චන්ද පොළක වැඩට ගියෙමි -නැවතත්
ඊයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මුල් මැතිවරණය (primary) පැවැති දිනයයි. එහි දී චන්දය ප්‍රකාශයට හැකියාවක් ලැබෙන්නේ රිපබ්ලිකන් සහ ඩෙමොක්රැටික් පක්ෂ දෙකෙන් චන්දය ප්‍රකාශය කරන අයට පමණි. ස්වාධීන අපේක්ෂයන් අතර පක්ෂයක් නියෝජනය කළ යුතු එක් අයෙක් තෝරාගැනීමක් නැති නිසාත්, ලිබටේරියන් පක්ෂය ඉදිරිපත් කරන්නේ ඒ ඒ ඒ නියෝජිත ආසනයට එක් අයෙක් බැගින් නිසාත්, ඔවුන් මේ මුල් මැතිවරණයට සහභාගී නොවෙති.
මම 2008 දී ටෙනසි ප්‍රාන්තයේ චන්ද පොළක වැඩට ගියෙමි. ප්‍රාන්ත අතර නීති රෙගුලාසි වෙනස් නිසා චන්දයට කළින් ඒ සඳහා ඩෙලවෙයාර් හි පැවැත්වූ පංතියකට ගිහින් වෙනස්කම් ගැන ඉගෙන ගත යුතු විය.
ඩෙලවෙයාර් හි චන්ද දායකයෙක් හැටියට රෙජිස්ටර් වෙද්දී තමන් කුමන දේශපාලන පක්ෂයේ දැයි නැත්නම් ස්වාධීන දැයි කියා සිටිය යුතුයි. මැතිවරණයට පෙර යම් කාල සීමාවක් තුල දී පක්ෂය මාරු කළ හැකියි. සාමාජික ගාස්තු ගෙවීමක් නැත.
විකිපීඩියාව දක්වන පරිදි, ටෙනසි ඇතුළු ප්‍රාන්ත 22 ක් අනුගමනය කරන පිළිවෙත අනුව මුල් මැතිවරණයක දී පවා චන්දය දෙන්නට කැමති පක්ෂයක් තෝරා ගැනීම එම දිනයේ චන්ද පොළට ගිය විට දී සිද්ධ කරන්නකි.
චන්දය දෙන්නට රෙජිස්ටර් වූ චන්ද දායකයන් රිපබ්ලිකන් ලෙසින් වැඩියෙන් තමන්ව හඳුන්වාගෙන ඇත්තේ වයෝමින් ප්‍රාන්තයේ පමණි.
මෙරිලන්ඩ්, කෙන්ටකි, වෙස්ට් වර්ජිනියා, පෙන්සිල්වේනියා සහ ලුයිසියානා හි වැඩි වශයෙන් චන්ද දායකයන් රෙජිස්ටර් වී ඇත්තේ තමන්ව ඩෙමොක්රැටික් පක්ෂයේ අය හැටියට හඳුන්වා ගනිමිනි.
ඩෙලවෙයාර් හි චන්දය දමන්නට පැමිණෙන අය තමන්ගේ ඡායාරූපයක් ඇති හැඳුනුම්පතක් පෙන්වන්නට අවශ්‍ය නැත. චන්දය දමන්නට මෙතැනට යන්න යැයි චන්ද කාර්යාලයෙන් එවූ ලියමන, තමන්ගේ චෙක්පොත, විදුලි හා ජල පහසුකම් ගෙවූ බිල්පතක්, නම සහ ලිපිනය ඇති ව්‍යාපාරයේ ලෙටර් හෙඩ් එකක් වුවත් ඒ සඳහා ප්‍රමාණවත්.
ඊයේ අපේ චන්ද දිස්ත්‍රික්කයේ චන්දය ප්‍රකාශ කරන්නට රෙජිස්ටර් වූ දෙදාහක් පමණ පිරිසක් අතරෙන් පැමිණි තුන්සිය පනහකට අධික වූ පිරිස අතර බහුතරය පුංචි කාලේ සිටම එකිනෙකා දැන හඳුනන අයයි.
මැතිවරණ කටයුතු වල යෙදුනු අපි සියල්ලන්ම ස්වේච්ඡාවෙන් එතැන එදින පමණක් වැඩ කරන්නට ආ අය මිසෙක ඩෙලවෙයාර් ප්‍රාන්තයේ හෝ අපේ දිස්ත්‍රික්කයේ හෝ රටේ ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන් නොවූහ.
මැතිවරණයට බලපාන සේ කිසිත් පුද්ගලික මුදලක්, වාසියක් ලබා නොගත්තා යැයි උදේ හයට වැඩ පටන් ගනිද්දී අපි වාචිකව පොරොන්දු වීමු. චන්ද දමන යන්ත්‍ර වල අගුල් විවෘත කිරීම පටන් ඒවා වසා නැවත රාත්‍රී අටට අගුල් දමන තෙක් අනුගමනය කළ යුතු පිළිවෙත් සියල්ල නියම කර තිබූ අන්දමින් අකුරක් නෑර අපි අට දෙනාම එක සේ අනුගමනය කළෙමු.
විශේෂයෙන්ම, අප අට දෙනා අතර කිසිම දේශපාලන කතාබහක් සිද්ධ නොවීය. විහිළු තහළු සහ පළාතේ කයි කතන්දර නොමඳව අසන්නට ලැබිණ. ලංකාව තියෙන්නේ කොහේදැයි පවා අසා නොතිබි දෙතුන් දෙනාත් දවස අවසානය වෙද්දී ලංකාව ගැන බොහෝ තොරතුරු දැනගත් අය වූහ. 🙂
ප්‍රාන්තයේ කොංග්රස් සභිකයා සහ වසමේ පොලිසීයේ ලොක්කා (Sheriff) ද පැමිණියේ තමන් කුමන පක්ෂයක් හෝ කුමන චන්ද අපේක්ෂකයෙක්ව ප්‍රමෝට් කරනවා යැයි කියත නොහැකි ලෙසකටයි. ඔවුන් ද කිසිත් දේශපාලන කතාබහකින් තොරව තම චන්දය දී, සුව දුක් විමසා, මේ චන්ද වැඩ කරන්නට අපේ කාලය දුන්නාට ස්තූති කර පිටව ගියහ. මෙහෙ පොලිසීයේ ලොක්කා තෝරා පත්වෙන්නේ ද ජනතාවගේ චන්ද වලිනි.
අපේ දිස්ත්‍රික්කයේ චන්ද ප්‍රකාශ කළ අය අතර ළාබාලම චන්ද දායකයා මගේ දියණිය වීමෙන් මගේ සිත කනස්සල්ලට පත් විය. එහෙත් ඇයට චන්ද අපේක්ෂක නාම ලේඛනය දෙන බොත්තම අනිත් පැත්තේ සිට ඔබන්නට ලැබෙද්දී නම් මගේ සිත සතුටෙන් උතුරා ගියේය. තිස් වියැති අය තුන් හතර දෙනෙක් පමණක් සිටි අතර චන්දය ප්‍රකාශ කළ බහුතරය වයස 50-90 අතර අයයි.
එසේම අපේ දිස්ත්‍රික්කයේ ඊයේ චන්දය දුන් අය අතර ආසියානු කලාපීය පුරවැසියෙකුට සිටියේ මා පමණි. කවදාවත් චීනෙට ගිහින් නැති පළාතේ චීනා එන තුරු අපි හැමෝම බලා සිටිය ද දවස පුරාම වරින් වර වැස්ස පාත් වූ නිසා වෙන්නැති ඔහු පැමිණියේ නැත.
දුරකතනය පාවිච්චි කිරීම හදිසි අවශ්‍යතා සඳහා පමණක් තබාගෙන අවම වශයෙන් සිදු කළ යුතු යැයි අපට කියා තිබිණ. චන්ද වැඩ කටයුතු කළ අප කිසිවෙක් පුද්ගලික කතාබහෙන් තම සෙල් ෆෝන් වල එල්ලී සිටියේ නැත.
චන්දය දුන්නා යැයි පෙන්වත හැකි රිසිට් පතක් ටෙනසි ප්‍රාන්තයේ දී අපි බෙදා දුන්නෙමි. මෙහෙ දී එවැනි කිසිවක් නොවීය. ඇඟිල්ලක් පාට කිරීමක් සිද්ධ නොවේ. චන්දෙ දුන්නා යැයි සඳහන් වෙන එකම තැන චන්ද ලැයිස්තුවේ නම අසලින් ගහන අත්සන් පාර පමණි.
චන්දය පැවැත්වුනේ අපේ වසමේ ගිනි නිවන හමුදා ස්ථානයේය. චන්ද කටයුතු කරන කාලය තුල දී ඡායාරූප ගැනීම තහනම් විය. උදේ හයේ සිට රාත්‍රී අට දක්වා ගිනි නිවන හමුදාවේ රථය පිටත් වී ගියේ එකම එක වතාවකි. ඒ වයසක අයෙකුව ගෙදර සිට රෝහල වෙත රැගෙන යෑමටයි. ඇඟට හරි නැති බවක් දැනෙනවා නම් ඉස්පිරිතාලෙට යන්නැයි තමන්ගේ දොස්තර කියූ නිසා එයා සූට්කේස් එකක් ද පැක් කරගෙන ගිනි නිවන හමුදාව අමතන ලද්දේය. ඉතින් ඔවුන් ඔහුව ඉස්පිරිතාලයට ගෙනිහින් හැරලූ බව නලා හඬ ගැන ඇසූ අපට දැනුම් දුන්හ!!!!
ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අප වාසය කරන සසෙක්ස් කවුන්ටියේ බහුතරය අපව ආණ්ඩු කරන්නට යැයි අනුන් නීති රීති ගෙනෙනවාට වැඩිය කැමැති අය නොවෙති. එහෙත් කවුරැන් හෝ චන්ද බහුතරයක් ලබා නීති රීති ගෙනෙන්නේ ද, ඒවා මට පමණක්, මේ මේ අවස්ථාවේ දී පමණක්, කියා විශේෂ වාසි බලාපොරොත්තු වෙන අය ද නොවෙති.
චන්දය ප්‍රකාශ කරන්නට ආ මේ වයසක ඇත්තන් මිය ගිය පසු පළාතේ හැදියාව කුමන ආකාරයකින් වෙනස් වී යාවිදැයි කිව නොහැකියි. අප අට දෙනා නොවැම්බර් 4 වැනිදා මහ මැතිවරණයේ දී යළි හමුවෙමු යැයි කියමින් සමුගත්තෙමු.
[…] චන්ද පොළක වැඩට ගියෙමි -නැවතත් […]
//ඩෙලවෙයාර් හි චන්ද දායකයෙක් හැටියට රෙජිස්ටර් වෙද්දී තමන් කුමන දේශපාලන පක්ෂයේ දැයි නැත්නම් ස්වාධීන දැයි කියා සිටිය යුතුයි//.
මාර ප්රජාතන්ත්රවාදයක් නේ?
ඔය ඡන්දය දෙන පිරිස අඩුවීම අනාගත ප්‍රශ්න ඇතිකරන්නක් වියහැකියි.
රාජ් -රාජ්ගෙ නවාතැන-,
ප්රජාතන්ත්රවාදය කියන්නෙ තමන් කැමති දේශපාලනයක බලය අල්ලා ගන්න හදන අයෙකුට චන්දය දෙන්න හැකියාව තිබීම නොවේද රාජ්? ඉතින් මේ ක්‍රමයෙන් ඒ හැකියාව අහිමි වෙන්නෙ නැහැනෙ.
ලංකාවේ දී චන්ද අපේක්ෂකයා කවුදැයි යන්න තීරණය කරන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයයි. මෙහෙ දී එය තීරණය කරන්නේ මේ මුල් මැතිවරණයේ දී චන්දය දෙන ඒ පක්ෂයේ චන්ද දායකයායි.
මුල් මැතිවරණයේ (primary) දී තම පක්ෂයෙන් තමන් වැඩියෙන්ම සුදුස්සා යැයි හිතන කෙනාව තෝරා මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනවා. මහ මැතිවරණයේ (general election) දී ඕනෑම පක්ෂයක චන්ද අපේක්ෂකයෙකුට චන්දය දිය හැකියි.
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මාරු වුනා කියල ආණ්ඩුවත් එක්ක එකතු වෙලා බිස්නස් නොකරන අයට (අපේ පැත්තෙ වැඩියෙන් ඉන්නෙ එහෙම අය) ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ඔවුන් කොයි පැත්ත ආවත් අපිට මොකද කියල තම තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගෙන සිටිය දී දෙපැත්තෙන්ම ආපු බලය අල්ලා ගත්තු අය තව තවත් ආණ්ඩුව විසල් කරලා තව දුරටත් තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගෙන යෑමට බැරිවෙන විදියෙ අනේක බාධා ගෙනෙමින් ඉන්නවා. මේ තත්වය හඳුනාගෙන ආණ්ඩුව අපේ ජීවිත වලින් ඈත් කරන්න කැමති අය තම තමන්ගෙ චන්දය ප්‍රකාශයෙන් ඒ ගැන දන්වා සිටිය යුතු වැදගත් කාල වකවාණුවක අපි ඉන්නෙ.
කදිමයි..අපේ රට එක්ක මොන විදියටවත් සංසන්දනය කරන්න අමාරු වුනත් වැදගත් සිද්දියක්..අපිට ඔහේ මැතිවරණ ගැන යම්දැනුමක් ලැබුනා..