අරුණි ශපීරෝ‍ වෙතින්

ඔවුන් ඉලක්ක කළේ යුදෙව්වන්, මැරුනේ අහිංසක ප්‍රංශ වැසියෙක්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 7, 2014

asterix1

1980 ඔක්තෝබර් 3 වැනිදා පැරීසියේ කොපර්නික් වීදියේ සිනෙගෝගයක (යුදෙව් පල්ලිය) ත්‍රස්තවාදියෙක් විසින් බෝම්බයක් පුපුරවා හරින ලදි. සැලසුම වූයේ බැතිමතුන් පිට වී යද්දී මාර්ගයේ නවතා තිබි මෝටර් සයිකලයේ සයිඩ් බෑග්වල සඟවා තිබි බෝම්බය පුපුරවා හැරීමයි. නමුත් එදින පැවැත්වුන ආගමික මෙහෙය අවසන් වන්නට පෙර එය පුපුරා ගියේය.

ප්‍රංශ අගමැති රේමොන් බා (Raymond Barre) මෙසේ කීය: “සිනෙගෝගයේ සිටි යුදෙව්වන්ට කරන ලද සාහසික ක්‍රියාවක් පාර පනිමින් සිටි අහිංසක ප්‍රංශ වැසියන් හතර දෙනෙක්ට වැදිණ.”

සිනෙගෝගයේ සාමාජිකයන් කිසිවෙක් මිය නොගියහ. මිය ගියේ පාරේ ගමන් කළ යුදෙව් නොවන හතර දෙනෙකි. අගමැතිගේ ප්‍රකාශය, සිනෙගෝගයේ සාමාජිකයන් අහිංසකයන් නොවන බවත් ඔවුන් ප්‍රංශ වැසියන් නොවන බවත් හැඟවීමකි. ඒ මධ්‍යස්ථ-දක්ෂිණාංශ කියාගත් දේශපාලනඥයෙකි.

ප්‍රංශ සමාජවාදී පක්ෂයේ ඩැනියෙල් වේලාන්ට් 2002 දී ස්වදේශ කටයුතු ඇමති විය. යුදෙව්වන්ට පහර දෙන රැල්ලක් පැතිර යද්දී ඒ පීඩකයන් සංක්‍රමණික මුස්ලිම් අය යැයි ජනමාධ්‍ය වලින් කීම ඔහු යටපත් කළේය. ප්‍රංශ විදේශ ඇමති හියුබර්ට් වේඩ්‍රින් මෙසේ කීවේය: “සංක්‍රමණික ප්‍රභවයෙන් වූ තරුණ ප්‍රංශ වැසියන්ට පලස්තීනය ගැන කැක්කුමක් තියන නිසා සිද්ධ වෙන දේවල් ගැන ඔවුන් අතිශයින් උද්දාම වීම ගැන අයෙක් විශේෂයෙන් පුදුම වෙන්න අවශ්‍ය නැහැ.”

තම රටේම උපන් වැසියන් වූවත් යුදෙව්වන් නිසා ඔවුන් ප්‍රංශ යැයි ද අහිංසක යැයි ද නොසලකා හැරෙද්දී, අරාබි සංක්‍රමණිකයන්ගේ තරුණ බවේ උද්දාමය හා ඔවුන්ව ප්‍රංශ වැසියන් යැයි හැඳින්වීම මෑත කාලීන ප්‍රංශයේ එසේ සිද්ධ විය.

1982 සැප්තැම්බර් 21 වැනිදා, පලස්තීන වැසියන්ව සබ්‍රා සහ ෂටිලා හි සමූල ඝාතනය වූ බව ඇසීම නිසා ප්‍රංශයේ උසස් පෙළ පංති සඳහා උගන්වන ප්‍රධාන පාසැලක් වූ Lycée Voltaire හි ගුරුවරු කණ්ඩායමක් බේරුත් හි පලස්තීන ඝාතනයට එරෙහිව උදෑසන දහයේ සිට දහවල් දොළහ දක්වා පංති පැවැත්වීම වර්ජනය කළහ.

ඊශ්‍රායෙල් සමඟ තානාපති සහ ආර්ථික සබඳතා නවතා දමන්න යැයි කියාත්, PLO පිළිගන්නට කියාත් ප්‍රංශ රජයට ලිපියක් ඔවුන් ලියූහ. තවත් ලිපියකින් බේරුත් සහ ලෙබනන් වලින් ඊශ්‍රායෙල් හමුදා වහාම ඉවත් කරන්න යැයි ඔවුන් පැරිසියේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයට කීහ. මේ ලියුම් ලියන්නේ මන්දැයි විස්තර කරන්නට පංති වර්ජනය කළ පාසැලේ මුළු ශිෂ්‍ය සහභාගීත්වයෙන් කැඳවන ලද රුස්වීමක් පැවැත්විණ.

සබ්‍රා සහ ෂටිලා හි සමූල ඝාතනයේ 762-3,500 ක් අතර පලස්තීන සහ ලෙබනීස් ෂියයිට් සිවිල් ජනතාවක් මරුමුවට පත්වූහ. එය මෙහෙය වන ලද්දේ ලෙබනීස් ක්‍රිස්තියානි මිලීෂියාවක් වූ Kataeb පක්ෂයයි. ඊශ්‍රායෙල් හමුදාව එවක දී ඒ බොර දියේ PLO මාළු බාන්නට ගිහින් සිටියහ. නමුත් ඝාතනය සිදු කළේ ඊශ්‍රායෙල් හමුදාව විසින් නොවේ. පංති වර්ජන කළ ප්‍රංශ පාසැලේ ගුරුවරු ඒ ගැන පසුව තම ශිෂ්‍යයන් දැනුවත් කළාදැයි සැකයි.

මධ්‍යතන යුගයේ සිට ප්‍රංශයේ යුදෙව්වන් වාසය කළ බැව් සැලකේ. ඵෙහිකත්ව (සෙකියුලර්) රජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටක් වුවත් ප්‍රංශය යනු එම දෙකෙහිම ආරම්භයේ පටන් අවුලක පැටලී සිටින්නකි. ඊශ්‍රායෙල් සහ ඇමෙරිකාවට අනතුරුව වර්තමානයේ ලොව තෙවැනි යුදෙව් ජනගහණය වාසය කරන්නේ ප්‍රංශයේ නගර ආශ්‍රිතවයි.

චාර්ලිමන්‍යයන් යටතේ වූ ප්‍රංශයේ යුදෙව්වන්ට නොයෙකුත් රෙගුලාසි පනවා තිබුණි. ධාන්‍ය, මුදල් හා වයින් වලින් ගණුදෙනු කිරීමට ඔවුනට අවසර නොලැබුණි.

ප්‍රංශ ඉතිහාසය පුරා යුදෙව් නිසා විශේෂ දඬුවම් පැනවූ ආකාරය දකින්නට හැකියි. බව්තීස්මය පිළිනොගත් බැවින් කාලයෙන් කාලයට ඔවුන්ව රාජ්‍ය නියෝග වලින් මරා දැමිණ. ඔවුන්ගේ මුදල් සහ ධනවස්තු පැහැර ගත්හ. ඵෛතිහාසිකව, මුදල් පොලියට දීම යුදෙව්වන් අතර බහුලව දකින්නට ලැබුන වෘත්තියකි. ක්‍රිස්තියානි ආගමිකයන්ට ණයක් සඳහා ගිනි පොලියක් අය කිරීම එවක තහනම් වූවකි. එහෙත් ගිනි පොලිය යන්න කුමක්දැයි ගැන තවමත් වාද පවති. ඒ ගැන වෙන දවසක ලියමි.

අටවැනි ලුවී රජු 1223 දී යුදෙව්වන්ට ණය හා පොලී ගැන නීති සමූහයක් පැනවූයේය. බැරොන් (රදළ වංශවතුන්) 26 ක් මේ නව නීති පිළිගත්ත ද, හතරවැනි තියෝබෝල්ඩ් එය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙද්දී යුදෙව්වන් මුදල් ගෙවා රදළ වංශවතුන්ගේ ආරක්ෂාව ලැබූවන් වූහ. තියෝබෝල්ඩ් විසින් යුදෙව්වන් සමඟ එකඟතාවයකට එළඹ සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව සලසනු සඳහා බදු වලින් වැඩියෙන් ආදායමක් තමනට එකතු කරගැනීමේ පිළිවෙතකිනි.

ආණ්ඩුවක එකම කාර්යය විය යුත්තේ එහි සියළු වැසියන්ට ආරක්ෂාව සැලසීම යන්නත්, රටේ පිරිසකට ආරක්ෂාව සැපයීම සඳහා ආණ්ඩුව විසින්ම කප්පම් ගැනීම යන්නත් අතර වෙනස නොදත් අය වර්තමානයේ ද ලොව බහුතරයකි.

1394 සැප්තැම්බර් 17 වැනිදා හයවැනි චාල්ස් (වියරු චාල්ස් නමින් හැඳින්වෙන්නා) හිටිහැටියේම යළි වෙනස් කළ නොහැකි වූ නීතියක් ලෙස පනවමින් යුදෙව්වන්ට සිය රාජ්‍යයේ කිසිම තැනක වාසස්ථානය තහනම් කළේය.

යුදෙව්වන්ගේ වෘත්තීන්ට බාධක වැටීම, පවුල්, සන්තක දේපල, හරිහම්බ කරගත් වස්තු අහිමි වීම පමණක් නොව දේශය ද හැර දමා යන්නට සිද්ධ වූ අවස්ථා කොපමණ වුවත් ප්‍රංශයෙන් යුදෙව්වන් වඳ වී ගියේ නැත.

17 වැනි සියවසේ දී ඔවුන් නැවතත් ප්‍රංශයට ඇතුල් වෙද්දී ඔවුන්ට වාසස්ථාන සැපයීම සහ ඔවුන් සමඟ කතාබහ කිරීම ක්‍රිස්තියානි අයට තහනම් විය. දඬුවම් වූයේ මරණය සහ දේපල අහිමියයි.

බිත්තර නොකඩා ඔම්ලට් හදනු බැරි යැයි කියමින් ආරම්භ වූ ප්‍රංශ විප්ලවයෙන් පසුව උදා වූ භීෂණ සමයේ දී යළිත් යුදෙව් බැංකුකරුවන් එක්කෝ දිවි බේරාගෙන පළා යා යුතු නැත්නම් ඉහළ දඩ ගෙවිය යුතු අවස්ථාවකට මුහුණ පෑහ. බැංකුකරුවන් 49 ක් පැරීසියේ සිරගත වූ බවත් 9 දෙනෙක්ව මරා දමන ලද බවත් සැලකේ. නමුත් ඒ කාලයේ දී පුරවැසි උසාවි වලින් ඝාතනය වූයේ නීතිය ඔවුනට කැමති පරිදි සකසා ගත් අය වෙතිනි. එසේම යුදෙව්වන් පමණක් නොවන බවත් සැලකිය යුත්තකි.

18 වැනි සියවස වෙද්දී යුදෙව්වන් ගැන යුරෝපීය ආණ්ඩු දැක්වූ ප්‍රතිචාර ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගති. 1790 දී ප්‍රංශයේ යුදෙව්වන්ට පාසැල් අධ්‍යාපනයට සහ ඔවුන්ගේම සිනෙගෝග වල ආගමික වතාවත් පවත්වන්නට නීතියෙන් නිදහස ලැබිණ.

නිදහස යනු ආණ්ඩුවෙන් ප්‍රදානය කරන්නක් නොව මිනිසා උපන් නිසා හිමි වූවකි. මෙය ද අවබෝධයක් නොමැති වූවන් අද ලොව බහුතරයකි.

1894 දී ප්‍රංශය කළඹන්නට සමත් වූයේ ඩ්‍රයිෆස් හුටපටයයි. ඇල්සේෂන් යුදෙව් සම්භවයෙන් යුතු ඇල්ෆ්‍රඩ් ඩ්‍රයිෆස් ප්‍රංශ කාලතුවක්කු හමුදාවේ නිලධාරියෙකි. පැරීසියේ වූ ජර්මන් තානාපති කාර්යාලයට මිලිටරි රහස් සැපයු බවට ඔහු වරදකරු ලෙස තීන්දු විය. ප්‍රංශ ගයානාවේ (වර්ෂාධික, මැසි මදුරුවන් හා බෝවෙන රෝග ගහණ වාතාවරණයක) දණ්ඩවාසයට ඔහුව යැවිණ.

වසර දෙකක් ඉක්ම වී යද්දී ප්‍රංශ හමුදා මේජර්වරයෙකු වූ ෆර්ඩිනැන්ඩ් වොල්සින් එස්ටරාසි යනු ඔත්තු සැපයීමේ සත්‍ය වරදකරුවා යැයි හෙළිදරව් වුවත්, හමුදාවේ ඉහළ නිලධාරීන් එය වසන් කළහ. එස්ටරාසිව නිදහස් කළහ. ඩ්‍රයිෆස්ට විරුද්ධව තව බොරු චෝදනා ගොණු කළහ. ගත්කරු Émile Zola නොබියව ඩ්‍රයිෆස්ගේ නිර්දෝෂීබව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ප්‍රංශ වැසියන් පැති දෙකට බෙදුනි. 1906 දී ඩ්‍රයිෆස් නිර්දෝෂී යැයි පිළිගෙන නිදහස් කෙරුණි.

මූලික අයිතිවාසිකම් සුරකින්නට නම් ඒවා මොනවාදැයි අවබෝධයක් තිබිය යුතුයි. ඒ ගැන පැහැදීමක් නැති කළ පෙනී සිටින්නේ කුමක් ආරක්ෂා කරන්න ද?

පින්තූරය පෝලන්ත සංක්‍රමණික යුදෙව් දෙමව්පියන්ට දාව ප්‍රංශයේ ඉපිද රට රටවල සැරිසරා අවසානයේ දී ප්‍රංශයම සිය වාසස්ථානය කරගත් රෙනේ ගොසිනි නම් ප්‍රංශ කොමික් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Theekshana Nuwan said, on අගෝස්තු 7, 2014 at 12:13 ප.ව.

    බලන් ගියම යුදෙව්වෙක් වෙන එක මහ එපාවෙන වෑඩක් නේද අරුනි අක්කේ . 😀 මේව අහල ඔයාලගෙ ගෙදර ඉන්න යුදෙව්වා මොනවද කියන්නෙ 😀

    • arunishapiro said, on අගෝස්තු 7, 2014 at 12:20 ප.ව.

      Theekshana Nuwan,

      ලේසි නෑ .. යුදෙව්කමක් ගෑවිලා ගියත්. ගෙදර ඉන්න මගෙ ‘යුදෙව්වා’ අර රබ්බයි (යුදෙව් පූජකයාට කියන නම) කියන යුදෙව්කම නැති කෙනෙක්. මගෙ සුද්දගෙ තාත්තගෙ සීයා රුසියන් යුදෙව්වෙක්. එයාගෙ අම්මා යුදෙව් නොවන ජර්මන් ජාතියෙ කෙනෙක්. සුද්දගෙ අම්මා හෝ සුද්දා කවදාවත් යුදෙව් ආගමට හැරුනේ නැති නිසා සුද්දා යුදෙව් හැටියට යුදෙව් අය සලකන්නෙ නැහැ. හැබැයි යුදෙව් විරෝධී (anti-Semitism) අයට එයා විතරක් නෙමෙයි මාත් (ශපීරෝ නිසා) යුදෙව්වෙක් තමයි!!!

      ඉතින් එයා මොනව ද කියන්නෙ? මං වගේ තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා ඕයි කියල තමයි!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: