අරුණි ශපීරෝ‍ වෙතින්

අච්චාරු කඩේ -Achcharu Kadé

Posted in Uncategorized by arunishapiro on ජූලි 21, 2014

10530757_263927873808487_974490924742304780_n

ලියාගෙන යන සටහන් වලින් පොඩි විරාමයක් ගන්න හිතුව අච්චාරු කඩේ ගැන ලියන්න. පටන් අරගෙන වසරක් සපුරා නැති අච්චාරු කඩේ කියන්නෙ සෙනසුරාදා උදේට රේස් කෝස් එකේ වාහන නැවතුම්පොළේ කෑම විකුණන, ගෙනියන්න දෙන සහ ඕඩර් කළාම කෑම ළඟටම ගෙනැත් දෙන ව්‍යාපාරයක්.

මම දැක්කෙ මුහුණුපොතෙන්. එයාල කවුද කියල මම පුද්ගලිකව දන්නෙ නැහැ. ටික කාලයක් තිස්සෙ එයාල දාන පින්තූර බල බල මම මෙහෙ ඉඳන් කෙළ ගිලිනවා. ඒවා බලද්දී එපික්‍යුරියන් ආශාවන් ඉස්මතු වෙලා ඒ කෑම කන්න ලංකාවට එන්නත් හිතෙනවා!!!

අන්න එහෙමයි රටට සංචාරකයන් ගෙන්න ගන්න නිවැරදි විදිය.

මේ සටහනට එකතු කරන අන්නාසි කරියේ පින්තූරයට ඔවුන් එකතු කරපු කියමනයි මේ: Yay! Our ‘Speedy Gonzalez’ Pineapple curry is back on the menu tomorrow Creamy Kirikos, Speedy Gonzalez, Tempered wild Beets, Mallung and Kochchi sambol with Chicken, Fish or Crab (Order early !!) 0727 877025

ලෝකයේ බහුතරයක් දන්න ස්පීඩි ගොන්සාලේස් කියන්නෙ ලූනි ටියුන්ස් සහ මෙරී මෙලඩීස් කාටූන් වල රඟපාන කාටූන් මීයා. ස්පීඩි ගොන්සාලේස්ව දක්වන්නෙ මුළු මෙක්සිකෝවේම ඉන්න වේගවත්ම මීයා හැටියට. උගෙ ඔළුවට වඩා විශාල කහ පාට සොම්බ්‍රේරෝ කියන මෙක්සිකන් තොප්පියක් දාගෙන තමයි ස්පීඩි ගොන්සාලේස් හැම තැනම අතිශය වේගයකින් දුවන්නෙ.

ඉක්මණින් අලෙවි වෙන අන්නාසි කරියකට කියාපු නම!!!

1925 දී රොන් බුහොල්සර්ගෙ පවුලේ හැමෝම ස්විට්ස්සර්ලන්තයෙන් පිටවෙලා ඇමෙරිකාවේ විස්කොන්සින් වල පදිංචියට ආව. අද විස්කොන්සින් කියන්නෙ චීස් නිෂ්පාදනයට නම් දරාපු ප්‍රාන්තයක්. ස්විට්ස්සර්ලන්තයෙන් ආපු මෙයාලත් චීස් කර්මාන්තයට බැස්ස. පවුලේ ගොවිපොලේ ඔවුන් හදපු චීස් අතර වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නෙ ෆෙටා නම් චීස් වර්ගය. වැඩියෙන් ඒ චීස් භාවිතා වෙන්නෙ ග්‍රීක් සැලඩ් ආකාරයට සැලඩ් හදද්දී.

යුරෝපීයයන්ට නැහැනෙ ගෙදර ගරාජ් වල පටන් ගෙන සුළු කාලයකින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ව්‍යාපාර. ඉතින් එයාල ගෙනෙන උත්සාහයක් තමයි එයාලගෙ රටවල එනමින් යුත් ආහාර වෙන රටවල අය විසින් නිෂ්පාදනය කරලා ඒ නම් වලින්ම ලෝකෙ පුරා විකුණන එක තහනම් කිරීම.

විස්කොන්සින් ඇවිත් ෆෙටා චීස් හදලා ලොව පුරා විකුණන බුහොල්සර්ට දැන් ඒ චීස් ෆෙටා නමින්ම දකුණු කොරියාවට යවන්න තහනම්. ඒ වගේම කැනඩාවේ අයත් ගෙනාපු නීතියක් තියෙනවා ග්‍රීසියේ නිෂ්පාදනය වූයේ නැත්නම් ඒවට ෆෙටා කියන්න බැරි. “ෆෙටා වගේ” නැත්නම් “ෆෙටා ස්ටැයිල් එකේ” චීස් යැයි කියන්න තහනමක් නැහැ!!!!

යුරෝපීය යුනියනය ඉතින් ෆෙටා, ආසියාගෝ, ගොර්ගොන්සෝලා, මන්ස්ටර් සහ ෆොන්ටිනා වැනි චීස් වර්ග ඇතුළු ආහාර නම් 45 කට මේ ආරක්ෂාව සලසන්න නීති ගෙනැවිත්.

ඇමෙරිකාවේ දී ආහාර නමකට එවැනි නීතිමය ආරක්ෂාවක් ලැබෙන්නෙ යම් පළාතක හදනවා කියද්දී විතරයි. උදාහරණ හැටියට පාර්මිජානෝ රෙජ්ජානෝ කියල කියන්න බැහැ ඒ චීස් ඉතාලියේ ඒ පළාතෙ හදන්නෙ නැත්නම්. ඒත් ඒකට පාර්මිජාන් චීස් කියන්න පුළුවන්. ඇමෙරිකාවේ අය කියන්නෙ පාර්මිශාන් කියල. ෂැම්පේන් බොනවා කියන්න පුළුවන් ඕන ෂැම්පේන් වර්ගයක් බොද්දී. ඒත් අලෙවියට තියන බෝතලේ ලේබල් එකට ෂැම්පේන් නම දාන්න බැහැ මිදි ප්‍රංශයේ ෂැම්පේන් පළාතෙන් නොවෙද්දී.

ආහාර නම් ගැන යුරෝපීය ඇමෙරිකන් පළහිලව්ව මේ ලිපිය ඇසුරින්.

යුරෝපීය නම් ඇති චීස් වර්ග දකුණු කොරියාව වගේ රටක ප්‍රසිද්ධ වූයේ ඇමෙරිකන් කොම්පැණි මහා පරිමාණයෙන් හදලා අඩු මිලකට මිල දී ගන්නට හැකියාව සෙසු ලෝකයට දුන්නට පස්සෙ. ඒවා ඇමෙරිකාවේ දී හදන්න පටන් ගත්තෙත් යුරෝපය දාලා ඇවිත් ඇමෙරිකන් වෙච්ච අය. යුරෝපයට වඩා ඒ චීස් වර්ග අද ඇමෙරිකාවේ දී මිල දී ගැනීම ලාබ ඇයි දැයි අයෙක් හොයනවා නම් හේතුව ඔවුන්ම දාගත්තු ආරක්ෂණ නීති රීති නිසා බව පැහැදිලියි.

වෝනර් බ්‍රදර්ස්ලා තහනම් කරන්නෙ නැහැ ස්පීඩි ගොන්සාලේස් නම ගත්තැයි කියල අන්නසි කරියකට. අන්නසි කරියේ නම කියවලා කාටූන් රඟපාන මීයා මතක් වෙන එක වෝනර් බ්‍රදර්ස්ලාට වාසියක්. ඔන්න මීයෙක් රඟපාන කාටූන් චිත්‍රපටියක් ඒ නමින්ම හැදුවා නම් ඒක වෙන කතාවක්!!!

මේ වගේ තමන්ගෙ මුදල් වලින් කැමති නම් මිල දී ගන්න ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අයට මගෙ සහාය දෙන්නෙ හැමදාම වර්ජන පෙළපාලි ගිහින් අනුන්ගෙන් උදුරලා තව අයට බෙදන සැලසුම් හදන අයව විවේචනය කරමින්. ඉතින් අච්චාරැ කඩේ -Achcharu Kadé ගැන වූ මේ සටහන මුදල් ගෙවීමක් නැතිව පළ කරන ලද ඔවුන්ගේ වෙළඳාම තව තවත් වැඩිකරන දැන්වීමක්ම වේවා!!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ජූලි 22, 2014 at 11:20 පෙ.ව.

    පොහ්………………..විස්තරේ කියෙව්වම කාලා යන්න එන්න හිතෙන තරම් රසවත්.

  2. Shehan Senadheera said, on ජූලි 23, 2014 at 11:07 පෙ.ව.

    අනිවාර්යයෙන්ම කාල බලන්නම හිතෙනවා…

  3. Mahesh Chandrawansha said, on ජූලි 23, 2014 at 10:25 ප.ව.

    දිනපතා මූනුපොතේ දකින්න ලැබෙන ඔයකියන දැන්වීම් පෙළ අනිවාර්යෙන්ම ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි දැන්වීම්කරණයේ ඉහලින්ම ක්‍රියාත්මක වෙන්නේ “අච්චාරු කඩේ” හිමිකාරිණිය කෑම ජාති හදලා විකුනන්න කලින් වෙළඳ දැන්වීම්කරණයේ යෙදිලා හිටපු කෙනෙක් නිසා වෙන්න ඇති.
    අරුණි කිව්වා වගේම අපේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන ඇත්තෝ මේවගේ දේවල් වලින් ආදර්ශ ගන්නවානම් ඒ අයගේ වැඩේ තවත් සාර්ථක වෙනවා ඒකාන්තයි.

    • arunishapiro said, on ජූලි 24, 2014 at 8:18 පෙ.ව.

      Mahesh Chandrawansha,

      වෙන්න ඇති! හැබැයි, දැන්වීම්කරණයට වැඩියෙන් කාරණා දෙකක් වැදගත්. පළමුවැන්න, ඇයගේ අච්චාරැ සංකල්පය ලංකාවේ උපන්/හැදිච්ච වැඩිච්ච අයෙක්ට සෑහෙන්න සමීප ඒත් 2006 දක්වා කිසිවෙක් දියත් නොකළ ව්‍යාපාරයක් වීම. දෙවැන්න, අදහසක් තිබ්බට මදි දිවට රස දැනෙන විදියට හදලා පාරිභෝගිකයාට ගතහැකි මිලට සැපයීමේ කුසලතාවය.

      ඔව්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ගතහැකි ආදර්ශ පුද්ගලික අංශයෙන් නිතර දකින්න පුළුවන්. ඒත් එතැන දී පුද්ගලික අංශයේ අයෙක් අවදානම් ආයෝජනයක් කරන්නේ තමන්ගෙ මුදල් නිසා ඍජුව ප්‍රතිඵල දැක ගැනීමට හැකියි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට යට කරන්නේ මහජන මුදල් නිසා ප්‍රතිඵල මොනවාදැයි නාස්තිය මොනවාදැයි මැනීමට කොච්චර අවංක අය සේවය කළත් ඊට නොහැකියාව. මේක පැහැදිලි කරලා පෙන්වන්නෙ ලුඩ්විග් වොන් මීසස් නම් අර්ථශාස්ත්‍රඥයයි. එහෙම පුළුවන් කියලා අනේක විධි සංඛ්‍යා ලේඛන ජිල්මාට් දාන අය ලෝකෙ ඕන තරම් ඉන්නවා… ඊට ගජ හපනෙක් වූ ලංකාවේ ඇමතිවරයා, තමන් කරපු සංඛ්‍යා ලේඛන ජිල්මාට් ආණ්ඩුව කරද්දී වැරදියි කියලත් මේ දවස්වල ලෝකෙටම කියනවා!!!!

  4. maathalan said, on ජූලි 24, 2014 at 1:58 පෙ.ව.

    නොනේ කෑම සූත්‍ර ගැනත් ලිව්වා නම්.. ඔහේ කොළඹ ආවොත් හෙම ආයේ ඇමරිකාව දිහා ඔළුව දාලා නිදා ගන්නෙවත් නෑ ඕන්..

  5. Pradeep Jayatunga said, on ජූලි 24, 2014 at 6:22 පෙ.ව.

    මේකට අදාල නැතුව ඇති. ඒත් මේක කියෙව්වහම මතක් වුනා. ඇමරිකාවට සංක්‍රමණය වූ අයගෙ නම් Anglicized / Americanized වුන එක ගැන ලියන්න අදහසක් නැද්ද? Bill Bryson ලියල තියනව හැබැයි ඒ බහුතරය යුරෝපීයයන්.
    දැන් ගොඩක් ඉන්දියන් නම් වෙනස් වෙලා තියනව නේද? (වෙස්ට් ඉන්ඩීස් වල ඒක. වෙලා හුඟක් කල්)
    ශ්‍රී ලාංකික නම්?

    • arunishapiro said, on ජූලි 24, 2014 at 8:24 පෙ.ව.

      Pradeep Jayatunga,

      හොඳ අදහසක් … ප්‍රංශ, ජර්මන් වගේ ම රුසියන්, පෝලන්ත සහ චීන, ජපන්, ඉන්දියන් සංක්‍රමණිකයන් අතර එහෙම වෙනසට භාජනය වූ නම් ගැන සිත්ගන්නා සටහනක් ලියන්න හැකියි.

  6. Krishna Ramanayaka said, on ජූලි 24, 2014 at 12:55 ප.ව.

    ඔය අච්චාරු ස්ටෝල් එකක් 2 වෙනි හරස් වීදියෙ පවත්වාගෙන යනව.එතන වර්ග රාශියක් තියෙනව බිස්නස් ඉතාම සරුයි .එයා නිකන් වෙරලු වික්කත් ඒව උඩට ලස්සනට ලුණුකුඩු මිරිස්කුඩු දාල පුදුම ආකර්ෂනයක් ගන්නව. මට
    අච්චාරු කඩේ දැක්ක ගමන් ඔලුවට ආවෙ අර තැන. හැබැයි මේ අච්චාරු කඩේ අර කන්සෙප්ට් එක හොදට දියුණු කරල මාකට් කරනව.ඇත්තටම වෙන්න ඕනැ ඒකනෙ.

    • arunishapiro said, on ජූලි 24, 2014 at 9:40 ප.ව.

      Krishna Ramanayaka,

      අච්චාරු කඩ අතර තරඟයක් තියෙනවා නම් එය පාරිභෝගිකයාට වාසියක්; තරඟය අභියෝගයක් හැටියට බාරගන්න කඩ අදට වඩා හෙට එයාලගෙ නිෂ්පාදනය දියුණුවෙන් දියුණුවට ගෙන යන විධි ක්‍රම හොයනවා. එයින් ඔවුන් පාරිභෝගිකයාට පිරිනමන භාණ්ඩයේ අගය තව තවත් වැඩි කරගන්නවා.

      වෙළඳපොල තරඟය හැමෝටම වාසියි.

      ඒත් වෙළඳපොලේ තියෙන්න ඕනෑ තමන්ගෙ අච්චාරු කඩේ විතරයි කියල හිතන පටු චින්තනයේ හිර වුනොත් වෙන්නෙ පිටස්තරයන්ගේ මැදිහත්වීම් තුලින් තමන්ගෙ කඩේට වැඩියෙන් වාසි සහනාධාරත් අනෙක් කඩ අමාරුවේ දාන නීති රෙගුලාසිත් ඉල්ලන එක. වෙළඳපොලේ තරඟයක් නැතිවුනාම තෝරාගැනීම් නැහැ පාරිභෝගිකයාට. තමන්ගෙ නිෂ්පාදනය වැඩි දියුණු කරන උවමනාවක් ද නැතිව යනවා නිෂ්පාදකයාට.

      මැදිහත්වීම් හැමෝටම අවාසියි.

  7. Krishna Ramanayaka said, on ජූලි 25, 2014 at 7:37 පෙ.ව.

    තරඟකාරිත්වය සහ නිදහස් වෙළඳපොල සංකල්පය අපේ හුඟ දෙනෙක් පටලවාගෙන ඉන්නෙ.එය ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පැවසූ පරිභෝජනවාදී එක්ක.ඒ අයට තේරුම් ගන්න බැහැ නිදහස් වෙළඳපොලක තරඟකාරිත්වය මත සම්පත් අවමයෙන් කාර්යක්ෂමව යමක් වෙළඳපොලට පැමිණීම තුලින් පාරිභෝගිකයා සේම නිෂ්පාදකයාටද ලාභයක් හිමිවන බව.අවම සම්පත් භාවිතාව කාර්යක්ෂමව යෙදවීම ව්‍යවසායකයාට ලාභයක් සේම ගුණාත්මක භාණ්ඩයක් ලාභදායි මිලකට ගැනීමට පාරිභෝගිකයාට හැකිවේ. පුද්ගලික ව්‍යවසායකත්වය හුදෙක් මංකොල්ල කන ආර්ථිකයක් කියා බැන වදින අය එය හුදු පරිභෝනයවාදයක් ලෙස එය ගැනීම දෝෂයේ මුලයි.

    • arunishapiro said, on ජූලි 25, 2014 at 10:15 පෙ.ව.

      Krishna Ramanayaka,

      මේ ටික අවබෝධ කරගන්න බහුතරයට නොලැබුනේ/නොලැබෙන්නේ නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනය හේතුවෙන්.

      මේ අවබෝධය ඇති ලංකාවේ සිංහලෙන් ලියන ඔබ වැනි අයෙක් දකින්නට ලැබීම නිසා අයින් රූන්ඩ් ලියූවක් මේ අඩවියෙන් ද බෙදා ගන්නට හිතුණ. මෙය බෙදාගත්තේ මුහුණුපොතේ ලිබටේරියන් කෙල්ල, ඇයගේ මිතුරෙක් මිතුරියක් වීමෙන් මෙවැනි අදහස් ඇති අයට දිනපතා දිරියක් ලැබෙන වදනක් අහන්නට අවස්ථාවක් පාදාගන්නත් පුළුවන්.

      සිංහල පරිවර්තනය:
      හිලව් කළ නොහැකි ලෙස
      පුළිඟුව පුළිඟුව බැගින්
      ඔබේ ගින්න නිවී යන්න දෙන්න එපා,
      හරියට නැති, තවමත් නැති, කවදාවත් ඇති නොවන
      බලාපොරොත්තු සුන් වී ගිය ගොහොරුවක් මැද

      කිසිදා දිනාගන්නට බැරි වූ
      ඔබට ලැබිය යුතු ජීවිතයට
      ඉච්ඡාභංගත්වය පමණක් ඉතිරි කරමින්
      ඔබේ ජීවයේ වීරයාට
      වැනසී යන්නට ඉඩ නොදෙන්න

      ඔබට රිසි ලෝකය
      දිනාගත හැකියි
      එය පවතියි
      එය සත්‍යයකි
      එය හැකියි
      එය ඔබේය.

      -අයින් රූන්ඩ්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: