අරුණි ශපීරෝ‍ වෙතින්

වෙසක් දිනය නිමිත්තෙන්

Posted in Uncategorized by arunishapiro on මැයි 13, 2014

ධර්මයට අනුව හැසිරෙන්න නම් ධර්මය කුමක්දැයි පහදාගෙන සිටිය යුතුයි. කාලාම සූත්‍රයේ එන එව බලව ක්‍රමය බුද්ධාගමට විශේෂිත වූවක්.

ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායක් ගොඩ නැඟුනේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ සිට. මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත පිරිස ලංකාවට ගෙන ආ වාචික ත්‍රිපිටකය ලක්දිව වාසීන්ට තෝරා පහදා දීමට හැදුවේ සිංහල අට්ඨකතා සමුදාය නොහොත් හෙළ අටුවා නමින්. බුද්ධාගම පිළිබඳ ඉතිහාස වාර්තාවක් සේ සැලකෙන එය අනතුරුව සිංහලට්ඨකතා මහාවංශය නමින් සැකසිණ. පාරම්පරික කතා, ජනප්‍රවාද සහ රාමායනය, මහාභාරතය වැනි දේශීය සහ ඉන්දීය මූලාශ්‍ර වලින් ද කරුණු උකහා ගැනීම ඒ තුලින් දකින්නට හැකියි. එලෙස ගොඩනැඟුණ ලක්දිව සම්ප්‍රදාය ක්‍රි. පූ. පළමුවන සියවසේ දී වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙන තෙක්ම පැවතුනේ වාචිකවයි.

ඉංග්‍රීසියෙන් ලියැවෙන්නක් සිංහලට පරිවර්තනය වෙද්දී වැදගත්ම තොරතුරු වෙනස් වෙන ආකාරය දන්නේ සිංහලත් ඉංග්‍රීසිත් කියවන්නට දන්නා අයයි. සිංහලෙන් ලියන සටහන් පවා සිංහල පාඨකයාගේ හිතට හරියන ලෙසට කපා කොටා ඉදිරිපත් කිරීම පටන්ගෙන තියෙන්නෙ බලාගෙන ගියාම ක්‍රි. පූ. 3 වැනි සියවස දක්වා ඈත අතීතයක දී. සිංහල වාර්තාකරණය නම් අපිට ගජබින්නාලංකාරයකින්ම දායාද වූ “කරවිල හැදියාවක්”!!!

ඉතින්, “ධනවාදයේ මාරක දෝෂය හඳුනාගත් වගයි” කියල සිරස්තලයක් එහෙම හපන්කමක් කරන්න බැරි වෙච්ච අයෙක් ගැන ලිව්වමත් දාන එක මේ සිංහල අපගේ හැදියාවයි!!!!!!

සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ මල්ලිකා සූත්‍රය වර්තමානයේ තමන් බුද්ධාගමේ යැයි කියාගන්නා කී දෙනෙක් දන්නවා ද?

මල්ලිකා දේවිය පසේනදි කොසොල් රජුගේ මෙහෙසිය. ශේක්ස්පියර් ලියූ කින්ග් ලියර් ප්‍රබන්ධයේ එන සීන් එකක වගේ හිතක් පසේනදි කොසොල් රජුටත් පහළ වුණා. ඒ කිව්වෙ තම ප්‍රියාදරයා තමන්ට කොච්චර ආදරේ ද කියල දැනගන්න. ඒ නිසා පසේනදි කොසොල් රජු ඇහුවේ “ඔයාටත් වඩා ඔයා ආදරය කරන කවුරු හරි ඉන්නවා ද?” කියල. උත්තරය හැටියට රජු බලාපොරොත්තු වුනේ “මට ආදරය කරනවාටත් වඩා මම ඔයාට ආදරෙයි,” කියල ඇයගෙන් අහගන්න. එතකොට “මටත් වඩා ඔයාට මමත් ආදරෙයි,” කියල උත්තර දෙන්නයි පසේනදි කොසොල් රජු ලැහැස්ති වෙලා හිටියෙ.

පසේනදි කොසොල් රජුට වඩා මල්ලිකා දේවිය බුද්ධිමත්!!! ඇය පිළිතුරු දෙන්නෙ ප්‍රශ්නයකුත් එක්ක: “නැහැ රජතුමනි, මට වඩා මම ආදරය කරන වෙන කෙනෙක් නැහැ, ඔබට එහෙම ඔබටත් වඩා ආදරය කරන කෙනෙක් ඉන්නවා ද?”

අවංක උත්තරයක් දෙන්න සිද්ධ වෙච්ච රජුට වැටහුනා ඇය කියන්නෙ සත්‍යයක් බව. ඉතින් තමන්ට වඩා ආදරය කරන වෙන කෙනෙක් තමාට නැති බව පිළිගත්ත. ඒත් ඒක හිතට හරියට ඇල්ලුවේ නැහැ. බුදුන් හමුවෙන්න යන පසේනදි කොසොල් රජු සැක දුරු කරගන්න මල්ලිකා දේවියගේ උත්තරය බුදුන් හමුවේ පැවසුව.

බුදුන්ගේ උත්තරය: “තම සිහිනුවණින් සියළු දිග විමසා බලද්දී තමන්ට වඩා ප්‍රිය වූ වෙන අයෙක් තමනට හමුනොවේ. එසේම තමන් අනිත් අය වෙතින් ද දකින්නේ ඔවුන් ඉතා දැඩි සේ ඔවුන්ටම ආදරය කරන බවයි. මේ නිසා අයෙක් තමන්ට ආදරය කරන්නේ ද,එවැන්නෙක් අනුන් හට හිංසා නොකළ යුතුයි.”

අයින් රෑන්ඩ් “ඇට්ලස් හැකිළුණි” ලිව්වෙ 1957 දී. ඉහත බුදු වදන් හා සම අදහසින් වූවක් එහි චරිතයක් වූ ජෝන් ගාල්ට් වෙතින් පිට වූවත් අයින් රෑන්ඩ් බුද්ධාගම කියල හිතාගෙන සිටියේ මහායාන සම්ප්‍රදායේ වත් පිළිවෙත් ඩිංගක් පමණයි. රොබට් නෝසික් විසින් “අරාජිකත්වය, රජය හා උතෝපියාව” මැයෙන් පොතක් ලිව්වේ 1974 දී.

ගාල්ට් චරිතයෙන් ඒකීය පුද්ගල අදහස් ලෝකයා කියවන්න කළින්, සමාජයක සහයෝගීතාවය ඒකීය පුද්ගලයන් වෙතින් සාක්ෂාත් වෙන අන්දම ගැන නෝසික් ලියන්න කළින්, වසර දෙදහස් පන්සිය ගණනකට පෙර සිංහලෙන් කියවන අයට මල්ලිකා සූත්‍රය දායාද වෙලා තිබුණ. ඒත් ඉතින් අපේ ඵෛතිහාසික වස්තු යටත්විජිත ආක්‍රමණිකයන් උස්සන් ගියා කියමින් බටහිර බලවේග වලට පොදුවේ බනින අය නොදකින්නේ පාලි සහ සංස්කෘත ගැන සුද්දන් දැක්වූ කැපවීම නොකළ සිංහලයන් මූලාශ්‍ර විමර්ශනය වෙනුවට හුරු වී සිටින්නේ තම පැතිවාදය අනුව බෙදන්නට සහ එහෙම බෙදන දෙයක් ගිලන්නටයි.

තමන් වැඩියෙන්ම ආදරය කරන්නේ තමනට බවත් එසේම අනිකුත් අය ද වෙන අයට වඩා ඔවුන්ටම වැඩියෙන් ආදරය කරන බවත් පසක් කරගන්නේ ද, එවිට අනෙකාට ගෞරව කිරීම ආචාර ධාර්මික පදනමක් හැටියට ගොඩනඟා ගත හැකිවේ. ඉන් පසුවයි අනුන්ගේ අවශ්‍යතා ගැන කැක්කුමක් ඇතිවෙන සමාජ සහයෝගතාවය පිළිබඳ පදනමක් ගොඩනඟා ගන්නට හැකියාව ලැබෙන්නෙ.

ඊනියා වදනේ අර්ථය නම් “එසේ යැයි කියන එහෙත් එසේ නොවන” යනුයි. ඉතින් සිංහලයාට දායාද වූ ඊනියා බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය සැකසුනේ මල්ලිකා සූත්‍රයේ දැක්වෙන ඒකීය පුද්ගලත්වය (individualism) පදනම් කරගෙන ද?

එහෙම නැත්නම් වෙසක් දිනයේ තොරන් ගසා කියාදෙන වෙස්සන්තර ජාතකය පදනම් කරගෙන ද?!!!!

ඇතාව, රජකම, වස්තුව විතරක් නෙමෙයි එයාගෙ දරුවන්, ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා මහළු පූජකයෙකුට මෙහෙකාර වැඩට “දන් දුන්” වෙස්සන්තර බෝධිසත්වයෙක් සේ දැක්වීම නොදන්නා සිංහල බෞද්ධයෙක් ඉන්නවා ද?

පසේනදී කොසොල් රජුගේ මල්ලිකා බිසව ආදරය ගැන පැවසූ වදන් ගැන බුදුන්ගේ උදාන වාක්‍යයට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක් වෙස්සන්තර රජුගේ මද්‍රිදේවිය ගැන වෙස්සන්තර ජාතකයෙන් සිංහල බෞද්ධයාට ලැබේ. එනම් “ස්ත්‍රීහු නම් දනට බාධා කරන සුළුය. හොඳ නොහොඳ නොදනිති.”

ඉතින්, බෝධිසත්වයෙක් යැයි සිංහල බෞද්ධයාට හඳුන්වා දෙන වෙස්සන්තර යනු තම දරුවන් දන් දුන් පින නිසා ලොව්තුරා බුදු බව ලැබේවා යි පතන්නෙකි. වැඩකාර කමට අහිංසක දරුවන්ව දන් දුන් රජු ගැන “දෙවියෝ සතුටුව මල්වැසි වැස්වූහ,” යැයි ලියයි. මහළු බමුණා දරුවන්ට ලේ වැගිරෙන ලෙස තලමින් ගෙන යන බව දකින වෙස්සන්තර දාන පාරමිතාවේ අනුසස් සලකා එනම් මතු බුදුබවක් තමනට අපේක්ෂාවෙන් ඔවුන් බේරාගන්නට ආ තම සිතුවිල්ලට නින්දා කරයි!!!!!

ඊ ළඟට මහළු වේශයෙන් එන ශක්‍රද්වේන්ද්‍රයා දාසකමට වෙස්සන්තරගේ භාර්යාව ඉල්ලයි. මල්ලිකා මෙහෙසියට සහමුලින් වෙනස් වූ මද්‍රීදේවිය පිළිතුරු දෙන්නේ තමන්ට වඩා ඉහළින් ඉන්නා රජුට දාසකමට දෙන්නට, වස්තු සඳහා දෙන්නට හෝ මස් පිණිස දෙන්නට ඕන කැමත්තක් කරන්නට හැකියි කියාය.

ඉතින් තව දුරටත් රට වැසියන්ගේ වෙහෙසින් මංකොල්ල කාපු ධන වස්තු, තමන්ගෙ දරුවන් හා තමන්ගෙ බිරිය ද දන් දෙන වෙස්සන්තරව සිංහලෙන් කියවන්නට ඉදිරිපත් කරන්නේ “ඒකාන්තයෙන් සම්මා සම්බුදු බවට පැමිණ සියළු ලෝ වැස්සන් නිවන් පුරයෙහි පිහිටුවාලිය” හැකියාව තියෙන බෝධිසත්වයෙක් හැටියටයි.

ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා බේරාගන්නට මහළු බමුණාට රත්‍රන්, ඇතුන්, සත්මහල් ප්‍රාසාදයක් යනාදියෙන් බරේ බර වස්තු දෙන්නේ සඳමහ රජුයි. රාජ භෝජනය දිරවා ගන්නට නොහැකි මහළු බමුණා මිය ගියාම, දරුවන් වෙස්සන්තර වෙත කැඳවා ගෙන යන්නේ ද සඳමහ රජුයි. වෙස්සන්තර සහජාත සැට දහසක් යෝධයන් විසින් පිළියෙල කළ සුවඳ පැනින් නාලා සූසැට ආභරණයෙන් සැරසී දේවේන්ද්‍ර ලීලාවෙන් නැවතත් ඔටුන්න පළඳියි!!!

ජාතක කතාව අවසන් වෙන්නේ මහළු බමුණා දෙව්දත් තෙරුන් බවත්, සඳමහ රජු සුද්ධෝදන රජු බවත්, වෙස්සන්තර රජ්ජුරුවෝ නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බවත් සටහන් තබමින්.

සමහර අයට අනුව ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ජාතක කතා පොත් වහන්සේ තරම් වටිනා ග්‍රන්ථයක් තවත් නොමැති තරම්!!!!

ඉතින් ජාතක කතා පොතෙන් බෞද්ධ ජන සමාජය සාධු සුචරිතවත් මාවතකට යොමු කරනවා නම් (මගේ වචන නෙමෙයි ඉහත සබැඳි ලිපියේ වදන්) එහෙම නම් අද සිංහල බෞද්ධයා බුදු වදන් අමතක කරලා ද?

550 ක් තියෙනවා කිව්වට 547 ක් පමණක් තියෙන, කුරුණෑගල යුගයේ පැරකුම්බා රජ සමයේ ජාතකට්ඨ කතාවත්, ජාතක පාලියත් ඇසුරෙන් සැකෙසන බුත්සරණ කතුවරයා ලියූවා යැයි කියන ජාතකයයි සිංහල පාඨකයාට ලැබෙන්නෙ.

පසේනදි කොසොල් රජු හා මල්ලිකා දේවිය අතර වූ ආදරයට තැනක් නොලැබී ගේහසිත ප්‍රේමය?, දාරක ප්‍රේමය, අඹුසැමි ප්‍රේමය, ඒ බැඳීම් අත් ඇරීමේ වේදනාව අපේ ජාතියට කියා දුන් වෙනත් ජාතකයක් නැති බවත් මේ ඇසුරින් නිර්මාණ දහස් ගාණක් සිංහලයට එක් වී තියෙන බවත් කියවද්දී

සිංහලයන් යනු මිනිස් ස්වභාවය බාරගන්න අකමැති ජාතියක් ද? මිනිස් ගතිය ඉක්මවා ගිය දේවත්වයට ළං වූ අයෙකුට පමණයි වෙස්සන්තරලා වැනි ඒ අපහසු පරිත්‍යාගයන් කළ හැකි වෙන්නේ යැයි කියද්දී, සිංහල බෞද්ධයා මිනිස් ගතිය කුමක්දැයි බුදුන් දෙසූ වදන් විමසන්නෙ නැත්තෙ ඇයි?

මල්ලිකා බිසවට බුදුන් දෙසූ වදන් උදාන වාක්‍යය ලෙස සැලකෙද්දී “උදාන” කියන වචනය අද භාවිතා වෙන තැන්, කාල්ටන් සුව උදාන එහෙම දැක්කම ඉතින් පන්සිය පනස් ජාතක ලියැවෙච්චි කාලයේ පටන් තාමත් ජාතක කතාවෙන් ඔප වැටුණු සිංහල සමාජය රැවටෙන රැවටිල්ල ගැන කියලා වැඩක් නෑ.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. amilac2014 said, on මැයි 13, 2014 at 9:32 පෙ.ව.

    ජාතක කතා ලියල තියෙන්නෙ දඹදෙනි යුගයෙ ්කියලා කාරුත් දන්නවා. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වලින් බුදුදහම වෙනස් වෙන එක තැනක් තමයි. එක එක අය එක එක පොත භාවිත කිරීම.
    ක්‍රිස්තියානි අය බයිබලය. ඉස්ලාම් අය කුරානය. ඔවුන්ගේ ධර්මය ලෙසඒ පොත් සලකනවා.
    නමුත් බෞද්ධ අයට මේ ආත්මයේ කියවලා ඉවර කරන්න බැරි තරම් ධරමස්කන්ධයක් සහ අවබෝධ කරගත යුතුයැයි සැලකෙන නොපෙනෙන දහම් කොටස් වලින් සමන්විතයි.
    බෞද්ධ කියන පදයෙන් හැඳින්වෙන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. ඒ අනුව එක් එක් අය බෞද්ධ කියන පදයේ තේරුම තේරුම් ගන්නෙ තමුන්ට කැමති ආකාරයෙන් තමුන් ආසා කරන ආකාරයෙන්.
    නමුත් ක්‍රිස්තියානි හෝ ඉස්ලාමියන් මිට වඩා වෙනස්. ඔවුන්ට විශාල පත පොත රාශියක්හෝ බවුන් වඩලා අවබෝධ කරගන්න ලොකු විසාල දෙයක් නැහැ. ඒ නිසා ඔවුන් ක්‍රිස්තියානි ලබ්දිකයා හෝ ඉස්ලාමියා කියන කොට එහි තේරුම බොහෝ දෙනාට සරලවම වැටහෙනවා. එහි පුද්ගලානුබද්ධ වෙනසක් තියෙන්නෙ අඩුවෙන්.

    ඒ අතින් ගත්තාම කවදාවත් වාද කරලා අනික් පාර්ශවයට දිනන්න බැරි දහමක් තමයි බුද්දාගම. මොකද තියෙන ධර්ම කාරණා ප්‍රමාණය සහඒවා අර්ථ නිරූපනය වන ආකාරය විශාලයි. යමෙක් බුදුන් බුදුවන කොට අහස ගගුරලා පොලව හෙල්ලිලා දෙදරුම් කාපු එකෙන් අවැඩක් වෙනවා කියල තර්ක කලොත් බෞද්ධ පාර්ශවයේ අයට දෙන්න උත්තර බොහෝ ගානක් තිබෙනවා. නමුත් ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් අය දිහාට ඒ විදියෙ ගැටලුවක් ඉදිරිපත් කලොත් ඔව්න් අසරණ වෙනවා..

    • arunishapiro said, on මැයි 17, 2014 at 10:08 පෙ.ව.

      amilac2014,

      ක්‍රිස්තියානි බයිබල් කීයක් තියෙනවා ද? පැරණි තෙස්තමේන්තුව, නව තෙස්තමේන්තුව, ජේම්ස් රජ්ජුරුවන්ගේ, නව ජේම්ස් රජ්ජුරුවන්ගේ, මෝර්මන් බයිබලය … එක් ලක්ෂ පනස්දාහකට අධික සංඛ්‍යාවක් පැරණි ලියැවිලි සමන්විත ප්‍රභේදන (variations) තියෙද්දි ක්‍රිස්තියානි යැයි කියන සියල්ලන්ම එක පොතක් භාවිතා කරනවා කියන්න නොහැකියි.

      කුරානය ද මුස්ලිම් සියල්ලන්ට එකසේ දායාද වූවක් නොවේ.

      අතීතයේ නම් යම් වචනයක අර්ථය කුමක්දැයි අපි දැන සිටියා. අද ඒ ඒ අය හැම පදයක්ම තම තමන්ට කැමති ආකාරයෙන් යොදා ගන්න එක නම් දකින්න පුළුවන්. ඒත් එහෙම වුනාය කියල වචනය වෙනස් වෙනවා ද? නැත්නම් වචනයේ අර්ථය කුමක්දැයි නොදන්නා අය වැඩිවෙනවා ද? (උත්තර අවශ්‍ය නැහැ තනිවම කල්පනා කරලා තමන් ආසා උත්තරයක් පිළිගන්න!!! මොකද තමන් පිළිගන්න එක වෙනස්කරන්න වෙන කාටවත් බැහැ!!!)

      ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බැතියෙන් අදහන අය සහ ඒවායේ දර්ශනයන් විමර්ශනයෙන් හදාරන අය වෙනස්. දෙවැනි කොටස, තමන් ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් යැයි හඳුන්වා ගනිමින් එහෙත් දෙවියන් වහන්සේ ලෝකය මැවීම ගැන සහ කන්‍යාවියන් පිරුණු දිව්‍ය ලෝකයකට මරණින් පසුව යන්න ලැබීම ගැන විචාරය කරන හැටි දකින්න පුළුවන්.

      ආගමක් කියන්නේ ඒකීය පුද්ගලයෙක් සොයා යන එයාගේම කියන උවමනාවක් සපුරන්නක්. දවල්ට කන්නෙ මොනව ද කියල ඇහැව්වම ඔය හදලා තියෙන දෙයක් කන්නම් කියන අය ඉන්නවා. ඒ අය දෙමව්පියන් වෙතින් දායාද වෙච්ච ආගම අදහන අය. ඒ අය ලෝකෙ වැඩියි. තමන් කිසිදාක නොදැක්ක රස නොබලපු ආහාරයක් හදාගෙන කාලා රස බලන්න වෙහෙසෙන අයත් ලෝකෙ ඉන්නවා. මේ කොටස ලෝකයේ අඩුයි. තවත් පිරිසක් තමන්ට ආගමක් අවශ්‍ය නැහැයි කියලා අනුන් කියන නිසා කියමින් රැල්ලේ යන සහ තමන් විසින් අනවශ්‍ය යැයි වටහාගත් අය ද වෙති.

  2. Thilina Peeris said, on මැයි 14, 2014 at 1:45 ප.ව.

    අරුණි,

    බුදුදහම පිලිබදව මට සහතික නැතිබව මුලින්ම කියන්න ඕනේ. මම ත්රිපිටට සුත්රි කියවා ඇත්තේ කීපයක් පමණයි.
    කාලාම සුත්ත ගැන කතා කිරීමෙදී බොහෝ දෙනා බුදු දහමේ නිදහස මෙයින් සදහන් වන බවයි.
    මෙය විමර්ශනයට බුද්ධ ජයන්ති සුත්ත පිටකය අපි තෝරා ගත හොත් අන්ගුත්තර නිකායෙ පලවෙනි ග්රෙන්ථය http://aathaapi.org/dwncounter.php?number=55 පිටුව 337 (කරුණා කර පිටුවක් හැර පිටුවක් බලන්න )
    බුදුරජානන්වහන්සේ කාලමයන්ගේ ප්රශ්නයට පිළිතුර ආරම්බ කරන්නේ තවත් ප්රස්නයක් විමසමින් මුලින්ම ලෝභය හොදද නරක දැයි විමසයි. දැන් අවංකව සිතන්න මෙම ප්රිශ්නය පොහොසත් වියපාරිකයකු ගෙන් වීමසුවතින් අවංක පිළිතුර වන්නේ “ ලෝභය හොදයිනේ!, ලෝභය නිසා සේවකයින්ට අඩු වැටුප්! සහ වැඩි ලාභ ලැබෙන ලෙස වැඩිමිලට විකුනුවනේ!, එමනිසා මම පෝසත් උනා!! “
    ඉහත සදහන් උත්තරයක් ලැබෙනු ඇති නමුත් මෙහි බුදුරජාණන්වහන්සේ තව කරුණු එකතු කරනුලබේ එනම් නුවනැත්තන් දොස්නොකියන ක්රිුයාවක් වියයුතු බවයි. මෙහි නුවනැත්තන් කවුද ? මෙහි අදහස් කරනු ලබන්නේ රහතන් වහන්සේලායි!!.

    නමුත් කාලාම වාසීන් ලෝභය වැරදි බව ප්ර්කාශ කරයි, මෙයින් පෙනෙන්නේ ඔවුන් අද්යාත්මිකව යම් අවබොදයක සිටි පිරිසක් බවයි.
    එමනිසා අපට වැටහෙන ලෙස හොද සහ නරක තීරණයට “කාලාම සුත්ත” යොදා නොගත යුතු බව සහ මුල් ත්රිසපිටක ග්රින්ථ පරිශීලනය මගින් බොහෝ ගැටළු නිවරදිකරගත හැකියි.

    තිලින

    • arunishapiro said, on මැයි 17, 2014 at 10:24 පෙ.ව.

      Thilina Peeris,

      පව් පින් රැස් කරන්නේ පුද්ගලයාය. එසේම ලෝභය ද පුද්ගලයෙකුට විශේෂිත වූවකි.

      ලෝභය නිසා සේවකයන්ට අඩු වැටුප් සහ වැඩි ලාබ ලැබෙන ලෙස වැඩි මිලට බඩු විකුණා පොහොසත් ව්‍යාපාරිකයෙක් වෙන්නට හැකි යැයි සිතීම බිස්නස් කරන හැටි නොදන්නා අය හිතන හැටියි. ලංකාවේ ආණ්ඩුවේ සපෝට් නැතිව බිස්නස් සාර්ථක වූ ව්‍යාපාරිකයන් වැඩිය නැත්තේ ඒ නිසාම වෙන්නත් ඇති!!! ව්‍යාපාරිකයා පොහොසත් වෙන්නේ ලෝභය නිසා නෙමෙයි, තමන් හදන භාණ්ඩ කැමැත්තෙන් මිල දී ගන්නට ඉදිරිපත්වෙන පාරිභෝගිකයන් සිටින විටයි.

      මම කිව්වත් පිළිගන්න එපා යැයි බුදුන් කියා ඇත්නම්, එහි දී රහතන් වහන්සේලා දොස් කියන නිසා යැයි යම් ක්‍රියාවන් නොකිරීම බුදු වදනට පරස්පර විරෝධී නොවේ ද?

      “අපට වැටහෙන ලෙස,” බාරගැනීම යනු කම්මැලි හැදියාවකි. සත්‍යය ගවේෂණය රිසි නම් තමන් විසින් සොයා බලා විමර්ශනය සඳහා ත්‍රිපිටක සූත්‍ර සියල්ල පමණක් නොව ඒවා ගැන ලියැවෙච්ච අට්ඨකතා හා තවමත් ලියැවෙන පතපොත පවා කියවන්න උවමනායි!!!!

  3. magenama said, on මැයි 15, 2014 at 11:43 ප.ව.

    සේරටම කලින් අක්කට සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියා පතමි.දැන් ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන්නේ බුදු දහම හෝ ඒකේ හරයන් නොවේ.ඒ වෙනුවට තමන්ගේ පුද්ගලික මතවාද බෞද්ධ යැයි කියන සම්ප්‍රදායකට මුවා වෙලා ඉදිරිපත් කරන එක.වැඩිදුර යන්න ඕන නෑ,”කුල” දරුවන් සසුන් ගත කිරීම?.

    • arunishapiro said, on මැයි 17, 2014 at 10:27 පෙ.ව.

      magenama,

      ප්‍රමාද වෙලා හරි ඔබටත් සුබ වෙසක් යැයි පතන්නම්! වල්පොල රාහුල හිමියන් ‘කුල’ දරුවන් සසුන්ගත කිරීම ගැන අපි ඉපදෙන්නත් කළින් විරෝධය පා තිබුණක්. ඒත් සම්ප්‍රදාය මෙහෙමයි කියල ජනතාව දක්කා ගෙන යන්න බෑනේ සම්ප්‍රදාය ගැන විමර්ශනයට ඉඩ දුන්නොත්.

  4. Wmk Samarasekara said, on මැයි 16, 2014 at 10:27 ප.ව.

    ඔබේ මේ ලිපිය 13දා පල උනත් අද වනතුරු කව්රුත් මොකුත් ලියයි කියල මා දිනපතාම බලා සිටියත් කව්රුත් මොකුත් ලියල නැහැ.( මා උත්තරයක් ලියන්න හිතුවත් ඉස්සර වෙලාම නරකක් ලියන්න හොඳ නැති නිසා ටිකක් ඉවසල හිටියා.)
    එකෙන් අදහස් වන්නේ ඔබ ලියා ඇති දේවල් සියල්ල ඇත්ත කියල අපි පිළිගත්තා කියල නම් නෙමෙයි.

    ඔබට කරුණු හොඳටම පැටලිලා.මහාවංශය ලිවීමයි,ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කිරීමයි යන කරුණු ජාතක පොත් වහන්සේ සමග පටලන්න එපා.ඒවා එකිනෙකට වෙනස් කරුණු. ඒ ගැන ඔබට විවේචන තිබෙනවා නම් ඒවා වෙන වෙනම ලියන්න.නැතම් මේවා හරියට නොදන්නා තරුණ පරපුර අතර පටලැවිලි ඇති වෙනවා.

    ජාතක පොත මල්ලිකා සුත්‍රය සමග සැසඳීමට ඔඅ කල්පනා කිරීම හරිම බොළඳ වැඩක්.ත්‍රිපිටකයේ කෝසල සංයුක්තය කියල වෙනම කොටසක් තියෙනවා.එකෙ තියෙන්නේ බුදු රජුන් විසින් කොසොල් රජුට විවිධ අවස්ථාවලදී දෙසු සුත්‍ර.ඒ කොතැනවත් කොසොල් රජු අදිගමනයකට පත් උනා කියල නැහැ. භද්‍රජි මහින්ද ජයතිලක මහතා පසේනදී කොසොල් රාජු ගැන ලියු පිටු 377කීන් යුත් පර්යේෂණ කෘතියක් මගේ පොත් එකතුවේ තියෙනවා ඔබේ ලිපියෙන් පසු මා නැවතත් එම පොත කියවා බැලුවා. මල්ලිකා සුත්‍රය ජාතක පොත සමග සැසඳීමක් නම් එකෙ නැහැ.

    ජාතක පොත ලියල තියෙන්නෙ පාලි ජාතක අට්ඨ කතාවෙන් තමයි. එකට පාදක කරගත්තේ සිහලට්ඨ කථා නමුත් මුලික පදනම වුයේ සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පොත් 15න් එකක් වන ජාතක පාලියෙන්ය.මේකෙ ගාථා 6463ක් තිබෙනවා. තිරිපිටකයේ තියෙන 84000ක් ධර්ම වලින් 82000ක් බුදුන් වහ්සේ විසින් දෙසු ඒවා බවත් එම භාශියන් අද දක්වාම් නොවෙනස්ව ඇති බව ලෝකයා පිලි ගන්නවා.අටඨ කතා වලින් කරලා තියෙන්නෙ ඒවා විස්තර කිරීමයි.

    ජාතක පොත් වහන්සේ සිංහල වීඥානය කර ඇති බල පෑම අවිවාදිතයි.බුදු රජුන්ගේ දශ පාරමිතාවන් විස්තර කිරීමට ලියා ඇති එය මානව සමාජයේ අඩු ලුහුඬු කම් මැනවින් විස්තර කරන කතා ඇතුලත් කියවීමට නොව ඇසීමට ලියා ඇති පොතක් ඒකෙ තියෙන .වෙස්සන්තර ජාතකය යනු සිංහල ඥානයට තදින්ම බැස ගත් එකක්. ඒ නිසා තමයි මල ගෙවල් වලදී ඒක කියන්නේ.

    වෙස්සන්තර ජාතක විවේචනය කරන්න ඉස්සරවෙලා ජාතක පොතේ 61 ජාතකය (අසාත මන්ත්‍ර ජාතකය ) 62 අන්ධ භූත ජාතකය, සහ 63 තක්ක ජාතකය සිංහල වීඥානයට කරලා තියෙන බලපෑම හොයල ඉදිමුද ?

    අසාත මන්ත්‍ර ජාතකයෙන් කියවෙන්නේ වයස අවුරුදු 120ක් ගිය ගැහැනියෙකුගේ කාමශාව නිසා තම පුතා මරන්න ගිය කතාව. අන්ධභූත ජාතකයෙන් කියවෙන්නේ පිලිසින්දගැනීමේ පටන් ආරක්ෂා කලද පතිවත බිඳ ගත් ගැහැණියකගේ කතාව.තමන් බේරාගත් තවුසා මැරීමට හොරා මෙහෙයවූ සිටු කුමාරියකගේ කතාව.

    • arunishapiro said, on මැයි 17, 2014 at 10:31 පෙ.ව.

      Wmk Samarasekara,

      භද්‍රජි මහින්ද ජයතිලක විසින් මල්ලිකා සුත්‍රය සහ ජාතක පොත සමග සැසඳීමක් කරපු නැති නිසා වෙන කාටවත් එහෙම කරන්න තහනම් ද?!!!!!

      වෙස්සන්තර ජාතකය සිංහල ඥානයට තදින්ම බැසගත් එකක් බව තමයි මාත් කියන්නෙ. 😀 මල්ලිකා සූත්‍රය ගැන දන්න අය ඉන්නවා ද කියල ඇහැව්වෙ ඒ නිසාමයි.

  5. Krishna Ramanayaka said, on මැයි 18, 2014 at 5:25 පෙ.ව.

    බුදු දහම ආගමක් ඒක පිළිගන්න අයෙකුට ඒ තුලින් තම ජීවිතය යහපත් ලෙස හැඩගසාගන්න පුලුවන් ඒත් අපේ රටේ ආගම බඩවඩාගන්න තමයි යොද‍ා ගෙන තියෙන්නෙ .වෙස්සන්තර කතාව අපට වැඩියෙන් කියදෛන්නෙ අපව දක්කගෙන යන්න හොඳ කතවක් ඒක. ආගම හා ශාස්ත්‍රෑවරැන් ඓතිහාසාක කාර්යභාරයක් ඉටු කලා ඇත්ත . පසසෙ ආගම ජනතාව දක්කන් යන්න පාලකයන්ට හොඳ කෙවිටක් උනා ( කියවන්න , සිවුර සහ නගුල පොත ) වල්පොල රාහුල හාමුදුවො කියනව වගේ අපි බුදුදහම අදහන්නෙ හුදෙක් උප්පතියෙන ඒක අපේ ආගම නිසයි.එහෙම නැතිව විචාර බුද්ධියෙන් නෙමෙයි අජාන් බ්‍රහ්මවංශො කියන හාමුදුරුවො මීට වෙනස් . කොහොම උනත් ආර්ථිකයට ආගම පටලවා ගැනීම නම් විහිලුවක් .ආගම ආගමක් විදිහට තියෙන්න හරින්න අද ලංකාවෙ අමාත්‍යාංශ හදල කොමිෂන් දාල අසපු හදල බලෙන් සීල ව්‍යාපාර තියල පෝයට මස්කඩ බාර් වහල හන්දියක් හන්දියක් ගානෙ කපුටු බෝ හදල උදේ හැන්දෑවෙ සින්දුවක් අහන්නවත් නැති විදිහට පිරිත් දාන්නෙ .බුදුන්ගේ දහමට අනුවද කියන එක ලොකු ගැටලුවක් අනික අන් ආගමික ස්ථාන වලට බලෙන් ඇතුලුවෙලා ඒ අයට හිරිහැර කරන එකත් කෙතරම් දුරට බුදු දහමට අනුකූලද ?

    • arunishapiro said, on මැයි 18, 2014 at 5:25 ප.ව.

      Krishna Ramanayaka,

      ලොවට කුමක් බිහිවුවත් එය තමන්ගේ බඩ වඩාගන්න යොදාගන්න බලතණ්හාධිකයන් ඉන්නවා. ඒත් බලතණ්හාධිකයා කවුද යන්න හොයන්න හුරුවක් බහුතරයක් වර්ධනය කරගෙන නැහැ. තමන් විසින් නිෂ්පාදනය කරන්නක්, සපයන සේවාවක්, සපයන ශ්‍රමයක් කැමැත්තෙන් මිල දී ගන්නා අයට විකුණනවා වෙනුවට බලතණ්හාධිකයා යනු අනුන් ලවා තව පිරිසකට නීති පනවා තම ධනය, බලය හා කීර්තිය වැඩි කරගන්නා අයෙකි.

      ඉතින් ඒ සඳහා පාවිච්චි කරන ආගම කොයි එක ද කියලා වෙනසකුත් නැහැ. පුරාතන ඉන්දියාවේ වේදාන්ත හැදැරීම බ්‍රාහ්මණ කුලයේ බමුණන්ට පමණක් අවසර තිබෙන ලෙසින් ඔවුන් රටේ නීති දාගත්ත. ජර්මන් ජාතික මාටින් ලූතර් කතෝලික යතිවරයා ලතින් භාෂාවෙන් වූ ක්‍රිස්තියානි බයිබලය 16 වැනි සියවසේ දී සාමාන්‍ය මිනිසුන්ට කියවන්නට හැකි පරිදි ව්‍යවහාර ජර්මන් බසකින් ලිව්වම රාජ්‍ය උදහසට ලක් වූවෙක්. ඔහුගේ උත්සාහය නිසා සම්මත ජර්මන් භාෂාවක් නිර්මාණය වුණා. බයිබලය ඉංග්‍රීසියෙන් ලියැවෙන්න මූලික වූයේ මාටින් ලූතර්. පල්ලියට සල්ලි දීලා දෙවියන්ගෙන් සමාව ලබන්න බැහැයි කිව්වම එවක පාප් වහන්සේ Pope Leo X 1521 දී ඔහුව කතෝලික පල්ලියෙන් නෙරපා හැරියා. රටේ එම්ප්‍රදෝරුවා ඔහුව නීති විරෝධියෙක් හැටියට හංවඩු ගැහුව. අද තලිබාන් අය, බොකො හරාම් අය කාන්තාවන්ට ඉගෙනීම තහනම් කරන්නේ ද ඒ ඔවුන්ට බලතණ්හාධිකයන් විය හැකි මාර්ගය නිසයි.

      කියවලා නැත්නම් කියවන්න වල්පොල රාහුල හිමි ලියූ සත්‍යෝදය -බෞද්ධයන්ට හිතන්නට උගන්වන ලිපි පෙළ. විශේෂයෙන්ම මේ සබැඳියෙන් ගියොත් 28 වැනි පිටුවේ 4 වන පරිච්ඡේදය භික්ෂූන්ගේ කුල භේදය ගැනයි ලියලා තියෙන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: