අරුණි ශපීරෝ‍ වෙතින්

පිරිසිදු වතුර, හිඟය සහ වෙළඳපොල මිල ගණන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 7, 2014

Rich-Uncle-Pennybags

“වෙළඳපොලට දුන්නොත් ඔක්කොම ඉවරයි,” යන්න ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා අයගේ (එනම් ලොව බහුතරයකගේ) අදහසයි.

වෙළඳපොල යන්න භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගන්නා සහ මිල දී නොගන්නා සෑම අයෙකු වෙතින්ම හැදෙන්නකි. අයෙක් වෙළඳපොලට එරෙහි වෙද්දී කරන්නේ කැමති භාණ්ඩයක් ගැනීම සහ නොගෙන සිටීම තමන් විසින් තීරණය කිරීමට ලැබෙන හැකියාවට එරෙහි වීමයි.

හිඟය (scarcity =ස්කෙයාසිටී) යනු එදිනෙදා ජීවිතයේ සියල්ලන්ම මුහුණ දෙන වැදගත් අංගයකි. භාණ්ඩ සහ සේවා හිඟයට මෙන්ම කාලය (time) හිඟයට ද මිනිසා මුහුණ දෙයි.

දුප්පතා පාන් ගන්නට පෝලිමේ යද්දී පෝසත් අය අයිෆෝන් 6 ගන්නට පෝලිමක සිටිති. මෙය දකින සමාජවාදියා ඉක්මන් වෙනුයේ අයිෆෝන් 6 සහ පාන් අතර එකක් සුඛෝපභෝගී යැයි ද අනෙක අවශ්‍යතාවයක් යැයි ද කියමින් සංසන්දනයක් කරන්නට. ඒ පෙනෙන දෙයයි.

එහෙත් අයෙකු සුඛෝපභෝගී යැයි සලකන්නා වූවක් තවකෙකුගේ හෝ තව කිහිප දෙනෙකුගේ ආදායම් මාර්ගය උපයන අවශ්‍යතාවයක් විය හැකියාව ගැන සලකා බැලීමට මේ අය අමතක කරති. ඒ නොපෙනෙන දෙයයි.

“සෑම නිෂ්පාදන භාණ්ඩයක්ම මිල දී ගන්නට ඇති සැපයුම සීමාසහිතයි. මහජනතාවගේ ඉල්ලුම අනුව එහි හිඟ බවක් නැත්නම්, එය ආර්ථික භාණ්ඩයක් යැයි සැලකිල්ලට ගැනෙන්නේ නැත. එයට කිසිවෙක් මිලක් ගෙවන්නේ ද නැත.” -ලුඩ්විග් වොන් මීසස්

තමන් සතු මුල්‍ය සම්පත් සීමිත නිසාත්, ඒවා යම් ප්‍රමාණයක් පමණක් තමන් සතු නිසාත්, මිනිස්සු රස්සාවල් කරන්නට වෙහෙසෙති. බහුතර ජනතාවක් රස්සාවක් කරන්නේ රස්සාවක් කරන ආශාවට නොවේ. තමන් කැමති පරිභෝජන භාණ්ඩ එකිනෙකාගෙන් මිල දී ගන්නට හැකියාව ලැබෙන්නා වූ තමන් සතු මුල්‍ය සම්පත් වැඩි කරගන්නට හැකියාව ලැබෙන නිසා පමණයි රස්සාවක නියැළෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැති අය නියැළෙන්නේ රස්සාවක නොව විනෝදාංශයකි.

නිවාස, ඇඳුම් පැළඳුම්, සංචාරක ගමන්, පාසැල් පොත්පත් යනාදී සීමිත පරිභෝජන භාණ්ඩ සඳහා පාරිභෝගික ඉල්ලුමක් ඇත. හිඟය නිසා මිනිසුන් තම තමන් සඳහා තීරණ ගැනීමේ දී අරපිරිමැස්මක් කරති.

එහෙත්, වතුර හිඟය ඉදිරියේ ඒ අභියෝගයට රටක ජනතාවක් මුහුණ දෙන ආකාරය දැඩි සේ අසාමාන්‍ය වූවකි.

වතුර බහුලව ඇති ගංගා ඇල දොල පිහිටි රටක පවා පිරිසිදු වතුර හිඟ තැන් සහ අවස්ථා පවතී. එහෙත් ඒ සෑම අවස්ථාවක දීම සහ සෑම තැනක දී ම පිරිසිදු සහ පානය කළ හැකි බෝතල් කළ වතුර නොමඳව මිල දී ගන්නට වෙළඳපොලේ ඇති බව බහුතරයක් නොදකිති.

අපිරිසිදු වතුර පවතින තැනක ද, අවශ්‍ය තරමට පිරිසිදු වතුර නොමැති තැනක ද, ඇති තරම් බෝතල් කළ වතුර දකින්නට ලැබෙන්නේ ආණ්ඩුවක මැදිහත්වීමක් නොවෙද්දීය.

“නිදහස් වෙළඳපොලක් ගැන කියන්නට ඇති පළමුවැන්න නම්, කොතරම් බරපතළ අඩු සැපයුමක් ඉදිරියේ පවා කිසිම අවස්ථාවක බඩු අඩු තත්වයක් (shortage) නැතිකමයි. වෙළඳපොලට මිල තීරණය කරන්න ඉඩ දෙනවිට මිල දී ගන්නට කැමැත්තාට සැපයුම් නැති අවස්ථාවක් ඇති කරන කොන්දේසියක් අත්විඳින්නට ලැබෙන්නේ නැත.

“නිදහස් වෙළඳපොලක දී, (එනම් ආණ්ඩුවෙන් මිල පාලනය නොකරන, මිල පාලනයට මැදිහත්වීම් කරන, සහනාධාර බෙදන, රජය ආයෝජන නොකරන), ඉල්ලුම තෘප්තිමත් කරන්නට හැකි ප්‍රමාණයට සැපයුමක් හැම විටම දකින්නට ලැබේ.

දොඩම් වගාවට රෝගයක් බෝවී ඵලදාව අඩු වූයේ නම්, එවිට දොඩම් සැපයුම පහළ යයි. එවිට දොඩම් අඩු තත්වය වැඩියෙන් වෙළඳපොලේ පැතිර ඇතැයි කියයි. හිඟ දොඩම් කැමැත්තෙන්ම මිල දී ගන්නට ඉදිරිපත්වෙන අය නිසා දොඩම් මිල ඉහළ යෑම සිද්ධ වෙයි.

දොඩම් හිඟය වැඩි වෙද්දී මේ මිලට විකුණන්න හෝ මිල දී ගන්න යැයි බලහත්කාරකමක් කිසිවෙකුට නොවී දොඩම් මිල ඉහළ යන්නේ කැමැත්තෙන් කරන ඉල්ලුම අනුව පමණකි. එවැනි සලාක ක්‍රමයක් කිසිවෙකුට බලහත්කාරකමක් නොවී ස්වභාවයෙන්ම සිද්ධ වීම වෙළඳපොලේ සැබෑ ස්වභාවයයි.

අනෙක් අතට දොඩම් වගාව සරු වූ විට සැපයුම වැඩි වී හිඟය අඩු වී දොඩම් මිල පහළ බසියි.

අයෙක් ගණන් වැඩි වුනත් දොඩම් ගෙඩියක් කන්න ආසයි කියා ඉහළ ගිය මිලට දොඩමක් මිල දී ගනු ඇත. තවකෙක් දැන් දොඩම් මිල වැඩියි කියා කැමැත්තෙන්ම දොඩම් මිල දී නොගෙන සිටියි.

ඒ ඒ පාරිභෝගිකයා තනි තනියම එවැනි තීරණයක් ගන්නවා ද නැද්ද යන්න නොතකන්නේ මැදිහත්වීම් කැමති අයයි. හැමෝටම අඩු මිලට විකුණන දොඩම් සැපයුමක් වෙළඳපොලේ තිබිය යුතු යැයි ඔවුන් සිතති. එවැනි තත්වයක් ගෙනෙන්නට අනේක විධ අසාර්ථක උත්සාහයන්ට සහාය පළ කරති. අනතුරුව ඒ මැදිහත්වීම් නිසාම තවත් ඉහළ යන සියළු බඩු මිල දැක හූල්ලති.

අනෙක් අතට දොඩම් ඵලදාව සරු වූ විට දොඩම් වැඩිවෙලා විකුණත හැකි මිල අඩුවෙලා යැයි ගොවියන් හූල්ලති. ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තමන්ට සාධාරණ අලෙවි මුදලක් ලැබිය යුතු යැයි ගොවියන් අපේක්ෂා කරති.

ඵලදාව අඩු වුවත් සරු වුවත් ලාබ අලාබ අත්විඳින්නට තමන් සූදානම් වී සිටිය යුතු ආකාරයක් ගැන වෙළඳපොල වැඩ කරන්නේ කෙසේදැයි අවබෝධයක් නැති ගොවියන් කිසිදාක ඉගෙන නොගනිති.

ඒත් දොඩම් වගේ ද ජලය යැයි අයෙක් අසනු ඇත.

දොඩම් නම් නොකා ඉන්න පුළුවන් ඒත් ජලය නැතිව ජීවත් වෙන්නේ කොහොමදැයි අයෙක් විමසනු ඇත.

මොනොපොලි නම් ක්‍රීඩාව සෙල්ලම් කර ඇති ඕනෑම අයෙක් දන්නා කාරණයක් නම් ඉක්මණින් ගොස් ඉඩම් අල්ලා ගෙන, නිවාස වැඩියෙන් තනාගෙන, වතුර සහ විදුලි බලය අල්ලාගෙන ඉන්න අයට ඒ කොටුවට වැටෙන හැම අයෙක් වෙතින්ම මොනොපොලි මුදල් අය කරගත හැකියාවයි.

මොනොපොලියක්/ඒකාධිකාරයක් ගැන කියද්දී බහුතරයට මතක් වෙන්නේ මොනොපොලි ක්‍රීඩාවේ ඉන්නා ධනවත් සතමල්ලේ අන්කල්වයි. මොනොපොලියට අකමැති යැයි කියන අය තමන් ආණ්ඩුවට කැමැත්තෙන්ම මොනොපොලිය පවරන බව දකින්නට නොහැකියි.

වෙළඳපොල කරන නියාමය නොදත් බහුතරය හිතන්නේ ජලය පුද්ගලික ආයෝජකයෙකු යටතේ පැවතුන හොත් ඒකාධිකාරය ඔහු සතු වූවක් කියායි. ඒ නිසා බහුතරය කැමැත්තෙන්ම ජලයේ ඒකාධිකාරය රජයට බාර දෙති. පුද්ගලික ආයෝජකයාව මෙල්ල කරන නිදහස් වෙළඳපොල හෙවත් ගණුදෙනු කරන පාරිභෝගිකයන් සියල්ලන්ම දකින්නට එවැන්නාට හැකියාවක් නැත.

වෙළඳපොලක් කටයුතු කරන ආකාරය අනුකරණය කරන්නට කොතරම් විශිෂ්ඨ ලකුණු ලබා විභාග සමත් වූවත් කිසිම රජයක කිසිම බලධාරියෙක්ට හෝ ලොව කිසිම පාලකයන්ට දැනුමක් හැකියාවක් නැත. ඒ ලෝකයේ ගණුදෙනු කරන පාරිභෝගිකයන් සියල්ලන්ම මිල දී ගන්නේ සහ මිල දී නොගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි කළින් දැන ගන්නට දන්නා සමතෙක් ලොව නැති බැවිනි.

ඊ ළඟට, අයෙක් මිල දී ගනීවි යැයි අනුමානයෙන් තමන්ගේ මුදල් අවදානමට තබා එයින් ලාබයක් හෝ පාඩුවක් අත්විඳින්නට සූදානම් පුද්ගලික ආයෝජකයා මෙන් නොව බලයට පත් වූ ආණ්ඩුවක අරමුණ බලයේ සිටීමයි. දේශපාලන වාසි බෙදා දෙන්නේ නැත්නම් ආණ්ඩුවකට පාලන බලයේ සිටිය නොහැකියි.

ඉතින් දොඩම් ගස් වලට හැදෙන රෝගයක් සේ ම, නියඟයක් හමුවේ වුවත් ආණ්ඩුවක් මැදිහත්වීම් කරද්දී පාරිභෝගිකයා නොහොත් මේ කියවන හැම අයෙක්ම තීරණයක් ගන්නේ කෙසේදැයි කළින් අනුමාන කරන්නට නොදන්නාකම සහ නොහැකියාව නිසා සිද්ධ වෙන්නේ ද ගැටළු නිරාකරණයට වඩා ගැටළු තවත් බරපතල කිරීමකි.

ඒකාධිකරයක් ඇති ආණ්ඩු විසින් වතුර සඳහා හිතුමතයේ මිල ගණන් තීරණය කරන නිසා පාරිභෝගිකයන්ට ලැබෙන්නේ විකෘති වූ මිල ගණන්. එය මිචිගන් වුවත්, කැලිෆෝර්නියාවේ වුවත් ලංකාවේ වුවත් එසේම සිද්ධ වේ.

අඩු ඵලදාවක් නිසා දොඩම් මිල ඉහළ යනවා සේ නියඟයක් ඇති පෙදෙස්වල වතුර මිල ඉහළ යා යුතුයි.

ධාන්‍ය ඇටයේ සිට පොහොර, වතුර, කෘමිනාෂක, ගබඩා කිරීම, ප්‍රවාහනය, විකුණන මිල යනාදී සියල්ලටම නීති රෙගුලාසි පනවන ආණ්ඩුවක් රජසමයේ සිට ලාංකිකයාට දායාද වූවකි.

ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයක් තිබීම යනු දේශපාලන වාසි බෙදීමේ බල අවියකි. ජලය වඩාත්ම කාර්යක්ෂම සහ සංරක්ෂිත ලෙසින් පරිහරණයට පාරිභෝගිකයෙක්ව උනන්දු කරවන්නට ඇති බාධකයකි.

ගංගා, ඇල දොළ, ජලාශ වල වතුර බෙදාහරින බලය දිය යුත්තේ වැඩියෙන්ම ඉහළ මිලකට ඒවා මිල දී ගන්නට හැකි ව්‍යවසායකයන්ට යැයි කිව්වොත් එය පිළිගන්නට තියා එහි සත්‍යයතාවය වටහා ගන්නට හැකියාව ඇති අයත් අඩුයි.

ප්‍රාග්ධනයට අවශ්‍ය පරිදි වැඩ කරනවා යැයි ද, ලාබය එකම අරමුණ ලෙස සලකන ආත්මාර්ථකාමී අමානුෂික හැදියාවක් ඇතැයි කියා ද, ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා බහුතරය විසින් එවිට කියනු ඇත.

එහෙත් ඔවුන් ඉල්ලන මැදිහත්වීමේ ක්‍රමය යනු ජනතාවගේ බදු මුදල් වලින් අවදානම් ආයෝජන ගන්නා ඒ මැදිහත්වීම් කරන අයට බලයේ සිටින වාසිය සහ තම මල්ල පුරවාගන්නට වාසිය ලැබෙන ජනතාවට අලාබ පමණක් විඳගන්නට පවරන ආත්මාර්ථාකාමී අමානුෂික ක්‍රමය බව වටහා ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකියි.

ඕනෑම අයෙක් තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ නම් සහ තමන් විසින් ලාබ හා අලාබ විඳගන්නේ නම්, එවිට ඔහු වෙළඳපොලට ඉදිරිපත් කරන භාණ්ඩයේ නියාමනය පාරිභෝගිකයන් සියල්ලන්ම නොහොත් වෙළඳපොල සතු වූවකි. ජලයේ නියාමන බලය අල්ලා ගන්නට කිසිම අයෙකුට හෝ කිසිම පිරිසකට දිය යුතු නැත.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on සැප්තැම්බර් 8, 2014 at 4:12 පෙ.ව.

    මාස කීපයකට පෙර ටී වී එකේ දැක්ක වෙළද ඇමති ගොවියන් වෙතට ගිය විටකදී ඇමති – අපි පොහොර සහනාධාරය දෙනවානේ ..කී විට එක් වයසක ගොවියෙක් අපිට සහනාධාර එපා මිලක් දෙන්නයැයි කීවේය..ගොවියා තමන්ට ඇඟට දැනුන ප්‍රශ්නයට දුන් පිලිතුර ඉතා වැදගත් !( මිල රජයෙන්ම ඉල්ලීම ඹහුගේ දැනුමට සාපේෂ්සයි ) ..තරගාකාරී වෙළදපොලක් වෙනුවට රජයෙන් ලැබිය යුතුය යන හැදියාව පැත්තකින් තිබ්බොත් ..නිෂ්පාදනට රාජ්‍ය මැදිහත් වීමේ තකතීරු කම ඉන් දැක ගත හැකියි !

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2014 at 6:32 පෙ.ව.

      krishramanayaka71,

      නොමිලේ බෙදන නිදහස් අධ්‍යාපනයේ ආශ්චර්යය තමයි ඒ.

      අර්තාපල් ආනයනය මේ දිනවල නවතා දැමුවා කියල ප්‍රවෘත්තියකින් කියෙව්වා. ඒ දේශීය ගොවියන් ආරක්ෂා කරගන්නලු. 1845 දී ලොව දැනගත් සත්‍යයක් “ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සම” සිංහල රාජ්‍ය භාෂාව වෙච්ච ලංකාවේ අයට ලැබෙන්නෙ 2014 දී නේ 🙂

      බදුල්ල, වැලිමඩ, ඌව පරනගම යන ප්‍රධාන අර්තාපල් වගා කරන පෙදෙස් වල ගොවියන් වෙතින් රජය නියම කරන සහතික මිලට අර්තාපල් ගන්න ජනතාවගේ බදු මුදල් රුපියල් මිලියන 150 ක් වෙන් කරලා තියෙනවාලු.

      මේ ප්‍රවෘත්ති වාර්තාවට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවියන් ගෙන් රුපියල් 80/- ක සහතික මිලකට කිලෝග්‍රෑම් 625,000 ක් ඍජුවම ආණ්ඩුව මිල දී ගත්තලු ලංකා සතොසට පහුගිය සතියෙ.

      මට මතක් වුනේ බදුල්ල පැත්තෙ හෙට අනිද්දා මැතිවරණයක් තියෙනවා නේද කියල!!!!!

      අර්තාපල් වගාව සරු නම් අල කුණුවෙන්න කළින් පිටි හදන ක්‍රමයක් ලෝකයට මුලින්ම හඳුන්වා දුන්නේ කැනඩාවේ එඩ්වර්ඩ් ඇස්ල්බර්ග්ස් නැමැත්තා 1962 දී. ඒක දැනගෙන වසර 50 කට වඩා ගෙවී ගිහින් තිබුනත් තවමත් ලංකාවේ අර්තාපල් ගොවියන්ව සනසන්නට පුළුවන් සහතික මිලකින්!!!!!

      මිනිස්සුන් පීඩිතයන් කරලා තියාගත්තෙ නැත්නම් පීඩිතයන්ව බේරාගන්න එන නායකයන් වෙන්නෙ කොහොම ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: