අරුණි ශපීරෝ‍ වෙතින්

නිවහල් වෙන්න වහල් චින්තනය අත්හළ යුතුයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 9, 2014

පිරී ඇති තැනකට අලුතෙන් යමක් දමන්නට පෙර පිරී ඇති දැයින් ටිකක් හෝ අඩු කළ යුතුයි. වහල් චින්තනයෙන් පිරී ඉතිරී ගිය මනස් වලට නිවහල් අදහස් ඇතුල් කරන්නට නම් වහල් අදහස් එකක් දෙකක් හෝ අත්හරින්නට අවශ්‍යයයි. එවිට නිවහල් අදහස් එකකට දෙකකට හෝ ඉඩ පෑදෙයි. 😀

දරුවෙක් හදන්න ගමක් අවශ්‍යයයි,” යන අප්‍රිකාවේ පැරණි කියමනක් ගැන ලිබටේරියන් අදහසක් මෙසේ ලියැවී තිබුණි: “මම ගම දැක්කා, ඒ නිසයි මම ගෙදර දී මගේ දරුවට උගන්වන්නේ.”

ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් යන අය ගෙදර දී සහ තනිවම අධ්‍යාපනය ලත් අයයි. ලංකාවේ වල්පොල ශ්‍රී රාහුල හිමියන් ද ක්‍රමවත් මූලික අධ්‍යාපනයක් නොලද්දෙකි.

බෙදන්න දන්නේ ආණ්ඩුවයි යන වහල් අදහස ඉතා උත්කර්ෂවත් අන්දමින් හැමෝටම නොමිලේ දෙන අධ්‍යාපනයෙන් බෙදේ. ආණ්ඩුව බෙදන්න දන්නේ නැතැයි යන විරුද්ධ මතවාදය අදහස් ප්‍රකාශයේ දී යටපත් වී යයි.

අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ලංකාවේ වංශවත් පවුලක උපන්නෙකි. මනුතාපය සිංහලට පරිවර්තනය කරන ලද්දෙක් වුවත් බහුතර ප්‍රංශ වැසියන්ට මෙන්ම ඔහුට ද මනුතාපයෙන් පිළිගන්වන ලද වටිනා උපදේශයන් මඟහැරී ගිය බව පෙනේ. රෆායෙල් ඊරියගොල්ල නැමැත්තා අනගාරික ධර්මපාලට සවන් දී අභයවංශ ඊරියගොල්ල වේ. ඔහු ඇතුළු ඉංග්‍රීසි භාෂාව මැනැවින් දත් බහුතර නිදහස් ලංකාවේ වීර නායකයන් එය රටේ බහුතරයක් වූ සිංහල බෞද්ධයන්ට අහිමි කරන ලද්දවුන් වූයේ මන්ද?!!!!!!!!!

සිංහලෙන් ඉගෙනීම නිදහස් ලංකාවේ පොදු ජනයා තුලින් නැඟී ආ ඉල්ලීමක් ද? නැත්නම් සියළුම සිංහල බෞද්ධ අයට අනෙක් අයට වඩා වැඩියෙන් වරප්‍රසාදය බෙදන්නට හැකියි යන පොරොන්දුවෙන් වංශවත් පවුල්වල නොවූ හුදී ජනතාව සිංහලට පමණක් සීමා වී රැවටුනා ද?

ආණ්ඩුවේ බලය අල්ලා ගත් අයගේ ආකල්පයන්හි දෝෂ සහ අයහපත් ඵලවිපාක පෙන්වා දෙන්නට විද්වත් යැයි කියාගත්තවුන් නොදන්නාකම නිසා ලංකාවේ ආරම්භයේ පටන් විරැද්ධ මත ප්‍රකාශයට ඉඩක් නොලැබුණි.

පෞද්ගලික ආයතන වලින් මුද්‍රණය කළ පෙළ පොත් ආණ්ඩුව බාරයේ මුද්‍රණය වීමේ දී, ජනතාවගේ මුදලින් ආණ්ඩුව උත්කර්ෂවත් කරන මතවාදය පමණක් බෙදීම සිද්ධ වෙයි. ඉතින් ආණ්ඩුවේ බලය අල්ලා ගන්නා පක්ෂය කුමක් වුවත් කමක් නැත. බෙදන්න දන්නේ ආණ්ඩුව යැයි උගන්වන නිසා බලතණ්හාධිකයාට සිද්ධ වෙන්නේ කළින් කලට දේශපාලන පක්ෂය මාරු කිරීම පමණි. SWRD සහ ඊරියගොල්ල සිට අද දක්වා සිංහලේ වීර නායකයන් ජනතාවට සේවය කරන නාමයෙන් බලයේ ඉන්නට තම දේශපාලන පක්ෂ මාරු කරති!!!! 😀

UNP පක්ෂය ආණ්ඩු බලය ලත් මුල් නිල වාර සීමාව නිදහස් ලංකාවේ ඉතාමත්ම සාමකාමී යුගය සේ සැලකේ. 1948 දී ගල් මුල් වැදුනේ කොමියුනිස්ට් පක්ෂ පැවැත්වූ රැළි වලට. ත්‍රිකුණාමලයේ සහ කුරැණෑගල දී UNP විසින් උසිගන්වන ලදැයි සැලකෙන සිද්ධීන් තුනක දී කොමියුනිස්ට් පක්ෂයේ එක් අයෙක් ඉස්පිරිතාලයට ගියා. තවත් අයෙක් මැරැණ. අවිහිංසාවාදී හර්තාල් කියාගත්තට ඒවායේ දී වේදිකාවට ගඩොලක් එහෙම විසිකරන පුරුදු රටවැසියන්ට තිබ්බා. 1953 දී සිංහල බෞද්ධ භික්ෂූන් කඩාකප්පල් කරන්නට ගියේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන රැළි!!!

ඉතින් කොහොම ද කොමියුනිස්ට් විරෝධී වූ සිංහල බෞද්ධයන් බහුතරය සහ UNP පක්ෂය යන දෙකම පැත්තකට විසි කරලා දාලා වැඩවසම් හුරුවෙන් යුතු වංශවත් පවුල් වලින් ආපු බලතණ්හාධිකයන් වාමාංශික හවුල් වලින් රට පාලනයට බැස්සෙ?

තාත්තගෙ මරණයෙන් පස්සෙ මුල් පුටුව උරුම වෙච්ච ඩඩ්ලි, තාත්තා විදියටම බෙදන ක්‍රමයෙන්ම රට පාලනය කරගෙන යද්දී, නිෂ්පාදනය නොකර බෙදන්න බැරි ලෝක ස්වභාවය නිසා, බෙදන දේවල් හිඟයකට මුහුණ දුන්න. සහල් සහනාධාර සැලස්ම දිගටම කරගෙන යන්න නම් වැඩිවෙන ආයෝජන වැය දරන්න වෙනවා. ඒ කාලේ මුදල් ඇමති වූ ජේ. ආර්. ජයවර්ධන ඉතින් සහල් සහනාධාර අඩු කළා. රටේ බාගයකටත් වඩා පිරිසකට ඍජුවම බලපෑ ඒ ක්‍රියාව ආණ්ඩුව පෙරළන්න හොඳ නිමිත්තක් වුනේ මෙයාලා බෙදන්න දන්නෙ නැහැ, අපි ඊට වඩා හොඳින් බෙදන්න දන්නවා ඒ නිසා අපිට බලය දෙන්න කියන පක්ෂ වලට. හර්තාල් තියන්න වාමාංශික පක්ෂ එකතු වෙනවා. ඒ අස්සෙ ලෙඩ වෙච්ච ඩඩ්ලිට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ එයාගෙ ඥාතියා වූ සර් ජෝන් කොතලාවල බලයට පත්වෙනවා.

ඩී. ඇස්. සහ ඩඩ්ලි වගේම කොතලාවලත් මාක්ස්වාදී/කොමියුනිස්ට් පක්ෂ තමයි හතුරන් හැටියට දකින්නෙ සහ ද්‍රවිඩ වතු කම්කරුවන්ට එරෙහිව ඒ ගැන පමණක් සිංහල ජාතිවාදී දේශපාලනඥයන් සමඟ එකඟවෙන්නෙ. Ceylon Workers Congress (CWC) නොහොත් ඉන්දීය ද්‍රවිඩ වැවිලි කම්කරුවන් නියෝජනය කරන ලද්ද තමයි 1956 ට කළින් ලක්ෂ දෙකක් පමණ සාමාජිකයන් සිටි රටේ විශාලම වෘත්තීය සමිතිය.

සිංහල මහා සභාවෙන් පස්සෙ නැඟී එන සිංහල බෞද්ධ උද්දීපනයට ඩඩ්ලි වගේම කොතලාවලත් එකතුවෙන්නෙ, එය කළේ නැත්නම් තමන්ට රාජ්‍ය බලය අහිමි වෙන බියෙන්. බෙදා දෙන ක්‍රමයක් අගයන UNP නායකයන් තම පක්ෂයෙන් අස්වෙලා ගිහින් SLFP හදාගත්තු SWRD තමන්ට තර්ජනයක් වේයැයි එදා හිතුවේ නැහැ. හතුරන් හැටියට දකින්නෙ කම්කරු සමිති නායකයන් සහ වාමාංශික පක්ෂ විතරයි. කොතලාවල අගමැති මාක්ස්වාදී පක්ෂයන්හි මුද්‍රණාල දෙකක් වසා දමනවා. කොමියුනිස්ට් පත්‍රිකා තහනම විතරක් නෙමෙයි, ඒ සංවිධාන විදේශ කුමන්ත්‍රණකාරී බලවේග කියලත් හඳුන්වනවා!!!!

බුද්ධාගම නොදන්නා අයට, ස්ත්‍රීන්ගේ වස්ත්‍ර ගැන භික්ෂුවක් බණ කීම බුද්ධාගම නොවේ යැයි කියා දෙන්නට හැකි දැනුමක් නැහැ. ධනවාදය නොදන්නා අයට සමාජවාදයෙන් එය වෙනස් කෙසේදැයි පෙන්වා දෙන්නටද හැකියාවක් නැහැ. සමාජවාදයක් වුවත්, බෞද්ධ කියාගත් මැරවර බලවේගයක් වුවත්, තහනම් කිරීමෙන් සහ විදේශ කුමන්ත්‍රණයක් යැයි හැඳින්වීමෙන්, ජනතාව නොමඟ යැවීම පාලකයන් අතින් සිද්ධ වෙද්දී, පාලකයන්ට විරුද්ධ උද්ඝෝෂණකරුවන් දැනට වඩා හොඳ විකල්ප ක්‍රමයක් තමන් දන්නවා යැයි ජනතාව නොමඟ යවති.

නිදහස් ලංකාවේ ජනතා හදවත් සිංහල බෞද්ධ අදහස් වලින් පිරී යද්දී, සර් ජෝන් කොතලාවල එංගලන්තයේ මහ රැජිනව ලංකාවට ගෙන්වා ගනිද්දී, එදා වාමාංශික දේශපාලනයේ යෙදුනේ කොළඹ සිංහල ද්‍රවිඩ වංශවත් පවුල්වල ඉංග්‍රීසි කතාබහ කරපු අයයි. එයාලගෙ රාජ්‍ය ආගමක් නැති, පංතිභේදයකින් තොර, කම්කරුවන්ගේ සහ ගම්වැසියන්ගේ ආණ්ඩුවක් ගැන ලන්ඩන් සමාජයේ පැතිර තිබි ෆේබියන් අදහස් නිදහස් ලංකාවේ වැසියන්ට විකුණන්න බැරිවුණ දෙයක්.

එක පැත්තකින් බෙදා දෙන ආර්ථික ක්‍රමය පවත්වාගෙන යා නොහැකි වෙද්දී අනෙක් පැත්තෙන් ස්වභාෂා ව්‍යාපාරය නැඟලා යද්දී ලංකාවට 1956 දී බුද්ධ ජයන්තිය සමරන්නට අවස්ථාව උදාවෙනවා. එය ජනමතය හැඩගසන්නට යොදාගන්නෙ ජනවාර්ගික අවුල් නැති එක පවුලේ අය මෙන් ජාතික සංහිඳියාවකින් අත්වැල් බැඳගෙන හිටියා යැයි කියන ලක්දිව ජනතාව බෙදා පාලනය කරන ප්‍රතිපත්ති හදපු ඉංග්‍රීසිකාරයට එරෙහිව නැඟී ආපු සිංහල බෞද්ධ බලවේගයයි!!!!! දේශපාලන භික්ෂූන්, බෞද්ධ විද්වතුන්, සිංහල භාෂා ගුරුවරු, ආයූර්වේද වෛද්‍යවරු පෙරමුණක් හැදෙන්නෙ එක පැත්තකින්. වාමාංශික පක්ෂ තුලින් කම්කරු බලවේගයන් හැදෙන්නෙ අනික් පැත්තෙන්. ඒ කම්කරු බලවේගය වැඩියෙන් බලගතු වෙන්නෙ 1956 මැතිවරණයෙන් පස්සෙ.

වල්පොල ශ්‍රී රාහුල හිමියන් වැනි අය නැඟී එන දේශපාලන භික්ෂූ රැල්ල ප්‍රතික්ෂේප කළාට SLFP පාක්ෂිකයන් හැටියට දේශපාලනයේ යෙදෙන භික්ෂූන් එකතු වෙනවා. මහ රැජින රටට ගෙන්වීම වැදගත් වැඩක් විදියට දකින UNP හි වංශවත් කොතලාවල වෙනුවට SLFP හි වංශවත් බණ්ඩාරනායක ජාතික ඇඳුමෙන් ගම්බද සිංහල බෞද්ධයන් සමඟ හවුල් හදාගන්නේ මාක්ස්වාදී නොවූ එහෙත් එවක තිබුණාට වඩා වැඩියෙන් සමානාත්මතාවයකින් යුතු වූ සමාජ ක්‍රමයක් පොරොන්දුවෙන්.

රජයෙන් බෙදන අධ්‍යාපනයට හුරැවෙන රටේ ජනතාව නොදකින්නෙ බ්‍රිතාන්‍යයන් දීලා තිබිච්ච ක්‍රමයේ අඩුපාඩු තමන් හදාගන්නවා වෙනුවට සියළු රටවැසියන් සඳහා අසමානතා වැඩිවෙන ක්‍රමයක් වරප්‍රසාද ලත් වංශවත් පවුල් වල බලතණ්හාධිකයන් හදන එකට තමන් එකතුවෙන බවයි.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. Rathnakumar Perumal said, on ජූලි 10, 2014 at 1:56 පෙ.ව.

    ඇත්ත කතාව. නමුත් ආමාරුම ‍දේ තමයි පුරුද්ද අත් හරින එක. විකල්ප වැඩපිළිවෙළක් ගැන හිතාගන්නත් බෑ. ඔබේ උත්සාහයට ස්තූතියි.

    • arunishapiro said, on ජූලි 10, 2014 at 7:54 පෙ.ව.

      Rathnakumar Perumal,

      පාරිභෝගිකයාට බලහත්කාරකමක් නොකර ඔහුගේ අවශ්‍යතා සහ කැමැත්තන් සපුරාලන්නට හැකි එකම ක්‍රමය තරඟකාරී නිදහස් වෙළඳපොලේ පුද්ගලික අංශය බව කියන ප්‍රතිඵල ඔප්පු කර ඇති විකල්පයට පුද්ගලයාව බය කරලා තියෙන්නෙ උපන් දා පටන් නොමිලේ බෙදන අධ්‍යාපනයෙන්.

      පුද්ගලික අංශය යනු පාරිභෝගිකයාව සූරා කන්න බිහි වූවක් යැයි ආකල්පයට වහල් වූ අය හැමදාම විකල්ප කිය කියා හොයන්නේ පාරිභෝගිකයාව සත්‍යයෙන් සූරා කන ආණ්ඩු සහ ඒ ආණ්ඩු වල සහායෙන් පාරිභෝගිකයාව සූරා කන්න වරප්‍රසාද ලත් ‘සීමිත පුද්ගලික අංශය’.

  2. Thilina Peeris said, on ජූලි 10, 2014 at 5:58 පෙ.ව.

    අරුණි,

    ඔබ කියන පරිදි රාජ්ය මැදිහත්වීමෙන් තොර ආර්ථිකයක් තිබීමේ වැදගත් කම බහුතර ජනතාවට පැහැදිලි කිරීම ඉතා දුෂ්කර කාර්යක්, රාජ්යත මැදිහත්වීම අවම කිරීමට ලබාදිය හැකි උදාහරණයක් (2001–2004) ශ්රිවලංකාවේ රනිල් වික්රරමසිංහ අගමැති තුමන් සිදු කරනලද්දේ රාජ්‍ය සේවයට කිසිදු සේවකයකු බදවා නොගැනීමෙන්, මෙය ඔහු විසින් ගත් ඉතා හොද ක්රිතයාවක් උවත් (ඔහුගේ බොහො උපායන් ගැන එකග නොවුනත් ) බහුතර ජනතාව අතර එය ඉතා තදින් අප්රදසාදයට ලක් උනා.
    කිසිම පාලකයකු තමන් අප්ර සාදයට පත්වන ක්රි්යාවලියක යෙදීමට අකමැති බව ඕම නොදන්නවා නොවෙ (තමන්ට විශාල ලාබයක් ලබනවානම් ඔවුන් අවදානම බාරගනී )
    ඔබ කියා ඇති පරිදි Hong Kong වල නිදහස් වෙළදාම නිසා රට දිවුණු වුන ආකාරය

    ඔබගේ උත්සාහය සාර්ථක වේවා !!

    තිලින

    • arunishapiro said, on ජූලි 10, 2014 at 8:02 පෙ.ව.

      Thilina Peeris,

      ස්තූතියි තිලින. බණ්ඩාරනායක ආණ්ඩුවේ සිට රනිල් අගමැති වෙන්නට පෙර සියළු ආණ්ඩු දක්වා ‘චිට්’ අරන් ගියාම රස්සා ලැබෙන, ‘අපේ ආණ්ඩුව ආවම අපිට රස්සා ලැබෙන’, රටාවකට හුරැවෙලා සිටි ජනතාවකට ඒ පියවර ගත්තේ මන්දැයි අවබෝධයක් නොදී සැලැසුම දියත් කළාට ඵලක් නැති බව ඔප්පු කළ කදිම අවස්ථාවක්. විපක්ෂයේ බහුතරයට තමන්ගෙ රස්සා තියාගන්නට ලැබුණත් ඒකටවත් රනිල්ට හොඳක් කිව්වෙ කලාතුරකින් එකෙක් දෙන්නෙක් විතරයි.

      • Thilina Peeris said, on ජූලි 11, 2014 at 1:18 පෙ.ව.

        මගේ මතකය නිවැරදි නම් 1948 අපට වෙළද ගිණුමේ අතිරික්තයක් තිබුන, පැවතුනු රජයන් සිදු කරන ලද්දේ තරගයට සහනාදාර බෙදාදීමයි, මෙහිදී මා රජයන්ට දොස් නොකියන්නේ දෙසපලකයන් කිසිවිටක තමාට අවාසි තීරණ නොගන්න බැවින් (මෙය ඇමරිකාවටත් පොදුයි ) නමුත් ශ්රිලලංකාවේ සිටින සරසවි ආචාර්ය වරුන් සහ වුර්තිකයන් මේගැන පුද්ගලයන් දැනුවත් නොකර තමාට වැඩි කොටසක් ලබා ගැනීමට කරනලද උත්සාහය නින්දා සහගතයි (මෙතැනයි ඇමරිකාව ශ්රීත ලංකාවෙන් වෙනස්වන්නේ ) මෙවැනි අවස්ථාවල ඇමරිකාවේ සරසවි ආචාර්ය වරුන් සහ වුර්තිකයන් නොබියව තම අදහස් පලකල අයුරු ප්ර සංසා සහගතයි.
        1995 දී චන්ද්රි කා රජය රුපියල් 3.50 පාන් ලබාදීම ගැන ප්රාසිද්දියේ විරුද්ද වූ එකම පුද්ගලයකු මට මතක නැත ජන සවිය සහ සමුර්දිය ගැන කීමට ඇති අදහසත් එයමයි.
        මීට අවුරුදු 2 ට පෙර මා දන්නා විදීශික ආයෝජකයකුට ගමන් මලු ලංකා වෙන් අපනයන කිරීම සදහා අවශ්ය අනුමැතිය ලබා ගැනීමට ශ්රී් ලංකා රේගුව ඇමතු මට ලැබුනේ පුදුම සහගත උත්තරයක්, විවිද රාජ්ය් ආයතන වෙත අවසර ගැනීම සදහා යොමුකරන ලද මා අවසානයීදී යොමුකරන ලද්දේ වන සහ වෘක්ෂලතා අදිකාර්ය වෙතයි.
        මේ ම ක්රියවලියීදී මා වටහා ගත්තේ ශ්රී ලංකා රජයට අපනයන වෙළදාමට කිසිදු උවමනාවක් නැති බවයි.
        තිලින

        • arunishapiro said, on ජූලි 11, 2014 at 9:15 පෙ.ව.

          Thilina Peeris,

          මාත් අහලා තියෙන්නෙ ඒක. බ්‍රිතාන්‍යයන් රට බාර දෙනවිට ආර්ථිකය අනෙක් දකුණු ආසියානු රටවල් වලට වඩා ඉතා ශක්තිමත් බවකින් තිබ්බ බව. එදා පටන් තරඟයට තමයි තවමත් එන එන හැම ආණ්ඩුවක්ම සහනාධාර බෙදන්නෙ. අර කල්ලිය එයාලගෙ කල්ලියට දෙන නිසා ඊ ළඟ කල්ලිය ආවම එයාලගෙ යැයි කියන කල්ලියට බෙදනවා. බෙදන ක්‍රමයෙන් මිනිසා දියුණු වේයැයි හිතන සමහරු කියනවා ඔහොම ගිහින් හැම පැත්තකම අය ආණ්ඩුවෙ බලය ලැබුණට පස්සෙ හැමෝටම බෙදිලා ගිහින්නෙ කියලත්!!!! වැඩේ, එක කල්ලියකට බෙදද්දී අනිත් හැමෝමත් වගේම බෙදපුවා ලැබුණ අයත් ණයකාරයන් හා හිඟන්නන් වෙන බව දකින්නට බැරිකම.

          ආණ්ඩුවක් කිසිවිටෙක තමන්ගෙ බලය අඩුවෙන තීරණ ගන්නේ නැහැ. ඊට එකඟයි.

          ඒත් ඇමෙරිකාවේ ‘විද්වත්’ අය ඔවුන්ගේ දැනුම රටට ඉතාමත් දැඩි සේ අවශ්‍ය වූ ඵෛතිහාසික අවස්ථාවක දී නොබියව තම අදහස් ප්‍රකාශ කළේ නැහැ.

          ආණ්ඩුව බෙදන එකට පක්ෂපාතීව සරසවි ආචාර්යවරුන්, බැංකුකරුවන් හා රජයේ නිලධාරීන් නිහඬ වීම ඇමෙරිකාවේ ආරම්භ වුනේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් බලයට පත්වුනාම එයාගෙ පර්යේෂක උපදේශකයන් හැටියට නම් කරන ලද “Brain Trust” නම් ජනතාව විසින් තෝරා නොගත් කණ්ඩායමයි. ඔවුන් ඉහළම කියාගත් විද්වත් දැනුමකින් ඇමෙරිකාවේ විතරක් නෙමෙයි වෙන රටවල පවා ගොවියන්ගෙ, ආර්ථික අවපාතයේ, ශ්‍රමිකයන්ගෙ, හා බැංකුවල ගැටළු විසඳනවා යැයි රූසවෙල්ට් ලෝකයට කියමින් එහෙත් සියළු වැසියන්ට බලපාන තනි තීරණ New Deal නම් සැලසුමෙන් තමන් විසින් ගත්ත. ඒ ගැන පැහැදිලි විස්තරයක් මම සිංහලෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා අනාගතයේ දී. මොකද ලංකාවේ අධ්‍යාපනය ලබන අය විතරක් නෙමෙයි ජනප්‍රිය ඇමෙරිකන් විශ්ව විද්‍යාල බහුතරයකින් අධ්‍යාපනය ලබන අය වර්තමානයේ පවා විශ්වාස කරන්නේ රූසවෙල්ට් මහා ආර්ථික අවපාතයකින් ඇමෙරිකාව ගොඩදැම්ම අයෙක් කියලා. සත්‍යය එහි අනෙක් පැත්ත.

          ඒත් ඇමෙරිකන් ඉතිහාසයේ දිගටම ආණ්ඩුවේ බෙදන බලය වැඩිවෙනවාට එරෙහිව නොබියව කැපවී කටයුතු කරන ලද ව්‍යවසායක, වෙළඳ, ආර්ථික, දේශපාලන, ආගමික යනාදී විවිධ අංශ වලින් ඒ ගැන පෙන්වා දීපු ඇබිත්තක් හිටිය. බෙදන පිළිවෙත් ඇස් පනාපිට වැරදෙන කොට මේ අයගේ ජනප්‍රියත්වය වැඩිවෙනවා. ඔවුන් කියන දෙයට සවන් දෙන්න පටන් ගන්නවා. ඒත් ඒ නිසා යාන්තමින් ආයෙත් ආර්ථිකය ඩිංගක් හරි නඟින කොට මේ අය ගැන හැමෝටම අමතක වෙනවා!!

          ලංකාවේ බෙදා දෙන මහා පරිමාණ සැලසුම් එකකටවත් එරෙහි වෙච්ච එක දේශපාලනඥයෙක් හෝ නැත්තෙ මිනිස්සු බෙදන ක්‍රමයේ අහිතකර පරිහානිය කුමක්දැයි නොදන්නා නිසා. ලංකාවේ බහුතරය අනුන්ගෙ දේවල් බෙදන වෙස්සන්තරලා අගය කරන අයයි. 😀

          ලංකාවේ යුද්ධය ගැන ඇමෙරිකන් සුද්දෙක් ලියූ පොතකින් මම කියෙව්වා එයාගෙ මේ අදහස: නිදහස ලැබූ ලංකාවේ ව්‍යවසයාකයන්ට පහසු බැංකු ණය ගන්න ක්‍රමයක් නොතිබූ නිසා ආර්ථිකයට ඉදිරියට යන්න නොලැබුණ බව. ඒත් වැන්ඩබිල්ට්ලා, රොකෆෙලර්, ජේම්ස් ජේ. හිල් සහ මෑත කාලීන ස්ටීව් ජොබ්ස් යනාදීන්ට බැංකු ණය ගන්න පහසු වූ ආර්ථික පසුබිමක් ආරම්භයේ පටන් තිබ්බෙ නැති බව ව්‍යවසායක උත්සාහයන් නෙමෙයි වැදගත් ණයත් බෙදන්න දන්න ආණ්ඩුව වැදගත් කියන මතවාදයේ ඉන්න අය නොසලකා හරින්නක්.

          ඔව් තිලින, වෙළඳාම යනු බඩතඩි මුදලාලි විසින් පාරිභෝගිකයා සූරාකෑමක් කියා දකින හුරුවෙන් යුතු මහජනතාවක් බඩතඩි මන්ත්‍රීවරුන් හදමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ කිසිදු රජයකට වෙළඳාමට කිසිදු උවමනාවක් නැතිබව දකින්නේ නැහැ. අපේ බඩු මිල ඉහළ යනවා කිය කියා හැමදාම වර්ජන හැමදාම පෙළපාලි යන්නෙ බඩු මිල පහළ යන්නේ සහ රස්සාවන් ලැබෙන්නේ කොහොමදැයි නොදන්න නිසා!!!! මෙහෙම හිතන රටවල අය සංක්‍රමණිකයන් හැටියට ඇමෙරිකාවටත් ඇවිත් වර්ජන හා පෙළපාලි වලින් වෙළඳපොලට භාණ්ඩ හා තරුණ අයට ආණ්ඩුව ඉහළ දාන පඩියට රස්සාවල් දෙන්න පුළුවන් කියන දේශපාලනඥයන්ට චන්දය දෙන්න පටන් ගන්නවා!!!!

          මම කළින් ද ලියූ ප්‍රතිචාරයක්; ලංකාවේ අභාග්‍යය තමයි රට ඇතුලත යම් දියුණු ආර්ථික මට්ටමකට එන්න හැකියාව ලංකාවේ අයෙකුට ලැබුණත්, එතැනින් එහාට යන්න ආණ්ඩුවට හේත්තු වෙන්නෙ නැතිව බැරිකම. රටේ වැසියන් ණයබත් කරමින් ඒ ඒ ආණ්ඩුවේ බලය අල්ලාගත් අයව පෝෂණය කරන වරප්‍රසාද ලත් එද්දලවාදී ව්‍යවසායක පංතියක් මිසෙක වෙළඳපොල ව්‍යවසායකත්වයට ලංකාවේ ඉඩක් හෝ නිදහසක් නැහැ.

          ඇමෙරිකාවේ වාසනාව තමයි, රට ආරම්භයේ පටන්ම විසල් වෙන එන එන ආණ්ඩු කොච්චරක් සිය බූවල්ලන් අඬු හැම අත පතුරැවන්න හා ඒකීය පුද්ගල නිදහස මඬලන්න වැර දැරුවත් ආණ්ඩුවෙන් යැපෙන්නේ නැතිව ඊට අහුවෙන්නෙ නැතිව, ස්වෝත්සාහයෙන් ආර්ථිකය නඟාලන පිරිසක් සිටීම. මෙහි තවමත් ආණ්ඩුවේ සේවකයන්ට වඩා පුද්ගලික අංශයේ සේවකයන් සහ කුඩා ව්‍යාපාර ව්‍යවසායකයන් වැඩියි.

          • Thilina Peeris said, on ජූලි 12, 2014 at 6:40 පෙ.ව.

            අරුණි,

            සිංගප්පුරුව Lee Kuan Yew අගමැති තුමා ක්රිදයාත්මක කරන ලද්දේ සම්පුර්ණ නිදහස් ඔබ කියන රජයේ බලපෑමෙන් තොර නිදහස් වෙළදාමක් පවතින රටක් ලෙස නොවෙයි. එහිත් රාජ්යා අංශය බොහෝ හොදින් ක්රිමයාත්මක උනා, නමුත් එය පැවැත්වීමට පුද්ගල අයිති වාසිකම් බොහෝ දුරට සීමා කිරීමට සිදුඋනා.
            ඔබ කියන රාජ්යි බලපෑමෙන් තොර රටක් ශ්රීී ලංකාව තුල ඇති කිරීමට ලාංකිකයන්ගේ මනස වර්දනය වී නැති බවයි මගේ අදහස උදාහරණයක් ශ්රීො ලංකාවේ සාක්ෂරතාවයෙන් දෙවනියට වැඩිම අගයක් ගන්නේ ගම්පහ දිස්ට්රි ක්කයයි නමුත් පසුගිය මැතිවරණය ඔබට මතකනම් පබා නාට්යම රගපානලද නිළිය පාර්ලි‌‌මේන්තුවට යැවීම හොදම උදාහරණයයි.
            තිලින

  3. mppgunasinghe said, on ජූලි 10, 2014 at 9:02 පෙ.ව.

    //හුදී ජනතාව සිංහලට පමණක් සීමා වී රැවටුනා ද? // මේ පෞද්ගලිකව මටත් නිතර ඇතිවන සිතිවිල්ලක් අරුණි

  4. Krishna Ramanayaka said, on ජූලි 11, 2014 at 11:40 ප.ව.

    මම ඊ .එච් කාර්ගෙ – ඉතිහාසය යනු කුමක්ද යන පොත සිංහල පරිවර්තනය කියවන ගමන් එහි ඉංග්‍රිසි පොත බැලුව කාර් විසින්ම සංශෝධන 5 ක් (සංස්කරණ ) අපේ පරිවර්තනයෙන් පස්සෙ කරල තියෙනව .මට හිතුන අපි ඉන්නෙ පස්ගුණයකින් දැනුමෙන් ආපස්සෙ නේද කියල ? ඔන්න 56 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කල සඝ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගෙ ජෝගි නටමින් කල නිවැරදි කල නොහැකි තරමි වූ ඓතිහාසික වැරැද්දේ තරම. ඒ එකක් අනික අවු 2500 ගැන කාල් ගගා පම්පෝරි ගහනව ඇරෙන්න අපිට වැරදුන තැන් ගැන සංවාදයක් අදටත් නෑ (අරැනිගෙ මෙහෙය රත්තරන් වෙන්නෙ මෙන්න මෙතැනදි ) ලංකාවෙ මිනිස්සු අරක්කු කටේ නොතිබ්බ උපාසකයන් බව දොඩෝන අය මහා පරාක්‍රමබාහුගෙ මත්පැන් අලෙවිය ගැන දන්නෙ නෑ වගේම සුද්ද යන විට තිබිච්ච ශක්තිමත් ආර්ථිකයෙන් දිගින් දිගටම කඩා වැටෙන්නෙ ඇයි කියල හොයන්න උවමනාවුත් නෑ.

  5. freedom said, on පෙබරවාරි 22, 2016 at 1:37 පෙ.ව.

    නූතන වහල් චින්තනය පිළිබද බුද්ධිය අමතන විද්‍යුත් කතිකාව


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: