අරුණි ශපීරෝ‍ වෙතින්

ඊශ්‍රායෙල් – ගාසා අර්බූදය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 1, 2014

Innocents Abroad

පළමු ලෝක යුද්ධය සමයේ දී ලෝකයේ යුදෙව් ජනගහණය අඩු වී ගියේ යුද්ධය, සාගත, රෝග සහ රටවල් වලින් ඔවුන්ව පිටුවහල් කිරීම නිසයි.

ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් වූ පලස්තීනය බ්‍රිතාන්‍ය යටතට 1917 අල්ලා ගැනීමත් සමඟ පලස්තීනයේ අනාගතය ගැන ලිපියක් සකස් කළ, මැතිවරණ පරාජයක් ලද නිසා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ හර්බට් සැමුඑල් 1920 දී පලස්තීනයේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හැටියට පත්විය. ජාතීන්ගේ සංගමය (League of Nations) පලස්තීනයේ බාරකරුවා බ්‍රිතාන්‍ය යැයි පිළිගත්හ. සැමුඑල් 1925 දක්වා එහි මහ කොමසාරිස් හැටියට කටයුතු කළේය.

1920 ගණන් මැද දී පලස්තීනයට ඇතුල් වූ යුදෙව් සංක්‍රමණිකයන් වැඩි වූයේ පෝලන්තය විසින් යුදෙව් විරෝධී ආර්ථික රෙගුලාසි පැනවීම හේතුවෙන්. සැමුඑල් විසින් යුදෙව් සංක්‍රමණය අඩු කරන්නට සලාක ක්‍රමයක් පැනවීය. එහෙත් අරාබි සංක්‍රමණයට කිසිත් බාධා පැනවූයේ නැත.

1920 ගණන් වෙද්දී ඇමෙරිකාව ද විද්වතුන් විසින් රට පාලනයට සැලසුම් හදන්න දන්නවා යැයි කියාගත්, ඒ විද්වත් අදහස් ඇමෙරිකාවේ දියත් කරන්නට මුලින්ම පටන් ගත් කාලයයි. ඇමෙරිකාව බංකොළොත් බවට යන මාර්ගය කැපුනේ එතැන් පටන්, හැබැයි ඒ කතාව වෙන දවසකට.

1924 ජොන්සන්-රීඩ් පනත, ජාතික සම්භව පනත, ආසියානුවන් බැහැර කිරීමේ පනත, යනාදියෙන් සංක්‍රමණ පනතක් සම්මත විය. නුසුදුසු පනත් සම්මතයට හපන් ඇමෙරිකන් කොංග්‍රසය වර්තමානයේ ද නිවැරදි සංක්‍රමණික පනත් සම්මතයට තමන් දන්නවා යැයි සිතති. හැබැයි, ඒ කතාවත් වෙන දවසකට.

1935 දී යුදෙව්වන් විශාල පිරිසක් නාට්සි ජර්මනිය හැර දමා යන්නට පටන් ගත්හ. බ්‍රිතාන්‍ය පාලකයන් මේ සංඛ්‍යාව අධික වැඩි යැයි සැලකූහ. 1922 සහ 1930 ට අමතරව 1939 ධවල පත්‍රිකාවකින් ද යුදෙව්වන් සඳහා සැලසුම් ගැසිණ. 1939 දී අරාබි ඉල්ලීම් වලට සවන් දෙන බ්‍රිතාන්‍යයන් ඊ ළඟ වසර දහය තුල දී ස්වාධීන අරාබි දේශයක් පලස්තීනයේ පිහිටුවන බවට පොරොන්දු වූහ. එසේම ඊ ළඟ වසර පහ තුල දී එන්නට අවසර දෙන සංක්‍රමණික යුදෙව්වන් සංඛ්‍යාව 75,000 කට සීමා කරන බවටත් පොරොන්දු වූහ. පලස්තීන දේශ සීමාවේ 95% ක ඉඩම් ප්‍රමාණයක් තුල යුදෙව්වන්ට ඉඩම් විකිණීම ද තහනම් කරන ලදි. නමුත් ආරබීන් ඒ ධවල පත්‍රිකාව ප්‍රතික්ෂේප කළහ. පලස්තීනයට සංක්‍රමණය වෙන අරාබීන්ට සලාක ක්‍රමයක් හෝ සීමාවක් පැනවූයේ නැත.

නාට්සි පාලනයේ දී යුදෙව්වන් බුරුතු පිටින් මරා දමන්නට පටන් ගැනීම හිට්ලර් නම් තනි පුද්ගලයාගේ අවිචාරී ක්‍රියාවක් නොවිණ. බටහිර යුරෝපයේ සිට රුසියාව දක්වා යුදෙව්වන් කෙරෙහි වූ පිළිකුල, ද්වේශය සහ ඊර්ෂ්‍යාව ලෝක ඉතිහාසය පුරා මනාවට දැකිය හැකියි. ඔවුන්ව සමූහ ඝාතනයන්ට ලක් වූ වතාවන් එමට විය. විවිධ රටවල සුළු පිරිස් හැටියට විසූ යුදෙව්වන් දෙවියන්ට කන්නලව් කළා මිසෙක තම ඉරණම මිනිස් ආකල්ප නිසා සිද්ධ වෙන්නක් යැයි හිතුවේ නැත. ඉතින් නාට්සි පාලකයන් යුදෙව්වන් මරද්දී එදා ලෝකයේ බහුතරයක් ඒ ගැන වැඩි අකමැත්තක් නොදැක්වූහ.

1939 දී St. Louis නම් ජර්මන් නැවෙන් කියුබාවට ගොඩබසින්නට 938 ක් යුදෙව්වන්ට අවසර නොදෙන්න යැයි හඬගෑවේ දක්ෂිණාංශ පුවත්පත්. 1939 දී වාර්ෂික ජර්මන්-ඔස්ට්‍රියන් සංක්‍රමණ සලාකය වූ 27,370 (එවැනි අංක තීරණයට ආණ්ඩු හරි හපනුන්) ඉක්මණින් අවසන් වූ නිසා මේ අයට බහින්නට ඇමරිකන් රජය අවසර නොදෙන ලදි. නැව ආපහු යුරෝපයට ගියේය. එවක දී යුදෙව්වන් පිරුණු නැව් හැම අත ගමන් කරමින් වාසස්ථානය සඳහා රටවල් සොයන ලදි. ලංකාවට ද එවැනි යුදෙව් නැවක් පැමිණි බවත් එහි යුදෙව්වන් බාරගත් නොගත් බවත් අසා ඇත්තෙමි.

1946 දී ඇමෙරිකන් ජනාධිපති හැරී ටෲමන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ යුරෝපීය අවතැන් කඳවුරු වලින් පිට වී යන යුදෙව්වන් ලක්ෂයකට හෝ සංක්‍රමණිකයන් වෙන්නට අවසර දෙන්නට කියායි. එවක බ්‍රිතාන්‍ය විදේශ ඇමති වූ අර්නස්ට් බෙවින් කියුවේ ඇමෙරිකාව යුදෙව්වන්ව පලස්තීනයට යවන්න හදන්නේ ඔවුන් නිව් යෝර්ක් එනවාට අකමැති නිසා කියායි.

දෙවැනි ලෝක යුද්ධය සමයේ දී පණ බේරාගෙන පලස්තීනයේ පදිංචියට යෑමට ලක්ෂ ගණනක යුදෙව්වන්ට අවසර නුදුන්නේ බ්‍රිතාන්‍යයි. පලස්තීනය බලා යන යුදෙව්වන්ව නැවත ගමන ආරම්භ වූ තොටුපොළ වෙත යවන ප්‍රථම අවස්ථාව ආරම්භ වෙන්නේ Exodus 1947 නම් නැවෙන්. එනමින් Leon Uris ලියා ඇති අනගි ප්‍රබන්ධය මේ සිද්ධිය පසුබිම් කරගත්තකි.

නැවේ සරණාගතයන් යළි ජර්මනියට බිළි දුන්නා යැයි බ්‍රිතාන්‍යයට අවලාද එල්ල වෙද්දී 1947 නොවැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ නිර්දේශයකින් පලස්තීනයේ සීමාවන් නියම විය. ඒ දෙවැනි ලෝක යුද්ධයේ අවසානයේ දී අවතැන් වූ යුදෙව්වන් ගැන කළ යුත්තේ කුමක්දැයි සැලසුම් රිසි යුරෝපීයයන් තමන් දන්නවා යැයි සිතූ හෙයිනි.

නාට්සි පාලනය යටතේ වූ යුරෝපීය රටවල් වලින් පණ බේරාගෙන පළා ගිය යුදෙව්වන් බාර ගත්තේ බටහිර රටවල් කිහිපයක් පමණි.

අබලන් නැව් වලින් යුදෙව්වන් පලස්තීනයට ගියේ හොරෙන්. 1945 සිට ඊශ්‍රයෙල් දේශය පිහිටුවන තෙක් නීති විරෝධී සංක්‍රමණික නැව් 65 ක් හැටනම දාහකට අධික පිරිසක් යුරෝපයෙන් ගෙන ආහ. නීති විරෝධී වූවන් පනස් දහසක් පමණ අවතැන් කඳවුරු වලට දැමිණ.

කිසිවෙක් ජයග්‍රහණය නොකරන යුද්ධයක් ගාසා තීරයේ ඇවිළෙන්නට පටන් ගත්තේ එරෙට්ස් ඊශ්‍රායෙල් හි යුදෙව්වන්ට දේශයක් පිහිටවන්නට කතාබහක් පටන් ගැනෙද්දීය.

1947 දී එක්සත් ජාතීන් විසින් පලස්තීනයේ සීමා බෙදන නිර්දේශ ගෙන ආවේය. බ්‍රිතාන්‍ය පාලනය අවසන් වී ස්වාධීන දේශයක් හැටියට 1948 මැයි 15 වැනි දින ප්‍රකාශයට පත් වූ පසු ඊ ළඟ දිනයේ දී අසල්වැසි අරාබි හමුදාවක් ඊශ්‍රායෙල් හමුදාව සමඟ සටන් ආරම්භ කරන ලදි.

අරාබි ප්‍රචණ්ඩත්වය ගැන ආරක්ෂක කවුන්සිලයේ දී අරාබීන්ට බැන වදින්නට ඇමෙරිකාව සමඟ එකතු වූයේ එක්සත් ජාතීන් සංවිධානයේ සෝවියට් යුනියනයේ නියෝජිත අන්ද්‍රේ ග්‍රොමිකෝ (Andrei Gromyko) ය.

සැමුඑල් ක්ලෙමන්ස් නොහොත් මාක් ට්වේන් නමින් ඔබ දන්නා හඳුනන ඇමෙරිකන් රචකයා අරාබියේ ඊශ්‍රායෙල් සහ පලස්තීනය පැත්තේ ගිහින් විදේශ අහිංසකයන් ගැන ලියූ ගමන් චාරිකා පොත ප්‍රකාශ වෙන්නේ බටහිර විරෝධය අනුව ඊශ්‍රායෙල් ගාසා යැයි පැති බෙදෙන්නට පටන් ගන්නට පෙර 1884 දීය. එහි දැක්වෙන ආකාරයට අරාබියේ කර්කශම වූ දේශය (ඊශ්‍රායෙල් ගාසා සීමා බෙදීමක් නොතිබි) පලස්තීනයයි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on අගෝස්තු 1, 2014 at 11:20 ප.ව.

    කෝ මේක 1950න් ඉවරයි නේ..ඉතිරිය ලබන සතියේද?

    • arunishapiro said, on අගෝස්තු 2, 2014 at 7:04 පෙ.ව.

      indika27,

      එතැනින් පස්සෙ කෙටියෙන් කිව්වොත් තාම සිද්ධ වෙන්නෙ අරයාට ඕන විදියට මෙයාට ඕන විදියට පලස්තීනය (ඊශ්‍රායෙල්, ගාසා) කටයුතු කළ යුත්තේ කෙසේදැයි මැදිහත් වෙන අය නීති ගෙන ඒමත් සැලසුම් හැදීමත් නිසා වියවුල් දිගින් දිගටම පැවතීම. ඇමෙරිකන් ආණ්ඩුව ලෝස් නැතිව අපේ බදු සල්ලි යවන්න ඉදිරිපත් වුනේ නැහැයි කියලා ඊශ්‍රායලය සුන්නත් දූලි වෙලා යන්නෙ නැහැ. ඊශ්‍රායලයට පුද්ගලිකව ආධාර කරන යුදෙව්වන් සහ යුදෙව් හිතවාදීන් ඕන තරම් ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඉන්නවා.

      යුද්ධයක් සාර්ථකව නිමා වෙන්න පැහැදිලි ජය පරාජයක් තියෙන්න ඕන. ඒ වගේම පරාජය වූ අයට ඉන්පසුව දිනපු අය විසින් යළි යුද්ධයක් ඇති නොවෙන විදියට සලකන්න පටන් ගන්න ඕන. නැත්නම් වෙන්නෙ කළින් ඇතිවෙච්ච යුද්ධයේ සාධක වූ දේවල් ආයෙත් ආයෙත් කරගෙන යෑම නිසා තව තව යුද්ධ ඇතිවීමයි.

  2. wicharaka විචාරක said, on අගෝස්තු 2, 2014 at 4:43 පෙ.ව.

    ප්‍රශ්න ඇතිකරලා තියන අයම අද ඒවා විසඳන්න හදන එක මුළු ලෝකෙටම පොදු අවකල්ක්‍රියාවක් වගේ මටනම් පෙනෙන්නේ.

    • arunishapiro said, on අගෝස්තු 2, 2014 at 7:06 පෙ.ව.

      විචාරක,

      ප්‍රශ්න හදන්නෙ ඒවා විසඳන්න පුළුවන් කියලා තමන්ට බැබළෙන්නට හැකි වේදිකාවක බලය අල්ලා ගන්න. දේශපාලනඥයන් විතරක් නෙමෙයි ඔවුන්ගේ කර පිටින් තමන්ගෙ බඩ වඩා ගන්න විද්වතුන් කියා ගත්තවුන්, පූජ්‍ය පක්ෂය, අනේක ජනතා හිතවාදී සමාජ සංවිධාන යනාදියේ සියල්ලන් විසින්.

  3. Wickum Malinda said, on අගෝස්තු 3, 2014 at 11:27 පෙ.ව.

    Why everybody hates Jews ?

  4. Pradeep Jayatunga said, on අගෝස්තු 4, 2014 at 2:28 පෙ.ව.

    මැදපෙරදිග අර්බුදය ගැන කියවනකොට මට හැමදාම හිතෙන එකක් තියනව. ඊශ්‍රායලය හැමදාම යුද්දෙක එහෙම නැත්නම් ඒ තර්ජනය යටතේ. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය මාද්ය නිදහස සෑහෙන්න තියනව. චන්ද තියනව. ආණ්ඩු පෙරලෙනව. කවුරුවත් කියන්නෙ නෑ රට අවදානමේ නිසා පාලකයන්ගේ දෑත් ශක්තිමත් කරන්න ඕනැ කියල. ආණ්ඩු හැමතිස්සෙමවගේ දුර්වලයි. වෙනස් වෙනව. දූෂිත දේශපාලකයින් අහුවෙනව.යුදෙව් රාජ්යයක් වුනත් secular නීති තියෙන්නෙ. අන්තවාදී යුදෙව්වන්ට තාම දේශපාලනයෙ ලොකු තැනක් නෑ. ගෑනු පිරිම එකට ට්‍රේන් වෙන එකම ආමි එක. සමාජය සෑහෙන්න ලිබරල් comparatively . ඔය ඔක්කොම අවුරුදු 50 කට වැඩි යුද හා ත්‍රස්තවාදී තර්ජන යටතේ

    • arunishapiro said, on අගෝස්තු 4, 2014 at 3:31 ප.ව.

      Pradeep Jayatunga,

      මැද පෙරදිග අර්බූදයට කළින් ලෝක ඉතිහාසය කියෙව්වම හිතෙන්නෙ ඊශ්‍රායෙල් හැදුනෙ නැතත් යුදෙව්වන් වඳ වී යන්නෙ නැහැ කියලයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: