අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස් ලංකාව ආරම්භයේ දී ම අයිතීන් කප්පාදු විය

Posted in Uncategorized by arunishapiro on ජූනි 24, 2014

සරලව කියතොත් පුද්ගල අයිතීන් යනු අයෙකුට සිය සිරුරට සහ තම ශ්‍රමය කැමති ආකාරයකට වෙහෙසීමට සහ තම ශ්‍රමයේ ඵලදාව තමනට කැමති ආකාරයට පරිහරණයට ඇති අයිතියයි.

සරලව කියතොත් පුරවැසි අයිතීන් යනු අයෙකුට තමන් වාසය කරන රටේ දී කරන්නට ආණ්ඩුව විසින් නීත්‍යානුකූලව අවසර දෙන ලද කටයුතු පමණි.

සාමාන්‍ය පුරවැසියා ආණ්ඩුව දිහා බලන්නේ එය මහත් විශාල සමාජ සේවයක් ඉටු කරන්නා වූ සමාජයේ යහපත පිණිස අත්‍යාවශ්‍ය වූ වැදගත් සංස්ථාවක් හැටියටය. “පුද්ගලික අංශය” කරන හොර මැරකම් හා කොල්ලකෑම් මැඬලන්නට හැකි වූ ද, රටේ පුරවැසියා ආරක්ෂා කරන්නා වූ ද, සංස්ථාවක් ලෙසටය.

“අපේ ආණ්ඩුව” යැයි ලංකාවේ අය කියන්නේ තමන්ගේ දේශපාලන පක්ෂය ආණ්ඩු බලය අල්ලාගත් විට දී ය. ඇමෙරිකාවෙන් පටන් ගත්, we the people නොහොත් ‘ජනතාව වන අපි’ විසින් පිහිටුවා ගන්නා ලද්දක් නම් එවිට ආණ්ඩුව විසින් රටේ ඕනෑම පුද්ගලයෙකුට කරන දැයක් ඒ පුද්ගලයාගේ කැමැත්තෙන් සිද්ධ වන්නකි. ආණ්ඩුව විසින් අයෙක්ව එල්ලුම්ගහට යවන්නේ ද, එය දඬුවමක් හැටියට බාරගන්නට එරටේ වාසය කරන පමණින් පුරවැසියා එකඟ වූවකි. එයාකාරයෙන් බලද්දී රටේ පුරවැසියාට කුමන ආකාරයක දඬුවමක් දුන්නත් එහි දී ආණ්ඩුවක් වරදක් කරන්නේ නැත.

මෙම අවදානම ‘ජනතාව වන අපේ’ ආණ්ඩුවක් ලොව ප්‍රථම වතාවට හදන උත්සාහයේ නියැළුන ඇමෙරිකන් ආදී පීතෘවරු දැක්කහ. හැම විටම ආණ්ඩු බලය ක්‍රියාත්මක වෙන්නේ පාලනයේ යෙදෙන පිරිස අතින්. අනුන් පාලනය කරන බලය ප්‍රජාතන්ත්‍රවාදයේ දී පාලක පිරිසට ලැබෙන්නේ වැඩි චන්දයෙන්. 70% විසින් රටේ 30% ක් මරණයට පමුණුවන්නට මෙහි දී ආණ්ඩුවේ බලය යොදා ගත හැකියාව ලැබෙන බව, නැතහොත්, ආණ්ඩුව යනු සියළු ජනතාව නොවන බව දුටු ඇමෙරිකන් ආදී පීතෘවරු විසින් ආණ්ඩුවට බහුතර චන්දයෙන් උල්ලංඝණය කළ නොහැකි පුද්ගල අයිතීන් සමූහයක් සම්මත කරන ලදි.

මිනිසා මේ ලෝකයට එන්නේ නිර්වස්ත්‍රව සහ කුසගින්න නිවා ගන්නට සහජ හැකියාවක් නැතිවය. වැඩිහිටි රැකවරණයෙන් දිවි පවත්වා ගන්නා මිනිස් පැටියා පසුව සිය මොළය පාවිච්චියෙන් සහ ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත් භාවිතයෙන් තම ජීවිතය ආරක්ෂා කරගන්නට ඉගෙන ගනියි.

දිවි පවත්වා ගැනීමට තනියම හැකිවූවද, තමන්ගේ ජීවිතය සරුසාර කිරීමට අවශ්‍ය සියල්ල තමනට තනිවම නිර්මාණය කරගන්නට නොහැකි බව මිනිසා දකියි. අනුන්ගේ නිර්මාණ පරිහරණය සඳහා හැකියාව වඩාත්ම ඵලදායක ලෙසකින් ලැබෙන්නේ තමන්ගේ වෙහෙසේ ඵලය දී අනුන්ගේ වෙහෙසේ ඵලය ලබාගන්නා හුවමාරුවෙන් බව මිනිසා දකියි.

මේ ස්වභාවික සත්‍යයන් තුලින් බිහිවෙන ස්වභාවික අයිතීන් මොනවා දැයි අවබෝධ කරගත් ඇමෙරිකන් ආදී පීතෘවරු ඇමෙරිකන් වැසියන්හට එකිනෙකා සමඟ හුවමාරුවේ යෙදෙන නිදහසට පරිපූර්ණ ලෙසින් ඉඩදිය යුතු යැයි තරයේ විශ්වාස කළහ. ඒ නිදහස ආරක්ෂ වන ලෙසකින් ඉතා සරල නීති සමූහයක් ඔව්හු සම්පාදනය කළහ.

ලංකාවේ ජනතා චන්දයෙන් පාලන බලය තීරණය කරන පාර්ලිමේන්තු ක්‍රමයේ ආරම්භය සිද්ධ වූයේ ස්වභාවික සත්‍යයන් සහ ස්වභාවික අයිතීන් මොනවාදැයි අවබෝධයකින් තොර වූ පිරිසක් වෙතිනි. නිදහස් ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවීමේ දී සියල්ලන්ම “ආණ්ඩුව” යැයි සැලකුවේ ජනතාවගේ සුභ සිද්ධිය සලසන්නට දන්නා එකම සංස්ථාව හැටියටයි.

පුද්ගල අයිතීන් ආරක්ෂා කරන ලද පීතෘවරුන් වෙනුවට ලංකාවේ අයට “බත් දුන් පියෙක්” ලැබුනේ ඒ නිසයි.

බෙදා දෙන්නට යමක් ලැබෙන්නේ කෙසේදැයි නොදන්නා ජනතාවක් කැමැත්තෙන් කරන ගණුදෙනු ගැන නොදනිති. ඉතින්, බෙදන දේවල් අඩුවෙද්දී ඔවුන් රවටන්නට ඉතා පහසුයි.

“බත් දුන් පියාට” තව දුරටත් සහල් සහනාධාර පවත්වාගෙන යා නොහැකි වෙද්දී විරුද්ධ පක්ෂය කළේ බෙදන්නට කළින් සහල් නිෂ්පාදනය වෙන්නේ කෙසේදැයි විමර්ශනය නොවේ. එදත් අදත් බෙදන්න දේවල් අඩුවෙද්දී විරුද්ධ පක්ෂය නිරත වූයේ හර්තාල් වර්ජන සහ පෙළපාලි පැවැත්වීමටයි.

“බත් දුන් පියා” ඉල්ලා අස්වූවා සේ එදා පටන් අද දක්වා බෙදන්නට දන්නවා යැයි කියා බලය අල්ලා ගත් හැම නායකයාම ඔප්පු කළේ කිසිම ආණ්ඩුවක් බෙදන්නට නොදන්නා බවයි. ඒත් තවමත් බෙදන්නට කළින් බෙදන දේවල් නිෂ්පාදනය වෙන්නේ කෙසේදැයි නොදන්නා ජනතාව ඉල්ලා සිටින්නේ බෙදන්නට දන්නා නායකයෙක් මුලසුන දරන ආණ්ඩුවකි.

සිය සිරුරට, තම ශ්‍රමය කැමති ආකාරයකට වෙහෙසීමට සහ තම ශ්‍රමයේ ඵලදාව තමනට කැමති ආකාරයට පරිහරණයට අයිතියක් ඇතැයි සහ ඒ අයිතිය වෙන කිසිවෙකුට හෝ ආණ්ඩුවකට උල්ලංඝණය කළ නොහැකි වූ අයිතියක් යැයි හඳුනාගත් ජනතා නායකයෙක් ලංකාවේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා දකින්නට නොමැත.

බලතණ්හාධික හොරු ආණ්ඩුව තුලින් බෙදන බලය අල්ලා ගන්නේ ජනතාවට සේවයක් කරන්නට නොවන බව මේ වෙද්දී බහුතර ජනතාවකට පැහැදිලි වුවත්, ආණ්ඩුව බෙදන්නට නොදන්නවා නම් තම සුභ සිද්ධිය සැලසෙන්නේ කෙසේදැයි නොමිලේ බෙදන ලද අධ්‍යාපනයකින් පෝෂණය කරන ලද බහුතර ජනතාවකට තවමත් අපැහැදිලියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: