අරුණි ශපීරෝ‍ වෙතින්

අමතක වී යන්නට අයිතියක් යුරෝපයෙන්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 8, 2014

Screen Shot 2014-08-07 at 7.41.00 PM

මෙම විඩියෝව යූටියුබ් හරහා පමණක් නොව The Telegraph වෙබ් අඩවියෙන් ද බෙදා හැරිණ. එය යූටියුබ් ලවා තහනම් කරවන්නට යන බවක් ද කියැවේ. යුරෝපීය උසාවිය පසුගිය මැයි මාසයේ දී අලුත් නීතියක් සම්මත කරගති. අන්තර්ජාලයේ පළ වූ අහිතකර වාර්තාවක් ඊට පාදක වූවාගේ ඉල්ලීම මත සහ රටක පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ආයතනයක් සමඟ එකතු වෙන්නේ ද එවිට ඒ වාර්තාව යළි සර්ච් කළ නොහැකිවන පරිදි එහි සබැඳි අයින් කළ යුතුය.

ගාසා හි දරුවන් වර්තමානයේ මුහුණ පා සිටින බියජනක තත්වය ගැන කියද්දී එම විඩියෝවේ ක්‍රිස් ගනස් අතිශයෙන් චිත්ත පීඩාවට පත් වී හඬා වැලපෙයි.

මිනිස් ජීවිත බිලිදෙන විට හඬා වැලපීමත්, බිලිදෙන්නේ දරුවන් වෙද්දී හදවත කම්පා වීමත් මිනිස් ස්වභාවයයි.

ඉතිහාසයේ කිසිම දවසක ලොව භීෂණයකට ලක් වූ ඕනෑම යුදෙව්වෙක් ගැන මෙසේ ලෝක මාධ්‍ය හමුවේ හඬා වැලපෙන යුරෝපීය වාර්තාකරුවෙක් ඇත්දැයි සැකයි.

ක්‍රිස් ගනස් යනු එක්සත් ජාතීන්ගේ UNRWA හි නියෝතයායි. ජූලි 22 වැනිදා ගාසා හි පිහිටි ඔවුන්ගේම ගොඩනැඟිල්ලක රොකට් මිසයිල 20 ක් සඟවා ඇති බව හෙළිවිණ. මෙවැනි අපරාධ කරන අයව ඔවුන් තරයේ හෙළා දකින බව එම වෙබ් අඩවිය පවසයි.

බ්‍රිතාන්‍ය බදු මුදලින් යැපෙන බීබීසීයටත් ඊශ්‍රායෙල්-පලස්තීන ගැටුමේ දී යුදෙව් විරෝධී යැයි චෝදනා එමට ඇත.

වර්තමානයේ දී යුදෙව්වන් ලක්ෂ 3 ක් පමණ වාසය කරන බ්‍රිතාන්‍ය ලොව පස්වැනි විශාලතම යුදෙව් ජනගහණය ඇති රටයි. යුරෝපීය යුනියනයේ මිලියන 1.1 පමණ යුදෙව්වන් අතර එයින් 85% ක් වාසය කරන්නේ ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනි සහ හංගේරියාවේය. යුරෝපීය යුදෙව් ජනගහණයෙන් බාගයක් පමණ වාසය කරන්නේ පැරීසියේ සහ ලන්ඩනයේ වෙති.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ යුදෙව් විරෝධය සමාජයීය සහ සංස්කෘතික වූවක් මිසෙක දේශපාලන වූවක් නොවේ. මහජන පාසැල් වලින් අධ්‍යාපනය ලබන්නට අඩුවෙන් කෝටා නිකුත් කිරීම, සමාජශාලා වල සාමාජිකත්වය තහනම, වෘත්තීන්ට තෝරා ගැනීමේ දී නොසලකා හැරීම, ගෙවල් කුලියට නොදීම, සාප්පු වල බඩු මිල දී ගැනීමට නොහැකියාව යනාදියත්, පරුෂ හා ද්වේශ සහගත වදන් අහන්නට ලැබීමත් ඒ මදිපුංචිකම් විය.

සාමාජිකත්වය තියා කාන්තාවන්ට සමාජශාලා වලට ඇතුල්වීමට පවා අවසර නොදුන් රදළයන් සිටි රටක් නිසා ඉතින් ඒවා යුදෙව්වන් පමණක් ඉලක්ක වූ මදිපුංචිකම් යැයි සැලකිය නොහැකියි. බ්‍රිතාන්‍යයේ නීති මඟින් යුදෙව්වන්ව විශේෂයෙන් ඉලක්ක නොවුණි.

1930 ගණන් වල දී සර් ඔස්වෝල්ඩ් මෝස්ලිගේ බ්‍රිටිශ් යුනියන් ඔෆ් ෆැසිස්ට්ස් හි අයිඩියලොජියක් වශයෙන් යුදෙව් විරෝධය තිබුණත් එයට වැඩි මහජන ප්‍රසාදයක් හිමි නොවූවකි. ඒ පක්ෂය කිසිත් පාර්ලිමේන්තු ආසනයක්, ප්‍රාදේශීය සභාවක හෝ දිනා නොගත්හ.

17 වැනි සියවසේ සිට Sephardi නමින් යුදෙව් කොට්ඨාශයක් සිටියත්, 1881 සිට 1914 දක්වා නැගෙනහිර යුරෝපීය රටවලින් පළා එන යුදෙව්වන් වෙතින් තමයි වර්තමාන බ්‍රිතාන්‍ය යුදෙව්වන් වැඩියෙන් සමන්විත වෙන්නේ.

හිට්ලර්ගේ යුරෝපය යුදෙව්වන් ඝාතනය කරද්දී බ්‍රිතාන්‍ය යුදෙව්වන්ට හිරිහැර විඳින්නට සිද්ධ නොවීය. 1930 කාලයේ දී නාට්සි අල්ලා ගත් ජර්මනිය, ඔස්ට්‍රියාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය සහ නිදහස් ඩැන්සිග් නගරය යනාදියෙන් 55,000 ක යුදෙව්වන් සංක්‍රමණය වූහ. 1938/9 වසර වල දී දෙමව්පියන් නොමැතිව තනිවම එවන ලද දරුවන් (Kindertransport) දහ දාහ එහි වැදගත් ස්ථානයක් ගනියි. ඒ දරුවන්ගේ නම් ලැයිස්තුව යුදෙව් ඉතිහාසයට එකතු විය. ඔවුන් අතර ප්‍රසිද්ධියට පත් වූ අයගේ නම් ඉහත අමුණන විකිපීඩියාවේ සබැඳියෙන් දැකිය හැකියි.

ඉතින් ක්‍රිස් ගනස් හඬා වැලපෙද්දී හිතන්නට හැකියාව ඇති අය කල්පනා කළ යුත්තේ පලස්තීනයේ මිය යන දරුවන් අනාගතයේ මෙයාකාරයෙන් ලොවට වැඩදායක වීමේ හැකියාව සැබැවින්ම අවහිර කරන්නේ කවුදැයි කියාය.

බ්‍රිතාන්‍යයේ යුදෙව් විරෝධය එළි බහින්නේ ඊශ්‍රායෙල් පිහිටුවීමත් සමඟයි. හිට්ලර්ගේ සමූලඝාතන නිසා යුරෝපයේ අවතැන් වූවන්ට බ්‍රිතාන්‍ය ධවල පනත් වලින් පොරොන්දු වූ පරිදි ඊශ්‍රාලයේ පදිංචියට යෑමට අවසර නුදුන් නිසා එතෙක් බ්‍රිතාන්‍යයන් සමඟින් වැඩි පළහිලව්වක් නැතිව සිටි බ්‍රිතාන්‍ය යුදෙව්වන් බ්‍රිතාන්‍යයට අවලාද කියන්නට පටන් ගත්හ.

එපමණක් නොව, සයෝනිස්ට් ව්‍යාපාරයේ දක්ෂිණාංශ පාතාල ත්‍රස්තවාදී කල්ලියක් වූ Irgun බ්‍රිතාන්‍යයට එරෙහිව ඊශායෙල් හි බ්‍රිතාන්‍ය පාලනයේ මූලස්ථානය වූ කින්ග් ඩේවිඩ් හෝටලයේ බෝම්බයක් 1946 දී පුපුරුවා හරින ලදි. විවිධ ජාතිකයන් 91 ක් මිය ගියහ. 46 ක් තුවාල ලැබූහ. 1947 දී එම කල්ලියම ඔවුන්ගේ සමාජිකයන් තිදෙනෙක් එල්ලා මැරීම නිසා බ්‍රිතාන්‍ය සාජන්ට්ලා දෙන්නෙක්ව එල්ලා මැරූහ. අරාබි අයට අමතරව මේ ත්‍රස්තවාදීන් නිසා මිය යන්නේ බ්‍රිතාන්‍යයන්.

බ්‍රිතාන්‍ය වීදි වල යුදෙව් විරෝධී උද්ඝෝෂණ පැතිර ගියේය. 1967 වෙද්දී බ්‍රිතාන්‍ය යුදෙව්වන් තවත් හිට්ලර්ගේ සමූලඝාතනය වැන්නක් පටන් ගනීවි යන බියෙන් සයෝනිස්ට් ව්‍යාපාරයට තදින් පක්ෂපාතී වූහ.

අප්‍රිකාවෙන් හා ඉන්දියානු කලාපීය රටවලින් සංක්‍රමණිකයන් ඇදී එද්දී යුදෙව්වන්ට ඇති විරෝධය බ්‍රිතාන්‍යයේ හිමිහිට යටපත් විණ. මාගරට් තැචර් වැඩියෙන්ම සංඛ්‍යාවක් යුදෙව්වන් (5) කැබිනෙට්ටුවට පත් කළාය.

එහෙත් 2007 දී සිට නැවතත් ඊශ්‍රායෙල් දේශය ගැන තද විරෝධයක් ඇති වී තිබේ. ඊශ්‍රාලය යම් හමුදා මෙහෙයුමක නිරත වෙන්නේ ද, බ්‍රිතාන්‍යයේ යුදෙව්වන්ට කරන හිරිහැරයන් ද වැඩිවේ.

යුදෙව්වන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම කෙමෙන් නැවතී ඇත. යුදෙව් ජනගහණයේ වැඩිවීමක් ද දකින්නට නැත. යුදෙව් ජනගහණය 2011 වෙද්දී එම මට්ටමෙන්ම පවතින ප්‍රවණතාවයක් දකින්නේ දැඩි සත්‍යලබ්ධික haredi යුදෙව් කොට්ඨාශය විසින් වෙන යුදෙව් කොටස් වල ක්ෂය වීමේ අඩුව පුරවන ලද නිසයි.

2011 වෙද්දී බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජනගහණය මිලියන 2.8 කි. සෙකියුලර් රාජ්‍යයක් වූ ප්‍රංශය මෙන් නොව බ්‍රිතාන්‍ය ආගම් ගැන තොරතුරු ජාතික සංඛ්‍යා ලේඛන ආයතනයකින් එකතු කරති. එහි දත්ත අනුව 2011 දී එංගලන්තයේ වයස 0-4 දක්වා දරුවන් අතර 320,000 ක සංඛ්‍යාවක් මුස්ලිම් දරුවන් යැයි එංගලන්තයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි. එසේම එම සංඛ්‍යා ලේඛනයට අනුව එංගලන්තයේ සහ වේල්ස් හි මුස්ලිම් ජනගහණය මිලියන 1.6 කි. ජනගහණයෙන් 3% කි.

මුළු බ්‍රිතාන්‍යයේම යුදෙව් ජනගහණය ලක්ෂ 3 ක් යැයි යළි මතක් කරන්නම්!

ජූලි 4 වැනිදා ඉරාකයේ මොසුල් නගරයේ දී නුරෙද්දීන් සන්ගි මුස්ලිම් පල්ලියේ අබු බකර් අල්-බැග්ඩාඩි දේශනයක් පැවැත්වීය. ලොව බිලියන 1.5 මුස්ලිම් බැතිමතුන්ගේ කැලිෆ් නොහොත් සුපිරි නායකයා හැටියට පෙනී සිටින්නාය. පලස්තීනයේ ක්‍රිස්තියානි කෲසේඩයන් (ඉන්ෆෙඩෙල්) පමණක් නොව ඔහුගේ ආගමික දේශනයට ඉලක්ක වූයේ අනෙකුත් මුස්ලිම් ජනතාවත් වීම එහි විශේෂයකි. වසර හතරකට පෙර ඇල්කයිඩා වලින් වෙන් වී හැදෙන මේ කල්ලියේ අභිප්‍රාය ඉස්ලාමීය කැලිෆේට් රාජ්‍යයක් (SIC) ගොඩනැඟීමයි. ඔවුන්ගේ සටන්කාමීන් 7,000-20,000 ක් අතර වෙති.

බොදුබල සේනාව බෞද්ධාගම දන්නේ නැතැයි මම කියන්නා සේ, SIC හි කැලිෆේට් නිවේදනය ද ආගමිකව නීත්‍යානුකූල නැතැයි International Union of Muslim Scholars, යුසුෆ් අල්-කරදාවි ප්‍රමුඛ සුන්නි පූජකයන් (clerics) කණ්ඩායම, බලවත් ඊජිප්තු දේශකයෙක් යනාදීහු චෝදනා කර ඇත්තේ එය සිරියාවේ සහ ඉරාකයේ නැඟ එන සුන්නි උද්ඝෝෂණ වලට පමණක් නොව පොදුවේ සියළු මුස්ලිම් අයට අයහපත් යැයි කියායි. ජිහාඩ් කල්ලි අතර පවා ගෞරවයට පාත්‍ර වෙනවා යැයි සැලකෙන, ජෝර්දානයේ මුස්ලිම් පූජකයෙක් වන අබු මුහම්මඩ් අල්-මකඩීසී පවා මේ කැලිෆා ව්‍යාපෘතිය පිළිනොගන්නා බව කියා ඇත. ඔහුගේ අවවාදය වූයේ “තමන්ව ප්‍රතිසංස්කරණය කරගන්න, පව් කමා කරගන්න, ආගම විකෘති කරමින් තමන්ගේම මුස්ලිම් අයව මරා දැමීම නවත්වන්න,” කියායි. ඒ තොරතුරු The Economist සඟරාවේ මෙම ලිපියෙනි.

වර්තමාන ඊශ්‍රායෙල්-පලස්තීන ගැටුමේ දී පලස්තීන හිතවාදී 45,000 ක් පලස්තීනයට දීර්ඝායු වේවා! කියමින් පැවැත්වූ උද්ඝෝෂණය කෙන්සින්ටන් ඉහළ වීදියේ සිට ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරශ්‍රය දක්වා පැතිර ගියේය.

ඉතින් අනාගත බ්‍රිතාන්‍යයේ යුදෙව් විරෝධය තව වැඩිවෙන සලකුණු මිසෙක අඩු වී යන සලකුණු දකින්නට නොහැකියි.

පාදක කරගත් ඉංග්‍රීසි ලිපියට මෙතැනින් යන්න.

[බ්‍රිතාන්‍ය ගැන යාන්තමෙන් ද, ඇමෙරිකාව ගැන වැඩියෙන් ද ලියා මේ සටහන් පේලියේ අවසන් සටහන සේ මෙය පළ කරන්නට අදහස් කර සිටියෙමි. එහෙත් යුදෙව්වන් ගැන දැනගන්නට පාඨක කුතුහලය වැඩි බව පෙනී යයි. ඇමෙරිකාවේ රොන් පෝල් ඊශ්‍රායෙල්-පලස්තීන ගැටුම ගැන දක්වන, මමත් එකඟ වෙන මතය සහ හොලිවුඩ් යුදෙව්වන් ගැනත් තව ලිපියක් දෙකක් ලියන්නම්. ඊට පස්සෙ ශේක්ස්පියර්ගේ වෙනීසියේ වෙළෙන්ඳා ගැනත් සටහනක් ඉක්මණින් දාන්නම්.]

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: