අරුණි ශපීරෝ‍ වෙතින්

නම්බුකාර වචන වලට කෑදර වාමාංශිකයන්

Posted in Uncategorized by arunishapiro on මැයි 21, 2014

නම්බුකාර වචන වලට වාමාංශිකයන් තුල ඇති කෑදරත්වය සීමාරහිත වූවකි. ලිබරල් යන වචනය ඔවුන් මංකොල්ලා කෑහ. යුද වලට විරුද්ධත්වය පාමින් තමන් ද ලිබරල් යැයි වාමාංශිකයන් කියාගනිද්දී ඔවුන් වෙතින් වෙනස් බව පෙන්වන්නට ලිබරල් අය තමන් ලිබටේරියන් කියන්නට පටන් ගත් විට වාමාංශිකයන් අපි “වමේ ලිබටේරියන්” යැයි කියාගන්නට පටන් ගත්හ.

අපි වමේ ලිබටේරියන් යැයි කියාගන්නා අයගේ අරමුණ සීමිත ආණ්ඩුවක් ලවා නිෂ්පාදන ක්‍රම අයිතිය ජනසතු කිරීමයි. නිෂ්පාදන ක්‍රම ජනසතු වෙද්දී එක මධ්‍යම සැලසුම් ආයතනයකින් හෝ විවිධ කණ්ඩායම් කිහිපයකින් මෙහෙයවන සැලසුම් හැදීම අනිවාර්යයක් වේ. එහෙම නැත්නම් ලාංකීය ඉතිහාසයේ රන්වන් යුගයේ මහා පරාක්‍රමබාහු රජු යටතේ වැනි මහා පරිමාණ සැලසුම් හැදේ.

ඉතින් ඒ මධ්‍යම සැලසුම් ආයතනයේ ප්‍රධානියා මහා පරාක්‍රමබාහු වුවත්, ස්ටාලින් වූවත්, හිට්ලර් වූවත්, බුෂ්/ඔබාමා ඇමෙරිකාවේ වුවත් ප්‍රතිඵලය එකමයි. රාජ්‍ය බලය යොදාගෙන අයෙකුගේ හෝ ටික දෙනෙකුගේ මූලිකත්වයෙන් සැමට ගෙනෙන සැලසුම් නිසා ආර්ථිකය අනතුරුව කඩා වැටීමයි. ආණ්ඩුවකට ආර්ථිකයක් නංවාලිය නොහැක්කේ මන්දැයි මෙම පරිවර්තනයෙන් ලියූවෙමි.

පෙනෙන දැය දිහා පමණක් බලන්නට හුරු වූ ජනතාවක් නොපෙනෙන දැයෙන් බංකොළොත්බවට පත්වෙති. අශෝක හඳගමගේ ජාත්‍යන්තර සිනමා උළෙලේ සිහිනය පිළිබඳව කරන ලද පරිවර්තනය මේ බ්ලොගයේ අතිශයින් ජනප්‍රිය වූ සටහනකි. එහෙත් එම සිහිනය සැබෑ නොවේවා යැයි මගේ සුමිතුරාට පතන්නට සිද්ධ වීම ගැන, එනම්, යම් ආණ්ඩුවක සියළුම දෙනා සදාචාරාත්මකව නීති ගරුක අය වූවත් කිසිම ආණ්ඩුවකට සිනමාව නඟාලන්නට නොහැකියාව, ගැන මා ලියූ සටහන බුද්ධිමතුන්ට පමණක් නිසා වෙන්නැති එතරම් ජනප්‍රිය නොවීය!!!!

ඒකීය පුද්ගලයෙක් තමන්ගේ ධන වස්තුව පරදුවට තබා ආයෝජන අවදානම් ගනිද්දී දක්ෂයා ඉහළට නඟියි. ඒ දක්ෂයා නිසා ඒ සමාජයේ සෙසු සියල්ලන්ම මහත් වාසි ලබති. මේ අඩවියේ ඒ සඳහා ඕනෑ තරම් නිදසුන් ජේම්ස් ජේ. හිල් පටන් ෂෙලි හෙන්රි වැනි දක්ෂයන් ගැන කියැවිය හැකියි.

ආර්ථිකයක් බංකොළොත් වෙන්නේ දේශපාලන බලතණ්හාධිකයන් අපි වෙනුවෙන් කියා ඔවුන්ගේ ධනය නොව අපෙන් මංකොල්ලාකන බදු සහ අප පමණක් නොව අපේ දරුවන් පවා ණය කරමින් සැලසුම් හැදීමේ දී ය.

ආර්ථිකයක් සරුසාර වෙන එකම ක්‍රමය ඒ ඒ පුද්ගලයාට තම තම ධනය පරදුවට තැබීමට වැඩියෙන් අවස්ථාව ලැබෙද්දීය. එසේම අගනා නිෂ්පාදන ලොවට බිහිවෙන්නේ ද, වැඩියෙන්ම සාමකාමී පරිසරයක් හැදෙන්නේ ද, ඔවුන් අතර තරඟයට වැඩියෙන් ඉඩකඩ ලැබෙද්දීය.

සෝවියට් රුසියාවේ සිද්ධ වූවා සේ නිෂ්පාදන ක්‍රම ජනසතු නොකළ ද, හිට්ලර්ගේ ජර්මනියේ පැවතියේ වෙළඳපොල විසින් තීරණය කරන ලද මිල ගණන්, වේතන හා පොලී අනුපාත නොවේ. නාට්සි නීතියේ දී ව්‍යවසායකයන් (entrepreneurs) නොව හිටියේ මුදලාලිලා (shop managers) පමණකි. ආණ්ඩුව කියන විදියට බඩු ගැනීම හා විකිණීම, ශ්‍රමිකයන් බඳවා ගැනීම හා සේවයෙන් නෙරපීම, ශ්‍රමයට දෙන වේතනය ආණ්ඩුව මැදිහත්වීමෙන් තීරණය කිරීම, ණය හා පොලී අනුපාත මොනවාදැයි ආණ්ඩුව තීරණය කිරීම යනාදියේ දී යම් ආණ්ඩුවක් තමන් ධනවාදී ක්‍රමයකට හෝ විවෘත වෙළඳපොලකට ඉඩදෙනවා යැයි කීම එක්කෝ නොදන්නාකමයි. එහෙම නැත්නම් එසේ නොවන බව හොඳින් දැන දැනම දක්කාගෙන යා හැකි සේ අර්ථ ශාස්ත්‍රය නොදන්නා අයව රැවටීමයි.

ලිබටේරියානුවා යනු, බුදුන් විසින් පසේනදී කොසොල් රජුට සහ මල්ලිකා දේවියට කියූ උදාන වාක්‍යය, “තමන්ට ආදරය කරන්නෙක් අනුන්ට හිංසා නොකළ යුතුයි,” යන්න වටහා ගත්තෙකි.

වෙනත් අයෙකු හෝ පිරිසක් වෙතින් හිංසාවට පත් නොවීමට අයිතියක්, එනම් තම සිරුර තමනට අයිති වූවක් යැයි පිළිගන්නෙකි.

සිරුරට අයිතියක් ඇතැයි කියද්දී, ඒ සිරුර පවත්වාගන්නට අවශ්‍ය තම වෙහෙසෙන් නිර්මාණය කරන ලද්දකට සහ තමන් විසින් ස්වභාව ධර්මයේ පවතින තත්වයකින් සොයා ගන්නා ලද්දකට, තමනට දේපල අයිතියක් කිව හැකි යැයි පිළිගන්නෙකි.

එසේ හැමෝටම ඔවුනොවුන්ගේ දේපල සඳහා අයිතියක් ඇත්නම්, එහෙනම් දෙන්නට අයෙක් කැමති නම් හා ගන්නට අනෙක් අයෙක් කැමති නම් ඔවුනට වෙනත් අයෙකුගේ බාධාවකින් තොරව හුවමාරුවට අයිතියක් කිව හැකි යැයි පිළිගන්නෙකි.

ප්‍රගතිශීලී යැයි ද පෙරටුගාමී යැයි ද ලේබල් අලවා ගත් පමණින් අගතිශීලී වූ ද පසුගාමී වූ ද අදහස් වෙනස් නොවේ.

නව යැයි ඉස්සරහින් දාගත්ත පළියට ප්ලේටෝගේ මනෝරාජ්‍යය අලුත් නොවේ!!!!

වාමාංශික ලිබටේරියානුවා යනු, අනුන් උපයන ලද ධන වස්තු තමන් කැමති ආකාරයට නැවත බෙදා දීම වෙනුවෙන් පෙනී සිටින අයෙකි. තමන් අකමැති දේ කරන අන්‍යයන් සඳහා නීති පැනවීමට තමනට බලයක් ඇතැයි විශ්වාස කරන්නෙකි.

යම් පුද්ගලයෙක් සිය වස්තුව එකතු කරන්නේ එකිනෙකා සමඟ සහයෝගයෙන් කැමැත්තෙන් කරන කටයුතු වලින් නම්, එහෙම නම් ඊට වඩා සාධාරණ ලෙසින් ධන වස්තු නැවත බෙදා දෙන්නට හැකියාව තිබෙන යුක්ති ගරුක මූල ධර්ම සිද්ධාන්තය යනු කුමක් දැයි මේ අය නොකියති.

ලිබටේරියානුවා මත්පැන් අකමැත්තෙක් නම් ඔහු අනුන්ට මත්පැන් බොන්නට ඇති නිදහසට අකුල් හෙළන්නට ආණ්ඩුව ලවා නීති පනවන්නේ නැත. බුදුන් විසින් සිය පියාණන් වූ ශුද්ධෝදන රජතුමා ලවා මත්පැන් තහනම් කරන ලද නීතියක් ශාක්‍ය වාංශිකයන්ට පැනවූයේ නැත. මත්පැනින් ඇති විපාක දන්නා යමෙක් අව්‍යාජ ලිබටේරියානුවෙක් ද වෙන්නේ නම් ඔහු විසින් මතට තිත තියයි. කිසිවෙකුට මතින් සංග්‍රහ නොකරයි. මත්පැන් නිසා අසරණ වූවන් ගලවා ගන්නට සිය ධන වස්තුව ත්‍යාග කළත්, ආණ්ඩුව ලවා අනුන්ගේ බදු මංකොල්ලයෙන් බේබද්දන් බේරා ගන්නට සැලසුම් අවශ්‍ය යැයි නොකියයි.

සංහිඳියාව සහ ධාර්මිකත්වය යනු ඉහළින් එන අණක් පිළිපදින වහලෙක් වීම නොවේ. තමනට හිංසාවක් නොකරන්නේ ද, පුද්ගලයෙක් විසින් අනෙකෙක් සමඟ කරන ඕනෑම කටයුත්තක දී ඔවුනොවුන් කැමැත්තෙන් අනුගමනය කරන්නට එරෙහි නොවීමෙන් සංහිඳියාව ඇතිවේ. ධාර්මිකත්වය නම් එයම වෙයි.

එකෙක් තවකෙක් සමඟ කරන ගණුදෙනුවක් ධනවත් දෙදෙනෙක් අතර සිද්ධ වීම යනු දුප්පතාට කෙළවන ගණුදෙනුවක් යැයි විශ්වාසයෙන් ධනවාදී ක්‍රමය කුමක්දැයි නොදන්නා අය කළබල වෙති. ධනවතුන්ට එකතු වී දුප්පතුන්ව මංකොල්ල කන්නට අවස්ථාව පෑදෙන්නේ ආණ්ඩුවේ බලය ඒ ධනවතුන්ට ලැබෙන අවස්ථාවල දීම පමණක් යන මහඟු සත්‍යය මහා පරිමාණයෙන් බෙදා දෙන සැලසුම් වලට කැමති අය බහුතරය වෙතින් වසන්කර තබන්නකි.

ධනවාදී ක්‍රමය යනු කැමැත්තෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන ක්‍රමයක් මිසක එකකු වෙතින් අරගෙන තවකෙකුට බෙදන (අරගන්න අයගේ පොකැට්ටු වලට වැඩියෙන් වැටෙන) සැලසුම් පද්ධතියක් නොවන බව තමන් ධනවාදී යැයි කියාගන්නා බොහොමයක් ද පහසුවෙන් අමතක කර දමති.

යම් ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරය/ක්ෂේත්‍රය/දේශය සඳහා ආණ්ඩුවකින් කිසියම් වරප්‍රසාදයක් ලබන්නේ ද ඔහු තම ප්‍රාග්ධනය අවදානම් ආයෝජනයකට ලක් කරන්නෙක් නොවේ. එවැන්නා අවිහිංසාවාදියෙක් නොවේ. ආණ්ඩුවේ බලයෙන් අනෙක් මිනිසුන්ට බලහත්කාරකමක් කරන්නා කිසිසේත්ම අවිහිංසාවාදී සමානාත්මතාවාදියෙක් ද නොවේ. මන්ද ඔහු එවිට “තමන්ට ආදරය කරන්නෙක් අනුන්ට හිංසා නොකළ යුතුයි,” යන්න කඩකරන ලද්දෙකි.

“…ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවිඩය නිකුත් කර තිබේ,” යන වාර්තාවේ එම පණිවුඩයේ කොටසක් මෙම වාක්‍යය උපුටා දක්වයි: “බෞද්ධ දර්ශනය ලොවට උගන්වන්නේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය ඇතුළු මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා වූ ප්‍රතිපත්ති සමුදායකි.”

අනුර දිසානායකගේ පණිවුඩයේ ඉහත දැක්වූ කොටස ඉංග්‍රීසියෙන් වාර්තා වෙන්නේ මෙසේය: “Lord Buddha’s teachings that help the society to progress include cooperation, working for reconciliation and righteousness.”

කෝ ඉංග්‍රීසියෙන් ලියද්දී සමානාත්මතාවය හැලිලා ද?!!!

සහයෝගය, සංහිඳියාවක් උදෙසා වැඩ කිරීම සහ ධර්මිෂ්ඨ බව යනු ඒකීය පුද්ගලයා තමා විසින් වෙහෙසී සාක්ෂාත් කරගත යුත්තක් නොහොත් ධනවාදී ක්‍රමය යනු එයම මිසෙක වෙන කුමක් ද?!!!!!

දයාබර පාඨකයෙනි, නම්බුකාර වචන වලට කෑදර වාමාංශිකයන් නම්බුකාර වචන යොදාගෙන ඔබව දක්කා ගෙන යන්නට හදන්නේ මොන පාරේ දැයි සොයා බලන්න.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on මැයි 23, 2014 at 4:25 පෙ.ව.

    ඉහත ලිපියට සෘජුවම සම්බන්ධ නැතත් මෙම සටහන යම් වැදගත් කමක් දරනු ඇතැයි සිතමි. ,මේ නිකාඩෝ ව්‍යාපාරයේ නිර්මාතෘ නිකාඩෝ මුදලාලි මහත්තය ගැනයි. අනේක විධ දුක් විඳ විවිධ කුඩා ව්‍යාපාර කර දියුණුවක් නැතිව සිටි ඔහු පපඩම් ව්‍යාපාරයට අතගැසූ හැටිත් ඉන් දියුණු වූ හැටිත් කාට නැතත් මට නම් හරිම ආශ්වාදජනකයි. මේ මහත්තය පපඩම් ව්‍යාපාපාරය පටන් ගන්න හදන කාලෙ වෙළඳපොලේ තිබුනෙ ඉන්දියානු පපඩම් වල අධිකාරයක් (monopoly ) ඉතින් තමන් බොහොම අමාරැවෙන් දුක්විඳල එකතුකරගත්ත ප්‍රාග්ධනය යොදවල අවධානමක් අරගෙන පටන්ගත්ත ව්‍යාපාරය වෙළඳපොළ තුල ප්‍රතික්ෂේප උනා. නමුත් අපේ කතා නායකය පසුබට උනේ නැහැ .ඔහු මිනිස්සු කෑම කන පුද්ගලික හා ර‍ජයේ හා සංස්ථා වලට අයත් ආයතන වලට භූමිතෙල් ලිපත් අරගෙන ගිහින් ඒ ඒ තැන්වල පපඩම් බඳින්න ගත්ත ඊට පස්සෙ ඒ පපඩම් කෑම කමින් ඉන්න මිනිස්සු ලඟට ගිහින් නොමිලේ බෙදුවා ( Markating ) ඒ අතරේ ඒඑ ඒ තැන්වල කැන්ටින් වලට ලඟ කඩ වලට මේ නිකාඩෝ පපඩම් දැම්මා. ඔය විදිහට තමයි නිකාඩෝ වෙළඳ පොළ ජයගත්තෙ.

    අධිෂඨානය/කැපවීම/සකසුරුවමින් ප්‍රාත්ධනය එකතු කිරීම/එකතුකරගත් ප්‍රාග්ධනය අවධානමකට ලක් කරමින් නිෂ්පාදනයකට යොමුවීම /වෙළඳ පොළ තුල ජය ගන්න විවිධ උපක්‍රම භාවිතා කිරීම මේ ධෛර්වන්ත ව්‍යවසායකයා තුලින් චමත්කාරජනක ලෙස අපට දැකිය හැක

    දැන් ඉතින් සමාජවාදීන් මේ නිකාඩෝ ව්‍යාපාරය නොගෙවූ ශ්‍රම ශක්තිය මත ගොඩනැගුනක් යයි තවත් කියනවාද ? නැත්නම් ඒ අය මෙහෙම කියයි .තනි තනි කෙනා ගැන නෙමෙයි උපරිව්‍යුහය තුල එකතුවූ සමස්ත ප්‍රාත්ධනය ගැනයි අපි කියන්නෙ . ඉතින් ඒ අය එහෙම කියාගත්තාවෙ ඒකත් නිදහසනෙ.

    • arunishapiro said, on මැයි 23, 2014 at 7:12 ප.ව.

      Krishna Ramanayaka,

      ප්‍රාග්ධනය කුමක්දැයි බහුතරයක් ලෝක ජනතාව නොදන්නාකම හැමෝටම විඳින්න වෙන ලොකු පාඩුවක්.

      තෝමස් පිකෙටි වැනි ජාත්‍යන්තරයට පොත් ලියන ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් පවා ප්‍රාග්ධනය ගැන ජනතාව මුලාකරද්දී ඉතින් ඔය “උපරිව්‍යුහය තුල එකතු වූ සමස්ත ප්‍රාග්ධනය” වගේ අදහස් කියන ලංකාවේ සමාජවාදී ගිරවුන් ද කැමති දෙයක් කියාගත්තාවේ, ඒකත් නිදහස තමයි!!! 😀

      හැබැයි අපිට අහන්න පුළුවන්, සමස්ත ප්‍රාග්ධනයක් කියලා දෙයක් තියෙනවා නම් ඇයි සමස්ත ආදායම් බද්දක් නැත්තෙ කියලා? තම ආදායමට අනුව ඒ ඒ පුද්ගලයාට ඒවා ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි?!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: