අරුණි ශපීරෝ‍ වෙතින්

අයිස් බකට් චැලෙන්ජ් සහ වතුර අහිමි අය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 3, 2014

අයිස් බකට් චැලෙන්ජ් එන්නට පෙර සමාජ සේවා අරමුදල් සඳහා පරිත්‍යාග එකතු කරනු වස් අනේක විධ උපායක්‍රම ලොව තිබිණ.

අයිස් බකට් චැලෙන්ජ් එකේ විශේෂත්වය එය අන්තර්ජාලයෙන් ජනප්‍රිය වූවක් වීමයි. එසේම රස්සාවට අරමුදල් එකතු නොකරන පිරිසක් වෙතින් දියත් වූ කෙටි කාලය තුල දී අතිශය සාර්ථක වූ මෙහෙයුමක් වීමයි. 2014 ජූලි 29 සිට අගෝස්තු 29 දා දින ඇතුලත පමණක් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 කට වඩා ආධාර එකතු කරන්නට සමත් වූවකි. රැල්ලේ සැර දැන් බහින එයට මිලියන තුනක පමණ පිරිසක් සහභාගී වී තිබේ.

පරාර්ථකාමී අදහස් කාගෙත් පැසසුමට ලක්වෙයි. එහෙත් පරාර්ථකාමී වූ අදහසක් සාර්ථක වෑයමක් බවට හැරෙන්නේ කෙසේද?

එය පහසුවෙන් වටහා ගැනීමට හැකිවිය යුතුයි. අවසන් අරමුණ සාක්ෂාත් වෙන පරිදි ක්‍රියාවට නැඟීමට හැකිවිය යුතුයි. එසේම ඒ ක්‍රියාව හැකි තරම් සරල ලෙසකින් ඉදිරිපත් විය යුතුයි.

ඕනෑම ඇමෙරිකන් ගෙදරක අඩුම වැයකින් ඕනෑම වේලාවක දී සොයාගත හැකි වූව අයිස් කැටයි. ජූලි අගෝස්තු මාස දෙකේ මෙය අතිශයෙන් ජනප්‍රිය වූයේ ඒවා ගිම්හානයේ උණුසුම් කාලය වූ හෙයිනි. සීතල හේමන්තයේ දී සමාජසේවා වෙනුවෙන් අරමුදල් එකතු කරන්නට (ජනවාරි 1 දා) පෝලර් බෙයාර් පිහිනුම් සඳහා ඉදිරිපත් වෙන ඇමෙරිකන් අයට ගිම්හානයේ අයිස් වතුර නෑම ලොකු අභියෝගයක් නොවේ.

මෙම අභියෝගය බාරගෙන අන්තර්ජාලයෙන් අයිස් වතුර නාන පින්තූර බෙදා ගන්නා අය ඩොලර් දහයක් පරිත්‍යාග කරන ලද්දවුන් වෙති. එය නොකරන්නා ඩොලර් සියයක් පරිත්‍යාග කර ඒ බව දන්වයි.

කරන දෙයත්, කියන දෙයත්, අරමුදල් යවන ප්‍රමාණයත්, අරමුදල් යවන්නේ කාට කියාත් සියල්ල පැහැදිලිව මේ අභියෝගයේ දී ඉදිරිපත් වූ නිසා සහභාගී වෙන්නාට තිබුනේ එය කරනවා ද නැද්ද යන්න තීරණය පමණකි. ඊට ලැබෙන කාලය පැය 24 ක් වීමෙන් තීරණය කල් දැමීමට ද නොහැකියි.

සහභාගී වූ සියල්ලන් හරියටම රීති අනුගමනය නොකළත් අරමුදල් සීඝ්‍රයෙන් එකතු වීමෙන් පෙනෙන්නේ එහි සාර්ථකත්වයයි.

කැමැත්තෙන් යමක නියැළෙන පිරිසක් ජනප්‍රිය වෙද්දී කුමක් හෝ කොණක් අල්ලාගෙන ඒ ගැන අඩුපාඩුවක් පෙන්වන්නට උත්සාහ කරන අය ලොව සිටිති.

අයෙක් අයිස් බකට් එකක් හළාගත් නිසා තවකෙකුට බොන්න වතුර නැතිවෙනවා යැයි විශ්වාස කරන්නේ අයෙක් ධනවත් වූ නිසා තවකෙක් දුප්පත් වෙනවා යැයි විශ්වාස කරන හැදියාවෙන්.

මැද පෙරදිග රටවල්, අප්‍රිකානු රටවල්, ඉන්දියාව, චීනය සහ මෙක්සිකෝව යනාදී රටවලට පංච මහා විල් වලින් වතුර විකුණන පිළිවෙතක් වර්තමානයේ පවතී.

ඇමෙරිකාවේ අයිස් වතුර නා අරමුදල් යවන අය නිසා පිපාසය නිවාගත නොහැකි දරුවන් අප්‍රිකාවේ සිටිනවා යැයි සිතන අය අප්‍රිකාවේ දරුවන්ට පානීය ජලය හිඟ ඇයි කියා කිසිදා විචාරාත්මක ඇසකින් කල්පනා කර ඇත් දැයි සැකයි.

අප්‍රිකානු රටවල ආඥාදායක පාලකයන් ලොව කොපමණ ඉහළ මට්ටමක ඉන්නා ධනකුවේරයන් දැයි මොවුන් විමසන්නේ නැත. අප්‍රිකා රටවල ධනවත්ම පිරිස දුප්පතුන්ට සාධාරණ ලෙස බෙදන්නට දන්නවා කියන ඒ රටවල පාලකයන් වෙති.

ඉහත අමුණන ෆෝර්බ්ස් සබැඳිය අනුව වසර 32 ක් පාලන බලයේ සිටි ගිනි හි ජනාධිපති Teodorin Obiang ට 2006 දී ඩොලර් මිලියන 600 ක් වත්කම තිබිණ. ඔහුගේ වැඩිමහල් පුතා අයිතිය කියන්නේ ඩොලර් මිලියන 10 ක් වටිනා වාහන එකතුවට, කැලිෆෝර්නියාවේ ධනවතුන් වාසය කරන මාලිබූ හි ඩොලර් මිලියන 30 ක නිවසට, ඩොලර් මිලියන 38.5 ක ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් එකට, ඩොලර් මිලියන 2 ක් වටිනා මයිකල් ජැක්සන් සිහිවටන වලට. ඒ ෆෝර්බ්ස් විසින් සොයාගත් කොටසයි.

නයිජීරියාවේ හිටපු මිලිටරි පාලකයා වූ Sani Abacha ඩොලර් වලින් කෝටිපතියෙක් වූවෙකි. ස්වභාවික සම්පත් ගහණ කොන්ගෝ හි වසර 30 ක කාලයක් පාලන බලයේ සිටි Mobutu Sese ද ඩොලර් කෝටිපතියෙකි. වසර 28 ක් පාලන බලයේ සිටි කෙන්යාවේ Daniel Arap Moi එහි ධනවත්ම මිනිසා වූවා පමණක් නොව ඔස්ට්‍රේලියාවේ හෙක්ටෙයාර් දස දහසක ගොවිපොළකට ද අයිතිය කියන්නට සමත් වූවෙකි. ඔහු විශ්‍රාම යන්නේ දැන් ඉන්න ජනාධිපතිගේ උපදේශකයෙක් ලෙසින්!!!!

අප්‍රිකාවේ දරුවන් පානීය ජලය නොමැතිව දුක් විඳිද්දී ඇමෙරිකාවේ අය අයිස් බකට් නානවා යැයි පින්තූර බෙදා ගන්නා අය ඉතින් මේවා පෙන්නා දුන්නත් අප්‍රිකාවේ ධනකුවේර ආඥාදායක පාලකයන් ඉන්න බව නොදැක්කා සේ සිටිති.

නියඟය නිසාම නොව ඊට කළින් ගෙන ගිය අහිතකර ආර්ථික ප්‍රතිපත්ති වල ද ප්‍රතිඵලයක් හැටියට ඉතියෝපියාවේ මිලියන ගණනක් සාගතයෙන් බැට කෑ සමය මතකයේ ඇත්තේ කී දෙනාට ද?

ඉතියෝපියන් සාගතය ගැන හැදූ බීබීසී වාර්තාවක් දුටුවේ බොබ් ගෙල්ඩොෆ් නම් බ්‍රිතාන්‍ය පන්ක් රොක් ගායකයෙකි. ඔහුට එවක දී මුදල් වත්කමක් හෝ කිසි ජනප්‍රියත්වයක් නොතිබිණ. එහෙත් සාගතයෙන් පෙළෙනවුන් සඳහා අරමුදල් එකතු කරනු පිණිස “මේ නත්තල් කාලය කියා ඔවුන් දන්නවා ද?” යනුවෙන් සාගතය ගැන දැනුවත් කරන ඔහු ලියූ සිංදුවක් ගයන්නට බ්‍රිතාන්‍ය සහ අයිරිශ් රොක් ගායකයන් සමූහයක් එකතු කරන මූලිකත්වය හේ ගත්තේය.

බටහිර යුරෝපීය රටවලත්, ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලත් ජනප්‍රියත්වයේ පළමු තැන දිනාගන්නට ඒ සිංදුව සමත් විය. ඒ රටවල ජනතාව ඉතියෝපියාවට අරමුදල් සහ සහනාධාර යවන මෙහෙයුම් පුද්ගලිකව දියත් කළහ.

එහි සාර්ථකත්වයෙන් නොනැවතී බොබ් ගෙල්ඩොෆ් තවත් මාස හතකට පමණ පසු ඒඩ්ස් රෝගයට ප්‍රතිකාර සෙවීම වෙනුවෙන් අරමුදල් එකතු කිරීම සඳහා සජීවී සංදර්ශනයක මූලිකත්වය ගත්තේය. බිලියන 1.5 ක ජනතාවක්, රටවල් සියයකින් වඩා ප්‍රමාණයකින්, පැය 16 ක් තුල පැවැත්වූ සංදර්ශනයේ ඇබිත්තක් හෝ නරඹන්නට එකතු වූ අතර අරමුදලට ඩොලර් මිලියන 245 ක් එකතු කරන්නට හැකිවිය.

අප්‍රිකාවේ පාලකයන් තවමත් දුප්පතුන්ට සාධාරණ ලෙසකින් බෙදන්නට දන්නවා කියමින් තම පසුම්බි පුරවමින් සිටිති.

අයිස් බකට් නාන්න පටන් ගත් ඇමෙරිකාවේ, උප ජනාධිපතිවරණයට තරඟ කළ රිචඩ් නික්සන් ආදායම හෙළි කරන්න යැයි සෙසු තරඟකරුවන්ට අභියෝග කළත් තම ආදායම් බදු වාර්තාව හෙළි නොකළ අයෙකි. රහස් ඔත්තු සොයන ඔහුගේ ක්‍රියා කලාපය රටවැසියන් අතර විවේචනයට භාජනය වෙද්දී, බලයට පත් වී සිටිය දී ඔහු සිය ආදායම් බදු වාර්තා හෙළි කළේය.

1970 ගණන් වල දී කැමැත්තෙන්ම තම වත්කම හෙළි කිරීම ඇමෙරිකන් ජනාධිපතිලා අතින් ක්‍රමයෙන් ආරම්භ විය. 1978 ආණ්ඩුවේ සදාචාර පනත සම්මතයෙන් පසුව ජනාධිපතිවරණයට පෙනී සිටින අයට තම ආදායම් තොරතුරු හෙළි කරන්නට සිද්ධ විය.
ඇමෙරිකන් ජනාධිපතිලාගේ ආදායම් තොරතුරු දැන් අන්තර්ජාලයෙන් ලොව ඕනෑම අයෙකුට බලාගත හැකියි.

ඇමෙරිකාවේ අය අයිස් නාද්දී අප්‍රිකාවේ දරුවන්ට වතුර නැතැයි කියන මේ පින්තූර බෙදා ගන්නා අය අප්‍රිකානු රටවල පාලකයන්ගේ ආදායම් තොරතුරු ලොවට හෙළි කරන්න යැයි ඉල්ලා සිටිනවා ද?!!!!

තම රටට කුමකින් හෝ එල්ලවන අනතුරක් ඇතැයි කියමින් පාලන බලය අල්ලා ගන්නේ ආඥාදායක පාලකයන් වෙති. ඒ අල්ලා ගත් බලතල වැඩි කරගන්න යැයි ඉල්ලා සිටින්නේ ද ඔවුන්ම වෙති. එසේම, රටේ ස්වභාවික සම්පත් විකුණා එයින් ලැබෙන ධන සම්පත් තම මල්ලට දා ගන්නේ ද ඔවුන්මයි. ඔවුන් දුප්පත් කරන්නේ ඔවුන්ගේ රටවැසියන් බව දකින්නට නොහැකි නිසා මේ පින්තූර බෙදාගන්නා අය තව දුරටත් ඉල්ලා සිටින්නේ යහපත් ලෙසින් රට පාලනය කරන්න දන්නා බලතල වැඩි නායකත්වයකි.

අයිස් බකට් නාන්නට කැමති නම් පුද්ගලයා වාසය කරනුයේ අප්‍රිකාවේ වුවත්, නැත්නම් පුත්තලමේ වුවත් එයට කැමති සියල්ලන්ටම හැකියාවක් සත්‍යයෙන් ලැබෙන්නේ කෙසේදැයි කියා විමර්ශනය කර බලන්නට මේ අයට කිසිත් උවමනාවක් නැත.

ලංකාවේ පිරිසක් පටන් ගෙන තියෙන අමු මිරිස් චැලෙන්ජ් එක ගැනත් හොයලා බලන්න. යම් පිරිසක් සහනාධාර වලින් පෝෂණය වෙනවා නම් එය තවත් සහනාධාර යැවීමෙන් පවත්වා ගෙන යා හැකි නැත. ඊ ළඟට, “අපේ මිනිසුන්ගේ කඳුළු පිසදමන්නට අපේම උන් හැර ඒ රොප්පෙන් එන්නේ නැත..” යන්න ද මුසාවකි. මේ බලන්න, ඒරොප්පෙ මිනිස්සු 2017-2013 කාලයේ දී යුරෝ මිලියන 112 ක් ලංකාවට වෙන්කර ඇති සැටි!!!! ලංකාවේ නායකයන්ට අයහපත් පාලන බලය පවරා දුන්නේ ලංකා වැසියන් නොවේද? ඊට ඒරොප්පෙ වාසය කරන මිනිසුන් පළි ද?!!!!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. […] අයිස් බකට් චැලෙන්ජ් සහ වතුර අහිමි අය […]

  2. Ajith Dharma said, on සැප්තැම්බර් 5, 2014 at 3:57 පෙ.ව.

    කාලෙකට පස්සේ අරුණි මට සම්පුර්නයෙන්ම එකඟ වෙන්න පුළුවන් ලිපියක්‌ පල කරලා. kudos to you. 2004 සිට tsunami එකෙන් අතරමං වුන දරුවන් 20කට අපේ charity එකෙන් සල්ලි දුන්නා. මම ඒක නැවැත්තුවා මේ මාසේ. අවශ්‍යම ළමයි aපස් දෙනෙකුට විතරක් දෙනවා.. ලංකාවේ අලුත් මතයක් යනවා යුරෝපෙන් උදව් අවශ්‍ය නැහැ කියල. “අපි දැන් දියුනුයිලු”.

    • arunishapiro said, on සැප්තැම්බර් 5, 2014 at 7:12 පෙ.ව.

      Ajith Dharma,

      ස්තූතියි.

      //ලංකාවේ අලුත් මතයක් යනවා යුරෝපෙන් උදව් අවශ්‍ය නැහැ කියල. “අපි දැන් දියුනුයිලු”// මේක ලංකාවේ මතයක් නෙමෙයි. ඒ වගේම අලුත් මතයක් ද නොවේ. ධනවාදයෙන් දියුණු වූ බටහිර රටවල් ගැන ඇති විරෝධය ලොව පුරා සමාජවාදී මානසිකත්වයේ හැමදාම දකින්නට ලැබුණු දෙයක්. ලෝකයේ හැම තැනකම වාසය කරන සමාජවාදී මානසිකත්වය ඇති අය රුසියාවෙන් සහ චීනයෙන් උදව් ගන්න හැමදාම කැමතිත් ඒ නිසාමයි.

      අයෙක් කැමැත්තක් කරලා කැමත්තෙන් දෙන ආධාරයක කිසිම වැරැද්දක් මම දකින්නෙ නැහැ. ඒත් මිනිස්සු අසරණ වූයේ කෙසේදැයි විමසන්නෙ නැතිව, ඔවුන්ව අසරණ නොකරපු අය ගැන නැති වැරදි කියන දුර්වලතාවය නම් ඉක්මණින් හදාගත යුත්තක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: