයි 6, 2014

බොකො හෙරම් සංවිධානය නයිජීරියාවේ පාසැල් සිසුවියන් 276 කට ආසන්න සංඛ්‍යාවක් කයිබොක් (Chibok) ගමෙන් පැහැර ගෙන යන ලද්දේ අප්‍රේල් 14-15 දිනයන්හි දී ය. බොකො හෙරම් යනු ඊසාන දිග නයිජීරීයාවේ පවතින ඉස්ලාමීය ජිහාඩ් සහ ටක්ෆිරි ත්‍රස්තවාදී සංවිධානයකි. මෙම සංවිධානය විරෝධතාවය දක්වන්නේ නයිජීරීයාවේ අපරාධ හැදියාව වැඩිවීමට මුල් වූවායි ඔවුන් සලකන “බටහිරකරණය” ගැනයි.

පාසැල් දරුවන් ඇතුළුව දහස් ගණනින් ජනතාවක් මේ කණ්ඩායම අතින් ඝාතනය වූහ. නයිජීරීයාවේ ආණ්ඩුව බොකො හෙරම් සංවිධානයේ සාමාජිකයන් ද සිය ගණනක් ඝාතනය කරන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී හදිසි නීතියක් යටතේ සිද්ධ වූ ආණ්ඩු මෙහෙයුම් වලින් අනතුරුව ඔවුන් කඳුකරයට පළා ගියහ. ඒ අස්සේ මාලි රාජ්‍යයේ වූ ප්‍රංශ හමුදා මෙහෙයුමකින් තවත් ඇල් කයිඩා සහ බොකො හෙරම් තස්ත්‍රවාදීන් පිරිසක්ව නයිජීරීයාවට පළවා හරින ලදි.

කයිබොක් ගමෙන් පැහැරගෙන යන 14-18 හැවිරිදි සිසුවියන්ව, විවාහ කරගෙන ඇතැයි කටකතා ලෙස පැතිර ගියේය. ඊයේ විඩියෝ ප්‍රචාරයකින් බොකො හෙරම් නායකයා ලෙස සැලකෙන අබුබකර් ෂකායි (Abubakar Shekau) එය තම සංවිධානයෙන් කරන ලද පැහැර ගැනීමක් බවත්, එය දෙවියන්ගේ ආඥාවක් අනුව සිද්ධ කරන ලද බැව් කියා සිටියේය. මේ දැරිවියන් ඉගෙන ගන්නට පාසැල් යනවා වෙනුවට විවාහ විය යුතු බැව් ඔහුගේ දැක්ම වේ.

මේ දැරිවියන් නයිජීරීයාවෙන් ඉවත්කර දැනටමත් වෙනත් රටවල් වලට හොරෙන් ගෙන ගිහින් ඇතැයි ද ඒ නිසා ඔවුන්ව යළි සොයා ගැනීම අපහසු වේ යැයි ද ඇමෙරිකන් ආණ්ඩුව විශ්වාස කරන බව ඇල් ජසීරා ඇමෙරිකන් නාලිකාව වාර්තා කරන ලදි.

ඔලුමයෝවා ඔකෙඩිරන් නිදහස උදෙසා වූ සිසුන් සංවිධානයේ සාමාජිකයෙකි. හේ නයිජීරියාවේ අබෙයිකුටු හි කෘෂිකර්ම විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. එසේම ලිබටේරියන්වාදියෙකි.

නිදහස උදෙසා අප්‍රිකාවේ පොරොන්දුව, මැයෙන් ඔකෙඩිරන් ලියූ අනගි ලිපියක්* කියවන්නට භාග්‍යය මට ලැබිණ. අප්‍රිකානු පාරම්පරික දේශීය නිදහස් අදහස් සමඟ අත්වැල් බැඳගෙන අප්‍රිකාව පුරා ලිබටේරියන්වාදය අද පැතිර යන්නේ යැයි ඔහු කියයි.

සමාජවාදී මානසිකත්වයක් අප්‍රිකාවට ගෙන්වන ලද්දේ අප්‍රිකාවේ යටත්විජිත මාස්ටර් සර්ලා යැයි කියන ඔකෙඩිරන් බර්ලිනයේ අඳින ලද රාජ්‍ය මායිම් සීමාවන්ට අනුව අප්‍රිකාව බෙදා ඇතැයි ද, ඒ අනුව සලකන ලද “අව්‍යාජ අප්‍රිකානුවන්” යැයි හංවඩු ගැසීම වර්තමානයේ දී නිදහස උදෙසා කැප වූවන් අතින් ප්‍රතික්ෂේපයට පත්වන ආකාරය ද පෙන්වයි.

යුරෝපීයයන් පමණක් නොව අරාබි රාජ්‍යයන් ද අප්‍රිකාව යටත් කර ගත්හ. ඒ ගැන සැවොම දත්ත ද, බහුතරයක් නොදන්නේ අප්‍රිකානු මනස අල්ලාගත් හැටියි. අප්‍රිකාවේ විද්වත් යැයි සැලකෙන බොහොමයක් දෙනා ආණ්ඩුවාදයෙන් පිරුණු අදහස් ඇති අයයි. වෙළඳපොල අප්‍රිකානු විරෝධී බව කියන ඒ අය තවත් උත්සාහ කරන්නේ යටත්විජිත සමයේ මායිම් ගැන දක්වමින් අප්‍රිකානු රාජ්‍යයන් අතර වෙළඳාම නතර කිරීමටයි. අප්‍රිකානු සමාජය ගැන කිසිවක් නොදත්, අප්‍රිකානු සමාජය ගැන කිසි තැකීමක් නොකළ කාල් මාක්ස් වෙතින් සකස්වුන රාමුවක් හදන ලද ඒ අප්‍රිකානු විද්වතුන් එසේ කරන ලද්දේ අප්‍රිකානු අනන්‍යතාවයක් ආරක්ෂා කරගන්නට යැයි කියමිනි.

අප්‍රිකාවේ සේ ම, බටහිර බලවේග, බටහිරකරණය නිසා යැයි යුද්ධ, ඇන කොටා ගැනීම්, වෙඩිතබා ගැනීම්, බාල වයසේ ගැබ් ගැනීම්, ගබ්සා, දික්කසාද, සහ ආණ්ඩුවේ අවසර ඇතිව පමණක් බඩු ගෙනෙන රටක වස විෂ පිරි ආහාර ඇතුළු සියළු දෝෂ වලට හේතු වූ රෝග මූලය සේ වෙළඳපොල දක්වමින් දෝෂාරෝපණය කරන අයව සිංහලෙන් කියවන්නාට ඕනෑ තරම් හමුවේ.

ආගමේ ජාතියේ දේශයේ නාමයෙන්, බටහිර විරෝධය පතුරවමින්, මිනිස් නිදහස උල්ලංඝණයට ඉදිරිපත් වෙන චණ්ඩි ගැන වැඩියෙන් අහන්නට ලැබෙද්දී, නිදහස යන්න නිවැරදිව වටහා ගන්නට හැකියාව ඇති ඔලුමයෝවා ඔකෙඩිරන් සේ ලියන ලංකාවේ එක විශ්ව විද්‍යාල සිසුවෙක් හෝ මගේ ජීවිත කාලයේ දී හමුවේවා යැයි මගේ පැතුමයි!!!!

*Africa’s Promise of Liberty, by Olumayaowa Okediran

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Nethin Eha said, on මැයි 6, 2014 at 10:29 පෙ.ව.

    ගොඩාක් දුක හිතෙන අවාසනාවන්ත සිද්දියක්. මේ තරම් හිත් පින් නැති මිණිසුන්ටත් මේ ලොකේ ඉඩ තියෙන එක ගැනයි පුදුම

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

  2. Krishna Ramanayaka said, on මැයි 7, 2014 at 4:16 පෙ.ව.

    ලංකාවේ ඔකෙඩියන් ලා බිහිවීමට නම් නවලිබරල් වාදය ගැන අඩුගනනේ අසාවත් තිබිය යුතුය.සමහර විට ඔබේ මේ වටිනා එකතු කිරීම් ඒ සදහා ඉදිරියේදී කදිම පසුබිමක් වේවි. ආගම ආර්ථිකය හා දේශපාලනය සමග ප්‍රබලව සම්බන්ධව තිබුනේ වැඩවසම් යුගයේදී නේද . බටහිර ලොව ජයගත් සියලු යුග මග හැරුන ලංකාවේදී සාධනීය ධනවාදය සමග පුස්කාපු වැඩවසම් වාදය කලවම් උනා . අද දවස ගත්තහම හැම කෙහෙල්මලකටම හාමුදුරුවෝ චන්ඩි විදිහට සම්බන්ධ වෙලා. මේ තත්ත්වය නයිජීරියාවෙ තත්ත්වයට වඩා වෙනස් වෙන්නෙ බොහොම ටිකක් කියලයි මම හිතන්‍නෙ. එසේම මම ඔබට වීරයෝ…..පිළිබඳව ලිපියක් එව්වා එය කියෙව්වාද

    • arunishapiro said, on මැයි 11, 2014 at 4:15 ප.ව.

      Krishna Ramanayaka,

      ඔකෙඩිරන් (Okediran) නව ලිබරල්වාදියෙක් නෙමෙයි. මම සේ ම ඔහුත් ලිබටේරියන් අදහස් ඇති අයෙක්. මාක්ස් විසින් වැඩවසම් ක්‍රමයෙන් වෙනස් වී කාර්මික විප්ලවයෙන් පටන් ගැනුණු ආර්ථික ක්‍රමයට ධනවාදය යැයි පරිභව කරන ලේබලයක් ගැසුවා සේ ම නව ලිබරල්වාදය යනු ද වර්තමාන සමාජවාදීන් විසින් ධනේශ්වර ක්‍රමයට පරිභව කරනු පිණිස හදාගත් ලේබලයකි.

  3. Krishna Ramanayaka said, on මැයි 12, 2014 at 12:15 ප.ව.

    බැස්ටියාට් හරහා ගොඩනැගෙන මිනිසාගේ සැබෑ සත්‍ය නිදහස්කාමී මේ දර්ශනය ඔබ කුමන නමකි්න් හඳුන්වනවාද එසේම අක්කා අපි මේ දර්ශනය මත දේශපාලනිකව ලංකාවේ ක්‍රියාත්මක විය යුතු නැද්ද ඔබ කිව්වා හරි ලංකාවේ නිදහස් ආර්ථිකයක් දෙසට යන එක පක්ෂයක් වත් නෑ මම රනිල් ‍ගෙන් ඒක ටිකක් බලාපොරොත්තු උනා එයත් සමහර වෙලාවට මහින්දගෙ ඩුප්ලිකේට් එක වෙන්න හදනව කියල හිතෙනව

    • arunishapiro said, on මැයි 12, 2014 at 1:54 ප.ව.

      Krishna Ramanayaka,

      ලිබටේරියන් යනු එයයි. දේශපාලනිකව ක්‍රියාත්මක වෙන්න කළින් ඒ අදහස් මොනවාදැයි දන්නා රටවැසියන් සිටිය යුතුයි. ඇමෙරිකාව රටක් හැටියට ආරම්භ වූයේ එම අදහස් වලට වැඩියෙන් නැඹුරු වූ පිරිසක් සමඟ.

      ජේ. ආර්. ජයවර්ධන සිට රනිල් වික්‍රමසිංහ දක්වා ඒ අය කළේ විවෘත ආර්ථිකයක අගය කියමින් මහා පරිමාණයෙන් රාජ්‍ය සැලසුම් දියත් කිරීම.

      ලිබටේරියන් අදහස් ඇති අය වැඩිවෙද්දී, ධනවාදී විවෘත ආර්ථික ක්‍රමය වැඩ කරන්නේ කෙසේදැයි වටහා ගන්නා අය වැඩිවෙද්දී රටකට අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න අවශ්‍යත් නැහැ. නව නායකත්වයක් අවශ්‍යත් නැහැ. රටවැසියන් ආණ්ඩුවෙන් වැඩි වැඩියෙන් ඉල්ලද්දී ඉහළ යන්නේ ඔවුන්ගේම ජීවන වියදම යැයි ඔවුන්ට වැටහෙනවා. සාධාරණයක් සලසන නාමයෙන් ආණ්ඩුව ලවා සියල්ලන්ගෙන් උදුරා සුළු පිරිසකට බෙදා දෙන සැලසුම් වෙනුවට තම තමන් වෙහෙසන ශ්‍රමයෙන් නිපැයෙන භාණ්ඩ සහ සේවා තම තමන් සතු මුදලින් මිල දී ගන්නට එවිට රටවැසියන් ක්‍රම සහ විධි හොයාගන්නව.

      ලිබටේරියන් කියන්නෙ උඩ සිට පහළට යන ක්‍රමවේදයක් නෙමෙයි. පහළ මට්ටමේ සියළු ජනතාව තනි තනිවම කරන වෑයමෙන් ආර්ථිකය අගාධයකට වැටීමෙන් ගලවා ගන්නේ කෙසේදැයි නොසලකා හරින්නට බැරි ලෙසකට පාලකයන්ට දැනුම් දෙන ක්‍රමවේදයක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: