අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වොත්සාහය සහ රාජ්‍ය දායකත්වය

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2014

මෙතෙක් ලංකාවේ ආර්ථික ඉතිහාසය ඉතා ලුහුඬින් සලකා බලද්දී හොඳට හරිබරි ගැසී වාඩිගත් දැවැන්ත ලෙවියතන් රාක්ෂයා එහි මුළු කාලය තුල දී ම සැපසේ අරක්ගෙන සිටින හැටි පෙනීම මඟහැරිය නොහැකියි.

පුරාතන කෘෂිකාර්මික ආර්ථිකය ගැන ලාංකිකයා ඉගෙන ගන්නේ එහි රාජ්‍ය දායකත්වයට ප්‍රශංසා කරමිනි. අපට තිබුණ ප්‍රෞඪ ඉතිහාසය යැයි ලාංකිකයා පෙන්වන්නේ මේ රාජ්‍ය මැදිහත්වීම් තුලින් වැව්, ඇළ මාර්ග හා පොකුණු ඉදි වීමෙන් බිහි වූ වාරි කර්මාන්තයයි. ඒවායේ නඩත්තුව සඳහා රාජ්‍ය නිලධාරීන් පත්වීම යනාදියට පැරණි සෙල් ලිපි පවා සාක්ෂි දැරීම ගැන ඉගෙන ගත්ත ද, ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි පාසැල් හෝ ඉහළ අධ්‍යාපනයකින් ලාංකිකයා ඉගෙන නොගනියි.

ඉතින්, අහවල් රජු විසින් මෙපමණ සංඛ්‍යාවක් වැව් ඉදිකළේ යැයි ඉතිහාසයට එකතු කිරීමේ දී, රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොකරන ලද වැව්, ඇළ මාර්ග හෝ පොකුණු රටේ නොතිබුණි ද යන්න විමසීමේ වැදගත්කමක් නොදකියි. එහෙම වාරි කර්මාන්තයක් තිබුණා යැයි සැලකිය හැකි වුවත් සහ ඒවායේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී ගියේ රජෙක් ඉදි නොකළ නිසා දැයි සහ ඒවාට වැදගත්කමක් මහජනතාව වෙතින් නොලැබුණු නිසා දැයි යන්න ද අහන්නට අවශ්‍යතාවයක් ඇතැයි නොදකියි.

ඇමෙරිකාවේ නිදහස් අරගලය සඳහා සටන් වැදුණු ජනතාව ඉල්ලා සිටියේ රාජ්‍ය ග්‍රහණයෙන් ගැලවීමයි. මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතවාසියෙක් වීමෙන් පමණක් නොව, ඇමෙරිකාව නිදහස් රටක් වෙනවා නම් ඒ ස්ථාපිත කරගන්නා ෆෙඩරල් ආණ්ඩුවෙන් ද නිදහසක් එදා මෙහි පදිංචි වූවන් අපේක්ෂා කළහ.

ඇමෙරිකාවේ මුල්ම යුරෝපීය පදිංචිකාරයන් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තම සුභ සිද්ධිය සලසා ගත්තවුන් වූහ. ඊට පෙර කිසිම අවස්ථාවක දී, ලෝකයේ කිසිම තැනක දකින්නට නොතිබි සමෘද්ධියක්, ස්වෝත්සාහයෙන් තම ජීවිත කාලයේ දී තමන්ටම සාක්ෂාත් කරගත හැකි බවට අත්දැකි මුල්ම ජනතාව විය.

ජනතාව වෙතින් ජනතාව පාලනය වෙන ආණ්ඩුවක් නොහොත් රාජ්‍ය මැදිහත්වීම් අවම වූ ආණ්ඩුවක් ගැන සංකල්පයක් එදා ඇමෙරිකාවේ බිහිවූයේ එතෙක් ලොව පැවති කිසිම ආණ්ඩුවකට වඩා සාර්ථක ලෙසින් ස්වෝත්සාහයෙන් තම සුභ සිද්ධිය සලසා ගත හැකි බව අත්දැකි ජනතාවක් අතරිනි.

රට බිහි වී මුල් වසර සියයෙන් පසුව ක්‍රමයෙන් ආණ්ඩුවට රිසි පරිදි දක්කාගෙන යා හැකි ලෙසින් බැටළුවන් බවට බහුතර ජනතාව හැඩගස්වනු ලැබූ නිසා අද ඇමෙරිකාවේ වැසියන් අතර මේ මහඟු ඵෛතිහාසික වෑයම සහ එහි ප්‍රතිඵල හඳුනාගන්නට හැකියාව ඇති ජන සංඛ්‍යාව අල්පයකි. ඉමහත් කැපවීමකින් සියල්ලන්ගේම නිදහස ආරක්ෂා කරගන්නට මේ අය වෙහෙසෙති.

යටත්විජිත වැසියන් වූ ලාංකිකයන් නිදහස් අරගලයේ දී සටන් වැදුනේ රාජ්‍ය මැදිහත්වීම් වලින් ගැලවෙන්නට නොවේ. පරසුද්දන් වෙතින් පාලනය වීමෙන් අයින් වීමට පමණි. ඔවුන්ට එදා නැවතත් සිංහල රජෙක් යටතේ ආණ්ඩුවක් තෝරාගැනීමට හැකි වූවා නම් සමහර විට ඔවුන් එය තෝරාගන්නට ඉඩ තිබුණි. පරසුද්දන් නොව ඉන්දියාවෙන් ගෙන්වන ලද රජෙක් යටතේ පාලනය වෙන්නට තෝරාගැනීමක් තිබුණා නම් සමහර විට ඔවුන් ලංකා ඉතිහාසයේ ඊට කළින් සිද්ධ වී තිබි පරිදි එය ද තෝරා ගන්නට ඉඩ නොතිබුණා යැයි සැකයෙන් තොරව කියන්නට හැකිද?!!!!

නිදහස ලැබූ එක්සත් ලංකාවේ ජනතාව බැටළුවන් සේ දක්කාගෙන යා හැකි පිණිස මුලා කරන ලද්දේ කවුරුන් ද?

ලංකාවේ නිදහස් ව්‍යාපාරය දිහා විමර්ශනාත්මක ඇසකින් බලන්නේ ද, ජනතාව මුලා කරන ලද්දේ එහි වූ “වීරයන්” සේ මහත් ජනප්‍රසාදයට තවමත් පත්වෙන සියල්ලන් විසින් යැයි අවබෝධ වෙයි. ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ අය සටන් වැදුනේ ජනතාව උදෙසා පිහිටුවන ලද ස්ව පාලනයක් සඳහා නොවේ.

පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බංඩා වැනි මාතලේ කැරැල්ලේ “වීරයන්” ඇමෙරිකන් පෝල් රිවියෙර් සහ තෝමස් පේන් යන දෙදෙනාට සහ එංගලන්තයේ ලෙවෙලර්ස් (Levellers) නොහොත් සියළු ජනතාව සම තලයක සිටින අය සේ සැලකිය යුතුයි යන්නට කැප වූ පිරිසට සමාන කිරීමක් ඉංග්‍රීසි විකිපීඩියාවේ ලංකාවේ නිදහස් ව්‍යාපාරය ගැන ලියැවුණ සටහනේ ලියා තිබේ.

ඉංග්‍රීසින් පන්නා දමන්නට ඉදිරිපත් නොවූවා නම් පුරන් අප්පු නැමැත්තාව ලාංකිකයන්ට හුදු චණ්ඩියෙක් පමණක් වෙයි ද?

ගොංගාලේගොඩ බණ්ඩා ඉංග්‍රීසින් පන්නා දමන්නට ඉදිරිපත් වූයේ ඔහුට ඔටුන්නක් පළඳින්නට සිත් පහළ වූ නිසා ද?

ඇමෙරිකන් වැසියන්ට ගැසූ මුද්දර බද්ද, තේ කොළ බද්ද සේ ම බ්‍රිතාන්‍යයන් ලංකාවේ වැසියන්ටත් ඇඟ බද්ද, බලු බද්ද වැනි බදු බර පටවා තිබුණහ. ඒ බදු ගැන ලංකාවාසීන් තැන තැන නඟන ලද උද්ඝෝෂණ වල දී ජනතාව දුටුවේ ඒවා විදේශිකයන් විසින් පනවන ලද බරක් හැටියට පමණි. මන්ද එතෙක් කාලයක් ඔවුන් කාලයෙන් කාලයට තම සිංහල සහ රජවරු විසින් ගැසූ බදු ගෙවමින් සිටියහ.

පෝල් රිවියෙර් සහ තෝමස් පේන් බදු වලට එරෙහිව සටන් වැදුනේ එය ඉංග්‍රීසින් විසින් පනවන ලද්දක් නිසා නොවේ.

මව්බිම වහල් බැවින් මුදවා ගත්, ආඩම්බර විය යුතු, ආදර්ශයට ගත යුතු වීරයන් යැයි එදත් අදත් ලාංකිකයා සලකන්නේ විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදි හෝ සටන් වැදිය යුතු යැයි කියන අයවළුන් පමණි. තව දුරටත් ඉංග්‍රීසින්ගේ වහලෙක් නොවුවත්, එදා පටන් අද දක්වාම, නිදහස් ලංකාවේ රටවැසියා ලංකාවේ ආණ්ඩුවේ වහලෙක් ලෙසින් සිටින ආකාරය බහුතරයක් වාසීන් නොදකිති.

රටවැසියන් සියල්ලන්ටම එක හා සමාන තලයක තරඟයේ යෙදී සමෘද්ධිය කරා යෑමේ නිදහස ලැබෙන්නේ කෙසේදැයි වටහා ගත් ලෙවෙලර්ස්ලා හෝ පෝල් රිවියෙර් හෝ තෝමස් පේන් වැන්නවුන් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ සිටියේ නැත. ඒ නිසාම වෙන්නැති ස්වෝත්සාහයෙන් තම ජීවිත කාලයේ දී ම සමෘද්ධිය අත්පත් කරගත හැකියාවක් මෙතෙක් ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක රටේ ඕනෑම ලාංකිකයෙකු ඉදිරියේ නොතිබුණේ. ස්වොත්සාහයෙන් තම සුභ සිද්ධිය සලසා ගත හැකියාව අත්දකින්නට ඉඩක් නොලද ලාංකික වැසියන් නිදහස ලැබූ දා සිට තවමත් එයට ඉඩකඩ තමන්ට පාදා දෙන්නට හැකියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් යැයි මුලාවී සිටිති.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ජූනි 9, 2014 at 11:17 ප.ව.

    ලංකාවෙ අපිට වීරයො කලේ අනගාරික ධර්මපාල වැනි ගොබ්බයො ඉතිං අපේ ළමයි වත් මේ රාමුවෙන් පනින්න උත්සාහයක් නෑ.අදත් හදන්නෙ පොදු අපේක්ෂකයෙක් දාගෙන විධායක ක්‍රමය අහෝසිකරන්න (ඒකත් වැඩවසම් හාමුදුරැවෙක් එක්ක ) හරියට ජෙවීපී කාරයො ගානෙන් අඩු කැබිනට් එකක් ඉල්ලනව වගේ. හැම කෙහෙල්මලක්ම ආණ්ඩුවෙන් ලැබෙන්න ඕනැ සියලු සැලසුම් රජයෙන් තමයි රජයත් ඉතිං මංකොල්ලෙන් හොයාගෙන බෙදනව. පරිප්පු ඇටේ ඉඳල බදු බදු….මම ඔයාට උදාහරණයක් කියන්නද මම රස්සාවට අමතරව පොඩි බිස්නස් කීපයක් කලා (ඇත්තටම රස්සාව අත්හැරීමේ බලාපොරොත්තුවෙන් ) මම දරපු මහන්සිය කරපු කැපකිරීම් වෙන රටක කලානම් කෝටිපතියෙක් ඔක්කොම පාඩුයි තවමත් චෙක් රාශියක් එන්න තියෙනව සමහර ඒවට දැන් මාස 6 ත් පැනල ඔකයි ඇත්ත තත්ත්වය ඉතිං මේක තේරැම් ගත්ත අපිට වත් ගැලවෙන්න බැරි තරමට ප්‍රශ්නය උග්‍රයි .ඔබ වරෙක කිව්ව වගේ ජීවිතය ජයගන්න උපදුන ජන සමාජයේ බැයි නම් වෙන රටකින් හරි ඒක කරන්න පුලුවන් (ලමයි වෙන්න ඕනැ දෙන්නයි බිරිඳයි එක්ක ඒ පියවරට තමයි කාලෙක ඉඳන් සූදානම )

    තව දෙයක් අපිට කාර්මික විප්ලවය හා ධනේශවර විප්ලව ය ආදියෙ බලපෑම අවම වීමත් මේ වැඩවසම් මානසිකත්වයට හේතුවක් නේද .අපේ රටේ පරාජික චින්තනයට එනම් ආගමෙන් තොරව ආදී පසුගාමී දේවල් තවමත් ශක්තිමත් .

  2. Pradeep Jayatunga said, on ජූනි 11, 2014 at 6:18 පෙ.ව.

    ඉතිහාසේ වීරයන් ඇත්තටම විශ්ලේශනය කරල බැලුවහම හුගක් අය වීරයන් කරල තිබෙන්නෙ ඔවුන්ගේ ජීවිත කාලයට සෑහෙන්න කාලෙකට පසු හිටපු/ඉන්න අයගේ අවශ්යතාවයන් හෝ මත වාද නිසා.

    Paul Revereගේ “වීරත්වය” ඇනලයිස් කරන ඉතිහාසඥයන් දැන් කියනවනේ ඇත්තටම ඒ අවස්තාවේ අරගලයේ propaganda වලට අවශ්යවීම අනුව ඔහුව වීරයෙක් කලා මිස ඔහු අති විශේශ patriot කෙනෙක් නොවන බව.

    ලන්කාවෙ ප්‍රශ්නෙ එහෙම analyze කරන්න තරම් නිදහස්, objective, pure scholarship විතරක් සලකන (without biases and prejudices) ඉතිහාසඥයන් නොමැති එක

    • arunishapiro said, on ජූනි 11, 2014 at 9:05 ප.ව.

      Pradeep Jayatunga,

      🙂 මේ කිව්වෙ අර සැමුවෙල් ඇඩම්ස් වෙළඳ නාමයේ බොස්ටන් ලාගර් බෝතලේ පින්තූරේ කතාව ද? — සැමුවෙල් ඇඩම්ස් ඊට වඩා වීරයෙක් නිසා එයාගෙ නමයි පෝල් රිවියෙර්ගෙ පින්තූරයයි වෙළඳ ලාංඡනයට දැම්මයි කියන එක?!!!

      1861 දී ලියැවෙන හෙන්රි වැඩ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝගෙ සුප්‍රසිද්ධ කවිය ප්‍රබන්ධයක් නිසා පරිසිද්ධි බොහොමයක් වැරදියි.

      ඒත් යම් අය වීරයන් වෙන්නෙ ඔවුන්ගෙ ජීවිත කාලයට සෑහෙන්න කාලෙකට පස්සෙ වෙන අයගෙ අවශ්‍යතාවයන්, මත වාද නිසා පමණක්ම නෙමෙයි. තමන්ගෙ ජීවිත කාලයේ දී ම ලොව පුරා වීරයන් හැටියට ගෞරව සැලකිලි ලබමින්, ඊට මනා සුදුස්සන් වූ අය බොහොම දෙනෙක් ඉන්නවා. ඒ වීරයන් කවුදැයි සොයා ගැනීම උවමනාවක් ඇත්නම් අපහසු නැහැ. ඒ අය ගැන විශ්ලේෂණයට ඉතිහාසඥයන් අවශ්‍යත් නැහැ.

      පෝල් රිවියෙර් අනෙක් නිදහස් අරගලයේ වීරයන් අතරින් අතිවිශේෂ වූවෙක් යැයි එවක දී ද විශේෂ සැලකිල්ලකට පාත්‍ර වූවෙක් හැටියට සඳහන් නැහැ.

      • Pradeep Jayatunga said, on ජූනි 13, 2014 at 12:27 පෙ.ව.

        Revere ගැන කිව්වෙ Longfellow නිසා වීරයෙක් වුනාට ඇත්තෙන්ම ඔහු තරම්ම හෝ ඊට වඩා වීරකම් කල වෙනත් අය ඔහු වගේ ප්‍රසිද්ධ නොවුන එක. අර ride එකෙත් Revere ඇරෙන්න වෙන අය හිටිය.

        //සුප්‍රසිද්ධ කවිය ප්‍රබන්ධයක් නිසා පරිසිද්ධි බොහොමයක් වැරදියි.//
        ඒක තමයි, ඒත් ප්‍රබන්ධ හෝ අර්ධ ප්‍රබන්ධ ( fiction, propaganda, gloating of the victor and wishful thinking of the vanquished, patriotic urges and a lot more) ඇත්ත ඉතිහාසය කියල සලකල වීරයන් කොයිතරම් බිහිවෙල තියනවද සාමාන්ය ජනයා අතර!

        පුරන් අප්පුත් ඔහුගෙ ජීවිත කාලය ඇතුලත හෝ ඒකාලයේ ජීවත් වූවන් අතර එතරම් ලොකු වීරයෙක් ලෙස හෝ ආණ්ඩුවට එතරම් ලොකු තර්ජනයක් ලෙස සැලකූ බවට සාධක නැහැ. (1818 කැරැල්ල වගේ නෙමෙයි. පුරන් අප්පු සැලකුනේ bandit කෙනෙකුට වඩා ටිකක් උසස් මට්ටමෙන්) ඒත් පසුව නිදහස් සටනට සහ ඉන් පසු දේශපාලනයට (තාමත්) ඔහුගේ වීරත්වය වැඩිකර සැලකීම ප්‍රයෝජනවත්.

        • arunishapiro said, on ජූනි 13, 2014 at 8:09 පෙ.ව.

          Pradeep Jayatunga,

          ප්‍රබන්ධ සහ පරිසිද්ධි අතර වෙනස නොදන්නා සාමාන්‍ය ජනතාව එහෙම දක්කාගෙන යන්න හදලා තියෙන්නෙ නොමිලේ බෙදනවා යැයි කියන එහෙත් නොමිලේ නොවූ එසේම නිදහස් යැයි කියන එහෙත් නිදහස් ද නොවූ අධ්‍යාපනයෙන්.

          එතැන දී එහෙම දැනුම බෙදන පද්ධතියක් හදලා තියෙන්නෙ කවුරු රවටන්නට ද? කාගේ පරමාර්ථය ඉෂ්ට කරගන්නට ද? කියන එක විමසා බැලිය යුත්තේ තමන් විසින්.

          ඒ වගේම ඕනෑම දෙයක් කියවද්දී, ප්‍රබන්ධයක් වේවා, පරිසිද්ධි දක්වන වාර්තාවක් වේවා, එය ලියා ඇත්තේ කුමන පරමාර්ථයක් ඉෂ්ට කරගන්නට දැයි කියා විමසා බැලිය යුත්තේ තමන් විසින්. දැන් මේ අඩවියේ සටහන් ලියන්නේ ධනවාදය අතිශයෙන් අගය කරන, පුද්ගලික අයිතිය වෙනුවෙන් පමණක්ම පෙනී සිටින, පුද්ගලයෙක් වගේම සමාජයක් ද සමෘද්ධිය කරා යන්නේ ධනවාදයට සහ පුද්ගලික අයිතියට ඉඩක් දීමෙන් පමණක් යැයි කියන අයෙක් බව නොදන්නවා නම් එයා ද මුලා වූවෙක්!!!! 🙂

          රිවියෙර් යනු රතුකෝට්කාරයන්ට තිබි ජනතා ප්‍රසාදය තමන්ගෙ පැත්තට හරවන්නට 1770 දී සිද්ධ වූ බොස්ටන් සමූල ඝාතනයේ තොරතුරු ගජබින්නලංකාරයෙන් ප්‍රචාරය කරන ලද්දෙක්. ඔහු සෑම වේශයකින්ම එන රාජ්‍ය යන සංස්ථාව ගැන කොතරම් සැකයක් දැක්වූ අයෙක් දැයි කිව්වොත් ඇමෙරිකන් අරගලයේ දී මිලීෂා හමුදාවේ නීති කඩා අත්අඩංගුවට පවා ගෙන නිදහස් කරන ලද්දෙක්. ඒකයි පුරන් අප්පු බ්‍රිතාන්‍යයන්ට එරෙහි වෙද්දී ඇමෙරිකන් අරගලයේ සටන් වැදුණ අය දේශප්‍රේමීත්වයකට වඩා ඇමෙරිකන් රජයකින් ද ස්වාධීනත්වයක් අපේක්ෂා කරන ලද අය හැටියට වෙනස් වෙන්නෙ. ඇමෙරිකන් අය සටන් වැදුනේ ස්වකීය ඒකීය පුද්ගල ‘නිදහස’ වෙනුවෙන්. බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස වෙනුවෙන් නොවේ.

          බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වගේම පෝල් රිවියෙර් ද දුප්පත් පවුලක උපන් අයෙක්. රිවියෙර් රීදි කාර්මිකයෙක්. ඇමෙරිකාවේ සිද්ධ වූ බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් අතර වූ ප්‍රංශ ඉන්දියන් යුද්ධය යැයි හැඳින්වෙන්නේ හි ඔහු සටන් වැදියෙක්. 1765 මුද්දර පනතේ (බද්දට) දී බ්‍රිතාන්‍යයට එරෙහිව උද්ඝෝෂණ කළ අයෙක්. 1773 දෙසැම්බර් 16 වැනිදා සිද්ධ වූ ලංකාවේ තේ වරායට විසිකරපු බොස්ටන් තේ පාටිය සංවිධානය කරන ලද බොස්ටන් හි නිදහස් පුත්තු (Sons of Liberty) යන කල්ලියේ මුල් සාමාජිකයෙක්.

          ඉතින් 1775 අප්‍රේල් 18 වැනි දා විලියම් ඩෝව්ස් (වැඩියෙන් ප්‍රසිද්ධ මේ ගමනේ දී රතුකෝට්කාරයන් පිරිසක් එක පැත්තකට ගෙන යන්නට සමත්වීමට) සහ සැමුවෙල් ප්‍රෙස්කොට් (කොන්කොර්ඩ් ගමට පිවිස ගමන අවසන් කරන්න සමත් වූ එකම පුද්ගලයා නිසා ප්‍රසිද්ධ වූ) එක්ක යද්දී ඒ දෙන්නාට වඩා එවක ජනතාව ඒ වෙද්දී පෝල් රිවියර් ගැන වැඩියෙන් අහලා තිබුණ බව සැකයක් නැහැ.

          මේ මම කොන්කොර්ඩ් ගම බලන්න ගිය චාරිකාව ගැන සුළු සටහනක්. තම ඉතිහාසය ගැන ලියන්නට සහ එහි සඳහන් වූ පරිසිද්ධි ගැන විවාදයට ඕනෑම අයෙකුට ඉඩක් දෙන ඇමෙරිකන් හැදියාව ලොව සුවිශේෂීයි.

          ඉහත ලියූ සියල්ලෙන්ම මම ඔබේ අදහස, එනම් දේශපාලනයට අවශ්‍ය හැටියට වීරත්වය ගෙනහැර පාමින් දැක්වීම සිද්ධ නොවෙනවා යැයි කියන්නේ නැහැ. වර්තමානයේ අපිට තියෙන කදිම උදාහරණය තමයි ආමි සාජන්ට් Bowe Bergdahl 🙂 කවදාවත් හමුදා වීරයන් ගැන පැසසුම් නොකරන වාමාංශිකයන් මෙන්න පෙළ ගැහිලා මෙයාව අගයන්නට!!!!!

  3. mppgunasinghe said, on ජූනි 11, 2014 at 9:21 පෙ.ව.

    නිදහස, නිවහල්බව වැනි වදන් දෙස නැවතත් ආපසු හැරී සිතා බැලීමට යොමු කරවන අගනා අදහස් ගොනුවකි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: