අරුණි ශපීරෝ‍ වෙතින්

සංවාදය, සවන් දීම සහ සලකා බැලීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 1, 2014

1024px-Galileos_Dialogue_Title_Page

සංවාදය (dialogue) යනු දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අතර ලිවීමෙන් හෝ කතාබහෙන් සිදුවන අදහස් හුවමාරුවකින් යම් නිගමනයක් කරා එළඹෙන්නට ගන්නා උත්සාහයයි.

අල්ලාප සල්ලාපය (chitchat) යනු හිතවත් ලෙසකින් වැදගත් නොවූ දේවල් ගැන කතාබහ සිද්ධ වීමයි. අයෙක් සිය මතයක් කියද්දී අනෙකා එයට ආචාරශීලීව එකඟවීම හෝ නොවීම අල්ලාප සල්ලාපයේ දී දකින්නට ලැබේ. මෙහි දී සංවාදයට සහභාගී වෙන සියල්ලන්ගේම අරමුණ හිතවත්කම පවත්වා ගැනීමයි. උත්සව සහ සම්මන්ත්‍රණ වල දී හමුවන අමුත්තන් අතර බහුතර වශයෙන් හුවමාරු වෙන්නේ කිසිවෙකුගේ හිත් නොරිදවන අරමුණින් යුතු අල්ලාප සල්ලාපයයි.

සම්පප්‍රලාපය යනු කිසිත් වැදගැම්මකට නැති කතාබහෙන් කාලය නාස්තියයි. අදහස් හුවමාරුවක අරමුණක් නැත. නිගමනයක් කරා එළඹෙන්නට උවමනාවක් නැත. එසේම හිතවත්කම පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් ද නැත. එදා ගමේ බෝක්කුව අසල රැස්වූ දන්නා හඳුනන පිරිමි සහ වත්තෙ වැට දෙපැත්තෙන් එකතු වූ අසල්වැසි ගැහැණු අතර සිදු වූ සම්පප්‍රලාපය අද අන්තර්ජාලයෙන් නොදන්නා නොහඳුනන අය අතර සිද්ධ වෙන හැටි දකින්නට පුළුවනි.

සංවාදය, අල්ලාප සල්ලාපය සහ සම්පප්‍රලාපය යන කතාබහ සියල්ලෙන්ම සිද්ධ වෙන්නේ තමන් ගැන යමක් හෙළි කිරීමයි. එසේම ලිවීමෙන්, ඇඳීමෙන්, වාදනයෙන්, ගායනයෙන්, රංගනයෙන් හා ක්‍රීඩා කෞශල්‍යයෙන් ද තමන් සතු වූවක් අනුන්ට පෙන්වීමක් සිද්ධ වේ. ඒ සඳහන් කළ අනෙක් ආකාර වලින් සේ ම කතාබහේ යෙදන විට ද පුද්ගලයාගේ සිරුරේ නිපැදවෙන තෘප්තිය දනවන හෝර්මෝන නිෂ්පාදනය වැඩිවේ. ඒ නිසා රංගනයට කැමැත්තා වැඩි වැඩියෙන් රංගනයට අවස්ථාව සොයා ගන්නා සේ කතාබහට කැමැත්තා ද වැඩි වැඩියෙන් එහි යෙදෙන්නට අවස්ථාව පාදා ගනියි.

පුරාතන ග්‍රීසියේ සොක්‍රටීස් වීදි කොණක දී මහමග යන අයෙක් අල්ලා ගෙන සංවාදයේ යෙදුනේය. අද අන්තර්ජාලයෙන් ඉතා දුර බැහැර වාසය කරන නොදන්නා අය සමඟ ක්ෂණික සංවාදයන්හි යෙදෙන්නට අවස්ථාව පෑදී ඇත. සංවාදයකින් තම දැනුම වර්ධනයක් කරගන්නවා වෙනුවට තවමත් අල්ලාප සල්ලාපයෙන් සහ සම්පප්‍රලාපයෙන් කාලය ගෙවන්නට බහුතරය කැමත්ත දක්වන්නේ එයින් ලැබෙන මිනිස් සිරුරේ මේ තෘප්තිය දනවන හෝර්මෝන නිෂ්පාදනය නිසා විය හැකියි.

අල්ලාප සල්ලාපයෙන් සහ සම්පප්‍රලාපයෙන් සිතක් සතුටින් පිරී ගියාට එයින් යම් කාර්යයක් ඉටු කරගත දැනුමක් එකතු නොවේ. ගණුදෙනු කරන්නට සහ ලාබ උපයන්නට නම් අයෙකුට සංවාදයක් අවශ්‍යයයි. කාර්යයන් ඉටු කරගත හැකි දැනුම හීන වී යද්දී, ගණුදෙනු නොකරන අය සහ ලාබ උපයන්නේ නැති අය වැඩිවෙද්දී, ඒ සමාජය භෞතික හා අධ්‍යාත්මික යන දෙකෙන්ම දුප්පත් වේ.

ගැටුමකින් ප්‍රශ්න විසඳනවාට වඩා දෙපාර්ශවය අතර සංවාදයකින් ප්‍රශ්නයක් විසඳාගත හැකිනම් ජීවිත, දේපල සහ ස්වභාවික සම්පත් හානිය අවම කරගන්නට හැකිබව මිනිස් බුද්ධියට වටහාගත හැකි වූවකි. නමුත් සංවාද ආරම්භ කරන්නට පෙර සංවාද කරන්නේ කෙසේදැයි දැනුමක් මිනිසා ලබා සිටිය යුතුයි.

තමන් දකින විදියට අනිත් අය ද දකිනවා යැයි ද, තමන්ට දැනෙන විදියට අනිත් අයට දැනෙනවා යැයි ද සහ තමන් හිතන විදියට අනුන් හිතනවා යැයි ද සිතීම සංවාදයේ දී නොකළ යුත්තකි.

අයෙක් කියූ දැයක් වටහා ගෙන ඇතැයි සිතුන ද, එය වටහා ගෙන ඇත්තේ ඔබට උවමනා ආකාරයට ද නැත්නම් එයා කියූ ආකාරයට දැයි සොයා බැලිය යුත්තකි. එසේම අයෙක් කියූ දැයක් මතකයේ තිබෙනවා යැයි කියද්දී, මතක එයා කියූ දැය ද නැත්නම් ඒ ගැන තමන් හදාගත් මතය ද යන්න විමසා බැලිය යුතුයි.

ආවේග, උද්වේග, බිය, සැක හා ලැජ්ජාව යනාදිය හඳුනාගැනීමට නොහැකියාව නිසා සංවාදයක දී තමන්ගේ අදහස් අනුන්ට ද අනුන්ගේ අදහස් තමන්ට ද පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි වේ.

දැනුම ලබාගැනීම සඳහා සංවාදයක යෙදෙන්නා තමන් විසින් සංවාදය තුල මහත් කාලයක් වැය කිරීම අවම කරන්නෙකි. දැනගන්නට අහන ප්‍රශ්නයක විලාසයෙන් අයෙක් සංවාදයට අදාල නොවූ තම දැනුම ගෙන හැර පාන අවස්ථා එමට දැක ඇත්තෙමි. ස්තූති කතාවක දී පවා ස්තූති කිරීම අඩුවෙන් ද, තම දැනුම පෙන්වන්නට ගන්නා කාලය වැඩියෙන් ද වැය කරන අය ඇත.

1993 දී මියගිය ඒබ්‍රහම් කප්ලාන් විසින් duologue නම් යැයි වචනයෙන් හඳුන්වා දුන්නේ අනෙකාට සවන් නොදෙමින් සංවාදයේ යෙදෙනවා යැයි කීමටයි. එය ස්වගතයකට (monologue) වඩා වැඩියෙන් සිද්ධ වූවත් සංවාදයක් (dialog) නොවන්නකි. කාමරයක් පිරෙන්නට රැස් වී සිටින සියල්ලන් එකිනෙකා අතර කරන duologue වැඩි කළාම ඔබට සම්මන්ත්‍රණයක් ලැබෙනවා යැයි කප්ලාන් ඒ හැදියාව හෑල්ලු කරමින් කීවේය.

කප්ලාන්ගේ අදහස ගැන විමසා බලන්නට මෑතක දී ඇමෙරිකන් විශ්ව විද්‍යාල දෙකක් එකතු වී පර්යේෂණයක් පැවැත්වූහ. එහි දී චැට් භාවිතයෙන් සිසුන් දෙදෙනෙක් කාටූනයක පාට හඳුනාගැනීම ගැන තත්පර 30 ක සංවාදයක නියැළෙති. ඔවුන් නොදැනුවත්වම තවත් සිසුන් දෙදෙනෙක් බැගින් ද තවත් කාටූනයක පාට හඳුනාගැනීම ගැන සංවාදයන් හි නියැළෙති. පර්යේෂකයන් ඔවුන්ට නොදැනෙන්නට මිනිත්තු 15 කින් ඔවුනොවුන්ව මාරු කළහ. තමන් මෙතෙක් සංවාදයේ යෙදුන අය දැන් වෙනස් වී ඇතැයි නොදැක ඔවුන් සංවාදය දිගටම පවත්වාගෙන ගියහ.

තමන්ගේ අදහස් කියන්නට ගියා මිසෙක අනෙකාට සවන් දීම ගැන ඔවුන් අවධානයක් දැක්වූයේ නැතිබව එයින් ඔප්පු විය. මාතෘකාව ගැන සංගත (coherent) බවක් සංවාදයක දී තිබිය යුතු බව ද ඔවුන් දැක්කේ නැත.

අද තම මතය කියන්නට කැමති අය වැඩි වී අනුන් කියන්නට සවන් දෙන අය අඩු වී ගිහින් ද?

අයෙක් අදහස් කරන්නේ එසේ මෙසේ යැයි කළින් අභ්‍යූපගමනය කරන්නට යෑමෙන් දැනුමක් වර්ධනය නොවේ. එහි දී ප්‍රශ්න සහ උත්තර දෙකම වැරදියට වටහා ගෙන වැරදි නිගමන වලට තමන් එළඹීමක් සිද්ධ වේ.

දාර්ශනික චින්තනය ප්‍රිය කරන මා කැමති සංවාදයටයි. මෙතැන මෙන්ම වෙනත් තැන්වල දී ද මා හා සංවාදයට ආ අය වෙතින් මා ලබාගත් දැනුම මහත් සම්භාරයකි. අල්ලාප සල්ලාපය අඩුවෙන් ද, සම්පප්‍රලාපයෙන් හැකි ඉක්මණින් ඉවත් වී යාම ද හැම විටම කරන්නෙමි.

එකිනෙකා අභිබවා යමින් තම මතය පමණක්ම කියමින් දිගින් දිගට ගෙන යන duologue දිනපතා වැඩිවෙන අන්තර්ජාල සමූහ තුලින් දකින්නට ලැබේ. ඉතින් වැඩි කලක් නොයා ඩුඔලොග් (duologue) යන්නට සිංහල වචනයක් කවුරු හෝ නිර්මාණය කරාවි යැයි සිතමි!!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on සැප්තැම්බර් 2, 2014 at 4:30 පෙ.ව.

    ඩයලොග්-ඩුඔලොග් වෙන් කරන එක ලේසි නෑ.
    හොඳ සටහනක්.

    • arunishapiro said, on සැප්තැම්බර් 2, 2014 at 11:57 පෙ.ව.

      රාජ් -රාජ්ගෙ නවාතැන-,

      ස්තූතියි රාජ්. ප්‍රතිඵල ලබන්න නම් දෙක වෙන්කරගන්න දැන ගැනීම අවශ්‍යයයි. ඒත් ඔව්, අනික් අය එක්ක කතාබහ කරනවා කියන ඒත් තමන්ගෙ කටහඬම විතරක් අහන අය ඕනෑ තරම් දකිනවා.

  2. Krishna Ramanayaka said, on සැප්තැම්බර් 3, 2014 at 9:28 පෙ.ව.

    බුද්ධිමය සංවාද වලට මහත් රුචියක් දක්වන මමද මුලින් මහත් ආව්ග කාරී ප්‍රවේශයන් ගත්තා නමුත් මූනුපොතේම රිටිගල ජයසේන වැනි අයගේ දැනුවත් කිරීම් මත ඒව හදාගත්තා මේ ලිපිය මට තවත් වැදගත් දැනුවත් කිරිමක් සුතූතියි…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: