අරුණි ශපීරෝ‍ වෙතින්

ෆලාෂාස් නම් කළු හමැති යුදෙව්වන්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2014

os

තමන්ව බෙටා ඊශ්‍රායෙල් (ඊශ්‍රායෙල් නිවසේ) යැයි හඳුන්වා ගත් ඉතියෝපියාවේ අතු පැල්පත් වල ජීවත් වූ මේ යුදෙව්වන්ව අසල්වාසීන් හැඳින්වූයේ ෆලාෂාස් කියායි. එනම් පිටදේසක්කාරයන්, ආක්‍රමණිකයන් කියායි.

ශත වර්ෂ ගණනාවක් යනතුරු ඉතියෝපියාවේ යුදෙව් කොට්ඨාශය ගැන සෙසු රටවල විසූ යුදෙව්වන් මෙන්ම සෙසු ලෝකය ද නොදත්තේය.

බෙටා ඊශ්‍රායෙල් යුදෙව්වන්ගේ ගෝත්‍රික රාජ්‍යයේ ස්වාධීනත්වය අවසන් වෙන්නේ 1624 දී ඉතියෝපියාවට සහාය දෙන පෘතුගීසින් විසින් ඔවුන්ව යටත් කරගැනීමෙනි. ඉතියෝපියාවෙන් යුදෙව් මතකය මකා දමන්නට ෆලාෂාගේ ග්‍රන්ථාරූඪ වූ පොත් හා ආගමික පොත් සියල්ල ගිනි තබන ලදි. සමහර ෆලාෂා යුදෙව්වන් සිරභාරයට වඩා උස් කඳු වලින් පැන මරණයටත් එකිනෙකාගේ බෙලි කපා ගෙන මරණයටත් පත්වීම ප්‍රිය කරන ලදැයි සඳහන්. අල්ලාගත් යුදෙව්වන් වහල් බවට විකුණන ලදි. බලහත්කාරයෙන් බව්තීස්ම කරන ලදි.

1769 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් බෲස් විසින් නයිල් ගඟබඩ ගවේෂණයක් පවත්වද්දී මේ බෙටා ඊශ්‍රායෙල් අයගෙන් පැවත එන පිරිසක් හමු වී ඇත. එවිට ඔවුන්ගේ ජනගහණය ලක්ෂයක් පමණ යැයි ඔහු ඇස්තමේන්තු කළේය.

1935 දී ඉතාලි හමුදාව ඉතියෝපියාව ආක්‍රමණය කළහ. ඉතියෝපියාවේ පාලකයා, හයිලි සෙලාසී පැන ගිහින් රැකවරණය ලබාගත්තේ ජෙරුසේලමේය. 1941 දී සෙලාසී නැවතත් ඉතියෝපියාවේ බලයට පත්වෙයි. එහෙත් සෙලාසී ධනවත් අය හා එකතු වී යුදෙව් ගොවියන්ගේ ඉඩම් අයිතිය තහනම් කරමින් 1973 දී සාගතයකට පාර කැපුවේය. 40,000-80,000 ක් අතර රටවැසියන් ඒ සාගතයෙන් මිය ගියහ.

1973 දී අරාබි තෙල් සම්බාධක තර්ජනයක් යටතේ ඉතියෝපියාව සහ ඊශ්‍රායෙල් අතර වූ තානාපති සබඳතා නැවතුණි. තවත් අප්‍රිකානු රටවල් 28 ක් ද ඒ තර්ජනය හමුවේ ඊශ්‍රායෙල් හා සබඳතා නැවතූහ.

1974 දී හමුදා කුමන්ත්‍රණයකින් කර්නල් මෙන්ගිස්ටු හයිලි මේරියම් බලයට පත්විය. ඔහු මාක්ස්වාදී-ලෙනින්වාදී ආඥාදායක ආණ්ඩුවකින් පාලනය කරන ලද්දෙකි. ඔහු බලය අල්ලා ගත් කුමන්ත්‍රණයේ දී 2,500 ක් ෆ්ලාෂාස් යුදෙව්වන් මරා දැමිණ. හත්දාහක් අවතැන් විය.

ගම්කරණයට (villagization) ප්‍රතිපත්තියක් ගෙනා මෙන්ගිස්ටු ගම්බද ගොවියන් ආණ්ඩුව යටතේ දුවන සමූපාකාර පද්ධතියකට දමන ලදි. බෙටා ඊශ්‍රායෙල් අයගේ ගම් මේ අය හා බෙදාගන්නට සිද්ධ විය. බෙටා ඊශ්‍රායෙල් අයට ඒ වෙද්දී ඉඩකඩම් හිමිකමක් නොවුණි. ඔවුන් සිටියේ යුදෙව් නොවන අය සමඟ හවුලේ වගා කරමිනි. 1989 වෙද්දී ජනගහණයෙන් 30% ක් පුද්ගලික ගොවිපොලෙන් අයින් කර, සමූපාකාර ගොවිපොල වෙත යවා තිබිණ.

ඉතියෝපියාවේ දරුණුතම සාගතය හැටියට සැලකෙන්නේ 1983-85 දක්වා මිනිස් ජීවිත ලක්ෂ හතරක් අහිමි වූ කාලයයි. ලොව බහුතරයක් ඉගෙන ගත්තේ ඉඩෝරය නිසා සාගතය හටගත් බවයි. එහෙත් පැතිර ගිය ඉඩෝරය හටගත්තේ සාගතය පටන්ගෙන මාස කිහිපයක් ගියාට පසුවය.

1977 දී ඊශ්‍රායෙල් අගමැති මෙන්චම් බෙගින් බලයට පත් වූ පසු ඉතියෝපියාවේ යුදෙව්වන් ඊශ්‍රාලයට කැඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙන්ගිස්ටු රජයට අවි විකුණන්නට පටන් ගති.

ඊශ්‍රායෙල් හමුදා ගුවන්යානකින් ඉතියෝපියන් යුදෙව්වන් 200 කට ඊශ්‍රායලය බලා හෙරෙන් පිටවෙන්නට නිල නොවන අවසර දෙන්නැයි බෙගින් ඊශ්‍රායෙල් රජය මෙන්ගිස්ටුට අවි සපයමින් ඉල්ලීය. එතැන් පටන් ඉතියෝපියන් යුදෙව්වන් මහත් පිරිසක් ඊශ්‍රායෙල් බලා රහසේ සංක්‍රමණය වූහ. යුද ආම්පන්න සපයද්දී හිස්වෙන යුද හමුදා ගුවන්යානා වලින් හොර රහසේ ඔවුන් පටවාගෙන ගොස් බේරා ගැනිණ.

1980 දී ඉතියෝපියාව හිබෲ භාෂාව ඉගැන්වීම සහ යුදෙව් ආගම ඇදහීම තහනම් කරන ලදි. ඔත්තුකරුවන් යැයි බෙටා ඊශ්‍රායෙල් යුදෙව්වන් අල්ලා සිරගත කරන ලදි. වයස 12 පමණැති යුදෙව් පිරමි ළමුන් පැහැරගෙන ඔවුන්ව බලහත්කාරයෙන් හමුදා සේවයට යැවිණ.

සාගතයේ දරුණු බව වැඩිවෙද්දී, බටහිර රටවල් වලින් ආහාර ඉල්ලන්නට සිද්ධ වෙද්දී, ඇමෙරිකාව සහ ඊශ්‍රායෙල් වෙතින් ද යදින්නට ඉතියෝපියාවට සිද්ධ විය. 1977 සිට 1984 දක්වා 8,000 ක් බෙටා ඊශ්‍රායෙල් යුදෙව්වන් ඊශ්‍රායෙල් බලා ගියහ.

ඔපරේෂන් මෝසස් යනු හොර රහසේ ඊශායෙල් විසින් ෆලාෂාස් ගලවා ගන්නට අරඹන ලද මෙහෙයුමකි. 1984 නොවැම්බර් 18 දා පටන් ගෙන 1985 ජනවාරි 5 වැනිදා වෙද්දී යුදෙව්වන් 7,000 ක් ඊශ්‍රයෙල් ගෙන යන්නට ඔවුන් සමත් වූහ. ඇමෙරිකාවේ යුදෙව්වන් විසින් වොෂිංටන් යුදෙව් සතිපතා පත්‍රයක පිටුවක් පුරා දැන්වීමක් පළ කර බැවින් හොර රහසේ කරන ලද මෙහෙයුම ගැන ලෝකය දැනගත්හ. අරාබි රටවල් සූඩානයේ ආණ්ඩුවට බලපෑම් එල්ල කළේ තව ඉතියෝපියන් යුදෙව්වන්ට ඊශ්‍රායෙල් බලා යන්නට ඉඩ දෙන්න එපා යැයි කියායි.

ඉතියෝපියාවේ හිර වූ යුදෙව් සංඛ්‍යාව 15,000 ක් යැයි සැලකේ. ඔවුන් බහුතරය කාන්තාවන්, වයසක අය, දරුවන් හා ලෙඩ්ඩු වූහ. හොර රහසේ අවදානම් ගුවන්ගමන් වලින් රැගෙන යා හැකිවූයේ කාය ශක්තියෙන් යුතු අය පමණි. බාබු යකොව්, බෙටා ඊශ්‍රායෙල් නායකයා කීවේ තමන්ව ආරක්ෂා කරගැනීමට වැඩියෙන්ම නොහැකි අයට තනිවම හතුරාට මුහුණ දෙන්නට සිද්ධ වූවා” කියාය.

1985 දී ඇමෙරිකන් උප ජනාධිපති වූ බුෂ් තාත්තා CIA මාර්ගයෙන් ඔපරේෂන් ජොෂුවා මෙහෙයුමෙන් තවත් ඉතියෝපියන් යුදෙව්වන් 500 ක් සුඩානයේ සිට ඊශායෙල් දක්වා ගෙන ගියේය. ඊ ළඟ වසර පහ තුල දී මෙන්ගිස්ටු කිසිම යුදෙව්වෙකුට රටෙන් පිටවෙන්නට නිල නොවන අවසර ද නොදුන්හ.

වර්තමානයේ දී ඒ මෙහෙයුම් හේතුවෙන් ඔවුන් අතර දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට කුමක් වූයේදැයි නොදන්නා අනාථයන් 1,600 ක් සිටිති.

මිලියනයකට වඩා වැසියන් මිය ගිය ඉතියෝපියන් සාගතය නිසා මෙන්ගිස්ටු ආණ්ඩුවේ බලය අඩු විය. 1977 සිට 1984 දක්වා මෙන්ගිස්ටු හත් වතාවක් සෝවියට් යුනියනට ගියේය. කියුබාවට, ලිබියාවට, මොසැම්බික් සහ යෙමෙන් රටවලට ගියේය. 1983/4 අප්‍රිකානු සමගි සංවිධානයේ මුලසුන හෙබවීය.

1989 දී දවස් හතරක නිල සංචාරයක් සඳහා නැගෙනහිර ජර්මනියට යන ඔහුට තම රටේ කලබල ඇති වී ජනරාල්වරු නමයක් සහ ගුවන්හමුදා කමාන්ඩර් සහ යුදහමුදා ප්‍රධානියා ඝාතනය වූ නිසා පැය 24 න් ආපහු රටට එන්නට සිදුවිය.

ඉරිත්‍රියන් සහ ටිග්‍රියන් කැරළිකරුවන් මෙන්ගිස්ටු රජයට එරෙහිව සටන් ආරම්භය සමඟින් 1990 නොවැම්බරයේ දී ඊශ්‍රායෙල් සහ ඉතියෝපියාව අතර එකඟතාවයකින් පවුලේ අය එකමුතු කරන සැලසුමක් යටතේ ඉතියෝපිය යුදෙව්වන් ගෙන්වා ගන්නට සංවිධාන කළහ.

1991 දී මෙන්ගිස්ටු රටෙන් පළා ගියේය. සැබැත් දිනයේ ඊශ්‍රායෙල් El Al ගුවන් සේවාවට රජයේ විශේෂ අවසරයක් නිකුත් කිරීමෙන් මැයි 24 වැනි සිකුරාදා පැය 36 ක් පුරා නොනැවතී El Al ජම්බෝ ජෙට් සහ C-130 ඇතුලත් ගුවන්යානා 34 කින්, හැකිතරම් යුදෙව්වන් පුරවා ගනු පිණිස සීට් ඉවත් කර, ඔපරේෂන් සොලමන් මෙහෙයුම දියත් විය.

ඉතියෝපිය යුදෙව්වන් 14,324 ක් එදින ගලවා ගැනිණ.

1948 දී ඊශ්‍රායෙල් දේශය පිහිටුවා ගැනීමේ සිට 125,000 ට අධික ඉතියෝපිය යුදෙව්වන් සංඛ්‍යාවක් ඊට සංක්‍රමණය වී ඇත. වර්තමාන ඊශ්‍රායෙල් හි ඉතියෝපිය යුදෙව්වන් 36,000 කට වඩා ජීවත් වෙන බව සැලකේ. Avraham Yitzhak ඊශ්‍රායෙල් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලද ප්‍රථම ඉතියෝපිය යුදෙව්වා විය. 2011 දී Rachamim Elazar ට ඉතියෝපියාවේ තානාපති ධූරය ලැබිණ. ඔහු ඉයෝපියන් සම්භවෙයන් එන ප්‍රථම ඊශ්‍රායෙල් තානාපතියා විය.

පින්තූරය සහ පාදක කරගත් ඉංග්‍රීසි සටහන මෙතැනින්.

මේරියම් යන්න නොව ඔහු හඳුන්වන නිවරද ඉතියෝපිය වාසගම් යෙදුම මෙන්ගිස්ටු නිසා මෙම සටහන අගෝස්තු 7 දා සංශෝධනය කරන ලදි.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: