අරුණි ශපීරෝ‍ වෙතින්

පරාදීසියට විෂ පොවන ලද්දේ කවුරුන් ද?

Posted in Uncategorized by arunishapiro on ජූලි 4, 2014

IMG_0919

කළ යමක් වැරදුණු විට එයින් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඊ ළඟ අවස්ථාවේ දී ඒ ක්‍රියාව නිවැරදිව කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබාගත හැකියි. විද්‍යාත්මක සොයාගැනීම් ලොව බිහිවෙන්නේ සහ මිනිස් ජීවිතය අදට වඩා හෙට අනගි වෙන්නේ ද ඒ ක්‍රමයටයි.

ලෞකික ජීවිතයේ සියළු සැප සම්පත් නොමඳව ලැබුණු සිදුහත් කුමරා ඊට ඔබ්බෙන් වූ අධ්‍යාත්මික සුවයක් සොයා ගියේ ද එවැනි විද්‍යාත්මක මාර්ගයකිනි. ආලාර කාලාම, උද්දකරාම පුත්ත සහ ෂඩ් ශාස්තෘවරුන් (සිංහලෙන් ලියූ අනගි සටහනක්) යනාදීන් වෙතින් ලැබුණ දැනුම ප්‍රමාණවත් නොවන බව දැන දැන සිදුහත් නම් පැවිද්දා එතැන්හි ලැග නොසිටියේය. සිරුරට සැප දීමෙන් සාක්ෂාත් කරගත නොහැකි වූව සිරැරට දුක් දීමෙන් ද සාක්ෂාත් නොවන බව වටහා ගැනීමේ දී එය ද අත්හැරියේය.

අහංකාරකමින් පිරී තිබෙන මනසක් තමනට වැරදුන බවක් පිළිනොගනියි. තමනට වැරදුන තැන කොතැන දැයි සොයා බැලීම පවා ප්‍රතික්ෂේප කරයි. මෙහි දී ප්‍රතිඵලය වැරද්ද නැවත නැවතත් කිරීමයි.

ඩී. ඇස්. සේනානායකයන්ගේ දැක්ම වූයේ රාජ්‍ය ආගමක් නොමැති, සියළු ජනවාර්ගික සමගියකින් යුතු, රාජ්‍ය ධනවාදී ආර්ථික ක්‍රමයකින් දුවන නිදහස් ලංකාවකි. බෙදන ක්‍රමයක් නිවැරදි යැයි සිතන අය දුවන්නේ තව තවත් බෙදන ක්‍රම හොයන්නටයි. රාජ්‍ය ධනවාදී ආර්ථිකය යනු හික්මීමක් නැති ධනවාදය මට්ටු කරන්නට අවශ්‍ය යැයි කියමින් රාජ්‍ය මාර්ගයෙන් බෙදන ක්‍රමයකි. ධනවාදය හික්මවන්නේ ඒකීය පුද්ගල අයිතිය ඇති නිදහස් තෝරාගැනීමක් කරන්නට ලැබෙන ඒකීය පාරිභෝගිකයාය. ඒකීය පුද්ගල අයිතිය ආරක්ෂා වීම නිසාම ධනවාදය ඒකීය පාරිභෝගිකයා අතින් ඉබේම හික්මවෙන ආකාරය නොදන්නා අය බෙදන ක්‍රමයක් දන්නා ආණ්ඩුවක් පිහිටුවාගත හැකි යැයි සිතති.

බ්‍රිතාන්‍යයන් විසින් නඩත්තු වියදම් වැඩි යටත්විජිත කෙමෙන් අත්හරිද්දී, සාමකාමීව පාලනය බාරගන්නට ලැබිච්ච ඩී. ඇස්. සේනානායකගේ ආණ්ඩුවේ කැබිනෙට්ටුවේ පසුකාලීනව රාජ්‍ය බලයේ මුලසුන් දැරූ හතරදෙනෙක් සිටියහ. එයින් තිදෙනෙක්, පුතා ඩඩ්ලි, ඥාති පුත් සර් ජෝන් කොතලාවල, තවත් දුර ඥාතියෙක් වූ ජේ. ආර්. ජයවර්ධන යනාදීන් වූහ. සේනානායක කැබිනෙට්ටුවේ සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (SWRD) ඥාතියෙක් නොවීය.

SWRD විසින් ජාතික නිදහස් ව්‍යාපාරයේ උණුසුම මැකී යා නොදෙන්නට 1936 දී සිංහල මහා සභාව පිහිටුවා ගෙන තිබුණි. SWRD ට භික්ෂූන්ගේ සහාය නොමඳව ලැබුණි. තාත්තාගෙන් පුතාට යද්දී තමනට රාජ්‍ය බලය ලැබෙන්නේ සේනානායකගේ ඥාතීන් සියල්ලන්ටම රටේ මුල් පුටුව ලැබුණ පසුව යැයි දුටු SWRD පක්ෂයෙන් ඉල්ලා අස්වීය.

1956 තෙක් ‘සිංහලෙන් පමණක්’ වැඩ කරන රටක් වෙන්නට ජනතාව බහුජන කැමැත්තක් ප්‍රකාශ නොකළහ. එසේම 1956 දී ද ලංකාවේ වැසියන් සිංහල බෞද්ධ මුලාවට රැවටුනා මිසෙක සමාජවාදී ආර්ථික ක්‍රමයකට කැමැත්තක් දැක්වූවා යැයි විශ්වාස කරත නොහැකියි.

1947 දී යූ.ඇන්.පී. 40% ක් චන්ද දිනාගත්හ. ස්වාධීන අය 30% කට ආසන්නවත්, වම විසින් 25% කට අඩුවත්, ද්‍රවිඩයන් විසින් 10% කට අඩුවත් චන්ද දිනාගත්හ. 1952 දී යූ.ඇන්.පී 45% ක් දිනාගනිද්දී, නව පක්ෂය වූ SLFP ට ලැබුනේ 15% කි, ස්වාධීන 15% ට වඩා දිනාගනිද්දී, වම 20% ක් දිනාගත්තහ. ඩී. ඇස්. සේනානායක විසින් නැගෙනහිර ද්‍රවිඩයන්ගේ ප්‍රජා අයිතීන් අහෝසියෙන් ද්‍රවිඩ චන්ද උතරු හා නැගෙනහිර යන කොටස් දෙකට බෙදීම නිසා ද්‍රවිඩයන්ට ලැබුණ චන්ද 5% කටත් අඩුවිණ. 1956 දී SLFP ජයග්‍රහණය කළේ 40% ක චන්ද වලිනි. ස්වාධීන අය 10% කට ටිකක් වැඩිවෙද්දී, වමේ චන්ද 15% ක් දක්වා අඩුවිය. රාජ්‍ය ආගමක් නොපැතූ යූ.ඇන්.පී. පක්ෂය සිය දැක්ම පැත්තකට දමා බලයේ සිටීම සඳහා වැඩි ජනගහණය වූ බෞද්ධයන්ගේ පැත්ත ගත්හ. සිංහලයන්ට වැඩියෙන් බෙදන ප්‍රතිපත්ති වැළඳ ගත්හ. එම වැරදි කළ නිසා පරාජය වූවත් 1956 දී ද යූ.ඇන්.පී. විසින් 25% කට වඩා චන්ද අත්කරගෙන සිටියහ.

එන්න එන්නම වාමාංශික යැයි හඳුන්වාගත් පක්ෂ වල චන්ද අඩුවීමෙන් සමාජවාදී ආර්ථික ක්‍රමයකට ලංකාවේ වැසියන් තුල තිබුණ අකමැත්ත පෙනී යයි. නමුත් රටවැසියා අනිත් පක්ෂ සියල්ලම ද වාමාංශික නොහොත් අරයාගෙන් අරන් මෙයාට බෙදන ප්‍රතිපත්තියක සිටින බව නොහොත් වැරැද්ද කුමක්දැයි වටහා නොගත්තේය. ඩී. ඇස්. සේනානායකගේ වරප්‍රසාද ලත් පංතියක රාජ්‍ය මැදිහත්වීම් තුලින් සිද්ධ වූ රාජ්‍ය ධනවාදයෙන් සහ බණ්ඩාරනායකලාගේ සිංහල බෞද්ධ දේශප්‍රේමීත්වයක් මූලික කරගත් සමාජවාදයෙන් අනතුරුව ලංකාව නිදහස ලබද්දී තිබි ආර්ථික සශ්‍රීකත්වය සහමුලින් විනාශ කරගෙන ණයට ඉල්ලන් කන රටක් බවට පත්විය.

1956 අප්‍රේල් හි SWRD ඇතුළු කැබිනට් සාමාජිකයන් “අපේ ආණ්ඩුව” බාරගත්තේ ජාතික ඇඳුමෙන් සැරසීගෙනය. මත්පැන් පැත්තකට දමා සංග්‍රහ පැවැත්වූයේ පළතුරු යුෂ හා සාම්ප්‍රදායික ආහාර වලිනි. පාර්ලිමේන්තුව ආරම්භ වූ දිනයේ ඈත පිටිසර පළාත් වලින් පැමිණි ජනයා එහි රොක්වූහ. ‘දැන් අපි තමයි ආණ්ඩුව’ කියමින් ඔව්හු කථානායකයාගේ පුටුවේ ද අසුන් ගත්හ!!!! ඒ පිටිසර වැසියන් නියෝජත සභාවේ හිඳගත් නිසා ගැලරියට යන්න සිද්ධ වූ රාජ්‍ය නියෝජිතයන් එහි සිට රටවැසියන් නැරඹූහ.

බ්‍රිතාන්‍යයන් උදුරා ගෙන තිබුණු පැරණි සිංහල බෞද්ධ අභිමානය නැවත සාක්ෂාත් කරමින් තමනට සමෘද්ධිය සලසන්නට ආණ්ඩුව දන්නවා යැයි බෙදන ලද මුලාවට රැවටී චන්දය දී බලයට පත්කරගත් “අපේ ආණ්ඩුවට” තම ඕනෑ එපාකම් සියල්ල සපුරන්නට හැකියාවක් ඇතැයි දේශපාලනය ගැනත් ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි කියාත් නූගත් වූ බහුතරයක් විශ්වාස කළහ.

නිදහස් ලංකාව ආරම්භයේ පටන් වමේ පක්ෂ සියල්ලක්ම පාහේ ඕනෑම මැතිවරණයකට පෙර දී පෙනී සිටින්නේ ආගම් භේදයකින් තොර ජාති භේදයකින් තොර වූ දේශපාලනයක් සඳහාය. ඒත් මැතිවරණයෙන් පසුව ඒ ප්‍රතිපත්තිය හැමවිටම වමේ පක්ෂ සියල්ලම පාහේ අමතක කර දමති. ඉතිහාසය පෙන්වන්නේ ඔවුන් සිංහල බෞද්ධයන්ට බෙදන්න වැඩියෙන් දන්නවා කියන “අපේ ආණ්ඩුව” හදන්නට සෑම විටම එකතු වූ බවයි!!!!!!

නිෂ්පාදනයක් නොවෙද්දී බෙදන්නට හැකි දැනුමක් “අපේ ආණ්ඩුවට” තියා ලොව කිසිම ආණ්ඩුවකට නැතැයි ලංකාවේ බහුතර ජනතාවට මෙතෙක් අවබෝධ වී නැත. ඒ වෙනුවට ඔවුන් තවමත් විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව පරදවා බෙදන්න දන්නා වෙනත් ආණ්ඩුවක් පත්කරගැනීමෙන් ජනතාවගේ ඕනෑ එපාකම් සියල්ල සපුරාලන්නට හැකියාව ලැබෙන බව පමණකි.

ජාතික ඇඳුමින් සැරසී ගත් SWRD සහ අනතුරුව බලයට පැමිණි බිරින්ඳෑගේ ආණ්ඩුවෙන් තම කුසගිනි නිවාගන්නට පවා නොහැකි බව අත්දකිද්දී ලංකාවේ වැසියා ඊ ළඟට කළේ කුමක් ද? ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රනිල් වික්‍රමසිංහ යනාදීන් වෙතින් පිරුණ තවත් ජාතික ඇඳුමින් සැරසී ගත් අය සිටින ආණ්ඩුවක් පත්කර ගැනීමයි!!!!

සිංහල පනතක් ගෙනැවිත් සියළු ලාංකීය රාජ්‍ය කටයුතු සිංහලෙන් කරන්නට හැකි වූවත්, රටේ නිපැදවෙන දේවල් පිටරටට යවන්නත්, පිටරට තාක්ෂණය හා වෙළඳ දැනුම තම රටට ගෙනෙන්නත් කුමන භාෂාවක් අවශ්‍ය දැයි කල්පනා කරන්නට සිංහල බෞද්ධයාට නොහැකි වූයේ මන්ද? නිෂ්පාදනයක් වෙළඳපොලට බිහිවෙන්නේ කෙසේදැයි මාසේ පඩියට හෝ දවසේ කුලියට වැඩ කරන බහුතර ජනතාවක් නොදත් හෙයිනි. නිෂ්පාදනයක් වෙළඳපොලට එන්නේ කෙසේදැයි නොදන්නා නිසා රටක ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි දැනුමක් ද ඔවුනට නැත.

තව තව දැඩි රෙගුලාසි ගෙන ඒමෙන් භාණ්ඩයක් පරිභෝජනයට වඩා සුදුසු වේ යැයි ආණ්ඩුවක් බෙදන්න දන්නවා යැයි සිතන පුද්ගලයා රැවටී සිටියි.

යම් අන්දමකින් භාණ්ඩයක් ඕපපාතිකව වෙළඳපොලේ වැඩියෙන් විකිණෙන්නේ ද එම භාණ්ඩයම වෙනත් ස්වරූපයකින් ඉදිරිපත් කරද්දී ඉල්ලුම අඩු වෙන්නේ ද ඇයිදැයි යන්න වටහා ගැනීමට හැකියාවක් නොමැති නිසා, ආණ්ඩුවෙන් බෙදන සහනාධාර යොදා ආණ්ඩුව නිර්දේශ කරන ආකාරයෙන් භාණ්ඩය නිපදවූවාම එවිට ජනතාව එය වැඩියෙන් පරිභෝජනය කරනු ඇතැයි ආණ්ඩුවක් බෙදන්න දන්නවා යැයි සිතන පුද්ගලයා රැවටී සිටියි. එවැනි අය වැඩියෙන් ඵලදාව ලැබුණාම ඒ වට්ටක්කා වගාව විකුණා ගන්නට ක්‍රමයත් ආණ්ඩුවෙන් ඉල්ලති. එවැනි අය ආණ්ඩුව කියූ මැලේසියන් වට්ටක්කා වගා කර එහි ගෙඩි හැදුනේ නැතැයි කියා ආණ්ඩුවටම බනිති.

කිරිපිටි වෙනුවට පොල්පලා බොන්න යැයි කියන්නා ද, මන්දපෝෂණය දුරු කරන්නට මුං ඇට කැවුම් කන්න කියන්නා ද, ආණ්ඩුවක් බෙදන්න දන්නවා යැයි මුලාවට හසු වී රැවටී සිටියි. කිරිපිටි, පොල්පලා, මුං ඇට කැවුම් සහ බීමට ගතහැකි පොල් කිරි වැනි දේවල් සියල්ල පවතින වෙළඳපොලක් ඉල්ලන්නේ නැත්තේ, එකක් ලැබෙද්දී අනෙක නැති වී යනවා යැයි සිතන අරයාගෙන් උදුරා ගතහොත් පමණක් මෙයාට බෙදා දෙන්නට හැකි යැයි සිතන, ආණ්ඩුවක් බෙදන්න දන්නවා යැයි සිතන පුද්ගලයායි.

ඉතින් දක්කාගෙන යා හැකි අන්දමට හැඩගස්වා ඇති පසුගාමී චින්තනය යනු ඉදිරියට යන ප්‍රෞඪ ජාතියක් බිහිකරන්නට හැකියාවකින් යුතු අනගි චින්තනයක් යැයි තවත් කොතරම් කාලයක් සිංහල බෞද්ධයා අල්ලාගෙන සිටීවි ද?!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ජූලි 4, 2014 at 2:11 ප.ව.

    ඇමෙරිකානු ආර්ථික අර්බුදය එසේත නැතිනම් ඔබාමාගේ ලිබරල් ආර්ථිකය ( විකිපීඩියාවේ නව ලිබරල් ආර්ථිකය ලෙස ? ) දක්වා එය ….ධනවාදී වෙළඳපොල අර්බුධයක් ලෙසින් අර්ථ දක්වන අයගෙන් මම අහන්නෙ ..ඇමෙරිකාව ලොවට බිහිකල
    ක්‍රමවෙදයන්ගෙන් ( ඒකීයපුද්ගල නිදහස/ නිදහස් වෙළද පොල )එය කෙතරම් දුරට ඈතට ගොස් ඇද්ද බලන ලෙසයි. එසේ ගොස් ඇත්නම් එය ලිබරල් ක්‍රමේ දෝෂයක්ද නැත්නම් රජයෙන් බෙදන ක්‍රමයේ දෝෂයක්ද යන්නයි.හැබැයි ඔබාමාට රජ‍ෙයෙන් බෙදන සිස්ටම් එකනම් ලංකාවෙ තරම් ටියුෂන් ගන්න වෙන රටක් නැති තරම්

    • arunishapiro said, on ජූලි 4, 2014 at 6:16 ප.ව.

      Krishna Ramanayaka,

      ඇමෙරිකන් ආර්ථික අර්බූදය මුලින්ම පටන් ගත්තෙ ඔබාමා නෙමෙයි. එයාගෙ තාත්තා ඉපදුන කාලයේ අයයි. කාල් මාක්ස් ධනවාදය යැයි වැරදි ලේබලයෙන් ගහලා කරපු වින්නැහියෙන් පස්සේ බටහිර බලතණ්හාධිකයන් අතට ආර්ථිකය හසුරුවන ආයුධයක් දුන්නෙ සේවා නියුක්තිය පොළිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය (1936) ලියූ ජෝන් මේනාඩ් කේන්ස්. මෙය සිංහලෙන් ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශනය කරන්නේ 1967 දී. ඒත් සිංහලෙන් පමණක් ලැබෙන අධ්‍යාපනයට හිරවුණ ලාංකිකයාගේ අවාසනාවට කේන්ස්ගේ මතවාදය පරදවන ලද නොබෙල් ත්‍යාගයක් හිමි වූ ෆෙඩ්රික් හයෙක් ලියූවක් හෝ එයා ගැන ලියැවුණක් සිංහලෙන් කියවන්නට ඇත්තේ මගේ මේ අඩවියේ පමණක් වෙන්නැති!!!

      ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් 1932-1945 අතර කාලයේ දී ගෙනෙන New Deal ප්‍රතිපත්ති වලින් තමයි ඇමෙරිකාවේ රජයෙන් බෙදන ක්‍රමයෙන් ඇමෙරිකන් ආර්ථිකයේ නිදහස් වෙළඳපොල හා ඒකීය පුද්ගල නිදහස කප්පාදුව මහා පරිමාණයෙන් පටන් ගැනෙන්නේ. ඉංග්‍රීසියෙන් කියවත හැකි හොඳ පොතක් තමයි John T. Flynn ලියූ The Roosevelt Myth (1948).

      ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ලියූ ඉංග්‍රීසි ලිපි වලින් මම හඳුනාගත් කෞටිල්‍ය නොහොත් චානක්‍ය (Chanakya) නම් ඉන්දියාවේ දේශපාලන ශාස්ත්‍රඥයෙක් සහ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූවා ඉංග්‍රීසි ජාතික ජෝන් මේනාඩ් කේන්ස්ට ඉස්සරවෙලා ඒ ඉපැරණි අදහස්ම ජනතාවගේ කියාගත් ඒත් රාජ්‍ය මැදිහත්වීමෙන් කරන බෙදන ක්‍රමය ලෝකයට පිරිනැමූවෙක්. කෞටිල්‍යයන්ගේ පොතේ නම අර්ථශාස්ත්‍ර; ඉංග්‍රීසි පරිවර්තනයක් මෙතැන.

      ඉතින් රජයෙන් බෙදන සිස්ටම් එකට ලංකාව ඔබාමා වෙතින් හෝ ඇමෙරිකාවෙන් ටියුෂන් ගන්න අවශ්‍ය නෑ … ඉන්දීය සාගරයේ චින්තනයට ගැලපෙන විදියට 4 වැනි සියවසේ දී පමණ ලියැවන ලදැයි සැලකෙන අර්ථශාස්ත්‍රය ඉන්දියාවෙන් ලැබිච්ච එකක්!!!!

  2. Wmk Samarasekara said, on ජූලි 4, 2014 at 9:44 ප.ව.

    මා ඔබේ ලිපි කියවන්න පැමිණියේ දේශ සංචාරය ගැන ලියා ඇති රසවත් ලිපි කියවිමෙන්ය. ඒවා මැනවින් ලියා තිබෙනවා. නමුත් ඔබ දැන් දැන් පල කරන ලිපි වලින් ඔබේ මද දැනුම එලියට එන බව කියන්න ඕනෑ.ලිපෙන් ආප්ප බානවා වාගේ මනා අධ්‍යනයකින් තොරව ලිපි ලියන කොට එහෙම වෙන එක වලක්වන්න අමාරුයි.

    ඔබේ ඒක වචනයක් ගැන උනත් පිළිතුරු ලිපි කිහිපයකින්ම දෙන්න වෙන අවස්ථා තියෙනවා. සිංහල විඥානය සහ සිංහල බෞද්ධ විඥානය ඇමරිකාව හෝ වෙළඳ පල ආර්ථිකය ඇසුරින් විමසීමට යත්න දැරීම හරක් අගෙන් කිරි දොවන්න යනවා වාගේ කටයුත්තක්. පළමුව සිංහල විඥානයේ පදනම්වූ ගන රාජ්‍ය ගැන කියවා ඉන්න. (අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ යන සංකල්පය හැදුනේ කොහොමද කියල සොයා ගෙන ඉන්න.

    මම මේ පිළිතුර ලියන්නේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් යනුවෙන් ගැරහිමෙන් අමතන්න ඔබට හැකි උනේ කෙසේද යන්න ගැන දැනගැනීමට පමණමයි.ගිහියන්ට රකින්න තිබෙන්නේ සිල් පද 5ක් විතරයි. උපසපන් භික්ෂුන් වහන්සේලාට සිල් පද 270ක් ද සාමනේර හිමිවරුන්ට සිල් පද 10ක්ද රකින්ට තිබෙනවා. එවැනි උතුමන්ට අපහාස අදහසින් කථා කිරීමට ඔබේ තිබෙන සිල්වත් බව කුමක්ද?.

  3. Krishna Ramanayaka said, on ජූලි 4, 2014 at 9:46 ප.ව.

    ඇත්තටම විකිපීඩියා වල නව ලිබරල් වාදය ලෙස ඇති ( Modern liberalism in the United States
    From Wikipedia, the free encyclopedia ) ගැන පැහැදිලි කිරීමක් කලොත්……

  4. Krishna Ramanayaka said, on ජූලි 4, 2014 at 10:33 ප.ව.

    එසේම හෙයික් විසින් Asked about the liberal, non-democratic rule by a Chilean interviewer, Hayek is translated from German to Spanish to English as having said, “As long term institutions, I am totally against dictatorships. But a dictatorship may be a necessary system for a transitional period. […] Personally I prefer a liberal dictatorship to democratic government devoid of liberalism කියන මේ අදහස් වල මට යම් ව්‍යාකූලත්වයක් ඇති උනා

    • arunishapiro said, on ජූලි 5, 2014 at 2:28 ප.ව.

      Krishna Ramanayaka,

      හයෙක්ගේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳව අනාගතයේ දී දවසක දීර්ඝ විස්තර ලියන්න අදහස් කරනවා. එවිට නැවතත් මේ දේවල් සාකච්ඡාවට ගනිමු.

  5. wicharaka විචාරක said, on ජූලි 4, 2014 at 11:35 ප.ව.

    එන්.එම්. පෙරේරා බණ්ඩාරනායක මැතිනිව හැදුවද (හදන්න උත්සාහ කලාද) වැනසුවද? ජනසතු ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්න බැරිවුනේ දේශපාලන හෙන්චයියන් තමන් නොදන්නා පරිපාලනයට අතගැසීම නිසා නේද? අදටත් පරිපාලනයට වෙලා තියෙන්නේ ඒ ටිකම නේද?

    • arunishapiro said, on ජූලි 5, 2014 at 2:34 ප.ව.

      විචාරක,

      පුද්ගලික අංශයක් කරන්නේ තමන්ගේ දේපල දියුණු කිරීමයි.රාජ්‍ය පරිපාලනය යනු තමන්ගේ නොවන දේපල දියුණු කරන්නට ගන්නා අසාර්ථක උත්සාහයකි. එහි දී දේශපාලනය එයට රිංගා ගැනීම නිතැතයෙන්ම සිදුවෙන්නකි. කිසිම රජයක් වත්කම් උපයන්න දන්නේ නැහැ. ඕනෑම රජයක් දන්නේ උපයන ලද වත්කම් බෙදන්න පමණයි. සමාජවාදයෙන් කිසිම රටක් ආර්ථික දියුණුවක් කරා නොයන්නේ ඒ නිසයි.

  6. umesh gunatilaka said, on ජූලි 6, 2014 at 1:34 පෙ.ව.

    කොහොම නමුත් මේ හැම දෙයටම දේසපාලුවෝ විතරක් වගකියන්න ඕනද ඔය නායකයෝ එංගලන්ත ක්‍රමයේ නිර්මාණයක් එයාලගේ පිල්ලේ අපි දුවනවා

    • arunishapiro said, on ජූලි 6, 2014 at 8:43 පෙ.ව.

      umesh gunatilaka,

      ආයුබෝවන්!

      බ්‍රිතාන්‍යයේ අසාර්ථක තිරිඟු නීති වලට අනතුරුව උදා වූ නිදහස් වෙළඳපොල මූලික කරගත් එංගලන්තයේ පාලන ක්‍රමය නිසා ඔවුන් කෙටි කාලයක දී අතිශයෙන් වේගවත් ආර්ථික දියුණුවක් අත්කරගත්ත. හැබැයි ලංකාව වගේම ඒ ක්‍රමය එංගලන්තය පවා අත්හරින ලද්දේ ජනතාවට සමෘද්ධිය උදාවෙන හැටි නොව ජනතාවට සමෘද්ධිය බෙදන හැටි කියාදෙන ආයුධ විද්වතුන් යැයි කියාගත්තවුන් බලතණ්හාධිකයන්ට දෙන්නට පටන්ගත් නිසයි. ඒත්, බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වූවත් හොං කොං විසින් එවැනි බෙදන සැලසුම් හදන ආර්ථික මාර්ගයක නොගිය නිසා ඔවුන් ලැබූ ආර්ථික දියුණුව ඉතා විශිෂ්ඨයි.

      ඉතින්, මේ හැම දෙයටම ‘දේසපාලුවෝ’ විතරක් නෙමෙයි, ඒ ‘දේසපාලු’ බලතණ්හාධිකයන්ට ජනතාව රවටන්නට හැකියාව ලබාදෙන විවිධ ක්ෂේත්‍ර වල ඉන්නා ජනතාවගේ මුදලින් යැපෙන රටේ විද්වතුන් යැයි කියාගත්තවුන් ද වගකියන්න ඕනෑ.

      අනික, “මම ආණ්ඩුවේ රස්සාවක් නෙමෙයි කරන්නෙ, මම බදු සල්ලි වලින් නෙමෙයි පඩි ගන්නෙ,” කියලා කියූ කොතරම් පිරිසක් ඔවුන්ගේ පඩිය ලැබෙන්නෙ ලංකාවේ ජනතාව ගෙවන බදු සල්ලි වලින් යැයි පෙන්වලා දුන්නම ඇත්තෙන්ම පුදුම වෙනවා!! රාජ්‍ය බලහත්කාරය කොතරම් දුරකට හැම අතම පැතිරිලා යැයි දකින්නට ඒකීය පුද්ගලයාට නොහැකියාව ඉතා ඛේදනීයයි.

      පුද්ගලික අංශයට ආණ්ඩුව නැතිව කිසිම ව්‍යවසායක උත්සාහයක යෙදෙන්නට නොහැකි වෙද්දී, තමන් දකින දුරාචාරයක් සිත කළකිරීමට පත් කළත් ඒ ගැන කිසිත් නොකියා අහක බලාගන්නෙ තමන්ගෙ බඩට එයින් පහරක් වැදෙන නිසා.

      පුද්ගලික අංශය මෙල්ල කරන්නේ පාරිභෝගිකයා යැයි අවබෝධයට නොහැකියාව නිසා ඒකීය පුද්ගලයා පුද්ගලික අංශය මෙල්ල කරන්නේ රජය යන විශ්වාසයෙන් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය බලහත්කාරයෙන් ගැලවෙන්නට නම් කිසිම රජයක් බෙදන්න දන්නේ නැහැයි කියා වටහා ගැනීමක් ඇතිවෙන්නේ ද නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: