අරුණි ශපීරෝ‍ වෙතින්

සිංහල මුස්ලිම් කෝලාහල 2014 නෙමෙයි 1915 ගැන

Posted in Uncategorized by arunishapiro on ජූනි 16, 2014

සිංහල බෞද්ධයන් සහ ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර වර්ගවාදී කෝලාහල 1915 දී පැතිර ගියේ මහනුවරින්. පංසලේ හාමුදුරුවරු විසින් මුස්ලිම් පල්ලියක් අසල පැවැත්වූ පෙරහැරකට මුස්ලිම් ප්‍රජාව විරෝධය පළ කළහ. ඒ මුස්ලිම් පල්ලිය අළුත්වැඩියාවට භාජනය වූවකි. එසේම ඒ අවට පළාත්වල තවත් මුස්ලිම් පල්ලි ඉදිවෙමින් පැවතිණ.

එකිනෙකා පරදවමින් පෙරහැරවල් යෑමත්, අනෙකාට වඩා හයියෙන් ලවුඩ් ස්පීකර් දැමීමත්, දරුවන් ලවා දෙමව්පියන්ට වන්දනා කරන උත්සව පැවැත්වීමත්, බැතිමතුන් මුලා කරන වර්ගවාදය පැතිරීමත්, යනාදිය බුදු දහම නොවේ. ඉතින් ආගම කුමක්දැයි නොදැන එහි සසුන්ගත වූවන් හා එහි අභිවෘද්ධියට කැපවීම මෙසේ දක්වන මේ අය වැඩි වෙද්දී ආගමට යන කළ දසාව නොදන්නේ ඔවුන්ගේ අනුගාමිකයන්ම වෙති.

1915 මැයි 29 දා අළුයම සිංහල කල්ලියක් මුස්ලිම් පල්ලියට ගිනි තබා අනතුරුව පළාතේ මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරිකයන්ට පහර දෙන්නට පටන් ගත්හ. එතැනින් පටන් ගත් සිංහල මුස්ලිම් කෝලාහල රටේ අනෙක් පළාත් වලට ද (2014 දී වගේම) පැතිර යන්නට ද පටන් ගති. ජූනි 2 වැනිදා වෙද්දී රටේ ස්ථාන 116 ක එකවරම කෝලාහල ඇවිලී ගිය බව වාර්තා වේ.

මුස්ලිම් අයට සංවිධානාත්මක ලෙසකට පහර වැදිණ. එකිනෙකට සම්බන්ධ නොවූ සිද්ධීන් දෙකක දී පමණක් අවිගත් මුස්ලිම් අය සිංහලයන්ට පහර දුන්හ.

සර් පොන්නම්බලම් රාමනාතන් නම් දමිළ දේශපාලනඥයා සිංහලයන්ගේ පැත්ත ගත් නිසා ද්‍රවිඩ භාෂාව කතා කළ නමුත් ආගම මුස්ලිම් වූ දමිළයන්ට ද පහර වැදිණ.

නිල වාර්තා අනුව 25 ක් ඝාතනය විය. තුවාල ලැබූවන් 189 ක් සහ ඒ අස්සේ 4 ක් දූෂණය වූහ. නිවාස සහ කඩ 4075 ක් කොල්ලකන ලදි. නිවාස සහ කඩ 250 ක් ගිනිබත් විය. මුස්ලිම් පල්ලි 17 ක් ගිනිබත් වූ අතර 86 කට අලාබ හානි සිදුවිය.

ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් චාමර්ස් විසින් මාෂල් නීතිය ක්‍රියාත්මක කරන ලදි. 1915 ජූනි 2 වැනිදා කැරලිකාරයෙක් යැයි නීතිමය විමර්ශනයකින් තොරව වෙඩි තබන්නට ද නියෝගයක් හේ පොලීසියට සහ යුද හමුදාවට නිකුත් කළේය.

මෙම කෝලාහල පසුපස වූ නායකයන් හැටියට අත් අඩංගුවට ගත් අයගේ නම් ලැයිස්තුවක් මෙසේය:
ඩී. සී. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩබ්. ඒ. සිල්වා, එෆ්. ආර්. ඩයස් බණ්ඩාරනායක, ඊ. ටී. ද සිල්වා, දොස්තර කැසියස් ෆෙරෙයිරා, සී. බටුවන්තුඩාවේ, ඩී. පී. ඒ විජේවර්ධන, ජෝන් ද සිල්වා, ඩබ්ලිව්. එච්. ඩබ්ලිව්. පෙරේරා, මාටිනස් පෙරේරා, ජෝන් එම්. සෙනෙවිරත්න, එච්. අමරසූරිය, ඩබ්. ඊ. වීරසූරිය, ජී. ඩී. ලැනරෝල්, ඊ. ඒ. පී. විජේරත්න, හැරි මෙල්, ඒ. එච්. ඊ. මොලමුරේ, ඩී. බී. ජයතිලක, ඒ. ඊ. ගුණසිංහ, බත්තරමුල්ලෙ උන්නාන්සේ යැයි නමින් භික්ෂුව, අනගාරිකයන්ගේ සහෝදරයන් වූ එඩ්මන්ඩ් සහ සී.ඒ. හේවාවිතාරණ දෙදෙනා.

පරසුද්දා විසින් ඉහත අයව වැරදි චෝදනාවන් එල්ලකරමින් අත්අඩංගුවට ගත්තා ද නැද්ද යන්න පැහැදිලි වෙන්නේ ඊට පසුව දිග හැරෙන ලංකාවේ ඉතිහාසයෙන්.

බුද්ධාගම නොදන්නා සිවුරු හැඳගත් අය පටන් ගත් සිංහල මුස්ලිම් කෝලාහලයෙන් අනතුරුව දේශපාලන ලකුණු දාගන්නට එකතු වූ අය වෙතින් සිංහල බෞද්ධ ජාතිවාදය පෝෂණය වන්නට පටන් ගැනිණ.

ඉහත නම් ලැයිස්තුවේ අය වෙතින් සිංහල බෞද්ධ අයට පමණක් වාසිවෙන විදියේ පනත් හා නීති රීති ක්‍රියාවට නැංවීමක් පසුකාලයේ ඔවුනට බලය ලැබුණාම සිද්ධ නොවුනා නම්, එහෙම නම් එදා යටත්විජිතවාදී පරසුද්දා අහිංසක පිරිසක් අත්අඩංගුවට ගත්තා යැයි කියන්නට තිබුණ.

ඉහත නම් ලැයිස්තුවෙන් කොතරම් දෙනෙක් නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුවේ කොපමණ කාලයක් ලැග සිටියා ද?

ඔබ පාසැල් අධ්‍යාපනය ලබද්දී ඉහත අයවළුන් ගැන ඉගෙන ගත්තේ මොනවා ද?

බෞද්ධ ජාතික බලවේගය නමින් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට සහාය දුන්, කොළඹ ප්‍රභූවරුන් වෙතින් සැකසුණ දේශපාලනික සංවිධානය ගැන ඔබ දන්නේ මොනවා ද?

ඉතින්, 2014 දී සිංහල මුස්ලිම් කෝලාහල ගැන තව දුරටත් පුදුම වෙන්නේ කවුද?

ලංකාවේ ජාතිවාදයට ප්‍රසිද්ධියේ අප්‍රසාදය ප්‍රකාශ කළ අයට රටේ දේශපාලන බලය අහිමිවෙද්දී ඔවුන් ද ජාතිවාදයට සහාය දැක්වූහ. එදා මෙන්ම අදත් ලංකාවේ වාමාංශික පක්ෂ කටින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරති. එහෙත් ලංකාවේ සියළු වාමාංශික පක්ෂ සෑම විටම ක්‍රියා කළේ සිංහල බෞද්ධ බහුතරය වෙනුවෙන් වරප්‍රසාද බෙදන සිංහල බෞද්ධ ආණ්ඩු පිහිටුවා ගැනීම සහ පවත්වා ගැනීම සඳහා හවුල්වීමයි.

අතීතයේ ක්‍රියාකරන ලද ආකාරය විමර්ශනයකට භාජනය නොවන්නේ ද, අනාගතයේ දී වැරදි හදාගෙන ඉදිරියට යා හැකියාවට ඉඩක් නොලැබේ. කිසිදු විමර්ශනයක් නොකර, හිස් වදන් යැයි කියා මේ සටහන බැහැරලීම ඔබේ නිදහසයි. ඔබට දුප්පතෙක් සේ වාසය තෝරාගන්නටත්, කලකෝලාහල පිරුණු සමාජයක වාසය තෝරාගන්නටත් නිදහසක් ඇත!!!!!

නමුත්, විකල්පයන් සොයන්නා, වෙනසක් ඉල්ලා සිටින්නා, මුලින්ම කළ යුත්තේ ලංකාවේ වර්ගවාදී ඉතිහාසය තමන් විසින් විමර්ශනයයි.

ඊ ළඟට වැරදි හදාගන්නේ කෙසේදැයි සොයා බැලීමයි.

ඔබ තෝරාගන්නේ කුමක් ද? වර්ගවාදයෙන් සැවොම පිරිහීම ද? සෑම පුද්ගලයෙකුගේම ඒකීය පුද්ගල අයිතීන් ආරක්ෂා කරමින් සියල්ලන්ගේම අභිවෘද්ධිය ද?!!!!!!!!

****
ඉංග්‍රීසි විකිපීඩියාවේ 1915 සිංහල මුස්ලිම් කෝලාහල සටහන ඉහතින් ලුහුඬින් සිංහලට පරිවර්තනය කළෙමි. ඊ ළඟට සිද්ධිය ගැන දිවයින පත්‍රයේ සිංහල බෞද්ධයා සඳහා ලියැවුණු ලිපියක් මෙතැන. විවිධ විද්වත් අදහස් රැගත් විකිපීඩියා සිංහල සටහන මෙතැනින්.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ජූනි 16, 2014 at 1:26 ප.ව.

    ඉන්දියාවෙ නම් පාලක පන්තියේ ඉහල ස්ථරය ලංකාවෙ මට පෙනෙන වර්ථමානයේ තරම් පහල මට්ටමට ඇදෙගන වැටෙන්නෙ නැහැ.. නරේන්ද්‍ර මෝඩි වුනත් ඉස්සර වැරදි ටික එහෙම්ම ඉතුරුකරගෙන වැරදි උපයා නොගෙන බැසයාවි කියලා හිතෙනවා. ඩී ඇස් සේනානායක වගේ කාලෙට වඩා පසුකාලීනව ජාතිවාදය ඇවිස්සීමෙන් විශේෂ වාසි ලබාගත්තා. අපේ රාජකීයයන් සැබෑ රාජකීය අයගෙන් අපි අපේක්ෂා කරන මට්ටමට ගුණගරුක නොවීම කාගේ වරදක්ද මන්දා..අපි මෙච්චර උඩ තියං වඳින පුදන බුද්ධාගම ජාතික ආගම වෙච්චි බොහෝ රටවලට ඔය ඉරණම අත්වෙනවා. සමාරවිට දෙවියෙක්ටත් වඩා උසස් ශාස්තෲවරයෙක් නිතර වන්දනාමාන කරන නිසා අවට සිටින සමාජයේ විශාල පුරුසයින් මිනිසුන් විසින් පොරව්ල විදියට සැලකීම මේකට හේතුවෙන්න පුලුවනි.

  2. Dimesh Perera said, on ජූනි 16, 2014 at 11:43 ප.ව.

    ලිපිය පටන්ගන්නේම වැරදි විදිහකින්. මුස්ලිම් ප්ල්ලියක් ලග පැවැත්වූ පෙරහැරක් නොව ඒ මාර්ගයේ එවකට පාලකයන්ගෙන් අවසරද ඇතිව ගමන් ගත් පෙරහැරකට උසුලු විසුලු තර්ජන හා පසුව ගල් මුල් ප්‍රහාර දීමෙන්.

    වැරදි මත ඉදිරිපත් කර ලිපියේ ඔබගේ කෝණයට සාධාරණයක් ඉටු කිරිමට යෑම ගැන කණගාටුව.

    • arunishapiro said, on ජූනි 17, 2014 at 11:22 පෙ.ව.

      Dimesh Perera,

      හරි, ඉතිහාස පොත් ලියපු අය සටහන් නොකරන, එදා සිද්ධ වූ දේ ඔබ දැක්කා වගේ කියන, පෙරහැරකට උසුලු විසලු හා පසුව ගල් මුල් වලින් පහර දුන්නා යැයි කියමු!!! ඉතින්, උසුලු විසුළු තර්ජන හා ගල් මුල් ප්‍රහාර දුන්න කියල රට පුරා කඩවල් මංකොල්ල කන්න, කඩ හා නිවාස ගිනි තියන්න, දූෂණය කරන්න යෑම බෞද්ධාගමට අනුව නිවැරදි ක්‍රියා පිළිවෙතක් ද?!!!

      ඊට පස්සෙ සිංහල බෞද්ධයන්ට පමණක් වරප්‍රසාල ලැබෙන නීති පද්ධති හදා ගැනීම නිවැරදි ක්‍රියා පිළිවෙතක් ද?

      අබෞද්ධ ක්‍රියා කලාපයන් සුද්ද කරන වැරදි මත ඔබ ඉදිරිපත් කිරිම ගැන මගේ අතිශය කණගාටුව.

  3. Awanka Adahas said, on ජූනි 17, 2014 at 12:13 පෙ.ව.

    මුස්ලිම්, කතෝලික, බෞද්ධ… පල්ලි, පන්සල් ස්වකීය ආගමික කටයුතු අදාළ සිද්ධස්ථානවලට සීමා කිරීමටත්, ශබ්ද විකාශන සිද්ධස්ථාන භූමියෙන් පිටතට නොඇසෙන සේ භාවිත තිරීමටත් වගබලාගැනීම ගැටුම් අවම කිරීමට හේතු වේ යයි සිතමි. තමාගේ කනට මිහිරි දෑ අන් අයට කන් කරච්චලයක් විය හැකි බව සිහි කටයුතුය. තමා අභිමත යාතිකා හෝ බණ අසා සිටීමට අවශ්‍ය සැදැහැවතුන් සිද්ධස්ථානයට යා යුතුය. අන් අයට හිරිහැරයක් නොවන සේ කටයුතු කිරීම සෑම යහපත් ආගමකම හරයයි. ධාර්මික බව පෙන්විය යුත්තේ වචනයෙන් නොව ක්‍රියාවෙනි.

  4. Krishna Ramanayaka said, on ජූනි 17, 2014 at 12:22 ප.ව.

    දැන් තියෙන්නෙ දේවදත්තගෙ ආගම වෙන්න ඕනැ මොකද මම දන්න බුදුදහම අදහන අයට නම් ගල් ගහන්න මරන්න බෑ . මම බුද්ධාගම ගැන වැඩිය දන්නෙ නෑ බුදුන් ගල් ගහන්න අන්ආගමිකයන් ඇවිස්සෙන වැඩ කරන්න කියල තියෙන සූත්‍රයක් නැද්ද හහ්..හහ්.. හැබැයි අරැනි නලින් ද සිල්ව කියනව ජේතවනාරාමෙ අන්‍ය ආගමිකයන් ඇවිත් වැඩ කරද්දි කොසොල් රජතුමාට කියල පැන්නුවලු ( දේවදත්තයි බුදුනුයි පටලවාගෙනවත්ද ) ඔයා අහලතියෙනවද එහෙම කතාවක්…..

    • arunishapiro said, on ජූනි 21, 2014 at 11:13 පෙ.ව.

      Krishna Ramanayaka,

      ලංකාවේ දේශපාලන හා ආගමික නායකයන් වගේම විද්වතුන් ද නියැළෙන්නේ එකම මතවාදයක් පතුරුවන්නට. වෙනත් මතවාදයකට නොහොත් සැබෑ වෙනසක් නොහොත් අව්‍යාජ විකල්පයකට අවස්ථාවක් පෑදෙන්නට වර්තමානය යනු ලංකා ඉතිහාසයේ වඩාත්ම හොඳම යුගය යැයි හිතනවා.

  5. nuwanprabhath said, on ජූනි 20, 2014 at 1:15 ප.ව.

    අරුණි ඇන්ටි මෙකෙන් කියන විදිහට අත් අඩංගුවට ගත් නායකයන් පස්සෙ කාලෙක බෞද්ධ අයට පමණක් වාසිවෙන විදිහට පනත් සම්මත කරගෙන තියෙනව. එ උනාට අපිට O/L කාලෙ කියාදුන්න විදිහට එහෙම අත් අඩගුවට ගත්තෙ British government එකට එරෙහි උන අයව එ අවස්තාව ප්‍රයොජනයට අරගෙන.එ හිනද එ පනත් මොනවඩ කියල කියන්න පුලුවන්ද?
    මම සිංහල ටයිප් කරන්න ගත්තෙ මෙකට පොස්ට් එකක් දාන්නමයි කලින් අරුනි ඇන්ටි කිව්ව නිසා. ඒක නිසා අඩු පාඩු ගනන් ගන්න එපා 🙂

    • arunishapiro said, on ජූනි 21, 2014 at 11:09 පෙ.ව.

      nuwanprabhath,

      වර්තමානයේ දී රටේ සිද්ධ වෙන දේවල් ප්‍රධාන ජනමාධ්‍ය වලින් පාලකයන්ට උවමනා ආකාරයට බෙදන හැටි පැහැදිලිවම පෙනී යන කාලයක දී අතීතය පිළිබඳ ඔබ මේ වැදගත් ප්‍රශ්නය ඇහැව්වාට ඉතාමත් ස්තූතියි. ඊට පිළිතුර ඊ ළඟ සටහනෙන් පැහැදිලිව ලියන්නම්.

  6. නිම්මි said, on ජූනි 22, 2014 at 8:37 පෙ.ව.

    ආගම – මානව සමාජය බේද බින්න කරන සංස්‌ථාවකි.
    ආගම – භෞතික පරිසරය තුළ ඇති යථාර්ථය මිනිසාට දැන ගැනීමට ඇති අයිතිය නැති කරයි.

  7. Balasooriya Lansakara said, on ජූනි 25, 2014 at 11:19 පෙ.ව.

    මම හිතන්නෙ මේ කෝලාහල වලට හේතුව රජයේ නීති හරියට ක්‍රියාත්මක නොකිරීම.එමගින් මිනිසුන්ගේ හිත්වල එකිනෙකා කෙරෙහි තරහ, ක්‍රෝඩය වෑඩිවීමෙන්. උදාහරන 1.ශබ්ඩ විකාසන යන්ත්‍ර භාවිතය.( බෞඩ්ඩ පන්සලේ සහ මුස්ලිම් පල්ලියේ)මෙය ලන්කාවේ නීතියෙන් තහනම් දෙයකි. 2.නුසුදුසු ස්තානවල ආගමික සිද්දස්තාන ඉදිකිරීම.(ප්‍රඩාන මාර්ග අසල) 3.සමහර ප්‍රදේශවල (බොහෝවිට මුස්ලිම් තදාසන්න ප්‍රදේශ )මිනිසුන් මාර්ග වල ඉඩ නොදී සිටීම.හෝන් කිරීමෙන් හෝ කතා කිරීමෙන් ගෝරියට පෑමිනීම. මේ කරුනු කීපයක් පමනි.

    • arunishapiro said, on ජූනි 25, 2014 at 11:39 පෙ.ව.

      Balasooriya Lansakara,

      කෝලාහල වලට හේතුව රජයකට ක්‍රියාත්මක කරත නොහැකි නීති පනවා ගෙන තිබීම යැයි කිව්වොත් ඊට වඩා නිවැරදියි.

      බෙදා දෙන ක්‍රමයකින් යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයකට බලයේ සිටීම සඳහා බහුතර චන්ද අවශ්‍යයයි. ඒ චන්ද දිනාගන්නට නම් විවිධ කොටස් වලට විශේෂ වරප්‍රසාද ලබාදිය යුතුයි. මේ නිසා අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ ඒ ඒ විවිධ කොටස් අතර කෝලාහල හට ගැනීමයි.

      කාටවත් කිසිත් වරප්‍රසාදයක් රජය මාර්ගයෙන් බෙදන ක්‍රමයක් නැත්නම් එවිට සෑම පුද්ගලයෙකුටම තම වෙහෙස මහන්සිය තමන්ගේම වූ ඉලක්කයන් මුදුන් පමුණුවා ගන්නට යොදවන්න සිද්ධ වෙනවා. මොකද එවිට කල්ලියක් හා එකතුවී ඔවුන් අතර සැඟවී අනුන්ට තාඩන පීඩන එල්ල කිරීමෙන් තමනට කියා දිනා ගන්නට හැකි විශේෂ වරප්‍රසාද නැති නිසා.

      බෙදා දෙන ක්‍රමයක් නැත්නම් කවුරැ ආණ්ඩුවේ බලයට ආවත් කිසි වෙනසක් නැහැ.

      මේ සත්‍යය මිනිසුන්ට වැටහෙන දාට, බෙදා දෙන ක්‍රමය එපා යැයි පුරවැසියන් එකඟ වුනොත් එදාට බලය අල්ලා ගන්න අයට යන එන මං නැහැ.

      ඒ නිසා බලය අල්ලා ගන්න පොරකන අය, මේ සත්‍යය මිනිසා වෙතින් වසන් කරමින්, ක්‍රියාත්මක කරත නොහැකි නීති රටවැසියාගේ ආරක්ෂාව සහ සහජීවනය සඳහාම යැයි කියමින්, මේ නීතිය මදි නිසා තව තවත් නීති යෝජනා කරමින් ඒවා ද සම්මත කරගනිමින් රට වැසියන් මුලා කරති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: