අරුණි ශපීරෝ‍ වෙතින්

ට්‍රිවියා සඳහා වෙන් වූ රාත්‍රියක්

Posted in Uncategorized by arunishapiro on ජූලි 29, 2014

IMG_1181

පඩියේ අගය සේ ම බඩුවේ හෝ සේවයේ අගයේ ද ඒවායේ ගණුදෙනුකරුවන් විසින් එකඟ වෙන මිලක් අනුව හුවමාරුවක් වෙයි ද, එවිට ඒවායේ වටිනාකම ද ක්‍රමයෙන් ඉහළ යයි. ඉහළ වේතන, අනගි භාණ්ඩ සහ සේවාවන් වෙළඳපොලේ නිරතුරුව දකින්නට ලැබේ. මේ සත්‍යය වටහා නොගන්නා අයට ද එවැනි අනගි වෙළඳපොලක පාරිභෝගිකයන් වීමට ඉඩකඩ ලැබීම යනු දේශපාලනඥයන් මෙන් නොව වෙළඳපොල යනු පුද්ගලයාගේ දැක්ම අනුව විනිශ්චයක් නොදෙන යාන්ත්‍රණයක් බව කදිමට කියා පාන්නකි.

ව්‍යාකරණ, තර්ක ශාස්ත්‍රය සහ වාග්ලංකාරය යන තුන එකතු වූ ට්‍රිවියා (trivia) යනු මූලික අධ්‍යාපනයේ මාතෘකා විය. පුරාතන රෝමයේ පාරවල් තුනක් හමු වූ ස්ථානයකට ද ඒ නම වැටී තිබුණා යැයි සැලකේ.

1960 දී විශ්ව විද්‍යාල සිසුන් විසින් එකිනෙකා සමඟ ප්‍රශ්න පිළිතුරු තරඟ පැවැත්වූහ. 1965 දී ඒ ගැන පුවත්පතකට ලිපියක් ලියූ එඩ් ගුඩ්ගෝල්ඩ් සහ ඩෑන් කාලින්ස්කි දෙදෙනා ට්‍රිවියා තරඟ සංවිධානය කළහ.

1976 දී ෂැරොන් බර්න්ස් සහ ටොම් පෝටර් යන දෙදෙනා එංගලන්තයේ දී පබ් යනුවෙන් හැඳින්වෙන ආහාර සහ මත්පැන් අලෙවි කරන අවහන්හල් සඳහා පබ් කුවිස් (pub quiz) නොහොත් එවැනි අවන්හලක දී සිද්ධ වෙන සාමාන්‍ය දැනීම තරඟ සඳහා ප්‍රශ්න මාලා සැකසූහ. ඒවා බෙදා හැරීම සංවිධානය කරන ලද්දේ ඔවුන්ගේ බර්න්ස් සහ පෝටර් ව්‍යාපාරයෙනි.

ඊ ළඟ වසර කිහිපයේ දී ඔවුන් රටපුරා සංචාරය කරමින් අවන්හල් වල සෙනඟ අඩු දිනයන් හි දී මෙවැනි සාමාන්‍ය දැනීම විමසන තරඟ පවත්වන්නට අලෙවිකරණයක යෙදුනහ. සාමාන්‍ය දැනීම ප්‍රශ්න රැගත් පොත් තුනක් ඔවුන් ප්‍රකාශනය කළහ.

කෙමෙන් බ්‍රිතාන්‍ය පුරා එවැනි තරඟ පවත්වන ලීගයන් බිහිවිය. අනතුරුව වෙනත් රටවල අවන්හල් වල දී ද මෙවැනි තරඟ ලීගයන් පටන් ගති.

මේ ගැන සටහනක් ලියන්නට සිටියත් එවැනි ට්‍රිවියා රාත්‍රී තරඟයක් නොදැක ලිවීමට සිත ඉඩ නුදුන් නිසා ඊට අවස්ථාවක් පාදා ගන්නා තුරු බලා සිටියෙමි. පහුගිය දිනෙක මේරිලන්ඩ් ප්‍රාන්තයේ බර්ලින් නගරයේ දී ග්ලෝබ් තියටර් නැමති අපි නිතර ගොඩවදින කුඩා අවන්හලේ දී එවැන්නක රස වින්ඳෙමි.

තරඟයට සහභාගී වෙන අය එදිනට කළින් මේසයක් වෙන් කරගත යුතු විය. මේසයට වාඩි වෙද්දී අවන්හලේ ආහාර පාන ලැයිස්තුව සමඟ එදින තරඟයේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කඩදාසියක් සහ පැනක් තිබිණ.

හිත මිතුරන්ට එකතු වී පිළිතුරු සැපයීමට හෝ ඒ ඒ අයට තනි තනිවම තරඟයට අවකාශය ලැබිණ. කල්ලියක් හැටියට තරඟ කර ජයග්‍රහණය කළොත් තෑගි ලැබෙන්නේ කල්ලියට බෙදාගන්නටයි. තනිවම තරඟ කර තරඟය දිනුවොත් තෑග්ග තමන්ට.

ඒ ඒ පළාතේ ට්‍රිවියා රාත්‍රී ලීගය අනුව ප්‍රශ්න විමසන හා තෑගි බෙදන ආකාරය වෙනස් වේ. සතිපතා ඒවාට යන අය සිටිති. එක දිනයක ජයග්‍රාහී වූවන් සේ ම මුළු තරඟාවලිය අවසන් වෙද්දී ලීගයේ දිනුම් ලබන අයත් වෙති.

ජයගත් අයට ඒ ඒ අවන්හල අනුව තෑගි පිරිනැමේ. අවන්හලේ ආහාර පාන සඳහා වියදම් කළ හැකි මුදල් මෙන්ම පළාතේ විවිධ ව්‍යාපාර ඔවුන්ගේ නම ප්‍රචලිත කරගැනීම සඳහා ද තෑගි ප්‍රදානය කරති.

තරඟයේ මෙහෙයුම කුවිස්මාස්ටර් යැයි හැඳින්වෙන්නාට බාර වූවකි. ඔහුගේ කාර්ය භාරය වූයේ සහභාගී වූවන් පිළිගැනීම, තරඟයේ රෙගුලාසි ඉදිරිපත් කිරීම, තරඟයේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම, පිළිතුරු පත්තර වල හරි වැරදි බැලීම සහ තෑගි ප්‍රදානයයි.

තරඟකරුවන් පිළිගැනීමට මිනිත්තුවක් දෙකක් පමණක් වැය කළ, අපි දුටු තරඟයේ කුවිස්මාස්ටර් ඉතා සුරුවම් ලෙසකින් අඩුවෙන් කතා කරමින්, රසවත් සංගීතයෙන් හා විහිළු කිහිපයකින් තරඟය මෙහෙයවීය.

මුළු අවහන්හල තුල සංගීතය බෙදාහැරියේ ද ඔහු විසිනි. ඒ සමහර ප්‍රශ්න ගීතයක් මුල් කරගත්තක් නිසාම නොව ඔහු ප්‍රශ්න අහද්දී වෙන අයෙක් අවන්හලේ සංගීතය වාදනයෙන් එය ට්‍රිවියා රාත්‍රියට සහභාගී වෙන අයට බාධාවක් ද වෙන බැවිනි.

ප්‍රශ්න වලට පිළිතුරු සපයන කාලයේ දී අවන්හල් සේවකයන් විසින් පැමිණ ආහාර ඇණවුම් ලබාගෙන ඒවා මේසයට ගෙන ආවේ තරඟයේ කටයුතු වලට කිසිත් බාධාවක් නොවන පරිද්දෙනි.

සම්පූර්ණ තරඟ කාලය පැය 3 ක් පමණ විය. ආහාර පානයෙන් මෙන්ම අහල පහළ වාඩිගත් අය සමඟ ප්‍රශ්න අලලා හටගත් සුහද කතාබහ නිසා ඒ කාලය ගෙවී යනවා දැනුනේ නැත.

එදින තරඟයට දුන් පළමු, දෙවැනි හා තෙවැනි තෑගි ලැබුනේ පළාතේ නව ව්‍යාපාරයක් පටන් ගත් මගේ දියණිය වෙතිනි. ඉතින් ඇය විසින් ඇගේ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රශ්න තුනක් ද කුවිස්මාස්ටර්ට සපයා තිබිණ. එයින් එකක් මෙසේ බෙදාගන්නම්:

මේවායෙන් යෝග ලීලාවක් නොවන්නේ කුමක් ද?
පහළ බලාගෙන ඉන්න බල්ලා (Downward Facing Dog)
මළමිනිය ලීලාව (corpse pose)
කළන්තෙ දා වැටෙන සමනලයා (Fainting Butterfly)
වයිල්ඩ් තින්ග් (Wild Thing)

අන්තර්ජාලයෙන් උත්තරය හොයා ගැනීම සඳහා මේ ට්‍රිවියා තරඟ වල දී අවසරයක් නොලැබේ. එදින තරඟයට සහභාගී වූ සියළු දෙනාම තම තමන්ගේ ස්මාට් ෆෝන් නිහඬ කර තිබෙනු දැකීමට හැකිවිය.

සිරස ලක්ෂපති තරඟයට පෙර, රූපවාහිනිය ලංකාවට එන්නට පෙර අපි පුංචි කාලේ පෝස්ට් කාඩ් වල උත්තර ලියා යවා දිනුවොත් නම සඳහන් කරන දැනුම මිනුම වැඩ සටහන් රේඩියෝවෙන් සහ පුවත්පත් වලින් පැවත්විණ.

ලංකාවේ සමහර තැන්වල මෙවැනි තරඟ පැවැත්වෙනවා යැයි ද, එහෙත් ඒවා විධිමත් ලෙසකින් සිද්ධ නොවෙනවා යැයි ද දැනගන්නට ලැබුණි. මොබයිල් ෆෝන් සහ පරිගණක වලින් සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය සඳහා වූ ෆේස්බුක් සමූහයේ දී එක්වීමෙන් පමණක් නොව සුහද මිතුරු කල්ලි වලට තැන් තැන් වලට ගොස් කමින් බොමින් තරඟ කරමින් රස විඳින්නට ලංකාවේ තොරතුරු ද අඩංගු වී සැකසෙන බර්න්ස් ඇන්ඩ් පෝටර් ව්‍යාපාර කොතරම් ඉක්මණින් බිහිවේවි දැයි බලා සිටිමි!!!!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ජූලි 29, 2014 at 8:45 ප.ව.

    ලංකාවෙ තරග පැවැත්වෙන ක්‍රමය ගැන මගේ සතුටක් නැහැ. ඒකෙදි පස්නවලට ලක් වෙන කෙනා අනවශ්‍ය සන්දර්ශනාත්මක පීඩනයකට යට වෙනවා..
    අපේ කන්තෝරුවෙත් ක්විස් කම්පිටිෂන් එකක් තිබුනා මේල් වලින්..ප්‍රශ්ණය අහලා දවසෙ ්කවර හෝ වෙලාවක මේල් එකක් එවනවා. එවිට අපිට පිළිතුර හොයලා මේල් කරන්න පුලුවනි. පලවෙනියට උත්තරේ යවන එක්කෙනා දිනුම්..ටිකක් අමාරු පස්නයක් තිබුනොත් ඉතිං ගූගල් කරලා හොයන කෙනාට වඩා මතකය තියෙන කෙනාට ඇත්තටම වාසියක් තියෙනවා..
    අවසානෙට තිබුන ක්විස් එක සෝෂල් නෙට්වර්ක් ගැන.. මට ඒකෙ තෑග්ගක් තියෙනවා. තෑගි බෙදන්න තියෙන්න ලබනමාසෙ හතර වෙනිදා..
    මම නම් පුද්ගලිකව ප්‍රසිද්ධ උත්සව වල තෑගි ගන්න කැමති නැහැ. නමුත් ඉතිං එයාලට ඒක ප්‍රසිද්ධියෙම දෙන්න උවමනා නම් මට කරන්න දෙයක් නැහැ නෙව.

    • arunishapiro said, on ජූලි 29, 2014 at 10:08 ප.ව.

      indika27,

      සුබ පැතුම්!

      ඔව්, එයාලට ලකුණු දාගන්න විදියක් නැහැනෙ පුද්ගලිකව දුන්නොත්!!!

      මේ අවන්හල් හි පැවැත්වෙන ලීගයේ දී උත්තර දෙන අය හා නොදෙන අය කවුදැයි කිසිවෙක් හඳුනාගන්නෙ නැහැ. උත්තර ලියන කොළේ හරි වැරදි බලන්නෙ කුවිස්මාස්ටර් තනියම. අන්තිමේ දී දිනපු අය හෝ කණ්ඩායම් විතරයි අපිට දකින්න පුළුවන්. ඒකත් වැඩි කාලයක් වැය නොකරන වැඩක්.

      අවන්හලකට පැමිණෙන අය විවිධ නිසා ඒ අපි කළින් නොහඳුනන අය සමඟ තරඟයක යෙදීමත් ඉතා රසවත්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: