අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යාජ සහ අව්‍යාජ පරිත්‍යාගශීලීත්වය

Posted in Uncategorized by arunishapiro on ජූනි 11, 2014

ඩෙංගු උණ ලංකාවේ නැවතත් පැතිරෙන්නට පටන් ගෙන ඇතැයි කියවන්නට ලැබුණි. සිංහල බෙහෙතකින් එය නිට්ටාවට සුව කරන “ඉසිවර” දියණිය නොහොත් වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය ගැන ලියැවුණු සටහනක් මුහුණුපොතේ බෙදාගැනීමකින් දැක්කෙමි.

ඩෙංගු උණ නිසා අසාධ්‍යයට පත් වූ ලෙඩුන් සුවකරන ඇය නිපැදවූ බෙහෙතට ආයූර්වේද වෛද්‍ය සභාවෙන් අනුමැතිය ලැබී ඇත්නම්, එය ලංකාවේ ෆාමසි වලින් බෙදන ක්‍රමයට ඇය අකමැති මන්ද?

මේ ගැන ජනතාව දැනුවත් කරන්නට ලියන ඉන්ද්‍රජිත් සුබසිංහට ඇය කියා ඇත්තේ “මම මේ බෙහෙත ෆාමසි වලට දැම්මොත්, කවදාවත් මේක ඉස්පිරිතාලෙකින් ගන්න තියෙන එක වැළකිලා මේක හැමදාම මුදලට විකිණෙන බෙහෙතක් වේවි. මම ඒකට කැමති නැහැ. ඒකයි මම මේ බලාගෙන ඉන්නෙ,” කියාය.

ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් මාර්ගයෙන් බෙදා දෙන බෙහෙතක් වෙද්දී එහි බරපැණ දන්නේ කවුදැයි ඇය සේ ම ලංකාවේ බහුතරයක් ජනතාව ද නොදනිති. ඒ නිසාම, දුප්පත් මනුස්සයාගේ පාවිච්චියට ලැබේවි යැයි කියමින් ආණ්ඩුව ලවා බෙදා දෙන්නට ගන්නා උත්සාහයේ දී බෙහෙත් නොමැතිව මුලින්ම සහ වැඩියෙන්ම මිය යන්නේ දුප්පත් මිනිසුන්ම බව ඇය සේ ම ලංකාවේ බහුතරයක් ජනතාව ද වටහා නොගනිති.

සියල්ලන්වම මංකොල්ලයෙන් පසු වරප්‍රසාද ලත් සුළු පිරිසකට බෙදා දෙන මාක්ස්වාදී ප්‍රතිපත්ති දියත් කළ සිරිමාවෝ බණ්ඩාරනායකගේ පස් අවුරුදු සැලැසුම් ක්‍රියාත්මක වූ කාලය අවසානයේ දී රටේ දුප්පතුන්ට නොමිලේ බෙදූ සෞඛ්‍ය සේවය කොතරම් ඛේදාන්ත පිරිහීමකට ලක්වූවාදැයි දන්නා අය අද ලංකාවේ නැති වෙන්න බැහැ!!!

ලංකාවේ ඩෙංගු උණෙන් මිය යන මිනිසුන් සුව කරන්නට හැකි බෙහෙතක් සොයාගෙන තිබේ නම්, එය සොයාගත් ඉසිවර දියණිය විසින් ඇය හමුවන්නට එන නැති බැරි දුප්පතුන්ට ගමන් වියදම් පවා ගෙවමින් ඔවුන්ගේ ජීවිත බේරා ගනිමින් එයින් ප්‍රතිකාර කරන්නේ නම්, පෝසත් අයට ෆාමසි මාර්ගයෙන් මුදලට විකුණමින්, දුප්පතුන්ට බෙහෙත නොමිලේ බෙදා දෙන්නට ඇයට බැරි ඇයි?

මෙහි දී පෝසතා යනු මුදල් දී බෙහෙත මිල දී ගන්නට ඉදිරිපත්වෙන අයෙකි. දුප්පතා යනු උවමනා වූවාට එය මිල දී ගන්නට මුදල් නැති අයෙකි. බෙහෙත් වලට සල්ලි නැති යම් දුප්පතෙක් වේ ද, එයා වෙනුවෙන් බෙහෙත් අරන් දෙන්න සල්ලි එකතු කරන්නට සමත් අය නිතර පාහේ දකින්නට ලැබේ.

ඩෙංගු වැළඳුණ දුප්පතුන්ට නිට්ටාවට සුවය ලැබෙන මේ බෙහෙත මිල දී ගන්නට මුදල් පරිත්‍යාග කරන දානපතියන් (ජනගහණය අඩු වී නොයන උත්සාහයේ යෙදෙන බලකායක්) රටේ නැත්ද?!!!

යමක් යම් පිරිසකට නොමිලේ දෙන බව දැන ගනිද්දී, තමන් ද නොමිලේ ලබාගැනීමට උත්සාහය මිනිස් හැදියාවයි. එහෙත් මාරාන්තික විය හැකි ලෙඩකින් නිට්ටාවටම සුවය ලැබෙන බෙහෙතක් ඇත්නම් නොමිලේ ලැබෙන තෙක් බලාගෙන නොසිටීම ද මිනිස් හැදියාවයි.

මුදලට විකිණෙන බෙහෙතක් වෙනවාට අකමැති ආයූර්වේද වෛද්‍යවරියට උවමනා මිලියන 20 ක ජනගහණයක් ඇති රටේ එම බෙහෙත නිෂ්පාදනය කර බෙදා හැරීමේ බරපැණ දැරීම ආණ්ඩුවට නොහොත් ජනතාවට පැටවීමයි. මෙම බෙහෙත නිෂ්පාදනය සහ බෙදාහැරීම ආයෝජන අවදානමකි. ඩෙංගු හැදෙන්නට හැකි ජන සංඛ්‍යාව සහ ඒ අය අතරින් මෙම බෙහෙත පාවිච්චියට ඉදිරිපත් වෙන සංඛ්‍යාව ගැන අනුමානයකින් ඒ බෙහෙත නිපදවන්නට තම පුද්ගලික වත්කමෙන් ආයෝජන අවදානමක් ගැනීමට ඇය අකමැතියි.

එහෙත් ඒ අවදානම් ආයෝජනයේ බරපැණ මහජනතාව පිටම පටවද්දී ආර්ථිකයක් හෝ වෙළඳපොලක් වැඩකරන හැටි නොදන්නා ඇයත්, රටේ සෙසු බහුතරයත්, ඇයව ඉතා පරිත්‍යාගශීලී අයෙක් හැටියට පිළිබිඹු කරමින්, ආණ්ඩුව මේ ගැන පියවරක් නොගැනීම ගැන බටහිර වෛද්‍ය සම්ප්‍රදායටත් බැනුමක් එල්ල කරන්නට පසුබට නොවෙති.

මේ අඩවියේ හෙපටයිටිස් බී එන්නත සොයාගත් බැරී බ්ලම්බර්ග් ගැන ලියූ සටහන කියවා නැත්නම් මෙතැනින් ගොස් එය කියවත හැකියි.

යමෙක් අව්‍යාජ පරිත්‍යාගශීලී පුද්ගලයෙක් නම්, මිනිසුන් මිය යද්දී එයින් ඔවුන්ව සුව කරත හැකි ඖෂධයක් තමන් සතුව ඇත්නම්, එවිට එය බෙදා හරින්නට ආණ්ඩුවේ නොහොත් මහජනතාවගේ මුදල් ආයෝජනයක් බලාපොරොත්තුවෙන් බලාගෙන සිටින්නේ නැත.

අව්‍යාජ පරිත්‍යාගශීලී පුද්ගලයා කරන්නේ බැරී බ්ලම්බර්ග් මෙන් තම සොයා ගැනීම ලෝකය පුරා කැමති කෙනෙකුට පාවිච්චි කරනු පිණිස තොරතුරු සියල්ල ඇතුලත් කර පේටන්ට් බලපත්‍රය ද සමඟින් බෙදා දීමයි!!!!!!!

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව බිලියන 2.5 ජනතාවක් (ලෝක ජනගහණයෙන් 40% ක් පමණ) වාර්ෂිකව ඩෙංගු උණ වැළඳීමේ අවදානමට මුහුණ පාති. ඉතින්, මරණය ළඟා කරත හැකි ඩෙංගු උණ සුව කරන්නට දිව්‍ය ඔසුවක් ලොව ඇත්නම් එයට නොබෙල් තෑග්ගක් ප්‍රදානය නොවෙයි ද? නොබෙල් තෑග්ගේ සහතිකයට අමතරව, ස්විඩිශ් ක්‍රෝන මිලියන 8 ක් සහ රත්තරන් පදක්කමක් ද පිරිනැමේ. තම සොයා ගැනීම මුදලට විකිණීම නොව නොබෙල් තෑග්ගක් ලැබීම ජීවිතයේ අභිප්‍රාය කරගත් අයි-ඉචි නිගිෂී සිය පේටන්ට් බලපත්‍රය නොමිලේ බෙදා හැරියෙකි!!!!

තම ඔසුවේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ ආයෝජන අවදානම ආණ්ඩුව මාර්ගයෙන් මහජනතාවගේ කරපිට පැටවීම ව්‍යාජ පරිත්‍යාගශීලීත්වයයි.

තම සොයාගැනීමේ පේටන්ට් බලපත්‍රය නොමිලේ බෙදා දී පසුව එයට තමනට නොබෙල් තෑග්ගක් ලැබේවි යැයි අවදානමක් ගැනීමත් අව්‍යාජ පරිත්‍යාගශීලීත්වයකි!!!!

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. Shehan Senadheera said, on ජූනි 11, 2014 at 10:25 ප.ව.

    අපේ ඇස ඇරෙන විදියේ සටහනක්..
    ඇත්තටම අපි ජනමාධ්‍ය ඇසුරු කරගෙන ඒවායේ ප්‍රකාශන පදනම් කරගෙන අපේ දැක්ම සකස් කරගන්නා නිසා සමබර අදහස් විවේචන විකල්ප මතවාද ජාතික මාධ්‍ය වල පලවීම බොහෝ වැදගත් . නමුත් බොහෝ විට අති බහුතර ( සමහර විට සෑම) මාධ්‍ය වල එකම කෝණයකින් බලා තොරතුරු වාර්තා කරන නිසා විකල්ප මතයක් විවේචනයක් අසන්නට දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඔබේ සටහනත් ඒ ආකාරයේ විකල්ප මතයක ප්‍රකාශනයක්.

    • arunishapiro said, on ජූනි 13, 2014 at 8:39 පෙ.ව.

      Shehan Senadheera,

      මගේ දියණියට බහ තෝරන වයසේ දී පටන් ප්‍රබන්ධ සහ පරිසිද්ධි, මැජික් සහ හාස්කම් අතර වෙනස වගේ ම කවුරු කීවත් (අම්මා, තාත්තා, ගුරුවරු) තමන් සොයා නොබලා කිසිම දෙයක් පිළිගන්න එපා යැයි කියා දුන්න. එය පුවත්පත් කලාවේදියක් වූ මගේ තාත්තා වෙතින් මා ඉගෙන ගත් අගනා පාඩමක්. මම මගේ තාත්තා එක්ක වාද කළා වගේම අද මගෙ දුවත් මා සමඟ වාද කරනවා. ඒ තුලින් අපි සත්‍ය එකතු කරගන්නටත්, අසත්‍යය අත් හරින්නටත් හුරුව පවත්වා ගන්නවා.

  2. Shanthi Chandrasekera said, on ජූනි 12, 2014 at 3:36 පෙ.ව.

    Oya wagema math hithuwa e wedamahath miya gana oya liya thibena dewalata 100% k ekangai thanks Aruni..Subadawasak!!

  3. Krishna Ramanayaka said, on ජූනි 12, 2014 at 10:18 ප.ව.

    මීට කලින් වෙන වෙදෙක් පිලිකාවට බේත් හොයා ගත්ත දැන් ඩෙංගු . අපේ පැත්තෙ ගල් දිය කරනව කියල වෙදෙක් ඉන්නව පුදුම සෙනඟක් එන්නෙ . එකක් දියුණු චින්තනය ( සමහරැන්ට බටහිර කිව්ව ගමන් භූමිතෙල් ගෑවුනා වගේ ) අපේ රටවල නෑ ඉතින් තාමත් ගොඩ වෙදකම් විශ්වාශයි. අනික හැම දේටම රජය රජය රජය….මොන තරම් දීනද ? මම නම් කියන්නෙ මනුස්සය අංක එකේ වංවාකාරියක් ලංකාවෙ බහුතරයක් ඉන්නෙ ඕකුන් තමා

    • arunishapiro said, on ජූනි 13, 2014 at 7:14 පෙ.ව.

      Krishna Ramanayaka,

      සිංහල බෞද්ධයාගේ යහපත වෙනුවෙන් නොව බටහිර බලවේග වලට බැන වදින හුරුව පටන් ගත්තෙ සිංහල බෞද්ධයන් රවටා ඔවුන්ගේ කරපිටින් තමන්ගේ බලය හා කීර්තිය වැඩිකරගන්න ගත්ත උත්සාහය නිසයි. ඔයා වගේ පරණ සමාජවාදීන් සහ යල්පැන ගිය සමාජවාදී අදහස් වල තවමත් එල්බ සිටින වර්තමාන අයත් සිංහල බෞද්ධ කියන යහපතක් සඳහා ආණ්ඩුව කැප වෙනවාට අකමැති වුවත් ඉතිහාසය ඔප්පු කරන්නෙ ඔවුන් හැමදාම එවැනි ආණ්ඩුවක බලය ආරක්ෂා කරගන්න ඊට එකතු වෙච්ච බව.

      මුලාවූවන්ට ගොඩ වෙදකම් තුල තියෙන සත්‍යය සහ අසත්‍යය තෝරා බේරාගන්නට නොහැකියි. ගොඩ වෙදකම් වලට එදා සහ අද ඇමෙරිකාවේ තියන පිළිගැනීම ලංකාවේ නැත්තේ ජීවිතයට යහපත් දේ සහ අයහපත් දේ තෝරා බේරා ගන්නට දැනුමක් වර්ධනය වෙනුවට රජයේ නිර්දේශය කියන තමන්ට හුරු වූ මුලාවට කැමති අය ලංකාවේ වැඩි නිසයි.

  4. Krishna Ramanayaka said, on ජූනි 12, 2014 at 10:25 ප.ව.

    තව වැදගත් දෙයක් කියන්න අමතක උනා අරැනි බැරී බ්ලම්බර්ග් ගැන කියෙව්වට පස්සෙ ඉසිවරීට හොයාගෙන ගිහින් කනට දෙකක් දෙන්න හිතුනා

    • arunishapiro said, on ජූනි 13, 2014 at 8:47 පෙ.ව.

      Krishna Ramanayaka,

      හපොයි! පරණ හුරු පුරුදු තමයි හිතට එන්නෙ නේද?!!! 😀

      ඉතින් ලිබටේරියන් අය හිතට ආවට එහෙම කනට දෙකක් දෙන්න යන්නෙ නැහැ. අපි අකමැතියි කියල අනුන්ගෙ මතයකට එයාගෙ පුද්ගලික දේපලට (ඇයගේ කන ඇයගේ පුද්ගලික දේපලකි!!) හානි කරන්නේ නැහැ. 😀

  5. magenama said, on ජූනි 13, 2014 at 12:53 පෙ.ව.

    මට නම් හිතෙන්නේ ඔය බේත ෆාමසිවලින් බෙදන්න මෙයා අකමැති වෙන්නේ ඔය බේතේ යම් ගැටළුවක් තියෙන නිසා විය යුතුයි.

    • arunishapiro said, on ජූනි 13, 2014 at 8:19 පෙ.ව.

      magenama,

      ලෙඩ හොඳ වෙනවා යැයි කියන එහෙත් එහෙම නොවන බෙහෙත් ලෝකෙ කොතරම් තියෙනවා ද?!!! යම් ලෙඩක් නිට්ටාවටම සුව කරන්න හැකි හැමෝටම හරියන එක බෙහෙතක් ලෝකෙ නැහැනෙ. එන්නත් සහ බෙහෙත් පටලවා ගන්න එපා.

      ඔසුවේ ඇති ගැටළුවකට වඩා මම හිතන්නෙ එවිට එය විශාල ප්‍රමාණයකින් කළ යුතු නිෂ්පාදනය බාර දෙන්න වෙනවා ව්‍යාපාරිකයෙකුට. එහෙම නැත්නම් ඒ ගන්න ආයෝජන අවදානමෙන් ලාබයක් හොයාගන්න බැහැ කියන ප්‍රතිඵලය දන්නවා වුනාට ඒක එහෙම වෙන්නෙ කොහොම දැයි නොදන්නා අය අතරේ ඇය ද සිටිනවා යැයි අනුමාන කළ හැකියි.

      ඩෙංගු මදුරුවන් නැති කැනඩාවේ මහාචාර්යවරයෙක් ජෙට් එකක් එවලා එයාව කැනඩාවට ගෙන්න ගන්න හදනවා කියලත් තිබුණ. ඒක සත්‍යය නම්, කැනඩාවේ බෙහෙත නිෂ්පාදනය කළොත් එහි ආයෝජන අවදානමට හොඳ ලාබ ගන්න පුළුවන් වේවි දකුණු ඇමෙරිකාවේ ඩෙංගු පැතිර යන පෙදෙස් බොහොමයක විකුණලා. ඒත් රජයක් නොවන පුද්ගලික බෙහෙත් නිෂ්පාදකයෙක් යනු ප්‍රතිඵල මැන බලා මිස ප්‍රසිද්ධිය නිසා ආයෝජන අවදානමක් ගන්නේ නැති අය. සමහර විට කැනඩාවට එන්න කිව්වෙ ඔසුව ගැන තව විමර්ශනයට වෙන්නත් පුළුවන්.

  6. Viraj Rathnapriya said, on ජූනි 13, 2014 at 1:23 පෙ.ව.

    අරුණිගේ තර්කය මම බැහැර කරන්නේ නැහැ.

    ඒත් මට හිතෙන විදිහටනම් ඇය ඉල්ලන්නේ තමන් ගේ සොයාගැනීමට ජාතික මට්ටමේ සැබෑ පිලිගැනීමක්. ඒකයි ඇය මෙම බෙහෙත රජයේ රෝහල් හරහා බෙදන්නට ක්‍රමවේදයක් ඉල්ලා සිටින්නේ. මොකද අපේ රටේ යම් ඔසුවකට නියම පිලිගැනීමක් ලැබෙන්නටනම් එය වෛද්‍ය සභාව අනුමත කරන්නක් වෙන්නට ඕන.

    • arunishapiro said, on ජූනි 13, 2014 at 8:24 පෙ.ව.

      Viraj Rathnapriya,

      ඔව්, හරියටම හරි!!! ලංකාවේ බහුතරයක් “සැබෑ පිළිගැනීමක්” දෙන්නේ රජයේ අනුමැතිය ලැබෙන දේවල් වලට නිසා ඔබේ උපකල්පනය බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන්.

      වස විස පිරි පිටිකිරි බීමත් රජය අනුමත කරලා එහි මිලත් වැඩිකළා නේද?!!!!

      මෙහෙ ඉන්න අව්‍යාජ පුරෝගාමීන් තමන්ට හරියන දේවල් රටේ නීති කඩමින් පවා පාවිච්චි කරලා ඊට පස්සෙ රජය ලවා එය නීතිමය පාවිච්චියට අනුමත කරගන්නවා. කදිම උදාහරණයක් තමයි මර්වානා නොහොත් සිංහලෙන් කියන මරිජුවානා!!!!!

  7. “මම මේ බෙහෙත ෆාමසි වලට දැම්මොත්, කවදාවත් මේක ඉස්පිරිතාලෙකින් ගන්න තියෙන එක වැළකිලා මේක හැමදාම මුදලට විකිණෙන බෙහෙතක් වේවි. මම ඒකට කැමති නැහැ. ඒකයි මම මේ බලාගෙන ඉන්නෙ,”

    මේ ‍වගේ කතා ඇහුවම නං හිනා යනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ. මේ ජාතියේ බේත් ඕන තරම් තියනව. වැඩේ තියෙන්නෙ ලෙඩෙකුට නැත්තං දෙන්නෙකුට දීල ‘මේක තමයි බේත’ කියල ස්වයං මෝහනයක ඇලිල ඉන්න කෙනා දන්නෙ නෑ කරන්න ඕන දේ මොකද්ද කියල.
    (හොඳ කරන්න බැරි ලෙඩ වලට ලංකාවෙ තරම් ‘ප්‍රත්‍යක්ෂ ඔසු’ හොයාගත්ත රටක් තවත් නෑ. පිළිකා, දියවැඩියා, ඒඩ්ස්, සුදු කබර…. ඕන එකක‍ට බේත් තියනව කියල කියන පිරසක් ඉන්නව. ඒවගේ කතා වලින් මත්වෙන පත්තර කාරයොත් ඉන්නව)

  8. nishanthakamaladasa said, on ජූනි 13, 2014 at 7:12 පෙ.ව.

    මා අසා ඇති ආකාරයට ඩෙංගු හැදෙන්නේ වෛරසයකිනි. වෛරස්වලට බෙහෙත් නැත. ඩෙංගු රෝගීන් සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන්නේ ශරීරයේ දියර ප්‍රමාණය පවත්වාගෙන යෑම මගින් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන ශරීරයට දිරියක් දීමේ ක්‍රමය යි. 90% ඩෙංගු රෝගීන් ඒ කිසිවක් නැතිවත් සුව වන බව සොයා ගෙන තිබේ. සුව වුනොත් මගේ බෙහෙතට. මිය ගියොත් ඔබේ අපලයට. යයි කියන්නට ඒ නිසා බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබී තිබේ.

    • arunishapiro said, on ජූනි 13, 2014 at 8:31 පෙ.ව.

      nishanthakamaladasa,

      මදුරුවන් ගෙනයන related වයිරස් හතරකින් ඕනෑම එකකින් හැදෙන්න පුළුවන් … ඒ කියන්නෙ තවත් සංකීර්ණයි. ඇයගේ ඔසුවෙන් කරන්නේ රුධිර පට්ටිකා (platelet) දර්ශකය වැඩි කිරීම නම් වෙනත් එය සාධකයක් වූ වෙනත් රෝගයන් සඳහා ද මේ ඔසුව අගනා වේවි. ඒත් එහෙම වෙන්නේ කොහොමදැයි විමර්ශනයක් නොකර එය භාවිතයේ අවදානම ගන්නට කැමැත්තේ රජය ද පාරිභෝගික ලෙඩා ද?!!!!

  9. Krishna Ramanayaka said, on ජූනි 13, 2014 at 10:01 පෙ.ව.

    අරැනිගෙ මීට වඩා හුඟක් වටින ලිපි වලට වැඩිය මේකට ප්‍රතිචාර වැඩියි කමක් නෑ ඇත්තටම සතුටුයි මේ විදිහට එකා දෙන්න අල්තින් හිතන්න පටන් ගන්න එක .කනට ගහනව කිව්වෙ නිකන් කරන්න්න නෙමේ (ලිබටේරියන්ල එහෙම නෑනෙ ) 🙂 හහ්…හහ් මොකද්ද අර පරන කතාව …..විහිලු කරනව නේද කමක් නෑ දැන් වෙනස් වෙමින් නෙ ඉන්නෙ

    • arunishapiro said, on ජූනි 13, 2014 at 10:53 පෙ.ව.

      Krishna Ramanayaka,

      ලැබෙන ප්‍රතිචාර සංඛ්‍යාවෙන් සටහනක අගය මනින්න යෑම, අනිත් අය යන නිසා තමන් ද යෑමේ ප්‍රාථමික මට්ටමක ජන්ම මිනිස් ස්වභාවයක්. ඒත්, මිනිසා යනු ඒ ජන්ම ස්වභාවයෙන් ඔබ්බකට සිය උවමනාව අනුව හුරු පුරුදු වෙනස් කරගත හැකි වූ සත්වයෙක්.

      ඔව් ඔව් විහිළුවක් තමයි කළේ!!! වෙනස් වෙමින් සිටීම අගයමි.

  10. N.P. Vishva Kumara said, on ජූනි 16, 2014 at 12:16 පෙ.ව.

    මම ලියන්නට සිටි දෙයක් සිතා සිටියාට වඩා ඉතා හොඳින් ලියා තිබෙනවා. 🙂

    ඖශධයක පමණක් නොවේ ඕනෑම දෙයක නිශ්පාදන වියදම අඩු කල හැක්කේ මහා පරිමාණ ව නිශ්පාදනය කිරීමෙනි. එය ෆාමසි හෝ ආයුර්වේද-බෙහෙත්-ශාලා වලින් මිලදීගැනීමට අවස්ථාවක් දීමෙන් එම මුදලින්, මුදල් නැති අයට නොමිලයේ ලබා දීමට හැකි වනවා ඇත. තව ද දුර බැහැර සිටින අයට ලබාගැනීම පහසු වේ.

    නිදහස් මෘදුකාංග උදාහරණයක් ලෙස ගෙන බැලුවොත්, ඒවා නොමිලයේ ලබාගත හැකි නිසා කිසිවෙකුට ඒවා විකිනීමට අවස්ථාවක් නෑ. විකිණුවත් සී-ඩී එකක නිශ්පාදන වියදමට වඩා අය කිරීමට හැකියාවක් නෑ. එමෙන් ම ඒවායේ කේත “විවෘත නම්” ඕනෑම කෙනෙකුට තම පරිගණකය තුල ඒවා තනාගත හැක.

    මහන්සියෙන් සොයාගත් ඖශධයක “වට්ටෝරුව” නොමිලයේ දිය යුතු යැයි මම යෝජනා කරන්නේත් නෑ, එයට යම් වටිනාකමක් තිබිය යුතුයි. නමුත් වට්ටෝරුව රහසිගතව තබාගනී නම් ඒ කෙරෙහි යෝජනා-කරන/තක්සේරු-කරන මූල්‍ය වටිනාකම පිලිබඳව අවංක විය යුතුය. අන් අය විසින් පේටන්ට් කර ගනීවි යැයි බියක් ඇති නම් එක්කෝ පේටන්ට් එකත් තමන් විසින් ගත යුතුයි. නැතිනම් පබ්ලික් ඩොමේන් එකට නිදහස් කිරීමෙන් කිසිවෙකුට එය පේටන්ට් කිරීමට ඇති ඉඩ ඇහිරිය හැක. 🙂

    මේ පිලිබඳව තවත් දෙයක් කියනවා නම් කැමති අයට වෛද්‍ය නිර්දේශයකින් තොරව අත්තනෝමතිකව මෙම ඖශධය තෝරා ගැනීමට නිදහසක් තිබිය යුතුය. විකල්ප ඖශධයක් ගන්නවාද, නැද්ද යන්න රෝගියා විසින් තීරණය කිරීමේ නිදහස තිබිය යුතුය. නමුත් නොමිලයේ දෙන සෞඛ්‍ය සේවාවක් තුල එවන් නිදහසක් බලාපොරොත්තු විය නොහැක..

    මෙම ඖශධය සාර්ථක සහ සත්‍ය එකක් බව විශ්වාස කරන්නට මම කැමතියි. අවශ්‍යතාවයක් වෙතොත් අවංකව මම ද මුලින් තෝරාගන්නේ ඇලෝපැතික ඖශධ නොව, මෙම ඖශධයයි.. ඩෙංගු වලට ඖශධයක් නැතැයි ඇලෝපැතික ක්‍රමය තුල කියන්නේ එක්තරා පැරඩයිම් එකක් තුල සිටයි. එම රාමුවෙන් එපිට සිට බලන විට ඩෙංගු වෛරසය ආසාදනය වුන කෙනෙකුගේ ජීවිතය ආරක්ශා කිරීම සඳහා මෙම ඖශධය දීමෙන් රෝගය සුව වන තුරු රෝගියා ජීවත් කර තැබීමේ ක්‍රමයක් ලෙස එක තුල මෙම ඖශධය ක්‍රියාකාරී වනවා ඇතැයි මම සිතමි..

    ඇලෝපැතික ක්‍රමයෙන් සුව කල නොහැකි රෝගයක් සුව කරන වෙනත් ක්‍රමයක් දෙස ඇලෝපැතික ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින්නන් වපර ඇසින් බැලීම මට නම් හාස්‍ය දනවන දෙයකි..

  11. arunishapiro said, on නොවැම්බර් 7, 2014 at 7:02 ප.ව.

    මැය ගැන වූ බැලුම්ගල වැඩ සටහන මෙතැනින් අහන්න පුළුවන්. එහි දුටු එක ප්‍රතිචාරයක් ලංකාවේ ජන සිත් ඉතා ආකර්ශනීය කරගන්නට සමත් වෙන ආකල්පයකි; වෙද හාමිනේට අනුව ලංකාවේ ආණ්ඩුවේ පිරිසක් ඇයගේ ඖෂධයේ රහස අරගෙන විදේශ රටවලට විකුණන්නට බලපෑම් කරති. වෙද හාමිනේටම අනුව විදේශ රටවලින් අනේක ඇරයුම් ඇතත් ඇය ලංකාවේ ජීවත්වෙමින් ලංකාවේ රස්සාව කරන්නට කැමැතියි.

  12. Dinuka Jagoda said, on නොවැම්බර් 7, 2014 at 11:48 ප.ව.

    lakawe kochchara rahasi gatha beheth warga thiyanawada??yanthan mona hari deyak hoyagene eka market aya inne den kale.neth FM ekath a wage thama…ledek hedila eken gelawenna minissu karanne nethi deyak ne..meke uda rachana liyana aya unath thamata unanam me weda hamine lagatath yai…welawa aawama merena kena merenawa eka walakwanna bhe..

    • arunishapiro said, on නොවැම්බර් 9, 2014 at 3:14 ප.ව.

      Dinuka Jagoda,

      වේලාව ආවම මැරෙන කෙනා මැරෙනවා … ඒත් වෙලාවට කළින් වෙන අයගෙ මෝඩ වැඩ නිසා මැරෙන්න සිද්ධ වුනාම!!!

    • Surendra Fernando said, on නොවැම්බර් 9, 2014 at 8:03 ප.ව.

      @ Dinuka ” ලංකාවේ කොච්චර රහසිගත බෙහෙත් වර්ග තියෙනවාද ? ” මොකක්ද ඔය කතාවේ තේරුම මොකටද ඒවා රහසිගතව තියාගෙන ඉන්නේ , කාලඟද ඕව තියෙනවා කියන්නේ , ඕව බොරු පදනමක් නැති කතා යම් හොඳ දෙයක් තියේනම් කව්ද ඒවා සඟවන් ඉන්නේ ඕව අර වෙනත් ලොතරැයි දිනන්න රුපියල් 100 ට 200 ට සාස්තර කියන වගේ කතා එහෙම දෙයක් තියේ නම් තමන්ට හෝ තමන්ගේ විස්වාස කෙනෙකුට දිනුම් ලබලා දෙනවනේ ,


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: