අරුණි ශපීරෝ‍ වෙතින්

මුන්ට ලැබෙන පඩියෙ අගයක් නෑ

Posted in Uncategorized by arunishapiro on ජූලි 27, 2014

IMG_1989

තරුණ අය හැල්මේ දුවන පරිහානිය ගැන වැඩිහිටියන් අවලාද කියන්නට පටන් ගත්තේ ඉතිහාසයේ කුමන කාලයකදැයි කිසිවෙක් නොදන්නා බවක් පෙනී යයි.

“දරුවන් දැන් සුඛෝපභෝගීත්වයට ඇල්ම දක්වති. ඔවුන්ගේ සිරිත් විරිත් නරක අතට හැරී ඇත. අධිකාරියට අවඥා කරති. තමන්ගේ වැඩිහිටියන්ට අගෞරවයෙන් සලකති. ව්‍යායාම් වෙනුවට කතාබහේ යෙදී සිටින්නට කැමතියි.”

ඉහත උපුටා දැක්වීම සොක්‍රටීස් විසින් කියන ලද්දක් ප්ලේටෝ විසින් සටහන් කර තැබුවක් යැයි පොදු ජනමතයයි. එහෙත් එය 1907 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි නිබන්ධනයක් සඳහා Kenneth John Freeman විසින් සකස් කරන ලද්දකි. වැඩිහිටියන්ගේ සිතට අල්ලන උපුටා ගැනීමක් නිසා එය බෙදාගැනීම තවත් දීර්ඝ කාලයක් පුරා සිද්ධ වෙනු ඇත.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විරුද්ධ පක්ෂයේ සිටිය දී සමාජ සදාචාරය හීන වී යන, ශික්ෂණයක් නොමැති, අනෙක් අයට ගෞරව නොකරන තරුණ පරම්පරාවක් ගැන අවලාද කියූවෙකි. එහෙත් ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන පරිදි වර්තමානයේ බටහිර රටවල තරුණ පරම්පරාව 60-70 ගණන් හි දී එළියට බැස්ස හිපි පරම්පරාවට වඩා බෙහෙවින් සදාචාර සම්පන්න වූ අයයි.

පසුගිය දිනෙක මා හා කතාබහ කළ ලංකාවේ විශ්‍රාමික පුද්ගලයෙකුගේ අවලාදය වූයේ ලංකාවේ පුද්ගලික අංශයේ වැඩ කරන තරුණ අයට ඉතා ඉහළ පඩි ලැබීමත්, ඒ තරුණ තරුණියන් තමනට ලැබෙන ඒ පඩිවල අගය නොදන්නා නිසා, සති අන්තවල දී දුර බැහැර ට්‍රිප් යන්නත්, රුව ලස්සන කරගන්නට මුදල් නාස්තියත්, හෝටල් වලට ගොස් නාන්න, කන්න, බොන්න කාලය හා මුදල් වැය කිරීමත්ය.

කවුද පඩියක අගය තීරණය කරන්නෙ? පඩිය දෙන එක්කෙනා ද? පඩිය ගන්න එක්කෙනා ද? අහක ඉන්න අය ද?!!!!!

සෑම මිනිස් පැටියෙක්ම මේ ලෝකෙට එන්නෙ වැඩිහිටියන්ට තියෙන සම්පූර්ණයෙන් වර්ධනය වූ වැදගත් අංගෝපාංගයක් නොමැතිව. මේ කියන්නෙ මිනිස් සතා අනෙක් සතුන්ගෙන් වෙනස් කරන විචාරාත්මක හැකියාව ගැන. මිනිස් පැටියාට මේ හැකියාව අනාගතයේ වර්ධනය කරගන්නට හැකි ආකාරයකින් පිහිටලා තියෙනව.

බහුතර සත්ව පැටව් වගේ ඉපදිච්ච ගමන් වැඩිහිටි ආරක්ෂාව ලැබිය යුතු වෙද්දී, මිනිස් පැටියා ඉපදුන දා සිට ගමන් කරන්නේ තමන්ගේ සම්පූර්ණ උත්කර්ෂවත් වැඩිහිටි තත්වය කරා යන්නටයි.

උස යන එක, බර වැඩිවෙන එක, ඇවිදින්න ඉගෙන ගැනීම යනාදියට වගේම සිද්ධ වෙන ඒවටත් වඩා මහත් සේ අගනා වූ වර්ධනයක් සිද්ධ වෙන්නෙ මනස තුළයි. තමන් අවට ලෝකය ගැන විතරක් නෙමෙයි මිනිස් පැටියා තමන් ගැනත් ඉගෙන ගන්නෙ ඔහුගේම මනස භාවිතයෙන්.

ඉතින් පැටියා ලොකු වෙද්දී අවට ලෝකය දිහා බලල, භෞතික දේවල් වලින්, ස්වභාවික සහ මිනිසා හදන ලද දේවල් තෝරා බේරා ගන්නටත් අනෙක් මිනිසුන් සමඟ විවිධාකාරයෙන් හැසිරෙන්නට ඉගෙන ගන්නව. තමන් කරන ක්‍රියාවන් තුලින් තමයි අනිත් දේවල් සහ පුද්ගලයන් ගැන විනිශ්චයන් හදාගන්නට පටන් ගන්නෙ. තමන් සොයා යන ඉලක්කයන් සාක්ෂාත් කරගන්නට විධි ක්‍රම භාවිතය තෝරාගන්නෙ.

තමන් හැසිරිය යුතු සදාචාර සම්පන්න හැදියාව මෙයැයි මිනිස් පැටියෙක් තියරියක් හදාගන්නෙ තමන් හැදෙන වැඩෙන කාලයේ උකහා ගත්තු දේවල් තුලින්.

මිනිසා ඉලක්කයක් සාක්ෂාත් කරගන්නට භාවිතා කරන්නේ එයාගේ විචාරමය හැකියාවන් තුලින්, එයාගේ පරිසරයෙන් ඍජුවම ලත් අත්දැකීම් සහ අනෙක් අයගෙ මෝඩකම් දක්ෂකම් නිරීක්ෂණය තුලින් සහ තාර්කික හැකියාවකින් යනාදියෙන් තමන්ට තමන්ම හදාගත්තු තියරියක්.

මිනිස් පැටියෙක් වැඩිහිටියෙක් බවට පත්වෙද්දී, හැකිතාක් දුරකට යම් අගයන් සමූහයක්, යම් මූලධර්ම කොටසක් සහ යම් විද්‍යාත්මක දැනුමක් එයාගේම මානසික උත්සාහයකින් එයා වර්ධනය කරගෙන ඉවරයි.

අධ්‍යාපනය කියන්නෙ මිනිස් පැටියා වැඩිහිටියෙක් වෙද්දී තම පෞරුෂයේ සෑම අංගයක්ම ගොඩනඟා ගත් මේ මුළු ක්‍රියාවලියයි. තවත් විදියකින් කිව්වොත් අවදියෙන් සිටිය දී සෑම ආකාර වලින් ම උකහා ගන්නා දැනුම තුලින් තමයි ඔහුගේ අධ්‍යාපනය සපුරා ගැනෙන්නේ.

මුරේ රොත්බාඩ් නම් ලිබටේරියානුවා පෙන්වා දෙන්නේ එයාකාරයෙන් බලද්දී සෑම මනුෂ්‍යයෙක්ම ස්වයං අධ්‍යාපනයක් (self-educated) ලබපු අයෙක් කියල. මොකද පරිසරය පමණක්ම බලපාන්නේ නැහැ වැඩිහිටියෙක් බවට පත්වෙද්දී අයෙක් ලබාගත්තු දැනුම සහ අදහස් කෙසේ තීන්දු වූවාදැයි පැහැදිලි කරන්නට. මම ඉපදුන හැදිච්ච වැඩිච්ච පවුලෙ පැටව් හතරදෙනා එකම පරිසරයක හැදුනාට හතර විදියකට “ස්වයං අධ්‍යාපනයක්” ලබා තියෙන අය!!!!!

අනික, මිනිසා හැම විටම අධ්‍යයනයේ යෙදෙන්නෙක්. අනිත් අය ගැන, ඔවුන්ගේ අදහස් උදහස් ගැන, තමන් ගැන, තමන්ගේ අභිප්‍රායයන් ගැන, ඒවා සාක්ෂාත් කරගන්නේ කෙසේදැයි කියා නොනිදන හැම මොහොතකම සිතන්නෙක්.

ඉතින් මිනිසා හැම විටම ඉගෙන ගන්නවා නම්, හැම ළමයෙක්ගේම ජීවිතය එයාගේ අධ්‍යාපනය යැයි කියනවා නම්, එහෙනම් විධිමත් අධ්‍යාපනයක් අවශ්‍ය ඇයි?

පැටියා තුල තියෙන්නෙ පරිපූර්ණව වර්ධනය නොවුන හැකියාවක්. පරිසරයෙන් සහ බාහිර සමාජයෙන් දිනපතා ලැබෙන අත්දැකීම් වලින් උකහා ගන්නට හැකි දැනුම ජීවිතය පවත්වාගන්නට උපකාර වුනත් බුද්ධිමය දැනුමක් වර්ධනයට එයින් සහායක් ලැබෙන්නේ නැහැ.

බුද්ධිමය දැනුමක් සඳහා එදිනෙදා ජීවිතයේ කටයුතු වලින් ඔබ්බට ගිය තමන්ට ලැබී තියෙන විචාරාත්මක කුසලතාවය භාවිතයට ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට අවශ්‍යයයි.

විධිමත් අධ්‍යාපනයක් අවශ්‍ය මෙම බුද්ධිමය දැනුම වර්ධනයට.

අහවල් දේ සිද්ධ වෙච්ච දින මේවා, අහවල් වීරයන් අහවල් හතුරන්ගේ මොවුන්, අඩු වැඩි කරන්නේ බෙදන්නෙ එකතු කරන්නේ මෙහෙමයි, මේක හදන්නේ මේ විදියට, යනාදිය පමණක් නොවෙයි දරුවෙකුට විධිමත් අධ්‍යාපනයකින් ලැබිය යුත්තේ.

තමන්ගේ එදිනෙදා ජීවිතයේ දී ඍජුව දකින්නට නොහැකි පැත්තක තමයි විචාරාත්මක හැකියාවක් වර්ධනයට අවස්ථාව පවතින්නෙ. අනිත් සතුන්ට නැති මිනිස් සතාට ඇති අගනා වස්තුව තමයි තම පැටියාට මනස මෙහෙයවන හැකියාවක් දීමට පුළුවන්කම.

නිරීක්ෂණය සහ නිගාමී තර්කය භාවිතයෙන් ක්‍රමානුකූලව සංවිධානය වූ බුද්ධිමය දැනුමක් පිරිනැමීම තමයි විධිමත් අධ්‍යාපනයකින් සිද්ධ විය යුත්තේ.

පොත් හොරා The Book Thief (2013) චිත්‍රපටියේ එක තැනක දී හදාගත් අම්මා ලීසල්ට කියනවා “ඔයා හරියට තාත්තා වගෙයි,” කියල. ඇය අහන්නෙ “ඒක හොඳ දෙයක් ද නැත්නම් නරක දෙයක් ද?” කියල. නාට්සි ජර්මනියේ දී මිනිසුන්ට අමතක වී ගිය මානුෂිකත්වය කුමක්දැයි මතක් කරලා දුන්න හදාගත් පියා එය කළේ තමන්ගෙ ගෙදර යුදෙව්වෙක් සඟවාගෙන ඉන්න අවදානම අමතක වෙලා.

පොත් කොච්චරක් දුන්නත් ඵලක් නැහැ සදාචාර සම්පන්න බව කුමක්දැයි බුද්ධිමය දැනුම කුමක්දැයි සොයාගන්නා ගමන යා යුතු විධිමත් මාර්ගය හදාගන්න මාර්ගෝපදේශකත්වයක් දෙන්න කෙනෙක් නැත්නම්.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 27, 2014 at 6:55 පෙ.ව.

    //මිනිස් සතා අනෙක් සතුන්ගෙන් වෙනස් කරන විචාරාත්මක හැකියාව ගැන// මේක බොහෝ ගරුවරුන්ට, උපදේශකයන්ට තෙරෙන්නේ නෑ. අධ්‍යාපන අවස්ථා සැලසීම පිළිබඳ වටිනා අදහසක් ඔබ ගෙනැවිත් තිබෙනවා.

  2. Jeevana Fernando said, on ජූලි 28, 2014 at 9:29 ප.ව.

    යකෝ….. ප්ලේටෝත් හනමිටිද

  3. maathalan said, on ජූලි 29, 2014 at 1:37 පෙ.ව.

    මම ආසම මේ කොටසට….

    කවුද පඩියක අගය තීරණය කරන්නෙ? පඩිය දෙන එක්කෙනා ද? පඩිය ගන්න එක්කෙනා ද? අහක ඉන්න අය ද?!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: