අරුණි ශපීරෝ‍ වෙතින්

ගෑණිට ගහන එක නැවැත්තුවා ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 30, 2014

හරි, හරි, ඔව් ද නැද්ද කියල විතරක් කියන්නකෝ, යැයි ඉහත ප්‍රශ්නය අහන්නා අභියෝග කරයි. ඔව් කිව්වත් නෑ කිව්වත් ඒ උත්තර දෙකෙන්ම තමන් අතීතයේ දී ගෑණිට ගහලා තිබෙන බව පිළිගෙන තිබේ. තවත් විදියකින් කිව්වොත් ඒ ප්‍රශ්නයේ දී පරිසිද්ධි (facts) කළින් හදාගෙන ඇත්තේ උත්තර සපයන්නාට උත්තරයෙන් ඒ ගැන කිසිත් වෙනසක් කරන්න බැරි විදියකට.

සත්‍ය පරිසිද්ධි බැහැරලමින්, වෙනසක් නැත්නම් විකල්පයන් හොයනවා යැයි කියන අය නිතර නිතර මෙවැනි ප්‍රශ්න නඟති. සත්‍ය වශයෙන් වෙනස හෝ විකල්පයක් ඔවුන් හොයනවා යැයි සිතා රැවටෙන්නා ඉන් මහත් අමාරුවේ වැටේ. එවැනි ප්‍රශ්න අහන අයට උවමනා පවතින අයහපත් තත්වයට හේතු වූයේ ඔවුන්ගේ දැක්ම පරිදි සහ ඔවුන් කියන කරුණු නිසා උදා වූ නොවැළැක්විය තත්වයක් යැයි කියාපාන්නට පමණි.

අපොයි දැන් රට යන අත නරකයි කියන, දැන් ඔබ දකින ඔක්කොම ව්‍යසන වලට හේතුව විවෘත ආර්ථිකයකට ඉඩ දුන් නිසා යයි කියන විට විවෘත ආර්ථිකයක් කිසිකලෙක රටේ තිබුණේ නැතැයි පෙන්වා දෙන්නට ඉඩක් ලැබෙන්නේ නැත.

ඉතින් තමාගේ ගෑණිට කිසිම දවසක ගැහැව්වේ ද නැතැයි ද කියන්නට අවස්ථාවක් නොලැබේ!!!!

එවැනි ප්‍රශ්න අසන සහ ඒවාට ඔව් නෑ පමණකින් ඉල්ලන උත්තර දකිද්දී, අහන ප්‍රශ්නය දෝෂ සහගත බවත්, ඒ නිසා පළමුවෙන් ප්‍රශ්නය නිවැරදිව අහන්නේ කෙසේදැයි කියා දෙන්නට සිද්ධ වේ. වැරදි ප්‍රශ්න ඇහැව්වොත් ලැබෙන්නේ ද වැරදි උත්තර බව මෙවැනි හුරුවෙන් උපන්දා සිට ජීවත් වූ අයට පහදා දෙන්නට දීර්ඝ කාලයක් යයි. දීර්ඝ පිළිතුරු වලට අප්‍රසාදය දක්වන්නටත් හුරු වී සිටින ඔවුනට උවමනා සටන් පාඨ (ස්ලෝගන්) උත්තර පමණි.

“දූරදර්ශී අභිප්‍රායයක් නොමැති ක්‍රියාව යනු උත්සාහයේ සහ කාලයේ නාස්තියකි,” යන්න ඉංග්‍රීසියෙන් ලියා බෙදාගත් පෝස්ටරයක් මුහුණුපොතේ සිංහල පිටුවකින් දැක්කෙමි. මාග්‍රට් තැචර්ගේ මුවින් පිට වූ ලෙසකින් සැලකිය හැකි ධනවාදී කියමනක් සිංහලෙන් ලියැවුන පිටුවක දකින්නට ලැබීමෙන් මම පුදුමයට පත්වීමි.

එය නෙල්ලි නමින් මුහුණුපොතේ ආරම්භ කර ඇති අලුත් පිටුවකි. විවිධ රස සොයන ඔබ වෙනුවෙන් හැදූ එය “විඩාව පිරි ජීවිතයට සැහැල්ලුවක් …” සහ “විශ්වයේ සොඳුරු රසයන් ඔබේ දෝතට පුදන අපේ සඟරාව” යැයි ද තමන්ව හඳුන්වා ගනියි.

එහි “ජීවිතය සහ A/L” යනුවෙන් දක්වන පෝස්ටරය අවසන් වෙන්නේ “A/L පාස් වෙන්න බැරිවුනා කියල දුක් නොවී ධනාත්මකව හිතලා ජීවිතේ ජයගන්න,” කියායි.

ධනාත්මකව සිතූ පමණින් ජීවිතය ජයග්‍රහණය කරනු නොහැක. ධනාත්මක චින්තනය යනු දූරදර්ශී අභිප්‍රායක් (vision) නොවේ. ඍනාත්මක පරිසරයක්, මදිපාඩුකම් අත්විඳින්නට ලැබෙන සිද්ධීන්, සිත රිදවන පසුතැවිලි යනාදී වූ අභියෝග ඉදිරියේ දී තම පීලි පනින සිත කැළඹිල්ලට සහ පසුතැවිල්ලට පත් වී පරාජය පිළිගෙන ලැග්ග තැන ලැග සිටිනවා වෙනුවට ධනාත්මක චින්තනය යනු ඒවායෙන් පාඩම් ඉගෙන ගෙන, තමන් යන මාර්ගයේ කුණු කන්දල් ඉවත් කරගන්නට නියැළෙන හැදියාවයි.

කෙටියෙන් කිව්වොත් ධනාත්මක චින්තනය යනු චිත්ත ක්‍රියාවකි.

එය, දූරදර්ශී අභිප්‍රායයක් (vision) කරා ගමන් කරන මාර්ගයේ (mission) එක අංගයකි.

එය, දූරදර්ශී අභිප්‍රායයක් සාක්ෂාත් කරගන්නට ඔබ විසින් කරන කටයුතු අතරින් එකක් පමණි.

දූරදර්ශී අභිප්‍රායයක් සාක්ෂාත් කරගන්නට ගමන් කරන මාර්ගයක දී ඔබට ජයගන්නට සිද්ධ වන අරමුණු (aim) බොහොමයකි. ජයගන්නට අවශ්‍ය අරමුණු සහ ගමන් කරන මාර්ගයක් නැතිව ධනාත්මක චින්තනයේ පමණක් යෙදී සිටීම වනාහී දෘශ්ටියක් නැති ක්‍රියාවකි.

ඉහත කියූ පිටුවට අනුව දූරදර්ශී අභිප්‍රාය වනාහී ජීවිතය ජයගැනීම වූයේ නම්, ධනාත්මක චින්තනය ද දූරදර්ශී අභිප්‍රායයක් විය නොහැකියි. මන්ද, ධනාත්මකව හිතමින් පමණක් ඉන්නා අයගේ උත්සාහය හා කාලය නාස්ති වී යයි.

ජීවිතය ජයගන්නට නම් දූරදර්ශී අභිප්‍රායයක් ද, අනුගමනය කළ යුතු මාර්ගයක් ද, ඒ මාර්ගයේ දී ජයගත යුතු ඉලක්ක නැත්නම් අරමුණු ද තිබිය යුතුයි. ඒ ඒ ඉලක්ක ජයගැනීම සඳහා ඔබ විසින් නිම කළ යුතු පැහැදිලි කාර්ය භාරයන් සමූහයක් ද තිබිය යුතුයි. ඒ කාර්ය භාරයන් ඔබ සාර්ථකව ඉෂ්ට කරන ලද්දේ දැයි මැන බලන්නට ද හැකියාව තිබිය යුතුයි.

ඉතින් ජීවිතය ජයගන්නට කැමැත්තක් ඇත්නම් එයා තම දූරදර්ශී අභිප්‍රාය කුමක්දැයි විමසිය යුතුයි.

මොකක් ද ජීවිතය ජයගන්නවා කියන්නේ?

උපාධියක්, රස්සාවක්, වාහනයක්, ගෙයක්, පවුලක් යනාදී වූ දේවල් සහිත ජීවිතයක් ද?

නැත්නම් උපාධියට හදාරා ලබාගත් යම් දැනුම් සම්භාරයක් ද?

ජාත්‍යන්තර කීර්තියක් ද?

රාජ්‍ය හෝ ආගමික නම්බු නාමයක් ද?

ජනප්‍රසාදයක් ද?

නිහඬ සංසුන් අල්පේච්ඡතා ජීවිතයක් ගෙවීමට හැකියාව ද?

ගෑණිට ගහන එක නැවැත්තුවා දැයි අහන අයට අනුව නම් හැමෝටම ඇත්තේ එකම ආකාරයකින් ජීවිතය ජයගන්නට උවමනාවයි. එහෙත් සත්‍ය ලෝකයේ හැම පුද්ගලයාම එකම ආකාරයකින් ජය අපේක්ෂා සහිත වූවන් නොවෙති. විකෘති ලෝකයේ, රැල්ලේ දුවන, විචාරයට නුහුරු වූවන් පමණක් අනුන්ගේ බලාපොරොත්තු තමන්ගේ බලාපොරොත්තු යැයි කරපින්නා ගෙන යති. එසේ අනුකරණයත් විවෘත ආර්ථිකයේ ලක්ෂණයක් යැයි ද කියති!!!!

ඔබේ දූරදර්ශී අභිප්‍රාය අනෙකාගේ බවට කිරීමට ඔබට අයිතියක් කිසිම බලධාරියෙක් දී නොමැත. ඔබේ අභිප්‍රායයන් ඔබ අගයනවා සේ අනෙකාගේ අභිප්‍රායයන් ද හේ අගයන බවට ඔබ ගෞරව කළ යුතු වේ.

දූරදර්ශී අභිප්‍රාය (vision) කුමක්දැයි හඳුනාගත් පසුව පමණක් එය සාක්ෂාත් කරගන්නා මාර්ගයේ (mission) ගමන ආරම්භ කළ හැකියි. ඒ ඒ දූරදර්ශී අභිප්‍රාය සාක්ෂාත් කරගන්නට ඒ ඒ ඉලක්ක එකින් එක සම්පූර්ණ කළ යුතු ද වේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා උපාධිය සමත්වීම යනු දූරදර්ශී අභිප්‍රායක් ඉෂ්ටකර ගැනීම නොවේ. උපාධිය යනු දූරදර්ශී අභිප්‍රායයක් සාක්ෂාත් කරගන්නට යන මාර්ගයේ ඇති එක ඉලක්කයකි.

මාර්ගය (mission) යනු වෙනස් කරගත හැකියාවෙන් යුක්ත වූවකි. උපාධි සහතිකයක් යන ඉලක්කය මුදුන් පමුණවා ගතහැකි A/L සමත්වෙන ඉලක්කයෙන් යුතු මාර්ගයේ යා නොහැකි නම්, දූරදර්ශී අභිප්‍රාය කරා වෙන මාර්ගයකින් යා හැකියි. එහෙත් තමන් හොයන එය කුමක්දැයි නොවිමසා, උපාධිය වැනි ඉලක්කයක් දූරදර්ශී අභිප්‍රාය සේ සැලකීම නිසා බොහෝ පිරිසක් තමන් ලද ජයග්‍රහණ වලින් තමනට සතුටක් නැත්තේ මන්දැයි නොදැන අන්දබූත වෙති.

දූරදර්ශී අභිප්‍රායයක් කරා යන මාර්ගයේ දී විභාග සමත් වීම, කුසලතාවයන් වර්ධනය, ආදරය කරන්නාගේ ආදරයට සුදුස්සෙක් වීම, දරුවන්ට අනගි දෙමව්පියන් වීම, යහපත් හිත මිතුරන් සිටීම, නම්බු නාමය සඳහා යමක් කරන්නට සමත්වීම යනාදිය ඒ ඒ ඉලක්කයන් පමණි.

ඒ සඳහා අතකොළුවක් වෙන, ඒ මාර්ගයේ අංගයක් වූ ධනාත්මක චින්තනය යනු ද, විභාගයක් පාස් වූවා ද නැද්ද, ආදරය කරන්නාගේ ආදරයට සුදුස්සෙක් වූවා ද නැද්ද යනාදී වශයෙන් ඒ ඒ අදියරය තමන් ජයගත්තා ද යන්නත් මැන බැලිය හැකි වූවකි.

දවස අවසානයේ දී එදින මුහුණ දුන් ඍනාත්මක සිද්ධීන් හමුවේ කොපමණ කාලයක් හා උත්සාහයක් තමන් නාස්ති කළාදැයි ධනාත්මක චින්තනයේ නියැළෙන අයෙකුට දිනපතා මැන බැලිය හැකියි.

නෙල්ලි පිටුවේ ඊ ළඟට මෙයද කියවන්නට ලැබුණි.

“ලංකාවේ පිරිහෙන අපේ නිදහස් අධ්‍යපනය සුරකිමු. පෞද්ගලීකරණය මගින් දක්ෂයාට තැන අහිමිවන අතර පොහොසත් අදක්ෂයා තම මුදල් උපයෝගී කරගනිමින් දක්ෂ විය හැක. අපි අපේ නිදහස් අධ්‍යපනය රැකගැනීමට කැපවෙමු.”

පොහොසත් වූ පමණින් අදක්ෂයෙකුට කිසිසේත්ම තම මුදල් උපයෝගී කරගනිමින් දක්ෂ විය නොහැකියි. එහෙම හැකි යැයි යම් අයෙක් විශ්වාස කරන්නේ ද, එයා දක්ෂයා යනු කවුදැයි නොදන්නා අයෙකි. දක්ෂයා කවුදැයි බහුතරයක් නොදන්නා ලංකාවේ ඒ හේතුව නිසාම අදක්ෂයන් සොච්චමක් දක්ෂයන්ව ගොනුන් සේ බැඳගෙන දක්කා ගෙන යන ආකාරය නම් කදිමට දැකිය හැකියි!!!!!

අදක්ෂයන්ට තම මුදල් උපයෝගී කරගනිමින් සමාජයේ නම්බුනාම ලබන්නට, ජනප්‍රසාදය ලබාගන්නට, ඉගෙන නොගෙන උපාධි සහතික ලබන්නට, ඉහළ තනතුරු සඳහා පත්වෙන්නට හැකියාව ඇත්තේ ආණ්ඩුව යන යාන්ත්‍රණයේ බලය පාවිච්චියෙන් පමණකි.

දක්ෂයන්ට තැන හිමිවෙන එකම යාන්ත්‍රණය පෞද්ගලීකරණයයි. ලාබ සොයන මාර්ගයේ (mission) ගමන් කරන්නා වූ පෞද්ගලික ව්‍යවසායකයාට අදක්ෂයන්ව හුරතල් කරන්නට (පඩි, වාහන, ආරක්ෂක භටයන්, නිවාස, කාලය නාස්ති කරන සාකච්ඡා සඳහා අඩු වැයට ආහාර සැපයීම) සිද්ධ වීම පාඩුවකි.

දූරදර්ශී අභිප්‍රායයක් සාක්ෂාත් කරගන්නට යන මාර්ගයේ ඇති ඉලක්ක ජයගත නොහැකි, අදක්ෂයන් හුරතල් කරන ක්‍රියාවට ඇබ්බැහි වීම නිසා තමයි කාලය හා උත්සාහය නාස්ති වෙන්නේ!!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on මැයි 30, 2014 at 11:48 ප.ව.

    ලංකාවෙ රාජ්‍ය/පුද්ගලික ආයතන වල ධනාත්මක චින්තනය කියල එක එක හාල්පාරැවො ( රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට හිතවත් ) ගෙනල්ල උන්ට හොඳට ගෙවල සේවකයො රැස්කරල සිංදුකියල අත්වැල් අල්ලන් නටල Yes I can කියල ඉදිරියට ඇවිත් කතා පවත්වල දහසක් විකාර කරනව මේ රට හරක් දක්කන් යන මාර්ගයේම එක්කන් යන්න ධනාත්මක චින්තනයත් ( නම පමණක් ) යොදා ගන්නෙ ඒ ආකාරයටයි.

  2. mppgunasinghe said, on මැයි 31, 2014 at 12:05 පෙ.ව.

    දූරදර්ශී අපේක්ෂාවන්(vision) සහ මාර්ගය (mission) බොහෝ ඇත්තන් පටලවා ගෙන ඇති බව සමහර ආයතනවල ප්‍රදර්ශනය කරන පුවරුවලින් පෙන්වා දී තිබෙන බවක් දැකිය හැකියි. එයින් තමන්ගේ තරම වෙනත් ඇත්තන්ට ලිඛිතවම පෙන්වා දී තිබෙන හැටි සිහිකරමින් හිනාවෙන්ට ඕනිද නැත්තනම් කණගාටු වෙන්න ඕනද කියා හිතන්ට මේ ලිපිය කියවීමෙන් ලැබෙන එක ප්‍රයෝජනයක්

    • arunishapiro said, on මැයි 31, 2014 at 11:13 පෙ.ව.

      mppgunasinghe,

      අලුත් අදහසක් විමර්ශනය කිරීමට වෙනුවට ඒක එහෙමයි මෙහෙමයි කියල හිතාගෙන ගෙඩි පිටින් ගිල්ලාම ඔහොම තමයි. අපිට පුළුවන් අගය කළ යුතු දේවල් අගය කරන හැටි ගැන අපිට හැකියාව තියෙන විදියට ලොවට එකතු කර තබා යෑම පමණයි. ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ප්‍රයෝජනයක් ගනීවි.

  3. Krishna Ramanayaka said, on මැයි 31, 2014 at 1:37 පෙ.ව.

    අරැනි මට විසඳා ගත යුතු ගැටලු කීපයක් තියෙනව – ඒකීය පුද්ගලයාට සිය දක්ෂතාව මත ජයගත හා නොහැකි සාධක දෙකක් නොපවතීද මන්ද අපි ලංකාව ගත්තොත් දක්ෂ පුද්ගලික ව්‍යවසායකුට පවා සිය ඉලක්ක ලඟා කර ගත හැකි තත්ත්වයක් නැත.සියල්ල රජය හා එහි හෙංචයිනන් විසින් මංකොල්ල කමින් සිටී මේ නිසා සියලු ව්‍යාපාරිකයන්ට මේ ඛේදයට මුහුණ දීමට සිදුව ඇත ඇමෙරිකාවෙ මීට සාපේක්ෂව තත්ත්වය වෙනස් නේද ? ඉතින් අපෙන් බාහිරව හුදෙක් පුද්ගලිකව අපට වෙනස් කල නොහැකි සාධක නොපවතීය යන්න තාර්කිකද ?

    • arunishapiro said, on මැයි 31, 2014 at 11:50 පෙ.ව.

      Krishna Ramanayaka,

      මෙතැන ප්‍රශ්න දෙකක් තියෙනවා.

      1. ඒකීය පුද්ගලයාට සිය දක්ෂතාවය මත ජයගත හා නොහැකි සාධක ඇත්ද?

      2. රටේ පාලන ක්‍රමය හේතුවෙන් ඒකීය පුද්ගලයාට ජයගත හා නොහැකි සාධක ඇත්ද?

      පළමුවැන්නට කෙටි පිළිතුර නැහැ යන්නයි. තමන් දක්ෂයෙක් වෙන්නේ කුමකට ද, එයට දක්ෂතාවය තව තවත් වැඩි දියුණු කරගැනීමෙන් හැම විටම ජයග්‍රහණය අත්වෙයි. ගොඩක් දෙනා තමන් දක්ෂ කුමකට දැයි දන්නේ නැහැ වගේම දක්ෂතාවය පැත්තක තියලා යාන්තම් ජීවිතේ ගැටගහාගෙන යන දේවල් හි නිරත වෙනවා අනුන්ව සතුටු කරන්න සහ සමාජයේ පිළිගැනීම බලාපොරොත්තු වෙන නිසා.

      දෙවැන්නට කෙටි පිළිතුරක් නැහැ. ලංකාවේ අද දේශපාලන වාතාවරණයේ දී වුවත් ඊට වහලෙක් නොවී දේශීය ව්‍යාපාරයකින් ජයගන්න දක්ෂයාට හැකියි. රටෙන් බැහැර ගණුදෙනු කරන්නට ව්‍යාපාරය විසල් වෙද්දී තමයි එතැනින් එහා ජයග්‍රහණයට ඉඩක් නැත්තෙ. යම් රටක පවතින පාලන ක්‍රමයට අකමැති නම්, රටෙන් පිටවෙලා යද්දි වෙඩි වැදුනේ නැත්නම් (කොමියුනිස්ට් රටවල සිද්ධ වූවා වගේ) රටෙන් පිටවෙලා දක්ෂතාවයට තැනක් දෙන රටක් බලා යන්නට පුළුවන්. තමන්ගේ ජයග්‍රහණයන් තමන් ඉපදුන සමාජය තුලින් පමණක් බලාපොරොත්තු වෙන අයට නම් හැබැයි මෙතැන දී ලැබෙන්න පරාජයයි!!!

      රජය හා එහි හෙංචයියන් කියද්දී, හැමදාම දියුණු වෙන රටවල් හි ව්‍යාපාරික ප්‍රජාව යනු මේ හෙංචයියන් අතර වැඩියෙන් ඉන්නා කොටසක් වීම තමයි අභාග්‍යය. වර්තමාන ඇමෙරිකාවේ මහා විසල් ව්‍යාපාරිකයන් අතරින් කොටසක් එහෙම ආණ්ඩුවේ හෙංචයියන් වුනාට, ආණ්ඩුවට වහල්කම් නොකරන මහා විසල් ව්‍යාපාරිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ද, සුළු ව්‍යාපාරිකයන් මහා විශාල සංඛ්‍යාවක් ද ඉන්නවා. ඒ අය තමයි ආර්ථිකය ඇදගෙන යන ඇට්ලස්ලා!!

      අර ලෙවියතන් රාජ්‍යයෙන් අයින් වෙන ලිපිය ඉක්මණින් පරිවර්තනය කරන්නට අවශ්‍යයි!

  4. Thilina Peeris said, on මැයි 31, 2014 at 11:46 පෙ.ව.

    මම හිතන්නේ විවුර්ත ආර්ථිකය ගැන ලාංකිකයන් බොහෝ විට නොදැනුවත් මම කැමතිම දෙසකයෙක් තමයි Milton Friedman අවාසනාවට රූපවාහිනියෙන් මේවා නොපෙන්වන නිසා විවුර්ත ආර්ථිකය ගැන ඇත්තේ වැරදි චිත්රතයක් look at this http://www.youtube.com/watch?v=fwDhx1XkXX0

    • arunishapiro said, on මැයි 31, 2014 at 11:57 පෙ.ව.

      Thilina Peeris,

      මිල්ටන් ෆ්‍රීඩ්මන්ටත් විවෘත ආර්ථිකය ගැන වැරදිච්ච අවස්ථා තියෙනවා. ඒත් 1980 මැද කාලයේ පටන් ඔහු එය නිවැරදිව පැහැදිලි කරන්නට වැදගත් කාර්ය භාරයක් ඉටු කළා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: