අරුණි ශපීරෝ‍ වෙතින්

අනාගතය ගැන බලාපොරොත්තුවක්

Posted in Uncategorized by arunishapiro on ජූලි 23, 2014

Unknown

නිදිමතේ ගිහින් පෝලිම්වල ලැගීම අවසන් වී යද්දී, භුමිතෙල් ගඳ රෙදි වලින් ගවුම් ඇඳපු කාලේ ඉවර වෙද්දී, ගුල්ලො පණුවො නැති පාන් කන්න ලැබෙද්දී තමයි හත් හවුලේ කැඳ හැලිය ගැනත් හත් අවුරුදු සාපය ගැනත් යාන්තම් දැනුමක් ලබන්නෙ මම. හිත ඇදිලා ගියෙ දේශපාලන ‘මඩ පොත්’ කියවන්න නෙමෙයි, සතුට පත්තරේට. එදා සතුට පත්තරේ බෙදුවේ කාටූන් චිත්‍රකතා විතරක් නෙමෙයි, අනාගතය ගැන බලාපොරොත්තුවක්!!!!

ඇයි සමහරු නියපොතු ආලේපන ගාන්නෙ? ඇයි තව සමහරු අනුන්ගෙ නියපොතු ඒ අය ආලේප කරගන්නවාට තදින්ම විරුද්ධ?!!!!

නියපොතු පාට කරන එක ජීවිතය පවත්වා ගන්නට අත්‍යාවශ්‍ය වූවක් නෙමෙයි. ඒත්, මිනිස් ජීවිතයක් කියන්නෙ පවත්වා ගැනීමක්, ප්‍රජනනයට හවුල් වීමක්, වදපු දරුවන් ඇතිදැඩි කිරීමක් පමණක් ද?

මේ මේ දේවල් වලින් පෝෂණය වෙන්න යැයි අනුන් කියද්දී ඒවායෙන් පමණක් පෝෂණය වෙන්නට සිද්ධ වීමක් ද?

එහෙමත් නැත්නම් තමන්ගේ සිතට සතුටක් ගෙනෙන, නියපොතු ආලේපනය කරනවා වැනි අනුන් දකින ‘ඵලක් නැති යමක’ නියැළීමෙන් තමන් සතුටක් විඳීමට ඉඩකඩක් නිදහසක් හැකියාවක් තිබීම ද?

අයෙක් සතුට ලබන්නේ කුමකින් ද කියා තීරණය කිරීම තවකෙකුට පැවරිය හැකිද?

‘ඵලක් නැතැයි” තමන් දකින්න අනෙක් අයෙක් භාවිතයෙන් තමන්ගේ ආර්ථිකය සරුසාර වෙනවා ද? බංකොළොත් වෙනවා ද?

ඒවා ගැන හිතන්න හොයන්න මම ඉබේටම පටන් ගත්ත. උත්තරය තියෙන්නෙ ඇමෙරිකන් ව්‍යවස්ථාවේ කියලත් එනම් ජීවිතය, නිදහස සහ සතුට සොයා යෑමට සෑම පුද්ගලයෙකුටම අවස්ථාව තිබිය යුතුය යන්නත්, ඒ නිසාම හැම දෙනාගේම ආර්ථිකයන් සරුසාර වෙන බවත් අහන්නට දැනගන්නට අවබෝධයට මට ලැබෙන්නෙ ඉතින් ඊට පස්සෙ තවත් අවුරුදු පහලොවක් විස්සක් විතර ගියාම.

බලතණ්හාධික පුද්ගලයෙකුට තමන්ගෙ බලය වැඩි කරගන්නට හැකියාව ලැබෙන්නෙ තමන්ව අනුන්ට වැඩි වැඩියෙන් උවමනා වූ තරමට. ඒ වගේමයි දේශපාලනඥයෙකුටත් තමන්ගෙ බලය වැඩි කරගන්නට හැකියාව ලැබෙන්නෙ රට්ටුන්ට එයාව නැතිවම බැහැයි කියලා හිතුනොත් විතරයි.

රටවැසියා ණයගැති කරමින් බලතණ්හාධිකයා බෙදන බලයට තියෙන තරඟය නවත්තන්න නීති දාගන්නෙත් ඒ නිසයි!!!!

රාජ්‍ය සේවයේ වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා ඉංග්‍රීසි දන්න අයට ආණ්ඩුවේ රස්සාවල් තියෙනවා කියල බලතණ්හාධික නායකයෙක් දකිනව. හැබැයි රටේ වැඩියෙන් ඉන්නෙ සිංහල දන්න අය. ඉතින් සිංහල අයට නැතිවම බැරි කෙනෙක් තමයි රාජ්‍ය භාෂාව සිංහල කරලා සිංහල දන්න අය හැමෝටම ආණ්ඩුවෙ රස්සාවල් දෙන්න සමත් කෙනෙක්. ඒක කරන්න පුළුවන් ද බැරි ද කියන එක වැදගත් නැහැ, එය කරන්න පුළුවන් යැයි කියන අයෙක් විතරයි අවශ්‍ය.

වෙන රටවල් සිංහලෙන් නෙමෙයි නේද වැඩ කරන්නෙ කියලා අනිත් රටවල් වලට තමන් හදන බඩු යවන, අනිත් රටවල් වලින් ගෙන්වන බඩු පරිහරණය කරන ජනතාව හිතන්නෙ නැහැ.

ඉංග්‍රීසියෙන් වැඩ කරන්න දන්න අයට ඉංග්‍රීසි කතාකරන පිටරටවලට රස්සා හොයාගෙන යන්න පුළුවන් නේද කියලා හිතන්නෙ නැහැ.

තමන් පක්ෂපාතී වූ ප්‍රතිපත්ති නිසා හටගත් අයහපත් ඵල විපාක හමුවේ බලතණ්හාධිකයෙක් කිසිදා තමා අතින් වැරැද්දක් වූවා යැයි පිළිගන්නවා දැයි හිතන්නෙ නැහැ.

විදේශ විනිමය අර්බූදය හිටි හැටියෙ පාත්වෙච්ච කුණාටුවක් වගේ ජනතාවට පෙන්වලා මේ බලතණ්හාධිකයන් ඊ ළඟට ගෙනෙන්නේ ද තමන් පක්ෂපාතී වූ තවත් අයහපත් ප්‍රතිපත්ති.

හත් අවුරුදු සාපය යැයි හැඳින්වෙච්ච කාලයේ හිටපු “අපේ මැතිණිය” නම් වර්තමාන ජනාධිපතිටත්, චම්පික රණවක ඇමතිවරයාටත් දෙන්නටම වඩා සෑහෙන්න බලවත්!!!!!

පිටරට හදපු දේවල් වලින් ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන්න ඕනා මොනව ද නැත්තෙ මොනව ද කියල මැතිණියගේ ආණ්ඩුවේ එලීටිස්ට්ලා කෙළින්ම තීන්දු කළා. ඒ තීන්දු ක්‍රියාත්මක කළා.

ජනතාවට අහිතකර භාණ්ඩ වෙළඳපොලේ තියනවා කියල ජනතාව දැනුවත් කරන්න එදා ආණ්ඩුවේ හිටපු අය පාගමන් ගියේ නෑ!!!!

නියපොතු ආලේපන හැරැනාම විල්කින්සන් බ්ලේඩ්, නෙස්කැෆේ, ඉන්දියන් සාරි, කෙන්වුඩ් බ්ලෙන්ඩර්, ස්ටීරියෝ ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ යැයි නම් කරපු දේවල් 49 ක් වෙළඳපොලේ විකිණීම තහනම් කළා.

ඒ කාලේ ආණ්ඩුවට හොරෙන් නෙස්කැෆේ එහෙම දන්සැල් වලින් බෙදුවෙත් නැහැ!!!

හැබැයි නියපොතු අලේපන කුප්පි, බ්ලෙන්ඩර්, … නෙස්කැෆේ ඕන තරම් බොන්න තිබුණ අපේ පංතිවල හිටපු ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ගෙ ළමයින්ගෙ ගෙවල් වල දී නම්. රටට විදේශ විනිමය අර්බූදයක් තිබ්බට එයාල පිටරට සංචාර ගියා. පිටරටවල ඉගෙන ගන්න ගියා. පිටරටවල දී එයාලට මැතිණියවත් මුණගැහෙනවා!!!

මහජනතාවගේ පොදු යහපත පිණිස සමාජයේ සමානාත්මතාවය ස්ථාපිතයට එලීටිස්ට්ලා එදත් එහෙමයි හැසිරුනේ!!!!!

ඉතින් අද ලංකාවේ ඉන්න අය බලාපොරොත්තු තියාගන්නෙ තමන් හිතන පතන දේවල් තමන් ලබාගන්න අනාගතයක් ගැන ද?

නැත්නම් අද වැසියන්ට ඇත්තේ, තමන්ට හොඳ මොනවා ද නරක මොනවා ද කියලා තීන්දු කරන්න දන්න නායකයෙක් ගැන බලාපොරොත්තුවක් ද?

ලැබෙන්නේ තමන් සොයන දැයයි. ඔබ සොයන්නේ කුමක් ද?

70 ගණන් වල ජනප්‍රිය වෙච්ච බලන්ගොඩ සරත්මදුගේ දේදුනු-කැලුම් හිටපු “ඉතින් ඊට පස්සෙ” චිත්‍රකතාවේ පින්තූරය ගත් ළමා කාලයේ රසවත් මතකයන් යළි සිහිකරවන ලංකා කොමික්ස් අඩවියට ස්තූතියි!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Jeevana Fernando said, on ජූලි 26, 2014 at 9:51 පෙ.ව.

    යමෙකුගේ බලය සදාකාලික නොවේ. එය වෙනස් පුද්ගයන් අතින් අතට ගමන් කරයි
    නමුත් එම බලය නිසා පීඩාවට පත්වන්නේ එකම පිරිසකි

    • arunishapiro said, on ජූලි 26, 2014 at 10:06 පෙ.ව.

      Jeevana Fernando,

      මිනිහෙක් සදාකාලික නොවන නිසා ඔව් ඔහුගේ බලය ද සදාකාලික නැහැ. ඒත් වෙනස් පුද්ගලයන් අතින් අතට ගමන් කරද්දී එකම පිරිසක් පීඩාවට පත්වෙන්නේ එකම වරප්‍රසාද ලත් පංතියක් අතර එම බලය රැඳී සිටීම නිසයි. වැඩවසම් යුගයේ දී වරප්‍රසාද ලත් පංති වූයේ රජ පවුල්, පූජ්‍ය පක්ෂය සහ රදළයන්. වැඩවසම් හැදියාවෙන් නොමිදුණු රටවල වරප්‍රසාද ලත්තන් වෙන්නේ දේශපාලන පංතියයි.

      නිදහස් වෙළඳපොලකට ඉඩක් ලැබෙද්දී, ඒ ඒ දැය වෙළඳපොලට ඉදිරිපත් කරන අය සහ ඒ ඒ දැය මිල දී ගන්නා පාරිභෝගියන් අනුව වෙළඳපොලේ ක්‍රියාවක්* කරන හැම දෙනා අතම බලය එක හා සමානව බෙදී පවතිනවා. වෙළඳපොල ක්‍රියාවක් නොකරන අයෙක් නැති නිසා, ඒ කියන්නේ ජීවත්වෙන මිනිසුන් හැම දෙනා අතම බලය බෙදී පවතින බවයි.

      * භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගැනීමත් මිල දී නොගැනීමත් යන දෙකම වෙළඳපොල ක්‍රියාවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: