අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රැක්සිස් යන්නේ නිවැරදි අර්ථය මෙසේය

Posted in Uncategorized by arunishapiro on ජූනි 3, 2014

මෑතක දී බිහිවුන, දේශපාලන පක්ෂයක් නොවන බව කියන, තවත් ‘නව’ වාමාංශික දේශපාලන කණ්ඩායමක් තමයි ලංකාවේ ප්‍රැක්සිස් සාමූහිකය. නම්බුකාර වචන වලට අසීමිතව කෑදර වූ වම නැවත නැවතත් තමන්ව නිර්වචනය කරන උත්සාහ ලොව ඕනෑ තරම් දකින්නට ලැබේ. ‘නව’ උත්සාහයක් යැයි කියාගත්තට පරණ අදහස අලුත් කරන්නට බැහැ.

ඒ වගේම කොයි තරම් නිර්වචන හදාගත්තත්, මිනිසාගේ උත්සාහය තව මිනිසෙකුට මංකොල්ලයට ඉඩදීම ආචාර ධාර්මික ක්‍රියාවක් කරන්නට ද ක්‍රමයක් ලොව නැහැ.

දැන් මගේ සටහන ඔය සාමූහිකය ගැන නොවේ. මෙම සටහන ප්‍රැක්සිස් (praxis) නොහොත් ක්‍රියාව ගැනයි.

අර්ථ ශාස්ත්‍රයේ ප්‍රධාන මූල ධර්මය තමයි ක්‍රියාවේ යෙදෙන මිනිසා (human being).

ක්‍රියාවක් යනු අරමුණක් ඇතිව ඔබ කරන ඕනෑම කටයුත්තක්. ආශ්වාස ප්‍රාශ්වාසය ඔබ කළ යුතු යැයි තීරණයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒත් මෙය කියැවීම ඔබ අරමුණකින් යුතුව කරන ක්‍රියාවක්. තමන් ඉදිරියේ පොතක් සඟරාවක් තිබ්බට කෙනෙක්ට ඒක ඉබේම කියැවෙන්නෙ නැහැ. එයා එය කියවන්න අවශ්‍ය යැයි තීරණයක් ගත් පසුවයි තම පාලනය යටතට ගෙන අයෙක් ඒ ක්‍රියාවේ යෙදෙන්නෙ.

හැම ක්‍රියාවක්ම කළ යුත්තක්ම නොවෙයි.

මේ අඩවියේ අදහස් අගයන අයෙක් මන්ත්‍රීවරයෙක් වූවා යැයි සිතමු. එයා දන්නවා බදු කියන්නෙ මංකොල්ලයක් බව. ඉතින් පාර්ලිමේන්තුවේ බදු ඉහළ දාන චන්දයක දී කතානායකතුමා කිව්වොත් ඊට පක්ෂ අය නැඟිටින්න, විපක්ෂ අය ඔහොම ඉඳගෙන ඉන්න කියලා, බදු වලට එරෙහි බව පෙන්වන්න එයා නැඟිටින්නෙ නැතිව හිඳගෙන හිටියා නම්, එය ද ක්‍රියාවක්.

සමහර අවස්ථා වල දී අපි ‘ක්‍රියාවක්’ කරන්නේ කිසිවක් නොකර.

යම් භාණ්ඩයක් හෝ සේවාවක් අපි මිල දී ගන්නට අකමැති හෝ ඒවා අපට අනවශ්‍ය නම් අපි එය නොගෙන සිටීම යනු ද ක්‍රියාවක නියැළීමයි. ඒ කිසිත් නොකරන ක්‍රියාවෙන් ද අපි වෙළඳපොලට නොහොත් අප සමඟ ගණුදෙනු කරන නොකරන සියල්ලන්ටම පණිවුඩයක් සපයනවා.

මිනිස් ක්‍රියාව තුල සැඟවුන දෙයක් නැහැ. කරන ලද ක්‍රියාව තමයි සිද්ධ වූව. එය කරන ලද හේතුව සැඟවුන පරමාර්ථයක් නිසා වෙන්න පුළුවන්. අනෙක අපි දැක්කත් නැතත්, අයෙක් කරන ලද්දක් වගේම අයෙක් කිසිවක් නොකර සිටීමක් ද ඒ ඒ අවස්ථාවක දී සිද්ධ වූවක්. ඒ ක්‍රියාව නැවත කරන්න බැහැ.

හැම ක්‍රියාවකටම අරමුණක් නැත්නම් ඉලක්කයක් තියෙනවා.

දැන් මේ සටහන් ඔබ කියවන්නෙ ඇයි කියලා හිතුවොත් ඒකට හේතුවක්, ඒ හේතුවට හේතුවක් යනාදී වශයෙන් ඔබට පිළිතුරු රාශියක් තියෙන්න පුළුවන්. අරමුණක් ඉලක්කයක් නැති අයෙක් මේක කියවන්නෙ නැහැ.

මිනිසාට කිසිම ක්‍රියාවක නියැළෙන්නෙ නැතිව ඉන්නත් බැහැ.

එක්කෝ අදට වඩා හෙට තත්වය වෙනස් කරන්නට හැකි යැයි සිතන ක්‍රියාවේ නියැළෙනවා. නැත්නම්, අදට වඩා හෙට තත්වය වෙනස් වෙන විදියක් හඳුනාගන්නට නොහැකි නම්, එවිට කිසිවක් නොකිරීම යන ක්‍රියාවේ නියැළෙනවා!!!

මිනිසා ක්‍රියාවක් කරද්දී එහි අරමුණ කුමක්දැයි ආචාර ධාර්මිකව වැදගත්කමක් තිබ්බාට ආර්ථිකයකට ඒ ගැන එහි කිසිම වැදගත්කමක් නැහැ. ඒ වගේම, මිනිසාගේ හමේ පාට, කුලමල, පංති හා ආගම් භේද හෝ දේශපාලන දර්ශනය යනාදියට කිසිත් සැලකිල්ලක් නොදක්වා ආර්ථිකයක් ඉහළ යන ක්‍රියාවන් ඒ ආර්ථිකය තුළ ඉන්නා මිනිසුන් කරන්නේ ද ආර්ථිකය ඉහළ යයි. එය පහළ යන ක්‍රියාවන් හි යෙදෙන්නේ ද එය පහළ යයි.

ඉතින්, ප්‍රැක්සිස් කියන්නෙ ක්‍රියාවක්. යම් අන්තයක් සාක්ෂාත් කරගන්නට ගන්නා මාර්ගයක්.

ආර්ථිකයක් වැඩ කරන හැටි එනම් ඕනෑම රටක ආර්ථිකයක් ඉහළ යන්නේ සහ පහළ යන්නේ කෙසේදැයි කියා නොදැන, තමන්ගෙ පසුම්බිය පිරෙන්නේ සහ හිස්වෙන්නේ කෙසේදැයි කියා නොදැන, ක්‍රියාවන්හි නියැළීමට මිනිසාට පුළුවන්.

වෙන සත්තුන්ට ඉව තියෙනවා තමන්ට වසවිෂ ආහාර නොකන ක්‍රියාව තෝරා ගන්නට. ආහාර නැති තැන්වලින් ඉවත් වී ආහාර තියෙන තැන් සොයා යන්නට ඉව. ඒත් මිනිසාට එදා වේල වගේම තමනට අනාගතයේ දී පහසුවෙන් තව ආහාර ලැබෙන්නේ කෙසේදැයි දැනගැනීම සඳහා වූ ක්‍රියාව තෝරාගැනීමට ස්වභාවයෙන් ලැබුණු ඉවක් නැහැ.

ඒ ඒ මිනිසා විසින් නියැළෙන ඒ ඒ ක්‍රියාව මිසක් සාමූහිකත්වයකින් සිද්ධ වෙන ක්‍රියාවක් ලොව නැහැ. සාමූහිකත්වයකින් සිද්ධ වෙන්නෙ එහි නායකත්වය කියන අන්දම පිළිගත් එය අරමුණ කරගත් අනුගාමික ඒ ඒ පුද්ගලයා විසින් ක්‍රියාවක නියැළීමයි.

ලෝක ඉතිහාසයේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත ඇතිව, අකමැති අයට වෙඩි තැබීමකින් තොරව, වාමාංශික උත්සාහයන් සිද්ධ වූයේ ඇමෙරිකාවේ බව දන්නා අය ඉන්නේ ද ඉතාම සුලුතරයක්. 1620 දී ප්ලිමත් වතුයායේ පදිංචි වූ, මේෆ්ලවර් නම් නැවෙන් ඇමෙරිකාවට ගොඩබට පිල්ග්‍රිම්ස් නම් වූ යුරෝපීයයන් සිට 1897 පටන් ගත් සමානාත්මතා කොලනිය (Equality Colony) වගේ අද වුනත් සාමූහිකයකට තමන්ගෙ වාමාංශික වතුයායකට ගිහින් ඕනෑ නම් පුළුවන් ඒ විදියට ජීවත්වෙන්නට.

කැමති අය එකතුවෙලා එහෙම ගත්තු උත්සාහයන් කොච්චර සුළු කාලයක් පමණක් පැවති උත්සාහයන් ද කියලා දන්නෙත් ඒවා ගැන හොයන අය මිසක් හැමදාම පැවති වමේ දේශපාලනයට නව ලේබල් අලවමින් අනුන්ගේ වැයෙන් තමන් කැමති මාර්ගයේ යන්න අනුගාමිකයන් හොයන අය නෙවෙයි!!!

බැටළුවන් සේ තමන්ව දක්කාගෙන යනවාට අකමැති අයට ඇමෙරිකාවේ මේ ප්‍රැක්සිස් වෙතින් පිරිනමන්නේ අච්චුව කඩන්න හැකියාවයි. අනුන්ගේ ආදායමෙන් තමන්ගේ දැනුම වැඩිකරගන්නට අයිතියක් ඇතැයි පාරට බැස පෙළපාලි යෑම නොව අව්‍යාජ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සාර්ථක විප්ලවයක් සිද්ධ වෙන්නේ මෙහෙමයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ජූනි 4, 2014 at 9:28 ප.ව.

    මේ ලිපියෙ ලින්ක් එ‍කක තියෙන වාදෙ දැක්කම අරුනි අක්ක මටත් යමක් කියන්න හිතුන
    යම් දර්ශනවාදයක ඇත්ත හොයා ගන්නනනම් ඒක සමාජභාවිතාව තුලට ආ යුතුයි.උදාහරණයක් කියන්නම් නලින්ද සිල්ව සමග (කැළනිය කැම්පස් එකේදී ) සංවාදයකදී එයා වියුක්ත ගණිත සමීකරණ වලින් සබාව හොල්මන් කලා හැබැයි සමාජ භාවිතය තුලදි ඒක අදාල කරනකොට මිනිහගෙ රෙද්ද ගැලවිලා ජඩ ජාතිවාදී ආගම්වාදී පිස්සුවේ හෙලුවෙ දකින්න පුලුවන් උනා. මාක්ස්වාදයෙ ආරක්ෂකයන්ගෙ විදග්ග තර්ක සමහරවිට මාර තාර්කිකයි( ඒවා දැන් ඛණ්ඩනය වී ඇති බවවත් දන්නෙ නැතිව ඇති ) නමුත් අලුත් දැනුම හොයන අය එය ප්ර්ශ්නයක් කර ගත යුතු නෑ මන්ද ඒවාද සමාජ භාවිතාව තුලදී Alis and wonderland වලින් එහාට යන්නෙ නෑ.එහාට ගියොත් ඉතින් Dracula තමයි .අතිරික්ත වටිනාකම ගැන ගොඩ නගන විග්රලහය තුල ‍කප්පරක් සමීකරණ පෙන්නුවත් කලමනාකරණය/අවදානම/සමපේක්ෂණය සියල්ල මගහරින හැටි කෙතරම් කපටිද ?.. ? නමුත් ඒ තකතීරැ කම වහ‍ගෙන වෙලුම් ගණන් ලියවෙන එකම මරු ආතල් නේද …. .රැසියාව ස්ටාලින් හරහා මිනීමරමින් පිස්සුකෙලින විට බල අගලයෙන් පැනලගිය ‍ට්රොලට්ස්කි කිව්වේ තනිරටේ සමාජවාදය මාක්ස්වාදයෙන් පීලිපැනීමක් කියල.කොමියුනිස්ට් සමාජයක් (හුදෙක් සංකල්පයක් පමණක්ව තිබෙන ) ගැන මාක්ස් වත් වෙන කව්රැවත් වැඩිය පැහැදිළි කරල නෑ. හැමෝම කියන්නෙ ඒකෙදි සූරාකෑම අහෝසිවෙලා පුද්ගලික දේපොල පැවතීමේ පදනම අහෝසි වෙනව කියල .
    ඔවුන් එය මේ විදිහට සූත්ර ගත කරනව මිනිසා මිනිසා අතර ගැටීම මිනිසා හා ප්රොකෘතිය අතර ලෙසට පරිවර්තනය වෙනව කියල.නමුත් ගැටලුව තියෙන්නෙ සහ ඇත්ත එලියට එන්නෙ එතනදි නොවෙයි කොමියුනිස්ට් සමාජයට මෙහා තියෙන සමාජවාදය තුලයි .17 දි විප්ලවය කරල තර්ක කරමින් මවපු හීන සැබෑ නොවී මිනිස්සු සහ රැසියාව නන්නත්තාර වෙන කොට 1921 ලෙනින් නව ආර්තික ප්රලතිපත්ති ගෙනාව . කුඩා ව්ය පාර ආරම්භ කරන්න ඉඩදුන්න හැබැයි සෙරම කලේ රජයේ දැඩි අධිකාරිය යටතේ සේරම තීරණය කරන්නෙ ලෙනින්/රු.ස.ප්රන.ක.පක්ෂය/ මධ්ය ම කාරක සභාව එතකොට ට්රොිට්ස්කිත් හිටිය.
    ( අපි කන්නෙ/අඳින්නෙ/කරන්නෙ/නිදියන්නෙ…….හැම මගුලක්ම ) මුලින් සමාජවාදියෙක් වෙලා හිටපු මට ප්ර ශ්න උනේ ඔන්න ඕව …කොහොමද යකෝ ලෙනින් දන්නෙ මට ඕනැ දේවල් අනික ඌට මම ගැන තීරණ ගන්න දෙන්නෙ අහවල් දේකටද ? ඒක එහෙමනම් මම කියන එකා ඉන්නෙ මොනමගුලකටද . ඕක තමයි බැස්ටියාට් ඇතුලු ලිබටේරින්ල මංකොල්ලය/ බලහත්කාරය ආදි වචන වලින් කියන්න හදන්නෙ .ලෙනින් සමාජය ලැබ් එකක් කරගත්ත වැඩේ කෙලවෙන කොට අඩියක් පස්සට ගත්ත.(ඒකට හේතුව කියල කිව්වෙ ජර්මන් විප්ලවයෙ පරාජය ) පෙරලපු සාර්ගෙ ක්රතමේම රජය භාවිතාකරමින් කරගෙන ගියා ඉතින් ට්රොඑට්ස්කි මොනව කිව්වත් මිනීමරැ ස්ටාලින් ලෙනින්ගෙම දිගුවක් නෙමේද? එතන ස්ටාලින් නැතිව ලෙනින්/ට්රොනට්ස්කි ඔය කව්රු හිටියත් ඊනියා කම්කරු රජය ආරක්ෂාව මුවාවෙන් ස්ටාලින් කරපු මර්ධනයම කරන්න වෙනව .සමහර විට සැර අඩු වැඩි වෙන්න ඉඩ තියෙනව .
    ඔන්න මාක්ස්වාදයෙ ඇත්ත භාවිතාව . ඔය කෙස් පැලෙන තර්ක න්යාලයන් පැත්තකින් තිබ්බත් සරලව ගත්තහම අර වගේ සමාජ පරීක්ෂනත් එක්ක සමාජය මිනිස්සු මීයො කරන්න ඉඩදෙනවට වඩා නිදහස් වෙළඳ පොළ ආර්ථිකය නැත්නම් ඇත්ත ධනවාදය ඊට වඩා දාහෙන් සම්පතයි නේද .
    මොකක් හරි දෘෂ්ටියක කණ්නාඩියක් දාගත්තහම හැමදේම පේන්නෙ ඒ අනුව තමයි මටත් ඒක සාධාරණයි (විශේෂයෙන් මාක්ස්වාදය) තමන් තමන්ට අවංකව නම්ය්ශීලව නිවැරදි යමක් හොයායනවනම් විතරක් ඉන්න මතවාදයෙ වැරදි දකින්න පුලුවන් හැබැයි බුදියන්නෙ හොරට නම් මොන යකෙකුටවත් ඌ ඇහැරවන්න බෑ.ඒකත් මතක තියාගන්න ඕනැ.

  2. Pradeep Dissanyk said, on ජූනි 23, 2014 at 5:28 පෙ.ව.

    මාර්ක්ස් සහ ග්‍රම්සි දෙන්නටත් වතුර බෝතල් දෙකකුයි කෑම පෙට්ටි දෙකකුයි දීල අරුණිගෙ ප්‍රැක්සිස් පන්තියට එවන්න ඕනේ. අය්යෝ ප්‍රැක්සිස්.

  3. arunishapiro said, on ජූලි 3, 2017 at 8:09 පෙ.ව.

    Reblogged this on අරුණි ශපීරෝ‍ වෙතින් and commented:

    මිනිසා ක්‍රියාවක් කරද්දී එහි අරමුණ කුමක්දැයි ආචාර ධාර්මිකව වැදගත්කමක් තිබ්බාට ආර්ථිකයකට ඒ ගැන එහි කිසිම වැදගත්කමක් නැහැ. ඒ වගේම, මිනිසාගේ හමේ පාට, කුලමල, පංති හා ආගම් භේද හෝ දේශපාලන දර්ශනය යනාදියට කිසිත් සැලකිල්ලක් නොදක්වා ආර්ථිකයක් ඉහළ යන ක්‍රියාවන් ඒ ආර්ථිකය තුළ ඉන්නා මිනිසුන් කරන්නේ ද ආර්ථිකය ඉහළ යයි. එය පහළ යන ක්‍රියාවන් හි යෙදෙන්නේ ද එය පහළ යයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: