අරුණි ශපීරෝ‍ වෙතින්

හරක් බලන කොල්ලන්ට අපහාස කරන්න එපා!

Posted in Uncategorized by arunishapiro on ජූලි 15, 2014

IMG_6835

ගොපල්ලෙක් වීම ලැජ්ජාවට කාරණයක් ද?

හරකුන්ව බලාගන්නේ ගොපල්ලෙකි. ඇමෙරිකාවේ දී එවැන්නෙක් කව්බෝයි නමින් හැඳින්වෙයි. 1725 දී එම පදය ඉංග්‍රීසි බසට එකතු වූයේ ස්පාඤ්ඤ vaquero යන්න ඍජුව පරිවර්තනය වීමෙන් යැයි විකිපීඩියාව පෙන්වයි. ස්පාඤ්ඤ ගොපල්ලා අස්සයෙක් පිට නැඟී හරක් පට්ටිය බලාගත්තෙකි.

මේ සටහනට අමුණන පින්තූරයේ ඇති මොන්ටෑනා වැනි ඇමෙරිකන් ප්‍රාන්තයක සාමාන්‍ය ගොවිපොලක් අක්කර දෙදහසක ප්‍රමාණයකින් යුතුයි.

නිදහස් ලංකාවේ අධ්‍යාපන ඇමති වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාල හැදුවේ නැත්නම් මම අද හරක් බලන කොල්ලෙක් වෙන්න තිබුණා යැයි වර්තමාන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඇමෙරිකාවේ ගොපළු රස්සාවකින් ලැබෙන සාමාන්‍ය වාර්ෂික වේතනය ඩොලර් 49,000 ක් පමණ වේ. මෙරටේ උපාධිධාරී පාසැල් ගුරුවරයෙකුගේ සාමාන්‍ය වාර්ෂික වේතනය ද ඒ හා සමානයි.

මේ කියන්නෙ අර වයිල්ඩ් නොවූ වයිල්ඩ් වෙස්ට් හි ගොපල්ලන් ගැන නෙමෙයි!!!! හැමදාම උදේ පාන්දරින් නැඟිටලා ගිහින් දිවා රූ හරක් බලාගන්න රස්සාවේ යෙදෙන කොල්ලො ගැනයි.

නැණ කෙසේ වෙතත් ගුණයෙන් සපිරි නම්, මේ මේ රස්සාවල් ඉහළ රස්සාවල් යැයි ද මේ මේ ඒවා පහළ රස්සාවල් යැයි ද තීරණය කරන හැකියාවක් තමන්ට ඇතැයි සිතන්නේ කුමන එලීටිස්ට්ලා ද?!!!!!
WaterBuffalo1

මිය ගිය අයට ගෞරව කරන්නට පෙර, රටවැසියන් ණයගැතියන් නොකර තමන්ගේ එදා වේල කන්න මුදල් හොයාගන්නට හරකුන් (මී හරකුන්) බලාගන්නට ශ්‍රමය වෙහෙසන ජීවත්ව සිටින කොල්ලන්ව හෑල්ලු කරන්න එපා යැයි අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්න ලංකාවේ කෙනෙක් ඇත්තේම නැද්ද?

ඒ පත්‍රයේ ම තවත් එලීටිස්ට් කෙනෙක් බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන කුමක්දැයි තමන් දන්නා බවක් කියා ඇත!!!! ඒ ප්‍රවෘත්තිය අනුව, අම්මලයි හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් ටෙලිනාට්‍ය බලන්නෙ. හැබැයි එයාම කියනවා අද හුඟක් ආයතන වල රස්සාවල් තියෙන්නෙ කාන්තාවන්ට බව. අද සමාජයේ කාන්තාව ප්‍රබලයි කියලත් කියනවා. හැබැයි ඒ වගේම මෝඩයිලු!!!!! ඉතින් ඒ නිසා, සමාජයේ රැකියා අවස්ථාවල පුතාලගේ ප්‍රමාණය වැඩි කරන්න ඕනෑ නිසා අම්මලාට රූපවාහිනිය බලන එක නවත්තලා ඒ වෙලාවේ දරුවොත් එක්ක පාඩම් වැඩ කරන්නලු. මේ එලීටිස්ට් මෙහෙම කියන්නෙ ලංකාවේ තාත්තලා/පිරිමි ලංකාවේ කාන්තාවන්ටත් වඩා මෝඩ වැඩියි කියල එයා හිතන නිසාද?!!!!!! 😀 දහසකට අධික සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් මේ එලීටිස්ට්ගේ දේශනය අහලා සංවර්ධනය කරගත්තේ මොන ආකල්පයන් ද දන්නෑ!!!!!

නොමිලේ බෙදන අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින්, CWW කන්නන්ගර විසින් සිහිකළේ රෝම අධිරාජ්‍ය ඔගස්ටස්වයි. ගඩොලින් හැදුන රෝමය කිරිගරුඬෙන් හැදුවේ ඔහු යැයි ඔගස්ටස් අධිරාජ්‍යයා තම හොරණෑව තමන් විසින්ම පිඹ ගැනීම සිහි කරමින්, ඉතා නිහතමානීව යැයි කියා සිටියේ නොමිලේ අධ්‍යාපනය බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා රටවැසියන්ට පිරිනමන ලද්දා තමන් බවයි.

කන්නන්ගර විසින් නොමිලේ බෙදන්නට මූලික වූ අධ්‍යාපනය සඳහා ගිය විය හියදම් එදා දැරුවේ කවුද? එම වැය අද දරන්නේ කවුද?!!!!

ඔගස්ටස්ගේ පාලන සමයේ මුල් වසර 20 ඔහු අත දිග හැර වියදම් කළේය. සීසර්ගේ වස්තු සම්පත් සේ ම, ඊජිප්තුවෙන් රාජ සන්තක කරගත් ධන වස්තු ඔහු යටතේ බෙදන්නට හැකිවිණ. ඔහු දුප්පතුන්ට මුදල් තෑගි කළේය. මහජනතාව වෙනුවෙන් අනේක මහජන ව්‍යාපෘති (public works) ඉදිකිරීම් වල හේ නියැළුණි. නොමිලේ ධාන්‍ය බෙදීම වැඩි කරද්දී මිනිස්සු බෙදන දෙයක් කා බී වගා කිරීම නවතා දැමූහ. පඩි ලබනවාට වඩා සුබසාධන ලැබීමට මිනිස්සු ප්‍රිය කළහ. ඔගස්ටස්ගේ බුබ්බුලය (boom) යනු විශාල වියදමක ප්‍රතිඵලයකි.

ඉතින්, ශ්‍රේෂ්ඨ රෝම අධිරාජ්‍යයේ අවසානය ළඟා වූයේ බෙදන ප්‍රතිපත්ති වැඩි වීම නිසා යැයි නොමිලේ බෙදූ නිදහස් නොවන අධ්‍යාපනය ලැබූවන් කී දෙනෙක් ඉගෙන ගත්තා ද?!!!!

ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබ, වයස 11 දී බත්තල් වලින් මිනිසුන් ප්‍රවාහනය කර ආදායම් උපයන්නට පටන් ගෙන අනතුරුව ධනකුවේර නැව් ව්‍යවසායකයෙක් වී ඇමෙරිකන් ආර්ථිකය නඟාලන්නට අත දුන් කොරනේලියස් වැන්ඩබිල්ට් මිය යන කාලයේ දී ලංකාවේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර උපන්නේය.

ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර (CWW) යනු ජාතික නිදහස් ව්‍යාපාරයේ අනෙකුත් වංශවත් නායකයන් සේ ධනවත් පවුලක උපත නොලැබුවෙකි. 12 වැනි වියේ දී පියා අහිමි වූ ඔහු සිය සහජ දස්කම් පාමින් ධනවත් අය ඉගෙන ගත් පාසැලකින් අධ්‍යාපනය ලබන්නට සමත් වූවෙකි. එහෙත් තමනට එසේ හැකි වූවා නම් අනෙක් දක්ෂයන්ට ද එසේම හැකියාව ලැබෙන බව ගැන ඔහු සලකා බැලුවාදැයි සැකයි.

නොමිලේ බෙදන අධ්‍යාපන පද්ධතියක් අධ්‍යාපන ඇමති වූ CWW වෙතින් සැකසෙන්නේ 1947 දී. රටේ පරිපාලනය සිංහල භාෂාවෙන් නියම වෙන්නේ 1961 දී. නොමිලේ බෙදන අධ්‍යාපන සැලසුම් නිසා රටට අවශ්‍ය කුමක්දැයි වෙළඳපොලට (එනම් මිල දී ගන්නා සහ නොගන්නා පාරිභෝගික හැදියාවෙන්) පෙන්වා දෙන්නට නොහැකි විය. රටවැසියන් ඉගෙන ගන්නේ මොනවාදැයි තීරණය කළේ රටේ එලීටිස්ට්ලා විසිනි.

එදා පටන් වර්තමානය දක්වා ලංකාවේ අධ්‍යාපනය ඉල්ලුම් කරන පාරිභෝගිකයාට සපයන දැනුම කුමක්දැයි තීරණය වෙන්නේ වෙළඳපොලෙන් (එනම් මිල දී ගන්නා සහ නොගන්නා පාරිභෝගික හැදියාවෙන්) නොවේ. අර අයගෙන් අරගෙන මේ අයට බෙදන්න දන්නවා යැයි සිතන එලීටිස්ට්ලා වෙතින්.

සිංහල බෞද්ධයන් එක පැත්තකින් ද, යාපනයේ ද්‍රවිඩ වංශවතුන් තව පැත්තකින් ද තම තමන් සඳහා සුවිශේෂී වන ලෙසකට සෙසු ජනතාවගේ කරපිටින් අධ්‍යාපන වරප්‍රසාදයන් බෙදා ගත්හ.

සමාජවාදය යනු සැවොම එක මට්ටමකට ඇද දැමීම අරමුණ කරගත්තකි. කිසිම මිනිසෙක් තවකෙක් හා සමාන නොවෙන නිසා, අධ්‍යාපනය වේවා, ආර්ථිකය වේවා, අධ්‍යාත්මිකය වේවා, සමාජවාදී උත්සාහයෙන් සිද්ධ වෙන්නේ සැවොම එකම දුප්පත් මට්ටමට ඇද දැමීමයි.

නිදහස කප්පාදු වී ගිහින්, බෙදා දෙන ක්‍රමයෙන් පාලනය වූ රෝම අධිරාජ්‍යය බංකොළොත් වී කඩා වැටෙද්දී කිවිඳෙක් වූ ජුවෙනල් (Juvenal) මෙසේ ලිවීය: “ඉල්ලීම්, තනාපති තනතුරු, හමුදා තනතුරු සහ අනෙක් හැම දෙයක්ම බෙදන ලද්දවුන් දැන් මැදිහත්වීම් වලින් අයින් වී ඇත. දැන් ඔවුන් පාන් සහ සර්කස් ලැබෙන තෙක් ආශාවෙන් බලා සිටිති.”

එහෙත් වර්තමානයේ මෙන්ම සිංහල බෞද්ධ දේශප්‍රේමීත්වයෙන් උද්දාම වූ ජනතාවක්, තමන් එතෙක් පෙනී සිටි ඵෙහිකත්ව (secular) රාජ්‍යය සහ සුළු ජනවාර්ගිකයන් පාවා දුන් මාක්ස්වාදීන් සමඟ එකතු වී, සිරිමාවෝ ආණ්ඩුව බලයට පත්කරගෙන එහි අවසාන කාලයේ දී ඇමෙරිකන් පාන් සහ චීන සර්කස් සඳහා පෝලිමේ ලැග්ගහ.

භාණ්ඩාගාරය හිස්වෙද්දී බෙදීම අඩු කරන්නට සිද්ධ වූ UNP පරාජයෙන් පසුව බලයට පැමිණි SWRD රජය ද, අනතුරුව මැතිණියගේ ආණ්ඩුව ද ඊට පසුව ආර්ථිකයක් විවෘත කරනවා කියා මහජන ව්‍යාපෘති බෙදපු ජේ. ආර්. ද බෙදන්න නොදන්නා බව පෙන්වූයේ කිසිම විටෙක කිසිම දේශපාලනයක පැත්තක් නොගන්නා වෙළඳපොල (නොහොත් සමස්ත පාරිභෝගික හැදියාව) යි.

රටේ දියුණුවට අවශ්‍ය තාක්ෂණය කුමක්දැයි කියා වෙළඳපොලට පෙන්වන්නට කිසිම ඉඩක් නොදුන් නිසා උසස් අධ්‍යාපනයෙන් ආණ්ඩුවට අඩු වැයකින් වැඩියෙන් එළියට දාන්න හැකි අංශ වලින් රටේ උපාධිධරයන් බහුල වූහ. ඒ උපාධි සමත් වූවන් රටේ පාරිභෝගිකයාට අවශ්‍ය දෑ වෙළඳපොලට ගෙනෙන්නට අසමත් වූහ.

එලීටිස්ට්ලාට රිසි පරිදි නොමිලේ බෙදූ දැනුම නිසා උපාධි සහතික ලත් තරුණ අය අතර විරැකියාව වැඩිවෙද්දී (පාරිභෝගිකයා ඒ උගතුන්ගේ දැනුම මිලට ගැනීම ප්‍රතික්ෂේප කරද්දී) ආණ්ඩුව කළේ බෙදන දැනුම කුමක්දැයි කියා තීරණය කරන්නට වෙළඳපොලට ඉඩ දීම නම් නොවේ. එලීටිස්ට්ලා කැමති විදියට බෙදන දැනුමෙන් පෝෂණය වූ උපාධිධරයන්ට ආණ්ඩුවේ රස්සා දෙන්න පටන් ගැනීමයි!!!!!

භාණ්ඩයක් වෙළඳපොලට ඉදිරිපත් කරන්නේ කෙසේදැයි දැනුමක් නොලැබ, රජයේ සේවය පිණිස සිහින මවන සිංහල බෞද්ධයන් නොමිලේ බෙදූ අධ්‍යාපනයෙන් කොපමණක් වැඩි වී ඇත් ද?

1971 ආණ්ඩුව පස් අවුරුදු සැලැස්මක් හැදුවේ 6% ක වර්ධනයකින් ඒක පුද්ගල වාර්ෂික ආදායම ඉහළ යවනු පිණිසත්, 810,000 ක් අලුත් රස්සාවල් උත්පාදනය කරනු පිණිසත්ය. ඇයි 810,000 ක්?!!!

දක්කාගෙන යන අධ්‍යාපනයෙන් පෝෂණය ලද නිසා හිතන්නට නුහුරු සිසු පරපුර නැවත නැවතත් ඉල්ලා සිටින්නේ අසමාන වූ තම තමන්ට සමානාත්මතාවයෙන් දැනුම බෙදන්න දන්නා ආණ්ඩුවකි.

ආණ්ඩුවාදියා (statist) යනු රටක ආර්ථිකයක් පාලනය ආණ්ඩුවේ මධ්‍යම සැලසුම් වලින් සාර්ථකව කරත හැකි යැයි විශ්වාස කරන අයෙකි. එය ඇනුම්පදයක් මිසෙක පැසසුමක් නොවේ.

“ඉතින් කවුද ගාඩියන්ස්ලාව ගාඩ් කරන්නේ?” යැයි රෝමයේ ජුවෙනාල් ඇසූ ප්‍රශ්නයට ආණ්ඩුවාදීන් කිසිවෙකුට අද දක්වාම හරිහැටි පිළිතුරක් දී ගන්නට හැකි වී නැත.

10417504_10152094814391741_2899840813703514280_nදැනුම බෙදීම තම අතට ගත් ලංකාවේ එලීටිස්ට්ලා පාසැල් පෙළ පොත් හැදූහ. විපක්ෂයෙන් තමන් වෙනස් කෙසේදැයි කියාගන්නට නොදත් බැවින් ඒවා විදේශ කුමන්ත්‍රණ යැයි කීහ. පත්තර කන්තෝරු ජනසතු කරමින්, ඒවා ආණ්ඩුවේ අදහස් සඳහා පමණක් සීමා කළහ. එසේ නොහැකි කළ ඒවාට සීල් තැබූහ. තහනම් කළහ.

එලීටිස්ට්ලා අනුමත නොකරන්නේ ද ආණ්ඩුවේ නොවන සංවිධානයකට මාධ්‍ය හමුවක්, වැඩමුළුවක්, පුවත්පත් කලාවේදීන්ට පුහුණුවක්, පුවත් නිවේදන බෙදාහැරීමක් යනාදියට පවා වර්තමානයේ ඉඩක් නැත.

ටියුෂන් පංති නීතියෙන් තහනම් වූ ඉතිහාසයක් ඇති රටක, දේශීය විදේශීය පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ වූවත් ඒවායෙන් කුමන දැනුමක් පමණක් බෙදන්නට රජයෙන් අවසර කොයි අයට පමණක් ලැබේවි ද?!!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on ජූලි 16, 2014 at 11:14 ප.ව.

    මම හිතන්නේ නෝනේ ඕකට ගැලපෙන නම පුහු මාන්නඃකාරයෝ කියන එකයි. මෝඩ බුද්ධිමතුන් කියන එකත් ගැලපෙනවා.

    • arunishapiro said, on ජූලි 17, 2014 at 9:03 පෙ.ව.

      maathalan,

      මෝඩ බුද්ධිමතුන්?!!! බුද්ධිමත් කියනවාට වඩා සමහර විට, “මෝඩ උගතුන්” යන්න වැඩියෙන් ගැලපේවිදැයි බලමු… නොමිලේ බෙදපු අධ්‍යාපනයේ දී දක්කාගෙන යන පහසුව සඳහා පවත්වන ලද උගත්කම මැන බලන විභාග පාස් වෙච්ච අය මෝඩ උගතුන් ද?!!!

      //සමාජවාදය කියන්නේ ධනවාදයේ තිබෙන ලාභ ලැබීමේ කෑදර ආශාවේ ප්‍රතිවිරෝධයයි. සමාජවාදය කියන්නේ ධනවාදයේ කෑදර පරිභෝජනවාදයේ ප්‍රතිවිරෝධයයි//

      මේවා විශ්වාස කරමින් විභාග පාස් වුනාට, ලාභ හෙව්වේ නැත්නම් ස්වභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය නාස්ති වෙන බව දකින්නට බැරි අය ද? පරිභෝජනවාදය යනු ධනවාදය නොවේ විසල් ආණ්ඩුවක බලතල වැඩිකරගන්නට දක්කාගෙන යන්නට හදපු කේන්සියන්වාදී සැලසුම් බව දකින්නට බැරි අය ද? 😀

      නැහැ .. මෝඩ උගතුන් වූවාට එපමණින් එයාල එලීටිස්ට්ලා නෙමෙයි.

      fake pride කියන එකට හරියන සිංහල වචනෙ තමයි පුහු මාන්නය.

      arrogant කියන එකට හරියන සිංහල වචනෙ තමයි උද්ධච්ච.

      elitist එලීටිස්ට් වලින් කියැවෙන්නෙ ඒ දෙකටම වෙනස් අර්ථයක්. පුහු මාන්නය නැති, උද්ධච්ච නැති, මෝඩ උගතුන් වූ/නොවූ අයත් එලීටිස්ට් හැදියාවෙන් යුතුයි. එලීටිස්ට්ලාට අනෙක් අයට නැති, උප්පත්තියෙන් ලැබිච්ච හෝ ස්ව උත්සාහයෙන් ලබාගත් යමක් තියෙනවා. ඒ නිසයි ඔවුන් තරයේ විශ්වාස කරන්නේ අනිත් අයට නැති මේ මේ දේවල් ඔවුනට ලැබිය යුතු යැයි කියා. ඒ හිතන හැදියාවෙන් ඔවුන් තරයේ විශ්වාස කරනවා තමන් ඇතුළු රටේ පොදු ජනතාව සඳහා හොඳ නරක දේවල් මොනවාදැයි තීරණය කරත හැකි, ඔවුන් වගේම අනෙක් අයට වැඩියෙන් ඉහළ මට්ටමක ඉන්න පිරිසකට හැකියාව තියෙනවා, ඒ අයට ඒ බලය දිය යුතුයි කියල.

      විභාග සහතික වලින් පෙන්විය හැකි උගත්කමක් නැති, උප්පත්තියෙන් ලැබිච්ච කුල තත්වයක්, රූප සොබාවක් හෝ ධන සම්පත් උරුම නැති, සහජයෙන් පිහිටන ලද කුසලතාවයක් දක්ෂතාවයක් ද නැති, අනෙක් අයට වැඩියෙන් කැපී පෙනෙන වර්ධනය කරගත් කුසලතාවයක් හෝ දක්ෂතාවයක් ද නැති ඒකීය පුද්ගලයා වනාහී ඔහු වෙනුවෙන් තනි තීරණ ගන්නට හැකියාවෙන් යුතු නැහැයි කියල හිතන අයයි එලීටිස්ට්ලා.

      කෙටියෙන් කිව්වොත් වෙළඳපොලේ තියෙන කිරිපිටි බොනවා ද නැද්ද කියලා තමන්ට තනි තීරණයක් ගන්නට ඒකීය පුද්ගලයෙක්ට බැහැයි කියලා හිතන අයයි!!!!! මේ එලීටිස්ට්ලා ඉතින් හැම විටම කරන්නෙ තනි තීරණ ගන්න නොදන්නා යැයි ඔවුන් සලකන අයගේ කැමැත්තට ඉඩ නොදෙන්න නීති රෙගුලාසි පනවන්න සපෝට් කරන එකයි මාතලන්!!!!! 😀

        • arunishapiro said, on ජූලි 19, 2014 at 8:24 ප.ව.

          “dcd කිරිපිටි, අයිස්ක්‍රීම් දන්සල් බවට පත්වීම කණගාටුවට කරුණක් අද පෝෂණ පාගමන අවසානයේ ඇමති චම්පික කියයි”

          බලයෙ ඉන්න ජනාධිපති එක්ක පා ගමන් ගිහින් ලෝකයට පෙන්වද්දී දරුවො බොන කිරිපිටි වල වසවිෂ තියෙනවා කියල ඒ ගැන සතේකට ගණන් ගන්නෙ නැතිව සමාගම් වෙළඳපොලට විතරක් නෙමෙයි දන්සැල් වලිනුත් DCD කිරිපිටි බෙදද්දී වෙන රටවල නම් එහෙම වැඩ බැරි ඇමතිලා තනතුරෙන් ඉල්ලා අස්වෙනවා … 😀

          ඔය DCD ආශ්‍රිත කිරිපිටි වක්‍රාකාරයෙන් වෙළඳපොලට පැමිණීම නවත්වන්න බැරි, ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය දිනපු ජනාධිපතිටත් වඩා ඉහළ කවුරු හරි ලොක්කෙක් රටේ ඉන්න නිසා ද? දැන් ලංකාවේ DCD ආශ්‍රිත කිරිපිටි විකුණන්නෙ ගංජා හෙරොයින් වගේ පාතාල ලෝකයේ මැරවරයන් ද? නැත්නම් දැන් ලංකාවේ ගංජා හෙරොයින් බෙදන දන්සැලුත් තියෙනවා ද?!!!

          • maathalan said, on ජූලි 20, 2014 at 9:03 පෙ.ව.

            මට වඩා හොඳට ඔයා දන්නවනේ ඇත්ත නැත්ත. අර සෙන් කතාවේ හාමුදුරුවෝ වගේ. මම කෙල්ල බිමින් තියලා මගේ ගමන යනවා. ඔයා තාම කෙල්ල කරේ තියාගෙන යනවා.

            • arunishapiro said, on ජූලි 20, 2014 at 9:29 පෙ.ව.

              maathalan,

              උපමාව ගැලපෙන්නෙ නැහැ මාතලන් මහත්තයෝ!

              මාතලන් මහත්තයට පුද්ගලිකව යමක් කියලා නැහැ, ඉහත ප්‍රතිචාරයෙන් පෙන්වා ඇත්තේ අධ්‍යාපන ඇමතිවරයෙක් හරක් බලන කොල්ලන්ට අපහාස කරද්දී, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ ඇමතිවරයා සිය දැක්ම හා හැදියාවෙන් විද්‍යාත්මක විධි ක්‍රමය කුමක්දැයි නොදන්නා බව පෙන්වන හැටියි.

              scientific method: a method of procedure that has characterized natural science since the 17th century, consisting in systematic observation, measurement, and experiment, and the formulation, testing, and modification of hypotheses.

  2. Krishna Ramanayaka said, on ජූලි 18, 2014 at 11:40 ප.ව.

    පින් අධ්‍යාපනේ ගැන සංවාදයක් මූනු පොතේ බැලට් බොක්ස් වල ගියා . අපේ අටේ එලිටිස්ට් හැදියාවෙ දරුණුකමට ඒ සංවාදෙ හොඳ උදාහරණයක්. අරුනි අක්ක අර මේ ආර්ටිකල් එකේ දෙවෙනි ෆොටෝ එකේ ඉන්න කොල්ලයි අම්මයි( ආර්ථිකයට සැබෑ ලෙසම දායක වෙන ) දැක්කම ඔයාට මෙහෙම හිතෙන්නැද්ද . අර පැය තුනේ කතාව කිව්ව ප්‍රොපයි/ ගරු ඇමතිතුමයි අර කොල්ල දක්කන් යන රැලටම දාන්න

    • arunishapiro said, on ජූලි 19, 2014 at 7:45 ප.ව.

      Krishna Ramanayaka,

      එයාල දැනටමත් වැටිලා ඉන්නෙ දක්කන් යන රැලේ තමයි. එයාලව දක්කන්නෙ අසමාන පුද්ගලයන්ට සමාන ලෙසින් බෙදන්න හැකි යැයි සිතන සියල්ලන් විසින් යන බංකොළොත් භාවයේ අගාධයට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: